ස්ටබී - යුද වීරයෙක් වූ සුනඛයා

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ස්ටබී - යුද වීරයෙක් වූ සුනඛයා

    සැරයන් ස්ටබී! පළමුවන ලෝක යුධයේ වර්ණිත සුනඛයා!!

    4xackjF.jpg

    1917 හි වසන්ත සෘතුවෙහි, කෙළි දෙළෙන් කවටකම් පෑ හුරතලෙන් දෙපා ලැගි යන්තම් මාස කිහිපයක් වයස් විය හැකි වූ බලු පොව්වෙකු යේල් සරසවියේ තැන් තැන්හී සරමින් ශිෂ්‍යයන් අතරත මහත් කෝලම් කෙළියක් වී සැරීය. මේ හිතවත් සුරතලා හා වඩාත්ම හිතවත් වූ කෝප්‍රල් රොබට් කොන්රෝයි ඇතැම්විට පුංචි විධානයකට හුරුවන්නට කියාදී ඌ ඊට අවනත වනයුරු බලා බොහෝ තුටු විය. ක්‍රමයෙන් ඇමෙරිකානු හමුදා නිළ ඇදුමටත්, උන්ගේ විධානයන්ටත් මනාව හැඩගැසුනු, මේ වන විට ස්ටබී ය ලෙස නම් කර තිබූ ටෙරියර් වර්ගයේ මෙම බුද්ධිමත් සුනඛයා 102 වන පාබළ රෙජිමේන්තුවෙහි පොදු සුරතලා විය.

    සුරතල් කාලයන් නිමා කරමින් යුද්ධයෙහි මරු විකල් සුස්මනයන් යුරෝපා අහස්කුස දෙදරවා ඇමෙරිකාවට ඇරියුම්පත් එවා තිබිණි. සොල්දාදුවෝ නැව් නැගයති. ආයේ ඒද කියා නොම දැන නොදුටු යුරෝපය දකින්නට යති. සතුරෙක් දෙන්නෙක් නසන්නට වනු ඇත. කොහොමත්, උන් අප දන්නේ නැත. අප උන් දන්නේ නැත. නෙත් පියා ගිණිබටේ අදින විට උන් හෝ අප මියෙනු ඇත. හැකි උනොත් ගෙදර එමි. නැතිනම් ජාතියේ නමින් මියෙන්නට යමි. කොහොමත් ලොක්කා මෙහි අරමුණු දන්නා බැවින් නිස්කාරණෙ නම් ජීවිත අපතේ නොයනු ඇත.

    එලෙසින් සිතා කෝප්‍රල් කොන්රෝයි ද නැව් නැගගති. හිතමිතුරන් ගේ උදව්වෙන්, දමා හිත හදා ආ නොහැකි වූ නිසාවෙන් ස්ටබී ද සගවා ගෙන නැව් නැග ගති. ප්‍රංශයට ගොඩ බැසීමේදී කබා අතරේ සැගව උන් ස්ටබී අණදෙන නිළධරී තැනගේ ඇස ගැටුනෙන් සියල්ලන් භ්‍රාන්ත විය. නමුදු සීරුවෙන් වාඩිගත් ස්ටබී කුඩා අණ්ඩක් ඔසවා සන් කරන නියාවක් පළකලෙන් නිළධාරී කර්කෂ මූනත්තහඩුව සිනාවක මද ආලෝකයෙන් මොහොතකට ප්‍රභාවත් විය.

    'තියාගන්ඩ පුළුවං, වගකීම් තමුන් දරන තාක් කල්. තේරුණා ද?' අණ දුන් නියමය එය විය. ඒ අණින් ක්ෂණයෙන් ස්ටබී දැන් හමුදා සුනඛ පොව්වෙකි. එදා සිට අට මාසයක් ප්‍රංශ යුධ අගල් හී සරමින් ස්ටබී යුධ පෙරමුණෙහි සිදුකල සේවය සත්තකින් වචනාර්ථයෙන්ම සුවිශිෂ්ඨය.

    මිනිසාට නොඇසෙන දුරින් පත්තුවන කාලතුවක්කුවක සියුම් හඩ ශ්‍රවණය කරගන්නා ස්ටබී ඉදිරිපෙළ මුවා විය යුතු බවට සන් කරන අතර වෙඩි මුර වාර දෙකක් අතරතුර විදුලි වේගයෙන් අතරමැද භූමියට දිවයන ස්ටබී තුවාල ලැබූවන් හදුනාගනී. උන් කළිසම් කකුලෙන් ඇද කොහේ හෝ මුවාවකට ඇද දමන ඌ රාත්‍රියේ දී දහවල වෙඩි වැදී ආතුර වූවන් ඉක්මණින් සොයාගැන්මට ඉව යොදා ගනිමින් සෙවුම් කණ්ඩායම් හා සංග්‍රාම භූමියේ සරමින් උපකාරි විය. වරෙක සල්ෆර් මස්ටාර්ඩ් වායුව වැදී ස්ටබී අඩපණ වූයෙන් දින කිහිපයක් ගිමන් ලෑ නිර්භීත සුනඛයා ඌටම සැකසූ වායු වෙස්මුහුණකින් සන්නද්ධ වී යළි සටන් බිමට අවතීර්ණ වූ අතර එදා සිට යුධ පෙරමුණෙහි ඉදිරියෙන්ම ගමන් ගන්නා ස්ටබී විෂ වායූ ප්‍රහාර දුටු තැන බූරාගෙන පිටුපසට දිව එමින් අනතුරු ඇගවීමට සමත් විය. ඉන් ගැලවී ගිය මිනිස් ජීවිත ගණන අනල්පය.

