You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සිත තාම සුවදයි - යොවුන් නව කතාව
මම මේක දැම්මේ එළකිරි Talk එකේ. ඒක නිසා ගොඩක් අයට මිස් වෙන්න ඇති. ලස්සන කතාවක් කියවලා බලන්න.. මට මැසෙජ් ගොඩක් අවිත් තිබුනා නැවත පලකිරීමක් කරන්න කියලා Nawakata Saha Ketikatha එකේ. ඔන්න එහෙනම් දැම්මා..
හිසට ගව් ගානක් දුරින් ඉහල අහසේ එල්ලී ඇති හිරු හොදටම ගිනිබත් වී ඇත. ඇග පුරාම බේරී, ඉහිරී යන දාඩිය කන්දරාව නිසා, ගත මෙන්මද සිතද තෙතබරිත වී අවසන්ය. මේ තරම් රස්නයක් දැනෙනවා නම් හවසට වහින්නටවත් ඕනෑය. එහෙත් නිල් අහස් කුස පුරා එක වැහි මංදාරමක සළකුණක්වත් නැත. තොරතෝංචියක් නැතිව යාන්ත්‍රික වී ඇති මේ නගරයේ ඇත්තේ පුදුම කන්දොස්කිරියාවකි.
බැලූ බැලූ අත විවිධ මාදිලියේ මිනිසුන්ය, නනාප්‍රකාර යාන වාහනය, පුදුමාකාර සද්ද බද්දය. 'ආපහු ගෙදර ගියා නම් හරිය' කියා සිතට සිතී තිබුනේ මෙයට බොහෝ වේලාවකට කලින්ය. මොනවා වුණත් 'ජයවර්ධන අංකල්' කියූ පරිද්දට, 'දිනූකා එන්ටර්ප්‍රයිසස්' තිබිය යුතතේ මේ ළගමය. එසේ හෙයින් ගෙදර ගිහිනුත් බැරිය. මම හොදින් වටපිට බැලුවෙමි. මේ කට්ට අව්වේ තවත් ඇවිද්දොත් මට කලන්තයක් හෝ අල්ලනු ඇත. වතුර ටිකක් හෝ කූල් බීම එකක්වත් බොන්නට තැනක් නැත බැලූ බැලූ අත ඇත්තේ හාඩ්වෙයාර් හා තොග වෙළදාම් කරන කඩවල්ය. වැරදිලාවත් කලන්තයක් අල්ලා මා මේ පාරේ ඇද වැටුණොත් අඩුම ගණනේ වාහන හය හතක්වත් මාව යටකරගෙන යනු ඇත. ඒ තරම් කඩිකුලප්පුවක් මේ වාහනවලටද, ඒවා එළවන අයටද ඇත.
තවත් දුර යන්න එපා යැයි සිත කියද්දී මම පාර අයිනේ නැවතුණෙමි. මා පසු කරගෙන යන කිසිවෙකුත් මා දිහා විහිලුවකටවත් බලන්නේ නැත. තවත් බලා හිදීමෙන් මට අත්වන සෙතක් නැත. මගේ ඉදිරියට එමින් සිටි තලත්තෑනි මිනිසෙකුගෙන් අතේ තිබූ ලිපිනය පෙන්නා තැන කොතැනදැයි විමසුවෙමි. දාඩියට පෙගී තිබුණු කොළ කෑල්ල දෙස ඔහු බැලුවේ මුහුණ හකුළුවාගෙනය.
"ෂහ්..! මේ කියන තැන පහුකරගෙන හුගක් දුර ඇවිල්ලනේ.."
ඔහු ගත් කටටම කීවේය. මගේ හිත තත්පරේට දෙකට කඩාගෙන වැටුණි. දැන් ඉතිං ආයෙමත් ආ මගේම යා යුතුය.
"ගො.. ගොඩක් දුර ඇවිල්ලද..?"
හිතේ වූ ආවේගයට වචන පිටවූයේ කඩින් කඩය. ත්‍රීවීල් එකට වියදම් වෙන රුපියල් පනහා ඉතිරි කරගැනීමට පයින් ආ එකේ අරුමය තේරෙන්නේ දැන්ය. ජයවර්ධන අංකල් කියූ ලෙසට ත්රීවිලයකින් ආවා නම් මා යායුතු තැනට ගොස් දමා බොහෝ වේලාය.
"ඔව්.. ටි.. කා.. ක්.. දුර ඇවිත්.."
කොල කෑල්ල නැවත මගේ අතට දී ඔහු යන්නට ගියේය. තවත් බලා සිටින්නට බැරිය. ළගින්ම එමින් තිබූ ත්‍රීවිලරයකට මම දෙපාරක් නොසිතාම අත දැමුවෙමි. තවත් පරිප්පු නම් කන්නට බැරිය. කාපු ඒවා දිරවාගන්නටත් බැරිය. සල්ලි හෙමින් සීරුවේ ඉතිරි කරගත හැකිය. ඊට කලින් දිනූකා එන්ටර්ප්‍රයිසස් සොයාගත යුතුය.
ටිකකින් තට්ටු හතරක් පමණ ඉහළට විහිදී ගිය ගොඩනැගිල්ලක් ඉදිරිපිට ත්රීවිලය නැවතුණි.
"මල්ලී.. මෙතන තමයි තැන.."
ත්‍රීවිලයට මුදල් ගෙවා මම ගොඩනැගිල්ල දෙස බැලුවෙමි. දිනූකා එන්ටර්ප්‍රයිසස් යන නම ඉතා සිත්ගන්නා සුලු ආකාරයට එම ගොඩනැගිල්ලේ මැද කොටසේ නිර්මාණය කර තිබිණි. එහෙත් එය ඊටත් වඩා කලාත්මකව නිම කිරීමට මා හට හැකියාව ඇති බැව් මම හොදින් දැන සිටියෙමි.
"මැණික්දිවෙල මහත්තයා ඉන්නවද..?"
ඇරෙන වැහෙන වීදුරු දොර ළග සිටි ආරක්ෂක නිලධාරියෙකුගෙන් මම ඇසුවෙමි. ඔහු මදෙස බැලුවේ අමුතුම පරික්ෂාකාරී බවක් මුහුණට නංවාගෙනය. පොඩි මිනිසුන්ට පොඩි මිනිසුන්ගේ සැලකීමේ හැටි එහෙමය. වැරදිලාවත් මා මෙතනට ටයි කෝට් දමාගෙන පැමිණියා නම් මේ සිකියුරිටිකාරයා මා හට දෙකට තුනට නැමී ආචාර කරනු ඇත. කෙසේ වුවද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනින් පසුව ඔහු මට යායුතු පාර කියා දුන්නේය. බතික් සැරසිලිවලින් අලංකාර වූ සොදුරු බිතු සිතුවම් වලින් හැමතැනම පාහේ සරසා තිබිණි. මගේ නිර්මාණ දායකත්වයද මේවාට ලැබුණු පසු, මේ සැරසිලි තවත් අලංකාර වනු ඇත. හොදින් ඇද පැළදගත් විවිධාකාර පුද්ගලයින් හා කාන්තාවන් මා පසුකර එහාට මෙහාට යමින් සිටියහ. සොදුරු සිනා රැලි වලින් ඔවුන්ගේ මුහුණු ඔපවත් වී ඇත. ඔවුන් මේ ආයතනයේ සේවය කරන්නේ තෘප්තිමත් සිත්වලින් විය යුතුය. කඩිනමින් පඩිපෙළවල් කීපයක් නැග ගිය මා නැවතුණේ මැණික්දිවෙල මහතාගේ කාමරය ඉදිරිපිටය. දිනූකා එන්ටර්ප්‍රයිසස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා ඉදිරියට යාමට අවැසි වූ දිරිය සිතට එකතු කරගනිමින් මම මදක් වේලා දොර ළග රැදී සිටියෙමි.
"මොකද..?"
පසුපසින් ඇසුණු තියුණු හඩකින් මම උඩ විසිවී ගොස් බිම වැටුණෙමි. පපුවේ වේගය එකසිය ගානට වැඩිවෙද්දී මම තත්පරේට දෙකට හැරී බැලුවෙමි. මගේ ඇස් ඉදිරිපිට සිටියේ ඉතා සොදුරු තරුණියකි. තනිකරම නවීන විලාසිතාවන්ගෙන් පරිපූර්ණ වී සිටින ඇයගේ රූමත් බව ඒ හැමදෙයක්ම අභිබවා කැපී පෙනෙන්නට විය. නමුත් මගේ මුහුණ දුටු ගමන්ම වාගේ ඇයගේ රූමත් මුහුණට මොකක්දෝ අමුතු පෙණුමක් එක්වී තිබිණි. දකින්නට අප්‍රසන්න පුද්ගලයෙකු දුටු විට මුහුණේ උපදින හැගීම, ඒ සොදුරු මුහුණේ අපූරුවට සටහන් වී තිබිණි. එහෙත් මා ඇයව දුටුවේ අදමය.
"කන් දෙකේ රොඩුද..?"
පපුව හෑරෙන තරම් සැර ඒ වචන වලට මම ඇත්තටම තිගැස්සී ගියෙමි. ඇයගේ මුහුණේ සටහන් වී තිබුණේ දැඩි අමනාපයක මං සලකුණුය. සමහරවිට මගෙන් පිළිතුරක් ලැබෙන්නට ප්‍රමාද වීම නිසා එය එසේ වන්නට ඇත.
"ම... මං.. මං.. මේ.. මැණික්දිවෙල මහත්තයව හම්බවෙන්න ආවේ.."
රූමත් යුවතියගේ සොදුරු මුව පසෙකට ඇදවී ගියාය. ඒ රෝස වතෙහි දිස්වූයේ සමච්චල් සහගත පෙනුමකි.
"මහතත්යව හම්බෙන්න දොර ළග ඉදලා බෑ මිස්ටර්.. ඇතුළට යනවා.. ඇතුළෙ මහත්තය ඇති..."
ඉතා කටුක ස්වරයෙන් පිටවූ ඒ වචන ගලා ආවේ ඇයගේ සොදුරු මුව තුළින්මද කියා සිතාගත නොහැකිව මම අන්දමන්ද වී ගියෙමි. මා හට මේ තරම් සැර පරුෂ ලෙස කතා කරන්නට මම ඇයට අත්වැරදීමකින් හෝ වරදක් කර ඇත්දැයි මම කල්පනා කෙරුවෙමි. නැත. එවැන්නක මතකයක් මගේ සිතේ කොතැනකවත් නැ. ඇය මේ මට හමුවූ මුල්ම වතාවය.
මේ ආයතනයේ වැඩ කරන සියල්ලන්ම ඇය වාගේ වුණෝතින් නම් මා මෙතන වැඩ කර හමාරය. මොකක්දෝ නොතේරෙන හීණමානයකින් මගේ හිත උතුරා යන්නට පටන් ගත්තේය. සමහරවිට මා අද උදේ නැගිටිද්දී ඇදේ වැරදි පැත්තෙන් බිමට බැස්සා වෙන්නට පුලුවන. ඒ කියන්නේ ඇද විට්ටම පැත්තෙනි.
"තවත් මොනවා බලන් ඉන්නවද මංදා.. අපේ වැඩත් පාඩු කර කර.."
තනියෙම තවත් මොනවදෝ තොල් මතුරමින් ඇය යන්නට ගියාය. ඇය දුරස් වී ගියාට පසුව මගේ හිතට දැනුනේ පුදුමාකාර සැහැල්ලු බවකි. හරියට, දවසම මුත්‍රා නොකර සිට, මුත්‍රා කළ පසු දැනෙන සනීපය වැනි එකකි. ඒ සනීපය තියාගෙනම ආපසු ගෙදර බලා යන්නටද මට සිතේ. මා එසේ ගියෝතින් ජයවර්ධන අංකල් මගේ පහුගිය ජාතකේත් මතක් කර බැන වදිනු ඇත. අතට අරන් දුන්නු දේ කටට දමාගන්නට බැරි අපතයෙකුයි කියා අම්මා එකෙන්ම කියවනු ඇත. දෙපාරක් සිතා මම වායුසමනය කර තිබූ කාමරයට ඇතුලු විමි.
"ඔව්.. මොකක්ද උවමනාව..?"
විශාල උපැස් යුවලක් පැළද සිටි තරබාරු පුද්ගලයෙක් වූ මැණික්දිවෙල මහතා මගෙන් ඇසුවේය. ඒ වචන මා සිතූ තරම් සැර පරුෂ වූයේ නැත. ඒවායේ වූයේ කාරුණික හඩකි.
"මිස්ට ජයවර්ධන කිව්වා සර්ව හම්බවෙන්න කියලා.."
"ආ.. එතකොට මේ කාංචන වෙන්න ඕන.. එහෙමනේ.. ඒත්, මොකද මනුස්සයො පරක්කු වුණේ..? මට මිස්ට ජයවර්ධන කිව්වෙ උදේම ඒවි කියලනේ.."
හිතාගන්නවත් බැරි තරම් සුහදශිලී දෙස මැණික්දිවෙල මහතා කතාබහ කරද්දී මගේ සිතට දැනුණේ මහත්ම වූ අස්වැසිල්ලකි.
"ම... මට තැන හොයාගන්න ටිකක් අමාරු උනා සර්.."
"ඒ කියන්නෙ මගේ ආයතනය ඒ තරම් ප්‍රසිද්ධ එකක් නෙමෙයි කියන එකනේ..?"
දබරැගිල්ලෙන් නළලට තට්ටු කරගන්නා ගමන් ඔහු කීවේය. ඒ මුහුණේ තිබුණේ දැඩි කල්පනාකාරී බවකි. එහෙත් උකුස්සෙකුගේ වැනි තියුණු ඇස් කෙලින්ම යොමුවී තිබුණේ මා දෙසටය. මේ තරම් විශාල ආයතනයක ප්‍රධානියාට මගේ පුංචි නම මතක තිබීම ගැන මගේ සිතට දැනුනේ තේරුම් ගැනීමට අපහසු වූ සතුටකි.
"අනේ නෑ සර්.. මම මෙතන පහුකරගෙන හුගක් දුර ගිහින්.. පස්සෙ ත්‍රීවීල් එකකින් ආපහු ආවේ.."
මා ඒ කියූ දේවල් පිළිබදව ඔහු එතරම් තැකීමක් කළේ නැත. එම නිසාම, මා අනවශ්‍ය දේවල් ඔහු හා කිව්වාවත්ද යැයි මට සිතුණි.
"මිස්ට ජයවර්ධනගෙ ගැරන්ට් එකට තමයි මං කාංචනව මගේ බතික් ඩිසයින් කරන්න ගත්තේ. අඩුගානෙ මං කාන්චනගෙ එක ආර්ට් එකක්වත් දැකලා නෑ. තේරුණානේ. මෙතන හොදට වැඩ කරගෙන හිටියොත් හුගාක් හොද තැනකට යන්න පුලුවන්. මේ ආයතනයේ වැඩ කරන හැමෝම හොදයි. ඒ හැමෝම එක්ක කාන්චන හොදින් ඉන්න ඕන.."
මම යටහත් පහත්ව හිස වැනුවෙමි. මැණික්දිවෙල මහතා කියන පරිද්දට මේ ආයතනයේ සියල්ලෝම හොදය. එතකොට මා හට නිකරුණේ සැර දැමූ තරුණියත් හොද කෙනෙක්දැයි මම මගෙන්ම ඇසුවෙමි. නැත.. ඇය කිසිසේත්ම හොද කෙනෙකු වන්නට බැරිය. නැතිනම් මා වැනි අහිංසකයෙකුට නිකරුණේ සැර දමන්නේ නැත. ඇය මේ ආයතනයේ සාමාන්‍ය නිලධාරිනියක වන්නට ඇත. සමහරවිට පිළිගැනීමේ නිලධාරිනිය විය හැක. අප වැනි සොක්කන්ට ඔහොම පුස්පාට් දමන්නේ ලොකු අය නොවේය. අපේ මට්ටමේම අයය. නවීන විලාසිතා වලින් සැරසුණු පලියට මුලු ලෝකයම තමා අතේයැයි ඇය සිතනවා විය යුතුය. ඇය කෙරෙහි මට දැනුනේ දැඩි නොපහන් බවකි.
"කාංචනගෙ නිර්මාණ හැකියාව කොහොමද කියලා මට බලාගන්නත් ඕන. හදිසියක් නෑ.. පුලුවන් උපරිම විදියට කරලා මට දන්වන්න. කාංචනට අවශ්‍ය කරන හැමදේම මෙහේ තියෙනවා.. ම්.. එතකොට කාංචනට හැමදාම ගෙදර යන්න අවශ්‍යද..?"
තියුණු ඇස් යළිත් කෙලින්ම මා දෙසට යොමුවිය. නැතැයි කියන්නට මෙන් මම හිස දෙපැත්තට වැනුවෙමි. කරුණාවන්ත මුහුණේ අපූරු සිනාවක මං සලකුණු සටහන් විය. ඇත්තටම මැණික්දිවෙල මහතා මොනතරම් කරුණාවන්ත පුද්ගලයෙක්ද..?
"කාංචන තාමත් ඉන්නෙ බයවෙලා වගේනේ. කොල්ලො උනහම ඔහොම බෑ, තේරුණානේ.. මං ඔයාව මෙතෙන්ට තෝරගෙන ඉවරයි මනුස්සයෝ.. මේ බිල්ඩින් එක පහල මං කාමර දෙක තුනක් හදලා තියෙනවා. කාංචනට ඒවායින් එකක නවතින්න පුළුවන්.."
සිතේ සතුට උතුරා ආවේ ගගක් ගලන්නා සේය. මෙය නම් අදහාගන්නටවත් බැරිය. රැකියාව ලැබුණෝතින් නවතින තැන පිළිබදව ගැටලුව මගේ ඔලුවේ තිබුණේ ඉතා විශාල ගැටලුවක් ලෙසය. මැණික්දිවෙල මහතා ගැන වූ භක්තියෙන් මගේ දෙඇසට කදුළු උනා ආවේය. මම හනික පුටුවෙන් නැගිට ඔහු ඉදිරියට විත් දණ ගසා වැන්දෙමි. ඒ මුහුණේ පැන නැගුණේ දැඩි විමතියක මං සලකුණු වුවත්, ඔහු මගේ උරහිස් වලින් අල්ලා ඉහලට එසෙව්වේය.
"ජයවර්ධනගේ ගැරන්ටිය හරි.. මූණ දැක්ක ගමහන් මං හිතුවා කාංචන හොද කොල්ලෙක් කියලා.. එහෙනම් ඉතිං ඔය ඉස්සරහ පේන කොරිඩෝ එක දිගේම යන්න. දිගටම ගියාම හම්බවෙන විශාල කාමරය තමයි කාංචන වැඩ කරන කාමරය. එතැන ඉන්නෙ මේ ආයතනයෙ දෙවැනියා. කරන්න ඕන දේවල් කාංචනට එතැනින් දැනගන්න පුළුවන් වේවි."
මම කාමරයෙන් එළියට ආවෙමි. ජයවර්ධන අංකල් නම් ලබන ආත්මයේ හෝ බුදුවිය යුතුය. මේ රැකියාව හොයා දුන්නේ ඔහුය. ඔහුගේ දැන හැදුනුම්කම්වලට පිං සිද්ධ වන්නටය. ලැබෙන පළමු පඩියෙන් ඔහුට හොද තෑග්ගක් ගෙන ගොස් දිය යුතුය. අයියාටත් සතුටු හිතෙන දෙයක් දිය යුතුය. පුංචි කාලයේ සිටම මගේ අත්වැල වූයේ ඔහුය.
"ද... ඩ්... ඩා... ස්..."
කිරි කොතලෙට හෙණ ගැසුවාක් මෙන් මගේ කල්පනා සාරගය නිම වී ගියේ කවුරුන් හෝ ඉතා වැරෙන් ඇගේ හැපෙනවාත් සමය. උනේ කුමක්දැයි සිතාගත නොහැකිව මම වටපිට බැලුවෙමි. මා තවමත් සිටින්නේ කොරිඩෝවේ මැද හරියේය. බතික් තිරවලින් වටවී තිබූ නිසා කොරිඩෝව අදුරු පැහැයක්ද ගෙන තිබිණි. අබ දැමුවාත් පුපුරා යන තරම් කේන්තියෙන් මූණ පුප්පාගෙන බිම වැටී සිටියේ, මට මුලින් සැර දැමූ යුවතියය. දැන් නම් හොදටෝම බැනුම් අසන්නට සිදුවන බව මට විශ්වාසය.
"කණ වෙලාද මිනිහො උඩ බලාගෙන යන්නේ..?"
ඇය මගේ මූණටම බැණ වැදුනාය. රටේ ඇති නැති දේවල් කියමින් ඇය මට ඔරවන හැටි බලන්නට මෙතන කිසිවෙකුත් නොසිටි එක ගැන මම දෙවියන්ට පිං දුනිමි. මා වටපිට බැලුවේ තවත් කිසිවෙකු හෝ ඇයගේ කටේ සද්දයට පැමිණේවිදෝ කියාය.
"කොහෙද යන බූරු තඩියෙක්.."
නප්පියටම තදවී ඇය තවත් මොනවදෝ කියවාගෙන යයි. මේ ආයතනයේ සේවය කරන හැහෝම හොද අය යැකි මැණික්දිවෙල මහතා මා හට කීවේ වැරදීමකින් විය යුතුය. එසේත් නැත්නම් ඒ කරුණාවන්ත මිනිසා මේ නොහික්මුණු තරුණිය ගැන නොදන්නවා විය යුතුය.
"ස... සමාවෙන්න මිස්.. අ.. අත්වැරදීමක් වුණේ.."
බිමට වැටී තිබුණු කොළ අහුලන ගමන් මම කීවෙමි. තවත් මොනවදෝ තොල් මතුරමින් ඇය ෆයිල් කවර එකතු කරයි. ඇත්තටම ඇය මට තවමත් බනිනවාද..? කොල අහුලන ගමන් මම ඇය දෙස හොරැහින් බැලුවෙමි. හිතාගන්නවත් බැරි තරමට ඒ මුහුණ ලස්සනය. පිං පාටය. මේ තරම් සොදුරු රූපයක, නපුරු හදවතක් හැංගී ඇත්තේ කොහොමදැයි මට හිතාගන්නටවත් බැරිය. ඇගේ දෙඅත වාත්තු කළාක් මෙන් ඇත්දල පැහැයෙන් තිබුණි. මේ ලෝකයේ ඇති ඕනෑම විලාසිතාවක් වුවද ඇයට දැමුවෝතින් ඒ හැම එකක්ම ඇයට ගැලපේ යැයි මම සිතින් අනුමාන කළෙමි.
"ඇහින්දා නම් මෙහාට දෙනවා තවත් බලන් ඉන්නේ.."
මුහුණ ලස්සන වූවාට කටහඩේ නම් මෙලෝ ලස්සනක් නැත. ඇය ඉපදී සිටින්නේ බනින්නටම වාගේය. මම හනික ඇය වෙතට එකතු කළ කොළ මිටිය දුන්නෙමි. ඇය එය මගෙන් ගත්තා නොව, උදුරා ගත්තාය. කිසිවක් සිතාගත නොහැකිව මා ලතැවී සිටියදී ඇය මැණික්දිවෙල මහතාගේ කාමරය වෙතට යන හැටි මම බලා සිටියෙමි. ඇය මා පිළිබදව කුමක් හෝ වැරදි දෙයක් මැණික්දිවෙල මහතාට කියන්නට යනවාදැයි බියකින් මගේ හදවත දෙදරා ගියේය. එහෙත් මම ඇයට කිසිදු වැරැද්දක් නොකළෙමි. අප දෙදෙනා හැප්පෙන්නට ඇත්තේ අනිවා ඇයත් අහක බලාගෙන පැමිණි නිසා විය යුතුය. ඒ අනුව සිදුවූ වැරැද්දට අප දෙදෙනාම වැරදිකරුවන්ය. එසේ නම් ඇය මා හට බැනගෙන බැනගෙන ගියේ ඇයි..? හරි නම් මටත් තිබුණේ ඇයට ඇට්ටි හැලෙනතුරු බැනගෙන බැනගෙන යන්නටය. එවිටවත් ඇයගේ ඔය මහන්තත්ව ගති නැතිවන්නට පුළුවන. අනික මා ඇගේ හැපුනා කියා ඇයට ඔතරම් ඩෝං යන්න තරම් දෙයක් සිදුවූයේ නැත. හිත හොදටෝම සන්සුන් වෙද්දී මං මැණික්දිවෙල මහතා කියූ කාමරය වෙතට ආවෙමි. මෙ ්හරියේ නම් බතික් තිර වලින් බිත්ති ඒ තරමට සරසා නැත. එයින් පෙනෙන්නේ ආයතනයේ දෙවැනියා බතික් සැරසිලිවලට එතරම් ප්‍රියතාවයක් නැති බවද..?
"කාව හම්බවෙන්නද..?"
මගේ ඉදිරියේම වූ තරුණයෙක් මගෙන් විමසා සිටියේය. ඒ පැහැපත් මුහුණේ පිපී තිබුණේ සොදුරු සිනා රැල්ලකි. මෙන්න මෙය නම් නියම හිනාවකි. මිනිහෙක් ඉන්නවා නම් ඉන්න ඕනෑ ඔහොමය.
"මැණික්දිවෙල මහත්තයා කිව්වා මේ කාමරේට යන්න කියලා.. ඇතුලෙ බොස් ඉන්නවද..?"
"මං හිතන්නෙ ඇතුළෙ ඇති. ඔයා කවුද කියලා මට කරුණාකරලා කියන්න පුළුවන්ද..?"
"මෙහේ බතික් ඩිසයින් වලට අලුතෙන් ආවෙ මං තමයි.. මම කාංචන.."
"ආ.. එහෙනම් ඔයාද අපේ අලුත් ඩිසයිනර්.. මහත්තයා අපිට ඊයෙම ඔයා ගැන කිව්වා.. අපි එකතුවෙලා වැඩ කරමු.. මම පුබුදු.."
මුල් සිනාවම මුවේ රදවාගෙන පුබුදු මදෙසට අත යොමු කළේය. හිතට ආ මොකක්දෝ අපූරු ලෙංගතුකමකින් මම ඒ අත අල්ලාගෙන සෙලෙව්වෙමි. ඉතා ප්‍රියමනාප තරුණයකු වූ පුබුදු ගැන කිසියම් මිත්‍රත්ව හැගීමක් මගේ සිතට ඒ වනවිටත් දැනෙන්නට පටන් අරන් තිබිණි.
"ඔෆිස් එකේ අනිත් අයටත් මම ඔයාව අදුන්වලා දෙන්නම්.. එහෙනම් බොස්ව හම්බවෙලා එන්නකෝ.."
මගේ පිටට තට්ටු කර පුබුදු කාර්යාලය තුළට ගියායින් පසුව ඉදිරියේ වූ විශාල කාමරය තුළම මම ඇතුලු විමි. නුවරඑළියේ සීතලටත් වැඩිය සීතලක් දැනෙමින් තිබූ කාමරය තුළ කිසිවෙකුත් සිටියේ නැත. කාමරය මැද හරියේම ලොකු මේසයක් හා ඊට හුගක් එහායින් තවත් කුඩා මේසයක් තමා තිබිණි. කුඩා මේසය නම් මා සදහා වන්නට ඇත. ඉතා අලංකාර වූ බතික් රෙදිවලින් මුලු කාමරය පුරාම අනගි ලෙස සරසා තිබිණි.
මා සමග මෙතැන වැඩ කරන පුද්ගලයා කවුරුන් විය හැකිද..? මට හිදීමට සිදුවන්නේ ඔහුගේ අණසක යටතේය. ආයතනයේ දෙවැනියා වන ඔහුත්, මැණික්දිවෙල මහතා මෙන්ම කරුණාවන්ත අයෙක් නම් ගැටලුවක් නැත. එහෙත් අර යක්ෂ තරුණිය මෙන් කඩා පනින කෙනෙක් නම්, දවසට දෙකට මට මෙතැන එපා වෙනු ඇත. සිතේ කැළඹීම තිබෙද්දී නම් හොද ඩිසයින් එකක් කිරීමටවත් බැරීම කල්පයකටවත් බැරිය. කාමරයේ සිරි නරඹමින් සිටියදී, පිටුපසින් ඇසුනු සියුම් ශබ්දයෙන් මම ආපසු හැරී බැලුවෙමි.
එකපාරටම මගේ සිතට මහා මොකක්දෝ විය. කාමරයට පැමිණ තිබුණේ ඇයය. මට දෙවතාවක්ම නපුරුකම් පෙන්නූ ඇයය. ඇයට මේ කාමරය තුළ ඇත ගණුදෙනුව කුමක්දැයි මම මදක් කල්පනා කලෙමි. මා දුටු ගමන් ඒ මුහුණට අමුතු සුදුමැලි පැහැයක් එක්විණි. ඇය මදක් චංචල වූවා යැයි මට අහම්බෙන් මෙන් සිතිණි. එහෙත් අහංකාරකමින් උතුරායන ඒ මුහුණ දිහා නොබලාම මම බිම බලාගත්තෙමි.
"එපාර මේක ඇතුලටත් ඇවිත්.. ඇත්තටම මිස්ටර්.. ඔහේට මොනවද ඕන..?"
මදෙස එක එල්ලයේම බලමින් ඇය සැරෙන් ඇසුවාය. ඩිංගක් හෝ කරුණාවන්ත කමකින් කතා කරන්නට බැරි ඇයි..? අනිත් අතට මා මේ කාමරය තුළ කුමක් කළත් ඇයට ඇති රුදාව කුමක්ද..? මැණික්දිවෙල මහතා කියූ නිසා මම මෙහි පැමිණියෙමි.
"මං මේ දෙවනි මහත්තයා හම්බවෙන්න ආවේ.."
මම මදක් සැරෙන් කීවෙමි. ඇයට මෙතරම් සෙකන්ඩ් වීමට අවශ්‍ය නැත. එහෙත් ඇයගේ මුහුණට ආවේ මා හට තේරුම් ගැනීමට අපහසු විසුලු පෙනුමකි.
"ම්.. දෙවනි මහත්තයා හම්බවෙන්න නේද..?"
අර විසුලු පෙනුම එහෙම්මම තියාගනිමින් ඇය ඇසුවාය. මම කිසිවක් නොපවසාම හිස වැනිමි.
"එතකොට තමුන් කවුද...?"
කාමරයේ තිබූ විශාල මේසයට දෑතම බර කරමින් ඇය එක එල්ලයේම මදෙස බැලුවාය. මේ තරුණිය මගෙන් මේ හැටි ප්‍රශ්න කරන්නේ ඇයි...? ඇයට මාව පෙනෙන්නේ ත්‍රස්තවාදියෙකු හැටියටවත්ද..?
"ම.. මං තමයි අලුත් ඩිසයිනින් වලට ආවේ.."
ඇඹරි ඇඹරී මම කීවෙමි. පිරිමියෙකු වී ගැහැණියක ඉදිරියේ ඇඹරෙන්නට සිදුවී ඇත්තේ මටය. මේ කවරදාකවත් මා හට සිදුවී ඇති දෙයක් නම් නොවේ. මේ අති පඩත්තල තරුණියට මා මෙතරම් බය වන්නේ ඇයි..? ඇගේ රෝස පාට මුහුණ රතුපාට වනතුරුම බැණගෙන බැණගෙන යන්නට මට සිතේ. එවිට මගෙන් තවත් ප්‍රශ්න අසන්නට ඇය නොඑනු ඇත.
"මූණ බැලුවාම නම් පේන්නෑ, කිසිම ඩිසයින් එකක් කරන්න පුළුවන් වෙයි කියලා.. හ්ම්... වාඩිවෙන්න අතනින්.."
ඇය කුඩා පුටුව දෙසට අත දිගු කළාය. අනතුරුව ඇය විශාල පුටුවේ වාඩිවෙන ගමන් මදෙසට සැකමුසු බැල්මක් හෙලුවාය. ඒ බැල්මට මගේ පපුවේ දෙතුන් පොළක්ම ඇවිලී ගියේය. එතකොට මේ ආයතනයේ දෙවැනියා ඇයද..? ඇය මේ තරම් පුස්පාට් මා හට දමන්නේ ඒ නිසාද..? මට වැඩ කරන්න සිදුවන්නේ ඇය සමගද..? මොකක්දෝ නොදන්නා හිරිවැටීමකින් මගේ හිත කීරි ගැහෙද්දී, මම මේසය වෙතට ළං වුණෙමි. ඒ මේසය මත තිබුණේ මාගෙට නිර්මාණය කර තිබූ බතික් තිර රෙදිවල දළ සටහන් කීපයකි. මම ආසාවෙන් ඒවා අතගා බැලුවෙමි. මේ ඇද තිබෙනවාට වඩා හොදට මට වේමා නිර්මාණය කළ හැකි බැව් සිතට දැනේ. එය සිතට සැනසීමක් වුවද, ආයතනයේ දෙවැනියා මේ තරුණිය නම්, ප්‍රශ්න ගොඩක ඇරඹුම මෙතන බැව් ඉවෙන් මෙන් මට තේරෙයි. එහෙත් අසීරුවෙන් ලැබුණු රැකියාව රැකගත යුතුය. ඒ නිසාම සිදුවන හැමදෙයක්ම ඉවසා හිදින්නට මම තීරණය කළෙමි.
"මෙහේ දෙවනි මහත්තයෙක් නෑ.. නොනා කෙනෙක් ඉන්නේ.. ඒ මම.."
අහංකාර කමින් පිරී ඇති ඒ රූමත් මුහුණ දෙස මම හෙමින් සීරුවේ බැලුවෙමි. මේ මරුමුස් පෙනුම අයින් කර දමන්නට ඇයට පුලුවන්කමක් ඇත්නම් ඇගේ මුහුණ කොතරම් සුන්දර වනු ඇතිද කියා මම කල්පනා කෙරුවෙමි. මද වේලාවකින් ඇය මා හට මා විසින් කළ යුතු වැඩ රාශියක් පිළිබද දැන්වූවාය. ඒවා සියල්ලම කිරීමට නම් මාස දෙකක් තුනක්වත් ගතවනු ඇත. එවිට මැණික්දිවෙල මහතාට පෙන්වීමට තිර රෙද්දක් නිර්මාණය කරන්නේ කෙසේද..? මා පත්වූයේ මහත්ම වූ ගැටලු සහගත තත්වයකටය. හිතේ කිසිදු තෙතමනයක් නැති මේ තරුණියට ඒ ගැන කියා පලක් නැත. ඇය එවිට තවත් මගේ ඇගට කඩා පනිනු ඇත. ඇය හදන්නේ මා සේවයට පැමිණි අද දිනම මට මෙතන එපා කරන්නටය.
"මොකක්ද නම..?"
ඒ කටහඩ ගලා ආවේ ඈත ලෝකයකින් වාගේය. මා සිටින්නේ කොතැනදැයි මටහා ගැනීමට මම තත්පරයක් දෙකක් ගත කෙරුවෙමි.
"නමක් නැද්ද..? මං නිකමා කියලා දාන්නද..?"
ඇයගේ මුහුණේ වූයේ සමච්චල් සහගත හිනාවකි. මෙය නම් මා අවුස්සන්නටම කරනා දෙයකි. කලින් මගේ ඇගේ හැප්පී කාමරයට ගිය වේලාවේදී, මැණික්දිවෙල මහතා ඇයට සියලු දේ කියන්නට ඇත. ඔහු ඒ තරම් ගුණගරුක මිනිසෙකි. එහෙත් මා ගැන සියල්ල දැන දැනත්, මාව මේ තරම් මැඩවීමට ඇයට ඇති වුවමනාව කුමක්දැයි කල්පනා කර බැලීමට තරම් වටිනා දෙයකි.
