සම්‍යක් සංකල්පය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අන්ධකාරයෙහි සිට තමා අවට තිබෙන දේවල් අතගා බලා දැනගන්නා කෙනකුට දත හැකි වන්නේ තමා අවට තිබෙන දේවල් අතුරෙන් යම් යම් දෙයකට තමාගේ අත පැමිණියේ නම් ඒ ඒ දේවල් පමණකි. යමකට අත නො පැමිණියේ නම් ඒ දේවල් ඇති බව ඔහුට නො දැනෙන්නේ ය. එමෙන් යම් යම් අරමුණකට සිත පැමිණියේ නම් ඒ සිත පැමිණියා වූ දේවල් පමණක් අපට දැනෙන්නේ ය. සිත නො පැමිණි දේවල් නො දැනෙන්නේ ය. සිත ඉබේට ම පැමිණෙන්නේ චක්ෂුරාදි ඉන්ද්‍රියයන් හා ගැටීමට පැමිණියා වූ රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් කරා පමණෙකි. ඉතිරි සියලු ම අරමුණු කරා සිත උත්සාහයෙන් පමුණුවා ගත යුතු ය. නො පැමිණියා වූ අරමුණු කරා සිත පැමිණවීමට හෙවත් නො දත් දෙය දෙසට සිත යොමු කිරීමට - යැවීමට කල්පනා කිරීම යයි කියනු ලැබේ. නො පැමිණියා වූ අරමුණු කරා සිත යොමු කරනුයේ සිත හා උපදනා එක්තරා චෛතසික ධර්මයකින් ය. එයට විතර්ක චෛතසික ය යි ද ‘සංකප්ප’ ය යි ද කියනු ලැබේ. මේ චෛතසික ධර්මයට බොහෝ සෙයින් කියනු ලබන්නේ කල්පනා කිරීම ය කියා ය.

    කල්පනාවන් අතර ද තමා හට හා ලෝකයා හට ද අහිත පිණිස අනර්ථය පිණිස පවත්නා වූ කල්පනාවෝ ද ඇත්තාහු ය. යහපත පිණිස පවත්නා වූ කල්පනාවෝ ද ඇත්තාහු ය. එයින් අයහපත පිණිස පවත්නා වූ කල්පනාවන්ට මිථ්‍යා කල්පනාය යි ද යහපත පිණිස පවත්නා කල්පනාවන්ට සම්‍යක් කල්පනාය යි ද කියනු ලැබේ. මෙයින් සම්‍යක් සංකල්පය යි කියනු ලබනුයේ ඒ යහපත් කල්පනාවන්ට ය. යහපත් කල්පනාවෝ බොහෝ වන්නාහ. එයින් මේ මාර්ග සත්‍යයෙහි ගනු ලබන්නේ තුනෙකි. එබැවින් මෙහි අදහස් කරන සම්‍යක් සංකල්පය දක්වනු පිණිස-

    “තත්ථ කතමො සම්මාසංකප්පො? නෙක්ඛම්ම සංකප්පො, අව්‍යාපාද සංකප්පො, අවිහිංසා සංකප්පො, අයං වුච්චති සම්මාසංකප්පො.”

    යනු වදාරන ලදි. නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන මේ තුන මෙහි අදහස් කරන සම්‍යග් සංකල්පය බව මෙයින් දක්වන ලදි.

    නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය

    යමකින් නික්මීමට-පිටවීමට-මිදීමට-අස්වීමට නෛෂ්ක්‍ර‍ම්‍ය ය යි කියනු ලැබේ. සත්ත්වයෝ වනාහි ඉෂ්ට රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍ර‍ෂ්ටව්‍ය සංඛ්‍යාත පඤ්ච කාමයෙහි ඇලී සිටින්නෝ ය, ගැලී සිටින්නෝ ය, බැඳී සිටින්නෝ ය. පඤ්චකාමයෙහි බැඳී සිටින්නා වූ සත්ත්වයන්ගේ පඤ්චකාමයෙන් මිදී ඉන් බැහැරට යාමට, පඤ්චකාම සංඛ්‍යාත සිරගෙයින් පිට වී යාමට මෙහි නෛෂ්ක්‍ර‍ම්‍ය ය යි කියනු ලැබේ. යම් කල්පනාවකින් සත්ත්වයෝ පඤ්චකාමය හැර ඉන් බැහැරට යෙත් ද හෙවත් පඤ්චකාමයෙහි බැඳී තිබෙන්නා වූ සත්ත්වයාගේ සිත ඉන් බැහැරට යේ ද, ඒ කල්පනාවට මෙහි නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය යි කියනු ලැබේ. පඤ්චකාමයට සිත පමුණුවන්නා වූ තෘෂ්ණා සහගත කල්පනාව කාම සංකල්ප නමි. නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය කාම සංකල්පයට විරුද්ධ ධර්මයකි. එය කාම සංකල්පයාගේ උත්පත්ති හේතුව නසමින් උපදනේ ය.

