සම්බුද්ධ දේශනා...

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සම්බුද්ධ දේශනා...

    සියලු සත්වයන්ගේ යහපත පිණිසම වේවා...!


    anuradhapurasamadhistat.jpg




    පළමුව මම බුදු සරණ යමී
    දෙවනුව සදහම් සරණ යමී
    තෙවනුව මහසඟ සරණ යමී
    සැමදා තිසරණ සරණ යමී
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    උතුම් ම රක්ෂණය සෝවාන් වීමයි

    සෝවාන් ඵලයට පත් වීමේ ඇති වටිනාකම කියැවෙන ලිපියකි.

    වෛද්‍ය කුමුදු ශ්‍රී කුරුප්පු

    සද්ධානුසාරී ව හෝ ධම්මානුසාරී ව පෘථග්ජන භාවය ඉක්මවා සිටින පුද්ගලයන් ‘සම්බෝධිපරායණ’ පුද්ගලයන් ලෙස සැලකෙන බව අපි දනිමු. ‘සම්බෝධි පරායණ’ යන්නෙන් අදහස් වන්නේ ‘නිවන් අවබෝධයට යොමු වූ’ යන්නයි. එසේ වුවත් තව ම ඔවුහු නිවන් අවබෝධයට නියත වූවෝ නො වෙති! නිවන් අවබෝධයට නියත වූ ‘නියත සම්බෝධිපරායණ’ තත්ත්වයට පුද්ගලයකු පැමිණෙන්නේ සෝවාන් ඵලයට පත් වීමෙනි. මේ කරුණ ඉතා පැහැදිලි ලෙස බුදු පියාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයෙහි පෙන්වා වදාරා ඇත.

    “මහණෙනි, මා විසින් මනා කොට දෙසන ලද, ප්‍රකට කරන ලද, විවර කරන ලද, පැහැදිලි කරන ලද, කඩ තිර සිඳින ලද මේ ධර්මයෙහි, යම් භික්ෂුවක් (හෝ ගිහියෙක්) තුන් සංයෝජන ප්‍රහීණ කළෝ ද, ඒ සැම සෝතාපන්න වූවෝ වෙති. දුගතියෙහි නොවැටෙන ස්වභාව ඇත්තෝ වෙති. නිවන් අවබෝධයට නියත වූවෝ (නියත සම්බෝධිපරායණයෝ) වෙති.

    “එසේ ම මහණෙනි, මා විසින් මනා කොට දෙසන ලද ප්‍රකට කරන ලද විවර කරන ලද, පැහැදිලි කරන ලද, කඩ තිර සිඳින ලද, මේ ධර්මයෙහි යම් භික්ෂුවක් (හෝ ගිහියෙක්), ධම්මානුසාරී හෝ සද්ධානුසාරී වෙත් ද, සැම නිවන් අවබෝධයට යොමු වූවෝ (සම්බෝධිපරායණායෝ) වෙති.

    (අලගද්දූපම සූත්‍රය, ම. නි.)

    ඉහත බුදු සමිඳුන් වදාරා ඇති පරිදි, සද්ධානුසාරී හා ධම්මානුසාරී පුද්ගලයෝ නිවන් අවබෝධයට යොමු වූවෝ වෙති; සෝවන් ඵලයට පත් වන තුරු ආර්ය ශ්‍රාවකයාගේ තත්ත්වය ‘නියත නැති බව‘ පෙනේ. මේ වෙනසට හේතුව කුමක් විය හැකි ද?

    සෝවන් ඵලයට පත් වූ පුද්ගලයා තුළ තථාගත දහමේ සත්‍යතාව පිළිබඳ ඉතා ගැඹුරු විදසුන් නුවණක් (විදර්ශනා ප්‍රඥාවක්) පවතී. ඒ ගැඹුරු විදර්ශනා ප්‍රඥාව හේතුකොටගෙන ඇතැම් සංසාරික කෙලෙස් බැඳීම් (සංයෝජන ධර්ම) ඔහු කෙරෙන් මුළුමනින් ම ප්‍රහාණය වී ඇත. ඔහු නිවන් අවබෝධයට නියත වී සිටින්නේ මේ කෙලෙස් ප්‍රහාණය හේතුවෙනි.