"කාංචන.."
මම හයියෙන් කීවෙමි. ඇය ආයතනයේ දෙවනියා වූවා කියා මගේ ඔලුවට අත හෝදන්නට ඉඩදිය යුතු නැත. හරි නම් මමත් ඇයගේ නම අසන්නට ඕනෑය. ඇයට මා කෙසේ ඇමතිය යුතුද..? ඒ ප්රශ්නය නම් මගේ හිතේ මහ ලොකුවට සටහන් වී තිබිණි. කෙසේ වෙතත් මම ඇයගෙන් කිසිවක් නෑසුවෙමි. ඇයද ඉන් අනතුරුව මා හට වචනයක් කතා නොකළාය.
****************************
රැකියාවේ පළමු දවස එලෙසින් ගෙවී යද්දී, ආයතනය ආසන්නයේම තිබූ පුංචි කාමරයේ මම නවාතැන් ගත්තෙමි. මට යාබදව තිබූ කාමරයේ නැවි සිටියේ පුබුදුය.
"වැඩ ටික ලේසිද..?"
ඇගපත සෝදා එළියට ආ කල පුබුදු මගෙන් ඇසුවේය. ආයතනයේ පැරණි සේවකයෙකු වූ පුබුදුගෙන් අසා දැන ගැනීමට මට බොහෝ දේ තිබිණි.
"එච්චර අමාරුවක් නෑ.. මං හිතන්නෙ ඉස්සරහටත් අමාරු වෙන එකක් නෑ.. පුබුදු මෙහේට ඇවිත් ගොඩක් කල්ද..?"
"අවුරුදු තුනක් විතර ඇති. මං ඒත් බැලුවා ඔයා ලන්ච් එක වෙලාවෙදිත් එළියට ආවෙ නැත්තෙ ඇයි කියලා.."
සිදු වූ සියල්ල පුබුදු හා පැවසීමට සිත් වුණිද, වචන තෝරා බේරාගෙන කතා කරන්නට මම උත්සාහ ගත්තෙමි.
"මේ කොම්පැණියේ දෙවැනියා, මගේ කාමරේ ඉන්න මිස්නේ, එයා මට කිසිම බුරුලක් දෙන්නෑ පුබුදු.. මගෙත් එක්ක කතා කරන්නෙත් තරහෙන්.. අද දවසට මට කරගන්නත් බැරි තරම් වැඩ ගොඩක් දුන්නා.. මට කෑමට යන්නත් පරක්කු වුණේ ඒකයි.. ඒ මිස් නම් හරිම සැරයි පුබුදු.. මට කිසිම කරුණාවක් පෙන්නුවෙ නෑ.."
සිතට දැනුණු දේ සැර බාල කරමින් මම කියාගෙන කියාගෙන ගියෙමි. පුබුදුගේ මුවේ මද සිනාවක් ඇදී නොපෙනී ගියේය. හෙතෙම මගේ අතිකින් අල්ලා ගත්තේය.
"මිස් සැර කෙනෙක් නෙමෙයි කාංචන.. මිස් හරිම හොදයි.. ඒත් මේ ළගකදි ඉදලා මිස් ඉන්නෙ හරිම හිතේ අමාරුවෙන්.. මොනව කිව්වත් ඔයා මිස් එක්ක තරහා වෙන්න එපා.. අනිත්තෙක ඉතිං ආයතනයේ අයිතිකාරයෝ එක්ක රංඩු වුණොත් පාඩුව වෙන්නෙ අපිටමනේ.."
"අයිතිකාරයෝ කියලා කිව්වේ..?"
මා ඇසූ දෙයට පුබුදුගේ ඇස් උඩ ඉන්දිණි..
"ඇයි මනුස්සයෝ.. මැණික්දිවෙල මහත්තයගෙ එකම දුව ඔය මිස්නේ.. මිස්ටනේ මේ කොම්පැනිය අයිතිත්.. ඇයි, ඔයා නමවත් දැක්කෙ නැද්ද...? අර දිනූකා එන්ටර්ප්‍රයිසස් කියලා ලොකුවට ගහල තියෙන්නේ.."
මම ක්‍රියා කර ඇත්තේ මොන තරම් මෝඩ විදියට දැයි තේරුම් ගියේ පුබුදුගේ කතාවෙන් පසුවය.
එහෙනම් ඇයගේ නම දිනූකාය. දිනූකා මැණික්දිවෙලය. ඇය මට ඔතරම් ලොකු පාට් දමන්නට ඇත්තේ ඇයගේ අයිතිය නිසාය. මා වැනි හඩ්ඩෙකු ඇයගේ ඇගේ පැප්පුණ විට සීමාවක් නැතුවම මට බනින්නට ඇත්තේද ඒ නිසාය. ඇත්තටම මට ඩිංගක් හෝ ඒ ගැන නොසිතුණේ ඇයි..? මා මේ තරම් මෝඩද..? වැඩි පන්ඩිතකමට මම ඇයගේ නමද අසන්නට හිතාගෙන උන්නෙමි. තැන නොතැන නොබලා මා ඇයට මොනවා හෝ කීවා නම්, රස්සාවත් නැතුවම මට ගෙදර යන්නට තිබිණි. ඒ අවස්ථාවේ මොඩකමින් හෝ මා ක්‍රියා කළ ආකාරය ගැන මා පින්පෙත් දුන්නේ දෙවියන්ට නොව මටමය. එදින රාත්‍රියෙදී මම අයියාටත්, ජයවර්ධන අංකල්ටත් ලිපි දෙකක් ලියා තැබුවෙමි.
එක දිගටම කළ වැඩ නිසා දින ගතවී යනවා මට නොදැණිනි. දිනූකා මිස් සුපුරුදු ලෙසම මා කෙරෙහි ඇයගේ ඇති අමනාපය දිගින් දිගටම පෙන්වා සිටියාය. පසුව හෝ දිනූකා මිස් මා කෙරෙහි ඇතකරගෙන ඇති නොපැහැදීම අයින් කර ගනීවි යැයි මා සිතුවද එය එසේ වූයේ නැත. මා ඇයට කළ වැරැද්දක්ද නොමැති වූ බැවින් මෙය මගේ සිතට දැඩි පීඩාවක් විය. වර්ගය කුමක්දැයි නොහදුනනා පර්ෆියුම් සුවදකින් මුලු කාමරයම පිරී යද්දී මම ඔලුව උස්සා වටපිට බැලිමි. ලා කොළ පැහැති කෙසෙල් දල්ලේ පාටින්, චෝලියකට සමාන වූ ඇදුමක් ඇද සිටි දිනූකා මිස් කාමරය තුළට ඇතුල්වෙනවා මා දුටුවේ එවිටය.
"ගුඩ් මෝනින් මිස්..."
නෙත් කොනින් මසෙදට යාංතමින් බැල්මක් යොමු කරමින් ඇය වහ වහා අසුන වෙතට පියනැගුවාය. මා බලාපොරොත්තු වූ පරිදි මට ගුඩ් මෝනිං එකක් තියා නිකං මෝනිං එකක්වත් බැලුනේ නැත. ඇය මේතරම් මා හා අමනාප ඇයිදැයි මට සිතාගන්නවටවත් බැරිය. මම ඔලුව උස්සා හෙමින් සීරුවේ ඇය දෙස බැලිමි. එතෙක් වේලා මගේ දෙසට යොමුව තිබූ දිගු දෑස වහා වෙනතකට හැරුණි.
මෙය නම් මහ පුදුම දෙයකි. තවත් මේ ගගැන කල්පනා කරන්නට යෑමෙන් වන්නේ මා පිස්සෙකු වන බවය. එබැවින් මා දිනූකා මිස් ගැන නොහිතා කළ යුතු වූ වැඩ කටයතුවල නියැලුනෙමි. ආයතනයේ බතික් තිර රෙදිවල තත්වය පිළිබද නිකුත් වූ ලිපි බොහෝ ප්‍රමාණයක් ෆයිල් කීපයක ඇතුල් කර තිබිණි. අවුරුදු ගණනාවක් පැරණි බිල්පත් පිළිවෙලක් නොමැතිව අරහෙන් මෙහෙන් අමුණා දමා තිබිණි. මා බොහෝ වෙහෙස මහන්සි වී අර ලිපි තොගය දින පිළිවෙලට හදා ෆයිල් කර තැබූවෙමි. අනතුරුව ඒවා පංචර් කර නූල්වලින් බැද තැබීමට යද්දී. මා තවම දිවා ආහාරය නොගත් බැව් මට මතක් විය. එබැවින් ලිපි තොගය මේසය මතම තබා මම පුටුවෙන් නැගිට්ටෙමි. දිනූකා මිස් බර වැඩක්ය. එය එසේ වූවා කියා ඇයට නොකියා යෑමටද නොහැක.
"මි... මිස්.."
ඇයගේ ඔලුව දැන් ඉස්සෙයි, දැන් ඉස්සෙයි කියා මා සිතුවද එය එසේ වූයේ නැත. ඇය මහත් වුවමනාවකින් බතික් ඩිසයිනින් කළ තිරයක වූ ඇත් රූපයක් සුදු කොළයක් මත ඇදීමට වෑයම් කරමින් උන්නාය. ඇය මා හට කීවා නම් ඇත් රූප එකට දහයක් මම ඇද දෙමි. එහෙත් මා හට එවැනි පිනක් හිමිවන්නේ නැත.
"මි.. මිස්.. ම.. මම කාලා එන්නද..?"
ඉවසා බැරිම තැන මම මදක් හයියෙන් ඇසුවෙමි. එවර නම් ඇයගේ හිස සැනෙකින් ඉහළට එසවිණි. ඒ සොදුරු දෙඇසේ නලියමින් තිබුනේ මොකක්දෝ නොපැහැදිලි කෝපයකි.
"කාල එන්නද අහන්නේ..? මොකද මාවත් කන්න එක්කන් යන්නද හදන්නේ..?"
"න්... නෑ.. මිස්..."
"බඩගිනි නම් ගිහින් කනවා. මගෙන් මොනවද ඒක අහන්නෙ..? කොයි වෙලාවෙත් කන බනේ.. කන බනේ ම තමයි.."
එය නම් හොදටෝම අසාධාරණ කතාවකි. රිදුණු සිතින් මම කාමරයෙන් එළියට අවෙමි. කැන්ටිමේද මේ වේලාවට කිසිවෙකු නැත. දිනූකා මිස්ගේ කතාවෙන් මගේ සිතේ වූ කෑමේ පිරියද නැතිවී ගොස්ය. මම රෝල් එකක් කා තේ එකක් බීවෙමි.
දිනූකා මිස් සමග වැඩ කරන්නේ කොහොමදැයි මට නොතේරේ. ඇයට කියලා ගියත් වැරදිය. නොකියා ගියත් වැරදිය. පසුගිය දිනෙක ඇය කාමරය තුළ හිදිද්දී ඇයට නොකියා ගොස් පුබුදු හා කතාබහ කර ආපසු පැමිණි විට හොදටෝම ඇයගෙන් බැනුම් ඇසුවෙමි. ආයතනයේ වෙනත් කිසිවෙකුට මෙලෙසෙින් කුරිරුකම් කරනු මා දැක නැත. එසේ නම් මේ සියල්ලම මටම පමණක් ඇයි..? මා මේ සල්ලිකාර සොදුරු යුවතියට කර ඇති වරද කුමක්ද..?
විනාඩි දහයකට පමණ පසු නැවත මා කාමරය තුළට එද්දී දිනූකා මිස් ඉංශ්‍රීසි නවකතා පොතකට මුහුණ ඔබාගෙන සිටියාය. හොරැහින් ඇය දෙස බලා, මගේ මේසය දිහා බලද්දී දුටු දෙයින් මගේ ඔලුව අවුල් විය. මා පිළිවෙලට මේසය මත තබා ගිය ලිපි තොගය කවුරුන් හෝ අවුල්කර දමා ඇති බව මම දුටුවෙමි. සමහරක් ලිපි මේසය අවට බිමද තැනින් තැන විසිරී තිබිණි. මේවා නැවත මුල සිට හරිගැස්සවීම තවත් දින දෙක තුනක් ගතවන වැඩකි. මගේ සිතට පිවිසියේ දැඩි දුකක්ද, නැතිනම් දැඩි කළකිරීමක්ද යන්න ගැන මටම සිතාගත නොහැකි විය.
"මි.. මිස්.. මේවා.. ක.. කවුද අවුල් කරලා.."
මා බලාපොරොත්තු වූ තරම් ඉක්මණින් ඇයගේ හිස මදෙසට යොමු වූයේ නැත. ලා නිල් පැහැති ටසල් ජෝඩුවක් පැළද සුදු පීත්ත පටියකින් දිගු වරලස ගැටගසා සිටි ඇයගෙන් දිස්වූයේ හින්දි නිළියකට නොදෙවනි පෙනුමකි. හින්දි නිළියන් තියා සිංහල නිළියක් වුවත්, ඇය මදෙස බලන්නේ නැතිනම් වැඩක් නැත. මේ සිදුවී ඇති දේ පිළිබදව ඇයට ගාණක්වත් නැද්ද..? ඇය මට කරනා මේ කෙනෛහිලිකම් ගැන මැණික්දිවෙල මහතාට කියා වැඩක් නැත. අන්තිමේදී නරක නාමය එන්නේ මටය..
"මි.. මිස්.."
සිති තැනම ඉදගෙන මම කෙදිරි ගෑවෙමි. එවර නම් ඇය හිස උස්සා මදෙස බැලුවාය. ඒ සොදුරු මුහුණේ කැටයම් කලාක් මෙන් පෙනෙන්නට සිතුණේ දැඩි නොපහන්කාරී බැල්මකි.
"අවුල්වෙලා නම් හදලා දානවා.. මට මොනවද කියන්නේ..?"
තත්පරයට දෙකට ඇය කියා දැමුවාය. මේසය ළගම මම මුල් ඇද්දා සේ සිටගෙන සිටියෙමි. දෙයියනේ.. මේ අවනඩු කාට නම් කියන්නද..?
"මි.. මිස් මම මේ බිල් ටික හදලා ඉවරකරේ දැන් විනාඩියකට කලින්, අවුරුදු පහළොවක විතර බිල් මං මුල ඉදන්ම හැදුවා. ඒව පංචර් කරල ෆයිල් කරන්න විතරයි තිබුණේ. ඒ.. ඒත් දැන් ආයෙත් මුල ඉදන් හදන්න වෙලා.."
මම බොහෝ අසරණව කීවෙමි. ඇය හිස ඔසවාවත් බැලුවේ නැත. දෙනෙතට කදුළු උනා ආවේද ඒ නිසාමය. මේ බිල්පත් පිළිවෙලට සෑදීමට මා කොතරම් වෙහෙසක් වුනාදැයි කියා දන්නේ මා පමණකි. අනික මාගේ වයසේ යුවතියක් ඉදිරියේ මේ තරමින් බාල්දු වූ දිනයක් මගේ ජීවිතයේ නොතනකවත් නැත.
"මේ.. මේක නම් කවුරුහරි හිතලම කරපු වැඩක් වෙන්න ඕන.."
ඇය මට ඇහුම්කම් නොදෙන නිසාම මම ලතැවිල්ලෙන් ඒ වචන ටික කියා දැමුවෙමි. ඇයගේ හිස සැනෙකින් මවෙතට යොමුවිණි. ඒ දිගු ඇස්වල තිබුණේ අසාමාන්‍ය කැළඹීමකි.
"මොනවද කිව්වේ...? ආ.. ආයි කියනවා බලන්න.."
කෝපය නිසාම ඇයගේ මුහුණ තද රතු පැහැ ගැන්වී තිබිණි. කලින් කියපුවා නම් දැන්, මහජන සම්පතේ ප්‍රථම තෑග්ග දෙනවා කීවත් කියන්නට බැරිය. මෙතෙන්දී ද වැරැද්ද එන්නේ මගේ කර උඩටය. ඇත්තටම මා මේ ගෙවන්නේ ගිය ආත්මයේ කළ මොකක් හරි ලොකු පවක කොටසක් විය යුතුය.
"මොකද කට නැද්ද..? මොනවද තමුසෙ මේ කියවන්නේ..? කවුරුහරි හිතලා කරපු දෙයක්... ආ.. මේ කාමරේ ඇතුලෙ ඉන්නෙත් තමුසෙයි, මායි විතරයි.. මොකද.. මං කරා කියලද කියන්නේ..?"
ඇය මගේ මූණටම ඇසුවාය. මේ තරම් සොදුරු මුවකින් මේ තරම් නපුරු වචන ගලා එන්නේ කෙලෙසදැයි සිතාගත නොහැකිව මම තක්කු මුක්කු වී ගියෙමි. ඇත්තෙන්ම ඇය ඇසූ ප්‍රශ්නයට දෙන්නට තරම් පිළිතුරක් මට හදාගන්නට කල් තිබුණේ නැත.
"න්.. නෑ.. මිස්.. මං.. මං මිස්ට වැරැද්දක් කිව්වේ නෑ.. මං.. මං කිව්වේ.. වෙලා තියෙන දේයි මිස්.. මං ගැන වරදවා හිතන්නෙපා.."
මගේ කටහඩේ තිබුණේ උපරිම බැගෑපත් බවකි. දෙඇසේ පිරී තිබුණේ මොකක්දෝ හේතුවකට උපන් කදුලුය. එහෙත් ඇය ඒ කිසිදෙයක් තඹේකට මායිම් කලේ නැත. හැඩකාර කොපුල් තල මත රෝස පැහැති ඇගිල්ලකින් මොකක්දෝ කරමින් ඇය මදෙස කන්නට මෙන් බලා සිටියාය.
"මං මොකටද තමුසෙ ගැන වරදවා හිතන්නේ..? ආ.. තමුසෙ මගේ කවුද..? අනේ ඇත්තට තාත්තිත් ඉදලා ඉදලා මගේ කාමරේට දාලා තියෙන්නෙ අමුම අමු පිස්සෙක්නේ.."
ගල් අහුරු මෙන් දැඩි වචන වලින් හදවතේ තුනීම තැන් පවා වේදනා දෙද්දී, මහා කාංසියකින් මම උතුරා ගියෙමි.
"නෑ... නෑ... මිස් මම මේ කියන්න..."
"තවත් මොනවා කියන්නද අයිසේ.. මගේ වැරැද්දකුත් මෙතන නැත්නම්, ඕක ආයෙත් මුල ඉදලා හදලා දානවා.. ඔය බිල් ටික එහේ මෙහේ යන්න ඇත්තෙ හුළගට වෙන්න ඇති."
ජනේල සියල්ලම වසා ඇති, වායු සමනය කර ඇති කාමරයක හුළං එන්නේ කොහේ සිටගෙන දැයි මම ඇයගෙන් අසන්නට නොගියෙමි. ඇය මොනවා කීවත්, මේ දහදරා බලු වැඩය කරන්නට ඇත්තේ ඇයම බැව් මට විශ්වාසය.
"තවත් මොකට ඔතන හිටගෙන ඉන්නවද මංදා.. වදකාරයා.. ඇත්තටම කොයිතරම් නිස්කලංකේ වැඩක් කරන්න හැදුවත්, ඒක කරන්න දෙන්නෙ නෑනේ. හොදට අහගන්නවා. මං ආයෙ එක චාන්ස් එකක්වත් තමුසෙට දෙන්නෑ. කෙලින්ම මේ කාමරෙන් එළියට ඇදලා දානවා. ආයෙ ඒකෙ දෙකක් නෑ.."
හිතක් පපුවක් නැති නරුමයෙකු සේ ඇය කියාගෙන කියාගෙන ගියාය. තවත් මෙතන හිදීමෙන් පලක් නැත. කම්මුල් දිගේ ගලාගෙන ගිය කදුලු කැටිය උරහිසෙන් පිහිදාගන්නා ගමන් මම පැමිණ පුටුවේ වාඩිවුණෙමි. දැන්නම්, හිත එකලාසයක් කරගැනීමට සෑහෙන වේලාවක් යනු ඇත.
මේසය පුරා අවුස්සා, අවුල්කර දමා ඇති බිල් පත් ප්‍රමාණය දකින විට ආයෙමත් ඇස්වලින් කදුලු ගලා එයි. මේවා මුල සිටම පිළිවෙලට සෑදීමට මා කොතෙක් නම් මහන්සි වූවාද..? එහෙත් ඒ මහන්සියෙන් කිසිම ප්‍රයෝජනයක් වූයේ නැත. පපුවේ සියුම්ම තැන ඉදන් නැගෙන අසාමාන්‍ය දුකකින් මගේ කදුලු නැවතත් අලුත් වී යයි. දෙඇසට ලේන්සුව තබා තද කර අවසන මම හෙමින් සීරුවේ දිනූකා මිස් දිහා බැලුවෙමි. එතෙක් වේලා මදෙසට යොමුවී තිබූ ඇගේ දෙනෙත, දැනෙකින් නැවතත් පොත තුළට යොමුවිණි. එසේ නම් ඇය මෙතුවක් වේලා සිට ඇත්තේ මදෙස බලාගෙනමද..?
මට දැනුණේ කියාගත නොහැකි මොනවාදෝ අපූරු හැගීම් සමුදායකි. එසේ නම් මගේ දෙනෙතින් ගලාගිය දුප්පත් දකුලු කැටද ඇය දකින්නට ඇත. කමක් නැත. අවංක මහන්සියකින් නිම කල වැඩක් කවුරුන් හෝ කඩාකප්පල් කරද්දී සිතට දැනෙන ලතැවුල ඇය දුටුවාට කමක් නැත. එහෙත් කිසිදු සිතක් පපුවක් නැති, මුදල් උඩ කරනම් ගසනා ඇය වැන්නියන්ට ඒ ධෛර්යයේ සටහන් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ජීවන පඩිපේලියේ පහලම පඩියේ සිටිනා අප වැන්නවුන් පාගා දාමා හිනැහීමටය. හිතේ වූ කලකිරීම නිසාම මම මේසය මත හිස තමා ඇස් දෙක පියාගත්තෙමි. දිනූකා මිස් කවුරුන් සමග හෝ දුරකථනයෙන් කතාබහ කරනු මට ඇසේ.
"ඉයර්ස් රෝෂි.. මට දැන් ඔෆිස් එකේ ඉන්නෙකත් එපාවෙලා.. තාත්තිගෙ වදෙන් බේරෙන්න බැරි කමට ඔෆිස් එන්නේ.. හරිම ඩල් අනේ.. කරන්න දේකුත් නෑ. අනිත්තෙක මේ ඔෆිස් එකේ හුගක් අය නිදියනවා.."
තත්පරයට දෙකට මම ඔලුව උස්සා ඇය දෙස බැලුවෙමි. ඇය මේ හින්ට් ගසන්නේ මටය. සමහරවිට මැණික්දිවෙල මහතාට වුවත් මා රාජකාරී වේලාවේ නිදියනවයි කියා ඇය කියන්නට බැරි නැත. එහෙත් ඇයට මගේ වගක්වත් නැත. ඇලුමිනියම් පැහැති වටිනා පෑනක් ඇගිලි අතර කරකවමින් දිනූකා මිස් ලෙංගතුව කතාබහ කරන්නීය. ඇය මේවාගේ මටත් කතාබහ කරනවා නම් ඇය කියන ඕනෑම වැඩක් කිරීමට මා සූදානම්ය. වරදක් ඇත්තේ ඇයට මා මෙතරම් පෙනෙන්නට බැරිව ඇත්තේ කුමක් නිසාදැයි කියා මට විහිලුවකටවත් සිතාගන්නට බැරි නිසාය. ඇය මට අද දවසම කතා කරේ තමුසෙ කියාය. ඒ පිළිබදව නම් මගේ හිත හොදටම රිදී තිබිණි. මේ ගැන නම් තීරණයක් ගත යුතුමය. පුටුවෙන් නැගිටට මම දිනූකා මිස් ළගට ගියෙමි.
"මි.. මිස්.."
දුරකථන ඇමතුම අහවර කර ඇය සිටියේ පුටු ඇන්දට හිස තබාගෙන, දෙනෙත් පියාගෙනය. මගේ කටහඩෙන් ඇය මදක් තිගැස්සී ගියාය. සොදුරු මුහුණේ තිබූ හැඩකාර කෝමල රේකා එකින් එක නැතිවී යන අයුරු මා බාලා සිටියේ සංවේගයෙනි. මගේ මුහුණ දැකීමත්, මගේ කටහඩ ඇසීමත් මේ ලෝකයේ ඇති අප්‍රසන්නම දෙය යැයි කියා ඇය සිතනවාද..?
"ඒ පාර මොකද..? ආයෙත් ෆයිල් ටික කවුරු හරි ඇදලද..?"
කටහඩ නම් බොහෝ සන්සුන් වී තිබිණි. එහෙත් ඇයගේ වචනවල වූයේ තරමක රොස් පරොස් බවකි.
"ආයෙ අදින්න දෙයක් නෑ මිස්. මුල ඉදලම බිල් ටික හදන්න වෙනවා.."
"එහෙනම් මොකක්ද ප්‍රශ්නේ..?"
"ම.. ම.. මං මිස්ට වැරැද්දක් කෙරුවෙ නෑ. මිස් මට කතා කෙරුවෙම තමුසෙ කියලා. අනේ එහෙම කතා කරන්නෙපා මිස්.. මේ තරම් කාලෙකට මට කවුරුවත් ඔහොම කතා කරලා නෑ. මං මෙතන වැඩ කරන්නෙ මිස් යටතෙ හින්දා, ඒ දේ මට උහුලගන්න අමාරුයි."
අන්තිම හරිය කියාගෙන යද්දි මගේ වචන පටලැවෙන්නට විය. එහෙත් හිතේ වූ සියල්ලම එළියට දමා හිත නිදහස් කරගත යුතුය.
"මං හුගාක් දුප්පත් කොල්ලෙක් මිස්.. මං මේ රස්සාව හොයාගත්තෙ හුගක් අමාරුවෙන්. මං මිස්ට වැදලා හරි කියන්නම්.. අද වෙච්ච දේවල් හින්දා මගේ රස්සාව නම් නැතිකරන්න එපා.. පිං සිද්ධවෙයි.."
මම අත් දෙකම එකතු කොට, ඇය දෙසට දිගුකර කීවෙමි. සොදුරු දිගු දෑස සැනෙකින් විසල් විනි. ඒ මත අලුතිම්න පිපුණේ මොකක්දෝ පුදුමයක මං ලකුණුය. එහෙත් ඇය වචනයක්වත් කීවේ නැත. ඇගේ දෑස එක එල්ලයේම මදෙසට යොමු වී තිබිණි. මේ සොදුරු මුවින්, මා සැනසෙන්නට ඇය එක වචනයක් හෝ කියනවා නම්..
"මම ටිකක් එළියට ගිහිල්ලා එන්නම් මිස්.."
කොතෙක් බලා සිටියද ඇය කිසිවක් නොකියන තැන, මෙතනින් වහා ඉවත්වීමේ අදහසක් මට ඇතිවිය. මේ පීඩනය සමග තවත් මෙනත රැදීමෙන් පලක් නැත. කැන්ටිමට ගොස් තවත් රෝල්ස් එකක් කා, කේ එකක් බී ආ යුතුය. කැන්ටිමට යන බැව් ඇයට කීවෝතින් ආයෙත් කන බනේ, කන බනේ යැයි ඇය කියනු ඇත. මේ යන විදියට නම් ඇයත් සමග තවදුරටත් වැඩ කිරීම නම් පහසු කටයුත්තක් නොවෙනු ඇත.
"කොහෙද අප්පේ මේ, බර කල්පනාවක යන්නෙ..?"
පූර්ණිමාගේ කටහඩින් මම තිගැස්සී ගියෙමි. දිනූකා එන්ටර්ප්‍රයිසස් හි මා ළගින්ම ඇසුරු කලේ පුබුදුත්, පූර්ණිමාත් පමණකි. බොහෝ විට අප තිදෙනා දිවා ආහාරය ගත්තේද එකටය. ඉතා චාම්, සරල යුවතියක වූ පූර්ණිමා මුලින්ම මට හදුන්වා දුන්නේ පුබුදුය.
"මං කැන්ටිමට යනවා පූර්ණි.."
පුබුදු ඇයට කතා කරනා ආකාරයට මමද පූර්ණි කියා ඇයව ඇමතුවෙමි. ඇය හිස උස්සා කෙලින්ම මදෙස බැලුවාය. ඒ පුංචි දෑසේ වූයේ පුදුම හිතෙනා තරම් නිර්ව්‍යාජ බවකි. කිසිදු කැළඹීමක ලකුණක් ඒ දෑසේ තිබුනේ නැත. දිනූකා මිස්ගේ හා පූර්ණිමාගේ දෑස තුල කොතරම් වෙනසක් තියෙනවාද..?
"මට මොනවද කාංචන අරගෙන දෙන්නේ..? මොකද මාත් යන්නෙ කැන්ටිමට..."
මුදු මොලොක් බසින් පූර්ණිමා අසද්දී මගේ අත පිටුපස සාක්කුවට ගියේ නොදැනුවත්මය. මා බාලාපොරොත්තු වූ පරිදි පර්ස් එක සාක්කුවේ තිබුණේ නැත. මම මදක් කල්පනා කෙරුවෙමි. කලින් වතාවේ කැන්ටිමට ගොස් පැමිණ මා පර්ස් එක තැබුවේ කොහේද..?
"ඔයා කැමති දෙයක් අරන් දෙන්නම්.. පූර්ණි.. තරහා නැතුව ඩිංගක් ඔහොමම ඉන්නවද.. මං ඔෆිස් රූම් එකට ගිහිල්ලා එන්නම්.."
"ඇ.. ඇයි කාංචන.. මං ඔයාගෙන් නිකං ඉල්ලුවේ.. ප්ලීස්.. ඒ ගැන කරදර වෙන්න එපා.."
"අනිවාර්යයෙන්ම මා පර්ස් එක දමන්නට ඇත්තේ මේසයේ උඩ ලාච්චුවේය. සමහරවිට මේසය උඩම තියා ඇත්දැයි කියන්නටත් බැරිය. වැඩේ වූයේ බිල්පත් සියල්ලම අවුල්කර දමා ඇති බැව් දැක්ක විට හැමදේම අමතක වී යාමය. කාමරයේ දොර හෙමින් සීරුවේ ඇරගෙන මම ඇතුළට ආවෙමි. සමහර විට දිනූකා මිස් මගේ අඩි සද්දයට පවා අකමැති වන්නට පුලුවන."
එහෙත් මා දුටුවේ ඇස් අදහාගත නොහැකි දර්ශනයකි. විශාල මේසය මත දෑත තමා, ඒ මත ඔලුව ගසාගෙන සිටියාය. හීන් ඉකිබිදුමක් වැනි හඩක් ඇයගේ මුවින් යාංතමට පිටවෙන හඩ ඇසේ. තාලයට ගැස්සෙන පිට දෙපස නිසා ඇය හඩන බැව් මම සැක කර දැනගත්තෙමි.. දෙවියනේ ඇයි ඇය අඩන්නේ..? මගේ සිත පත්වූයේ සිතැගෑනීමටවත් බැරි අවුලකය. මේ වෙලාවේදි මා කාමරය තුළ සිටිනවා ඇය දුටුවෝතින් කුමකින් කුමක් සිදුවේදැයි කිව නොහැක. වටපිට බලද්දී මා දුටුවේ මගේ මේසය උඩ තිබෙනා පර්ස් එකය. ශබ්ද නොනැගෙන සේ පර්ස් එක ගෙන හෙමින් සීරුවේම මම කාමරයෙන් පිටවුණෙමි. දිනූකා මිස් වැනි සියලු සම්පතින් යස ඉසුරුමත් ජීවිතයක් ගතකරන තරුණියකට හඩා වැලපීමට තරම් දෙයක් තිබෙන්නට පුලුවන්දැයි මම මොහොතකට සිතුවෙමි. නැත.. එසේ වන්නට කිසිසේත්ම ඉඩක් නැත. අනික, හඩන්නට තරම් ඇය සංවේදී යුවතියක්ද නොවේ. සමහරවිට ඇය ඔය අඩනවා ඇත්තේ මැණික්දිවෙල මහතා සමග ඇතිකරගත් මොකක් හෝ සුලු ප්‍රශ්නයක් හන්නා වන්නට ඇත.
"යමු.."
මා එනතුරු කොරිඩෝවේ බලා සිටි පූර්ණිමා ළගට යන ගමන් මම කීවෙමි. අනතුරුව ඇයත්, මාත් එක පෙලට වැටී කැන්ටිම වෙත ගියෙමු.
"බිත්තර රොටි දෙකයි, ටී දෙකයි.. හොදයි නේද පූර්ණිමා..?"
මෙතුවක් කාලයකට මා යුවතියකගේ දැක නොමැති තරම් සොදුරු සිනාවක් පූර්ණිමාගේ දෙතොලේ රැදී තිබිණි. සමහර විට දිනූකා මිස්ට මීට වඩා සුන්දර ලෙස සිනාසීමට පුලුවන්වනු ඇත. එහෙත් මම තවම දිනූකා මිස් සිනාසෙනවා දැක නොතිබිණි. ඇය නිරතුරුව මා අභියස සිටියේ රකුසු වෙස් ගෙනය.
"මං පඩිගත්තහම මීට වඩා හොද පාටියක් ඔයාට දෙන්නම්..."
බිත්තර රොටියකින් කෑල්ලක් කඩාගන්නා ගමන් මම කීවෙමි. පඩි දවසටත් තව දවස් දෙක තුනක් ඇත. පූර්ණිමාගේ මුහුණේ රැදී තිබුණේ මං ගැන ඉපදුනු මොකක්දෝ අනුකම්පාවක ලකුණුය. ඒ ඇයිදැයි කියා සිතන්නට මට පුළුවන් කමක් තිබුණේ නැත.
"එහෙම කිව්වට ඔයාට තෑන්ක්ස් කාංචන.. ඒත් මට පාටි එපා.."
ඇය එක එල්ලයේම මදෙස බලා හිද අවසානයේ කීවාය. මුහුණ මැද්දාවට එකවරම ඇතුල් පහරක් වැදුණ කලෙක මෙන් මම තිගැස්සී ගියෙමි.
"මගෙන් පාටි එපා කියන්නේ, මං දෙන පාටි දුප්පත් වැඩි හින්දද පූර්ණි..? ඇත්තමයි, අද මගේ අතේ වැඩිය සල්ලි නෑ.. ඒකයි බිත්තර රොටි ගත්තේ.."
මා කීවේ ඇත්තය. පර්ස් එකේ වැඩි මුදලක් තිබුණේ නැත. එහෙත් මා නොසිතුව පරිද්දට පූර්ණිමාගේ දෙඇසින් කදුලු බිංදු දෙකක් මේසය මතට වැටෙනු මම දැක්කෙමි. ඇය වහ වහා කදුලු පිහදා ගත් අතර. මගේ අතක් දැඩිව අල්ලාගත්තාය.
"අනේ, ඔහොම දුක හිතෙන කතා කියන්න එපා කාංචන.. මං පාටියක් එපා කිව්වේ ඔයාගෙ සල්ලි නාස්තිවෙන හින්දා.. ඔයා අද අරන් දුන්නු මේ දේවලුත් මට හුගක් වටිනවා.. ඇත්තමයි ඔයා හුගක් අහිංසකයි.. ඒ අහිංසක කම හැමදාම තියාගන්න.. ඔයාට කවදාවත් වරදින එකක් නෑ.."
