සරඹ සහ ලේන් කූඩු

Saamantha

Junior member
  • Dec 14, 2020
    21
    36
    13
    සරඹ සහ ලේන් කූඩු
    ============
    අද ළමයි වගේ නෙමෙයි, ඒ කාලේ අපි හැදුනේ වැඩුණේ හරිම නිදහසේ. ඒ කාලේ අපේ පළවෙනි ටාගට් එකයි, අන්තිම ටාගට් එකයි දෙකම එකයි. ඒ කිව්වේ පළවෙනි ටාගට් එකත් කෑම. අන්තිම ටාගට් එකත් කෑම. හැම තිස්සෙම මොනවා හරි කන්නම තමයි අපි හෙව්වේ. ඇඳුම්, කැඩුම් ගැන අපි එච්චරම කල්පනා කළේ නැහැ. පොඩි කාලේ අපට දිග කලිසන් අදින යාලුවෝ හිටියේම නැති තරම්.

    අපේ අම්මලා අපිට ඉස්කෝලේ යන්න ෂෝටක් මහලා දෙන්නෙත් ෂෝට දෙපැත්තට බකල් දෙකක් අල්ලලා. ඒ බැරි වෙලාවත් අපි මහත් වුනොත් බකල් එක ගාවින් කලිසම පළල් කර ගන්න පුළුවන් නිසා. ඒ වගේම ටේලර්ට කියලා වාටියත් දෙතුන් සැරයක් කරකෝලා හරි ටිකක් පළලට තියලා මහන්නේ බැරි වෙලාවත් අපි උස ගියොත්, වාටිය ගලෝලා දික් කරන්න බලාගෙන. අනේ අපරාදේ කියන්න බැහැ මම නම් කවදාවත් ඔය බකල් වලටවත්, වාටි වලටවත් කරදර කරන්න ගියේ නැහැ.

    අනික ඉතිං අපිට ඒ කාලේ ඉස්කෝලේ ඇදුම් කියලා තිබුණේ කමිසෙයි, බැනියමයි, කොට කලිසමයි, මේස් දෙකයි, සපත්තු දෙකයි විතරයි. ඔය ඇදුම් වලට නවතම අංගයක් එකතු වුනේ හයේ පංතියේදී. ඒක වුනේ මෙන්න මෙහෙමයි…

    හයේ පංතියේ අපට තිබුණු එක විෂයක් තමයි සරඹ. ඉතිං අපට සුමානෙකට දවසක් සරඹ පීරියඩ් එකක් තිබුණා. අපට සරඹ ඉගැන්නුවේ කුලරත්න සර්. කෙටියෙන් කිව්වොත් කුලේ තමයි අපේ සරඹ සර්. සරඹ තියෙන්නේ නුවර පොලිස් ක්‍රීඩාංගණයේ අයිනක තියන පැවිලියන් එක ළඟ. ඉතිං සරඹ පටන් අරගෙන මුල් දවස් වල පංතියේ ඉඳළා සරඹ තියන තැනට යන්න විනාඩි දහයක් විතර යනවා. එන්නත් තවත් විනාඩි දහයක් විතර. සරඹ කරන්න විනාඩි පහයි. ඉතිරි විනාඩි පහළොව යන්නේ වෙන වැඩකට. ඒ ගැන කියන්න කලින් පළවෙනි සරඹ පංතිය ගැන කියලා ඉන්න ඕන.

    ඔන්න ඉතිං අපි පෝළමක් හැදිලා සර් පිටිපස්සෙන් සරඹ කරන තැනට යනවා. සර්රුත් වේවැලත් වන වනා බෑන්ඩ් ලීඩර් වගේ ඉස්සරහින් යනවා. ඔන්න ඉතිං සරඹ කරන තැනට ගියාම අපිව රවුමක හැඩේට හිටවලා සර්රුත් වේවැල හොල්ල හොල්ලා පළවෙනි ප්‍රශ්නේ අපෙන් ඇහුවා.

    “හරි දැන් යටට ඇඳලා ඉන්න අය අත උස්සනවා…”

    ඒ, අපි කවුරුවත් හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නැති ප්‍රශ්නයක්.

    දැන් කොල්ලෝ ඔක්කොම මූණෙන් මූණ බලාගන්නවා.

    සර් ආයම “උස්සනවා අත් උස්සනවා…” කියලා කෑ ගහනවා.

    සර්ගේ කටේ සද්දෙට බය වෙලා, ඒත් එක්කම එකා දෙන්නා අත් උස්සන්න පටන් ගත්තා. ඒ අත් උස්සන විදිහට සර්ට තියා අත් උස්සන එවුන්ටවත් උන් යටට ඇඳලද නැද්ද කියලා විශ්වාස නෑ... නෑ වගේ. අන්තිමට බැලුවාම මුළු පංතියම අත උස්සලා. කොටින්ම මගේ අතත් ඉස්සිලා.

    “හරි දානවා අත් පල්ලෙහාට… ඊළඟ දවසේ මම බලනවා. ඒ නිසා හැමෝම මතක තියා ගන්නවා ලබන සුමානේ එන්න ඕන විදිහ.”

    එදා සරඹ පාඩමට සර් අපට කියලා දුන්නේ යටට නොඇදීමේ ආදිනව ගැන. ඒ අතරින් භයානකම ආදීනවය බැසීමට සම්බන්ධ එකක්. ඔය කාලේ අපිට තිබුණු දැවෙන ප්‍රශ්නය ඒකේ අනික් පැත්ත.

    දැන් ඉතිං කවුරුත් හිතුවේ නැහැ සර් ඔය කීවට ඊළඟ දවසේ සරඹ පාඩම වෙලාවෙදී එදා එයා කියපු දේ කරයි කියලා. ඒත් දෙවෙනි දවසේ රවුම හැදුනු ගමන් සර් නිකම් කොපර කොපර පිපිඤ්ඤා සාම්පලේට එක එකා ගාවට යනවා. හැම එකාම උඩින් හරි යටින් හරි සර්ට යටිතල පහසුකම් පෙන්නන්න ඕන. සර් සෑහීමකට පත් නොවුනොත් වේවැලෙන් පස්ස පැත්තට දෙසඤ්ඤා තමයි. ඔය අතර කොල්ලෝ කීප දෙනෙක්ම සාක්කු පෙන්නලා සර්ව රවුමේ ගෙනිච්චා. ඒ අය ගුටි නොකා බේරුණා. ගුටිකාපු එවුන්ට සරඹ නැහැ. එයාලා පැවිලියන් එකට වෙලා සරඹ කරන එවුන් දිහා බලාගෙන ඉන්න ඕන. ඉතිං සර්ගේ ඉන්ස්පෙක්ෂන් එකට විනාඩි පහළොවක් ගියාම පැවිලියන් එකේ ඉඳගෙන ඉන්න තියෙන්නේ විනාඩි පහයි. අපි හැමෝටම මෙතෙනදී තිබ්බේ එකම එක ප්‍රශ්නයයි. ඒ තමයි යටිතල පහසුකම් ගැන ගෙවල් දැනුවත් කිරීම. මොකද ඒ කාලේ අපි හැමෝම වගේ හරිම ලැජ්ජා බයට හැදුනු අයනේ.

    මාත් ඉතිං සුමාන දෙක තුනක් කිසි ගැටළුවක් නැතිව සරඹ කළා. ඒත් ඉතිං හතරවෙනි දවසේ සාක්කු මැජික් එක දාන්න ගිහින් වැඩේ ගැස්සුනා. ඒ වෙලාවේ මට මාවයි, ශක්‍රයාවයි පැටලුනා වගේ වුනා. සර්ගේ වේවැල් පාරවල් දෙක හරියට මගේ දුකට පුං ගැහුවා වගේ දැනුනා. මනුස්ස ලෝකේ කාටහරි දුකක් ඇතිවුනාම ශක්‍රයාගේ පඩුපුල් ආසනේ රත් වුනාමත් ඒ වගේ ඇති.

    අන්තිමට ඊළඟට සරඹ තියන දාට කලින් දවස වෙනකම්ම කල්පනා කලේ යටිතල පහසුකම් ලබාගැනීම උදෙසා බලධාරීන්ව දැනුවත් කරන්න ඕන ක්‍රමයක් ගැන. කුලේගෙන් ගුටිකෑම බලධාරීන්ගෙන් යටිතල පහසුකම් ඉල්ලීමට වඩා සැපයි කියා දැනුනු වාර අනන්තයි. ඒත් ඉතිං අන්තිමට බැරිම තැන හෙට සරඹ නම්, අද පුරුෂ ධෛර්යය අරගෙන අම්මාට දැවෙන ප්‍රශ්නය කියලා දැම්මා.
    අම්මා හිනා වෙලා “දැන් පුතා නිදා ගන්න, මම හෙට උදේට එකක් මහලා දෙන්නම්” කියලා කීවා.

