සිඟාලක හමු වෙමු.
බෞද්ධයකුගේ ගිහි ජීවිතය ගැන කථා කරද්දී සිඟාලක ගෘහපති පිළිබඳව කථා නොකරම බැරිය. ඔහුට බුදුරජාණන්වහන්සේ ලබා දුන් අවවාද අද හඳුන්වන්නේ ගිහි විනය ලෙසිනි. එතරම් ම ඒවා බෞද්ධයකුට සමීපය. බුදු දහම තුළ ගිහියන්ට මෙන්ම පැවිද්දන්ට ද වෙන වෙනම දේශනා කර ඇති සූත්‍ර හඳුනාගත හැකි වේ. ඒ අතරින් ගිහියන් උදෙසා දේශනා කර ඇති සූත්‍රයකි සිඟාලක සූත්‍රය. මේ සූත්‍රයේ අන්තර්ගතය ගැන ඔබ දන්නා නිසා මේ ලිපියේ දී ඒ ගැන කථා කිරීමට මා උත්සාහ නොකරමි. ඒ සූත්‍රය ආශ්‍රයෙන් එදා සමාජය ගැන බුදු දහමට අනුව සාකච්ඡා කිරීමට කටයුතු කරමි. මෙනිසා සෘජුවම ධර්මය ගැන මෙහිදී කථා නොකරන බව ඔබට කිව යුතු ය.
ත්‍රිපිටකය තුළ ‘උපාසක‘ නැත්නම් ‘උපාසිකාවන්‘ බවට පත්වන පුද්ගලයන් සිටිනාකාරය ඔබට මතක ද? ඇස්බැස්ටෝස් තහඩුවක් කොමෝඩයක් දී තමුන් අදහන ආගමට පුද්ගලයන් පෙරලන අයවලුන් ගැන ඔබ දන්නවා ද? භෞතික ලාභ නොමැතිව ගිහි පුද්ගලයන් උපාසක - උපාසිකාවන් බවට පත් වූ ආකාරය ත්‍රිපිටකයේ සටහන්ව තිබේ. එය සිදු කරන්නේ නැත්නම් සිදුවන්නේ කෙසේ ද යන්න ඔබ සිතා බැලුවා ද? බුද්ධ දේශනාව අසා උපාසකයකු වන තැනැත්තකුට උපාසක වීමට පෙර තත්ත්වයක් පවතී. ඒ නිදහසේ සිතීමට එනම් බාහිර බලපෑමකින් තොරව ස්වාධීනව තීරණයක් ගැනීමට ලැබෙන අවස්ථාවයි. බොහෝ සූත්‍රවලදී අපට මෙය හඳුනාගත හැක. තමුන්ට හමුවන බොහෝ පුද්ගලයන් බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තමන් කරනා කාර්යය දිගටම සිදු කරනා ලෙසයි. නමුත් ඒ නිවැරදි ලෙසට ය. ඒ නිවැරදි ආකාරය කියා දෙද්දී ‘මාගේ දහම අනුව හැසිරුනොත් ඔබට වැඩි ප්‍රතිඵල ලැබෙන්නේ‘යැයි කියා කීමක් නැත. ඒ වෙනුවට කෙරෙන්නේ ඔවුන් කරනා දේ නැත්නම් ඔවුන්ගේ විශ්වාසය ධර්මයට අනුව හැඩ ගසවා ගත හැකි ආකාරය පෙන්වා දීමයි.
බ්‍රාහ්මණයන් සම්බන්ධයෙන් මෙවැනි බොහෝ අවස්ථා හඳුනාගත හැකි වේ. එහිදී බ්‍රාහ්මණයින්ගේ විනය, බුදුරජාණන්වහන්සේ විසින් තමුන්වහන්සේගේ අදහස අනුව නැවත අර්ථ නිරූපනය කරනා ආකාර දැකිය හැක. ‘කූටදන්ත සූත්‍රය‘ එවැන්නකි. යාගයක් වඩාත් ඵලදායි ලෙසින් සිදු කරන ආකාරය එහිදී බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. කූටදන්ත බ්‍රාහ්මණයාගේ නිවසේ තිබූ යාගය ගැන මෙසේ සූත්‍රයේ දැක් වේ.