"මං හින්දා ඔයාගෙ හිත රිදුනා නම් මට සමාවෙන්න.. මමත් ඔහේ කටට ආපු එකක් කියලා දැම්මනේ.."
අනතුරුව අප අතර කතාබහක් සිදුවූයේ නැති තරම්ය. බිත්තර රොටි කා, කිරි තේ බී අවසන් වන විටම මාගේ පුබුදු අපදෙදෙනා අසලට ආවේ සිනාමුසු මුහුණින්ය.
"එහෙනම් පූර්ණිත් හා හා පුරා කියලා, කම්පැණියෙ ඉන්න අහිංසකම කොල්ලා අල්ලගත්තා නේද..?"
පූර්ණිමාගේ මුහුණ රත්පැහැ ගැන්වී ගියේ මා බලාගෙන හිදිද්දීමය. හිටිගමන් පුබුදුත් කියන්නේ මාර කතාය. මේ කෙල්ල මෙතන ලැජ්ජාවෙන් පණ යනු ඇත.
"ඔයා හොද නෑ පුබුදු.. මායි, කාංචනයි අතරෙ එහෙම මුකුත් නෑ.."
සොදුරු දෑස් මගෙන් සගවාගෙන පූර්ණිමා යන්නට සැරසුණාය.
"එහෙම මුකුත් නැත්තං, කොහොම එකක්ද තියෙන්නේ...?"
මගේ කරට අතක් දමා, මට ඉගිකරන ගමන් පුබුදු ඇසුවේය. ඇත්තමය. දැන් ටික දවසක ඉදන් පුබුදු නරක් වී ඇත. මේ අහිංසක කෙල්ලට පුබුදු ඉන්න දෙන්නැත්තේ ඇයි..?
"අනේ... මට ඕවට උත්තර දෙන්න බෑ.. මං ඔයත්තෙක්ක තරහායි පුබුදු.. කාංචන මං යනවා.."
හීන් හිනාවක් දෙතොල් අගට එකතුකර පූර්ණිමා මගේ මූණට එබුණාය. ඒ සොදුරු මුහුණේ තිබූ ආගන්තුක ආදරය මගේ හිතේ ගැඹුරුම තැනද අතගා තිබිණි. කැන්ටිමේ දොරෙන් පිටවී ගොසිනුත්, නැවත වරක් දොර ළගට ඇවිත් පුබුදු දෙසට දබර ඇගිල්ල දිගුකර ඇය නොපෙනී ගියාය. ඇගේ සියලු ඉරියව්වල රැදී තිබුණේ සිතක් ඇද බැද ගන්නා අපූරු දගකාර බවකි. මගේ සිත මටත් හොරා ඒ පසුපස දුවන්නට පටන්ගෙන තිබිණි.
"ඔන්න තෝරගන්නව නම්.. ආයෙ මොනවත් නෑ පෙරාපු රත්තරං වගේ තමයි.."
පුබුදු ඔය කියන්නේ පූර්ණිමා ගැනය. ඔහු කීවේ ඇත්තය. පූර්ණිමා වැනි සොදුරු යුවතියක් ජීවිතයට ලංකර ගන්නට ඇත්නම්, එතැනින් එහාට තවත් කිසිදෙයක් උවමනා වන්නේ නැති බැව් මම දනිමි. එහෙත් පූර්ණිමා ගැන සිහිපත් වන හැම විටකම, දිනූකා මිස්ගේ බටර් පැහැති නපුරු මුහුණ මතක්වන්නේ ඇයිදැයි මම නොදනිමි. ඇය මට නපුරුකම් කරනා හැම විටකම, ඒ සොදුරු දෑසේ මතුවන දැඩි වේදනාව මම බොහෝවිට දැක ඇත්තෙමි. මා හට නපුරුකම් කරනා ගමන් දිනූකා මිස් දුක්වෙන්නේ ඇයි..?
"ඒපාර මොනවද කල්පනා කරන්නේ..?"
පුබුදු තවමත් මා ළගය. පුටුවෙන් නැගිටින ගමන් මම පුබුදුගේ අතකින් අල්ලා ගත්තෙමි. ඒ මුහුණේ පිරී තිබුණේ තේරුම් ගැනීමට අපහාසු අපූරු සිනාවකි.
"පුබුදු කිව්ව දේවල් ගැනම තමයි. පෙරාපු රත්තරං වුණත් ළග තියාගන්න වාසනාව තියෙන්න ඕන. මං වගේ දුප්පත් අසරණයෙකුට පුබුදු ඔය පෙන්නපු හීන හුගක් දුර වැඩියි."
"තමන් ගැන ඔය තරම් අඩුවට ලංසු තියලා කතා කරන්න එපා. ඔයා දන්නෙ නැතුවට, ඔයා ගැන පූර්ණිගෙ හිතේ ලොකුවට තියෙනවා. මගෙත්තෙක්ක කතා කරන හැමවෙලාවෙම වගේ ඔයාගෙ නම ඇදිලා එනවා කෙල්ලගෙ කටින්. මං අද විහිලු කෙරුවෙත් ඒකයි.. පව්.. කෙල්ලට ලැජ්ජා හිතුණා.."
"පුබුදුටක කියන්න ලොකු කතාවක් තියෙනවා.."
උදේ වරුවේ සිදුවූ දේ සියල්ලම පුබුදුත් සමග කියන්නට ඕනෑය. අඩුම තරමේ දිනූකා මිස් මේ එන්නට හදන්නේ කුමකටදැයි කියාවත් එවිට පුබුදු මට කියනු ඇත. ඇය මෙතරම් මාව සමච්චලයට ලක්කරන්නේත්, මාව රිදවන්නේත් ඇයිදැයි කියා පුබුදුගෙන් හෝ මට අසා දැගනැගීමට හැකිවනු ඇත.
"මං දන්නවා.. පූර්ණිමා ගැන නේද..?"
පුබුදුට සෑම දෙයක්ම විහිලුය. ඒ මුහුණේ ඇත්තේ මහා දගකාර බවකි. එහෙත් ඔහු මෙතරම් සැහැල්ලුවෙන් හිටියට මට සිටිය නොහැක. මා වැඩ කරන්නේ සිතේ දාහක් දුක් කරදර මැද්දේය.
"නෑ පුබුදු.. මං අද හවස වැඩ ඇරුණහම ඒක කියන්නම්.. දැන් ඒකට වෙලාවක් නෑ.. මිස් මාව හොයනවා ඇති.."
දැනටමත් මා මෙහි රැදී සිටි කාලය හුගාක්ම වැඩිය. කාලය ගෙවී ගොසින් තිබුණේ සිතට හොර රහසේය. මම හනික මගේ කාර්යාල කාමරය වෙත පිය නැගුවෙමි. මේ වේලාවේ දිනූකා මිස් කුමක් කරනවාදැයි මම සිතමින් කාමරයට ඇතුලු වුණෙමි. මගේ ඇස් කෙලින්ම යොමුවූයේ දිනූකා මිස් වෙතය. මා සිතූ දේ නිවැරදිය. අබ දැමුවත් පුපුරා යන තරම් කේන්තියක් සුදු රූමත් මුහුණේ පැහැදිලිවම රැදී තිබිණි. ඇයට මේ තරම් කේන්ති ගොස් ඇත්තේ ඇයි..? මම ඇයට කිසිදු වැරැද්දක් කරේ නැත.
"කොහෙද ගියේ..?"
දිනූකා මිස්ගේ කටහඩේ වූ සද්දෙට මම උඩ විසිවී ගොස් බිම වැටුණෙමි. ඇය මෙතරම් සැරෙන් මට කතා කරන්නේ ඇයි..? මා බීරෙක් යැයි ඇය වරදවා සිතාගෙන සිටිනවාදැයි සැක සිතන්නේ ඔන්න ඔවැනි වෙලාවල් වලටය.
"මොකද ගියපු තැන කියන්න කට නැද්ද..? හිතුණු හිතුණු වෙලාවට එළියට යන්න මෙතන අම්බලමක් කියලා හිතුවද..?"
මේවා නම් බලන්න ඕනෙ දෙවියන්මය. මා මේ අවනඩුව කාට කියන්නද..? මා එළියට ගියේ ඇයට කියා නොවේද..?
"ම.. මං මිස්ට කියලනේ ගියේ..."
"මොනවා මට කියලා ගියා..? ඒ පාර අමු අමුවෙන්ම බොරුත් කියන්න පටන් ගත්තද..? ආ.. වැරැද්දත් කරලා එනවා මෙතන තවත් නිදහසට කාරණා කියාගෙන. ඇත්තමයි, තාත්ති ඔහේව මෙතෙන්ට දැම්මෙ නැත්නම් මං මෙලහකට තමුසෙට හොද වැඩක් කරලා. මොන මල කරදරයක්ද මංදා.. මට නිදහසේ ඉන්නවත් දෙන්නෑනේ.."
ඇය කියනා දේවල් වලට මොනවා කිව යුතුදැයි නිනව්වක් නැතිව මම ගල් ගැසී බලාගෙන සිටියෙමි. මාත් සමග කතා කර මුලින්ම රංඩුව පටන් ගත්තේ ඇයය. කටු අත්ත වගේ ඇමිනි ඇමිනී එන්නේ ඇයය. එහෙත් අවසානයේ දංගෙඩියට හිස තියන්නට වන්නේ මටය. එසේ හෙයින් කුටු කුටු ගගා ඇය කියාගෙන කියාගෙන යන දේවල් වලට කිසිවක් නොකියා මම මගේ පුටුවේ වාඩිවුණෙමි.
දිනූකා මිස් වෙතින් වෙන මේ හැම කරදරයක්ම, මැණික්දිවෙල මහතා වෙතට ගොස් කියන්නටද මට වරෙක සිතිණි. එවිට ඒ යහපත් මිනිසා, මට වෙනත් තැනක රැකියාවක් කිරීමට ඉඩ සලසා දෙනු ඇත. මම හෙමින් සීරුවේ දිනූකා මිස් දිහා බැලුවෙමි. කුෂන් පුටු ඇන්දට හිස තබාගෙන ලමැදෙහි වූ මාලයේ පෙන්ඩනය එහාටත්, මෙහාටත් තල්ලු කරමින් ඇය දෙනෙත් වසාගෙන සිටියාය. දැන් නම් උදේ රාජකාරියට පැමිණි පසු, දවල්ට කෑමට යන එකත් ප්‍රශ්නයක්ය. හවස් වෙනකම්ම මට ඉන්නට වෙන්නේ මේ පුටුවේය.
"කැන්ටිම ඇතුළෙ කවුද ලව් කරන්න කිව්වේ..?"
තඩි පොලු කෑල්ලකින් ඔලුවේ හරි මැදට පහරක් වැදුනාක් මෙන් මම ගැස්සී ගියෙමි. ඇය මේවා අසදන්නේ මගෙන්ද..? මා කිසි දවසක කැන්ටිම තුළ ලව් කර නැත. අනෙක මට ලව් කරන්නට කෙල්ලෙක්ද නැත..
"මිස් කියන ඒවා මට තේරෙන්නෑ..."
"තේරෙන්නෙ නැති වෙන්න මං කතා කෙරුවෙ දෙමළෙන්ද..? මීට පස්සෙ අහුවෙච්චාවිකෝ මට.. කෙලින්ම දානවා රස්සාවෙන් දොට්ට.."
මගේ පපුවේ තැන් හතර පොළක්ම ඇවිලී ගියේය. මොනවා කීවත්, මොනවා කෙරුවත් ඇය අන්තිමට එන්නේ ඔතෙන්ටය. දිනූකා මිස්ට ඕනෑ කරන්නේ මොන වැරැද්දක් හෝ මගේ පිට පටලවා වාම මෙතනින් එලවා දමන්නටය. එහෙත් ඒ ඇයි..? හිතේ උපන් මහා දුක මැද්දෙන් මට ඉතිරි වුණු ගැටලුව එයයි.
"මගෙන් වැරැද්දක් වුණා නම් සමාවෙන්න මිස්.."
සිතේ දුක වසාගෙන පැමිණි නොරිස්සුමෙන් මම කීවෙමි. මා අහිංසකයෙකු බව දැන දැනම ඇය මගේ අසරණ හිත පාගා දමන්නේ ඇයි..? මා මෙතන වැඩට ආවේ හිතේ දහසකුත් එකක් ප්‍රාර්ථනාවන් තමාගෙනය. එහෙත් ඒ සියල්ලම පුදීන්නටත් කලින් මියැදී යන බව දැන් මට විශ්වාසය. මේ ලෙසට දිනූකා මිස් හා තවදුරටත් සහයෝගයෙන් වැඩ කටයුතු කරන්නට මට බැරිවෙනු ඇත. ඇය එන්නේ හරහටය. මගේ වැරැද්දක් අල්ලාගන්නටමය..
"හරි.. සමාව දුන්නා.. දැන් ඉතිං වැඩ ටික කරනවා.."
මම හිස උස්සා කෙලින්ම ඇය දෙස බැලුවෙමි. ඒ රූමත් මුහුණේ වූයේ මහ විශාල ආඩම්බරකාරී පෙනුමකි. ඒ පෙනුමට යටින් වූයේ බාලාංශයේ පංති වල ළමයින් යමක් අත්පත් කරගත්තායින් පසුව ඔවුන්ගේ මුහුණු වලට එන පෙනුම වැනි ජයග්‍රාහී හැගීමකි. මගේ ඇස්වලට දිනූකා මිස්ගේ දෑස් හසුවද්දී ඇය ඒවා මා වෙතින් වසන් කරගත්තාය. කෝමල ගැහැණු රුවක වූ ආදරණිය හැගීමකින් මගේ හිත තත්පරයකට දෙකකට වෙව්ලුම් කා දැමුවේය.
"ම... මම අර බිල් ටික ආයෙත් හදන්නද මිස්..?"
"ඕන් නෑ.. ඒවා ඔහොම්ම තිබුණාවේ.. මෙන්න මෙතන අලුත් ඩිසයින් වගයක් තියෙනවා.. ඒවා ටිකක් ට්‍රේසින් එකට අරගන්නවා.."
ඇයගේ හැම වචනයක්ම විධානයකි. බොහෝ අකාරුණිකය. හිතේ සතුටින් මෙතන වැඩ කළ දිනක් මට මතක නැත. මා කෙරෙහි ඇයට ඩිංගක් හෝ කාරුණික වන්නට බැරි ඇයි..? ඇය කරුණාවෙන් මට යමක් කියනවා නම්, දිවා රෑ නොබලා මම ඒ වැඩය කරමි..
"කාංචන... මැණික්දිවෙල මහත්තයා එන්න කිව්වා.."
හිටි හැටියේම පුබුදුගේ කටහඩ ඇසුනේ කොතැනින්දැයි බැලීමට මම වටපිට බැලුවෙමි. දිනූකා මිස් කාමරයේ සිටියේ නැත. දොරකඩ අසල සිනාමුසු මුහුණින් සිටියේ පුබුදුය. මේ තත්පරයට දෙකට දිනූකා මිස් කොහේ ගියාද..?
"පුබුදු.. දිනූකා මිස් කෝ..?"
"දිනූකා මිස්..? ඇයි මනුස්සයෝ මාත් දැන්නේ මේක ඇතුළට ආවේ.."
මගේ සිතට දැනුනේ මහා විශාල පුදුමයකි. හිටිගමන්ම ඇය අතුරුදන් වූයේ කෙසේද..? මෙය නම් මහ අමුතු දෙයකි..
"පුබුදු එන්න ඩිංගකට කලින් දිනූකා මිස් කාමරේ හිටියා. හරි පුදුමයි. කොරිඩෝ එකේදිවත් ඔයාට මිස්ව හම්බවුණේ නැද්ද..?"
"නෑ.. කාංචන.. මං මිස්ව දැක්කෙම නෑ.."
මැණික්දිවෙල මහතාගේ කාමරය ළගදී පුබුදු මගේ පිටට හෙමින් සීරුවේ ගසනා ගමන් කීවේය. මා කල්පනා කරමින් සිටි තත්පර ගාන තුළ ඇයට කාමරයෙන් පිටවී යන්නටත් කල් මදිය. එසේ නම් දිනූකා මිස් සිටින්නට ඕනෑ අපේ කාර්යාල කාමරය තුළමය. එහෙත් කාමරයෙන් පිටවීමට පෙර කාමරය තුළ මම දැඩි විපරමකින් බැලුවෙමි. දිනූකා මිස් පෙනෙන්නට සිටියේ නැත. ඇය මෙවර මා සමග කරන්නට යන්නේ අලුත් හැංගිමුත්තං සෙල්ලමක්වත්ද..?
"වාඩිවෙන්න කාංචන.."
උපැස් යුවල අතට ගන්නා ගමන් මැණික්දිවෙල මහතා මට ඉදිරිපස කුෂන් පුටු සෙටිය අතින් පෙන්විය. දිනූකා මිස් ළගදි නම් මා කතා කරන්නේම සිටගෙනය. ඇය මට වාඩිවෙන්න කියනවා තියා කෙලින් මං දිහා බලන්නේවත් නැත.
"කාංචන හුගක් හොදට වැඩ කරගෙන යනවා කියලා මට දුව කිව්වා.. ඇත්තටම හුගක් සංතෝසයි.."
මේ මොනපුදුමයක්ද..? මට පස් පඩංගුවේ, නොසෑහෙන්න බනින ඇය, මා ගැන හොදක් කියා තිබීම මට විශ්වාස කරන්නටත් බැරිය.
"හැමෝමත් එක්ක හොදට, සහයෝගයෙන් වැඩ කරන්න පුලුවන් කියලා මේ ටික කාලෙට කාංචන පෙන්නල තියෙනවා. මගේ දුවත් කාංචනගෙ වැඩ හොදයි කියලා ලොකු ගැරන්ටියක් දුන්නා. එයා ඒ වගේ කවුරුවත් ගැන විශ්වාසෙකින් කතා කරන්නෑ. ඒත් කාංචන ගැන දුව හුගක් පැහැදීමකින් ඉන්නේ. ඒ පැහැදීමත් තියාගෙන, මේ වගේම ඉස්සරහට වැඩ කරන්න.. ම්.. දැන් ප්‍රශ්න මුකුත් තියෙනවද..?"
මට දැනුණේ මා කරකවා අතැරියා මෙන් හැගීමකි. කාමරයේදි මට පලු පැලෙනකන් බැන වදින දිනූකා මිස්, මැණික්දිවෙල මහතාට මා ගැන හොද කියා ඇත. මෙය නම් තේරුම් ගන්න තියා හිතාගන්නටවත් බැරි කතාවකි. මා කරන සෑම දෙයකම වැරදි දකිනා ඇය මේ ආයතනයේ ප්‍රධානියා වූ ඇගේ තාත්තාට මා ගැන ඉතා ඉහල ආකාරයට ගැරන්ටියක් කර ඇත්තේ කෙසේද..?
"න්.. නෑ.. සර්..."
"මේ ආයතනය ඇතුළෙත් කාංචනට ප්‍රශ්න නෑ නේද..?"
මැණික්දිවෙල මහතා මෙසේ මාගෙන් අසන්නේ ඇයි..? ඔහුට දිනූකා මිස්ගේත්, මගේත් අමනාපය ගැන ඉව වැටී ඇතුවාවත්ද..? මගේ සිතට පිවිසියේ තේරුම් ගැනීමට අපහාසු හැගීම් සමුදායකි. මහ බරකි. වහා මෙතනින් පිටව යාමේ අවශ්‍යතාවයකි.
"මුකුත් නෑ සර්.. දිනූකා මිස් මට හොදට සළකනවා. මං හුගක් සංතෝසෙන් මේ ඔෆිස් එකේ ඉන්නේ.."
"ඉතා ගුණ යහපත් පුද්ගලයෙකු වූ මැණික්දිවෙල මහතා ඉදිරියේ බොරුවක් කියන්නට සිදුවීම ගැන මගේ සිතට දැනුණේ මහත් වේදනාවකි. ඇත්ත තත්වය දන්නවා නම් ඔහු මට අනුකම්පා කරනු ඇත. තව කීයක් හෝ වැඩිපුර මගේ පඩියට එකතු කරනු ඇත."
"ඒක මට අහන්නත් සංතෝස දෙයක්.. හොදයි එහෙනම් කාංචන යන්න.. දැන් ඕෆ් වෙන වෙලාවත් ළගයිනේ.."
මැණික්දිවෙල මහතා කියා කට ගැනීමටත් පෙර මම කාමරයෙන් එළියට ආවෙමි. ඇත්තටම මේ ප්රශ්නයේ දෙකෙන් එකක් මා බේරාගත යුතුය. දිනූකා මිස් මෙසේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි..? මේ ආයතනයට පැමිණි දා සිට මම ඇයට කිසිදු වරදක් නොකළෙමි. එක්කෝ ඇය මෙසේ මා හට එලව එලවා පහර දෙන්නේ, පැමිණි මුල් දවසේම මම ඇගේ, ඇගේ හැප්පුණ නිසාය. ටිකක් කල්පනා කර බැලුවෝතින් එය ඉතා සුලු සිදුවීමකි. මා එයට ඇගෙන් සමාව ගත්තා නොවේද..? අනෙක් කරුණ නම් ඇයගේත්, මගේත් ඇති අමණාපය මැණික්දිවෙල මහතාට නොපෙන්වා සිටීමට දිනූකා මිස් දරණ උත්සාහයයි. ඇත්තටම මගේ සිතේ තිබුණේ උභතෝකෝටික ප්රශ්නයකි. තවත් මේවා කල්පනා කිරීමට ගියොතින් මා පිස්සෙකු නව එක වළක්වන්නට පිස්සන් කොටුවේ ලොකුම පිස්සන්ටත් බැරිය.
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12347964
"කාංචන.."
කාර්යාල කාමරයේ දොර ගාවදිම පූර්ණිමාගේ කටහඩ මට ඇසුණි. සුදු රවුම් මුහුණේ පිරී තිබුණේ නෙලාගන්නට ආස හිතෙන තරමේ නැවුම් සිනාවකි. ඇය මෙතරම් ලස්සනට, හැඩට සිනාසෙන්නේ කෙසේද..? එය නම් ප්‍රගුණ කළ යතු කලාවකි..
"දිනූකා මිස් ඔයාව හෙව්වා.."
"මා.. මාව..?"
මගේ සිතට මහා අමුත්තක් දැනුණි. දිනූකා මිස් මාව හොයන්නේ නම් හොදකට වෙන්න බැරිය. එක්කෝ අම්බානක බැණ වදින්නටය. එසේත් නැත්තං මගේ වැඩක් කඩාකප්පල් කරන්නටය. ඔය දෙකෙන් කෝක වුණත් සිත රිදෙන්නේ මගේය.
"ඔයාගෙ ඕෆ් එක හෙට නේද කාංචන..?"
මම කෙලින්ම පූර්ණිමා දෙස බැලුවෙමි. ඇයගේ කොපුල් තලවල ලා රත් පැහැයක් දිස්වේ. මේ ගෑණු ළමයා ලැජ්ජා වෙන්නේ ඇයි..?
"ඔව්..?"
"ඔ... ඔයා මොකද හෙට කරන්නේ...?"
"ම්.. පුබුදුත් එක්ක ඇවිදින්න යන එක තමයි.. නිකං කාමරේට වෙලා ඉන්නෙකත් කම්මැලි වැඩක් නේ.."
මා එසේ කියූ විට පූර්ණිමා මගෙන් දෑස වසන් කරගත්තාය. ඇය මේතරම් හොරගල් අහුලන්නේ සිතේ කුමක් හෝ තියාගෙන නිසාය. ඒ කුමක් විය හැකිදැයි මම කල්පනා කෙරුවෙමි. සමහරවිට අර පුබුදු නිතරම කියන්නා සේ පූර්ණිමා මා කෙරෙහි ලෙංගතුකමකින් සිටිනවාද යන්න දැනගැනීඹට මෙය හොද අවස්ථාවක් විය හැකිය.
"ඇයි පූර්ණි එහෙම ඇහුවේ..?"
"හෙට මගේ බර්ත් ඩේ එක. ඔයාටයි, පුබුදුටයි විතරයි මං ඔෆිස් එකෙන් කියන්නේ.. කාංචනට අපේ ගෙදර එන්න පුළුවන් නේද..?"
ඇය මේ තරම් තැටමුවේ මේ ඩිංග කියාගන්නටද..? පූර්ණිමා කෙරෙහි මෙතෙක් ඇති නොවූ අනුකම්පාවක් හා දුකක් මගේ සිතෙහි පැලපදියම් විණි. ඇයගේ දෑස් දැන් දැල්වී තිබෙන්නේ බලාපොරොත්තුවේ නිමක් නැති ආලෝකයෙනි.
"අපි එන්නම්.."
"තැන්ක්යූ කාංචන.. මං යනවා.. ඔයා හුගක් හොදයි.."
ඇය එය කියූ ආකාරයට මගේ පපුවේ ගැඹුරුම තැන පවා ලෙංගතුකමින් වෙව්ලුවා දැම්මේය. ඇය මට මේ තරම් ආදරණිය විදියට කතා කරන්නේ ඇයි...? පූර්ණිමා ගියාඉන් පසුව මම හෙමින් සීරුවේ කාමරයේ දොර හැර ඇතුල්විණි. මගේ ඇස් කෙලින්ම යොමුවූයේ දිනූකා මිස් නිතර වාඩිවී සිටින ලොකු කුෂන් පුටුව වෙතය. එහෙත් ඇය ඒ මත නොසිටියාය. ඒ වෙනුට අද උදයේ දිනූකා මිස් ළගින් හමා ආ අපූරු පර්ෆියුම් සුවද එක පොදියට ගලා එයි. අනිවාර්යයෙන්ම ඇය මේ කාමරය තුළ සිටින්නට ඕනෑය. මම වටපිට බැලුවෙමි. එහෙත් ඇය පෙනෙන්නට නැත. මෙය කවර නම් පුදුමයක්ද..? දැන් ඩිංගකට කලින් ඇය මා සෙවූ බව පූර්ණිමා කීවාය.
"දිනූකා මිස්..."
මම මදක් හයියෙන් කතා කෙරුවෙමි. පාලු කාමරය තුල ඒ කටහඩ කීප සැරයක් රාව දුන්නා මිසක, පැමිණි දිනූකා මිස් කෙනෙක් නැත. හරි නම් මා කාමරයට ඇතුල්වන්නට තත්පරයකට ලින් හෝ ඇය මේ කාමරය තුල සිටින්නට ඕනෑය. මෙතනින් පිටව යන්නටද තැනක් නැත. එළියට යනවා නම් යා යුත්තේ මා කාමරයට ඇතුලුවුණු දොරින්මය. පුබුදු මා හට කතා කල වේලාවේද සිදුවූයේ මෙයමය. ඇය තත්පරයෙන්, දෙකෙන් අතුරුදන් වී ගියාය. දැනුත් එසේමය සිතේ වූ නොසංසුන්කම කනස්සල්ලකට පත්වෙද්දී මම කාමරයෙන් එළියට ආවෙමි.
බතික් තිර රෙදිවල බෙදාහැරීමේ මොකක්දෝ පටලැවිල්ලක් නිසා පුබුදු පැමිණියේ රෑ අටහමාරත් පසුවීය. මම ඔහු එනතුරු කෑමත් නොකා බලා සිටියෙමි. දිනූකා මිස් ගැන බොහෝ දේ පුබුදු හා කතා කරන්නට සිතා සිටි දවසේම ඔහු ප්‍රමාද වීම මගේ සිත ගෙන දුන්නේ නිමක් නැති කරදරයකි. පුබුදුට අදම ප්‍රමාද වන්නට යෙදුන හැටි.
"අද නම් එපාම වුණා කාංචන.."
දාඩියෙන් පෙගී ඇති කමීසය ගලවමින් පුබුදු කාමරය තුලට ඇතුල් වූයේය. ඔහු වොෂ් එකක් දමා නැවත පැමිණෙන්නට විනාඩි විස්සක්වත් ගතවනු ඇත. මට වෙන්නේ මේ පැය ගණනක් ඉවසා සිටියා සේ ඒ විනාඩි විස්සද ඉවසා සිටින්නටය. ඇත්තටම දිනූකා මිස් ගැන කතා කරන්නට යෑමත් ඇය වගේම කරදරකාරී වැඩකි.
"ඉතිං.."
ළගම තිබූ වේවැල් පුටුවට බරවෙන ගමන් පුබුදු මගේ මුහුණ දෙස බැලුවේය. රාජකාරිය උපරිම අන්දමින් ඉටු කිරීමේ තෘප්තියක් ඒ මුහුණේ වෙයි. මට නම් කිසිදාක එවැනි තෘප්තියක් ලබාගැනීමට දිනූකා මිස් ඉඩ නොදෙනු ඇත. ඇය මා හට කරනා කෙනහිලිකම් වල අවසානය කොතැනකදැයි මට හිතාගන්නටවත් බැරිය.
"මේ කතාව කොහෙන් පටන් ගන්නද කියලා මට තේරෙන්නෑ පුබුදු.."
"ඔය අර මට උදේ කියනවයි කිව්ව කතනදරේද..?"
තවමත් තැනින් තැන ඇයි වතුර බිංදු පිහිදාගන්නා ගමන් පුබුදු ඇසුවේය..
"ඔව්.."
"කතාව කෙල්ලෙක් ගැන.. මොකද කියන්නේ.. මං හරි නේද..?"
"හරි නම් තමයි.. ඒත්.."
"ඒත් මේත් මට වැඩක් නෑ.. කෙල්ල කවුද කියලා කියමුකෝ බලන්න.. පූර්ණිමා නෙමේ කියලත් කිව්වනේ.."
පුබුදු තවත් හරිබරි ගැසී වේවැල් පුටුවේ වාඩු වූයේය. ලා කහපාට නියෝන් විදිලු එළි අනේක රටා මවමින් පාර පුරාම පැතිරී ඇත. පුබුදුට කියන්නට බොහෝ දේ තිබෙනවා සේ හැගුනද දැන් නම් මගේ සිත කිසිවක් ලියා නැති, සුදු ඩිමයි කොළයක් වගේය. මුලු සිතම හිස්ය. ඇත්තටම මා පුබුදුට කියන්නේ මොනවාද..?
"කාංචන, කෙල්ලගෙන් තාම ඇහුවෙ නෑ නේද..?"
පුබුදු සිතාගෙන සිටින ආකාරය නම් හුගාක්ම වැරදිය. ඔහු සිතන්නේ කෙල්ලෙක් නිසා මා මගේ සිත අසහනයට පත්කරගෙන ඇති වගය.
"එහෙම එකක් නෙමේ පුබුදු. මේක වෙනම ප්‍රශ්නයක්.. මං මේ කතා කරන්න යන්නේ දිනූකා මිස් ගැන."
"දිනූකා මිස්..?"
පුබුදුට ඉබේටම වාගේ වේවැල් පුටුවෙන් නැගිටුණේය. ඒ තරමට ඔහු සසලව ගියේය. ඔහු දැන් සිතන්නේ මා දිනූකා මිස්ට ආදරය කරන්නට යන වගය. ඒ වචන ටික මටම සිහිපත් වෙද්දී වුවත් මම හිරිවැටී ගියෙමි. මා වැනි හඩ්ඩ පාංකඩ කොල්ලෙක්, සුරංගනාවක් ගැන එවැනි දේ සිහිනයකින්වත් සිතිය යුතු නැත.
"ම.. මට දිනූකා මිස් එක්ක වැඩ කරන්න බෑ පුබුදු. කාටවත් හිතාගන්න බැරි තරම් විදියට එයා මට කෙනෙහිලිකම් කරනවා.."
"කාංචන කියන දේ මට තේරෙන්නෑ.."
අනතුරුව මා දිනූක එන්ටර්ප්‍රයිසස් හී රැකියාවට ආ දා සිටම සිදුවූ කුදු මහත් සිදුවීමක්ම මම පුබුදු හා කියාගෙන කියාගනෙ ගියෙමි. පුබුදු ද ඉතා උවමනාවකින් මගේ කතාව අසාගෙන සිටියේය. දිනූකා මිස් හා මා අතර සිදුවූ පුංචි සිදුවීමක්ම පවා මගේ මතකයේ තිබීම මාද පුදුමයට පත් කරවන්නක් විය. මේවා මේ තරම් දැඩි ලෙස මගේ මතකයේ තිබුණේ කෙසේද..?
"ඒත් මට හිතාගන්න බැරි දෙයක් තියෙන්නේ, මාව ඔය තරම් පේන්න බැරිව ඉන්න දිනූකා මිස්, මැණික්දිවෙල මහත්තයට මං ගැන හොද කීවෙ ඇයි කියලා.. මිස්ට තිබුණෙ මාව කපලම දාන්න.."
"මෙතන මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා කියලා මටත් තේරෙනවා. ඒත් ඒක මොකක්ද කියලා මට හරියටම කියන්න බෑ කාංචන. අනිත් දේ තමයි ඔයා කිව්ව හැමදේ ගැනම කල්පනා කරලා බැලුවාම.."
එතැනින් එහාට පුබුදු කිසිවක් කීවේ නැත. ලොකු කල්පනාකාරී බවකින් මුහුණ පුරවාගත් ඔහු වේවැල් පුටුව තුළට වකුටු වූයේය.
"කල්පනා කරලා බැලුවාම..?"
"දිනූකා මිස් ඔයා ගැන උනන්දු වෙනවා, කියලා මට හිතෙනවා.. සමහරවිට දිනූකා මිස්ගෙ හිතේ ඔයා ගැන තියෙනවද කියලා අපි දන්නෙ නෑනේ.."
පුබුදු කියූ දෙයින් මම උඩ විසිවී ගොස් බිම වැටිණි. දෙවියනේ... මේ කවර නම් කතාවක්ද..? මේ ආත්මයේ නොව තව ආත්ම හතක් යනතුරුවත් සිදුනොවන දෙයක් පුබුදු කියන්නේ ඇයි..?
"ස්.. හූ... උඹත් මහ පුදුම කතානේ කියන්නේ.. කවුරුහරි අහන් හිටිය නම් හෙම.. මාව රස්සාවෙනුත් අස්කරයි.."
මම අවංකවම කීවෙමි..
"නෑ කාංචන.. උඹ මෙතනින් ගියොත් මිසක, මිස්වත්, මැණික්දිවෙල මහත්තයවත් උඹව අයින් කරන්නෙ නෑ. ඒක මට ශුවර් එකටම කිව්ව හැකි.."
"ලොකු සර්ට නම් එහෙම වෙන්නැති. ඒත් මං හොදටම දන්නවා දිනූකා මිස් මට කැමති නෑ කියලා. මගේ මූණ දකිද්දිම දිනූඛා මිස්ගෙ මූණ රතු වෙනවා.."
අද අවස්ථා දෙකකදීම දිනූකා මිස් කාර්යාල කාමරයේ නැති වුවද ඇගේ පර්ෆියුම් සුවද දැඩිව හමා ආ හැටි මම පුබුදුත් සමග කියන්න ගියේ නැත. මගේ මනස්ගාත යැයි සිතා ඔහු මට සිනාසෙන්නට පුලුවන. එහෙත් ඒ අවස්ථා දෙකේදීම ඇය කාර්යාල කාමරයේ කොතැනක හෝ සිටියා කියා දිව්රා කියන්නට මට පුලුවන්කමක් තිබිණි.
"මූණ අමුතුවෙනව නම් ඒක තමයි හොදම වැඩේ. මොකක් හරි දෙයක් තියෙන හින්දනේ එහෙම වෙන්නේ.. අපි කෝකටත් තව ඩිංගක් ඉවසලා බලමු.. ඉස් ඉස්සෙල්ලම කලබල වෙන්න ගියොත් අපි බලෙන්ම අනාගන්නවා. ඒක හින්දා මිස්ට තව දුර යන්න දෙමු.."
