සෆාරි බිස්‌නස්‌ එකෙන් කුඩු බිස්‌නස්‌

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සෆාරි බිස්‌නස්‌ එකෙන් කුඩු බිස්‌නස්‌

    දවසක ආදායම ලක්‍ෂයයි; සෆාරි බිස්‌නස්‌ එකෙන් කුඩු බිස්‌නස්‌ සවාරි ගිය චණ්‌ඩි




    තරංග රත්නවීර
    තාත්තා ඉඩම් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙක්‌ පුතා කුඩු ජාවාරම්කාරයෙක්‌...
    n2-5.jpg
    පැල්මඬුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානය කුඩු නිසා වැනසුණු ජීවිත සුවපත් කරන වෙද පන්සලකි. එම වෙද පන්සලේ ජීවකයාණෝ කුප්පියාවත්තේ බෝදානන්ද හාමුදුරුවෝය. උන්වහන්සේ කුඩු බී විනාශ වූ තරුණ ජීවිත සුවපත් කිරීමට බෙහෙත් ගුලි, කසාය, අරිෂ්ට ලබා නොදෙති. මානුෂීය, සදාචාරාත්මක, සංස්‌කෘතික සහ ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ තුළින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් විශෝධනය කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක්‌ සහ ආර්ථීක ස්‌ථාවරත්වය තුළින් පුද්ගලයන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැළැක්‌වීම සඳහා සුමඟට යොමු කිරීම මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානයේ වෙදකමය. මේ වන විට එසේ ප්‍රතිකාර ලබා සුවපත් වී එම විශෝධන මධ්‍යස්‌ථානයෙන් පිටව ගිය තරුණයන් තුන් හාරදාහකට වැඩිය. පසුගිය දිනක අප එම විශෝධන මධ්‍යස්‌ථානයට යන විටත් මත්ලෝලි තරුණයන් සියයකට ආසන්න පිරිසක්‌ ප්‍රතිකාර ලබමින් සිටියහ. ඔවුන් සියලු දෙනා වයස අවුරුදු තිහට නොවැඩි, රටට වැඩ ඇති තරුණයෝය. එහෙත් කුඩු පිළිලය එම තරුණයන්ව වැඩකට නැති ගානට පත් කර තිබිණි. එම තරුණ ජීවිත මත් වී ඇති ආකාරය එකිනෙකට වෙනස්‌ වුවද, කතාව ඇසෙන විට සිත මහ දුකකින් පිරිණි. එහෙත් මතට ඇබ්බැහි වූ කතා බොහෝමයක්‌ අපි ඇසුවෙමු. මෙතැන් සිට පෙළගැසෙන්නේ එම කතාවලින් තෝරාගත් කිහිපයකි. මේ එම කතා මාලාවේ දහවැනි වැනි කොටසය. පෙළගැසෙන මේ කතා මාලාව කියවා වින්දනයක්‌ ලබාගැනීමට නොවේ, ජීවිතවලට පාඩමක්‌ කරගැනීමට පමණි.


    n2-2.jpg

    මේ තරුණයා ඇල්පිටිය ප්‍රදේශයේ ඉඩම් හිමි ව්‍යාපාරිකයකුගේ එකම පුතාය. සුරවිමනක සැපට උස්‌මහත් වූ ඔහු කුඩා කාලයේ සිටම දඟයෙකි. සෙල්ලක්‌කාරයෙකි. එහෙත් ඔහු පොතපතේ වැඩවලට දක්‍ෂයෙක්‌ විය. ගමේ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වී අම්බලන්ගොඩ ප්‍රසිද්ධ පාසලකට ඇතුළත් වූ ඔහු එම පාසලේදී සාමාන්‍ය පෙළ කඩඉම ද ඉහළින්ම සමත් විය. එහෙත් ඔහු ඒ වන විට වැරැදි පාරට හැරී තිබිණි. විභාග ප්‍රතිඵල ලැබෙන මාස කිහිපයට සියලු දුරාචාරයන්වල යෙදිණි. අවසානයේ ඔහු මෙරට පමණක්‌ නොව විදේශීය රටවල ද කුඩු ජාවාරම් කළේය. අන්තිමේ ඔහු පැල්මඬුල්ල මිතුරු මිතුරෝ මධ්‍යස්‌ථානයේ නතර විය. දැන් ඔහුට අපි චණ්‌ඩි ලෙස නම් තබමු. මේ චණ්‌ඩි කියන කතාවය...

