සාහිත්‍ය රසික ක්‍රිකට් වීරයෙක් මුණ ගැසීම

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ලියනගේ අමරකීර්ති ලියයි:

    වරක් කුමාර් සංගක්කාර ඔස්කා වයිල්ඩ්ගේ කෘති ආසාවෙන් කියවන බව සිංහල පුවත්පතක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කීවේය. සාහිත්‍යකරණය සහ සාහිත්‍ය ඉගැන්වීම ජීවිතය ලෙස තෝරාගෙන සිටි මම ඒ වන විටත් ක්‍රිකට් පිස්සෙකු වී සිටියෙමි. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සාහිත්‍ය පොතපත කියවන්නෙකු වී සිටින බව දැන ගැනීම මගේ ඉමහත් සතුටට හේතු විය. එපමණක් නොව ඔස්කා වයිල්ඩ්ගේ නාට්‍ය කියවීමෙන් මමද කවදත් ඉමහත් ආනන්දයක් ලබමි.

    වරක් යම් පුවත්පතක ඡායාරූපමය විශේෂාංගයක ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ක්‍රීඩාගාරයේ විවේකීව සිටින විටෙක නවකතාවක් කියවමින් සිටිනු අහම්බෙන් හසු වූ ඡායාරූපයක් පළ වී තිබිණි. අපේ ක්‍රීඩකයෙකු එසේ පොතක් අතැතිව සිටිනු ලෙහෙසියෙන් දකින්නට ලැබෙන්නේ නැත. නුවන් කුලසේකර නම් වරක් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී රාජිත දිසානායකට හමු වී තිබිණි. නුවන් රාජිතගේ නාට්‍ය බලන රසිකයෙකි.



    කුමාර් සංගක්කාරගේ ඉහත කී පුවත්පත් සාකච්ඡාවෙහිද තවත් අවස්ථා ගණනාවකදීද සාහිත්‍ය ගැන කතා කරනු දකින්නට ලැබිණි.

    ඒ නිසා මෙම ක්‍රීඩකයා ගැන විශේෂ ඇල්මක් මට තිබිණි.

    මේ වසර ගණනාවකට පෙරය.

    ජීවිතය යනු පුදුමාකාර දෙයකි.

    වමේ දේශපාලන කටයුතුත්, සමාජ-සංස්කෘතික අරගල කටයුතුත්, සාහිත්‍ය කටයුතුත් නිසා මට මුණ ගැසුණු සිය දහස් ගණනක් මිනිසුන් අතර මගේ ගෞරවනීය වැඩිහිටි මිතුරකු වන ලාල් විජේනායක නිසා මට කුමාර් සංගක්කාර හඳුනාගන්නට ලැබිණි.





    ලාල් විජේනායක යනු කුමාර්ගේ “ලාල් මාමා”ය. ඒ සම්බන්ධයේ විස්තර තව දෙසතියකින් පමණ පළ වන ලාල් විජේනායක: ජීවිතය සහ දේශපාලනය පොතෙහි එයි. 1980 ගණන්වල මුල් කාලයේ සිය ජීප් රථයේ නංවාගෙන ක්‍රිකට් පුහුණුවට රැගෙන ගිය පොඩි කොල්ලා ලෝක පූජිත ක්‍රීඩකයෙකු බවට පත් වන බව ලාල් එදා නොසිතන්නට ඇත.

    ලාල් කුමාර් රැගෙන ගියේ ක්‍රිකට් වෙත පමණක් නොවේ. සාහිත්‍යය වෙතද කැඳවාගෙන ගියේය.

    පසු කලෙක කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ජනමාධ්‍ය සාකච්ඡාවලදී පොතපත ගැනද කතා කළ කුමාර් වෙනුවෙන් ලාල් විජේනායක සිය පෞද්ගලික පුස්තකාලය නිර්ලෝභීව විවෘත කළේය.

    ”මේක කියවන්න” ගැටවර කුමාර්ට නොයෙක් පොත් දුන්නේය.

    ඊයේ (මාර්තු 2) ලාල් විජේනායකත්, හේමන්ත අරුණසිරිත්, මම කුමාර් සංගක්කාරගේ නිවසට ගියෙමු. ඒ අලංකාර නිවස කලාගාරයක් වැනිය. ඔහු සිත්තම් රසිකයෙකි; සංරක්ෂකයෙකි. අප එහි ගියේ ජෝර්ජ් කීට්ගේ අවසන් සිත්තම දකින්නටය. එය කීට්ගේ මිතුරු ලාල් විජේනායක වෙනුවෙන් නිර්මාණය කෙරුණකි. ලාල් සහ කීට් අතර මිත්‍රත්වය ගැන අපේ පොතේ පරිච්ඡේදයක්ම තිබේ.





    සිත්තම් නරඹමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටින අතර අපි කුමාර් සමග නොයෙක් දේ කතා කළෙමු. මා නිරන්තරයෙන් පොතපත කියවන සාහිත්‍යවේදියෙකු වුවත් ක්‍රිකට් යැයි යමක් නොතිබුණා නම් මීට වඩා බොහෝ පොත් කියවන්නට ඉඩ තිබිණියි මම කුමාර්ට කීවෙමි. “මම ඇත්තට පැය කීයක් නම් ඔයා දිහා බලාගෙන ඉඳල ඇද්ද” කියන විට කුමාර් උස්හඬින් සිනාසුණේය.

    අපේ සංවාදය අතර මෙසේ කීවේය:

    “ලාල් මමා නිසා තමයි මම පුෂ්කින්, චෙකොෆ්, මෝපසාන්, ටොල්ස්ටෝයි, තුර්ගෙනිෆ්, ලෝරන්ස් මේ ඔක්කොම කියෙව්වෙ.” කුමාර් පට පට ගා කියාගෙන ගිය ලේඛක නාමාවලිය දැන් මට හරියට මතක නැත.

    “මෙයාට පොත් දීලා පිරිමහන්න බෑ. එකක් අරන් ගිහිල්ලා දවස් දෙකෙන් ඇවිල්ලා. ලාල් මාමෙ තව පොතක් කියලා ඉල්ලනවා.” ලාල් විජේනායක කීවේය. කුමාර් පෑ සිනාවේ ආඩම්බරයක්ද විය.

    ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් හිමි මවකගේ බාලම පුතා හොඳ කියවන්නෙකු වීම පුදුමයක්ද නොවේ. කියවන්නෙකු පමණක් නොව කුමාර් කුඩා කල සිටම ඉතා දක්ෂ ලෙස ඉංග්‍රීසි රචනා ලිවීමෙහි දක්ෂයෙක් වූයේය. බොහෝ වරක් රචනා තරග ජයග්‍රහණයද කළේය.

    කලෙක කුමාර් කියවූ පොත් ලාල්ගේ පුස්තකාලයේ තිබී මාද අතපත ගා තිබේ. ඒ පොත් ඇල්ලූ අතින්ම එල්ල කරන දර්ශනීය කවර් ඩ්‍රයිව් පහරවල් එතරම් අලංකාර වන්නේ සාහිත්‍ය වෙතින් ආ කලාත්මකත්වයක් නිසා යැයි සිතන්නට මම කැමැත්තෙමි.

    “මගෙත් තියෙනවා පුස්තකාලයක් උඩ තට්ටුවෙ.” කුමාර් කීවේය.

    එය නැරඹීමේ ආසාව මම තරයේ මැඩගතිමි. ඊ ළඟ වර ඒ නිවසට ගිය විට නම් අනිවාර්යෙන් එය නරඹමි. ප්‍රවීණ ගෘහ නිර්මාණශීල්පී ජීවකද සොයිසා සැලසුම් කළ ඒ නිවස ලේඛකයෙකුට කියාපු තැනකි.

    “ඔයත් ලියන්නකො මතක පොතක්. මම සිංහලට පරිවර්තනය කරන්නම්.” මම කුමාර්ට කිව්වෙමි.

    ක්‍රිකට් සහ ව්‍යාපාර සම්බන්ධ කටයුතුවලට ලෝකය පුරා නිරන්තරයෙන් සංචාරය කරන කුමාර් ඒ මතක පොත කවදා ලියයිදැයි මට කිවනොහැකිය. දැනට යෙදී ඇති අන්දමට අපට නැවත මුණ ගැසෙන්නට ලැබෙන්නේද තව මාස කිහිපයකිනි.

    “ඒ වගේ ක්‍රීඩකයෙක් නිතරම අපේ කණ්ඩායමේ ඉන්නවා නම් කොච්චර හොඳද” අපි ආපසු එන අතර කතා කළෙමු.

    එහෙත් සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම විශ්වවිද්‍යාලවල උගත් දෙමාපියන් ලැබෙන්නේ නැත. විශ්වවිද්‍යාලයෙහි ඉංග්‍රීසි ඉගැන්වීම අතහැර දරුවන් වෙනුවෙන් කැප වෙන මවක ලැබෙන්නේ නැත. හැම ක්‍රීඩකයාටම ත්‍රිත්ත්ව විද්‍යාලයෙහි ඉගෙනීමට ලැබෙන්නේ නැත. හැම ක්‍රීඩකයාටම විශාල පෞද්ගලික පුස්තකාලයක් හිමි, නිරන්තර බුද්ධිමය සාකච්ඡාවල යෙදෙන, පොතපත කියවීමට දිරිගන්වන ලාල් විජේනායක හෙවත් ලාල් මාමා කෙනෙකු ලැබෙන්නේ නැත. ඒ සන්දර්භය වැදගත් බව ඇත්තය.

    එහෙත් කුමාර් සංගක්කාරගේ නිවසේ ගත කළ දෙපැයකට වැඩි කාලය තුළ මට පෙනුණේ තමන් කරන ඕනෑම දෙයක් ගැන අවංක කැපවීමකින් යුතු බුද්ධිමත් මිනිසෙකි. ඒ ගුණය එන්නේ හුදෙක් පසුබිමෙන් පමණද?ඒකපුද්ගල විශිෂ්ටතා හෝ ප්‍රතිභා ශක්ති කියා දෙයක් නොතිබේද?

    “ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයො ටීම් එකට ආවම ඒ අයට වෘත්තීයභාවය හා අනික මානව කුසලතා උගන්නනඋගන්වන උපදේශන වැඩපිළිවෙළක් නැද්ද?” මම කුමාර්ගෙන් ඇසුවෙමි. මෑත කාලීනව ලංකාවේ ක්‍රිකට්වල කඩා වැටීම මෙන්ම ක්‍රීඩකයන්ගේ පෞද්ගලික වෘත්තීයභාවයෙහි කඩා වැටීමක්ද පෙනෙන බැවිනි.

    ඒ ප්‍රශ්නයට කුමාර් දුන් පිළිතුරින් පෙනුණේ කුමාර් සහ මහේල වැනි අය දැන් මැදිහත්වෙමින් කරන කියන දේ ඵල දැරුවහොත් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ගුණාත්මකභාවයත්, ක්‍රීඩාවේ ගුණාත්මකභාවයත් ඉහළ යනු ඇති බවයි. එහෙත් ලංකාවේ ක්‍රිකට් යනු ක්‍රිකට් පමණක් නොවේ.

    ඕනෑම ක්ෂේත්‍රයක සැබෑ දක්ෂයන් හමුවීම ආස්වාදනීය අත්දැකීමකි. ව්‍යාජ මිනිසුන් රජකරන රටක එය දුර්ලභ වාසනාවක්ද වේ. මේ එන ඡායාරූප හේමන්ත අරුණසිරිගේ කැමරාවෙනි.

    Original article: https://amarakeerthi.blogspot.com/2...tH_MXTOqNBGrf1PkVjDFlS-_SyIV_6nKNLep0QDrQAY3Q