එ සමයෙහි කුළුදත් බඹුණුහුගේ මහායාගයෙක් පිළියෙල කැරුණේ වෙයි. සත්සියක් ගොන් ද, සත්සියක් නාඹුවස්සෝ ද, සත්සියක් නාඹුවැස්සියෝ ද, සත්සියක් එළුවෝ ද, සත්සියක් තරුණ බැටෙළුවෝ ද (පොරගසන එළුවෝ ද තවත් සත්සියය බැගින් බොහෝ මෘගපක්ෂීහු ද) යාග පිණිස යාග ටැඹ වෙතට පමුණුවන ලදහ.
මේ සත්වයන් බිලිදීම පිණිස සූදානම් කර ඇත. බ්‍රාහ්මණ විශ්වාසය අනුව කෙරෙන මෙවැනි යාග අදත් ඇත. ඉතින් කූටදන්ත බුදුරජාණන්වහන්සේ සමීපයට යෙයි. ගොස් මෙසේ විමසයි.
එක් පසෙකැ හුන්නා වූ ම කුළුදත් බමුණා, “පින්වත් ගොයුමාණනි, ‘මහණ ගොයුම්හු තෙවැදෑරුම් යාග සම්පතත් සොළොස් පිරිකරත් දනිති’යි මෙය මා විසින් අසන ලදි. මම් වූ කලි තෙවෑදෑරුම් යාග සම්පතත් සොළොස් පිරිකරත් නො ම දනිමි. වැලි දු මහායාගයක් යජනට මම් කැමැතියෙමි. යාච්ඤා කරමි. මට පින්වත් ගොයුම්හු තෙවැදෑරුම් යාග සම්පතුත් සොළොස් පිරිකරත් දෙසත් වා”යි භාග්‍යවතුන් වහන්සේට කී ය.
මීට බුදුරජාණන්වහන්සේ පිළිතුරු දෙයි. එය සූත්‍රයේ සඳහන් වෙයි. මේ කොටස වැදගත් වේ.
ඒ යාගයෙහි වූ කලි ගෙරීහු නො මරන ලදහ. එළුතිරෙළුවෝ නො මරන ලදහ. කුකුළෝ හූරෝ නො මරන ලදහ. නොයෙක් ලිහිණි ඈ සත්තු වනසට නො පැමිණියහ. යාග කණු පිණිස රුක්හු නො සිඳින ලදහ. යාගශාලාව පිරිකෙවීම පිණිස හෝ යාග බිමැ ඇතිරීම පිණිස කුස තණ නො සිඳින ලද්දේ ය. ඔහුගේ දාසයෝ යී හෝ මෙහෙකරුවෝ යී හෝ කම්කරුවෝ යී කියන ලද යම් කෙනෙක් වූහු නම්, ඔහුත් දඬු ගැන්මෙන් නො තෙජනු ලදුවෝ, බිය දැනැවීමෙන් නො තෙජනු ලදුවෝ, කඳුළෙන් තෙමුණු මුහුනු ඈති වැ නො ම හඬනුවෝ, (පිය බසින් ම මෙහෙයුණෝ) කටයුතු දෑ කළහ. වැලි දු යම් කෙනෙක් කැමැත්තෝ නම්, ඔහු එහි කටයුතු දැය කළහ. යම් කෙනෙක් නොකැමැත්තෝ තම්, ඔහු එය නො කළහ ... ගිතෙල් තලතෙල් වෙඬරු දිහි මී සකුරින් මුසු වූ කැඳ බත් ආදියෙන් ම ඒ යඥය නිමාවට පැමිණයේ ය.
කූටදන්ත බ්‍රාහ්මණයා කිරීමට ගිය යාගයත් බුදුරජාණන්වහන්සේගේ පිළිතුරත් අතර විශාල වෙනසක් ඇත. බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් යාගය සිදු කර ඇත්තේ ගිතෙල්, තලතෙල්, වෙඬරු, මී, හකුරු මුසු වූ ව්‍යංජන බත් ආදිය යොදා ගෙන ය. මෙයට කූටදන්ත බ්‍රාහ්මණයාගේ අදහස සලකා බලමු. එය සූත්‍රයේ මෙසේ දැක්වෙයි.