    ''මම සිගරට්‌, අරක්‌කු ගංජා බොන්න පුරුදු වුණේ එකොළහ වසර පන්තියේ ඉගෙනගන්න කාලේ. මට අද වගේ මතකයි. අපි මුලින්ම අරක්‌කු, සිගරට්‌ බිව්ව දවස. එදා යාළුවකුගේ අයියා කෙනෙක්‌ නැති වෙලා අපි මළගෙදර ගියා. එදා තමයි මම යාළුවොත් එක්‌ක රැයක්‌ ගත කරපු පළමු දිනය. අපි හයදෙනෙකුට ගත්තේ අරක්‌කු කාලයි. සිගරට්‌ පැකට්‌ එකයි. බීච් එකට ගිහින් අරක්‌කු කාල බිව්වා. සිගරට්‌ පෙට්‌ටියත් ඉවර කළා. අපි සේරටම හොඳ පදම්. ඒත් අපි විකාර නැටුවේ නෑ. කොඩි වැල් අදින්න උදව් කරගෙන ළමයි විදිහට හිටියා. ඒත් අරක්‌කු, සිගරට්‌ බොන එක ඒ රාත්‍රියෙන් නතර කළේ නෑ. ඊට පහුවෙනිදා අපි අරක්‌කු බෝතලයක්‌ අරගෙන හවස ඉස්‌කෝලේ තියාගෙන බිව්වා. ඊට පස්‌සේ සතියකට දවසක්‌ වගේ අරක්‌කු බිව්වා. දවස ගානේ සිගරට්‌ බිව්වා. ඒ අතර යාළුවො ගංජා චුට්‌ට, චුට්‌ටත් අරගෙන ඇවිත් ඔතලා බිව්වා. සාමාන්‍ය පෙළ විභාගය ලියලා ගෙදර ඉන්න මාස කිහිපයේ යාළුවොත් එක්‌ක සෙට්‌ වෙලා හොඳටම ආතල් ගත්තා. බීලා වැඩි වෙලා මිනිස්‌සු එක්‌ක රණ්‌ඩු වුණා. කපා කොටා ගත්තා. මිනී මැරුම්වලට සැකකරුවන් වුණා. මම වැරැදි ගමනක්‌ යන විත්තිය තාත්තා තේරුම් ගත්තා. අන්තිමේ තාත්තා මාව රාජගිරියේ බාප්පලාගේ ගෙදර නතර කළා. උසස්‌ පෙළ කරන්න රාජගිරියේ පාසලට ඇතුළත් කළා...''

    ''ඒ පාසල මත්ද්‍රව්‍ය විමානයක්‌. මට නිකං ඉබ්බා දියේ දැම්මා වගේ වුණා. සෙට්‌ වුණ යාළුවොත් හොඳ බෙබාලා. ඇති වෙන්න මත් වුණා. ඉස්‌කෝලේ උගන්වන කිසිම දෙයක්‌ ඔලුවට වැටුණේ නෑ. දහතුන වසර පන්තියේ අන්තිම මාස කිහිපයේදී රාජගිරිය, ඔබේසේකරපුර යාළුවෙක්‌ මට සෙට්‌ වුණා. එයා තමයි මට මුලින්ම කුඩු බොන්න දුන්නේ. ඒත් මුලදි මට කුඩුවලින් ලොකු ෆිලින් එකක්‌ දැනුණේ නෑ. ඒ නිසා කුඩුවලට මගේ ලොකු කැමැත්තක්‌ තිබුණේ නෑ. එතකොට මම හොඳටම ඇඩික්‌ වෙලා හිටියේ ගංජාවලට. ඒ මොන දේ කළත් මම උසස්‌ පෙළ විභාගයත් ගොඩ දාගත්තා. වාණිජ අංශයෙන් සී එකයි එස්‌ දෙකක්‌ දාගත්තා. විභාගය ඉවර වෙලා හිටිය මාස කිහිපයේදී තනිකරම නැටුවේ පිස්‌සු. බාප්පට වාහන තුනක්‌ තිබුණා. එක වාහනයකින් බාප්පයි, පුංචියි උදේට ඔෆිස්‌ යනවා. බාප්පලා ගෙදරින් ගියාට පස්‌සේ වාහනයක්‌ අරගෙන මමත් කොල්ලො එක්‌ක රෝන්දේ ගැහුවා. දවස ගානේ කුඩු බොන්න පටන් ගත්තා. සමහර දවසට කුඩු, ගංජා, පෙති තුනම බිව්වා. මොළේ විකාර වෙලා කරන්නේ මොනවද කියලා තේරුමක්‌ නෑ. කොල්ලො එක්‌ක රණ්‌ඩු ඇති කරගත්තා. ගෑනු එක්‌ක ආතල් ගත්තා. සමහර දවසට අපි සෙට්‌ එක කෙල්ලො දෙතුන් දෙනා අරගෙන ගිහින් ඒ අයට අරක්‌කු, ගංජා, පෙති ගස්‌සලා උන් නටන පිස්‌සු බලලා ආතල් ගත්තා. කෙල්ලෝ හොඳටම මත් වුණහම කොල්ලන්ට වඩා ආතල්. තනිකරම නටන්නේ පිස්‌සු. මත් වෙලා ඉන්න අපිට කෙල්ලන්ගේ පිස්‌සු ඩාන්ස්‌ ආතල්. සිහිබුද්ධියෙන් බලාගෙන ඉන්න කෙනෙකුට අප්පිරියයි. කොහොමහරි මාස තුන, හතරක්‌ යනකොට මගේ බැංකු පොතේ සල්ලි හිඳුණා. එතකොටත් මම ලක්‍ෂ පහකට වඩා නාස්‌ති කරලා ඉවරයි...''

    ''ඒ වෙනකොට මට ගමට යන්නත් බෑ. කේස්‌ ගොඩයි. පස්‌සේ තාත්තයි, බාප්පයි කතා වෙලා මාව කාටාර්වලට යෑව්වා. මම දෝහාකටාර්වලට ගියේ 2010 අවුරුද්දේ. ඒ යනකොටත් මම ප්ලයිට්‌ එකෙත් කුඩු අරගෙන ගියා. මට ජොබ් එක සෙට්‌ වුණේ වරායේ රෙස්‌ටුරන්ට්‌ එකක. මම වැඩ කළේ බාර්මන් කෙනෙක්‌ විදිහට. එකත් මගේ අවාසනාවටම සෙට්‌ වෙච්ච ජොබ් එකක්‌. නැව්වලින් බැහැලා එන සේරම එන්නේ අපි ළඟට. එක, එක ජාතිකාරයෝ. ලෝකේ තියෙන හැම මත්ද්‍රව්‍යයක්‌ම අපි ළඟට ආවා. ඒ හැම මත්ද්‍රව්‍යයක්‌ම පාවිච්චි කළා. ඔහොම ඉන්නකොට දවසක්‌ වරායේ ඉලෙක්‌ටි්‍රකල්ස්‌ අංශයේ වැඩ කරපු ලංකාවේ කෙනෙක්‌ මට සෙට්‌ වුණා. එක දවසෙන් අපි දෙන්න පුදුම විදිහට හිතවත් වුණා. එයා මාව කාර් එකට එක්‌කරගෙන ගිහින් දෙන්නා එක්‌ක ගංජා සුරුට්‌ටුවක්‌ බීලා, මගේ අතට ගංජා බෑග් එකක්‌ දුන්නා. ඊට පස්‌සේ එයා බඩු ගන්න තැන් මට සෙට්‌ කරලා දුන්නා. තෙල් නැව්වල වැඩ කරන අය සේරම වගේ කුඩු, ගංජා බොනවා. ඒ අය ගේන්නේ තොග පිටින්. අපි වැඩිපුර ගංජා, කුඩු ගත්තේ පාකිස්‌තාන නැව්වලින්. රෙස්‌ටුරන්ට්‌ එකේ වාහන වැඩිය පරීක්‍ෂා කළෙත් නෑ. ඒ වාසියත් අරගෙන මම කුඩු, ගංජා තොග පිටින් එළියට ගෙනාවා. පැකට්‌ කරලා විකුණුවා. රෙස්‌ටුරන්ට්‌ එකේ විතරක්‌ නෙමෙයි, මුළු කොම්පැණියටම බඩු විකුණුවා. අපේ කොම්පැණියේ ආරක්‍ෂක අංශයේ ප්‍රධානියාටත් මම බඩු දුන්නා. එයාගෙන් සල්ලි ගත්තේ නෑ. ඒ අවසරයෙන් මම හොඳට බිස්‌නස්‌ එක කරගෙන ගියා. හොඳට සල්ලි හම්බ කළා. ඒ වගේම වියදම් කළා. විවිධ ගෑනු ඇසුරු කළා. සමහර දවසට ගෑනු දෙතුන් දෙනා එක්‌ක හිටියා. සුපිරි ආතල් පිට අවුරුදු හතරහමාරක්‌ ජොබ් එක කළා. වාහන තුනක්‌ ලංකාවට දැම්මා. ඒ විදිහට බිස්‌නස්‌ එක කරගෙන යනකොට දවසක්‌ එහේ පොලිසියට කුඩුයි, ගංජායි දෙකම එක්‌ක මාට්‌ටු වුණා. මාස එකහමාරක්‌ විතර හිරේ ඉඳලා හම්බ කරපු සල්ලිවලින් බාගයක්‌ විතර වියදම් කරලා කොහොමහරි නිදහස්‌ වෙලා ලංකාවට ආවා. ඒත් නැවත මැදපෙරදිග කිසිම රටකට යන්න බැරි විදිහට පාස්‌පෝට්‌ එකට සීල් තිබ්බා...''

    ''2014 අවුරුද්දේ අප්‍රේල් මාසේ තමයි මම ලංකාවට ආවේ. ඒ එනකොට වාහන තුනක්‌ සමඟ මගේ බැංකු ගිණුමේ ලක්‍ෂ පනහක්‌ විතර තිබුණා. කෙල්ලෙකුත් සෙට්‌ වෙලා හිටියා. එතකොට එයා ලෝ කෝලේඡ් ඉගෙනගත්තේ. මම ටුවරිසම් පැත්තට බැස්‌සා. මාස හය, හතක්‌ හරියට වැඩේ කරගෙන ගියා. ආයෙමත් ටිකෙන්, ටික කුඩුවලට ඇබ්බැහි වුණා. පොතේ තිබුණු සේරම සල්ලි වාෂ්ප වුණා. අන්තිමේ මගේ කෙල්ලටත් තේරුණා. ඒත් එයා මාව දාලා ගියේ නෑ. මාව කුඩුවලින් මුදවගන්න ගොඩක්‌ මහන්සි වුණා. මේ වගේ සෙන්ටර්වලට දැම්මා. දෙන්නා තනි වෙලා මට අවවාද දුන්නා. ඒත් මම හැදුණේ නෑ. අන්තිමේ එයා මට කිව්වා 'මම කසාද බඳින කෙනා කුඩුකාරයෙක්‌ කියලා දැනගත්තම මගේ ජොබ් එකටත් හොඳ නෑ. ඒ නිසා ඔයා කුඩු බීම නතර කරන්න ඕනෑ. නැති නම් අපේ සම්බන්ධය නතර කරන්න ඕනෑ' කියලා. එතකොට මම කෙල්ලටත් වඩා කුඩුවලට ආදරය කරනවා. මම කුඩු තෝරගත්තා. කෙල්ල මගෙන් ඈත් වුණා. නැවත මට උපරිම නිදහස ලැබුණා. කුරුල්ලා වගේ පියෑඹුවා. කුඩු බිව්වා විතරක්‌ නෙමෙයි බිස්‌නස්‌ එකත් පටන් ගත්තා. සුද්දො ගෙනියන වාහන පොලිසිය චෙක්‌ කරනවා අඩුයි. ඒ වාසියෙන් උපරිම ප්‍රයෝජන අරගෙන දඹුල්ලට, පොළොන්නරුවට, අනුරාධපුරයට කුඩු, ගංජා ප්‍රවාහනය කළා. මම හොඳටම කුඩුවලට ඇබ්බැහි වුණා. ලක්‍ෂ ගණන් මුදල් හම්බ කළා. ඒ සල්ලි සතියෙන් දෙකෙන් ඉවර කළා. ඔහොම නන්නත්තාර ජීවිතයක්‌ ගෙවනකොට අනුරාධපුරේ අයියා කෙනෙක්‌ මට සෙට්‌ වුණා. මම කුඩු බොනවට එයා තදින්ම විරුද්ධ වුණා. ඒත් එයත් හොඳ කෙනෙක්‌ නෙමෙයි. රස්‌සාවට කළේ ගංජා, අරක්‌කු විකුණන එක. ඒත් ඒ අයියා මාව කුඩුවලින් බේරගන්න ගොඩක්‌ මහන්සි වුණා. මාව ඒ අයියලාගේ ගෙදර නතර කරගෙන කුඩු සික්‌ එක කඩන්න සිංහල වෙදකම් කළා...''

    ''උදේට මී හරක්‌ ගාල්වලට අරගෙන ගිහින් ඒ මොහොතෙම දෝවපු කිරි බොන්න දීලා, කොහොඹ කොළ කොටලා බොන්න දීලා වැව්වල බස්‌සලා තියෙලා සතියෙන් දෙකන් කුඩු සික්‌ එක කැඩුවා. ඒත් දෙන්නා එක්‌ක ගංජා බිව්වා. පස්‌සේ දෙන්නා එක්‌කම සෙට්‌ වෙලා ගංජා බිස්‌නස්‌ එක කළා. එහෙම ඉන්න අතරේ ඒ අයියගේ දුවත් එක්‌ක මම සෙට්‌ වුණා. මට වඩා අවුරුදු දහහතරක්‌ විතර බාලයි. ඒත් අපේ දෙමවුපියන්ගේ වත්පොහොසත්කම නිසාම ඒ අයියයි, අක්‌කයි අපේ සම්බන්ධයට කැමති වුණා. ඒත් මට ගෙදර අයගේ මුහුණ බලන්න ලැඡ්ජ හිතුණා. අයියයි, මමයි එකට ගංජා සුරුට්‌ටුව ගහලා, කරපු කියපුවා මතක්‌ වෙනකොට මාමණ්‌ඩි කියන වචනය කටට ආවේම නෑ. අයියත් මට මුහුණ දුන්නේ නෑ. අක්‌කා මට කිව්වා දැන් දෙන්නම ගංජා විකුණලා හරියන්නේ නෑ. ඔයා මොකක්‌හරි වෙන රස්‌සාවක්‌ කරන්න කියලා. ඊට පස්‌සේ මම නැවත ටුවරිසම් පටන් ගත්තා...''

    ''දවසක්‌ මම ජර්මන් සුද්දියො දෙන්නෙක්‌ දාගෙන අනුරාධපුරේ සංචාරය කරන ගමන් කෙල්ලගේ ගෙදරට ගියා. කෙල්ලයි, අම්මයි දෙන්නම ඒක වැරැදියට ගත්තා. ඔය ජොබ් එක හරියන්නේ නෑ, නතර කරන්න කියලා වද කළා. ඊට පස්‌සේ මම දඹුල්ලේ සෆාරි දුවන්න පටන් ගත්තා. සෆාරි දුවන කොල්ලො බාගෙට, බාගයක්‌ කුඩු ගහනවා. නැවත මම කුඩුවලට ඇබ්බැහි වුණා. සෆාරි ගිහින් හම්බ කරන මුදල එදා දවසේ කුඩුවලට ඉවර වුණා. අන්තිමේ මම නැවත කුඩු බිස්‌නස්‌ එකත් පටන් ගත්තා. කොළඹින් කුඩු ගෙනිහින් මිනිස්‌සු දාලා ඊෂි කෑෂ් ක්‍රමයට නියමෙටම බිස්‌නස්‌ එක කරගෙන ගියා. දවසේ ආදායම ලක්‍ෂය පැන්නා. ඒත් මම චාටර් වෙන්නම කුඩු බිව්වේ නෑ. කෙල්ල නිසා ගොඩක්‌ම පාලනය වෙලා හිටියේ...''

    ''එහෙම ඉන්නකොට අපි දෙන්නගේ කසාදය ගැන කතා කරන්න කියලා කෙල්ලගේ ගෙදර අය අපේ ගෙදර ආවා. මගේ කාර් එකේම තමයි ආවේ. එතකොටත් මගේ කාර් එකේ කුඩු ග්‍රෑම් පහළොවක්‌ විතර තිබුණා. මම ගමට ආවා කියලා දැනගත්තම යාළුවො දෙතුන් දෙනෙකුත් මාව බලන්න ආවා. ඒ අයත් එක්‌ක එළියට ගිහින් කුඩු ටිකක්‌ බීලා එනකොට හන්දියේ කඩේ ළඟ වාහනය නතර කළා. ඒ එක්‌කම පොලිස්‌ ජීප් එකක්‌ මා ළඟ නතර කළා. මට කටඋත්තර නෑ. මගේ සාක්‌කුවේ කුඩු ග්‍රෑම් දොළහක්‌ තිබුණා. කාර් එකේ ඊෂි කෑෂ් ෙෆාaන් හතරයි. කුඩු ඕඩර් ලියපු පොත් දෙකයි. දවස්‌ දහහතරක්‌ මාව තියාගෙන ප්‍රශ්න කළා. ඒ කාලය තුළ මට එන කෝල් ටික අහලා පොලිස්‌ නිලධාරීන් පුදුම වුණා. සේරම කතා කරන්නේ කුඩු සික්‌ එකේ. සමහර උන් කුඩු ඉල්ලගෙන අඬනවා.

    ''ප්‍රශ්න කිරීම්වලින් පස්‌සේ මාව හයිකෝට්‌ දැම්මා. මාස දහයකට ඇතුළට ගියා. ගාල්ල බන්ධනාගාරයේ හිටියේ. ඇතුළේදී දකුණේ සුපිරි පාතාල පොරක්‌ සෙට්‌ වුණා. හිරෙන් නිදහස්‌ වෙලා ඇවිත් කෙල්ලගේ ගෙදරට කතා කරලා බැලුවා. ඒ සේරම අවුල්. ගොඩඒම නෑ. හිරේදී ගොඩනඟා ගත්ත කන්ටෑක්‌ එක්‌ක නැවත මම බිස්‌නස්‌ එක පටන් ගත්තා. දඹුල්ල, අනුරාධපුරය ඒ ලයින් එකේම ඊෂි කෑෂ් එක ගැහුවා. දඹුල්ලේ බිස්‌නස්‌ එක කරගෙන ගියේ කෙල්ලෙක්‌ දාලා. අදටත් දඹුල්ල නගරයේ මාව නොදන්න කෙනෙක්‌ නෑ. කුඩු බොන හැම කෙනෙක්‌ම මගේ කුඩු බීලා තියෙනවා. ඊෂිකෑෂ් එකෙන් ෙෆාaන් එකට සල්ලි එනවා. ලයිට්‌ කණුවක්‌, කුණු ගොඩ ළඟ බඩු ටික තියනවා. එහෙම බිස්‌නස්‌ කරගෙන ඉන්නකොට තමයි අක්‌කා බොරු කියලා මාව මෙතැනට අරගෙන ආවේ. මෙහෙට ඇවිත් අදට මාස දහයයි. දැන් මට ජීවිතය හොඳින් අවබෝධ වෙලා තියෙන්නේ. මාව මෙතැනට අරගෙන ආපු අක්‌කට අද මම පිං දෙනවා...''

    ''අපේ පවුලේ එකම පිරිමි දරුවා මමයි. අක්‌කා හොඳට ඉගෙනගෙන රජයේ ආයතනයක උසස්‌ රැකියාවක්‌ කරනවා. අපේ තාත්තට කුරුඳු, තේ ඉඩම් අක්‌කර දහයක්‌ විතර තියෙනවා. ඊට අමතරව හාඩ්වෙයාර් තියෙනවා. අම්මත් තාත්තගේ ව්‍යපාරවලට උදව් කරගෙන අපිට උගන්වන්න මහන්සි වුණා. ඒත් මම ගියේ වැරැදි ගමනක්‌. දැන් මට වයස අවුරුදු තිස්‌ දෙකයි. ඒත් මට හොඳ මාර්ගයට ඇවිත් සමාජයේ නිදහසේ ජීවත්වීමට අමාරුයි. මගෙන් පළිගන්න තරහාකාරයෝ ගොඩයි. නීතියෙන් ගැලවීමක්‌ නෑ. ඒ නිසා මගේ කැමත්ත ජීවිත කාලයම මෙතැනට සේවය කරගෙන ලබන ආත්මයේ යහපත් ජීවිතයක්‌ ගත කිරීමයි...''

    චණ්‌ඩිකම් කරමින් නීතිවිරෝධි ජාවාරම් කළ පුද්ගලයන්ට වැරැදි තේරුම්ගෙන සමාජයේ යහපත් මිනිහෙක්‌ ලෙස ජීවත්වීමට අසීරුය. විශේෂයෙන්ම පාතාලයට සම්බන්ධ වූවන්ට සිල් රෙදි පොරවගෙන සාධු චරිතයක්‌ වීම අසීරුය. චණ්‌ඩි උණෙන් ඔවුන් කළ හයිරන්කාරකම්වලට ප්‍රතිපහර ලැබෙනු නියතය. ඔහු පිටුපස නීතිය ලුහුබඳිනු නිසැකය. අපේ කතාවේ චණ්‌ඩිට අත්ව ඇති ඉරණමද එයයි. එහෙයින් යන තැනට පිනක්‌ රැස්‌ කරගැනීමට ඔහුගේ අදහස කදිමය...

    මතු සම්බන්ධයි.