    දිනක් ආර්ගෝන් හී සරමින් සිටි ජර්මානු ප්‍රබල ඔත්තුකරුවෙකු හදුනාගත් ස්ටබී ඔත්තුකරුගේ පශ්චාත්භාගය හප කරවා ඇමරිකන් සෙබළුන් පැමිණෙන තුරු ඔහු ග්‍රහණයෙහි තබාගන්නට සමත් වූ අතර ඒ වීර ක්‍රියාව උදෙසා ස්ටබී සැරයෙන් වරයෙකු දක්වා උසස් කරැවිණි.

    එසේ 1918 හි පෙබරවාරි 05 වනදා පටන් සක්‍රීය ක්‍රියාන්විතයේ අඛණ්ඩව යුධ වැදුනු ස්ටබී මිත්‍ර පාර්ශවයන් පළමුවන ලෝක යුද්ධය ජයග්‍රහණය කරනවිට සංග්‍රාම දාහතකට සහභාගී වීමට සමත් වී තිබිණි.

    යුදධයෙන් පසුකාලීන සාමයෙහි සිය හිතමිතුරු කෝප්‍රල් ස්වාමියා හා එක්වූ සැරයන් සුනඛයා සාමයේ සැබෑ නිස්කලංකත්වය විදිමින් උනුන්ට ආදරය කල හැකි වූ කාලයන් ලැබූයෙන් සතුටින් සුවෙන් කල් යැවූහ. ස්ටබී සිත පසුකාලිනව පාපන්දු ක්‍රීඩාව කෙරෙහි යොමු වූයෙන්, 'ජෝර්ජ්ටවුන් හොයාස්' ක්‍රීඩා සමාජය විසින් ස්ටබී ජයග්‍රාහී සුභ සලකුණ ලෙස සලකා ක්‍රීඩා මණ්ඩපයේ තබා ගැන්මට යුහුසුළු විය. තරගයක පළමු අර්ධය අවසානයේදී පිටියට පිවිසෙන ස්ටබී පාපන්දුව පිටිය පුරා ගෙනයමින් ඉදහිට ගෝලයක් හෝ දෙකක් වාර්තා කරමින් නරඹන්නන් ප්‍රීතියෙන් කුල්මත් කරලූ අවස්ථා එමටය.

    ඔයින් මෙයින් ප්‍රීතිමත් වූත් සිහිකටයුතු සහිත වූත් අත්දැකීමෙන් පරිපූර්ණව ගෙවී ගිය දසවසක් අවසන 1926 හි මාර්තු 26 වනදා ස්ටබී ජීවිතයට ආයුබෝවන් ය කියා කාටත්ම ඉගියකින් හෝ පෙර නොකියා අවසන් ගමන් ගොස් තිබිණි. දහසක් ආදරවත් හිත් මත්තෙහි දුඛීය ස්පන්දනයක් රදවා අවසන් ගමන් ගිය ස්ටබී ගේ ගුණ ගායනා New York Times පුවත් පතෙහි පවා අඩ පිටක් පුරා අවමංගල්‍ය හසුනක් ලෙස සටහන් කෙරී තිබිණි.

    මරණයෙන් පසු වහා නිමවු, ස්ටබී ගේ සුන්දර ලෝමයෙන් සැදි ජීවමාන ප්‍රමණයේ අනුරුවක් ඇමෙරිකානු ජාතික කෞතුකාගාරයේ අදටත් ප්‍රදර්ශනය කෙරෙන අතර ඒ වීරත්වය උදෙසා පොත් සතරක් ලිය වී ඇත. පසුගිය වසරෙහි ස්ටබී ගේ ජීවිත කතාව ඇසුරින් සිනමා පටයක්ද නිමැවුනු අතර අද අප එම නිර්භීත සුනඛයා වෙනුවෙන් අප පිටුවෙහි පුංචි තීරුවක් වෙන්කොට තබා ආදරය එහි අමුණා තබමු!


    ස්ටබී සක්‍රීය යුධ සේවයේ, 1918!
    kqnxTJL.jpg


    ස්ටබී, කෝප්‍රල් රොබට් කොන්රෝයි සමගින්!
    c5djvtJ.jpg


    වායු වෙස්මුහුණකින් සන්නද්ධ වූ ස්ටබී!
    mhJzTBV.jpg


    ස්ටබී ගේ සොහොන්කොත!
    EVKXuKJ.jpg


    අද වනවිට ස්ටබී දැකගත හැකි ආකාරය!
    2JpHhp5.jpg


    කැමරාවට පෙනී සිටින සැරයන් ස්ටබී!
    tTgbhNZ.jpg


    යුද්ධය අවසානයේ ගරු බුහුබන් ලබබින්!
    MG8bWrM.jpg


    උපුටා ගැනීම - ඓතිහාසික ජායාරූප Facebook