“මම් මහණ ගොයුමන් වහන්සේගේ සුබැසිය සුබැසි විසින් නොඅනුමෙවුනෙම් නො වෙමි. යමෙක් මහණ ගොයුමන් වහන්සේගේ සුබැසිය සුබැසි විසින් නො අනුමෙවුනේ වී තම්, ඔහු හිස ගිලි හෙන්නේ ය. වැලි ‘මා විසින් මෙය ඇසිණැ’ යී හෝ ‘මෙසේ වියැ යුතු යැ’ යී හෝ මහණ ගොයුමන් වහන්සේ මෙසේ නො වදාළ සේක. එහෙත් උන් වහන්සේ ‘එදා මෙසේ වී ය. එදා මෙ පරිද්දෙන් වී යැ’ යී ම වදාරන සේක. භවත්නි, ඒ මට ‘ඒකාන්තයෙන් මහණ ගොයුමන් වහන්සේ එ කලැ යාගස්වාමි වූ මහාවිජිත රජ හෝ වුව මැනැව, ඔහු යාගය කැරැවූ පෙරෙවි බමුණා හෝ වුව මැනැවැ’යී මෙසේ සිතෙක් වෙයි. පින්වත් ගොයුමාණන් මහත්සේ ‘මෙ බඳු යඥයක් යැද හෝ යදවා (දනක් දී හෝ දෙවා) කාබුන් මරණින් මතු මනා ගති ඇති සඟ ලොවට පැමිණෙන්නේ යැ’යි පිළින කරන සේක් දැ?”යී කුළුදත් බමුණු කී ය.
පෙර දී මා සඳහන් කලේ මෙයයි. මෙතැන් පසුව බ්‍රාහ්මණයාගේ ඉල්ලීම අනුව බුදුරජාණන්වහන්සේ දානයේ ස්වභාවය ගැන විස්තර කරයි. ඉන්පසුව කූටදන්ත බ්‍රාහ්මණයා තෙරුවන් සරණ යයි. උපාසකයකු වෙයි.
දැන් මේ කූටදන්ත සූත්‍රයේ දී කූටදන්ත වනාහා බ්‍රාහ්මණයෙකි. ඒ බ්‍රාහ්මණයාට බුදුරජාණන්වහන්සේ දානය, ශීලය ගැන, ජීවත්විය යුතු ආකාරය ගැන විස්තර කරයි. බ්‍රාහ්මණයන් සඳහා දේශනා කළ සූත්‍ර විශාල ප්‍රමාණයක් ත්‍රිපිටකයේ ඇත. කෙසේවෙතත් සිඟාලක වනාහි බ්‍රාහ්මණයකු නොවේ. ඔහු ගෘහපතියෙක්. එසේම සූත්‍ර පිටකයකට අනුව ක්ෂත්‍රියයන් කියා කොටසක් ද හඳුනා ගත හැක. ඒ අනුව බ්‍රාහ්මණ, ගෘහපති, ක්ෂත්‍රිය යන කොටස් තුන සූත්‍ර පිටකයේ දී හඳුනා ගත හැකි වේ. අපේ කථාවට වැදගත් වන්නේ ගෘහපති කොට්ඨාශය පමණි.
ගෘහපති යනු කව් ද? අපි කියනා ගෘහමූලිකයා නොවේ. ගෘහපති ලෙසින් සූත්‍ර පිටකයේදී අප හමුවන තැනැත්තා නියෝජනය කරන්නේ එක්තරා පුද්ගල කොට්ඨාශයකි. සමහරුන් ඔහුව ‘ගිහියා‘ ලෙසින් හඳුන්වයි. එය නිවැරදි නොවේ. ගෘහපති යනු සමාජයේ ධනවත් කොට්ඨාශය නියෝජනය කරන්නෙකි. බ්‍රාහ්මණයින් තුළ ධනවත් මෙන්ම දුප්පත් කොට්ඨාශ ද වේ. ගෘහපතියන්ගේ එසේ නොවේ. ඔහු බෞද්ධයකු විය හැකි අතර බෞද්ධයකු නොවිය හැක (කෙසේවෙතත් බෞද්ධයන් හැකි හැම අවස්ථාවේදී ම ගෘහපතීන්ගේ සහාය ගැනීමට උත්සුක වූ බව පෙනී යයි). චක්‍රවර්ති රජුට ඇති රත්නයන්ගෙන් එකක් වන්නේ ගෘහපති රත්නයයි. මෙනිසා ‘සිටුවරයා‘ යන අර්ථයද ගෘහපතිට සමහර අවස්ථාවලදී ලබා දී තිබේ. අනාථපිණ්ඩික සිටුවරයා ධනය උපයන්නෙකි. ඔහු බ්‍රාහ්මණයකු ද නොවේ. ක්ෂත්‍රියයකු ද නොවේ.
