'සිංහල අවුරුදු උත්සවය'
රොබර්ට් නොක්ස් යනු ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානි සමයේ රජකම් කළ දෙවන රාජසිංහ රජ සමයේදී සිරකරුවෙකු ලෙස රඳවාගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික නාවිකයෙකි.
ඔහුගේ පියා සමග ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යය බලා යාත්ර කරමින් සිටියදී කුණාටුවකට හසුවූ ඔවුන් සිටි නෞකාව ලක්දිවට ගොඩගසා තිබිණි.
ඒ අනුව, ඔහු ඇතුළු පිරිස ලක්දිව රජුගේ සිරකරුවන් බවට පත්වූහ.
1660 අප්‍රේල් මස 04 වන දා ලංකාවේ සිරකරුවෙකු බවට පත්වූ බවත්, එදින ඔහුගේ වයස අවුරුදු 19 මාස 1ක් සහ දින 27ක් වූ බව රොබර්ට් නොක්ස් සිය 'An Historical Relation of the Island of Ceylon' ග්‍රන්ථයේ පෙරවදනෙහි සඳහන් කර තිබේ.
1679 ඔක්තෝබර් මස 18 වන දා නිදහස ලබන විට ඔහු අවුරුදු 19 මාස 6ක් සහ දින 14ක් සිරකරුවෙකු ලෙස ලංකාවේ ගත කර තිබිණි.
එම කාලය සම්බන්ධයෙන් ඔහු විසින් රචනා කරන ලද 'An Historical Relation of the Island of Ceylon' ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ මහනුවර යුගයේ සමාජය ගවේෂණය කිරීමට අතිශයින් වටිනා ග්රන්ථයක් වන්නේ, එවකට ජීවත් වෙමින් ලත් අත්දැකීම් ඔහු ම සටහන් කර තිබීම හේතුවෙනි.
ඔහු සිය ග්‍රන්ථයේ ලක්දිව එකල 'අලුත් අවුරුද්ද' සැමරූ ආකාරය සම්බන්ධයෙන් ද විස්තර කර තිබීම ලක්දිව සමාජයේ වැදගත් සංස්කෘතික උත්සවයක ඉතිහාසය ගවේෂණය කිරීමට ලැබුණු මහඟු මූලාශ්‍රයකි.
රොබර්ට් නොක්ස්, රජ මාලිගයේ 'සිංහල අලුත් අවුරුදු උත්සවය' ද නිරීක්ෂණය කරමින් ඔහු එය දුටු ආකාරය සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.'සිංහල අවුරුදු උත්සවය වූකලී ලක් වැසියන් ඉතා වැදගත් කොට සලකන උළෙලකි. මේ දින රජ මාලිගයේ දොරටුවක් පාසා තොරන් බැඳ සරසති.' (එදා හෙළදිව)
'සිංහල අවුරුදු මංගල්‍යය දා බලමුළු පෙළ සැදී මහා වාසල අරක් ගනිති. උදෑසනක් සේ ම අවදි වන රජතුමා මීට කලින් ද කියූ පරිදි ස්නානය පිණිස පැන් ගෙට ප්‍රවිෂ්ට වන්නේ ය. එම උල්පැන් ගෙයි දියවඩන නිලධාරියා රජුට මෙහෙ පිණිස සැරසී සිටී. රජ්ජුරුවෝ හිස් සෝදා නාපියා සර්වාභරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව පෙළ සැදී සිට ගත් බල සෙනග පරීක්ෂා කිරීම සඳහා මාලිගාවෙන් නික්මෙති.' (එදා හෙළදිව)
රස කැවිලි
අලුත් අවුරුදු කාලයේ ආහාර අතර විශේෂ තැනක් හිමි වන කැවුම් ඇතුළු රස කැවිලි කිහිපයක් පිළිබඳව ද රොබර්ට් නොක්ස් විස්තර කර තිබේ.- කැවුම්
මීට වසර 365කට පෙර පවා කැවුම් රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගෙන ඇති බව ඔහුගේ සටහනෙන් පෙනී යයි.
'ඔවුන්ගේ රස කැවිලි විවිධ ය. ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම්, සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල් පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලි කොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කර වූ පසු තෙලෙන් එළියට ගනිති.' (එදා හෙළදිව - 282 පිට)
මේ අතර, කැවුම් සම්බන්ධයෙන් ඔහු අසා තිබූ ප්‍රවාදයක් ද එහි සඳහන් කර ඇත.
'ඕලන්දක්කාරයන් පළමු කොට ලක්දිවට පැමිණි අවධියේ, ඔවුන්හට රාජකීය සංග්‍රහයක් කරනු කැමති වූ කන්දේ රජු, ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන්හට නියම කළේ ය. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප්‍රණීත ආහාරයක් මිනිස් අතකින් නම් සෑදිය නොහැකි යැයි සිතා "මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක් දැ?" යි ඇසුවෝ ල!' (එදා හෙළදිව)
- අග්ගලා
අග්ගලා සකස් කරන ආකාරය ද ඔහු විස්තර කර ඇත.
'අග්ගලා නමින් තවත් අලුමුසුවක් වෙයි. බැදි හාල් පිටි පැණියෙන් අනා ගම්මිරිස්, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසු කොට මෙම ගුලි සාදා ගනු ලැබේ. මේ ගුලි, ගුලි කිරීමෙන් පසු තද වෙයි. ගමන් බිමන් යාමේදී, සන්ධ්‍යා භෝජනය සඳහා පසුම්බිවල දමාගෙන යන්නේ මේ අග්ගලා ය.' (එදා හෙළදිව)
- අලුවා
- යක්පැටි
ඔහු එම රස කැවිලි විශේෂය නම් කර ඇත්තේ, යක්පැටි ලෙස ය.
'යක්පැටි නම් තවත් අහරක් වෙයි. හාල් පිටි, පොල් හා හකුරුවලින් සාදනු ලබන මෙය රස අහරකි. හාල් පිටි, පැණි මුසු කොට අනා ගුලි කොට කොළයක ලා වණ්ඩුවේ තම්බා ගනිති. ඉතා මොළොක් වූ මෙය බුදින විට හකුරු සමග සුදු පාන් කන බවක් හැඟෙන්නේ ය.' (එදා හෙළදිව)
source:
https://www.bbc.com/sinhala/articles/cx2vrj0m5leo
