දයාබර සොයුරු සොයුරියනි...
කාලෙකින් මේ පැත්තෙ එන්න ලැබුනේ නැහැ..ඔන්න පොඩි දවසේ සිතුවිල්ලක් අරන් ආවා පාන්දරම කියවලා බලන්නකෝ....
බලයේ අයථා පරිහරණය පිලිබඳ ඇති නිරවුල් දැනුවත් බව නිසා ලෝකයේ බොහෝ දියුණු රටවල රටවැසියා තුළ බුද්ධිමත් සංකල්ප විටින් විට වර්ධනය වෙමින් පවති. ඒ රටවල පාලක ප්රජාවද මේ හේතුව නිසාම බොහොමයක් අවස්ථාවන්හිදී බුද්ධිමත් තීරණ ගන්නෝ හා ගත්තෝ වෙති. එසේම ඒ අයගේ දියුණුවට ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇත්තේ ආකල්පමය වශයෙන් ධනාත්මකව වෙනස්වීමට ඔවුන්තුළ තිබූ කැමැත්ත හා නිර්මාණශීලී මනසකින් කටයුතු කිරීමේ හැකියාවයි.
ලෝකයේ කිසිදු රටකට නොදෙවෙනි මිළකළ නොහැකි බුද්ධිමත් මානවසම්පතක් අප සතුව ඇතත් එම සම්පත නිසිසේ මෙරට සංවර්ධන කාර්යයට උපයෝගී කර ගත හැකි අධ්‍යාපන,වෘත්තිමය,සංවර්ධන සැලසුම් තවමත් අපට නොමැතිවීම මහත් අවාසනාවකි. මුළුමහත් ලොවම මිනිසා සතු මොළයෙන් වැඩගනිද්දී අප තවම වැඩ ගනුයේ මිනිස් සිරුරින් පමණි.තාක්ෂණ දියුණුවට බුද්ධිමය දායකත්වය ලැබීමට තවකල් ගතවෙනු ඇත.
බලය පවරනු ලබනුයේ ඉන් තමාට මෙන්ම අන්‍යයන්ටද සේවයන් සිදුකිරීමටය. බලය නිසා ඇතැම් අය උඩඟු ලෙස ක්‍රියා කරති.බලය නිවැරදිව කළමනාකරණය කරගැනීමට තරම් බුද්ධිමත් හෝ උගත් නොවූවිට මෙබඳු දේ ඇතිවේ.සමහරු බලය ලබාගැනිමට වෙරදරනුයේද අනුන් පාගා ඉස්මතුවීමේ දුෂ්ට අභිප්‍රායෙනි. එබඳු පුද්ගලයින් කිසියම් ක්ෂේත්රයක ප්‍රධානත්වය ඉසිලීම තවත් එවැනි අයට ඉස්මතුවීමට කදිම රුකුලක්වේ.
හැමවිට දුෂ්ට ප්‍රතිපත්ති සහිත අයගෙන් කෙතරම් අයථා උදව් උපකාර ලැබුණත් එබඳු අයට බලය ලබානොදීමට කටයුතු කිරීම සත්පුරුෂ බව ප්‍රිය කරන සැමගේම වගකීමවේ. මිළ මුදලට අයථා උපකාරවලට ගොදුරුවී, ව්‍යාජ පූචානම් බසට මුළාවී සිය දෙස, බස, රැසේ අනන්‍යතාවය පාවා නොදීමට තරම් ආත්මඅභිමානයකින් පසුවීම විවිධ දුෂ්ට බලවේග බෙහෙවින් ක්‍රියාත්මක වන මෙවැනි කාලවකවානුවකදී අගයකළ හැකි කරුණකි.
