අනුරාධපුරයෙන් අත්අඩංගුවට ගත්ත තවමත් වැරදිකාරයා නොවුනු සැකකාරයාව ආයුධ පෙන්නන්න ගෙනියන්න කියන අයට මතක් කරන්නේ...
"
පොලීසිය නඩු අසා, පොලීසියම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් රචනා ලියන්නන්ට හොඳ සිහිය ලබා ගැනීමට සේයා දැරිය ඝාතන නඩුව පමණක් සෑහේ යැයි සිතමි.
සේයා ඝාතන නඩුවේදී පොලීසිය පළමුවෙන් සැකකරු ලෙස ඉදිරිපත් කලේ පාසල් දරුවෙකි.
ඔහුගේ පරිගණකය, ඔහු බැලූ නිරුවත් දර්ශන මාධ්‍ය ඉදිරියේ රසකර පෙන්වනු අපට පෙනුනි. සමස්ත සමාජයක් ඉදිරියේ ඔහු දරුණු අපරාධකරුවෙක් බවට පත්විය.
ඒ අනුව පලමුවෙන් ආයුධ පෙන්වීමට රැගෙන යායුතුව තිබුනේ ඔහුය.
දෙවනුව කොණ්ඩයා කරළියට පැමිණියේය.
අවම වශයෙන් ඔහුට කොණ්ඩයා යනුවෙන් අන්වර්ථ නාමයක් හෝ නොතිබුණි.
එහෙත් වැඩේ බරපතලකම සමාජයට පෙන්වීමට අවශ්‍ය නිසා ඔහුගේ නම කොණ්ඩයා බවට පත්කරන ලදී.
කොණ්ඩයා සොහොන් වලවල්වල නිදාගන්නා ආකාරය, ඔහු අමුමස් ආහාරයට ගන්නා ආකාරය පිලිබඳ උගත් මාධ්‍යවේදීන් ඇඟකිළිපොලා යන වාර්තා ලියුවා පමණක් නොව කොණ්ඩයා විසින් සේයා දැරිය ඝාතනය කල ආකාරය පිළිබඳ ඔහු විසින්ම කලායැයි කියූ ඔහුගේ පාපොච්චාරණයද ඉදිරිපත් කරන ලදී.
DNA වාර්තාව නොවන්නට අදටත් ඔහු අපරාධකරුවෙකි.
ඒ මොහොතේ කොණ්ඩයාව ආයුධ පෙන්වීමට රැගෙන ගියේ නම් මුළු ලංකාවම සතුටු වන්නටත් ආයුධ පෙන්වීමට රැගෙන ගිය අය ගැන ප්‍රශස්ති ලියන්නටත් ඉඩ තිබුනි.
නමුත් අවසානයේ සැබෑ අපරාධකරු වූයේ ඒ කිසිවෙකු නොවේ.
මේ එක් උදාහරණයක් පමණි.
අවශ්‍ය නම් වසර පහලොවක් පමණ වන මගේ නීතිඥ දිවියෙන් පමණක් උදාහරණ දුසිම් ගණනින් ලබාදිය හැක.
පොලීසියක් අධිකරණයට ලබාදෙන B වාර්තාවක් මත පදනම්ව මාධ්‍ය මගින් මිනිසෙකුගේ ජීවිතය විනාශ කර නොදැමිය යුත්තේ ඒ නිසාය.
කිසිදු ගවේෂණාත්මක කාර්යයක නොයෙදී ඒ වාර්තාව මත පමණක් පදනම්ව රසකතා ලියන මාධ්‍යවේදීන් තමන් ගැනම ලැජ්ජා විය යුත්තේ ඒ නිසාය.
සමාජයටම පිළලයක් වන පාතාලයන්, අපරාධකරුවන් මොලොව හැර ගියාට අපට ප්‍රශ්නයක් නැත.
එහෙත් අහිංසකයෙක් ඒ මග දිගේ යායුතු නැත.