ඔබ සියලුදෙනා අටවිසි බුදුවරුන් පිළිබඳ අසා තිබෙනවා. මේ ලෝකයේ පහළ වුණ තවත් බුදුවරුන් පිළිබඳ අප වෙන කිසිවක් දන්නේ නැහැ. දිනක් බුදුරජාණන්වහන්සේ නර්මදා නදිය අසල වැඩ සිටිද්දී එතැනට පැමිණි බමුණකු බුදුරජාණන් වහන්සේගෙන් පැනයක් අහනවා. ස්වාමිනී අතීතයේ මේ ලෝකයේ බුදුරාජාණන් වහන්සේලා කී නමක් පහළ වී තිබෙනවාද?
මදක් කල්පනා කරන බුදුරජාණන්වහන්සේ බමුණාට මෙලෙස පිළිතුරු දෙනවා. බමුණ ඔබට පුළුවන්ද මේ නර්මදා නදිෙය තිබෙන වැලිකැට ප්‍රමාණය මෙතකැයි කියා කියන්නට බුදුරාජාණන් වහන්සේ බමුණාගෙන් ප්‍රශ්න කරනවා. එය කිව නොහැකියි. ස්වාමීනි බමුණා පිළිතුරු දෙනවා. නර්මදා නදියෙ තිබෙන වැලිකැට ප්‍රමාණය කියන්නට බැහැ වාගේම අතීතයේ බුදු රාජාණන් වහන්සේලා පහළ වී තිබුණේ මෙපණකැයි කිව නොහැකියි බමුණ කියා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා.
එයින් පැහැදිලි වන්නේ අතීතයේ බුදුරාජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් මේ ලෝක ධාතුව තුළ පහළ වී තිබෙන බවයි. එසේ නම් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනක් පසුකරගෙන පැමිණියා. ඒ පැමිණියා වූ දීර්ඝ භවගමන පිළිබඳ බුදුරජාණන් වහන්සේ දීර්ඝ උපමාවකින් මෙසේ පැහැදිලිකර තිබෙනවා.
මේ මහපොළොවෙහි තිබෙන පස් වෙරළුගෙඩි ගණනට ගුලි කරන්න. එයින් එක ගෙඩිය බැගින් ගෙන මම ගෙවාගෙන ආ පළමු කල්පය දෙවැනි කල්පය යනුවෙන් ඉවත් කරන්න. එයට මුළු පොළොවෙහිම ගුලි කළ පස් ප්‍රමාණය අවසන් ෙවයි. නමුත් පසු කරගෙන ආ කල්ප ගණන අවසන් නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙනවා.
සාරා සංඛ කල්ප ලක්ෂ සියයක් කෝටි ප්‍රකෝටි ගණනක් ඈත සිටන්ම පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපෙදමින් නැවතත් මැරෙමින් ඉපෙදෙමින් කුසල් සංස්කාරයන් අකුසල් සංස්කාරයන් නිසා දුකත් සැපත් අතර දෝලනය වෙමින් මෙය එසේ පැමිණියා වූ ගමනක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
ඒ පැමිණියා වූ භව ගමනේ දී සැම කෙනෙක්ම සක්විති රජ වී සිටි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැම කෙනෙකුම මේ ලෝක ධාතුවේ සැපයක් කියා ෙදයක් ලබන්නට තිබෙනවා නම් ඒ සෑම සැපයක්ම භූක්ති විඳයි මෙතැනට පැමිණ තිබෙන්නේ කියා බුදුරාජාණන්වහන්සේ දේශනා කරනවා.
ඒ වාගේම අකුසල් නිසා ඔබත් මමත් කල්ප ගණන් නිරයේ දුක්විඳ තිබෙනවා. කල්ප ගණන් ප්‍රේත ලෝකවල ඉපදී දුක් විඳ තිබෙන බව ගෞතම බුදුහිමියන් පැහැදිලි කර දෙනවා.
වින්දා වූ ඒ දුක පිළිබඳ බුදුරාජාණන් වහන්සේ මේ ආකාරයට උපමාවකින් අවබෝධ කොට දෙනවා. ඔබත් මමත් තිරිසන් ලෝකයන්හි ඉපදී වින්දා වූ දුක් ප්‍රමාණය කොතරම්ද කියනවා නම් මිනිසුන් ගෙල සිඳ මරා අනුභව කරද් දී ගලා ගිය රුධිරය මහ සාගරයේ ජලයට වඩා ප්‍රමාණයෙන් වැඩියි.
එසේ නම් මේ පැමිණියා වූ දීර්ඝ භව ගමනෙහි ඒ අප්‍රමාණ දුක් කන්දරාවක් අපි අත්විඳ තිබෙනවා.
මේ සංසාර භය, මේ සසර ගැඹුර අපට මතු කර දෙන්නෙ ශ්‍රද්ධාව විසින්මයි. මෙසේ පැහැදිලි කරන බුදුරාජාණන් වහන්සේ වදාළේ අතීතයේ සාරා සංඛේය කල්ප ලක්ෂ ගණනක් ගෙවා අප මෙතෙක් පැමිණියා මෙන් අතීතයේ බුදුරජාණන්වහන්සේලා ලක්ෂ ගණනක් බුද්ධත්වයට පත්වු අතර අනාගතයේදීත් බුදුරජාණන්වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වන බවයි.
එයින් කියැවෙන්නේ මේ ලෝකය තවත් කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් ඇතට ගලාගෙන යන බවයි. නැවතීමක් නැත. නිමාවක් නැත. අවසානයක් නැත.
ලොව්තුරා බුදුරාජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ මේ ලෝක යථාර්ථය පහදා දෙන්නට. මේ ධර්මයෙන් ඔබ ප්‍රයෝජනයක් නොගත්තොත් අර සා දුරක් ඔබට තවත් සංසාරයේ ගමන් කරන්නට තිබෙන බවයි බුදුරජාණන් වහන්සේ අපට මතුකර දක්වන්නේ.
මේ දීර්ඝ සංසාර ගමන යන්නට යමෙකු ප්‍රිය නම් ඔහුට හෝ ඇයට ඒ ගමන යාමට හැකියි. යමෙක් එසේ යන්නට සුදානම් වනවා නම් ඔවුන් කරාණා දෙකක් සඳහා සුදානම් විය යුතු බව බුදුරාජාණන් වහන්සේ පැහැදිලි කරනවා.
කුමක්ද මේ කාරණා ද්විත්වය. ඉන් එකක් වන්නේ දුකයි. අනෙක සැපයි. එසේත් නැතිනම් සුගතිය හා දුගතියයි මේ සුගතියත් දුගතියත් අතර දෝලනය වෙමින් ඔබට තව කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් ඈතට ගමන් කළ හැකියි.
එහෙත් අවශ්‍ය වන්නේ තව තවත් සසර ගමන දීර්ඝ කර ගැනීම නොවේ. අවශ්‍ය වන්නේ සසර ගමන හැකිතාක් කෙටිකර ගැනීමයි. සිතන්න ඔබම තීරණය කරන්න. සසර ගමන කෙටි කරගන්නවාද එසේත් නැතිනම් තව තවත් සසර ගමන දිගු කරගන්නවාද? තීරණය ඔබ සතුයි.
http://www.maharahathunwadimagaosse.org/nivan-maga-wetha-15/