    උදේ නැගිටලා අම්මා මහලා තිබ්බ අලුත් ආම්පන්නේ අතට ගත්තාම තමයි මට තරු පෙනුනේ. ඒක නිකන් රිවිරැස පත්තරේ ප්‍රේහේලිකාව වගේ එකක්. ඒකේ තිබුණේ එක කකුලයි. අනික් පැත්තේ පටි හතරක්. මගේ මූණ හතරැස් වෙනවා දැකලා අම්මාම කියලා දුන්නා ඒක අඳින විදිහ. ඒකත් නිකං අර බකල් දාලා කලිසම් මහනවා වගේ ජීවිත කාලෙටම එකයි සයිස් එකේ ආම්පන්නයක්. උන්නා හැටියට මළා මදෑ කියන්නැහේ එදා සරඹ පීරියඩ් එකටත් කලින්ම මම සරඹ වලට රෙඩී වුනේ නිකන් ලෝඩ් වගේ. ඒ වගේම පෝළිමේ ඉස්සරහින්ම ගිහින් සර් ළඟින්ම හිටගත්තා. කොහොම වුනත් කුලරත්න සර්ට පින්සිද්ධ වෙන්න දැවෙන ප්‍රශ්න දෙකකටම විසඳුම් ලැබුණා. එදා ඉදන් අද වෙනකම් ඉඳහිට හරි කුලේ අමතක වෙන්නේ හරිම කලාතුරකින්. (මේ කියන කුලරත්න සර් ගැන ලියන්න රසවත් සිද්ධි කිහිපයක්ම තියනවා.)

    පස්සේ කාලෙක කීප වතාවක්ම යටිතල පහසුකම් නැතිව සරඹ කිරීමේ ආදිනව විඳින්න වුනේ ඉස්පිරිතාලවල. ඒ වෙලාවලත් මට මතක් වුනේ කුලරත්න සර්ව.

    තවත් දවසක් මම වැඩ ඇරිලා කොටුවේ ඉදන් පිටකොටුව පැත්තට එකකොට පේමන්ට් එකේ ලෑල්ලක් උඩ ඉදන් එකෙක් කෑ ගහනවා. මිනිහා එක අතක් උස්සලා “ටූ ඉන් වන්” කියලා කෑ ගහනවා. ඊට පස්සේ අනික් අත උස්සලා “ත්‍රී ඉන් වන්” කියලා අන්තිමට “ලාබයි… ලාබයි… ලාබයි…” කියනවා. එදත් මට මතක් වුනේ කුලරත්න සර්ව.

    තවත් දවසක් පිටකොටුවෙම තවත් අය්යා කෙනෙක් කෑ ගහනවා… “ලාබයි… ලාබයි… ලාබයි… ලේනාට කූඩුවක්… උකුන්ට තොප්පියක්… ලේනාට කූඩුවක්… උකුන්ට තොප්පියක්…” කියලා. එදත් මට මතක් වුනේ කුලරත්න සර්ව.

    ආයිම දවසක් අපේ ඔපිස් එකෙන් බහින තැනම කොටුවේ පරණ තැපැල් කන්තෝරුව ඉස්සරහා පේමන්ට් එකේ මනුස්සයෙක් කෑ ගැහුවේ මෙහෙම.
    “චන්ඩියා මෙල්ල කරයි… චන්ඩියා මෙල්ල කරයි… ලාබයි… ලාබයි… ලාබයි…”

    එදත් මට මතක් වුනේ කුලරත්න සර්ව.

    © සාමන්ත තැන්නගේ ‍| Saamantha Tennege | 24 Nov 2020 (FOLLOW ME ON FACEBOOK https://www.facebook.com/saamantha.tennege/)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,705
    113
    හරි ලැජ්ජයි බන් ඉස්සර.ගෙදර තිබ්බත් අඳින්න කම්මැළි.
    ඉඳලා හිටලා අඳිනවා ජොකා.
    බස් එකේදී අක්කලා ගැට අතුල්ලද්දී ලේ පිරෙනවා තේරෙනවා.... චූටි පොම්පෙට. 😂😁
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    😂😂
    වේවැලෙන් ගැහුවම රිදෙනවද බං ඔය කියන තරන්. මම නං කාලම නෑ