සැඟවුණ දේශපාලනය හා අලි-මිනිස් ගැටුම

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    සැඟවුණ දේශපාලනය හා අලි-මිනිස් ගැටුම


    ”මරනවා නම් අපට මරන්න පුළුවන්. ඒ තරම් කේන්තියි. හැබැයි අපි එහෙම කරන්නේ නෑ මහත්තයෝ. වගා ළිඳකට වැටුණත් අපිම තමයි බේරගන්න එන්නෙත්. ඒ අපි මේ සත්තුන්ට තියෙන ආදරේ නිසයි. අපි දෙගොල්ලම අමාරුවෙ දාලා තියෙන්නෙ නිලධාරියොයි බලධාරියොයි” :oo::angry::angry:

    කේන්තියත් කලකිරීමත් මුසු ආවේගය වචනවලට පෙරලෙන්නේ එහෙමය. සද්ධන්ත අලි රංචුවත් අපත් අතර ඇත්තේ මීටර කීපයක දුරස්ථභාවයකි. හම්බන්තොට තිස්සපුර රාජපක්ෂ ගල් මෝල රෑටත් වැඩය. අලි ඩොංවල හඬ පරදන ගල් බෝර අලි තවත් කුලප්පු කරවයි. එසැණින් අප අවට සිටි ගොවින්ගේ ජංගම දුරකථන නාද වේ. ඇමතුම් පිට ඇමතුම් එක්කෝ බිරින්දැගෙනි. නැතිනම් දරුවන්ගෙනි.


    ”නෑ.. නෑ.. අලි නෙවෙයි. ගල් බෝරෙ.” ඔවුහු අඹු දරුවන් අස්වසති.

    දළ පූට්ටුවා ඇතුලූ ඇතුන් කීප දෙනෙකුගේම ඝාතන විසින් කම්පනය කරන ලද ජන සමාජය පසුගිය දිනවල අලි ඇතුන් වෙනුවෙන් නැගුවේ ප‍්‍රබල හඬකි. එම අපරාධ යට ගසන්නට තිබුණු ඉඩ ඇහිරෙන්නට ද එය බලපෑ බව නිසැකය. එහෙත් අලි මිනිස් ගැටුම් පදනමේ කතාව අප සිතන තරම් සරල නැත. ඊට කදිම උදාහරණයක් සපයන තැනක් හැටියට හම්බන්තොට දිස්ත‍්‍රික්කය හැඳින්විය හැකිය. අලි මෙන්ම මිනිසුන් ද අසරණ වී ඇති හේතු ද අලි මිනිස් ගැටුමේ නිර්මාපකයන් හා එහි ඇති දේශපාලනය ද දැකීමට නම් ඒ සටන් බිමට යා යුතුමය. කොළඹට නෑසෙන ජන දුකත් අලි දුකත් ඇහේ ගැටිය යුතුය.

    image_cc67088051.jpg


    වනජීවී දෙපාර්තමේන්තුවට අනුව හම්බන්තොට පමණක් අලි ඇත්තු 450 ක් පමණ වෙති. පසුගිය දෙවසරක කාලයේදී පමණක් දෙපාර්ශ්වය අතර ගැටුම් නිසා අලි ඇතුන් 19 දෙනෙකු පමණ ද මිනිසුන් 9 දෙනෙකුගේ ද ජීවිත අහිමිව ඇත. දේපලවලට සිදුව ඇති අලාභය අති විශාලය. හම්බන්තොට පිහිටි වනාන්තර සීඝ‍්‍රයෙන් හෙළි පෙහෙළි කිරීම අලි ගම්වැදීමට ප‍්‍රධාන හේතුවයි. මේ නිසා අලි මංකඩ ඇහිරී ඇති අතර අලි එන්නේ කුමන දිශාවෙන් දැයි කියාවත් දැන ගැනීමට දැන් මිනිසුන්ට හැකියාවක් නැත්තේ එබැවිනි. මහවැලිය වලව වම් ඉවුරේ බැල්ලගස්වැව ග‍්‍රාමසේවා වසමට අයත් තිස්සපුර ප‍්‍රදේශයට අප යද්දී කළුවර වැටිලාවත් නැත. එහෙත් පහළොස් දෙනෙකුගෙන් පමණ යුත් අලි රංචුව ඒ වනවිටත් ගම්මාන සීමාවේය.