පුබුදු කියන්නේ එවැනි කතාවක්ය. එහෙත් මගේ සිතේ තෙරපෙන ආංගතුක නොසන්සුන්කම ගැන දන්නේ මමය. සිත රිදෙන තරම දන්නේ මමය.
"මං මේ තැනට ආදරේයි පුබුදු.. මං මගේ උපරිම ශක්තිය දාලා මේ ආයතනය දියුණු කරන්නයි වැඩ කරන්නේ. ඒත්.. ඒත්.. දිනූකා මිස් මට තාමත් සලකන්නේ ඉස්සර විදියටමයි.. පුබුදු..."
එවර නම් මා කී දෙයට පුබුදු කිසිවක් කීවේ නැත. ඔහු නිසොල්මනේ මා දෙස බලා හිදී. ඒ මුහුණේ ඇත්තේ පුදුම හිතෙන තරමේ සන්සුන් බවකි.
"මං කියන්නෑ.. මට ආදරෙන් කතා කරන්න කියලා.. ඒත් මනුස්සයෙකුට කතා කරන විදියක් තියෙනවනේ.. ඇයි මට විතරක් දිනූකා මිස් මේ වෙනස්කම් කරන්නේ..? මේකෙ ඉන්න අනිත් හැමෝටම මිස් හුගක් හොදින් කතා කරනවා. උඹ දන්නෑ.. මිස් මට තමුසෙ කියලත් කතා කෙරුවා. මං මිස්ට කිසිම වැරැද්දක් කරලා නෑ. ඉතිං මට විතරක් මෙහෙම කරන්න මං කරපු වැරැද්ද මොකක්ද පුබුදු. කොටින්ම දිනූකා මිස්ට මාව පේන්නවත් බෑ.."
හිත පත්ලෙන්ම වූ, මට මං ගැනම දුක හිතෙනා හැගීම මම එළියට දැමුවෙමි. දිනූකා මිස්ගෙන් කරුණාවන්ත වදනක් ඇසීමට මා බලා ඉන්නේ දැන් මාස ගණනක සිටය. එහෙත්, ඒ බලාපොරොත්තුව නම් කිසිමදාක ඉටු නොවනා එකක් වැනිය.
"මෙතන තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා මටත් හිතාගන්න බෑ කාංචන.. අනික උඹව රිද්දලා දිනූකා මිස් ලබාගන්න යන දේ මොකක්ද..? හැබැයි ඔය මොනවා වුණත් මං එක දෙයක් නම් දන්නවා.."
"ඒ මොකක්ද පුබුදු..?"
"දිනූකා මිස් හරිම හොදයි කියනෙක. ඒක ආයෙ හොදන්න දෙයක් නෑ.. ඒත් උඹට විතරක් මෙහෙම කතා කරන්නෙ ඇයි කියනෙක ප්‍රශ්නෙ ඉස්සරහා මාත් අතරමං වෙනවා. මොනවා වුණත් වැඩ ටික හරියට කරපං. මොක නැතත් රස්සාව වටිනවනේ.."
පුබුදු කියනා දේ මහ වීශාල ඇත්තක් තිබේ. මෙවැනි සිත් ඇදගන්නා සුලු රැකියාවක්, රුපියල් විසි තිස්දහසක පගාවක් දී හෝ ලබාගත නොහැක. අනෙත් කාරණය වන්නේ මාසයේ අන්තිමට අතට ලැබෙන මුදල්ය. එය සිත් ඇද බැද තබාගන්නා ආකාරයේ එකක් වන බවට පුබුදු දැනටමත් කීපවතාවක්ම මට කියා ඇත. ඒ කෙසේ වෙතත් දිනූකා මිස්ට මාවම පමණක් පෙනෙන්නට බැරි ඇයි..? ඇයට බයිට් එකක් වී සිටින්නේ ා පමණක්ද..? මින් පසුව නම් පත්තර පිටුවකින් හෝ මූණ වසාගෙන සිටිය යුතුය. එසේත් නැතිනම් අර ස්පයිඩර් මෑන් කාටූන් පටය සේ මුලු ඇගම වැසෙන ආකාරයේ ඇදුමක්වත් හැද සිටිය යුතුය.
"හතරාමාරට, පහට විතර ගියොත් ඇතිවේවි නේද පුබුදු..?"
පැය බාගයක් පමණ නාන කාමරයේ ගතකර එළියට පැමිණ මම ඇසුවෙමි. පුබුදු ඇද උඩට වී හාන්සිවී සිවිලිම දෙස බලාගෙන කල්පනා කරයි. මෙතුවක් වේලා මොකක්දෝ බරපතල පෙනුමක් දැවටී තිබූ පුබුදුගේ මුහුණ හීන් සිනා රැල්ලකින් ඔපවත් වී තිබිණි.
"ඒකත් මදි කියලා හිතෙනවා නම් අපි දැන්ම යමු.."
ඇද උඩ බරිබරි ගැසී වාඩිවෙන අතරතුර පුබුදු කීවේය. ඒ මුහුණේ තිබුණේ අර කලින් දැවටී තිබූ ලෙංගතු හිනාවමය. පුබුදු කී දෙයට මා කිසිවක් කියන්නට ගියේ නැත. පූර්ණිමාගේ උපන්දිනයට යාමට මා පෙරමග බලා සිටියෙ හැන්දෑවේ සිටිය. අඩුම ගණනේ මම අද උදයේ වත් කොහේවත් නොගියෙමි.
"පූර්ණිමාට මොනවා හරි ගන්නත් ඕනෙනේ පුබුදු.."
"එහෙනම් අපි තව ටිකකින් යමු. ඊයෙ කෙල්ල මට මගින් මගටම කිව්වා කාංචන කොහොම හරි එක්කගෙන එන්න කියලා. පවු.. හරිම හොද කෙල්ල.. කිසිම ආඩම්බරයක් නෑ.."
පුබුදු කීවේ හදවතින්ම බව මා දනිමි. ඒ හැම දෙයක්ම පැහැදිලි වතුරෙන් පිරුණු විලක ඇති අව්‍යාජ බව සේම ඇත්තය. පූර්ණිමාත්, දිනූකා මිසුත් එකම තරාදියක දෙපැත්තට දැමූ විට, පූර්ණිමාගේ පැත්ත බර වැඩි වන්නේ ඒ නිසාය.
"පූර්ණිමාගේ ෆැමිලි එක ගැන පුබුදු විස්තර දන්නවද..?"
පුබුදු අසලින්ම ඇදෙහි වාඩිවෙන ගමන් මම ඇසුවෙමි. හොදින් රැවුල කපා දැමූ පසු මුහුණේ ගෑ ප්‍රෝ ස්පෝට්ර් ආෆ්ටර් ෂේව් වල අමුතු සුවද දැන් දැන් හොදින් දැනේ.. දින කිහිපයකින් මා රැවුල කැපූ පළමු වතාවය.
"ළගින් ආශ්‍රය කලත් මමත් ඒ තරම්ම විස්තර දන්නෑ කාංචන.. හැබැයි කෙල්ල නම් ඒතරම් පෝසත් කෙල්ලෙක් නම් නෙමෙයි. ගෙදර හැමදෙයක්ම කරන්නෙ කෙල්ලගෙ පඩියෙන් කියලා මං දන්නවා. ඔහොම අහිංසක කමට හිටියට කෙල්ල හරි දහිරියවන්තයි.."
පූර්ණිමාගේ අහිංසක හිනාව මේ දැන් මා ඉදිරියේ මැවී පෙනෙන්නාක් මෙනි. ඇය ඒතරම් හැඩකාරව සිනාසෙන්නේ හිතේ මොනතරම් ප්‍රශ්න තියාගෙන වන්නට ඇත්ද..? පූර්ණිමා ගැන මෙතෙක් සිතේ පැලපදියම්ව තිබූ අනුකම්පාව උඩින් අමුතුම හැගීමක් ඇදී යන්නට වූයේ මටත් හොරටය. ඒ හැගීමම හිතේ තමාගෙන මම ලැහැස්ති වෙද්දී පුබුදු මටත් කලින්ම ලෑස්ති වී අවසන් වී තිබිණ. අනතුරුව මමත්, පුබුදුත් නගරයට පැමිණ විරාජ් ජුවෙලරි වෙතින් රිදියෙන් හදා වැඩ දැමූ මාලයක්, කරාබු ජෝඩුවක් හා දෙපා පළදනාවක් මිලදී ගත්තෙමු. තෑග්ග නම් හොද බව ඇත්තය. එහෙත් මෙවැනි තෑග්ග පූර්ණිමාට දීම හරිද..? මගේ හිතේ තිබුණේ ප්‍රශ්න ගොඩක්ය. ඇය මා ගැන වැරදියට සිතන්නට පුළුවන. එහෙත් ඉන් එහාට කිසිවක් සිතන්නට මට ඉඩ ලැබුණේ නැත. දිනූකා මිස්ගේ තද නිල් පැහැති අවුඩි රථය අප දෙදෙනාව පසු කරගනෙ ඉදිරියට ගොස් නැවත ආපස්සට ආවේය. මගේ හදවත හෙමින් සීරුවේ ගැස්ම වැඩි කරන්නට පටන් ගත්තේය.
"මං හැමතැනම හෙව්වා.. අපි බඩු යවපු වෑන් එකක් ඇක්සිඩන්ට් වෙලා.. දැන්මම ගියොත් හොදයි..."
සවයංක්‍රීයව පහතට ඇදී ගිය වීදුරුවෙන් හිස එළියට දමා දිනූකා මිස් කීවාය. කිසිවක් කියාගත නොහැකිව මම පුබුදු දෙස බැලුවෙමි. දැම්ම ගියොත් හොදයි කීවාට අප යා යුත්තේ කොහේටදැයි ඇය කීවේ නැත. සුදු පැහැති පීත්ත පටියකින් කෙටි කොණ්ඩය බැද සිටි දිනූකා මිස් වෙතින් පළ වූයේ නුහුරු නුපුරුදු පෙනුමකි. ඔහොම කොණ්ඩය බැදීම ඇයට ගැලපෙන්නේ නැති වග කියන්නට ඇත්නම් හොදය. එහෙත් එය කියන්නට වෙන්නේ ඇය මෙතනින් ගියාට පසුවය.
"බන්දුලට තුවාලද දන්නෑ නේද මිස්..?"
මා නිහඩව බලා සිටියදී පුබුදු කතා කරන්නට පටන් ගත්තේය. එහෙත් ඇය කෙලින්ම බැලුවේ මා දෙසය. ඒ සොදුරු දෑසේ තිබූ කාන්තියට මගේ හිත තිගැස්සී ගියේය. ඇය මේ තරම් කෙලින් මගේ දෙස බලන්නේ ඇයි..? එසේ බලමින් මා අපහසුතාවයට පත් කරන්නේ ඇයි..?
"එච්චර ඩැමේඩ් එකක් නෑ.. වෙහිකල් එක පොලීසියට අරන් ගිහින්.. කතා කරලා කරිලීස් කරගන්න.."
"හොදයි මිස්.."
"දැන්මම යන්න ඕනද මිස්..?"
පුබුදු හොදයි කීවාට පසුව මම ඇසුවෙමි. දිනූකා මිස්ගේ මුහුණ වහා වෙනස් වුණි. අර කලින් තිබූ සියුමැලි පෙනුම හොයාගන්නටවත් බැරිවිය. දෙවියනේ මා වැරදි යමක් කීවාද..? ඇය මගේ කටහඩවත් අසන්නට කැමති නැතුවක් වැනිය. ඇත්තටම මට තිබුණේ කට පියාගෙන ඉන්නටය. එහෙත් මා එසේ ඇසුවේ පූර්ණිමාගේ උපන්දින පාටිය මතක් වීම නිසාය. වාහනයේ පලහිලව්වට පොලීසි ගානේ ගොස් ආපසු පැමිණෙන විට තව බොහෝ රෑ වනු ඇත. එවිට පූර්ණිමාගේ බර්ත් ඩේ පාටියට යන්නට මට හැකිවන්නේ නැත.
"දැන්ම නැත්තං ලබන මාසෙද යන්න හිතං ඉන්නේ..? එතකන් වාහනේ බඩුත් එක්ක පොලීසියෙ තියන්නද හදන්නේ..? ආ...? අලියෙක් තරමට ඇගපත තිබුනට මොලේ නම් ඩිංගක්වත් නැද්ද කොහේද.. නැත්තං ඉතිං ඔහොට මැටි ප්‍රශ්න අහවියෑ.. මං යනව පුබුදු.."
කල්පනා කරන්නට තියා හිතාගන්නවත් බැරි තරම් ඉක්මනින් ඒ ටික කියා දැමූ ඇය අවුඩි රථයේ අලුත් ටයර් කෑගස්සවමින් අප වෙතින් ඉවතට ඇදී ගියාය. කර ගද ගස්සන ටයර්වල සුවදට ඉව අල්ලමින් මම හුන් තැනම ගල් ගැසී උන්නෙමි.
"මිස්ට කේන්ති යන්න තරම් දෙයක් උඹ කිව්වෙ නෑ නේ කාංචන.. මට පේන්නෙ නම් මිස් උඹත් එක්ක මොකක් හරි දේකට තරහින් වගේ ඉන්නේ.. මොකද, උඹ ඔය අහපු ප්‍රශ්නෙම මාත් මිස්ගෙන් අහන්නයි හිටියේ.."
පුබුදු කියාගෙන යයි. එහෙත් මගේ අසරණ සිතට කිසිම අස්වැසිල්ලක් තිබුණේ නැත. බලාගෙන ගියාම දිනූකා මිස් මා සිතුවාටත් වඩා නපුරුය. ඇය හුගාක් හොද කෙනෙක් යැයි පුබුදු කීවේ ඊයේය. එද අදට වලංගු වන්නේ නැත. එසේම හෙටටද වලංගු වන්නේ නැත.
"මං උඹට කිව්ව හැමදෙයක් ගැනම උඹට දැන් කලින්ටත් වැඩිය තේරෙනවා ඇතිනේ පුබුදු.. මිස්ගෙ හිතේ මං ගැන තියෙන තරහ මොකක්ද කියලවත් මිස් මට කියනව නම්.. එතකොට මේවා දරාගන්න ඒතරම් අමාරු නෑ. මේක නිකං නොකරපු වැරැද්දටක, නිකරුණේ අහුවෙච්ච මිහිහෙක් වගේ.."
"උඹ කලබල නොවී ඉදපං.. අපි බලමු මේක කොහොමහරි විසදගන්න.. එච්චරනේ අපිට ඕන. හැබැයි පුතා දිනූකා මිස් මෙතන කියපු දේවල්වලින් මිස් ගැන මගේ හිතේ තිබ්බ පැහැදීමත් අඩුවෙලා ගියා. උඹ නිකං මහ විශාල වැරැද්දක් කලා වගේනේ මිස් කතා කලෙත්."
"මිස්ට මුකුත් කියන්නෙපා පුබුදු. මේක මගේ වෙලාව. මේතරම් හොද රස්සාවක් ලැබිලත්, ඒක හරියට කරගනෙ යන්න තරම් මට පිනක් නෑ.. හැමෝමත් එක්ක හොදට ඉන්න දිනූකා මිස් මගෙත් එක්කතරහා එකනේ පුදුමේ.."
පුබුදු කිසිවක් නොපවසා මදක් ඉදිරියට යන්නට ගියේය. විනාඩි පහ හයක් තුළදි සිදුවූ හැම දෙයක්ම සිත පත්ලේ සිරකොට තබා මමද පුබුදු එක්ක එක්වූයෙමි.
"පුලුවන් තරම් ඉක්මනට අපහු එන්න බලමු.. පූර්ණිමා බලාගෙනත් ඇතිනේ.."
ආපසු ආයතනයට පැමිණි, ගරාජයේ තිබූ වෑන් රථය ස්ටාර්ට් කරගන්නා ගමන් පුබුදු කීවේය. අනතුරකට ලක්වූයේ වෑන් රථය එලවාගෙන ගොස් තිබුණේ බන්දුලය. ඔහු අසරණ දරු පවුල් කාරයෙකි. අනතුර සිදුවූ බව දිනූකා මිස් කියද්දිම පුබුදු ඔහු ගැන ඇසුවේ ඒ නිසාය. මා ඒ වේලේ කතා කරා නම් අසන්නේද ඒ ප්රශ්නමය. කෙසේ වුවත් විනාඩි පනහකින් පමණ අපි පොලිස් ස්ථානයට ගියෙමු. අපව දුටු ගමන් බන්දුල අප කරා දුව ආවේය.
"පුබුදු මහත්තයල ආවෙ හොද වෙලාවට O.I.C මහත්තයා කියනවනේ වෑන් එක දෙන්න බෑ කියලා. මං නොනට කතා කෙරුවෙ ඒකයි. මැණික්දිවෙල මහත්තයත් නෑනේ අපි මොකද කරන්නේ..?"
බන්දුල ඉස්පාසුවක් නැතිව කියවයි. ඔහු හොදටම කලබල වී ඇත. සුදු පැහැති කමීසය දාඩියෙන්ම පෙගී ඇත. මුහුණෙහි තැනින් තැන වූ රැවුල් කොටත්, අවුල් වූ හිසකේත් නිසා බන්දුල වෙතින් පලවූයේ අන්තිම අසරණ පෙනුමකි.
"ඉස්සෙල්ලම මොකද වුණේ කියලා කියන්නකෝ.."
බන්දුලගේ අතින් අල්ලා ගන්නා ගමන් මම කීවෙමි. ඔහුත් මා වැනිම අසරණ මිහිහෙකි.
"මගේ වැරැද්දක් නෑ කාංචන මහත්තයෝ.. අර මූණ තැලිලා තියෙන රතුපාට ත්‍රීවීල් එක එකපාරටම කොහෙදෝ ඉදලා වෑන් එක ඉස්සරහට දැම්මනේ. මට හිතාගන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ. ත්‍රීවීල් එකට නම් හුගාක් ඩැමේජ්. වැන් එකට නම් ඒ තරම් නෑ.. සිග්නල් ලැයිට් සෙට් එකයි, හෙඩ් ලැයිට් එකයි තමයි කුඩුවෙලා තියෙන්නේ.."
"එහෙනම් ඉන්ක්වායරි එක ඉවරවෙනකන් වාහනේ ගන්න බැරිවේවි. අපි කෝකටත් O.I.C මහත්තයත් එක්ක කතා කරලා බලමු. ත්‍රීවීල් කාරයගෙ අවුලක් නැත්නම් අපි මේක සාමදාන කරගමු. කොහොමටත් වැරැද්ද ත්‍රීවීල් කාරයගෙනේ නේද..?"
පුබුදු අසද්දී, බන්දුල ඔලුව වැනුවේය. දැන් වේලාව පහමාරත් පසුවී ඇත. තවත් ටිකක් පරක්කු වුණොතින් නම් පූර්ණිමාගේ බර්ත්ඩේ පාටියට මට යන්නට බැරිවනු ඇත.
"හරි වැඩේ පුබුදු.. මෙහෙම ගියොත් නම් අපිට බර්ත්ඩේ පාටි එකට යන්න බැරිවෙනවා.."
කාලය කෙමෙන් ගෙවී යද්දි මම පුබුදුට කීවෙමි. නිල නිවාසයට ගිය O.I.C මහතා තාමත් පැමිණ නැත. හනික ගොස් කැදවාගෙන ඒමට තරම් මගේ හිත හදිසි වී තිබිණි.
"මොනවා කරන්නද කාංචන.. මේ වැඩෙත් කරන්න ඕනෙනේ.. අනිත්තෙක මමත් හොදින්ම දන්නවා, දිනූකා මිස් කිව්වා වගේම මේ බතික් තිර ටික හෙට වෙනකොට නුවරඑළියට යවන්න ඕන කියලා. පුංචිම සිද්ධීයකින් හරි බිස්නස් පාඩුවෙනවට එයාලා කැමති නෑ නේ. අපි එයාලගෙ සේවකයො හින්දා අපිට තියෙන්නෙ එයාලා කියන දේට අනුව වැඩ කරන්න.."
වෙනස්ම හඩකින් පුබුසු කියාගෙන යයි. මේ කෙහෙම්මල් අනතුර අදම සිද්ධ වූ හැටි. මේ බම්බුව වෙන දවසක සිද්ධවෙන්නට තිබුණේ නැතිද..? පෙරුම් පුරාගෙන යන්නට සිටි ගමනත් යන්නට වෙන්නේ නැති හැඩය. දිනූකා මිස් ළංවූවොත් මගේ ජීවිතයට ගෑවෙන්නේ වේදනාවක්මය. එය මොන ආකාරයකින් හෝ මගේ ජීවිතයට වද දෙයි. අඩුම තරමේ නිවාඩු දවසේවත් නිවි සැනසිල්ලේ ඉන්නට ඉඩක් මට නැත.
"මහත්තයල කොයිතරම් කිව්වත් මේක රිලීස් කරගන්න අමාරුයි.. මොකද ත්‍රීවිල් එක එළවං ආපු මනුස්සයගෙ අතකට ඩැජේ වෙලා. මිනිහගෙන් තාම හරියකට කට උත්තරයක් ගන්න බැරි වුණා.."
හවස හතට ඔව්ව මෙන්න තියා පැමිණි O.I.C මහතා කීවේය. මගේ සිතට කවදාවත් නොආ ආකාරයේ කේන්තියක් පැමිණ ඇත. මේ මිනිහට මේ ටික කියන්නට පැයකටත් වඩා ගතවූ හැටි. අපව හිර කූඩුවකට දමා දවසක් බඩගින්නේ තැබුවා නම් මීට වඩා හොද නැද්ද..?
"වැරැද්ද ත්‍රීවීල් එක එළවපු කෙනාගෙ නිසා අපි කට උත්තරයක් දුන්නොත් මදි වෙයිද මහත්තයෝ..? මොකද මේ වෑන් එක ඇතුලෙ තියෙන බතික් රෙදි ටික හෙට වෙනකොට නුවරඑළියට ගෙනියන්න ඕන.."
"මට ඔයාලගෙ ප්‍රශ්නෙ තේරෙනවා.. ඒත් මමත් කරන්නෙ රාජකාරියනේ.. මං පුලුවන්තරම් ඉක්මනට වාහනේ රිලීස් කරලා දෙන්නම්. එතකන් මට කරදර කරන්නැතුව ඉන්න."
අපගේ කන්කෙදරිය වැඩි වූ තැන අන්තිමේදි පොලිස් නිලධාරියා කීවේය. තවත් බලා සිටීමෙන් පලක් නොවන නිසා බන්දුලට කියා මමත්, පුබුදුත් පොලිස් ස්ථානයෙන් එළියට බැස්සෙමු. මුලු නගරයටම රාත්‍රිය උදාවී ඇත. තැනින් තැන විදුලි පහන් දැල්වී තිබේ. වෑන් රථය ස්ටර්ට් කරගත් පසු මම පුබුදු දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණ කල්පනාකාරී බවකින් පිරී ඇත.
"බන්දුල කොහොම ගෙදර යයිද දන්නෑ.."
මදක් රේස් කර වාහනය පොළිස් ස්ථානය ළගින් ඉදිරියට ගනිද්දී මම ඇසුවෙමි.
"මිනිහගෙ ගෙවල් මේ ළගමනේ තියෙන්නෙ කාංචන.. තව ටිකකින් මිනිහා ගෙදර යයි. ඒක නෙමෙයි මම මේ කල්පනා කරේ වෙන දෙයක්.."
"මොකක්ද..?"
"අපි මේ වාහනේම පූර්ණීමාලගෙ ගෙදර ගිහින් එමුද..? නැත්තං පව් කෙල්ල.. ඇස් රිදෙනකං බලන් ඉදියි.."
මට සිතෙන්නේද එයමය. පියාඹා ගොසින් හෝ පූර්ණීමාගේ බර්ත්ඩේ පාටියට සහභාගී වන්නට ඇත්නම් හොදය. සිතේ මේ තරම් කනස්සලු බවක් පිරී ඇත්තේද පෙරුම් පුරා ලක ලැහැස්ති වූ ගමන යාමට බැරි වූ නිසාය.
"ඒක තමයි.. ඒත් වෑන් එක අරන් යන්න නම් මගේ හිතට මහ මොකක්දෝ වගෙයි.. දිනූකා මිස්ට ආරංචි වුණෝතින් මාව කෙලින්ම රස්සාවෙන් දොට්ට දාවි. පුබුදු හොදටම දන්නවනේ පුංචි දේටත් මට හොදටම කෑගහන හැටි. මිස් බලන් ඉන්නෙම මගෙත් එක්ක පැටලෙන්න නේ.."
"එහෙනම් ඉතිං කරන්න දෙයක් නෑ.. වෑන් එක ඔෆිස් එකට ගිහින් දාලා, ආයෙත් බස් එකක නැගල පූර්ණිමාලහ යන්න වෙලාවක් නෑ. වෙච්ච දේ හෙට උදේම කෙල්ලට කියලා අපි විෂ් කරමු.. කාංචන ගත්තු ප්‍රසන්ට් එකත් හෙටම දෙමු.. කෙල්ල අපිව තේරුම් ගනීවිනේ.."
පුබුදු කියන්නාක් මෙන් කරන්නට ඇත්තේද එපමණකි. වෙන කරන්නට කිසි දෙයක් නොමැත.
"මගේ හිතට පුදුම විදියට අප්සට් පුබුදු..."
නැවත කාමරයට පැමිණි පසු මම කීවෙමි. මා බොරු කාරයෙකු යැයිද, ඇයව ගණන් ගත්තේ නැතැයිද කියා පූර්ණිමාට සිතෙන්නට පුලුවන. එසේ වුවහොත් හෙට උදේ සිටම ඇය මා සමග කතා නොකරනු ඇත.
"මට තේරෙනවා කාංචන.. පූර්ණිමා ගැන උඹේ හිතේ නෑ කියලා කිව්වට, උඹේ හිතෙත් තියෙනවා. අනික මේ ගමන යන්න උඹේ හිත හුගක් හෝප්ස් තියාගෙන හිටිය විත්තියත් මං දන්නවා. දැන් ඒ හැමදෙයක්ම නැතිවෙලා ගියාට පස්සෙ හිතට දුක එකතු වෙන එක පුදුමයක් නෙමෙයි.."
"මට පූර්ණිමා ගැන දුකය පුබුදු.. එයා මට එන්නම කියලා කීප සැරයක්ම කිව්වා. එයා හිතයි මං හිතලම මිස් කලා කියලා.."
"පූර්ණි ඒ වගේ කෙල්ලෙක් නෙමෙයි.. වෙච්ච ඒ අපි එයාට තේරුම් කරලා දෙමු.."
කාමරය තුල වූ පුංචි දුරකථනය කෑගසන්නට පටන් ගත්තේ පුබුදුගේ කතාවට බාධා කරමින්ය. මේ රෑ අපට කතා කරන්නේ කවුද..? සමහරවිට අපි නොආ නිසා පූර්ණිමා කතා කරනවා විය හැකිය. මම හනික ගොස් රිදිවරය උස්සා කනට ළං කර ගත්තෙමි.
"හෙලෝ..."
"වෑන් එක රිලීස් කරගත්තද..?"
එහා කෙළවරෙහි හිටියේ පූර්ණිමා නොවේය. දිනූකා මිස්ගේ කටහඩ අදුනාගත් පළමු තත්පරයේදීම මගේ හදෙහි ගැස්ම ඉබේම වැඩිවන්නට විය.
"න්.. නෑ මිස්.. O.I.C මහත්තයා වෑන් එක දුන්නෙ නෑ.. අපි හුග වෙලාවක් කතා.."
"මොනව කතා කරන්නද..? ඉදල ඉදලා දීපු වැඩේවත් කරගන්න බැරිකොට. කොහෙද ඉතිං වැඩේට ගියෙත් බෑ බෑ කිය කියනේ.."
පපුවේ තුන් හතර පොළක් අවුලවගෙන යද්දී දිනූකා මිස්ගේ අකාරුණික කටහඩ මගේ සිත පතුලේ නතරවිණි. දෙවියනේ... දිනූකා මිස් මේ තරම් නපුරු වී ඇත්තේ ඇයි..? මා ඇයට මොන වරදක් කළාටද..?
"ඉස්සෙල්ලාම කියනවා, පුබුදුත් එක්ක පොලීසියට ගියාද නැද්ද කියලා..? මට ඒකත් ෂුවර් නෑ.. ඇයි ඉතිං වෙන කොහේදනේ යන්න ලෑස්ති වෙලා හිටියේ.."
මේ අවනඩු නම් අසන්නට ඕනෑ දෙවියන්මය. ඇය කියනා දේවල් හිතක් පපුවක් ඇති මිනිසෙකුට නම් අසා සිටින්නට බැරිය. කතා කරගන්නට වචන සොයමින් මම පුබුදු දෙස බැලුවෙමි. කතා කරන්නෙ කවුදැයි ඔහු දැනටම දැනගෙන ඇත. ඔහුගේ මුහුණින් මට එය ඉදුරාම කිව හැකිය.
"අඩුගානෙ දෙයක් කිව්වහම, හැම වැඩක්ම පැත්තකින් තියල ඒක කරන්නවත් ඉගෙන ගන්නවා.. තමන් වැඩ කරන තැන උසස් නිලධාරියෙකුට ගරු කරන්න ඕන කියන එකවත් අම්මා තාත්තා කියලා දීලා නැද්ද..? කොහෙද යන මැට්ටෙක්.."
දිනූකා මිස් ඇට්ටි හැලෙන්නට, පලු පැලෙන්නට මට බැණ වදියි. පපුවේ තුන් හතර පොලක්ම පහුරුගාගෙන වේදනා විදිද්දී මම ඒ හැමදෙයක්ම ඔහේ අසා සිටියෙමි.
"ම... මට ඔහොම කතා කරන්න එපා මිස්.. ඔ.. ඔය මිස් කිව්ව තාලෙ එක වැරැද්දක්වත් ම කරලා නෑ.. මං.. මං.. අහිංසකයෙක් මිස්.."
ඒ ටික කියාගෙන යදිදී මගේ ඇස්වලට කදුළු උනාගෙන ආවේය. තව තත්පරයකින් හෝ දෙකකින් උණු කදුලු කැටි බිමට කඩා වැටෙනු ඇත. ඇය මේ තරම් මා රිදවන්නේ ඇයි..? මා ඇය ගැන අබමල් රේණුවක තරම්වත් අහිතකින් සිතා නැත..
"මිනිහෙක්ගෙ අහිංසක කම මොකක්ද කියලා මං දන්නවා.. ඒක මට උගන්වන්න එන්නෙපා. මම අහිංසකයි කියලා තමන්ම කියාගෙන වැඩක් නෑ.. ඒක අනිත් අයයි කියන්න ඕන.. තේරුණාද..? මං කරන්න කිව්ව වැඩේ නොකර මෙතන බොරු සෝබන පාට් දාන්නෙපා.. අපේ තාත්තා ඕවට අහුවුණාට මං ඕවට අහුවෙන්නෑ.."
පපුවේ තවත් පෑරෙන්නට තුවාලයක් නැත. දිනූකා මිස් මගේ මුලු හිතම පහුරු ගා, හැම සංවේදී හැගීමක්ම එළියට ඇද දමා තිබිණි.
"මායි, පුබුදුයි පොලීසියට ගියා මිස්. මිස් කිව්ව දේවල් එකක්වත් මං නොකර හිටියෙ නෑ.. O.I.C මහත්තයා වාහනේ දෙන්න බෑ කිව්වා. අපි පොලීසියෙන් ආවෙත් හතාමාර පහුවෙලා.. ම.. මට ඔහොම කතා කරන්න එපා මිස්.."
මහා ඉකියක් හිත පතුලෙන්ම විත් උගුරේ හිර වෙද්දී මං රිසිවරය බිමින් තැබුවෙමි. තවත් නම් කතා කරන්නට දෙයක් නැත. සිටි තැනම බිම හිදගෙන දෙදණ අස්සේ මුහුණ තබාගෙන මම අඩා වැළපුණෙමි. සිතේ ඇති පීඩාව, දුක, කළකිරීම හැමදෙයක්ම කදුළින් සේදි යනතුරු මම කදුලු සැලුවෙමි. මෙසේ සිත රිදවන රැකියාවක් කිරීමේ කිසිදු ඵල ප්‍රයෝජනයක් නැත. අඩුම තරමේ සිතට මානසික තෘප්තියක්වත් ඕනෑය. එහෙත් දිනූකා මිස් සිටිනාතුරු මට සැනසීමෙන් හිදින්නට නොදෙන වග මට විශ්වාසය.
"ඔහොම ගෑණු ළමයෙක් වගේ අඩලා වැලපිලා ප්‍රශ්න විසදගන්න බෑ කාංචන. අපි මේ ප්‍රශ්නෙට කෙලින් මූණ දෙන්න බලමු. මට තේරුණ හැටියට දිනූකා මිස් ඔයාට හොදටම බැන්නා, එහෙම නේද..?"
මම කිසියක් කියන්නට නොගියෙමි. කෙනෙකු තවත් කෙනෙකුට බැණ වැදීමේදි යම්කිසි පිළිගත් ක්‍රමයක් ඇත. එසේ තිබේ යැයි මම සිතමි. එහෙත් දිනූකා මිස් ඒ හැම ක්‍රමයකටම වඩා පහත් ආකාරයෙන් ක්‍රියා කර තිබේ.
"බැ.. බැන්නා නම් කමක් නෑ පුබුදු. අපි එයාට බොරු කරලු. අපි පොලීසියට ගියේ නෑලු. වැඩේ කියපු වෙලාවේ ඉදල මං පස්ස ගැහුවලු. මගේ කිසිම උනන්දුවක් නැතිලු. ඔය වගේ නානාප්‍රකාර දේවල් කියෙව්වා. බැරිම තැන තමයි මං ෆෝන් එක අයින් කලේ.."
"දිනූකා මිස් වෙලාවකට වැඩ කරන්නෙ පොඩි එකෙක් වගේ. ඒත් ඉතිං මට තේරෙන්නෙ නැත්තේ, ඇයි කාංචන පස්සෙන් මෙතරම් එලවන්නෙ කියලා. හරියට තරහාකාරයෙක්ගෙ පස්සෙන් එළවනව වගේ වැඩක්නේ මේක.."
එකේ කියනා ගමන් පුබුදු රිසිවරය, දුරකථනය උඩින් තබන්නට හැදුවේය. මම හනික එය වැළැක්වූයෙමි..
"ඔය නම් කරන්නෙපා පුබුදු. ඕක ඔහොම්ම අයින් කරලා තියන්න. නැත්නම් මට තවත් බැනුම් අහන්න වෙනවා.. ඇත්තමයි. මගේ වෙලාව නම් හොදම නෑ.."
මෙතෙක් වේලා පුබුදුගේ මුහුණේ රැදී තිබූ බරපතල පෙනුම පහව ගොස් මද සිනා රැල්ලක් හීන් සීරුවේ ඔප නැංගී තිබිණි. පුබුදු මේ සිනාසෙන්නේ මටද..? එසේත් නැත්නම් මට සිදුවන කරදර වලටද..?
"කාංචනගෙ වෙලාව හොද නැත්තෙ නෑ.. හුගක් හොදයි.. දිනූකා මිස් වගේ ලස්සන ස්වාමි දුවකගෙන් බැනුම් අහන්නත් ලැබීමක් තියෙන්න ඕන.."
"නිකං බනිනවා නම් ඉවසගෙන ඉන්න පුළුවන්. ඒත් මිස් මට කුණු වෙන්න බනිනවනේ.. අඩුගානෙ අහන් ඉන්න පුලුවන් විදියට බනිනවා නම්.."
"වැඩේ මේකනේ කාංචන.. අපි ඩිංගක් මෙහෙම හිතමු. අපි වුණත් ඔය හුගක් පුස්පාට් දාන්නේ, බනින්නේ, වැඩ පෙන්වන්න හදන්නේ අපිට පල්ලෙහා ඉන්න අයට, අපිට ඇටෑක් එකක් එන්නැති අයට. මොකද, මොන තරම් අපි ෂෝ පෙන්නුවත් එයාලා කරබාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. අපි බනින්නේ, හිත රිද්දන්නේ හුගාක්ම අපේ හිත්වලට ලංවෙච්ච අයට. අපේ හිතත් එක්ක ලොකු බැදීමක් තියෙන හිතකට ඔය වගේ බැනල ඉවරවෙලා ඒකෙ ඵල විපාක එනකන් අපි ඩිංගක් හරි මානසික සහනයක් බලාපොරොත්තු වෙනවා. මං දකින විදියට දිනූකා මිස් ඉන්නෙත් ඔය අන්ත දෙකෙන් එකක."
හුගාක් වෙලා හිතා බලා පුබුදු කියූ කතාවේ තිබුණේ මහා බරපතල තේරුමකි. ඇත්තටම එහි ඇතුළත දවස් ගානක් යනතරු සිතන්නට තරම් දේවල් ඇති බැව් සිතට දැනෙද්දි මගේ සිත පිරුණේ දැඩි නොසන්සුන් කමකිනි.
"කාංචන මොකද ඒ ගැන හිතන්නේ..?"
පුබුදුගේ ඇස්වල අමුතු දීප්තියක් ඇත. හදවත උඩට කුලුගෙඩියකින් පහර දෙන්නා සේ, ඔහු මට මේ අගවන්නට හදන්නේ කුමක්ද..? දිනූකා මිස් මා කෙරෙහි යම්කිසි බැදීමක් ඇති බවද..? නැත.. කිසිසේත්ම නැත.. එවැන්නක් මේ සම්මකපේ සිදුවිය නොහැක. එය පට්ට දවල් දකින සොදුරු හීනයකි.
"මට හිතන්න දෙයක් නෑ. මට හැමදෙයක්ම එපාවෙලයි තියෙන්නෙ.. මෙහෙම බැනුම් අහ අහ රස්සාවල් කරනවට වැඩිය හොදයි ගෙදර යන එක."
සිතේ ඇතුල් පැත්තේම වූ අදහසකින් සිත පීඩාවට පත් කරද්දී මං කීවෙමි. මොන තරම් හොදින් වැඩ කළත්, මෙවැනි කෙනහිලිකම් ඉදිරියේ ජීවත්වීම පවා එපා කරයි.
"මොඩ තීරණ ගන්නෙපා කාංචන.. අපි තව ටිකක් ඉවසමු.."
"මං මේ ඉන්නෙ පුළුවන් තරම් ඉවසගෙන තමයි පුබුදු. ඔයා දන්නෑ, මිස් මට දවසට හින්ට් කීයක් ගහනවද කියලා. අඩුගානේ චූ බර වෙලා බාත්රූම් එකට යන්න ගියත් මට හොදටම බනිනවා."
"ඔය කියන විදියට මෙතන හුගාක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියල මට හොදටම තේරෙනවා. ඒත් මට තේරෙන්නෙ නැත්තේ ඒ ප්‍රශ්නෙ තියෙන්නෙ කොහේද කියලයි. මොකද ඔයා වගේ අහිංසකයෙක් එක්ක රංඩු වෙන්න තරම් දිනූකා මිස්ට තියෙන උවමනාව මොකක්ද..?"
පුබුදු ඇසූ දෙයට දෙන්නට තරම් හොද උත්තරයක් මා ළග තිබුණේ නැත. මා අහිසංකයකු බව සියලු දෙනාම කියද්දී දිනූකා මිස්ට පමණක් එසේ නොපෙනුණේ මන්දැයි මට සිතාගන්නට පුලුවන් වූයේ නැත. ඇය මා දැක ඇත්තේ තනිකරම සොබනකාරයකු ලෙසය. දැනට විනාඩි දහයකට, පහළොවකට කලින් ඇය එසේ කීවාය. ඇත්තටම මගේ අහිංසකකම ගැන දන්නේ මමය. අඩුම තරමේ මම කුරාකුහුඹුවෙකුටවත් වරදක් කළ අයෙක් නොවෙමි.
එදින මුලු රෑ පුරාම මට හරිහැටි නින්දක් ලැබුණේ නැත. දිනූකා මිස්ගේ සදක් වැනි සුරූපී මුහුණ හැම පැත්තකින්ම එබෙමින් මගේ සිතට දහසකුත් එකක් කරදර ඇති කළේය.
"ඊයේ වෙච්ච දේවල් අමතක කරලා දාන්න කාංචන.. අද අලුත් දවසක් නේ.. ඩිංගක් හිනාවෙලා ඔෆිස් එකට යමු.."
වැඩට යන්නට ලෑස්ති වූ පසු පුබුදු මගේ පිටට හෙමින් සීරුවේ ගසමින් කීවේය. දිනූකා මිස් හොදටම පාරවා ඇති මේ සිත සමග, මා කට පුරා සිනාසෙන්නේ කෙසේද..? ආයතනයට ඇතුල් වූ පසු මුණගැහෙන පළමු කොරිඩොවේදීම පුබුදු මවෙතින් ඈත්විය. බතික් තිර රෙදි වල ගිණුම් වාර්ථා රැසක් යලි මුල සිටම පරික්ෂා කිරීමට සිදුවී ඇති බවක් ඔහු කීවේ ඊයේ සවස සිටමය. එසේ නම් ඔහුට අද දවස පුරාම වැඩ තිබෙනු ඇත. පූර්ණිමාව හමුවන්නට දිවා විවේකයේදී හෝ පුංචි ඉඩක් ලැබේවායි සිතමින් මම කාර්යාලීය කාමරය තුළට ඇතුලු වුණෙමි.
සමහ විට දිනූකා මිස් මේ වනවිට පැමිණ තිබෙන්නට පුලුවන. හෙමින් සීරුවේ තල්ලු කර දොරෙහි ඇතිවූ හිඩසින් මම එක්වරම දිනූකා මිස් හිදිනා තැන දෙස බැලුවෙමි. සුදු පැහැති යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසී ඇය මොකක්දෝ පොතක් කියවමින් සිටියාය. මගේ පපුවේ ගැස්ම මටත් හොරාටම වැඩිවන්නට විය. ඇය මේතරම් උදයෙන් කුමකට පැමිණ සිටිනවාදැයි මට සිතාගන්නට බැරිය. සද්දයක් නොනැගෙන පරිද්දෙන් අඩිය තබමින් මම මගේ පුටුව වෙතට ගියෙමි. ගුඩ් මෝනිං කියන්නට ගොස් ඉල්ලා කන්නට බැරිය. මෙයට කලින් දවස් කිහිපයේදීම දිනූකා මිස්ට ගුඩ් මෝනිං කියා වින්ද කරදර හොදටම ඇතිය. ඇය මට ගුඩ් තියා නිකං මෝනිං එකක්වත් දුන්නේ නැත.
"විනාඩි හතක් පරක්කුයි. හරි නම් රතු ඉර ගහන්නයි වටින්නේ.."
මම උඩ විසිවී ගොස් බිම වැටුණෙමි. මෙය නම් ජාති ජාතිත් පතාගෙන එන මොකක් හෝ පවක කොටසක් විය යුතුය. නැතිනම් මෙසේ පසුපස පන්නාගෙන එන්නේ නැත.
"සොරි මිස්.."
අවංක හඩකින් මම කීවෙමි.
"ඒක හොද සොරිය. ඔෆිස් එක ඉස්සරහ කාමරෙයි ඉන්නේ. මේ හැතැම්ම තිහ හතළිහ ඈත ඉදලත් මිනිස්සු මේකෙ වැඩට වෙලාවට එනවා. මොකද කියන්නේ.. දවස් බාගෙක පඩි කපන්නද...?"
කියා ගැනීමට අවැසි වූ කිසිවක් සතට නොආයෙන් මම අත්න අසරණව දිනූකා මිස් දිහා ලැබුවෙමි. ඉතා ක්රමාණුකූලව මසා තිබූ යූරෝපීය ඇදුම් කට්ටලයෙහි සුදු පැහැයටත් වඩා දිනූකා මිස්ගේ මුහුණෙහි පැහැය කැපී පෙනිණි. ඇත්තටම ඇය රාජ කුමාරිකාවන්ටත් වඩා අභිමානයෙන් යුතුව මා දෙස බලා සිටියාය. ඇගේ ඉතා තියුණු නෙත් පහරින් ගැලවී ගත නොහැකිව මම හනික බිම බලාගත්තෙමි. ඇය මේතරම් ඕනෑකමකින් මගේ දෙස බලන්නේ ඇයි..?
"එ.. එහෙම ක... කරන්න එපා මිස්.. මම ආයෙ පරක්කු නොවී වැඩට එන්නම්.."
හිස උස්සා හෙමින් සීරුවේ දිනූකා මිස් දෙස බලනා ගමන් මම කීවෙමි. ඒ වන විටද ඇයගේ දෙනෙත් ඇලවී තිබුණේ මගේ මුහුණේමය. මේ අසරණ කාංචනගේ මුහුණත් සමග ඇයට ඇති ගණුදෙනුව කුමක්දැයි මට සිතාගන්නටවත් බැරිය. ඇය මා ගිල දමන්නට මෙන් මෙලෙස බලා සිටින්නේ ඇයි...?
"හ්ම්.. ඒක පැත්තකින් තියනවා.. මීට පස්සෙ උදේට මනුස්සයෙක් දැක්කාම මෝනිං කියන්න පුරුදු වෙනවා.."
මේ අවනඩු නම් කියන්න ඕනෑ දෙවියන්ටමය. එක්කෝ කතරගම දේවාලෙට ගොස් කතරගම දෙවියන් ඉදිරියේ බාරයක් විය යුතුය. එසේත් නැත්නම් කොටබෝවේ කතරගම කුඩා දේවාලයට ගොස් පොල්ගෙඩියක් බිම දමා පලි ගැසිය යුතුය. නැත්නම් මේ දුප්පත් කාංචනගේ සිතට නිවනක් ලැබෙන්නේ නැත. කියන්නට පුරුදු කරනවාට වඩා ඇය මෝනිං කියන්නට පුරුදු වෙනවා නම් මේ හැමදේටම වැඩියෙන් හොදය.
"මොකක්ද ඔය පාර්සලය..?"
පැයක පමණ නිහැඩියාවකින් පසුව දිනූකා මිස් වෙනස්ම වූ හඩකින් ඇසුවාය. ඇය ගෙන් බැනුම් අසන්නේ නැතිව පැයක් ඉන්නවා කියන්නේත් එක්තරා විදියක ජයග්‍රහණයකි.
"මගේ පොඩි බඩු වගයක් මිස්.."
පූර්ණිමාට ගත් උපන්දින තෑග්ග මමත් හරකා සේ මේසය උඩින් තැබුවෙමි. දිනූකා මිස්ටද ඕන්නැති දෙයක් නැත. ඇය තාමත් එබීගෙන සිටින්නේ ඒ පාර්සලය දෙසටය. ඇත්තම කාරණය කිව්වෝතින් ඇය මෙතන යකා නටන්නටද බැරි නැත. ඒ නිසා මුසාවාදයක් කියා ඇග බේරාගැනීම හැම අතින්ම ගුණදායකය. ඇය තවත් මොනවා හෝ ආසාවි යැයි මා බලා සිටියද, කාමරය තුළ කිසිවෙකුත් නැති ගානට දිනූකා මිස් පොතට මුහුණ ඔබාගෙන සිටියි. ඒ සුරූපී මුහුණේ ඇති දහසකුත් එකක් හැඩතල වරින් වර වෙනස් වන ආකාරය මම හොරැහින් බලා සිටියෙමි. සුදු දිගටි මුහුණේ එකදු කැලැලක්වත් නැගි ගානය. දිගට වැවී ඇත ඝන ඇහි බැම නිසා දෙඇසේ ඇත්තේ හිත වසග කරගන්නා තරම් සොදුරු කාන්තියකි. සිහින් ඉරක් මෙන් සෘජුව පිහිටා ඇති නාසයද, තද රතු පැහැති දෙතොලද ඇගේ මුහුණට එක්කර ඇත්තේ අමුතුම හැඩකාර බවකි. ඇයගේ හදවතත්, ඔය සොදුරු මුහුණ තරම් ලස්සනට තිබුණා නම් මට මෙතන කොතරම් නිදහසේ සේවය කරන්නට තිබුණාදැයි මම කල්පනා කළෙමි.
"මොකද කන්න වගේ බලාගෙන ඉන්නේ..? උදේට තාම කෑවෙ නැද්ද..?"
ඒ වචන මෝටාර් වෙඩිල්ලක් මෙනි. මට දැනුණේ පොළවට පලාගෙ යන තරමේ මහ විශාල ලැජ්ජාවකි. මම හනි හනිකට බිම බලාගත්තෙමි. වැඩේ කියන්නේ ඇයට මගේ දිහා බලා සිටින්නට පුලුවන. ඒ දිග ඇස්වලින් මගේ අසරණ ආත්මයටම එබී බලන්නට ඇයට පුලුවන. වැරදීමකින් හෝ මට ඇය දිහා බලන්නට බැරිය. මෙය නම් පුදුම අසාධාරණයකි. එතැනින් එහාට දිවා ආහාර විවේකය ලංවෙන තෙක්ම ඔලුවවත් නොඋස්සා මම වැඩෙහි යෙදුනෙමි.
මා ඔලුව උස්සා බැලුවේ දුරකථනය විනාඩියක්, දෙකක් පමණ එක දිගට වදින්න ගත් නිසාය. මගේ ඉමහත් පුදුමයට මෙන් දිනූකා මිස් කාමරය තුළ නොසිටියාය. මට නොපෙනී ඇයට කාමරයේ දොරින් පිටවීමට නොහැකි බව මම හොදින් දැන සිටියෙමි මන්ද යත් ඇය යනවා නම් යා යුත්තේ මගේ මේසය ඉදිරියෙන් පමණකි. වෙනත් පාරක් ද නැත. එසේ වෙද්දී ඇය මගේ ඇස් වසා මොන දීපංකරයක අතුරුදන් වුණාදැයි සිතාගන්නට බැරිම මම තක්කු මුක්කු වී ගියෙමි. ඒ අවුල් ගතියෙන්ම දිනූකා මිස්ගේ මේසය ළගට ගොස් රිදිවරය දකුණු අතට ගත්තෙමි.
"හෙලෝ..."
"කාංචන, උඹ ලන්ච් එකට එන්නැද්ද..? ෆෝන් එක උඹ ගත්තේ.. ඔතන දිනූකා මිස් නැති නිසාද..?"
එහා කොනින් ඇසුණේ පුබුදුගේ කටහඩයි. හිටපු ගමන් අතුරුදන් වීමට මොකක්දෝ බලයක් වැනි දෙයක් ඇති දිනූකා මිස් ගැන පුබුදුට කීවොත් ඔහු සිනාසෙනු ඇත. සමහරවිට දිනූකා මිස් මේ කාමරයේම කොහේ හෝ සිටිනු ඇත. ඒ නිසා කතා කරද්දී වචන තෝරා බේරා කතා කරන්නට මම උත්සාහ ගත්තෙමි.
"මේ දැන් හිටියා.. කොහේට ගිහින්ද දන්නෑ.."
"එහෙනම් උඹට ඩිංගක් එළියට එන්න බැරිද..? පුංචි කේස් එකක් තියෙනවා කියන්න.."
පුබුදුට හා කියා මම රිසිවරය තැබුවෙමි. ඔහු කියනා පුංචි කේස් එක කුමක්දැයි කියා කල්පනා කරමින් මම වටපිට බැලුවෙමි. ඉවෙන් වගේ සිතට දැනෙන්නේ දිනූකා මිස් මේ අසලකම ඇති බවය. එහෙත් ඇය පෙනෙන්නට නැත. මේ කාමරයේම කොහේ හෝ තැනක හිද ඇය මගේ දෙස බලා හිදින බව දිව්රා කියන්නට මට පුළුවන. එහෙත් මා එසේ කියන්නේ කාටද..? පුබුදු උනත් මගේ මනස්ගාත කියා සිනාසෙනු ඇත.
"හරි වැඩේනේ කාංචන.. පූර්ණිමා අද ඇවිත් නෑනේ.."
කාමරයෙන් එළියට පැමිණි පළමු තත්පරයේදීම මවෙතට ආ පුබුදු කීවේය. මගේ පපුව හෝස් ගා පත්තූ විණි. උපන්දින තෑග්ග පූර්ණිමාට දී ඇයට අදවත් සුභ පතන්නට මා සිටියේ දැඩි නොඉවසිල්ලකිනි. ඒත් ඒ හැම දෙයක්ම දැන් සෝදා පාලුවී ගොස් ඇත.
"කෙල්ල ෂුවර් එකට අප්සට් ගහලා ඇති..."
"මේ ගමන්ම ලන්ච් එක ගනිමුද..? කන ගමන් අපිට කතා කරන්න පුළුවන් නේ.."
පුබුදුගේ අදහස වඩාත් හොදය. කාමරයෙන් එළියට යනවා කියා කියන්නට දිනූකා මිස් ළග පාතක නැත. ඒ හින්දා ඇය නොකියා ගියා කියා මගේ ඇගට කඩා පැන්නොත් කියන්නට කාරණා කිහිපයක් තිබෙන නිසා මගේ සිතට දැනුණේ ලොකු සැනසීමකි. කොරිඩෝවේ මද දුරක් ගොස් නැවතී පුබුදු මදෙස බලා හිදී. එහෙත් සිතට හදිසියේම දැනුණු කුහුලක් නිසා මම නැවත කාමරයේ දොර හැර කාමරයට ඇතුලුවිමි. දිනූකා මිස් ළගින් නිතර හමා එන පර්ෆියුම් සුවද දැඩිව මා හට දැනුණේද ඇයගේ ඡායාවක්වත් කාමරය තුළ තිබුණේ නැත. පර්ෆියුම් සුවද මගේ සිතට කීවේ මීට තත්පරයකට දෙකකට කලින් ඇය කාමරයේ සිටි බවය. මෙය නම් සිතාගන්නට බැරි පුදුමාකාර දෙයකි. මම කාමරයේ හැම අස්සක් මුල්ලක් නෑරම හොදින් පරික්ෂා කළෙමි. එහෙත් මගේ සිතට සැක කරන්නට පුලුවන් තරමේ කිසිදු දෙයක් හමුවුණේ නැත. අඩුමගණනේ මා කාමරයෙන් පිටවූ පසු දිනූකාමිස් එකවරක් හෝ කාමරය තුළට ඇවිත් ඇති බව මගේ සිත හඩ නගා කියයි. එහෙත් කාමරයේ දොර ඉදිරියේ මා පුබුදුත් සමග කතාබහ කරමින් හිදිනාවිට අපිට නොපෙනී දිනූකා මිස්ට මොන ආකාරයකින් හෝ කාමරය තුළට යන්නට බැරිය. ඒත් සිදුවෙන්නට බැරි දේ දැන් දැන් සිදුවී තිබේ. මේ දැඩිව දැනෙන පර්ෆියුම් සුවද නොකියා කියන්නේ එයය.
"කාංචන මොකද කරන්නේ..?"
කාමරයෙන් එළියට ඇහුණු පුබුදුගේ කටහඩට මම තිගැස්සී ගියෙමි. මෙය නම් ඔලුව විකාර කරවන තරමේ මහා පටලැවිල්ලකි. දිනූකා මිස් හදන්නේ මා පිස්සෙකු කරන්නට යැයි දැන්ම කියන්නට කල් වැඩිය. එහෙත් මෙවැනි දෑ දිගින් දිගටම වීමෙන් වන්නේ මා පිස්සකු වන එකය. අවුල් වූ ඔලුවත් සමග මම හනික කාමරයෙන් එලියට ආවෙමි. පුබුදුගේ මුහුණේ රැදී තිබුණේ ප්‍රශ්නාර්ථයක් වුවත් මම ඒ ගැන වැඩිය සිතන්නට නොගියෙමි. දැන් කතා කරන්නට ඕනෑ පූර්ණිමා ගැනය. ඒ අහිංසක කෙල්ල සිටිනවා ඇත්තේ හොදටම සිත රිදී විය හැකිය.
"හවස ඕෆ් වෙලා පූර්ණිමා බලලා එමුද..?"
වට්බටු වෑංජනයේ තිබූ කරවල කෑල්ලක් බතුත් සමග අනාගන්නා ගමන් මම ඇසුවෙමි. පුබුදු කලේ මෙතුවක් වේලා නිශ්ශබ්දව කෑම කෑ එකය. ඒ අතින් බලන කල පුබුදු ළග ඇත්තේ ඉතා ඉහල මහත්මා ගතිගුණය. අනවශ්‍ය වේලාවට ඔහු කිසිම දෙයක් අසන්නේවත්, කතා කරන්නේවත් නැත. නියම වේලාව එනතුරු ඔහු ඉවසා සිටියි.
"අද නම් හොදයි කාංචන.. ඒත් මට හවස කරන්නම ඕන වැඩ ටිකක් තියෙනවා. මැණික්දිවෙල සර් අද උදේම මට බාරදුන්නා බතික් ඕඩරයක් කොහොමහරි ෆිනිෂ් කරලා දෙන්න කියලා. පුලුවන්කමක් තිබ්බොත් මං අනිවා එන්නම්.."
සිතට සැනසීමක් නැතිවෙනකොට කරදර එන්නේ එකපිට එකමය. පුබුදු නැතිව පූර්ණිමාගේ ගෙදර යන එකද සිතට මහ මොකක්දෝ වගේය.
"ටිකක් රෑ වුණාට කමක් නෑ පුබුදු. රෑවෙලා හරි අපි ගිහින් එමු. බර්ත්ඩේ එකට විෂ් කරන්න බැරිවුණ එකටයි, ගත්තු ප්‍රසන්ට් එක දීගන්න බැරිවුණ හන්දයි මගේ ඔලුවත්තෙක්ක අවුල් වෙලයි තියෙන්නේ.."
"ඇයි පූර්ණිමාව දකින්න නැති හන්දා හිතට දුකක් නැද්ද..?"
පුබුදු සිනාසෙමින් අසද්දී මටද සිනා නැගුණි. පූර්ණිමාව දකින්නට මගේ යටි සිතේද මොකක්දෝ ඇසාවක් ඇත. ඇය අද කාර්යාලයට පැමිණ නැති නිසා සිතේ අමුතුම පාළුවක් ඉදිවී ඇත. වෙනදාට නම් දිවා ආහාර විවේකයේදී ඇය මගේ ළගට පැමිණ වචනයක් දෙකක් හෝ කතා කර යයි. අපට කෙනෙකුගේ අගය දැනෙන්නේ, ඒ පුද්ගලයා අප ළග නැති විටදී බැව් මට දැන් හොදටම විශ්වාසය. හිස පසෙකට ඇල කරමින් ඇය හෙලනා ආදරණිය බැල්ම ඕනෑම දරුණු සිතකට වුවත් කිසියම් හැගීමක් ඇතිකරන බැව් මට දිව්රා කිව හැකිය.
"හවස ඕෆ් වෙලා කාංචන රූම් එකට යන්න.. මම පුලුවන් තරම් ඉක්මනට එන්නම්.."
කෑම කා ඉවර වූ පසු පුබුදු කීවේය. අද රෑ දොළහට හෝ ගොසින් පූර්ණිමා බැලිය යුතුය. ඇයගේ තෑග්ග දිය යුතුය. හිතට යම්කිසි සහනයක් හෝ දැනෙන්නේ එවිටය. සමහරවිට ඇය මා ගැන වැරදියට සිතාගෙන ඉන්නවා විය හැක. මගේ ආඩම්බරකම නිසා මා ඇයගේ ආරාධනාව පිළි නොගෙන ඉන්නට ඇතැයි ඇය සිතන්නට බැරි නැත. කළ යුතු හොදම දෙය වන්නේ පුලුවන් තරම් ඉක්මණින් ගොස් පූර්ණිමාව මුණගැසීමය.
දහසකුත් එකක් කල්පනාවන් හිත පුරවාගෙන මම කාර්යාලීය කාමරය තුලට ආවෙමි. මගේ දෑස කෙලින්ම දිව ගියේ විශාල මේසයේ දාරයට හේත්තුවී දිගහරින ලද විශාල බතික් තිර රෙද්දක හැඩ බලන දිනූකා මිස්වය. ඇය සිටියේ මා හට පිටුපස හරවාගෙනය. කෑම කන්නට ගිය බැව් ඇයට කියන්නට ඕනෑය, නැතිද යන්න ගැන මම කිහිප වතාවක්ම කල්පනා කර අන්තිමේදී නොකියා හිදින්නට තීරණය කළෙමි. ඇය ඇසුවෝතින් කියන එක වඩා ගුනදායකය. මම කෙලින්ම පැමිණ මාගේ බාග කුෂන් පුටුවේ වාඩිවුණෙමි. දිනූකා මිස් මා හට පිටපස හරවාගෙන සිටියද මට ඇයගේ මුහුණේ පැතිකඩක් යාංතමට පෙනෙයි. බතික් තිර රෙද්ද අතේ තිබුණද ඇය හිදින්නේ යම්කිසි කල්පනාවකින් ඔලුව පුරවාගෙන බැව් මට සිතෙයි. ඇය මොනවා කල්පනා කරනවා ඇතිද..? සියලු යස ඉසුරෙන් පිරුණු ඇය වැනි රුවැත්තියකට කල්පනා කිරීමට තරම්වත් දෙයක් ඇති යැයි මම විශ්වාස නොකරමි.
අලුතින් පැමිණි බිල්පත් දෙකක් මගේ මේසය උඩ තිබූ බැවින් ඒවා පංචර් කිරීමට මම ලාච්චුව හැර පංචරය අතට ගත්තෙමි. එහෙත් බාගෙට ඇරුණු ලාච්චුව තුළ කුමක් හෝ අඩුවත් ඇති බැව් එක්වරම මගේ සිතට දැනුණි. අන්තිමේදී විදුලි කොටන්නාක් මෙන් එක්වරම සිතට අඩුවක් දැණිනි. පූර්ණිමාට ගත් උපන්දින තෑග්ග මේස ලාච්චුවේ පෙනෙන්නට නැත. මම ලාච්චුව මුලුමනින්ම එළියට ඇද හොදින් බැලුවද තෑග්ග තිබුණේ නැත. අනතුරුව මේසය උඩද, ලාච්චු සියල්ලේමද හොදින් පරික්ෂා කළද උපන්දින තෑග්ග ඒ කොතනකවත් තිබුණේ නැත. කෑම කන්නට යාමට පෙර මේස ලාච්චුවේ තීබූ පූර්ණිමාට ගත් තෑග්ග මේ විනාඩි දහයට පහළොවට කොහේ හෝ ඇවිද ගියාදැයි සිතන්නට බැරිය. මෙය නම් මොලේ කොලොප්පං කරන තරමේ අවුලකි. හැබෑටම තෑග්ගට වෙච්ච දෙයක් නැත.
"මිස්..."
කරන්නට දෙයක් නොමැති තැන මම දිනූකා මිස්ට කතා කෙරුවෙමි. සමහරවිට ඇය මේ ගැන කුමක් හෝ දැන සිටින්නට පුලුවන. හැඩකාර දෙනුවන් සැනෙකින් මවෙතට යොමුවිණි. ඒ සොදුරු මුහුණේ ඇති ආදරණිය බව, දයාබර බව, අහංකාරය වෙන වෙනම හදුනාගන්නට මට දැන් පුලුවන. මගෙත් සමග හිත හොදින් සිටියා නම් ඔහොම බලන්නෙපා යැයි මට කියන්නට තිබිණි. ඔය තරම් ආදරේ හිතෙන විදියට බලා සිටිමෙන් වන්නේ මට නිදි නොමැති රැයවල් හුගාක් හිමිවන එකය.
"මෙතන තිබ්බ පුංචි පාර්සලේ දැක්කද මිස්..?"
මම පුළුවන් තරම්ම යටහත් පහත්ව ඇසුවෙමි. සමහර විටක කටහඩේ ඇති උස්පහත් බේදයටත් යමක් කරන්නට පුලුවන්බ ව මම දැන සිටියෙමි..
"මම දැකපු පාර්සලයක් නෑ.."
ඇය ඒ ටික කීවේ බෝම්බයක් දමා ගසන්නාක් මෙනි. ඇත්තටම කළ යුත්තේ මෙවැනි වෙලාවක තවත් ප්‍රශ්න නොඅසා පාඩුවත් විදගෙන පැත්තකට වී මුල්ලක් අල්ලාගෙන සිටීමය. එහෙත් මගේ සිත මටත් අකීකරු වී තිබිණි.
"ඒ පාර්සල් එක මිස් දැක්කා. මිස් අර මගෙනුත් ඇහුවෙ මොකක්ද ඔය පාර්සලේ කියලා. මං කිව්වෙ මගේ පොඩි බඩු වගයක් කියලා. අන්න ඒ පාර්සලය ගැනයි මං ඇහුවෙ මිස්.."
ඇය ටික වේලාවක් ඇසිපිය නොහෙලා කෙලින්ම මගේ මූණ දෙස බලා සිටියාය. මොනවදෝ කියන්නට මෙන් රත් පැහැති දෙතොල් වෙව්ලනු මම දැක්කෙමි. ඇය මේ ලෑස්ති වෙන්නේ මට ඇට්ටි හැලෙන්නට බනින්න විය යුතුය. කමක් නැත. ඇයගෙන් බැනුමක් නෑසු දිනට, මට හරියට තුන්වේලම කෑවේ නැතුවාක් මෙන් දැනෙන්නේ එය මගේ සිතට දැන් පුරුදු වී ඇති නිසාය.
"ඔයා හිතන්නේ මං ඒක ගත්තා කියලද...?"
ඒ හඩ ආවේ දිනූකා මිස්ගෙන්මද කියා සිතාගත නොහැකිව මම වික්ෂිප්ත වී ගියෙමි. ඒ හඩෙහි තිබුණේ ඉතා අහිංසක යුවතියකගේ හැගීම්බර වචන පෙලකි. ඒවා නම් දිනූකා මිස්ට අයිතිවිය නොහැක. අනෙක් කාරණය නම් මෙතුවක් කාලයක් තමුසෙ, තමුසෙ යැයි කියා මට ආමන්ත්‍රණය කල ඇය හිටි හැටියේම තමුසෙ, ඔයා ට පරිවර්ථනය වූ හැටිය. මගේ මතකයේ හැටියට ඇය මේ මට ඔයා කියා කියූ පළවැනි වතාවය.
"අනේ මං එහෙම කිව්වෙ නෑ මිස්.. කාමරෙන් යද්දි ඒක මෙතන තිබුණා. දැන් ඒක මෙතන නෑ. ඒකයි මං එහෙම ඇහුවේ.."
"ඒකත් ඇත්ත.. මේ කාමරේ හිටියෙ අපි දෙන්නා විතරනේ.. කමක් නෑ.. මං අලාබෙ ගාන ඔයාට ගෙවන්නම්. එහෙමත් නැත්නම් ඒ පාර්සලේ ඇතුලෙ තිබ්බ දේවල් මට කිව්වොත් මං කොහෙන් හරි ඒ බඩු ටික ගෙනැල්ලා දෙන්නම්.."
දිනූකා මිස් කීවේ මේ ලංකාවේ සිටින අහිංසකම යුවතිය ඇය වන පරිද්දටය. එහෙත් පාර්සලය තුළ තිබූ දේ ඇයට කියන්නට මගේ හිත නොනැමේ. ඒ මක්නිසාද කියා සිගාගැනීමටද මට බැරිය. සමහරවිට ඒ ඇය මා ගැන තවත් වැරදි දේ සිතාගැනීමට පුලුවන් නිසා බැව් සිත තර්ක කරයි. ඇත්තටම පූර්ණිමාට දෙන තෑග්ග පිළිබදව මා ඇයට නිකමට හෝ නොකිව්වේ මගේ හිතේ තිබූ කුමක් හෝ හොරයක් නිසාද..? එසේත් නැතිනම් මා නිසැකයෙන්ම දිනූකා මිස්ට බය නිසාද..? නැත්නම් ඇය මට බැන වදියි කියා සිතාද..?
"ඕන නෑ මිස්.. ඒකෙ තිබුණෙ ඒතරම් වටින බඩු වගයක් නෙමෙයි. මිස් එහෙම මගෙන් අහපු එකට හුගක් ස්තුතියි. සමහරවිට මට ඒවා ආපහු හම්බවෙයි.."
එතැන් සිට හවස වැඩ නිමවෙන තුරුම අප අතර කතාබහක් සිදුවූයේ නැති තරම්ය. නියමිත වේලාවටත් කලින් දිනූකා මිස් කාර්යාලයෙන් පිටව ගියාය. ඇය මටත් කියා යාවි යැයි මා සිතාගෙන සිටියද එවැන්නක් සිදුවූයේ නැත. දවල් මා හා කතාබහ කළ සුහද ආකාරය අනුව එසේ බලාපොරොත්තු තබාගැනීම වරදක් නොවන්නේය. එහෙත් ඇය යන්න ගියේ දැඩි කල්පනාවකින් මූණ පුරවාගෙන මා දෙසවත් නොබලාය. ඇයට මේතරම් කල්පනා කරන්නට ඇත්තේ මොනවාද..? සමහරවිට ඇය ඇගේ පෙම්වතා ගැන කල්පනා කරනවා විය හැකිය. ඇයට ඉන්නවා ඇත්තේ මට සිතාගැනීමටවත් බැරි තරම් කඩවසම් හාදයෙක් විය යුතුය. ඇය මා සමග වැඩි කතාබහක් නැත්තේද, ඇගේ පෙම්වතා හා සසදා බැලීමේදී මා අන්ත හඩ්ඩෙකු බැව් පසක් වී විය යුතුය.
"කාංචන.."
කාර්යාලයෙන් පිටවී පඩිපේලිය බසින අතරතුරේදී පුබුදුගේ කටහඩ මට පිටුපසින් ඇසිණි. එසේ නම් ඉවර කරන්නට තිබූ බතික් ඕඩරය ඉක්මණින් පුබුදු අවසන් කර ඇත. ඔහුත් සමග මට පූර්ණිමාව බැලීමට යා හැකි වනු ඇත. මගේ සිතට දැනුණේ දැඩි ප්‍රීතියකි.
"වැඩ ඉවරද පුබුදු.."
"ඔව්.. හිතුවටත් වැඩිය කලින් ඉවරකරගත්තා. තව ස්ට්‍රොක් එකක් හෙටත් කරන්න තියෙනවා. මැණික්දිවෙල සර් ඒකට මුකුත් කිව්වෙ නෑ. මං ඒත් හිතුවා අරව මේවා කියයි කියලා.."
මට ඔය අරලු බූරලු වැඩක් නැත. මට ඕනෑ කරන්නේ පුලුවන් තරම් ඉක්මනට පූර්ණිමා බැලීමය.
"අපි එහෙනම් පූර්ණිමාලගෙ ගෙදර යමුද පුබුදු..?"