    මෙය පූර්ව භාගයෙහි පෙහෙවස් විසීම ය, පැවිදි වීම ය, ධූතාංග පිරීම ය, සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම ය යන මේවායින් ලෞකික චිත්තයෙහි උපදවා ගත යුතු ය. පොහොය සිල් සමාදන් වීම ද එක්තරා ප්‍ර‍මාණයකින් කාමයන් හැර දැමීමකි. එබැවින් එය ද නෛෂ්ක්‍ර‍ම්‍යයකි. පැවිදිවීම ධූතාංග රක්ෂා කිරීම හා භාවනාවෙහි යෙදීම ද බොහෝ කාමයන්ගෙන් නික්මීමකි. මේ සඳහා කාම විතර්කයාගේ දොස් මෙනෙහි කිරීම ද මැනවි. මෙසේ කරගෙන යන්නා වූ තැනැත්තා තුළ තදංග වශයෙන් කාම විතර්කයන් ප්‍ර‍හාණය කරන්නා වූ ලෞකික නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය උපදී. විදර්ශනා වැඩීමෙන් මෙය දියුණු තියුණු වීමෙන් මාර්ග චිත්තය පහළ වන්නේ ය. ඒ සමයෙහි මෙය ලෝකෝත්තර බවට පැමිණ මතු නූපදනාකාරයෙන් කාම විතර්කයාගේ උත්පත්ති හේතු නසමින් මාර්ග චිත්තය සමග උපදනේ ය.

    අව්‍යාපාද සංකල්පය

    මනුෂ්‍ය තිරශ්චීනාදි අන්‍ය සත්ත්වයන් හට යහපතක් සැපතක් වනු කැමති බව වූ ද, සැපයක් සලසනු කැමති බව වූ ද, මෛත්‍රිය හා යුක්ත වූ කල්පනාව අව්‍යාපාද සංකල්ප නමි. මෙය අනුනට නපුරක් වනු කැමති බව වූ ද, නපුරක් කරන බව වූ ද ද්වේෂයෙන් යුක්ත කල්පනාව වූ ව්‍යාපාද සංකල්පයට විරුද්ධ වූ ධර්මයකි. ව්‍යාපාද විතර්කයාගේ ආදීනව සැලකීමෙන් ද මෛත්‍රිය වැඩීමෙන් ද අව්‍යාපාද සංකල්පය, මාර්ගයට පූර්වයෙහි ලෞකික වශයෙන් ඇති කරමින් දියුණු කළ යුතු ය. දියුණු වූ කල්හි මාර්ග චිත්තය සමග ලෝකෝත්තර භාවයට පැමිණ ඉපිද ව්‍යාපාද විතර්කයාගේ උත්පත්ති හේතූන් සමුච්ඡේද වශයෙන් නසන්නේ ය.

    අවිහිංසා සංකල්පය

    දුඃඛිත සත්ත්වයන් දුකින් මුදවනු කැමති බව වූ කරුණාව හා යුක්ත වූ කල්පනාව අවිහිංසා සංකල්ප නමි. මෙය අන්‍ය සත්ත්ව පුද්ගලයන්ට හිංසා කරන ස්වභාවය වූ ද්වේෂය හා යුක්ත වූ විහිංසා විතර්කයට ප්‍ර‍තිවිරුද්ධ වූවකි. මෙය උපදනා කල්හි තදංග වශයෙන් හෝ සමුච්ඡේද වශයෙන් හෝ විහිංසා විතර්කයාගේ හේතුව නසමින් උපදනේ ය. මෙය දුඃඛිතයනට උපකාර කිරීම ය, කරුණා භාවනාවෙහි යෙදීම ය, විහිංසාවෙහි ආදීනව සැලකීම ය යනාදියෙන් සන්තානයෙහි නැවත නැවත උපදවා දියුණු කොට ලෝකෝත්තරත්වයට පමුණුවා ගත යුතු ය.

    නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන මේ තුන ලෞකික අවස්ථාවෙහි වෙන් වෙන් වූ සිත් සමඟ, වෙන් වෙන් වූ කෘත්‍ය තුනක් සිදු කරමින් වෙන් වෙන් වූ අවස්ථාවල ධර්ම තුනක් වශයෙන් උපදින නමුත් මාර්ගක්ෂණයෙහි ලෝකෝත්තර භාවයට පැමිණ උපදිනුයේ සම්‍යක් සංකල්පය නමැති එක ම ධර්මයක් වීමෙනි. එයින් නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පාදි සංකල්ප තුනෙන් ම සිදුවන්නා වූ කෘත්‍යයෝ සිදු වන්නාහ. එබැවින් මාර්ග චිත්ත සම්ප්‍ර‍යුක්ත වූ එකක් ම වූ සම්‍යක් සංකල්පය ධර්ම තුනක් සේ වර්ණනා කරනු ලැබේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    සාන්ත ආනා මෑණියනී... පාපීවූ අප උදෙසා... දෙවිදුන් ඉදිරියේ යාච්ඤා කල මැනව.. ආමේන්.. 🙏
     
    • Dislike
    Reactions: Tz4400