    ”මේ ප‍්‍රදේශයේ ගොවි පවුල් 5000ක් විතර ඉන්නවා. එක්දාස් පන්සීයකට විතර දැනටම බරපතල හානි. මේ දැන් වැව ළඟ ඉඩමේ පොල් ගස් විස්සක් විතර බිම දැම්මා. අපි මේ දුක විඳින්නේ දැන් අවුරුදු නවයක් තිස්සේ. මේ ගැන අපි නොකියපු තැනක් නෑ. අන්තිමේදි ගොවින්ගෙන්ම සල්ලි එකතු කරලා වැටක් ගැහුවෙ. දැන් ඒකත් කඩලා. සෝලා පැනල් ගහපු තැනින් අලි වැට කැඩිලා. අර කැලේ ඇතුලේ තියෙන ගල් මෝල රෑටත් වැඩ. හයිවේ එකට බඩු ඕන කියලා එක දිගට බෝර ගහනවා. අලි ගම්මානෙට එන්නෙ ඔය ගල් මෝල හරහායි. ”

    මයුරපුර හා තිස්සපුර ගම්වැසියන් පවසන පරිදි අලින් ගම්මානවලට තල්ලූ කරන ප‍්‍රධාන සාධකය බවට පත්ව තිබෙන්නේ ගල් මෝලකි. අනෙක් කරුණ සූර්ය බලශක්ති පද්ධතිය. බූන්දල, උඩවලව හා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාන යා කෙරෙන පරිදි අලි කළමනාකරණ රක්ෂිතයක් නිර්මාණයට සැලැසුම් සකස් කර ඇතත් ඒ කිසිවක් ක‍්‍රියාත්මක නොවන්නේ මෙම අවිධිමත් සංවර්ධන වැඩ නිසා යැයි පරිසරවේදීහු පවසති. මෙම අලි කළමනාකරණ රක්ෂිතය නිර්මාණය පමා වී තිබුණේ පසුගිය රජයේ සිටි ප‍්‍රබල ඇමැතිවරයෙකුගේ බාධා කිරීම් නිසාය. උත්ප‍්‍රාසයට කරුණ වන්නේ නව රජය යටතේ ද වසර තුනක් තිස්සේ අදටත් එය ඇත්තේ හමස් පෙට්ටියේ වීමය.

    අලි ගම් වදින විට මිනිසුන්ට ඇති එකම සරණ වනජීවී නිලධාරින්ය. එහෙත් ගම්මුන් කියන්නේ ඔවුන් දුරකථනයට සම්බන්ධ කරගැනීම පහසු නැති බවය. හම්බන්තොට වනජීවී ප‍්‍රධානියකුගේ ජංගම දුරකථනයට ගම්වැසියන් ඇමතුම් ගත් වාර ගණන අනන්තය. අවසානයේදී අපිත් උත්සාහ කළෙමු. අලි රංචුව ගම්මානයට ළඟා වෙද්දී ඒ පැත්තෙන් පැමිණි කෙටි පණිවුඩය පවා ගම්මුන්ට අස්වැසිල්ලක් විය. අදෝමැයි.. එහි සඳහන්ව තිබුණේ ‘අයැම් ඉන් අ මීටින්’ කියාය. ඒ ගම්මුන්ට වනජීවියෙන් ලැබෙන ප‍්‍රතිචාරය.

    image_686d8a0752.jpg


    ”මහත්තයෝ මම 29 වැව ළඟින් කතා කරන්නෙ. කොහොම හරි ඇවිල්ලා අලි ටික පන්නල දෙන්නකෝ මහත්තයෝ..”
    ”අද නම් එන්න වෙන්නේ නෑ. රියැදුරු මහත්තයෙක් නෑ. නිවාඩු ගිහිල්ලා. රියැදුරු මහත්තයෙක් ආවොත් තමයි ඔය පැත්තට එන්න වෙන්නේ..”
    ”එතකොට මහත්තයෝ අදත් අපේ වගා ටික ඉවරයිනෙ. මේවා විනාශ වුණාට පස්සෙයි ඔබතුමන්ලා එන්නෙ ? ”
    ”අ...... රියැදුරෙක් නැතිව එන්න විදියක් නෑනෙ ඉතින්..”
    ”ඔබතුමන්ලා ඇරෙන්න අපට වෙන කියන්න කෙනෙක් නෑ. අපිට අන්තිමේදි වෙන්නෙ මොකද්ද දන්නවයි මහත්තයෝ.. වස බීල මැරෙන්න වෙන්නෙ.. අපේ වගා ඔක්කොම ඉවරයි.. ”

    හම්බන්තොට වනාහි අලි මිනිස් ගැටුම් බහුල පෙදෙසකි. ගොවියකු හා වනජීවි නිලධාරියකු අතර සිදු වූ මේ දුරකතන සංවාදයෙන් පැහැදිලිව පෙනෙන්නේ කුමක් ද? එක්කෝ වනජීවි නිලධාරියා ගම්මුන් මගහරී. නැතිනම් වනජීවි දෙපාර්තමේන්තුවට අවශ්‍ය තරමින් රියැදුරන් නැත. සූරියවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අන්දර වැව ඉස්මත්තේ පිහිටි මහ කැළය අක්කර 200 ක් පමණ එලි පෙහෙලි කර කෙසෙල් වගා කර ඇත. පුද්ගලයන් කීප දෙනෙකු මහා පරිමාණයෙන් සිදුකරන මෙම කෙසෙල් වගාවට ආණ්ඩු භේදයකින් හා පක්ෂ භේදයකින් තොරව දේශපාලන රැකවරණය ලැබෙන බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති. අලි ඇතුන්ගේ නිජ භූමියේ පිහිටි මේ වගාව ශක්තිමත් විදුලි වැට කීපයකින් ආවරණය කර ඇත. තිස්සපුර, මයුරපුර, වල්සපුගල පෙදෙස්වල ගම්වාසීන් දැඩි සේ පීඩාවට පත්වීමට හේතුව ද මෙම අනවසර වගා නිසා අලි ඇතුන් උපන්ගෙයි අනාථයන් වීමය. අන්දර වැව අද්දර පිහිටි කුඩා කටු මැටි නිවෙසට අප ගියේ 13 වැනිදාය. ඊට පසුදින අන්දර වැව ගම්මුන් වැටුණේ අලි අමාරුවකය. හේතුව විදුලිය බිඳවැටීමය. එම නිවෙස වන අලි ප‍්‍රහාරයට ලක්ව තිබුණේ අප ද අවාසනාවන්ත කතාවක සාක්ෂිකරුවන් කරමිනි. මේ ගම්මානවල එදිනෙදා ජීවිත තනිකරම බිහිසුණු චිත‍්‍රපටියක් වාගේය. අවාසනාව එය චිත‍්‍රපටියක් නොවී එබිම මහපොළොවේ යථාර්ථය වීමය.

    ”වනජීවි එකේ මහත්තුරු නිතරම කියන්නෙ අපි ඉන්නෙ ඕගොල්ල රකින්න නෙවෙයි අලි රකින්න කියලා... හැබැයි දළ පූට්ටුවගෙ දළ දෙක පොලිසියෙන් හොයාගන්නකන් වනජීවි එක දන්නෙත් නෑ. ” ගම්මුන්ගේ කතාවේ ඇත්තේ චෝදනාවට වඩා හාස්‍යකි. 13 වැනිදා රැය පහන් වුණේ අන්දර වැව අද්දර උස්ගල ගම්මානයේය. රාත‍්‍රී 12 පහුවෙද්දී මොණර ?නක් එක පෙළට හඩනගන්නට වුණේ මුළු පළාතටම අවදානම අවධානය ගෙනෙමිනි. අලි වැටෙන් විදුලි සර පහර කෑ අලියෙකුගේ වේදනාබර කෑ ගැහිල්ලට මොණර හඬ යටපත් විය. අන්දර වැවම නිශ්චලතාවයේ ගිලී ගියේය. විරාමය පැයකටය. ඈත එපිටින් ඇසුණු අලි වෙඩි හඬ දසතින්ම ගිගුම් දුන්නේ ආක‍්‍රමණිකයන් සංඛ්‍යාවෙන් වැඩි හෙයිනි.