සිතේ වූ නොඉවසිල්ල මැඩගනිමින් මම සීරුවෙන් ඇසූවෙමි. නැත්නම් විහිලුවලින් මට ගැලවීමක් නැතිවනු ඇත.
"ඒකට තමයි මනුස්සයො මම මේ පණ කඩාගෙන දුවන් ආවේ. සිකියුරිටි එකේ ජයන්තට කියලා මං බයික් එක ඉල්ලගත්තා. එතකොට වැඩේ තවත් ලේසිනේ.."
පුබුදු තරම් හොද යාලුවෙක් මේ කල්පයේදී හෙව්වත් මට හොයගත නොහැකි වනු ඇත. තම ළගම හිතවතෙකුගේ සිතැගි තේරුම් ගැනීමට ඔහුට ඇත්තේ සිතා ගැනීමටවත් බැරි අපූර්ව හැකියාවකි.
"එතකොට ජයන්ත කොහොමද අද ගෙදර යන්නේ..?"
"අද විතරනේ කාංචන.. මිනිහා අද බස් එකේ යාවි.."
අනතුරුව මමත්, පුබුදුත් ජයන්තගේ හුටු හුටු යන්තරයෙන් නගරයට ආවෙමු. මා දන්නා පරිද්දට නගරයේ සිට පූර්ණිමාගේ නිවසට ඇත්තේ විනාඩි විස්සක, තිහක පමණ දුරකි.
"ඔය අයිනෙන් නතර කරන්න පුබුදු.."
විරාජ් ජුවෙලරි ළංවෙද්දීම මම කීවෙමි. ඇයි කියන ප්‍රශ්නාර්ථය මුහුණේ ලියාගෙන පුබුදු හුටු හුටු යන්තරය පාර අයිනට ගත්තේය. පූර්ණිමාට ගත් උපන්දින තෑග්ගට සිදුවූ දෙයක් නොමැති බව මම ඔහුට කීවෙමි. බලා සිටියදීම පුබුදුගෙ ඇස් විසල් විණි.
"මේකෙ නම් මොකක් හරි හොරයක් තියෙනවා කාංචන. ඔයාට හොදටම ෂුවර් නේද බර්ත්ඩේ ප්‍රසන්ට් එක මේසෙ ලාච්චුවෙ තිබ්බා කියලා..?"
"ඔව් පුබුදු.. කාමරේ ඇතුලෙ හිටියෙ මායි, මිසුයි විතරයි.."
"හරි.. අපි ඔය ගැන යන ගමන් කතා කරමු.. කාංචන හදන්නෙ ආයෙමත් ඒ ප්‍රසන්ට් එකම ගන්නද..?"
"වෙන කරන්න දෙයක් නෑ නේ පුබුදු. අනිත්තෙක මං එහෙම නොකළොත් මගේ හිතට හරි නෑ. මේක මං හා හා පුරා කියලා ගැනු ළමයෙකුට දෙන්න යන තෑග්ගක් නේ.."
පුබුදුගේ දෙතොලේ හින් හිනාවක ඡායාවක් ඇදී මැකී ගියේය. මමම ජුවෙලරි එකට ගොස් කලින් ගත්තා සේම රිදියෙන් හැඩ වැඩ දැමූ මාලයක්, දෙපා පළදනාවක් හා කරාබු ජෝඩුවක් මිලට ගත්තෙමි. සිත ඩිංගක් හෝ සැහැල්ලු වූයේ එය මිලට ගත් පසුවය.
"මේ වගේ දුප්පත් තෑග්ගක් හොරෙන් ගන්න තරම් දිනූකා මිස් පෙළඹේවි කියලා හිතන්නත් බෑ පුබුදු. අනික එයා ඒ වගේ දෙකේ පංතියෙ වැඩක් කරාවිද..? මේ මුලු ටවුන් එකට උනත් ගන්න තරමෙ සල්ලි තියෙද්දි.."
කලින් තෑග්ග ගන්නට ඇත්තේ දිනූකා මිස් බව හිතට වැටහෙද්දීම මම කීවෙමි. එහෙත් එවැනි දෙයක් කෙසේ නම් ඇදහිය හැකිද..?
"මං ඔය ප්‍රශ්නෙ වෙනිං පැත්තකුයි දකින්නේ.. මොනව නැතත් මට එක දෙයක් ෂුවර්රෙකටම කියන්න පුලුවං කාංචන.. ඒ තමයි දිනූකා මිස් ඔයා ගැන හිතනවා කියන එක.."
"ම.. ම.. ම.. මං ගැන...?"
"ඔව්.. ඒකෙ ආයෙ දෙකක් නෑ.. දිනූකා මිස්ගෙ හිතේ ඔයාව අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒත්.. ඒත් මට තේරෙන් නැත්තේ මේ අතිරිත් පරත සිද්ධවෙන පුංචි පුංචි දේවල්.. ඒකයි මං මුලිනුත් කිව්වේ මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා කියලා.."
"දිනූකා මිස් මං ගැන හිතනවා කියනෙක මට නම් හිතාගනන්වත් බෑ පුබුදු. ඇත්තමයි... එහෙම දෙයක් හිතන්නවත් මං බයයි. එයයි, මමයි අතරෙ තියෙන පරතරේම කොයිතරම් ලොකු එකක්ද කියලා හිතෙනකොට මාව හිරිවැටෙනවා..."
"ආදරේ වත්කම් ගැන මනිද්දි ඕවා එකක්වත් වලංගු වෙන්නෙ නෑ. ඒත් අපි මීට වැඩිය ටිකක් දිනූකා මිස් ගැන හෝදිසියකින් හිටියොත් හොදයි කියල නම් මට හිතෙනවා. මොකද මේ හැමදෙයක්ම, හැම සිදුවීමක්ම අහම්බෙන් සිද්ධවෙනව වගේ පෙනුණට, මේ හැමදෙයක්ම වෙන්නෙ නියම ප්ලෑනක් අනුව. ඒක මට විශ්වාසයි. කෝකත් අපි පරිස්සමි වෙමු. ඔන්න කාංචන මෙතන තමයි තැන..."
කතන්දරය අවසානයේ පුබුදු කීවේ එවැන්නකි. මම වටපිට බැලුවෙමි. කම්බි පට දෙක තුනකින් වටවුනු සාමාන්‍ය පංතියේ නිවසක් ඇස් ඉදිරියේ ඇත. පුබුදු කියූ දේවල් සිත පත්ලේම තබා ගනිමින් මම හුටු හුටු යන්තරයෙන් බැස්සෙමි. ජයන්තගේ බයිසිකලට හුටු හුටු යන්තරය යැයි කියන්නේ එයින් නික්මෙන සද්දය හුටු හුටු වූ බැවිනි.
"අනේ.... මම බැලුවා ඒත් කවුද කියලා..."
අප දෙදෙනාව දුටු විගස පූර්ණිමාට කියැවිණි. ඒ පින්බර මුහුනේ පිපී තිබුනේ නෙලාගන්නට ආස හිතෙන තරමේ නැවුම් සිනාවකි.
"තරහා වෙන්න එපා පූර්ණි, ඊයෙ එන්න බැරිවුණාට.."
කුඩා නිවසේ සාලය මැද්දට වාගෙ වෙන්නට තාබා තිබූ ප්ලාස්ටික් පුටුවක වාඩිවෙන ගමන් මම කීවෙමි. පූර්ණිමාගේ මුහුනේ අර සොදුරු සිනාව තාමත් රැදී තියේ..
"අනේ කමක් නෑ.. ඉතිං ඔයාලට ඊයෙ රෑ වෙනකන් වැඩ තිබුණද කාංචන..?"
ඇය කෙලින්ම ඇසුවේ මගෙන්ය. ඒ දිගැටි දෑස මගෙන් පිලිතුරක් ලැබෙනතුරු බලා සිටියි.
"වැඩ නම් කලින්ම ඉවරවුණා. ඒත් බන්දුලගෙ වෑන් එකේ ත්‍රීවීල් එකක් හැප්පිලා. දිනූකා මිස් ඇවිත් කිව්වා පොලීසියට ගිහින් වෑන් එක බේරලා යවන්න කියලා.."
දිනූකා මිස්ගෙ නම කියවෙද්දී පූර්ණිමා තිගැස්සී ගියාය. ඇයගේ මුවේ පිපී තිබූ සොදුරු නිසා මල තත්පරයට දෙකට වියැකුණි.
"ඉ.. ඉතිං ඔයාලා පොලීසියට ගියාද..?"
දැන් ඒ කටහඩේ මුලින් තිබූ ප්‍රාණවත් බව නැත. හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට මලානික වූ ඒ සොදුරු දෙනෙත කියන්නේ ඇය මොකක්දෝ හිතේ කරදරයකින් ඉන්නා බවය.
"පොලීසියට නම් ගියා. ඒත් වැන් එක රිලීස් කරගන්න බැරිවුණා. පස්සෙ බලනකොට හොදටම රෑත් වෙලා. කරන්න දේකුත් නෑ. මායි, පුබුදුයි ආපහු එන්න ආවා.."
"ඒ එද්දි මට කියපුවා පූර්ණිට කියන්නෙ නැද්ද කාංචන..? අද රෑ නොගියොත් පූර්ණි මොනවා හිතාවිද..? ඒ කෙල්ල පව්.. එනකන් බලන් හිදියි.. මගේ හිතට මාර අප්සට්.. ඔය වගේ දාහක් දේවල් මේ මනුස්සයා මගෙත් එක්ක කියෙව්වා පූර්ණි.."
පුබුදුටත් ඇත්තේ කටක් නොව ඝන්ඨාරයකි. දැන් ඉතිං මා යළිත් පූර්ණිමාගේ මුහුණ දෙස බලන්නේ කෙසේද..? මේ අවස්ථාවෙ පොළව පලාගනෙ යාමට හැකි නම් මම ඒ දේ ද කරමි. මගේ සිත පිරී තිබුණේ එවැනි ලැජ්ජාවකිනි.
"මේ කියන්නෙ ඇත්තද කාංචන..?"
අර මලානික බව එසේම තියෙද්දී පූර්ණිමා යාන්තමට සිනාවුණාය. ඒ සොදුරු සිනහවේ ලස්සන ගැන කීමට මට වචන තිබුණේ නැත. එනිසාම මම කිසිවක්ම නොකියා ඇය වෙතට උපන්දින තෑග්ග දිගු කළෙමි.
"ම.. මං ඔාට බර්ත්ඩේ එකට එන්න කිව්වෙ තෑගි බලාගෙන නෙමෙයි කාංචන.. "
"මං ඒක දන්නවා පූර්ණි. මං මේක හිතේ සතුටින් දෙන දෙයක්. ඒක නිසා නොගෙන ඉන්නෙපා.."
පූර්ණිමාගේ මුහුණේ තිබුණේ උපන්දින තෑග්ග ප්‍රතික්ෂේප කරන ආකාරයේ හැගීමකි. ඒ හැගීමම මගේ හිත අවුලෙන් අවුලකට ඇද දැමුවේය. මදක් වේලා මගේ දෙස බලා සිට, ඇය මදෙසට දෑත දිගු කළාය. හිතේ වූ අවුල පසෙක දමා මම ඇයට උපන්දින තෑග්ග දුන්නෙමි.
"හැපි බර්ත්ඩේ පූර්ණි. හැබැයි ඊයෙට හොදේ..."
පූර්ණිමාගේ සියුමැලි ඇගිලි තුඩු මිරිකන ගමන් මම කීවෙමි. ඇගේ මුහුණ සිහින් සිනාවකින් ආයෙත් හැඩ ගැන්විණි. ඇත්තටම ඇයට ලස්සන ඔන්න ඔහොම මූඩ් ගසා සිටින විටය.
"ඔයාලා දෙන්නා ටිකක් ඔහොම ඉන්න. මම බොන්න මුකුත් හදාගෙන එන්නම්.."
තෑග්ගද රැගෙන ඇය ගෙතුළට ගියාය. මට ඩිංගක් එහායින් තිබූ පුටුවක වාඩිවී සිටි පුබුදු ප්ලාස්ටික් පුටුවද රැගෙන මට ළංවිණි.
"පූර්ණිමා හිතේ කරදරේකින් වගේ නේද..?"
"මටත් ඒක තෙරුණා පුබුදු.. මගෙත් එක්ක කතා කරා වුණත්, එයාගෙ හිත තිබ්බෙ වෙනිං දිහාක. අනික බර්ත්ඩේ ප්‍රසන්ට් එකත් ගත්තෙ බයෙන් බයෙන් වගේ.."
ගෙවී ගිය පුංචි කාලයේදී සිතට දැනුණු දේ මම කියාගෙන ගියෙමි. පුබුදුත් ඔලුව දෙපැත්තට වනමින් මා කියූ දේ හරි බව ඇගෙව්වේය.
"අපිත්තෙක්ක ඔෆිස් එකේ ආශ්‍රය කරපු විදියට මට නම් හිතාගන්නවත් බෑ මේ කෙල්ලට මොකද වෙලා තියෙන්නෙ කියලා.. වෙනදට ප්‍රශ්න කීයක් නම් අහනවද..?"
"කොකටත් අපි ඔය ගැන එයා ආවහම අහමු.. සමහරවිට අපි ඊයෙ ආවෙ නැති එකට අප්සට් වෙලාද දන්නෑ.."
"එහෙම වෙන්න බෑ කාංචන. පූර්ණිමා ඒ වගේ හිතන කෙල්ලෙක් නෙමෙයි. හැම පැත්තක් ගැනම සාධාරණව හිතන කෙල්ලෙක්. සමහරවිට අපි නොදන්නව වුණාට ෆැමිලි ප්‍රොබ්ලම් එකක්ද දන්නෙ නෑ.."
පුබුදු කියූ දේට උත්තරයක් දෙන්න කලින් පූර්ණිමා නැවත අප කරා ආවාය. ඇගේ අතේ වූ බන්දේසියේ බටර් කේක් කෑලි හත අටක් හා ඇඹුල් කෙසෙල් ගෙඩි ඇවරියක් විය.
"පූර්ණි.. ඇයි අද ඔෆිස් ආවෙ නැත්තේ..?"
බටර් කේක් කෑල්ලක් හා අඹුල් කෙසෙල් ගෙඩියක් කඩා අතට ගන්නා ගමන් මම ඇසුවෙමි. මොකක්දෝ කල්පනාවකින් පිරී තිබුණු සුදු මුහුණ වහ වහා වෙනස් විනි. ඇය දෑස විසල් කර මගේ මුහුණට එබුනාය.
"ම... මට හිසරදේ වගේ තිබුණා කාංචන.."
එතුවක් මගේ මුහුණේ ඇලී තිබූ දෑස අහකට ගත් නිසාම ඇය කීවේ බොරුවක් බව මට සිතිණි.
"ඔය ඇත්තමද..?"
පූර්ණිමාගේ අතකින් අල්ලා මගේ දෙසට හරවා ගන්නා ගමන්ම මම ඇසුවෙමි.. ඒ දේ කරන්නට මගේ සිතේ වූ ධෛර්යය ගැන මටම පුදුම සිතිණි.
"අ.. අනේ කාංචන..."
ඇස් දෙකටම කදුලු පුරවාගෙන පූර්ණිමා මගේ අත ආපිටට තද කර අල්ලාගත්තාය. රෝස කුසුමක් මැලවී ගොස් ඇත්තාක් මෙන් සුදු මුහුණේ කියාගත නොහැකි මොකක්දෝ ලොකු වේදනාවක් ඇත.
"හොද දරුව වගේ මෙතනින් වාඩිවෙලා ප්‍රශ්නෙ මොකක්ද කියන්න. ඔයාට ඕන උදව්වක් කරන්න මායි, පුබුදුයි ඉන්නවා.."
පුබුදුගේ මුහුණෙන් පෙනෙන්නේ මා කරනා කියනා හැමදෙයක්ම අනුමත කරන බවය. ඇත්තටම එය මට ගෙනාවේ මහ විශාල ධෛර්යයකි.
"ම.. මට තේරෙන්නෑ මම මේක කොතනින් පටන් ගන්නද කියලා. මං ඔයත් එක්ක ආශ්‍රය කලේ හුගක් සංතෝසෙන් කාංචන. ඔයත්තෙක්ක කතාබහ කරන විනාඩි පහෙන් දහයෙන් පවා මගේ හිතට පුදුම තරම් සැනසීමක් ලැබිල තියෙනවා. ඒත් දෙයියනේ ඒ සැනසීම මගෙන් ඈත් කරන්න කෙනෙක් ඉන්නවා.."
"ඒ කවුද..?"
මටත් කලින් පුබුදුගේ කට ඉස්සර විණි.
"දිනූකා මිස්.."
පූර්ණිමාගේ මුවින් ඒ නම පිටවෙද්දී මගේ මුලු හිතම සීතල විණි...
"දිනූකා මිස්...?"
මමත්, පුබුදුත් එකවරම ඇසුවෙමු. සිතට කොහෙන්දෝ සිට බයක් වැනි හැගීමක් ගලා එද්දී මම යටිතොල්පට විකා ගත්තෙමි.
"ඔව්..."
"අපිට ඔයා කියන දේ තේරෙන්නෑ පූර්ණි. ඔයයි, කාංචනයි ළංවෙනවට දිනූකා මිස් අකමැති වෙන්නෙ ඇයි..? අනික ඔයයි, දිනූකා මිසුයි හුගක් ළගින් ආශ්‍රය කලා කියලත් මං දන්නවනේ.."
කිසිම දෙයක් නොදන්නා පරිද්දට පුබුදු විමසන්නේ සිතේ මොනවා හෝ තබාගෙන විය යුතුය. දිනූකා මිස් මේ ප්‍රශ්නයට ගෑවි ඇති බැව් දැනගත් මොහොතේ සිටම මගේ සිත තලා පෙලා ගින්නකට ඇද දැමූ මුව පැටියකු සේ බයකින් කෑ ගසයි..
"මටත් හිතාගන්න බැරි ඒකයි පුබුදු. මං මේ කාංචන ඉ්සසරහ කියනවා නෙමෙයි. ඇත්තටම මං කාංචනට කැමතියි. කාංචන එන්න කලින් මායි, පුබුදුයි කම්පැනියෙ වැඩ කලානේ. ඔයා ඕන නම් පුබුදුගෙන අහල බලන්න, මං ඔයා ගැන ඇරෙන්න වෙන කිසිම බෝයි කෙනෙක්ව ළගින් ආශ්‍රය කරලා නෑ.."
"මං ඒක දන්නවා පූර්ණි. ඒත් ඇයි දැන් ඕවා කියන්නේ..? ඔයා හුගක් හොද ගෑණු ළමයෙක්.. මම ඒක කීප සැරයක්ම පුබුදු එක්ක කියලත් තියෙනවා.."
"ඒක තමයි.. ඔයා කවුද කියන්න අපි දන්නවා පූර්ණි. ඔයයි, කාංචනයි ළංවෙනවට හුගක්ම කැමති වුණේ මම. මොකද ඔයාලා දෙන්නගෙම සිතුම් පැතුම් හුගක් දුරට එක සමාන වුණ නිසා. ඒත් දිනූකා මිස් මැද්දට ආවා කියල ඔයාලා දෙන්නා ඈත් වෙන්න ඕනෙ නෑ නේ. අනිත්තෙක ඔයාලා දෙන්නව ඈත් කරන්න දිනූකා මිස්ට තියෙන උවමනාව මොකක්ද..? ඔයයි, කාංචනයි දෙන්නම මිස්ගෙ සේවකයො විතරයි. රාජකාරි දේවල්වලට ඇගිලි ගැහුවට එයාට බෑ ඔයාලගෙ පෞද්ගලික දේවල්වලට ඇගිලි ගහන්න.."
පුබුදුට කේන්ති ගොස් සිටිනවා මං දැක්කේ පළමු වතාවටය. මමත්, දිනූකා මිසුත් කාර්යාලීය කාමරය තුල සිටින විට සිදුවන සිද්ධීත්, පූර්ණිමාගේ සිද්ධියත් එකට ගැලපිය හැකිදැයි මම බැලුවෙමි. එහෙත් එසේ ගලපන්නට නම් පූර්ණිමාට වූ දේ දැනගන්නට ඕනෑය.
"අපි පොඩ්ඩක් කූල් එකේ මේ ගැන කතා කරමු පුබුදු. කලබල වෙලා අපිට මුකුත් කරන්න බෑ. අනික මේ ප්‍රශ්නෙට ඔයයි, මායි දෙන්නම මැදිවෙලා ඉවරනේ පූර්ණි. ඒක හින්දා දිනූකා මිසුයි, ඔයය් අතරෙ වෙච්ච කතාබහ ගැන මමත් දැනගෙන හිටියොත් හොදයි කියලා මට හිතෙනවා. මොකද මම ඉන්නෙත් දිනූකා මිස් ළගනේ.."
හැම හැගීමක්ම පැත්තකට දමා මම ප්‍රශ්නයට එබෙන්නට උත්සාහ ගත්තෙමි. පූර්ණිමාගේ නිවසට පැමිණෙන විට සිතේ තිබූ සොදුරු හැගීම් දැන් එකින් එක ඈත්වී යන්නට පටන්ගෙන ඇත.
"අපි තුන්දෙනාම කොහොම හරි කැන්ටින් එකේදි කතාබහ කරනවනේ. දවසක් දිනූකා මිස් මගෙන් ඇහුවා ඔයාගෙ එෆෙයාර් එක තියෙන්නෙ පුබුදුත් එක්කද, නැත්නම් කාංචන එක්කද කියලා.."
"ඉතිං..?"
"මං කිව්වා කා එක්කවත් නෑ මිස්. අපි තුන්දෙනා හොද යාළුවො කියලා."
"ඇයි ඔයා ඒ ගැන අපිට කිව්වෙ නැත්තේ..?"
"කියන්න තරම් වැදගත්කමක් ඒ ප්‍රශ්නෙ තිබුණෙ නෑ පුබුදු. මං හිතුවා අපි එකට කතාබහ කර කර ඉන්න හින්දා මිස් නිකමට එහෙම අහන්නැති කියලා. ඒත් වැඩි දවසක් යන්න කලින්ම මට තේරුණා දිනූකා මිස් මගෙ පස්සෙ පන්නනවා කියලා."
එසේ නම් දිනූකා මිස්ගේ අවධානයට මා හැරුණු කල පූර්ණිමාද ලක්ව සිටියි. අලුත් කුතුහලයකින් සිත පිරීයද්දීම මම පූර්ණිමා දෙසම බලා සිටියෙමි.
"පුංචි පුංචි සිද්ධී දෙක තුනක් උනත් ලොකු සිද්ධිය උනේ පෙරේදා. එදා හවස මං වැඩ ඇරිලා ගෙදර එද්දි මගදි මට දිනූකා මිස් මුණගැහුනා. බර්ත් ඩේ එකට කාට ඉන්වයිට් කලත් කමක් නෑ. හැබැයි කාංචනට ඉන්වයිට් කරන්න බෑ මිස් මට කෙලින්ම තර්ජනය කලා. ගහෙන් ගෙඩි එන්න වගේ වෙච්ච දේ හින්දා මට කතාකරගන්නත් බැරි වුණා. ඒත් මං මිස් යන්න ඔන්න මෙන්න කියලා වගේ තියෙද්දි එහෙම කියන්නෙ ඇයි මිස් කියලා ඇහුවා."
එක දිගටම කතා කරගෙන ගොස් පූර්ණිමා මදක් නතර වූවාය. මමත්, පුබුදුත් සිතා සිටියාටත් වැඩි බොහෝ දේ සිදුවී ඇත. සිදුවන්නටද තිබෙනවා විය හැකිය. දෙවියනේ මේවාහි අවසානය කොතැනක ඇතිද..?
"මෙතන ඕඩර් දෙන්නෙත් මම, ප්‍රශ්න අහන්නෙත් මම. පූර්ණිමා කැමති ගෙදර ඉන්නද, නැත්නම් දිගටම රස්සාව කරන්නද..? මොකද කාංචන මේ ගෙදරට අඩිය තිව්වොත් මං ඔයාව රස්සාවෙන් අයින් කරනවා. ඒ තීරණය තියෙන්නෙ ඔයා අතේ. මේ තරම් හොද රස්සාවක් ලේසියෙන් හම්බෙන්නෙත් නෑ කියනෙක ඔයා දන්නවනේ. ඔය වගේ හුගක් දේවල් මිස් මට කිව්වා. පස්සේ මං කිව්වා අනේ මිස් මම කාංචනට ඉන්වයිට් කලානේ කියලා.."
මට මදකට හුස්ම ගන්නට පවා අමතකව ගොස් තිබිණි. මා අද පූර්ණිමාගේ නිවසට පැමිණිම නිසා මේ අහිංසක කෙල්ලගේ රැකියාවත් නැතිවී යාවි යැයි ඒ තත්පරයේදිමට මට සිතිණි. එවිට ඇය තවත් අසරණ වනවා නොවේද..?
"කාංචනට ඉන්වයිට් කරල ඉවර නම් එයා මෙහෙ එන එක මං නවත්තන්නම්. හැබැයි අද ඉදලා ඔයා කාංචනත් එක්ක තියෙන සියලු සම්බන්ධකම් නවත්තන්න ඕන කියලා දිනූකා මිස් මගේ මූණටම කිව්වා. මට ඒ වෙලාවෙ ඉදලා මේ වෙනකනුත් හිතට කිසිම නිදහසක් නෑ කාංචන. මං මොනවද දෙයියනේ මේකට කරන්නේ..?"
පූර්ණිමා ඇසුවේ මගේ දෑතෙහිම එල්ලීගෙනය. එහෙත් ඇයට දිය යුතු වූ කිසිදු පිළිතුරක් මගේ ළග තිබුණේ නැත. පූර්ණිමා තරමට හෝ ඊටත් වැඩියෙන් මමද අසරණ වී සිටියෙමි.
"ඇයි දිනූකා මිස් මෙහෙම හැසිරෙන්නේ..?"
හුග වෙලාවක පටන් තිබූ දැඩි නිහැඩියාව බිද දැමුවේ පුබුදුය. මාත් සමග ඇති ඇසුර නතර කරන්නට කියා දිනූකා මිස් පූර්ණීමාට බල කරන්නේ ඇයි..? අනික එය සුලුපටු තර්ජනයක්ද නොවේ. මින් ඉදිරියට මාත් සමග කතාබහ කළහොත් රැකියාවෙනුත් අස් කරනා බව ඇය කියා ඇත. නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ කියා කියන්නේ මෙන්න මේවාටය.
"එකම එක හේතුවයි තියෙන්නේ.."
පුබුදුගේ ප්‍රශ්නයට පූර්ණිමාගේ මුව විවර විණි. මමත්, පුබුදුත් ඇය දෙසට හැරුණේ කියන්නට යන්නේ මොනවාදැයි දැන ගැනීමටය.
"දිනූකා මිස් කාංචනට ආදරය කරනවා. ඒක තමයි එකම හේතුව. මිස් ඔහොම හැසිරෙන්නෙත් ඒකයි.."
පූර්ණිමා කියාගෙන යද්දී ඒ මුහුණේ තැන්පත් වූයේ මහා වේදනාවක සලකුණුය. කියාගත නොහැකි දැඩි දුකකින් සුදු මුහුණ විරූපී වී තිබිණි.
"ඒක වෙන්න බෑ පූර්ණි. ඒ දේ කොහොමටවත් වෙන්න බෑ. ඔයා දන්නවනම් දිනූකා මිස් මට සලකන විදිය, ඔයා ඔය කිව්ව දේවල් කියන්න හීනෙකින්වත් හිතන්නෙ නෑ. අඩුම ගානෙ මිස් මාව ගණන් ගන්නෙවත් නෑ. ජොබ් එකට ඇවිල්ලා මං බැනුම් නාහපු එක දවසක්වත් නෑ. සමහර වෙලාවට මට බල්ලට වගේ බනිනවා. මොනව වුණත් අර කම්මලේ ඉන්න බලලා වගේ මාත් දැන් ඒවට පුරුදු වෙලා.."
"කාංචන කියන දේවල් ඇත්ත පූර්ණි. මොකද මීට කලින් දිනූකා මිසුයි, කාංචනයි අතරෙ වෙච්ච කතාබහ හැම එකක්ම කාංචන මගෙත් එක්ක කියලා තියෙනවා. ඒ දිහා බැලුවහම සමහර වෙලාවට මටත් හිතෙනවා මෙතන මොකක්දෝ හිතාගන්න බැරි දෙයක් වෙනවා කියලා. හොදම උදාහරණෙ තමයි අර බන්දුලගෙ වෑන් එක රිලීස් කරගත්තෙ නෑ කියල කාංචනට බැනපු බැනිල්ල. ඒක නම් තනිකරම ද්වේශ සහගතව කරපු දෙයක්. ආයෙ හොදන්න දෙයක් නෑ.."
"දැන් ඉතින් තවත් ඔය ගැන කතා කරලා වැඩක් නෑ පුබුදු. අපි දැන් මේකට මොකද කරන්නෙ කියලා කල්පනා කරමු. අනික මං දැන් මෙහේ ආවා කියලා දැනගත්තොත් දිනූකා මිස් ෂුවර් එකටම පූර්ණිට බකට් එක අදියි.."
ඉන් අනතුරුව නැවතත් අප තිදෙනා අතර කෙටි නිහැඩියාවක් පැතිර ගියේය. යම්කිසි අදහසක් හෝ කියන්නට කවුරුවත් උත්සාහ කළේ නැත. මගේ සිත නම් මොකක්දෝ වේදනාකාරී බවකින් බැද දමා තිබිණි.
"ඔයාලා කලින් කිව්වනේ පුංචි පුංචි සිද්ධිත් දෙක තුනක් වුණා කියලා. දිනූකා මිස් සම්බන්ධව. ඒ මොනවද පූර්ණි..?"
නිහැඩියාව බින්දේ පුබුදුය. පූර්ණිමාගේ මැලවී ගිය මුහුණේ ලා රත් පැහැයක් හදිසියේම විද්‍යාමාන විය.
"ම.. මට ඒක කාංචන ඉස්සරහ කියන්නත් මොකක්ද වගේ. ඒත් දැන් නම් ප්‍රශ්නෙ ඇදිල යන විදිය ඒ ගැන නොකියත් බෑ. කාංචනට දෙන්න කියලා හිතාගෙන මං පුංචි ප්‍රසන්ට් එකක් ගත්තා. ලන්ච් ටයිම් එකේදි දෙන්න කියල හිතාගෙන මං මගේ මේසෙ කොනකින් තමයි තියල තිබුණේ. ඒත් පැයකින් විතර බැලුවහම ඒක එතන නෑ.."
පූර්ණිමා කතා කරගෙන ගියේ බිම බලාගෙනය. නිසැකයෙන්ම ඇය හිදිනවා ඇත්තේ ලැජ්ජාවෙනි රතුවී විය යුතුය. ඒ හා සමගම මට මතක්වූයේ මා පූර්ණිමාට ගත් උපන්දින තෑග්ග අතුරුදන් වූ අයුරුය. සිද්ධී දෙකේම ඇත්තේ එකම විදියේ සමානකමකි. මම පුබුදු දෙස බැලුවෙමි. ඔහු සිටියේ යටි තොල්පට තදින් විකාගෙනය.
"ඔය සිද්ධිය වුණේ, දිනූකා මිස් ඔයාගෙන් ඇහුවනේ අපි දෙන්නගෙන් යාලු කා එක්කද කියලා. ඒ අහන්න කලින්ද, එහෙම නැත්නම් පස්සෙද..?"
මා ඇසිය යුතු ප්‍රශ්නයක් පූර්ණිමාගෙන් ඇසුවේ පුබුදුය. හැම දෙයක්ම සිදුවී ඇති කාල වකවානු ගැන මතකයේ තබාගැනීම වඩාත් ඇගට ගුණදායකය. බෙහෝවිට මේවා දම්වැලක පුරුක් මෙන් එකිනෙක බැදී පවතින්නට ඉඩ තිබිය හැක.
"හුගාක් පස්සේ.. ඒත් ඒ ප්‍රසන්ට් එක දිනූකා මිස් ගත්තා කියලා මට විශ්වාස කරන්නත් බෑ. මොකද ඒ වගේ පුංචි තෑග්ගකින් එයාට ඇති ප්‍රයෝජනේ මොකක්ද..?"
"සමහරවිට අපි හිතනවටත් වැඩිය ලොකු ප්‍රයෝජනයක් ඇති. මොනව වුණත් අපිට දැන් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. අපිට ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. එහෙම නැතුව මේකෙ අගක් මුලක් හොයන්න අපිට බෑ.."
පුබුදු කියන්නට යන්නේ කුමක්දැයි දැනගැනීමට මම ඩිංගක් ඔහුට ළංවුණෙමි. පූර්ණිමාද හිතේ වූ හැම හැගීමක්ම ඉවත දැමූ පරිද්දෙන් පුබුදු දෙසට දෑස එල්ල කලාය..
"ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නට කැමතියි කියලා මං දන්නවා. ඒත් ඒ කැමැත්තට අකමැති කෙනෙකුත් ඉන්නවා කියලා අපි අද කරපු කතාබහෙන් අපි තුන්දෙනාට හොදට තේරුම් ගියා. එහෙමනේ.. ඒක හින්ද ටික දවසක් යනකන් ඔයාලා දෙන්නා කතාබහ නොකර මගඇරලා ඉන්න. අඩුගානෙ හිනාවෙන්නවත් එපා. ඔයාල දෙන්නගෙම හිත්වලට හුගක් දුක දැනෙන්න පුළුවන්. ඒත් මෙ ප්‍රශ්නෙ විසදගන්න නම් ඒ දේ කරන්න වෙනවා. අනික මොන දේ නැතත් ඔයාගේ රස්සාවත් බේරගන්න ඕනනේ පූර්ණි, ඔයාටයි, කාංචනටයි කතාබහ කරන්න ඕනෙ නම් හෙමින් සීරුවෙ ඒකට දවසක් දාගමු.. මොකද කියන්නේ..?"
පුබුදු ඇසුවේ අප දෙදෙනාගෙන්මය. දුකින් මැලවී ගොස් ඇති පූර්ණීමාගේ මුහුණින් ඇයගේ වතෙහි තත්වය මනාව පිළිබිඹු වී තිබිණි.
දිග දෑස් පියන් යට කදුලු බිංදු රැදී තිබුණේ කඩා වැටෙන්නට ඔන්න මෙන්න වාගේය. ඉතා කෙටි කාලයකින් සිතේ උපන් මහමෙරක තරම් වූ ආදරණිය බැදීමකට යදම් දමා සිරකරන්නට හැකිදැයි මම මගේ සිතින්ම අසාගත්තෙමි. පූර්ණිමාද රැදී සිටින්නේ ඒ ගැටලුව ආසන්නයේ බව ඇයගේ මුහුණින් අපූරුවට පෙනී යයි.
"ඔය බලන්න.. ඔයාල දෙන්නම මූණු එල්ල ගත්තා... මං මේ හැමදෙයක්ම කිව්වෙ ඔයාලා දෙන්නගෙ හොදට. මොකද දිනූකා මිස් දෙයක් කිව්වොත් ඒ දේ අනිවා කරනවා කියලා අපි තුන්දෙනාම දන්නවනේ. ඒක හින්ද අපි ඉල්ලගෙන කන්න ඕන්නෑ. හෙමින් සීරුවෙ මේකට උත්තරයක් හොයාගමු. වැඩිය ඉක්මන් වෙලා හම්බ කරන් කාපු රස්සාව නැති කරගන්න ඕන නෑනේ. "
පුබුදු කියන්නේ සහතික ඇත්තය. දිනූකා මිස් ළග මෙතුවක් වැඩ කළ නිසාම මම ඇයගේ හැටි හොදාකාරවම දන්නෙමි. ඇය, ඇයට ඕනෑ දේ කෙසේ හෝ ලබාගනී. එවිට විරුද්ධ පක්ෂයට අයත් වන දුක් වේදනා, අලාභයන් ගැන ඇය තකන්නේ නැත.