    එහෙත් තව ම සෝවන් මාර්ගය වඩන (සද්ධානුසාරී හා ධම්මානුසාරී) පුද්ගලයන් තුළ එවැනි ගැඹුරු විදර්ශනා ප්‍රඥාවක් නැත. ඒ නිසා ම කිසිදු සංසාරික කෙලෙස් බැඳීමක් (සංයෝජන ධර්මයක්) තව ම ඔවුන් කෙරෙන් ප්‍රහාණය වී නැත. ඔවුන් තව ම නිවන් අවබෝධයට නියත වූ (නියත සම්බෝධිපරායණ) පුද්ගලයන් ලෙස නොසැලකෙන්නේ එනිසා බව පෙනේ.

    කෙසේ වෙතත්, සද්ධානුසාරී හෝ ධම්මානුසාරී අවස්ථාවේ සිටින්නකු මරණයට පත් වන්නේ නම්, සෝවන් ඵලයට පත් නොවී ඔහුගේ මරණය සිදු නොවන බව බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරා ඇත. එහෙයින් සද්ධානුසාරී ව හෝ ධම්මානුසාරී ව මේ නිවන් මගට බැසගත්තා වූ බුද්ධ ශ්‍රාවකයා තමන් තුළ පිබිදී පවත්නා සද්ධාදී කුසල ගුණ ධර්මයන් නොසැලී නොපිරීහී මරණ මොහොත දක්වා ම දියුණු කරගැනීමට ක්‍රියා කළ යුතු ය. සෝවන් ඵලයට පත් වන තුරු ආර්ය ශ්‍රාවකයා තුළ තෙරුවන් කෙරෙහි සැක කිරීම් (විචිකිච්ඡා) හා වැරදි පිළිවෙත්වල පැටලීම් (සීලබ්බත පරාමාස) යන කෙලෙස් දුර්වලතා හටගැනීමේ අවදානම පහ වී නැති බැවින් ඔහු ඉතා සැලකිලිමත් විය යුතු ය. ඒ අවදානම මුළුමනින් ම පහ වී යන්නේ සෝවන් ඵලයට පත් වීමේදී ය.

    යමකුට මේ ජීවිතය තුළදී ම උතුම් වූ සෝවන් ඵලය උපදවාගෙන වාසය කිරීමට හැකි වේ නම්, ඔහු මිනිසකු වශයෙන් ලැබිය හැකි සියලු ලෞකික සැපයන් අබිබවා යන උත්තරීතර සැපතක් ළඟා කරගත්තෙකු ලෙස බුදු පියාණන් වහන්සේ වදාළ සේක. එහෙයින් බුදු බණ කෙරෙහි අවංක ව යොමු වූ සැදැහැවත් බුද්ධ ශ්‍රාවකයකුගේ අවම ඉලක්කය විය යුත්තේ කෙසේ හෝ මේ ජීවිතය තුළදී ම උතුම් වූ සෝවන් ඵලය උදා කරගැනීම යි.

    සෝවන් ඵලයට පත් වූ පුද්ගලයා සතර අපා බියෙන් මුළුමනින් ම මිදී නිවන් අවබෝධයට නියත වී සිටින උතුම් වාසනාවන්තයෙකි. ඒ අනුව, ඔහු තමාගේ සංසාර ජීවිතයෙහි ‘ආත්මාරක්ෂාව‘ සලසා ගත්තකු ලෙස හැඳින්විය හැකි ය. ඇත්තෙන් ම සෝවන් ඵලයට පත් වීමේ වටිනාකම වචනයෙන් විස්තර කරලීම පහසු නො වේ. ඒ නිසා ම බුදු පියාණන් වහන්සේ පවා මේ උතුම් සෝවන් ඵලයෙහි අගය පැහැදිලි කිරීම සඳහා විවිධ වූ විචිත්‍ර වූ උපමා යොදාගෙන ඇති අයුරු තථාගත දේශනා විමසීමේදී පෙනී යයි. ඉන් එක් දේශනාවක මෙසේ දැක්වෙයි:

    “පථව්‍යා ඒකරජ්ජේන

    සග්ගස්ස ගමනේන වා

    සබ්බ ලෝකාධිපච්චේන

    සෝතාපත්තිඵලං වරං”

    “පොළෝ තලයෙහි එක ම (සක්විති) රජු වීමටත්, දෙව් ලොව යෑමටත්, සියලු ලෝකයන්හි අධිපති බව ලැබීමටත්, යන සියල්,ට ම වඩා සෝවන් ඵලය උතුම් වන්නේ ය.” (ධම්මපදය, ගාථා - 178, ඛු. නි.)

    බුදු පියාණන් වහන්සේ විසින් ඉහත සඳහන් උදානය වදාරන ලද්දේ අනේපිඬු සිටුවරයාගේ ‘කාල’ නමැති සිටු පුතු සෝවන් ඵලයට පත් වූ අවස්ථාව අරමුණු කරගනිමිනි. මේ අයුරින් බුදු සමිඳුන් සෝවන් ඵලයෙහි අගය වර්ණනා කොට ඇත්තේ වරක් දෙවරක් නම් නො වේ. විවිධ අවස්ථාවල, විවිධ අයුරින් තමන් වහන්සේගේ ශ්‍රාවක-ශ්‍රාවිකාවන් හමුවේ මේ සෝවන් ඵලයෙහි අගය පහදා දුන් බුදු පියාණෝ, ඒ සඳහා නිබඳ ව ඔවුන් උනන්දු කරවූ සේක. සංයුක්ත නිකායේ අභිසමය සංයුත්තයේ එන පහත දැක්වෙන පුවත ඊට කදිම නිදසුනකි.

    එක් අවස්ථාවෙක බුදු පියාණන් වහන්සේ තම නිය අගින් පස් බිඳක් ගෙන, තමන් වහන්සේ සමීපයෙහි සිටි භික්ෂු සංඝයාට දක්වා මෙසේ විචාළ සේක:

    “මහණෙනි, මාගේ මේ නිය අගෙහි ඇති පස් ප්‍රමාණයත්, මේ මහ පොළොවේ ඇති පස් ප්‍රමාණයත් අතරින් කවරක් විශාල වේ ද?”

    “ස්වාමීනි, මේ මහ පොළොවෙහි ඇති පස් ප්‍රමාණය අතිවිශාල ය. ඔබ වහන්සේගේ නිය අගෙහි ඇති පස් ප්‍රමාණය ඉතා අල්ප ය. මේ මහ පොළොවෙහි ඇති පස් හා සසඳන කල, ඔබ වහන්සේගේ නිය අගෙහි ඇති පස් බිඳ සියයෙන් පංගුවකුදු නොවන්නේ ය; දහසින් පංගුවකුදු නොවන්නේ ය. සිය දහසින් පංගුවකුදු නොවන්නේ ය.”

    “එසේ ම මහණෙනි, දිට්ඨි සම්පන්න (සෝවාන්) ආර්ය ශ්‍රාවකයා විසින් ප්‍රහාණය කරන ලද (සසර) දුක් ප්‍රමාණය අතිවිශාල ය. ඔහුට ඉතිරි ව ඇති යම් දුකක් වේ නම්, එය ඉතා අල්ප ය. එය ඔහු විසින් ප්‍රහාණය කරන ලද දුක් කඳ හා සසඳන කල සියයෙන් පංගුවකුදු නොවන්නේ ය. දහසින් පංගුවකුදු නොවන්නේ ය. සිය දහසින් පංගුවකුදු නොවන්නේ ය.