බලය ලැබිය යුතු සුදුස්සාට නොව නොලැබිය යුතු නුසුදුස්සා අතට එය ගියකළ මහත් අනර්ථකාරී දේ සිදු විය හැක. එහි දී බොහෝවිට පීඩාවට පත්වනුයේ තමන්ගේ පාඩුවේ ජීවත්වන අසරණ මිනිසුන්ය.මක්නිසාද යත් තමාට ලැබුණු බලය අයථා ලෙස භාවිතාකර එසේ පාඩුවේ ජීවත්වන මිනිසුන් පෙළීමට සමහරුන් කටයුතු කරන හෙයිනි.වඩා නරක බලය මෝඩයන් අතට පත්වීමය.එය වඳුරාට දැළි පිහිය ලැබීමට නොදෙවෙනිය.ආත්මාර්ථකාමී පුද්ගලයා නිතරම බලන්නේ අනෙකාගේ නිදහස ගරු කිරීමට වඩා තමාගේ පෞද්ගලික සුඛ විහරණයම පමණි.අනුන්ට නිතරම විවිධ කරදර හිරිහැර කිරීමට වෑයම්කරන පුද්ගලයින්ට බලය ලැබීම හිංසනයට බලපත්‍රයක් හිමිවීම හා සමානය.මහජන බලය බලාපොරොත්තුවෙන් කටයුතු කරන අයගේ සහයට ආධාරලබා දෙන අයටද බලය ඉතා වැදගත්ය.තමා ආධාර ලබාදුන් අය බලයට පැමිණීම රටේ සාමාන්‍ය මහ ජනතාවට වඩා ඒ අයට පෞද්ගලිකව විවිධ උදව් උපකාරකළ ආධාරකරුවන්ට ප්රයෝජනවත්ය.මීයක් කඩන්නේ අතලෙව කෑමට පමණක් නොවේ. නුසුදුස්සාට පදවි පිරිනැමීම බලයට පත්වීමෙන් පසු සෑම පාලකයෙකුටම සිදුවනුයේ බලයට පැමිණිමට පෙර තමා සතුව කෙතරම් හොඳ බුද්ධිමත් සංවර්ධන සැලසුම් පැවතිය ද ඒ සියල්ලටම වඩා තමා බලයට පත්කරවීම වෙනුවෙන් දරදිය ඇඳි පිරිස පළමුව සතුටු කිරීමටය.එය අනිවාර්යය අවශ්‍යතාවයක් හා සමානවම පාලනාධිකාරිය සමඟ බද්ධව පවතී. කිසියම් පාලකයෙකු එසේ සිදු නොකළහොත් එහි අනිවාර්යය ලක්ෂණය වනුයේ තමා සතු බලය ප්‍රතිවිරුද්ධ පාර්ශවය සතුවන පරිදි ක්‍රියාකිරීමට සිය ආධාරකරුවන් උත්සුක වන බව දැනසිටීමයි.
අපට අවශ්‍යවනුයේ අපගේ සංස්කෘතික නිර්ණායකවලට සරිලන භෞතික සංවර්ධනයකි. සංස්කෘතික ව්‍යුහය බැහැරකර එය සංවර්ධනය මැනීමේ මිණුම් දඬුවක් සේ නොගෙන පිළියෙළ කරන සංවර්ධන සැලසුම් මෙරටට නොගැලපේ.රුවන්මැලි සෑය ගඩොල් ගොඩක් සේ භෞතික බව පමණක් ගරු කරන බටහිර මනසකට දිස්වුව ද මෙරට සංවර්ධනයට එබඳු අයගේ සැලසුම් අදාළ කර නොගැනීමට තරම් පාලකප්රජාව බුද්ධිමත්වීමද, පොදු ජන විඥානය කෙරෙහි සංවේදී වීමද වැදගත් කරුණකි.
නවීන තාක්ෂණ ඥාණයෙන් බටහිර ප්‍රජාව තරමට සන්නද්ධ නොවුව ද බොදු දහම ආශ්‍රිතව ලැබූ ආධ්‍යාත්මික සංවර්ධනයෙන් මෙරට වැසියන් සිටිනුයේ බටහිරයන්ට වඩා බොහෝ සේ ඉදිරියෙනි.