"පුබුදු කියන දේ හරි පූර්ණි. එයා කියන විදියට වැඩ කරොත් අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් වේවි."
"අ.. අනේ කාංචන.."
අහිංසක කෙල්ලගේ හිතේ වූ හැම බැදීමක්ම පුපුරා යන්නට ඇත. ඇස් ඉස්මත්තේ තිබූ ලොකු කදුලු ගුලි කිහිපයක්ම එක සීරුවට බිමට කඩාගෙන වැටුණි. මම හනික ඇයගේ අතින් අල්ලා ගත්තෙමි. එය බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් පූර්ණිමාද මගේ ළගට තවත් ළංවූවාය.
"ඔ.. ඔයා හදන්නෙ මාව අ.. අමතක කරලා දාන්නද කාංචන..?"
අන්තිම හරිය කියද්දී ඇයගේ කටහඩ බිදී ගියාය. අලුතින් උපන් කදුලු පොකුරක්ම මගේ අත උඩට කඩාගෙන වැටුණි. කියාගත නොහැකි මොකක්දෝ ලොකු වේදනාවකින් මගේ හදවත දෙකට ඉරා දැම්මේය.
"එහෙම කවදාවත් වෙන්නෑ පූර්ණි..."
ජීවිතයේ පළමු වතාවට, මම යුවතියක ඉදිරියේ අනාගතය ගැන සපථ වූයෙමි. සත්තකින්ම එය දිව්රීමක් බදු විය. පූර්ණිමාගේ කදුලු පිරුණු මුහුනේ අලුතින් පැනනැගුනු කාන්තියෙන් ඇය මා විශ්වාස කළ බවක් දැනුණේය.
"එහෙනම් අපි ගිහිල්ලා එන්නම් පූර්ණි. ඔයා බයවෙන්නෙපා.. ඔයාගෙයි, කාංචනගෙයි ඕන දේකට මං ඉන්නවා.."
පුබුදු ඉස්සර වූයේය. මමත් ඔහුට පිටපසින් වැටුණද නැවතත් හැරී පූර්ණිමා දෙස බැලුවෙමි. ඇය සිටියේ සිත දුකින් කඩා ඉහිරුවන තරමේ ඉරියව්වකිනි. සියලු පැතුම්, ප්‍රාර්ථනා නැතිවී ගොස් තනිකමේ මහා දුකින් ඒ සුදු මුහුණ මැළවී ගොස් තිබිණි.
"ම... මං හැ.. හැම දෙයක්ම ක.. කරේ.. ඔ.. ඔයා ගැන හිතලා කාංචන.. අ.. අනේ..."
පූර්ණිමා හනික දොර වසාගත්තේය. මහාමේරුව හිත උඩින් තැබුවාක් මෙන් විශාල බරකින් මගේ හදවත තලා පෙලන්නට විය. හිත පිළිසිදගත් සොදුරු බැදීම් මෙතරම් හදවත කකියවන්නේ ඇයි..? මම පුබුදු දෙස බැලුවෙමි. ඔහු සිටියේද මදෙස බලාගෙනය..
"පූර්ණිමා උඹ ගැන හුගක් හිතල.. නේද කාංචන...? මට නම් හරියට පව් කියලා හිතුණා බං.. කෙල්ල සමහරවිට හිතනවද දන්නෑ උඹ එයාව මගාරින්න හදනවද කියලා.. මමත් උඹට උල්පන්දම් දෙනවා කියලා.."
ඉන් අනතුරුව හුටු හුටු යන්නරයේ ශබ්දය නිසා පුබුදු කියනා සමහර දේ නෑසී යන්නට විය. ඇහුන්නෑ කියා නැවත ඒවා අසා ගැනීමටද මගේ හිත උනන්දුවක් දැක්වූයේ නැත. විඩාබර වූ කාංසියෙන් මුලු තුන් සිතම දවා පෙලද්දී අසරණ පූර්ණිමාගේ අහිංසක මුහුණ කිහිප වතාවක්ම මට මැවී පෙණිනි. දෛවය අහිංසකයින්ටම පමණක් නපුරුකම් කරන්නේ ඇයි..?
"මං උඹෙන් එක දෙයක් අහන්නද..?"
බොහෝ රෑවී, නිදාගන්නට ඔන්න මෙන්න කියා තිබියදී පුබුදු මගෙන් ඇසුවේය. කියන්නට දෙයක් නැති නිසාම මම ඔලුව වැනුවෙමි.
"උඹට කොයි වෙලාවක හරි හිතිල තියෙනවද, දිනූකා මිස් උඹට ආදරේ කරනව කියලා..?"
ඉදල ඉදල පුබුදුත් අසන්නේ මාර ප්රශ්නය.. ඒත් ඒ ප්රශ්නයේ යටි අදහස තේරුම් ගැනීමට මම උත්සාහ කෙරුවෙමි. ගෙවී ගිය දින ගණනන් යළි සිහිපත් කර බැලුවද පුබුදු අසනා දෙයෙහි ඡායාවක්වත් මට දැකිය හැකි වූයේ නැත. එසේ නම් දිනූකා මිස් බොහෝ වේලාවට මදෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නේ ඇයි..? මා ඇය දෙස බලන විට අහක බලාගන්නේ ඇයි..? ඒවා නම් උත්තර නැති ප්රශ්නය..
"නෑ පුබුදු කොයි වෙලාවකවත් නෑ.. ඒත් මට හිතිලා තියෙනවා.."
"මිස් ආදරේ කලා නම් හොදයි කියලා නේද..?"
"නෑ පුබුදු.. මට හිතිලා තියෙනවා, මේ ඉන්නවට වැඩිය මිස් මට කරුණාවන්ත උනා නම් හොදයි කියලා.."
"උඹ මිස්ට ආදරේ නැද්ද..?"
ප්‍රශ්න අසන්නට ගත්තහම පුබුදුත් ප්‍රශ්න කෝච්චියක්ය. හරි උත්තරයක් ලැබෙනතුරු ඔහු ප්‍රශ්න අසයි..
"ඉර පායන පැත්තට හැරී හැරී හිටියට සූරියකාන්ත මල්වලට කවදාවත් ඉර හම්බවෙන්නෙ නෑ පුබුදු.."
පුබුදුගේ මුහුණ මද සිනාවකින් ඔපවත් විණි..
"එතකොට පූර්ණිමා..?"
"පූර්ණිමාත් සූරියකාන්ත මලක් නේ..."
පුබුදුගේ සිනාවට එකතු වෙමින් මම කීවෙමි. පූර්ණිමා මා ගැන සහසක් බලාපොරොත්තු තබාගෙන සිටියි. ඇයගේ ලෝකයේ සිටින්නේ මා පමණක් විය යුතුය. එහෙත් ඒ පිළිබදව ඇය කිසිවක් හරියාකාරව කීවේ නැත. එසේ නම් දිනූකා මිස් මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මා දැනගත යුතුය. නැතිනම් මට වෙන්නේ ලිහාගත නොහැකි පඹගාලක පැටලී මියැදෙන්නටය.
තවත් දවසක්, දෙකක් පමණ නිස්කාංසුවේ ගෙවී ගියේය. කාර්යයාලය තුළදී, මමත් පූර්ණිමාත් දෙඇසින් පමණක් කතාබහ කළෙමු. කවුරුවත් පේන්න නොසිටි වෙලාවන්හීදී අපි කටපුරා සිනාවිමු. ඒ දවස් දෙක තුළ දිනූකා මිස් මා හා වචනයකුදු කතා බහ කළේ නැත. ඇය කළේ ලොකු කුෂන් පුටුවකට වී ඔහේ බලාගත් අත බලා සිටීමය.
ඩිංගක් හෝ ළගින් ඇසුරු කර තිබුණා නම්, ඔහොම ඉන්නේ ඇයි දැයි කියාවත් මට අසන්නට තිබිණි. එහෙත් ඇයත් මාත් අතර එවැනි දෙයක් නැත. සමහරවිට ඇය මට බැණ වැදී පන්නා ගන්නටද පුලුවන. එසේ හෝ බැණ වදිනවා නම් හොද යැයි මට විටෙක සිතෙයි. මක් නිසාද යත් ඇයගේ මේ නිහඩ බව මට දරාගත නොහැකි නිසාය. අඩුම තරමේ ඇය මගෙන් උදේට කෑවද කියා හෝ අහන්නේ නැත්තේ ඇයි..? පූර්ණිමාගේ ගෙදර ගිය දිනට පසු දින සවස මම තෑගි බෝගත් රැගෙන නිවසට ගොස් අයියාව හමුවී ආවෙමි. රැකියා ස්ථානය ගැන බොහෝ දේ කියන්නට තිබුණත් මා ඔහුට කීවේ අතරින් පතර තෝරාගත් දේවල් කිහිපයක් පමණි. අනතුරුව මම ජයවර්ධන අංකල් හමුවීමට ගියෙමි. මේ අනර්ඝ රැකියාව මට හොයා දුන්නේ ඔහුය. ඒවාට ගුරු පඩුරු දිය යුතුය. රුපියල් නමසිය ගණනක් වටිනා එමරල්ඩ් කමීෂයක් ඔහුගේ අතේ තබද්දී ඒ විඩාබර දෙනෙතට කදුලු උනා ආවේය.
"මිස්ටර් මැණික්දිවෙල කිව්වා කාංචන හුගක් හොදට වැඩ කරන් යනවා කියලා. මිනිහගෙ හිතට ඔයාව හුගක්ම අල්ලලා තියෙන පාටයි. හැමදාටම ඔහොම කරගෙන යන්න පුතා. ඒක ඔයාගෙ අනාගතේට හුගක් ඵල ප්‍රයෝජනවත් වෙයි.."
පියෙකු සේ අවවාද දෙමින් ජයවර්ධන අංකල් කීවේය. අම්මාත්, තාත්තාත් මියගිය පසු අයියාටත්, මටත් සිටි එකම හිතවතා වූයේ ඔහුය. දැනුත් තේරුම් ඇති අවධියේ පටන් ඔහු ගේ සිත රිදවන දෙයක් කිරීමට අයියාත්, මමත් බිය විණි.
"මෙතන මිනිස්සු වැඩ කරනවද, කල්පනා කරනවද කියලා මට තේරෙන්නෙ නෑ.. කල්පනා කරනවටත් පඩි ගෙවන්න වෙලා.."
මම උඩ විසිවී ගොස් බිම වැටුණෙමි. දවස් දෙක තුනක් පත්තු නොවී තිබූ වෙඩි මුරය ඉබේම වාගේ පත්තු වී ඇත. මම එක එල්ලයේම දිනූකා මිස් දෙස බැලුවෙමි. ලා රත් පැහැති ලිප්ස්ටික් උලා ඇති දෙතොල එකා කොනටත්, මෙහා කොනටත් ඇද කරමින් ඇය වෙනතක් බලා සිටියි. ඒ රත් දෙතොලේ ලිප්ස්ටික් ඉලිය යුතු නැත. ඒවා කොහොමත් රත් පැහැතිය.
"මි.. මිස් මට මොනවා හරි කිව්වද..?"
කියූ දේ ඇසුනා වුණත් මම හෙමින් සීරුවේ ඇයගෙන් ඇසුවෙමි. කතා නොකර දවස් ගාණක් සිටියාට මදි පාඩුවට හෝ අද කතා කළ යුතුය. සමහරවිට පලු පැලෙන්නට මට බැණ වදින්නට පුලුවන. ඒත් කමක් නැත. නිහැඩියාව හැරුණු කල වෙන ඕනෑම දෙයකට මගේ හිත කැමතිය. එකම එක කාමරයක් තුළට වී හිදින්නට ගල්බිල්ලන් සේ වචනයක්වත් කතා නොකර හිදීමෙන් මට මාවම එපා වනු ඇත. දිනූකා මිස්ට, මිස්ව එපාවනු ඇත.
"ඒ පාර කනේ ගොන්නු රිංගලද කොහේද.. ඇත්තටම මොන ලෝකෙද ඉන්නේ..?"
ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැත. අඩුම ගණනේ කාංචන කියන්නට බැරි නම් ඇත්තට තමුන් මොන ලෝකෙද ඉන්නෙ කියා අසන්නට ඇයට බැරිද..?
"මිස් මගෙන් මොනව හරි ඇහුවද..?"
කිසිවක් නොදන්නා කිරි සප්පයකු සේ මම ඇයගෙන් ඇසුවෙමි. මා හිතූ පරිද්දටම ඇයගේ මුහුණ ඇදවී ගියාය. යටිතොල හෙමින් සීරුවේ සපාගනිමින් ඇය කෙලින්ම මගේ මූණ දෙස බැලුවාය.
"තාත්තා මගෙත් එක්ක වැඩ කරන්න දාලා තියෙන්නෙ බීරෙක්ද කොහෙද.. ඉන්නවකො.. මං හොද වැඩක් කරන්නම්.."
ඇයගේ කතාවට මට බකස් ගා හිනාවක් යන්නට ආවද මම බොහොම අමාරුවෙන් සිනාව මැඩගත්තෙමි. ඒ සුරූපී මුහුණේ දැන් පිරි ඇත්තේ දැඩි අමනාප ගතියකි. ඇත්තටම ඇය මුහුණ එල්ලාගෙන සිටි විටත් ලස්සනය. එහෙත් ඇය කියූ හොද වැඩේ මොකක් වන්නට පුලුවන්දැයි මම කල්පනා කෙරුවෙමි. කෙසේ නමුත් පැයක්, දෙකක් ඉවත්ව ගියද ඇය කරනවායි කියූ හොද වැඩය නම් කරේ නැත. ඒ සම්බන්ධව වචනයක් හෝ මා හා කතා කරේ නැත. ඇය ඇයගේ පාඩුවේ මොකක්දෝ වැඩක යෙදී සිටියාය.
"මීට පස්සෙ මට නොකියා කොහේ හරි ගිහින් තිබුණොත් ඉන්ටර්ඩික් කරලා දානවා.. තේරුණාද..?"
කලින් වාරයේ මෙන්ම දිනූකා මිස් මෙවරද මා බලාපොරොත්තු නොවූ වේලාවක හිටි හැටියේම කීවාය. මම එවරද උඩ විසිවී ගොස් බිම වැටිණි. මා යන හැම ගමනක් බිමනක්ම ඇයට කියන්නට වුනොත් නම් මල විකාරයක් වනු ඇත. මොන අදහසක් හිතේ තියාගෙන ඇය එවැන්නක් කිව්වාදැයි කියන්නට බැරිය. සමහරවිට ඕකේ යටි අදහස් බර ගානක් තිබෙන්නට පුලුවන. ඇය මාව ඇත්තටම ඉන්ටර්ඩික් කරන්නට යනවා වෙන්න පුලුවන.
"මිස්ට කියන්න ඕනෙ ඔෆිස් එක ඇතුලෙ යන ඒවා විතරක් නේද..?"
ඇය කී දේ වඩාත් හොදින් තේරුම් ගැනීමට මම ඉතා යටහත්ව ඇසුවෙමි. සමහර වෙලාවට ඔවැනි ප්‍රශ්න වලටත් ඇයට ඇට්ටි හැලෙන්නට මල පනියි.
"නැත්තං... තමුන් හිතුවද ඔෆිස් වෙලාවෙන් පස්සෙත් තමුන් යන තැන් හොයන්න මට කැක්කුමක් තියෙනවා කියලා..? තමුන් හිතාගෙන ඉන්නෙ මං තමුන්ගෙ ගර්ල් ෆෙන්ඩ් කියලද..?"
ගහෙන් ගෙඩි එන්නා සේ ඇය මගේ මූණටම ඇසුවාය. මට කට උත්තරද නැතිවිය.
අනික ඇය දැන් මට කතා කරන්නේ අමුතු වචනයක් අල්ලාගෙනය. අර නඩුකාරයින් කතා කරන්නාක් මෙන් තමුන් කියා මට අමතයි. ඇයට විහිලුවකටවත් මගේ නම කියන්නට බැරිද..? ඇය සිටින්නේ මගේ නම බෙහෙතකටවත් නොදන්නා තාලෙටය.
"මං අහපු දේ තමුන්ට ඇහුණද..? මට ඒකට දැන් උත්තරයක් ඕන.. ඔව්.. මේ දැන්ම.."
අත්දෙකම මේසය උඩට වැරෙන් තද කර ගනිමින් දිනූකා මිස් කෑගැසුවාය. දැන් නම් ඇයට ඇට්ටි හැලෙන්නට මල පැන ඇති බැව් කියන්නට කිසිවෙකුත් අවැසි නැත.
"මං.. මං එහෙම හිතුවෙ නෑ මිස්.. මිස් වගේ ලොකු කෙනෙක් ගැන එහෙම හිතන්න මං කවුද..? මං දුප්පත් කොල්ලෙක් නේ මිස්.. මං මගේ තරම දැනගෙන ඉන්න ඕන.. එහෙම එකේ මං ගැන ඔය විදියට වැරදියට හිතන්න එපා මිස්.. මං මිස් යටතෙ වැඩ කරන්නේ, මිස් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න බලාපොරොත්තුවෙන්. මගේ බොස් විදියට මට මිස් ගැන තියෙන්නෙ ලොකු ගෞරවයක්. එහෙම තියෙද්දි ඔය මිස් කිව්ව වගේ දෙයක් ගැන මං හීනෙකින්වත් හිතන්නෙ නෑ.."
මම කියාගෙන කියාගෙන ගියෙමි. මදින් මද වෙනස් වන සුදු මුහුණේ සියලු හැඩතල හැම එකක්ම මගේ දෑසින් මග හැරුණේ නැත. ඝණ ඇහිබැමින් ආවරණය වුණු සොදුරු දෑස නැවතත් කෙලින්ම මදෙසට එල්ලවී තිබිණි. ඒ දෑසේ මොකක්දෝ ආගන්තුක ආරාධනාවක් තිබෙන බව දිව්රා කියන්නට මට හැකිය. එහෙත් මා එසේ කියන්නේ කාටද..?
"මං අද හවස් වරුවෙ එන්නෑ.. මෙතෙන්ට මට කෝල්ස් ආවොත් මගේ හෑන්ඩ් ෆොන් එකට ගන්න කියන්න.. තේරුණාද..?"
සුමුදු දකුණතින් නළල පැත්තක් තදින් මිරිකා ගන්නා ගමන් දිනූකා මිස් කීවාය. මීට ඩිංග වේලාවකට කලින් කරගෙන ගිය කතාව අතරමග නවතා වෙනත් දෙයක් ගැන කතා කරන්නට ඇයට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. මා සිතුවේ මා කී දේවල් අල්ලාගෙන දිනූකා මිස් ඒ කතාව දිගින් දිගටම යාවි කියාය. සමහරවිට ගර්ල් ෆෙන්ඩ් කතාවෙන් ඇයට අවාසි සහගත තත්වයක් ඇතිවන නිසා ඇය කතාවේ පීල්ල මාරු කරන්නට ඇත.
"මිස්ගෙ ඔලුව රිදෙනවද..?"
නළල් තලාවේ වම් පැත්තද ඇය අනිත් අතින් තදින් මිරිකා ගනිද්දී මම ඇසුවෙමි. සැණෙකින් සොදුරු දෑස නැවතත් මවෙතට යොමුවිණි.
"ඔව්.. තමුන් එක්ක කතා කරලා මගේ ඔලුව රිදෙනවා.."
එසේ කියමින් දිනූකා මිස් පුටුවෙන් නැගිට්ටාය. මාත් සමග කතා කිරීමෙන් ඔලුව රිදෙනවා නම් ඇයට තිබෙන්නේ මා සමග කතා නොකර හිදීම නොවේද.. එසේ නොකර සැරින් සැරේ මට කෙනෙහිලිකම් කරද්දී හරිනම් රිදෙන්නට ඕනෑ ඔලුව නෙමේය. කිසිදු තෙතමනයක් නැති ඇයගේ හදවතය.
"ම.. මං මිස්ට වැරැද්දක් කෙරුවෙ නෑ.."
මම හෙමින් සීරුවේ කීවෙමි. එහෙත් මා කී දේ නෑසුණාක් මෙන් ඇය බිම බලාගෙනම කාමරෙන් පිටවී ගියාය. ඇත්තටම දිනූකා මිස්ගේ හිත ක්‍රියා කරන්නේ කෙසේදැයි දැන ගැනීමට පුලුවන් නම් මේ දුප්පත් කාංචනට කරන්නට හැකි ඉහළම දේ පවා කරන්නට සූදානම්ය. එය එතරම් පරස්පර විරෝධි අදහස් ක්‍රියාත්මක කරන හිතකි. ඊළග තත්පරයේදී දිනූකා මිස් කරන්නට යන දේ සමහරවිට ඇයවත් නොදන්නවා විය හැකිය. කෙසේ වුවද ඇය කාමරයෙන් පිටවී ගියාට පසු මට දැනුණේ මොකක්දෝ නුහුරුම පාලුවකි. ඇය ගැල්වූ විලවුන් සුවද කාමරය පුරා විසිරී තිබිණි.
"අද මොකෝ තත්වේ..?"
දිවා ආහාරය ගැනීමට යාමේදි කොරිඩෝව මැදදී හමුවූ පුබුදු මගෙන් ඇසුවේය. ඔය අසන්නේ දිනූකා මින් ගැනය. කැන්ටිම ඇතුලට යනතුරුම සිදුවූ දෑ මම පුබුදුත් සමග කීවෙමි.
"මොනව වෙන්න එනවද කියලා මට හිතාගන්න බෑ. මොනව වුණත් උඹ කතා කරපු විදිය හොදයි. පුලුවන් නම් ඔයිට වඩා ඩිංගක් සැරෙන් කතා කරලා බලපං.. සමහරවිට වෙනස් දෙයක් වෙන්නත් පුලුවන්."
"ඒ කිව්වේ..?"
"උඹ ඔලුව පාත් කරන් ඉන්න ඉන්න දිනූකා මිස් උඹේ ඇගට ගොඩවෙනවා වැඩියි. ඒකයි.. මොනව වුණත් අර ගර්ල්ෆෙන්ඩ් කතාව නම් මට ඇල්ලුවෙ නෑ. ඒකෙන් පේන්නේ මිස් හදන්නෙ උඹව ටෙස්ට් කරගන්න කියලා.."
"ටෙස්ට් බැරිනම් වන්ඩේ වෙච්චාවි පුබුදු. මමත් දැන් ටික ටික මිස්ගෙ බැනුම් වලටයි, ඒවට ආපිටට දෙන උත්තර වලටයි පුරුදු වෙලා. ඒක නෙමේ.. මොකද අද පූර්ණි පේන්න නැත්තේ..?"
දිනූකා මිස් ගැන කතා කරන්න යෑමේදී පූර්ණිමා ගැන කතාබහ කිරීම අඩපණ වෙයි. දිනූකා මිස් හවස් වරුවේ නොඑන නිසා අද නම් මට නිදහසේ පූර්ණිමාත් සමග කතාබහ කිරීමට පුලුවන් වනු ඇත. සියල කටුද දෑ මැඩගෙන මගේ සිතට සියුම් සතුටක් හෙමින් සීරුවේ ගලා ආවේය.
"ඒකත් එක කේස් එකක් කාංචන.. මට තේරෙන විදියට නම් පූර්ණිමා ඉන්නෙ සෑහෙන අප්සට් එකකින්. කොටින්ම අද උදේ මං කතා කරලත් කතා කෙරුවෙ නෑ. අහක බලන් හිටියා. කම්පියුටර් සෙක්ෂන් එකේ කොල්ලො ඉස්සරහ, මට මාර නෝන්ඩිය.."
"පුබුදුගේ කතාව මට අලුත් ආරංචියකි. මෙතුවක් දවස් හොදට සිටි පූර්ණිමාට හදිසියේ වූයේ කුමක්ද..?"
"ගෙදර ප්‍රශ්නයක් ද දන්නෑ නේද පුබුදු..?"
පූර්ණිමාගේ පැත්තට ඩිංගක් හෝ කතා කළ යුතු නිසා මම ඇසුවෙමි. එහෙත් පුබුදුගේ මුහුණේ තිබුණේ නොපහන්කාරී බැල්මකි. ඔහුගේ සිත රිදී තිබෙන බැව් එයින් නිසැකවම වටහා ගත හැක.
"ගෙදර නෙමේ, ලෝක ප්‍රශ්නයක් වුණත් අපි පලි නෑ නේ කාංචන.. එයාගෙ ඕනම ප්‍රශ්නෙකට අපි ඉන්නවා කියලා එදා ප්‍රොමිස් කරල තියෙද්දිත් එයා ඒ හැසිරුණ විදිය නම් ඒතරම් හොද නෑ. මොනව වුණත් අපි හොද යාලුවො වගේ හිටියනේ.."
"සමහර විට එයාට ඇහුණේ නැද්ද දන්නෑ.."
"පූර්ණිමා බීරියෙක් නෙමේනේ කාංචන.. මං කතා කරපු එක එයාට ඇහුණා. ඒක මට හොදටම විශ්වාසයි.."
අනතුරුව දිවා ආහාරය ගෙන අවසන් වනතුරුම මමත්, පුබුදුත් ඒ ගැන වචනයක්වත් කතා නොකළෙමු.
"ආයෙ ඔෆිස් එකට යන්න කලින් මම පූර්ණිමාව හම්බවෙන්නම්.."
කවුන්ටරයට පුබුදු මුදල් ගෙවද්දී මම කීවෙමි. එහෙත් එයට ඔහු කිසිවක් කීවේ නැත. අර මුලින් තිබූ නොපහන්කාරී හැගීම ඒ වනවිටද ඔහුගේ මුලු මුහුණ පුරාම රැදී තිබිණි. සමහරවිට පූර්ණිමා මා සමග ද කතා නොකර සිටින්නට පුලුවන. එසේ වුවහොත් නම් සිදුවන්නේ වස ලැජ්ජාවකි. ඉදිරියට හමුවූ පළමු කොරිඩෝවෙන්ම පුබුදු හරී යද්දී මම කම්පියුටර් සෙක්ෂන් එක පැත්තට ඇවිදන් ආවෙමි. බොහෝ දෙනෙකු දිවා ආහාරය ගැනීමට ගොසි සිටි බැවින් අංශය පුරාම පැතිරී තිබුණේ පාලුවකි. මුදල් පරිපාලනය කෙරෙන පැත්තේ තිබූ දිග මේසයක අයිනක ඔලුව තබාගෙන දෑස පියා සිටින පූර්ණිමාව මම ඈතටම දැක්කෙමි. දවල්ට කන්නෙවත් යන්නැතුව මේ කෙල්ල කරගන්නට යන්නේ මොනවාද..? මම හෙමින් සීරුවේ ඇයට ළංවී ඇය ඉදිරියේ වූ පුටුවෙන් වාඩිවුණෙමි. සැනෙකින් පූර්ණිමා හිස උස්සා මදෙස බැලුවාය. ඇඩීමෙන්දෝ රතු වී තිබූ දිගු දෑසේ පිරී තිබුණේ පුදුමයකි.
"ඇයි අපිට මෙහෙම කරන්නේ..?"
ඇය කතා කරන්නට කලියෙන් මම කතාව පටන් ගත්තෙමි. කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව නම් පැහැදිලිය. මේ රතුවී ඇති අසරණ දෙනෙත එය පැහැදිලි කරන සාක්ෂියකි.
"ම.. මං මොනවද ඔයාලට කරේ..?"
හුරතල් කටහඩ ගොරෝසු වී තිබිණි. හිටි ගමන් ඇයට මේ සිදුවී ඇත්තේ කුමක්ද..? පෙරේදාත් අපි තිදෙනා එකට එක්ව කතාබහ කලා නොවේද..?
"ඔයා අද ලන්ච් එකට ආවෙ නෑ. පුබුදු උදේ ඔයාට කතා කරලත් ඔයා කතා කරලා නෑ. බලන්න, හැමෝම ඉස්සරහ ඒ වගේ දෙයක් කලාම පුබුදුට කොයි තරම් ලැජ්ජාවක්ද කියලා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න.. මං පුලුවන් දෙයක් කරන්න බලන්නම්. එහෙම නැතුව අපිත් එක්ක කතා කරන්නැතුව. කන්නෙ නැතුව ඉදල වැඩක් නෑනේ.. ආ.."
දිගු හුස්මක් පපුව ඇතුළෙන්ම ගෙන පූර්ණි මාවත් පා කරගෙන යන තරමේ වේගයකින් එළියට පිට කලාය. තියෙන ප්රශ්නයේ තරම මම එයින්ම මැන ගත්තෙමි. එහෙත් ඇය සිටියේ කිසිම දෙයක් නොකියන්න අදිටන් කරගෙන වාගේය.
"ප්ලීස් කාංචන.. මට කරදර කරන්නෙපා.. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න. මට කිසි ප්‍රශ්නයක් නෑ. අද ලන්ච් වලට ආවෙ නැත්තෙ මට බඩගිනි නැති හින්දා. අනිත්තෙක දිනූකා මිස් ආවොත් ඔයාට ප්‍රශ්නයක් වෙයි කාංචන.."
මා ඇයගේ ළගින් එලවා දැමීමට ඇය සතු ප්‍රබලම අවිය පූර්ණිමා භාවිතා කළාය.
"මිස් ආවට කමක් නෑ.. හිටපු ගමන් ඔයාට මේ වෙලා කියෙන්නෙ මොකක්ද කියලවත් මට කියන්න.."
"ම.. මට මුකුත් වෙලා නෑ කාංචන.. ම.. මං හොදින් ඉන්නවා.. ඔයා පුබුදුට කියන්න මගෙත්තෙක්ක තරහා වෙන්න එපා කියලා. මං ඔයාලට වැරැද්දක් කලේ නෑ.."
"ඒ කියන්නෙ අපි ඔයාට වැරැද්දක් කලාද..?"
පූර්ණිමාගේ කතාවෙන් තේරුණේ එවැනි දෙයක් නිසා මම ඇයගෙන් කෙලින්ම ඇසුවෙමි.
"එහෙම දෙයක් නෑ කාංචන.. අපි ඔය ගැන පස්සෙ කතා කරමු.. දැන් ඔයා යන්න.. නැත්නම් මට ප්‍රශ්න වැඩිවේවි.."
"ඔයාට දිනූකා මිස් මොනව හරි කිව්වද..?"
කුමක් හෝ දෙයක් සිදුවී ඇති බැව් පැහැදිලි වුවද එය කුමක් අරඹයාදැයි මම නොදැන සිටියෙමි. වෙන්නට පුළුවන් එකම ප්‍රහාරය ගැන මම පූර්ණිමාගෙන් ඇසුවේ එබැවිනි.
"ප්ලීස්... කාංචන...."
පූර්ණිමා නැවතත් මේසය මත හිස තබා ගත්තාය. තවත් දුරට මෙතැන හිදීමෙන් තේරුමක් නොවන බැව් සිතට දැනෙද්දී මම පුටුවෙන් නැගිට්ටෙමි.
"ඔයාගෙ හිතේ තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා මං දන්නෙ නෑ. ඕත් මං හැමදෙයක්ම කලේ ඔයා වෙනුවෙන් කාංචන කියලා කියපු ඔයාගෙ මේ වෙනස් වීම නම් මගේ හිතට හුගක් දුකයි.. කමක් නෑ.. කොයි වෙලාවක හරි මගෙන් උදව්වක් ඕන කියලා හිතුනොත් මගේ ළගට එන්න දෙපාරක් හිතන්න එපා. මොකද ඔයා මගේ හිතේ ඉන්නවා."
හනික මම කොම්පියුටර් අංශයෙන් පිට වී ආවෙමි. තවත් මා රැදී සිටියා නම් මොනවා කියාවිදැයි මම දන්නේ නැත. පුබුදුත් සමග මම පූර්ණිමාගේ නිවසට ගොස් හෝ ඇයගේ ප්රශ්නය කුමක්දැයි සොයා ගත යුතු බැව් මම හිතාගත්තෙමි. කාර්යාලීය කාමරයේ දොර විවර කරද්දීම කාමරය තුලින් දැඩිව හමා ආවේ දිනූකා මිස්ගේ පර්ෆියුම් සුවදය.
මම කාමරය පුරාම දෑස යැව්වෙමි. දිනූකා මිස් ළගින් දැනෙන පර්ෆියුම් සුවද වඩා තදින් දැන් මට දැනේ. අඩුම තරමේ මා කාමරය තුළට පැමිණෙන්නට තත්පරයකට දෙකට කලින් හෝ දිනූකා මිස් මේ කාමරය තුළ සිටී බවක් මගේ සිත කියයි. එහෙත් ඇය කාමරයෙන් පිටව ගියේ මා දිවා ආහාරය ගැනීමට යාමට පෙර නෙවේද..? මෙතන නම් මොකක් හෝ අමුතු ආකාරයේ දෙයක් තිබෙන බැව් මගේ සිතට දැනෙයි. එහෙත් සිතට නොතේරෙන්නේ ඒ කුමක්දැයි කියාය. සිතට හදිසියේ ආ සැකයක් නිසා මම පහත් වී කාමරයේ සෑම තැනක්ම පරික්ෂා කෙරුවෙමි. එහෙත් සිතට ගැළපෙන තාලේ උත්තරයක් මට ලැබුණේ නැත. හිත කියන්නේම දිනූකා මිස් කොහේ හෝ සිට මගේ දෙස බලා සිටින බවය. ඇත්තටම එය කොහේ සිට වෙන්න පුලුවන්ද..? සමහර විට මෙය මගේ සිතේ උපන් මනස්ගාතයක් වන්නට ඇත. පුබුදුට මෙය කීවොතින් ඔහු නිසැකවම සිනාවෙනු ඇත.
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12362057
අනෙක් අතට පූර්ණිමාට සිදු වී ඇත්තේ කුමක්දැයිමට තේරුම් ගන්නට බැරිය. ඇය මට කිසිදු අවස්ථාවක් නොදීම කතාබහ නතර කර දැමුවාය. සමහරම විටක ඇයට දිනූකා මිස් කුමක් හෝ කියන්නට ඇත. මා සමග කතා කරන්නට එපා කියන්නටද ඇත. ඒත් එසේ කිරීමෙන් දිනූකා මිස්ට අත්වන ලාබ ප්‍රයෝජනය කුමක්දැයි මට නම් නොතේරේ. මේ හැම දෙයකටම දිනූකා මිස් සම්බන්ධ නම් ඇය මේ නටන්නට හදන නාගඩම කුමක්දැයි කියා මට සිතාගන්නටවත් බැරිය. කල්පනා කර වැඩිවීම නිසාදෝ මගේ ඔලුවත් රිදෙන්නට පටන් ගත්තේය. එම නිසා මේසය මත හිස ගසාගෙන මම දෑස් පියා ගත්තෙමි. දෑස් පියා ගත්තේද සිත ඉදිරියේ මතු වන්නේ දිනූකා මිස්ගේ සොදුරු දෑසය. ඒ සුදු මුහුණේ ඇති ලස්සනය. කවි සිතුවිලි දහසක් සිතට නැගෙන හැඩකාර අග පසගය. මා කොතෙක් වේලා මේසයට ඔලුව තබාගෙන සිටියාදැයි කියන්නට මා දන්නේ නැත. සමහර විට මා සිටින්නට ඇත්තේ අඩ නින්දක වෙන්නට පුළුවන.