    අලි වෙඩි නැවතුණේ පාන්දර තුනට පමණය. නුවරුන්ට ඇද්දේ ජීවත්වන පන්නය පිළිබඳ ප‍්‍රශ්නයක් නම් මෙගම්වැසියන්ට ඇත්තේ ජීවිතය රැකගන්නා පන්නය පිළිබඳ ප‍්‍රශ්නයකි. කණගාටුවට කරුණ මේ දුක එගම් ද නියෝජනය කරමින් දියවන්නාවට ආගමනය වූ මැති ඇමැතින්ට ද නොපෙනීමය. අනතුරුදායක හෝරා කීපය ගෙවීයත්ම අප හේන් බිම්වලට සේන්දු වූයෙමු. කෙසෙල් හා පිපිඤ්ඤා වගාවක් පිටින්ම විනාශය. පොල් ගස් තිහක් පමණ බිමට පතබෑවීය. ලී දඬු ඇද දමා විදුලි වැට බිම දමා ඥානවන්ත ලෙස වගා බිමට ආ අලි අඩි හැම තැනය. ණය තුරුස් සිහිව කලකිරීමක් ආවත් විවේක ගන්නට වෙලාවක් ඔවුනට නැත. එහෙම වුණොත් අදත් අලි එනු නිසැකය. වැටුණු තැනින් ගොඩ එන්නට මෙන් ඔවුහු යළිත් හැකි විදියට අලි වැට ප‍්‍රතිසංස්කරණයේය. ප‍්‍රතිපත්ති සම්පාදකයන් දැකිය යුත්තේ මේ ජන දුකය.

    image_4e148f8c9a.jpg


    හම්බන්තොට අලි මිනිස් සංහාරයට පිළිතුරක් ලෙස ‘ගජ මිතුරෝ’ නමින් සැලැසුමක් සකස් කෙරුණේ 2009 දීය. අලි කළමනාකරණ රක්ෂිතයට පාර කැපුණේ රාජ්‍ය ආයතන හා ප‍්‍රදේශවාසීන් ඒකාබද්ධ කෙරුණු මෙම සැලැසුමෙනි. ඊට අමතරව විදුලි වැට හා අලිමංකඩ සැකැසීම ද එහි මුඛ්‍ය අරමුණ විය. 1937 අංක 2 දරණ වනසත්ත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක ආඥා පනතින් හිමිව ඇති බලතල මගින් මෙම සැලැස්ම සැකැසුණ ද අදටත් එය ක‍්‍රියාවට නැගී නැත.

    ගම්වැසියන් මෙන්ම පරිසරවේදීන් ද චෝදනා කරන්නේ මෙම සැලැසුම හමස් පෙට්ටියේ දැමීමට පක්ෂ විපක්ෂ දෙපැත්තේම සිටින දේශපාලන ප‍්‍රබලයන් වගකිව යුතු බවටය. විශේෂයෙන්ම උස්ගල කැලෑ පාලූවන්ට කෙසෙල් වගා කිරීමට දේශපාලන හයිය ලැබීම නිසා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද පැත්ත වැටී සිටින බව ගම්මුන්ගේ අදහසයි. බොරළු කැණීමේ කළු ගල් කැඩීමේ පටන් විනාශකාරී ලෙස වාණිජ වගාවන් හිතුමතේට කරගෙන යෑම දක්වා මේ දේශපාලන නිදහස පැතිර තිබේ. ගම්වැසියන් දෙස් දෙන්නේ ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලකයන් දෙදෙනෙකුටය.

    ” ඕකුන් කවුරුත් එකයි මහත්තයෝ. අපි මේ පොළවේ ඉපැදිලා මේ පොළවටම පස් වෙලා යාවි. අපේ දරුවන්ට යන කල දවස මොකද්ද?” බලධරයිනි, මේ ඔබේ අවධානය පිණිසයි.

    මහේෂ් (34)

    ‘උස්ගල කියන්නේ මගේ ගම. ඕලෙවල්වලින් පස්සේ වගාවට බැස්සා. මේක පාඩු නෑ. මේක තරම් හොඳ ජොබ් එකක් වෙන නෑ. ඊයේ රෑ අලි ඇවිත් කෙසෙල් වගාව සම්පූර්ණයෙන් විනාශ කරලා. වගාව මැද්දෙන් ඇදපු වතුර බට ලයිනුත් කඩලා දාලා. ඒකට විතර ලක්ෂ හතරක් ගියා. ඒ සේරම ඉවරයි. මේවා පාඩු වෙන ව්‍යාපාර නෙවෙයි. අලි එන්නැත්තන් ප‍්‍රශ්නයක් නෑ. දෙයියනේ කියලා ලබන මාසේ පූදින්න තිබ්බෙ. අපේ‍්‍රල්වල අවුරුද්දට පලදාව ගන්න තිබ්බ වගාව තමයි විනාශ කළේ.’
    ධර්මසිරි

    ‘අපි වගා කරන්න පටන් අරන් දැන් අවුරුදු තිහකට වැඩියි. සංවර්ධන වැඩවලට කැලේ කපනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ නීතිවිරෝධීව කැලේ කපන්නෙ අක්කර සිය ගණන්. ඉතින් අලින්ට ඉන්න තැනක් නැහැ. උන් ගම් වදිනවා. දුප්පත් ගොවියො තමයි මේ ප‍්‍රශ්නෙට මැදිවෙන්නෙ. රජයෙන් දීපු අලි වැටවල් වැඩක් නෑ. ගොඩක් වෙලාවට විදුලිය නෑ.’

    ඊ.එම්.ගුණදාස (55):

    ‘අපි ගොවිතැනට ආවේ 1979දියි. රජයේ ඉඩම්වල වගා කළා. සමහරුන්ට ඔප්පු ලැබුණා. සමහරුන්ට නෑ. ඒ දවස්වල අලි ආවේ නෑ. සංවර්ධන වැඩවලට කැලෑ ගැනීම එක්කයි අලි ගම් වදින්න පටන්ගත්තෙ. සංවර්ධනය හොඳයි. ඒත් මේ ප‍්‍රශ්නයට උත්තරයක් ඕනෑනෙ. වනජීවි එකේ මහත්තුරු කියන්නේ හරියට අලි වැටක් ගහනවා නම් කිලෝ මීටරේට රුපියල් කෝටියක් යනවලූ. කිලෝ මීටර් 235 ක වැටක් ගහන්න ඕනෑලූ. ඒ කියන්නේ කෝටි 235ක්. ’

    ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

    ‘දැනට වසරකට මිනිස්සු 120 ක් විතර මැරෙද්දි අලි 200 ක් විතර මිය යනවා. ලංකාවෙ අලි මිනිස් ගැටුම ආරම්භ වුණේ මහවැලි ව්‍යාපෘතියත් සමඟයි. 1882 සීයට 80 ක් තිබුණු වනාන්තර 2016 වෙද්දී සීයට 16 දක්වා අඩුවුණා. එක යායට තිබුණු වනාන්තර එලි කරලා ගම්මාන හැදුවා. අලියා සාමාන්‍යයෙන් දවසකට කිලෝ මීටර් 15 ක් විතර ඇවිදිනවා. වතුර ලීටර් 120 ක් විතර බොනවා. කිලෝග‍්‍රෑම් 150 ක් විතර ආහාර ඕනෑ. තමන්ගේ මූලික අවශ්‍යතා ටික අවටින් හොයාගන්න බැරිවුණාම කලින් කැලෑ ප‍්‍රදේශවලට(වර්තමානයේ ගම්මාන) යන්න ඒ අය කටයුතු කරනවා. මේකට තාවකාලික පැලැස්තර ඇලවීමෙන් පලක් නෑ. මගේ අදහස විල්පත්තුවේ සිට දකුණ දක්වාම අලිමංකඩ මගින් කැලෑ එකින් එක යා කළ යුතුයි. මේ සිදුවෙන අලි මිනිස් සංහාරය අවම කරගන්න හැකිවන්නේ එවැනි මගකින් පමණයි. අලි මිනිස් ගැටුම් තියෙන්නෙ ලංකාවේ විතරක් නෙවෙයි. ප‍්‍රශ්නය ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට සැබෑ වුවමනාවක් නැතිකමයි. අලි මිනිස් ගැටුමට ස්වාභාවික උත්තර හොයපු රටකට එක් උදාහරණයක් වන්නේ කෙන්යාවයි. කෙන්යාවේ අලි වැටවල් වෙනුවට ඉදිකරලා තිබෙන්නේ මී මැසි වැටවල්. මී මැසි තරංගවලට අලි බයයි. අනෙක් අතට මී පැණි අතුරු ව්‍යාපාරයක් හැටියට කරන්න පුළුවන්. ඒක සහනයක් වගේම අතිරේක ආදායම් මගක්.’
    (බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)
    (විශේෂ ස්තුතිය පරිසරවේදී වෑකඳවල රාහුල හිමියන්ට හා ටී කේ ඞී ඒ ප‍්‍රසන්න මහතාට)
    http://www.lankadeepa.lk/features/අලි-මිනිස්-ගැටුමේ-සැඟවුණ-දේශපාලනය/2-521806


    මේ යනවිදියට කවදාවත් විසඳන් නැති ප්‍රශ්නයක් වෙනවා.
    හිඟන්නහම්බකරන්නේ තුවාල පෙන්නලා.
    දේශපාලනේ හම්බ කරන්න ප්‍රශ්ණ පෙන්නලා :sorry::sorry:
     
    • Like
    Reactions: Bathiiii