බුද්ධඝෝෂ හිමි සිඟාලක සූත්‍රය ගැන කියද්දී එය සියළු ගිහියන් සඳහා යැයි කියයි. නමුත් පෙර කී ආකාරයට නම් එසේ විය නොහැක. සිඟාලක ගෘහපතියකු පමණි. බුදුරජාණන්වහන්සේ ඔහුට අවවාද දෙන්නේ ඔහුගේ පරම්පරාවෙන් පැමිණි ගෘහපති ධර්මය ඉදිරියට නිවැරදිව පවත්වාගෙන යාම සඳහා ය. එයත් කූටදන්ත බ්‍රාහ්මණයාට ලබා දෙන අවවාදයත් සැලකිල්ලට ගත හොත් දෙපාර්ශ්වයේ සමාජ තල අනුව දෙදෙනාට ම දේශනා කරන්නේ එකමාකාරයට ය. ගෘහපතියෙක් ලෙස ඔහුගේ ජීවිතයේ කළ හැකි දේ ඔහුට දේශනා කරයි. එසේ බලද්දී කූටදන්ත සූත්‍රය වැනි සූත්‍ර බ්‍රාහ්මණයින්ට කළ නොකළ යුතු දේ ගැන දේශනා කරද්දී සිඟාලක සූත්‍රය වැනි සූත්‍ර ගෘහපතීන්ට කළ නොකළ යුතු දේ ගැන දේශනා කරයි.
දැන් අපි සිඟාලක සූත්‍රය ගැනත් විමසමු.
බුදු දහම තුළ ඇති ජනප්‍රියම සූත්‍රයන්ගෙන් එකක් ලෙසින් සිඟාලක නැත්නම් සිඟාලෝවාද සූත්‍රය හැඳින්විය හැක. ලංකාවේ පමණක් නොවේ. ජාත්‍යන්තරයේ ද එය ජනප්‍රිය වේ. ථෙරවාදයේ පමණක් නොවේ, මහායානය තුළද ඒ ජනප්‍රිය ය. ප්‍රධාන වශයෙන් ම චීන භාෂාවෙන් පරිවර්තන 4 ක් හඳුනා ගැනීමට හැකි වේ. පැරණිම සංස්කරණය ක්‍රි.ව. 148 – 170 තුළ සිටි අන් සිගාවෝ විසින් කර තිබේ. ෂි ෆඩෝගේ පරිවර්තනය ක්‍රි.ව. 301 දීය. තෙවන පරිවර්තනය ක්‍රි.ව.397 – 398 අතර දී සංඝදේව විසින් සිදු කර ඇත. දීර්ඝාගමේ 16 වන සූත්‍රය අනෙක් පරිවර්තනය වේ. 1950 දී පඤ්ඤසිරි භික්ෂුව විසින් මේ සූත්‍ර හතරම ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබේ.
ඒ අනුව එකිනෙකට වෙනස් පාප ක්‍රියා 14 කින් සයදිසාව ආරක්ෂා කරගන්නා ආකාරය උන්වහන්සේ සිඟාලකට දේශනා කළ සේක. ඊට (අ) සතර කර්ම ක්ලේශ (ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමයන්හි වරදවා හැසිරීම, මෘෂාවාදය) (ආ) සතර අගති (ඡන්දය, ද්වේෂය, බිය, මෝහය) (ඇ) අපායමුඛ හය (මත් බවට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීමෙහි යෙදීම, නොකල්හි වීථිසංචාරයෙහි යෙදීම, උත්සව දර්ශනය පිණිස යෑම, ප්‍රමාදයට කාරණයක් වූ දූකෙළියෙහි යෙදීම, පාපමිත්‍රයන් හා පුන පුනා එක් වීම, අලසබව්හි නැවත නැවත යෙදීම). පසුව සදිසාව කුමක් ද, සදිසානමස්කාරය කරන්නේ කෙසේ ද යන්න දේශනා කළ සේක. මේ පිළිබඳව ඔබ දන්නා නිසි නැවත පුනරුච්ඡාරණය කිරීමක් අවශ්‍ය නොවේ.
Last edited: