සර්ප_විසකදී ප්‍රතිකාර

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    සර්ප_විසකදී ප්‍රතිකාර

    මේ දවස් වල ගිනිකාස්ට අව්ව මදිවට රෑටත් ගෙයක් ඇතුලේ ඉන්න බැරි තරම් රස්නේ. වැහි වලාවක් පේනතෙක් මානෙක නෑ. තුන්වෙනි පාරටත් නාලා ඩෙනිමට උඩින් ෂර්ට් එක දාගත්ත මම වාට්ටුව පැත්තට දිව්වේ ඒ මගේ oncall night එක නිසා. අනිත් වෛද්‍යවරයා 10ට වැඩ භාර දීලා ගෙදර යන්න බලන් ඉන්නවා ඇති. කොහොම හරි වෙනදා වගේම රෑ දොලහ වෙනකන් වටේ තියෙන පොඩි ඉස්පිරිතාල වලින් රෑට එවන ලෙඩ්ඩු ටික බාර ගත්තු මම වාට්ටුවේ oncall room එකට ගියේ පැයක් වත් නිදාගන්න කියලා හිතාගෙන.

    ඒත් ඉතින් හැමදාම වගේ නිදන්න උනේ නෑ.

    මුලු ඇඟම හිරිවැටිලා යන ඉන්ටකොම් ටෙලිපෝනයේ සද්දෙට මම ඇහැරුනේ උඩ ගිහිල්ලා.

    “ඩොක්ට snake bite එකක් female ward එකට ඇවිත්. සර්පයා කාපු කකුලේ පාට නම් එච්චර හරි නෑ.” හෙදිය එහා පැත්තෙන් කිව්වා.
    ඉක්මණට මම කාමරෙන් එළියට ඇදුනේ මොන සර්පයා කාලද දන්නේ නෑ කියලා හිත හිත.

    වයස අවුරුදු විස්සක් විතර පෙනෙන තරුණියක් acute side එකේ ඉස්සරහම ඇඳේ හාන්සි වෙලා හිටියා.

    “මොකද උනේ?” මම ටිකට් එක අතට ගන්න ගමන් ඇහුවා.

    ඩොක්ට මම එළියේ තිබුන පුටුවක් උඩ තියලා තිබුනු රෙදි වගයක් ගන්න ගියා. ඒක අස්සේ ඉඳලා කෑවේ. පොඩි පැටියෙක්.

    “සර්පයාගේ ප්‍රමාණයෙන් විස අඩුයි කියන්න බෑනේ. මිස් WBCT (20 minute Whole Blood Clotting Time: පහසුකම් අඩු රෝහල් වල සර්ප විෂ නිසා රෝගියාගේ රුධිරය කැටිගැසීම ප්‍රමාදවී ඇත්දැයි බැලීමට කරන සරල පරීක්ෂණයක්) එකට blood එක ගත්තා නේද?”

    රුධිර පරීක්ෂණයට රුධිරය ගත්තාද කියලා තහවුරු කරගන්න මම ඇහුවා.
    “ඔව් ඩොක්ට PC‍U එකෙන් අරන් එවලා තිබ්බා. විනාඩි 20 සම්පූර්ණ වෙන්නේ 1.10ට.”

    නැවත ලෙඩාට හැරුනු මම: “සර්පයාව දැක්කද? සර්පයාව ගෙනාවද?”

    සර්පයෙක් කාලා ආවහම වෛද්‍යවරු විදියට අපි මුලින්ම කරන්නේ නිවැරදිව සර්පයාව නිවැරදිව හඳුනා ගැනීම.

    ලංකාවේ දැනට හඳුනාගෙන තිබෙන සර්ප විශේෂ 104 අතරින් ගොඩබිම මාරාන්තික විෂ සහිත සර්ප විශේෂ 5ක් සහ මද විෂ සහිත විශේෂ 2ක් ඉන්නවා.

    1. නයා (Cobra)
    2. තෙල් කරවලා / මග මරුවා (Common krait)
    3. දුනු / මුදු කරවලා (Sri Lankan krait)
    4. තිත් පොළඟා (Russell’s viper)
    5. වැලි පොළඟා (Saw - scaled viper)

    6. පොළොන් තෙලිස්සා / කුණ කටුවා (Hump - nosed viper)
    7. පළා පොළඟා (Green pit viper)

    ඒ ඒ සර්පයාගේ ආවේනික ලක්ෂණ වලින් හඳුනාගන්න පුලුවන්.