    තථාගත බුදු පියාණන් වහන්සේ මේ අයුරින් සෝවන් ඵලය පිළිබඳ වර්ණනා කොට ඇත්තේ, එහි අගය උන් වහන්සේගේ බුදු නුවණින් මනා ව අවබෝධ කොටගෙන සිටි බැවිනි. සෝවන් ඵලයට පත් නොවූ පුද්ගලයකුට, තව කොපමණ කාලයක් කොපමණ වාරයක් මේ බියකරු සසරෙහි නැවත නැවතත් උපත ලබමින්, ලෙඩ රෝග, මරණ, ශෝක, වැලපීම්, දුක්, දොම්නස්, සිත්තැවුල් ආදි අනේක විධ දුක් පීඩාවන්ට මුහුණ දෙන්නට සිදු වනු ඇත් දැ යි සීමාවක් පැනවිය නොහැකි ය. එසේ ම කොපමණ වාරයක් තිරිසන්, ප්‍රේත, අසුර, නරක යන සතර අපා දුගතීන්හි උපත ලබමින් අප්‍රමාණ වූ කායික මානසික දුක් වේදනාවන්ට ලක් වන්නට සිදු වනු ඇත් දැ යි කිව නොහැකි ය.

    ඒ අනුව සෝවන් ඵලයට පත් නොවූ පුද්ගලයකුගේ ඉදිරි සංසාර ජීවිතය කොතරම් අවිනිශ්චිත ද? කොතරම් අනාරක්ෂිත ද, කොතරම් අවදානම් සහිත ද? යන්න අපට සිතාගැනීමට හැකි වෙයි. එසේ නමුත් සෝවන් ඵලයට පත් වූ පුද්ගලයකුට නම්, තව ආත්මභාව සතකට වඩා මේ දුක්-බිය පිරි සසරෙහි රැඳී සිටීමට සිදු නො වෙයි. උපරිම වශයෙන් ආත්මභව සතක් ඇතුළත ඔහු මේ සසර දුකින් අත්මිදෙන්නට සමත් වෙයි. ඒ ආත්මභව කිහිපය තුළ පවා ඔහු කිසි විටෙකත් තිරිසන් - ප්‍රේත - නිරය ආදි වූ අපා දුගතියකට නො වැටෙයි. ඔහු මුළුමනින් ම සතර අපා බියෙන් මිදුණෙක් වෙයි. සෝවන් ඵලයෙහි අසිරිය එය යි. සෝවන් ඵලය සක්විති රජ සැපතටත් වඩා අගනේ යැ යි බුදු පියාණන් වහන්සේ වදාරා ඇත්තේ ද එබැවිනි.

    සෝවන් පුද්ගලයා නිවන් දක්නා තුරා උපත ලබන්නේ දිව්‍ය - මනුෂ්‍ය යන සුගති භූමිවල පමණි. එසේ උපත ලද විට, ඇතැම් අවස්ථාවල, ඒ ඒ ලෝකවලට අදාළ වූ යම් යම් කායික මානසික වේදනාවන්ට මුහුණ දෙන්නට ඔහුට සිදු විය හැකි වුවත්, එය ඔහු විසින් නැති කරන ලද දුක් කඳ හා සසඳන කළ අල්ප මාත්‍ර වූවකි; නොගිණිය හැක්කකි.

    සෝවන් ඵලයට පත් වීම කොතරම් උතුම් සම්පතක් ද යන්න හැඟීයන්නේ මේ කරුණු පිළිබඳ නිවැරදි වැටහීමක් ඇති වූ පුද්ගලයකුට පමණි. එවන් පුද්ගලයා, තමා වෙත ඒ උතුම් සම්පත ළඟා කරගැනීම සඳහා ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? යන්න සොයා බැලීමට කිසි සේත් ම ප්‍රමාද නොවනු ඇත. මක් නිසා ද යත්, මේ බියකරු සසර පැවැත්ම තුළ ප්‍රමාදයට කිසිදු අවකාශයක් නොමැති බැවිනි.
    --
    තෙරුවන් සරණයි !