    ඇය සමඟ පැමිණි ඇගේ පවුලේ අයෙක් සිලි උරයක තිබූ දෙයක් මා ඉදිරියේ බිමට හැලුවා. ප්‍රාණ නිරුද්ධ ඒ සර්පයාගේ ලක්ෂණ වලින් ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්‍යාවකට වග කියන උස් කඳුකර ප්‍රදේශ හැර අන් සෑම ප්‍රදේශයකම නිතර දක්නට ලැබෙන තිත් පොළඟ‍ෙකු බව තේරුම් ගන්නට මට වැඩි වේලාවක් ගියේ නෑ.

    නමුත් ඇගේ දෂ්ඨ කිරීමට ලක්වුනු කකුල නිල් පැහැ ගැන්වී තිබීම මට එතරම් ඇල්ලුවේ නෑ.

    “කීයට විතරද සර්පයා කැවේ?”

    හවස 7ට විතර ඩොක්ට. මම නැවතත් බිත්ති ඔරලොසුව දෙස බැලීමි. පාන්දර එක පසු වන්නට ඔන්න මෙන්න.

    “මෙච්චර වෙලා මොකද කළේ? දැන් පැය 6කටත් වැඩිය ගිහින්නේ?”

    කාපු වෙලේම කකුලට උඩින් තද කරලා රෙදි පටියක් බැඳ ගෙන වෙද මහත්තයෙක් ගාවට ගියා. එයා විස උරලා අහක් කලා. ඊට පස්සේ ගෙදර ගියා. ඒත් රෑ වෙද්දි කැක්කුම වැඩියි. ඇඟට තෙහෙට්ටුයි. ඒකයි ඉස්පිරිතාලෙට ආවේ.

    කකුල නිල් වන්නට හේතු කල්පනා කර කර සිටි මාහට එකවරම සිදුවී ඇති දේ තේරුනා. පරීක්ෂා කර බැලූ මට ගවුමට ඉහළින් නොපෙනෙන්න රෙදි පටියක් ගැටගසා තිබෙනු නිරීක්ෂණය වූවා. රෙදි පටි ගැට ගැසීමෙන් විෂ රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ පැතිරෙන එක අවම වෙයි කියලා හිතලා ගමේ අය රෙදි ගැටගැහුවත් ඊට වඩා පාදයකට රුධිර සැපයුම අවහිර වීම එම පාදය මිය යාමට හේතු විය හැකියි. ඒනිසා මේ ක්‍රියාව දැනට වෛද්‍යවරු අනුමත කරන්නේ නෑ.

    “මිස් රෙදි පටිය ඉක්මණට කපලා අයින් කරන්න.”

    අපේ අය මේ විදියට සර්පයෙක් කෑවම කරන වෛද්‍යවරු අනුමත නොකරන ගොඩ වෙදකම් ගොඩක් තියෙනවා. මම දේශීය වෙදකම කිසිම ආකාරයකින් පහත් කර සළකනවා නෙවෙයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඒ සමහර දේවල් හොඳකට වඩා නරකක් තමයි කරන්නේ.

    1. රුධිර සංසරණය අක්‍රිය කිරීමට රෙදි පටි හෝ වෙනත් දෙයක් ගැට ගැසීම සිදු නොකරන්න.
    2. ඇස්ප්‍රීන් වැනි ඖෂධ රුධිරය කැටි ගැසීම ප්‍රමාද කරන නිසා වේදනා නාශක ලෙස ලබා නොදෙන්න.
    3. දෂ්ඨනයට ලක්වු ස්ථානය කපා/උරා විෂ ඉවත් නොකරන්න.
    4. ගෙදර ඇති වෙනත් බෙහෙත් වර්ග තුවාලයට නොදමන්න.
    5. තැඹිලි වතුර, කුරුම්බා වතුර, අරිෂ්ඨ, කසාය වර්ග වල පොටෑසියම් ඇති නිසා ඒවා ලබා නොදෙන්න. කිසිවිටෙකත් මධ්‍යසාර ලබා නොදෙන්න.

    “අපි ඉතින් ඕවා ගැන දැනුවත් නෑනේ මහත්තයෝ. ඉතින් සර්පයෙක් කෑවහම අපි මොකද කරන්න ඕන?”

    ගෙදර අයෙක් ගෙන් වැදගත් ගැටලුවක් යොමු උනා. අඩ නින්දේ හිටි මම ටිකක් කල්පනා කරේ නොකර ඉන්න දෙයක් කියනවා නම් කළ යුතු දේත් කිව්වා නම් නේද වඩාත් සුදුසු කියලා.

    ඇත්ත. ගෙදරදි සර්පයෙක් කෑවාම කරන්න ඕන ප්‍රථමාධාර කීපයක් තියෙනවා.

    1. සර්පයෙක් කෑවාම ඕනම කෙනෙක් කලබල වෙනවා. ඉතින් මුල්ම දේ අදාළ පුද්ගලයා සන්සුන් කරන එක. ඒක විෂ ශරීරය තුළ පැතිරෙන එක අඩු කරන්නත් දායක වෙනවා.
    2. රෝගියා නොසෙල්වා තබාගන්න ඕන. විශේෂයෙන් දෂ්ඨනයට ලක්වූ කොටස.
    3. වීෂ ශරීර ගත වීමේදී ඉදිමීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන නිසා මුදු, වළලු, ඔරලෝසු වැනි දෑ කලින් ගලවා ඉවත් කිරීම වැදගත්.
    4. තුවාලය සබන් යොදා ගලා යන ජලයෙන් සෝදන්න.
    5. වැදගත්ම දේ සර්පයාව රැගෙන රෝගියාව රෝහලට ගෙනඒම (මරා හෝ සජිවීව) අඩුම වශයෙන් ජංගම දුරකතනයෙක් පැහැදිලිව පෙනෙන ඡායාරූපයක් වුනත් වෙලාවේ හැටියට ප්‍රමාණවත්.

    “සර්පයෝ ඔක්කොටම එකම බේත් නෙවෙයිද ඩොක්ට? ඇයි හඳුනා ගැනීම වැදගත්?”

    ඒ ඒ සර්පයන්ගේ විෂ වෙනස්. ඒවයින් ඇතිවෙන රෝග ලක්ෂණ වෙනස්. විෂ වලින් සැලකිය යුතු බලපෑමක් වුනොත් ලබා දෙන්න පුලුවන් ප්‍රතිවිෂ ලබා දීමෙත් අදාළ සර්පයා තහවුරු කරගන්න අවශ්‍යයි. මොකද හැම සර්ප විශේෂයටම දැනට ප්‍රතිවිෂ නිපදවලා නැති නිසා.

    “දැන් එතකොට ප්‍රතිකාර කොහොමද ඩොක්ට?”

    දැනට තුවාලයේ වේදනාව සහ ඉදිමීමට පමණයි මූලිකවම ප්‍රතිකාර කෙරෙන්නේ. අපි රෝගියාට වෙනත් විෂ ශරීරගත වීමේ ලක්ෂණ පහළ උනොත් විතරයි ප්‍රතිවිෂ ලබා දීම ගැන සළකා බලන්නේ. මොකද ප්‍රතිවිෂ වලට උනත් ආසාත්මික වෙන්න පුලුවන්. ඒක ඊට වඩා භයානකයි.
    රෝගියාගේ වැඩි ගැටලුවක් පරික්ෂා කිරීමේදී නොපෙනුන නිසා මම වැඩ අවසන් කරලා මිස් දිහාවට හැරුනේ රුධිර පරීක්ෂණයේ ප්‍රතිඵල දැනගන්න වෙලා හරි නිසා.

    “ඩොක්ට blood එක නම් සම්පූර්ණයෙන් clot වෙලා. මොකද කරන්නේ.” රුධිරය දැමූ නළය උඩු යටිකුරු කරමින් ඈ කීවා.

    සර්ප විෂ වල ප්‍රධානම රෝග ලක්ෂණයක් වෙන්නේ රුධිර කැටිගැසීමේ හැකියාව අඩුවීම. මේ නිසා රෝගියාට මළ මුත්‍ර සමඟ විදුරුමසින් සමෙන් හෝ ශරීර අභ්‍යන්තරයට රුධිර ගැලීමක් සිදුවී මරණයට ලක්විය හැකියි.
    “අපි තව පැය කීපයකින් නැවත ලේ අරගෙන බලමු. ඊට අමතරව කොහෙන් හරි ලේ යනවා නම් අපිට කියන්න.”

    මම රෝගියාව දැනුවත් කර නැවත කාමරයට ආවා එතකන් විවේක ගැනීමේ අරමුණින්.

    නින්දට වැටෙනවාත් සමඟ නැවතත් දුරකථනය නාද වෙන්නට වුනා.

    සත්‍ය සිදුවීමකි.

    නම් ගම් මනඃකල්පිතයි.

    වෛද්‍ය චන්දිම ජයසිංහ [28-04-2018]



    8AA6omu.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඕකුන් රෙදි ගොඩවල් අස්සෙම තමා ඉන්නේ.මට මතකයි ඔයිට කලිනුත් ඔය වගේම සිද්ධියක් උනා.ඒ නම් කරවලෙක්ද කොහෙද.