කාමරය පුරාම පිරී ඉතිරී තිබුණේ මහා විශාල වූ පාළුවකි. එහෙත් මදින් මද දිනූකා මිස් වෙතින් හමන පර්ෆියුම් සුවද කාමරය පුරා වැඩිවෙද්දී මම හෙමින් සීරුවේ ඇස් හැරියෙමි. කාමර පුරා වැඩි වෙනසක් නැත. එහෙත් මා ඊගාවට දුටු දෙයින් මට පුදුම නොවී සිටින්නට බැරි විය. ලොකු කුෂන් පුටුව මත වාඩි වී එක එල්ලයේම දිනූකා මිස් මා දෙස බලා සිටියාය. මම හනික කෙලින් වී පුටුවේ නියම පරිද්දට වාඩි වූයෙමි. දෙවියනේ.. ඇය මොන වේලාවක මෙතෙන්ට පැමිණේන්නට ඇත්ද..? අඩුම තරමේ කාමරයේ දොර විවර වෙන හඩවත් මට ඇසුනේ නැත.
"තමුන්ට පඩි ගෙවන්නෙ ඔෆිස් එකට ඇවිල්ලා නිදා ගන්නවටද..? ආ.."
මට කියන්නට දෙයක් තිබුණේ නැත. දැන්නම් නප්පියටම බැනුම් අසන්නට වෙන බව ආයේ දෙකක් නැත. මම පුළුවන් තරම් අහිංසක මූණක් හදාගෙන දිනූකා මිස් දෙස අසරණව බැලුවෙමි.
"ම.. මගේ ඔලුව රිදෙනවා මිස්..."
නිහඩව සිටීමෙන් සිදුවන්නේ අසනා බැනුම් තවත් වැඩිවන එකය. මම කටට ආ දෙය කියා බිම බලා ගත්තෙමි.
"ඔලුව තියා මොකක් රිදුනත් කමක් නෑ.. මෙතන වැඩ කරන්න බැරි නම් ගෙදර යනවා.. හොදට මතක තියාගන්නවා.. තමුන්ට මේ කම්පැනියෙ රූම් එකක් දීලා තියෙන්නේ වැඩ ඉවර වුණාම නවතින්න.. එහෙම නැතුව එක එක තැන්වල රවුම් ගහලා ඔලුවෙ අමාරු හදාගන්න නෙමෙයි තේරුණාද..?"
හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට ඇය කඩාගෙන පැන්නාය. දිනූකා මිස් මේ කියවන්නේ මොනවා ගැනද..? මා පූර්ණිමාගේ නිවසට ගිය එක ගැනද..?
"ම.. මං කොහේවත් ගියේ නෑ මිස්.."
මම පුළුවන් තරම් යටහත්ව කීවෙමි.
"ගියේ නෑ.. ගියේ නෑ.. තව බොරු කියන්නත් එනවා මෙතන. ඇත්තමයි.. ඇත්තමයි.. මට හිතෙන්නෙම තමුන්ව අයින් කරලම දාන්න. ඇත්තටම මගේ ඔලුවත් රිදෙනවා තමුන් හින්දා.."
ඇය තවත් මොනවදෝ දිග හෑල්ලක් කියාගෙන කියාගෙන ගියාය. එහෙත් ඒවායින් මට ඇසුණේ අතරින් පතර වූ වචන කිහිපයක් පමණි. බූරුවෙක්, මැට්ටෙක්, හිතක් පපුවක් නැති ගොන් ගහක්.. ඔය වගේ වචන කීප සැරයක්ම කියැවුණි. ඇත්තටම ඇය මෙසේ මා හට කඩා පනින්නේ මන්දැයි මට සිතාගන්නට බැරිය. එක්කෝ දිනූකා මිස්ට මොළේ අමාරුවකි. එහෙමත් නැත්නම් මේ සියලු කුණු බැනුම් අසා ගෙන මෙතන ඉන්නා මට මොළේ අමාරුවක්ය.
"මි... මිස්ට මා... මාව කරදරයක් නම්... මාව වෙන තැනකට දාන්න මි.. ම.. මං වැරැද්දක් කරන්නෙ නැතුව මේ විදියට මට බනින්නෙ ඇයි මිස්.. මං මිස්ට මොන වරදක් කරාටද..?"
"වෙන තැනකට නෙමේ.. තමුන්ව ගෙදරම යවන්න තියෙනවා නම් මං කැමතියි. ඒත් කොයි වෙලාවෙත් තාත්තා ඉන්නෙ තමුන්ගෙ පැත්තේ. ඒකයි මුකුත් කරන්න බැරි..."
දැන් ඇයගේ වාග් මාලාවේ මට ආමන්ත්‍රණය සදහා තමුන් යන වචනය රෙජිස්ටර් වී ඇතුවාක් වැනිය. ඒ නිසා මමත් එයම භාවිතා කරන්නට පටන් ගත්තෙමි.
"දැන් මිස් කියන්නේ තමුන්ට මොනව කරන්න කියලද කිව්වොත් මට ලොකු උදව්වක් මිස්.. මිස් කියන විදියට වැඩ කරන්න තමුන් පොරොන්දු වෙන්නම්.."
මම, මට යන වචන වලට තමුන් යොදවා මම කීවෙමි. දිනූකා මිස්ගේ දිගු දෑස මදක් විසල් විණි.
"තමුන් මාව විහිලුවකට ගත්තද..?"
පුටුව පසෙකට තල්ලු කර දමා නැගිටීමෙන් දිනූකා මිස් කෑගැසුවාය. ඇය මේ කරන්න හදන්නේ කුමක්ද..? කිසිවක් හිතා ගන්නට බැරිව මම ඇය දෙසම බලා සිටියමි.
"න්... නෑ... මිස්..."
"නැත්තෙ නෑ.. තමුන් මාව විහිලුවකට අරගෙනයි තියෙන්නේ..."
"නෑ මිස්.."
"නැත්නම් එනවා මෙතෙන්ට..."
එය කෙලින්ම විධානයකි. කිසිම ඇදක් කුදක් නැත. කුමකින් කුමක් සිදුවේදෝ යන සැකයෙන් යුතුව මම ඇය කරා ගියෙමි.
"ඇයි මං එපා කියන දේවල් කරන්නේ..?"
මෙතුවක් වේලා කතා කළ ස්වරයට වඩා හාත්පසින්ම වෙනස් වූ හඩකින් ඇය ඇසුවාය. ඒ කටහඩේ තිබූ ලගන්නා සුලු බවට, ආදරණිය බවට, ශෝකී බවට මම වශී වී ගියෙමි.
"මං.. මං ඔලුව උස්සගෙන හිටියෙ නැත්තෙ ඇත්තටම ඔලුව රිදුනු හින්දා මිස්.. මිස් එපා කිව්ව දේවල් මං කරලා නෑ.."
"මං මේ කතා කරන්නේ ඔලුව රිදිල්ලක් ගැන නෙමෙයි. ඇයි පූර්ණිමාලහ ගියේ...?"
ඒ වනච අකුණු සැරයකටත් වඩා ප්රබලය. මෙතුවක් තිබූ සොදුරු බව දැන් ඒ කටහඩේත් මුහුණේවත් නැත. කියාගත යුත්තේ කුමක්දැයි නොදැන මං ඔහේ බලා සිටියෙමි..
"මං අහපු දේ තමුන්ට තේරුණාද..?"
"ඔ.. ඔව් මිස්..."
"එහෙනම් උත්තර දෙන්න බැරි කමක් නෑ නේ.."
"පූර්ණිමා බර්ත් ඩේ එක කිව්වට පස්සෙ නොගිහින් ඉන්න බෑනේ මිස්.. එයා මගෙත් එක්ක වැඩ කරන ළමයෙක් හිනිදා මං ගියා.. එහෙම ගියපු එක වැරදිද කියලා මං දන්නෑ මිස්.. මිස් කියනව නම් මං ආයෙත් නොගිහින් ඉන්නම්.."
මේ ප්රශ්නයේ අගක් මුලක් නොදන්නා නිසාම මං යාප්පුවෙන් කතා කොට වැඩේ ඉක්මනට බේරා ගැනීමට උත්සාහ ගත්තෙමි.
"ආයෙත් නොගිහින් ඉන්න තව අවුරුද්දක්වත් ඉන්න ඕන.. හොදට මතක තියාගන්නවා.. මං මේක ලේසියෙන් අතාරින්නෑ.. තමුන්ව කැමතිද පූර්ණිමාව මේ කම්පැණි එකෙන් අයින් කරනවට..?"
"න්... නෑ... මිස්..."
"එහෙනම් ඔයිට වඩා පරිස්සම් වෙනවා. නැත්නම් තමුන් කරන වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නෙ වෙන කාටවත්.. අන්න ඒකවත් තේරුම් ගන්නවා.. හරිද..? දැන් යන්න පුළුවන්.."
කිසිදු තෙතමනයක් නොමැති හඩකින් ඇය කියාගෙන කියාගෙන ගියාය. මට කියන්න කිසිවක් නොතිබූ නිසාම මම බිම බලාගෙනම මේසය කරා ආවෙමි. අනේ දෙවියනේ මේ කඩාගෙන පාත්වෙන්නට යන්නේ කවරනම් නස්පැත්තකියක්ද..? මෙතන සේවයට ඇවිත් එකදු දිනයක්වත් මට සතුටින් රාජකාරි කටයුතු කරන්නට ඉඩක් ලැබුණේ නැත. හැමදාම ඇසුණේ කටුක බැනුම්ය. ඉවසන්නට බැරි තරම් වූ කෙනිහිලිකම්ය. බලාගෙන සිටියත් වැරදිය. වාඩිවී සිටියත් වැරදිය. වැඩ කලත් වැරදිය. ඔලුව ගසාගෙන සිටියත් වැරදිය. කල්පනා කලත් වැරදිය. දැන් බලාගෙන ගියාම හරි දෙය කුමක්දැයි මට අසන්නට වෙන්නේ දෙවියන්ගෙන්මය. මන්දයත් මේ සියලු චෝදනා කරනා දිනූකා මිස්වත් හරි දෙය කුමක්දැයි මට කියා දෙන්නේද නැති නිසාය.
"මට නම් රස්සාව තිත්ත වෙලා පුබුදු."
රාත්‍රියේ කෑම ගන්නා අතරතුරේදී මම පුබුදුට කීවෙමි. ඔහු වහා හිස උස්සා මදෙස බැලුවෙමි.
"ඇයි අද මොකක්ද වුණේ..?"
"දිනූකා මිස් මට හොදටම බැන්නා පූර්ණිමාලහ ගියාට.. පූර්ණීමාවත් අයින් කරනවා කිව්වා කම්පැණි එකෙන්.."
දිවා ආහාරයෙන් පසුව සිදු වූ දෑ අකුරක්වත් අඩුපාඩුවක් නැතුව මම පුබුදුට කීවෙමි. ඔහුගේ මුහුණ බලාගෙන ඉදිද්දීම වෙනස් වී ගියේය.
"යකාගෙ කතාවක්නේ බං ඒක.. දිනූකා මිස් කොහොමද ඔයාට තර්ජනය කරන්නේ පූර්ණිමාලගෙ ගෙදර යන්න එපා කියලා.. අනික එයා දන්නෙ කොහොමද අපි එහේ ගියා කියලා.."
පුබුදු එසේ අසනා තුරුම මට ඒ වගක් සිහිපත් වූයේ නැත. ඇත්තටම එය නම් සිතා බැලිය යුතු කාරණයකි.
"මටත් හිතාගන්න බෑ පුබුදු.. අනික මං මොන දේ කෙරුවත් මිස්ට පේන්නෙ වැරදියටමනේ.. කොටින්ම අද හවස් වරුවෙ එන්නෑ කියලා ගිහිල්ලත් ආයෙත් ආවා.. ඔයාට කිව්වට විශ්වාස කරන එකක් නෑ පුබුදු.. මිස් කාමරේ ඇතුළට එන්නෙ කිසිම සද්දයක් නැතිව.. හරියටම එක පාරට අහසින් බහිනවා වගේ.. යන්නෙත් එහෙමයි.. අනිත්තෙක මිස් කාමරේ නැති හුගාක් වෙලාවට මට හිතෙන දෙයක් තමයි කාමරේ කොහේ හරි තැනක ඉදලා මිස් මගේ දිහා බලන් ඉන්නවා කියලා.. ඒත් ඒ දේටම් ස්ථීර පදනමක් නෑ.."
"ඔයා කියන දේවල් බලන් ගියාම දිනූකා මිස්ට එකපාරටම අතුරුදන් වෙන්නයි, ආයෙත් එක පාරටම පෙනී ඉන්නයි බලයක් තියෙනවද කියලත් සැකයක් තියෙන්න පුළුවන්. ඒත් මට නම් හිතෙන්නෙ මෙතන ඊට වැඩිය මොකක් හරි ලොකු හුටපටයක් තියෙනවා කියලා.. මොනවා උනත් පරිස්සම් වෙන්න.. පරිස්සම් වෙලා රස්සාවත් පරිස්සම් කරගන්න.."
අවසානයට පුබුදු කීවේ එවැන්නකි. ඒ වදන් දිගේ සිත කිහිප විටක්ම එහෙ මෙහේ දුවද්දී මගේ දෑස නිදිබරින් පිරිණි.
*********************************
හදිසියේම වාගේ පිටරටකින් බතික් ඇනවුම් කීපයක් ලැබීම නිසා හිතා ගන්නටවත් බැරි තරමට මම කාර්යයබහුල විමි. ඒ තත්වය ඇත්තෙන්ම මට පමණක් උදා වූවක් නොවන්නාක් බැව් සිතට දැනුණේ ආයතනයේ බොහෝ දෙනෙකු පස්ස කඩා දැමූ කඩියන්ට වඩා වේගයෙන් දුව පැන ඇවිද වැඩ කරනු දුටු විටය. අඩුම තරමේ මට පුබුදුත් සමග වුවද කතා කිරීමට ඉඩක් ලැබුනේද රාත්‍රී කාලයේදී නවාතැනට ගිය විටදීය. කොතරම් රාජකාරි කටයුතු බහුල වුවත් අවස්ථාවක් ලද විදගස දිනූකා මිස් සුපුරුදු පරිදි දිනූකා මිස් මගේ ඇගට කඩා පැන්නාය. වෙනදා පුරුද්දටම මම ඒ හැම දෙයක්ම ඉවසා දරා සිටියෙමි. වැඩ කටයුතු අධික වීමත් සමගම පූර්ණිමා මගෙන් තව තවත් දුරස් වන්නට වූවාය. ඇයට අවශ්‍යව ඇත්තේ මා මග හැරීමට පමණක් බැව් මම පසුව අවබෝධ කරගත්තෙමි. සියලු කටයුතු යම්කිසි න්‍යායකට අනුව ඔහේ සිදු වී යද්දී දිනූකා මිස්ගේ හිත අභ්‍යන්තරයට එබී බැලීමට දිනක් මට පුංචි ඉඩකඩල් ලැබිණි. එයද වූයේ දිනූකා මිස්ගේ වරදකිනි.
ඉතා විශාල තිර රෙද්දක මැද හරියෙන් මම දැවැන්ත හස්ති රාජයෙකු ඇද අවසන් කර සිටියෙමි. දෙපැත්තකින් ඇද දළ දෙක හස්තියාට ගෙන ආවේ අමුතුව ආඩම්බරයකි. පසු තලයට වර්ණ යෙදීමට පෙර ටොයිලට් එකට ගොස් ඒමට මම සිතාගත්තෙමි. මුත්‍රා බරක් දැනෙන්නට පටන් ගෙන දැන් පැය බාගයකටත් වඩා වැඩිය. තීන්ත හා ලැකර් මේසය මතම තිබෙන්නට හැර මම දිනූකා මිස් දෙස බැලුවෙමි.
කාමරයෙන් පිටවී යන්නේ නම් ඇයට කියා යා යුතුය. එහෙත් ඇය බර වැඩකි. බර වැඩක් වුවත් කෙසේ හෝ කිව යුතුය. නැතිනම් මෙතන මහා කලබැගෑනියක් වනු ඇත. වැඩ අධිකව තිබූ කලින් දවසකදී ඇයට නොකියා ටොයිලට් ගොස් පැමිණ මම කප්පරයක් බැනුම් ඇසුවෙමි. ඒ නිසා තවත් එවැනි බැනුම් තවත් නිකමට හො ඇසිය යුතු නැත. හොදම දේ ඇයට කියා ටොයිලට් එකට යෑමය. මා කිහිප වතාවක්ම දිනූකා මිස් දෙස හැරි හැරී බැලුවද ඇය ඔලුව උස්සන පාටක් නම් නැත. කතා කර බාධා කලොත් ඇට්ටි හැලෙන්නට බැණ වදී යැයි සිතෙන තරමට ඇය බර වැඩකය. එහෙත් කතා නොකර සිටීමටත් බැරිය. තවත් මෙහෙම ඉවසා සිටියෝතින් මුත්‍රා බොක්ක පුපුරාවත් යනු ඇත. මේ කාළකන්නි මුත්‍රා බර මේ වෙලාවටම ආවේ ඇයි..? මම හිතට ධෛර්යය ගෙන ඇයට කතා කෙරුවෙමි.
"මි... මිස්...?"
තත්පරයක් දෙකක් ගෙවී ගොස් ඇයගේ හිස ඉහලට එසැවිණි. සුපුරුදු නොපහන්කාරී බැල්ම ඒ නිල් මහනෙල් මල් වැනි ඇස්වල සටහන් වී තිබිණි. මෙය නම් සසර පුරා පතාගෙන එන වෛරයක් විය යුතුය. නැතිනම් ඇය මේ තරමට මාව පිළිකුල් කරන්නේ ඇයි..? අහන්නට ගිය ප්රශ්නය ආයෙත් අහන්නට නම් ටවුමේ යකඩ බඩු කඩෙන් ගට කිලෝ දෙක තුනක්වත් ගිල දැමිය යුතුය.
"මොකක්ද ප්‍රශ්නේ..?"
ඒ කටහඩේ ඇත්තේ අකුණු සැරටත් වඩා වැඩි වේගයකි..
"ම.. මං ටොයිලට් එකට යන්න කියලා.."
"ඉතිං මට මොකක්ද කියන්නේ..? ටොයිල්ට් යනවා නම් යනවා එතෙන්ට.."
මා සිතූ පරිද්දටම ඇය කඩාගෙන පැන්නාය. කලින් දවසේ ඇයට නොකියා ගොස් හොදටම බැනුම් ඇසුවෙමි. දැන් කියා අහවර වූ විටත් බැනුම්ය. මේ අවනඩුව කියන්නට ඕනෑ දෙවියන්ටමය. වෙන කාටවත් කියා පලක් නැත. කියා ගියත් වැරදිය. නොකියා ගියත් වැරදිය. යන තැන කිව්වොත් හොදටම වැරදිය. ඇත්තටම මා නම් සිටින්නේ ගිරේකට අසු වූ පුවක් ගෙඩියකටත් වඩා අන්ත අසරණවය. කොයි වෙලාවේ දෙකට කැපී බිමට වැටේවිදැයි කියන්නට බැරිය.
"තවත් මොනව බලන් ඉන්නවද මංදා.. ටොයිලට් එක තියෙන්නෙ මෙතනද..?"
ගිරිය පුප්පාගෙන දිනූකා මිස් කෑ ගැසුවාය. තත්පරේට දෙකට මම කාමරයෙන් එළියට පැන ගත්තෙමි. බුදු අම්මේ.. ඔයින් ගියා මැදැයි මට සිතිණි. අහලක කිසිවෙකු නොසිටියේ නම් මගේ පෙර වාසනාවකටය. පුබුදු උනත් සිටින්නේ බොහෝ ඈතකය. මේ සිද්ධ වෙන දේවල් ඔහුටවත් කියන්නට බැරිය. අඩුගානේ දිනූකා මිස්ගේ කාමරයට එළියෙන් මේසයක් හා පුටුවක් දමාගෙන සිටියෝතින් හොදයි යැයි මට සිතෙන්නට ගත්තේ මීට දවස් ගණනාවකට කලින් සිටය. මොනව වුනත් මා දැන් අදිමින් සිටි සිතුවම මැණික්දිවෙල මහතාට මුලින්ම පෙන්විය යුතු යැයි මම සිතා ගත්තේ ටොයිලට් එකට යන අතරතුරේදීමය.
සියලුම වර්ණ ගන්වා අවසන් කල වහාම ඔහුට එය පෙන්විය යුතුය. මැණික්දිවෙල මහතා මාව අගය කරනු ඇත. දිනූකා මිස්ට නම් විහිළුවට වත් නොපෙන්විය යුතුය. පෙන්නුවෝතින් ඇය නිසැකවම මුහුණ ඇඹුල් කරගනු ඇත. සිත මෙන්ම ගත ද නිදහස් කරගෙන මම නැවත කාමරයට ආවෙමි. දිනූකා මිස් තවත් මා හට බනින්නට සූදානමෙන් සිටිනවාදැයි මා දන්නේ නැත. ඇයගේ බැනුම් ඒ තරමටම මා හට දැන් හුරු පුරුදු වී අවසානය. හොරැහින් දිනූකා මිස් දෙස බලමින් මම කාමරයට ඇතුලු විමි. ඇය සිටියේ මේසය මතට අත්දෙක තබා ඒ මත හිස තබාගෙනය. සමහර විට මගේ මුහුණ දකින්නට ඇති අකමැත්ත නිසා වන්නට ඇත. මේසය ළගට ගොස් සිතුවම දෙස නිකමට මෙන් බලද්දී මගේ ඉහමොළ රත්විණි. එතන ඇති සිතුවමක් නැත. හස්තියෙකුද නැත. කළු පාට තීන්ත පාරවල් බොහෝ ගණනක් චිත්‍රය මත එයා මෙහා ගොස් තිබිණි. පපුව හෝස් ගා පත්තු වෙද්දී මගේ සිතට ආවේ කියාගත නොහැකි මහා දුකකි. තත්පරයට දෙකට මහා කදුළු වැලක් ඇස් දෙකම වසා ගත්තේය.
මෙය නම් කවරෙකු හෝ හිතාමතාම කළ නින්දිත වැඩක් බව සහතිකය. තවත් නම් ඩිංගක්වත් බලා සිටින්නට බැරිය. මේ තරම් දවසක් නපුංසකයෙක් ලෙසට සියල්ල ඉවසා වදාරා සිටි කාලය හොදටම ඇතිය. මා ටොයිලට් එකට ගොස් ආපසු පැමිණෙන්නට ගත වූ සුලු කාලය අතරතුර මේ නොසන්ඩාල වැඩේ කර යන්නට ආයතනයේ කිසිවෙකුටත් හැකියාවක් නැත. මෙය නම් දීනූකා මිස්ගේම වැඩක් බව සිතට තත්පරෙන් තත්පරේ වැටහෙද්දී අලුතින් උපන් කදුලු බිංදු වලින් මගේ කම්මුල් ආයෙත් තෙමී ගියේය..
"මි... මිස්.. දි.. දිනූකා මි... මිස්..."
ගැහි ගැහී තිබූ හදවතත් සමග මම දිනූකා මිස්ගේ මේසය ඉදිරියට ආවෙමි. හිතේ දෙගොඩ තලා යන දුක නිසාම හරියට වචන කියැවෙන්නේද නැත. ඇස් දෙකෙන් කදුළු හෝ ගා බේරෙයි. එහෙත් මා සිතූ තරම් ඉක්මනට ඇය හිස උස්සා බැලුවේ නැත.
"අ... අනේ.. දිනූකා මි... මිස්..."
සිදූ වී ඇති දෙය කියන්නට මගේ සිත නොඉවසිලිලමත් වී තිබිණි. එහෙත් ඇය විහිළුවකටවත් මදෙස බැලුවේ නැත.
"දිනූකා මිස්......"
සිතේ හිර කරගෙන සිටි ධෛර්යයද බිංදුවෙන් බිංදුව දිය වී යද්දී මම එවර මහා හයියෙන් කෑ ගැමුවෙමි. ටිකකින් ඇය හිස උස්සා මදෙස බැලුවේ. මේ මොන කරදරයක්දැයි කියන්නට වාගේය. එහෙත් කදුළු වලින් පිරී ඇති මගේ මුහුණ දුටු විගස ඇය තැති ගත්තාය. මසින් පිරී ඇති රත් පැහැති මුහුණ තත්පරේට දෙකට සුදුමැලි වී තිබිණි.
"අනේ බලන්න මිස්.. මැණික්දිවෙල සර් බාර දීපු ආට්වර්ක් එකට කවුද තීන්ත හලලා.. ම.. මං හුගක් මහන්සි වෙලයි ඇන්දෙ මිස්.. මං.. මං ටොයිලට් එකට ගිහිල්ලා එන අතරෙදි තමයි කවුරුහරි මේක කරන්න ඇත්තේ. මාත්තෙක්ක තරහ කාගෙ හරි වැඩක් මිස්.. ම.. මට තේරෙන්නෑ.. ම.. මං මොනවද කරන්න ඕන කියලා.. අනේ මිස් ආට්වර්ක් එකේ හැටි බලන්නකෝ...."
මම හෝගා කියවාගෙන ගියෙමි. උනන කදුලු බිංදු පිහදා ගනිමින් මම නැවතත් කතාව පටන් ගන්නට හැදුවෙමි. එහෙත් ඇය ඊට බාධා කළාය.
"කරපු කෙනා අහුවුණාද..? කරපු කෙනා දැක්කද..?"
දිනූකා මිස් කෙලින්ම මගෙන් ඇසුවාය. එහෙත් වෙනදා තරම් තද පරුෂ බවකින් නොවේය. ඇයගේ කටහඩ දියාරු වී තිබිණි. ඇයගේ සුන්දර දෑස් අග කදුලු පිරී ඇතැයි මට නිකමට සිතුණි. එහෙත් ඒ මායාවක් වන්නට ඇත. මගේ ඇස් වලද කදුලු පිරී ඇති නිසා මට ඇයගේ මුහුණ පෙනෙන්නේද බොද වී වාගේය. අනෙක ඇයට හඩන්නට මෙතන කිසිදු උවමනාවක් නැත හිත දෙකඩ වී ඇත්තේ මගේමය. වේදනාව ඇත්තේ මටමය. ඉතා ආශාවෙන් හා කැපවීමකින් ඇදි සිතුවම පෙනි පෙනීම විනාශ වී ගොස්ය.
"මං අහපු දේ ඇහුණද...?"
"මො.. මොකක්ද මිස්..?"
"මං ඇහුවෙ කරපු කෙනා අහුවුණාද කියලා.."
"න්... න්.... නෑ මිස්.."
"ඉතිං නැත්නම් මට මොකක්ද කියන්නේ..? හොදට මතක තියාගන්න.. මීට පස්සේ මේ වගේ කම්ප්ලේන් කරන්න එපා.. තේරුණාද..? මීට පස්සෙවත් වැඩක් ඉවර කරලා යන තැනක යන්න.. එහෙම උනා නම් ඔය දේ වෙන්නෙ නෑ නේ.."
දිනූකා මිස්ගේ දෑස කෙලින්ම මගේ දෑසේ රැදී තිබුණි. දුක දෙබෑ කරගෙන මගේ හිතට ගලාගෙන ආවේ කිසි දිනක නොආ තරමේ දැඩි කේන්තියකි. රැකියාව නැති වුණත් කමක් නැත. මගේ කට කා දැමුවත් කියන්නට ඇති දේ කියා දැමිය යුතුය. දිනූකා මිස්ගෙ මුහුණින් දෑස ගෙන මම ඇයගේ දෑත දිහා හොදින් බැලුවෙමි. ඇයගේ සුලැගිල්ලේ කළු පැහැති තීන්ත වැනි දෙයක් තිබෙනු මට යාන්තමට පෙනෙයි. මා ඇගේ ඇගිලි දෙස බලනු දැක ඇය සිය දෑත මේසයෙන් පහළට කර ගත්තාය. එසේ නම් මා මුලින් සිතූ දෙය හරිය. මේ සියල්ලම කර ඇත්තේ දිනූකා මිස්ය. එසේ නැත්නම් ඇයගේ ඇගිල්ලක තීන්ත ගෑවෙන්නට විදියක් නැත. මා ඇයට කිසිව වරදක් නොකොට ඇය මාව මේ තරම් රිදවන්නේ ඇයිදැයි කියා මට සිතාගන්නට බැරිය.
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12362061
"හැම දෙයක්ම ඉවරවෙනකන් මට චූ බර තදකරන් ඉන්න බෑ මිස්.. එහෙම වුණොත් මගේ මුත්‍රා බොක්ක පුපුරලා යයි.. මොනව උනත් කොල්ලෙක් වුණත් මට මේ වගේ අමන වැඩ දරාගෙන ඉන්න බෑ.. මං හුගක් මහන්සි වෙලා කරපු මේ වගේ වැඩක් විනාශ කරලා දානවා නම් එක කරු කෙනා හිතක් පපුවක් නැති අමු දුෂ්ඨයෙක් වෙන්න ඕන.."
තමන් ළග සේවය කළ දුප්පත් කාංචනට මේ තරම් හයියක් ලැබුණේ කොහිනැදැයි දිනූකා මිස්ට සිතා ගන්නට බැරි වෙන්නට ඇත. දිනූකා මිස්ගේ සොදුරු දෑස මා බලාගෙන හිද්දීම විසල් විණි.
"මං දැන් කලින් කිව්ව ඒ හිතක් පපුවක් නැති කෙනාට සංතෝස වෙන්න මං අද මෙහෙන් අයින් වෙලා යනවා.. මාව දකින්න නැති වුණහම මාව පේන්න නැති වුණහම එයාගෙ ජීවිතේ ලස්සන වේවිනේ.. අපි ඒ වගේ අයගෙ සංතෝසෙට වල කපන්න හොද නෑ මිස්.. මං වගේ අහිංසකයෙකුට, දුප්පතෙකුට, අසරණයෙකුට මෙහෙම රිද්දන එක මහ වීරකමක් කියලා එයා හිතන් ඉන්නවා ඇත්තේ. ඒත් මගේ මේ අසරණ ඇස් දෙකෙන් ගලන කදුලක් දකුලක් ගානෙ ඒ කෙනාටත් මේ දුකම හම්බවෙනවා. මං කාටවත් වැරැද්දක් කරලා නෑ. ඒ වගේම මේ ලෝකෙ තනිවෙලා ඉන්න මිනිහෙක්.. කමක් නෑ.. මට කරදර කරන අයගෙ සංතෝසෙට ඉඩදීලා මං මෙහෙන් යන්නම්..."
අලුත් කදුලු වලින් ඇහිපිය සරසද්දී මම කියාගෙන ගියෙමි..
"තමුන් ඔය හින්ට් ගහන්නෙ මටද..?"
කළින් තිබූ තද පරුෂ බව දැන් ඒ සොදුරු කටහඩේ අහලකවත් නැත. එහෙත් ඇය තවමත් මා හට කාංචන කියා අමතන්නට කැමති නැති සේය. මේ තරම් දැඩිව මගේ සිත රිදී තිබෙද්දී දිනූකා මිස් කතා කරන ආකාරය ැන මගේ සිතේ ඇති වූයේ දැඩි කලකිරීමකි. ඒ කළකිරීම මතින්ම මම ඇය වෙතට ළං වුණෙමි. ජීවිතයේ ප්‍රථම වතාවට ඇයගේ අහංකාර ඇහිපියන් යට කදුළු තැවරී තිබෙනු මා දැක්කේ ඒ වෙලාවේදීය. ඇය හඩන්නට හදන්නේ ඇයි..? ගලින් නෙලූ හදවතක් හිමි ඇය වැනි නපුරියක් හඩන්නටවත් දන්නවාදැයි සැක සහිතය. මොනව උනත් මා වැනි අහිංසකයකුගෙන් මේ තරම් පළි ගන්නට මා ඇයට කළ වරදක් නැත්තේය. එය එසේ වුවත් මෙන්න මේ තත්පරයේදීම දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙතින් ඉවත් වී යන්නට මම තීරණය කළේය. මැණික්දිවෙල මහතාට හා පුබුදුට මා යන බව කීවොතින් ඔවුන් කීයටවත් මට යන්න නොදෙනු ඇත. ඒ නිසා කෑම පැය අල්ලා හිමින් සීරුවේම යා යුතුය. පසුව අසීනීපයි කියා විදුලි පුවතක් එවන්නට පුලුවන.
"ම.. මං අහපු දේ තමුන්ට ඇහුණද..?"
නැවතත් දිනූකා මිස්ගේ කටහඩ ඇසෙද්දී මම හෙමින් සීරුවේ මගේ මේසය අසළට ආවෙමි. දැන් එළඹි ඇත්තේ ඇයගේ ප්‍රශ්න වලට උත්ත වදින වේලාව නොවේ. තීන්ත හලා විනාශ කර දමා තිබූ සිතුවම සීරුවෙන් අකුළා දමා මම මේසය පිරිසිදු කෙරුවෙමි. දිනූකා මිස් සිටින්නේ හොරැහින් මදෙස බලාගෙන වග මම දනිමි. පපුවේ පුංචි තෙතමනයක් හෝ නොමැති අය වැනි තරුණියන්ට ඉතා සොදුරු රුවක් ලබා දීමෙන් දෙවියන් වුවත් කරන්නේ මහ විශාල වැරැද්දකි.
මේසය මුලින් තිබූ පරිදිම පිළිවෙලට සකසා පුටුවද මේසය අසළටම ළං කර මම නැගී සිටියෙමි. මෙතනින් මා නෙග යා යුතු කිසිවක් නැත. මුලින්ම මා මේ ආයතනයට ආවේද හිස් අතිනි. දැන් යන්නේද හිස් අතිනි. සිත තුළ අලුතින් පැලපදියම් වූ ධෛර්යය පීරාගෙන දුක් කදුලු වාන් දමන්නට වූයේ එබැව් සිහිපත් වීමෙන්ය. එහෙත් මම සිත දැඩි කරගත්තෙමි. තව දුරටත් මෙහිම රැදී සිට දිනූකා මිස්ගේ කෙලි සෙල්ම් බඩුවක් වනවාට වඩා මෙතනින් පිටත්ව යාම වටී. ජයවර්ධන අංකල්ට නිවී සැනසිල්ලේ සියල්ල කිව හැක. ඔහු මට වුමින් නොබැන සියල්ලම අසා සිටිනා බව මම දනිමි. කාමරයෙන් ඉවත්ව යාමට හිත හදා ගැනීමෙන් අනතුරුව මම දිනූකා මිස් ඉදිරියට ආවෙමි. ඇය සැනෙකින් තම මුහුණ මවෙතින් හරවා ගත්තාය.
"ම... මං යනවා මිස්..."
එහෙත් ඇය මදෙස බැලුවේවත් නැත. මගේ සිත තුළට ගලා ආවේ මේ තරම් කාලයකට සිතට නොදැනුණු තරමේ කාලකණ්ණි හැගීමකි. ආයේ කවදාවත්ම මේ තැනට නොඑනා නිසා සිතේ ඇති සියල්ලම කියා ගියා නම් වඩා හොදය. එසේ නොමැතිව මේ සියල්ලම හිතේ හිර කරගෙන ගිය විට දුක් විදින්නට වෙන්නේ මටමය.
"මං මෙතන වැඩ කරනවට මිස් අකමැතියි කියලා මට හොදටම තේරෙනවා. මිසුත් ඒ ගැන කීප සැරයක්ම කියලා තියෙනවා. ඒත් ඒ මොකක් හින්දද කියලා කියන්න මං දන්නෙ නෑ.. මිස් එක්ක එකතු වෙලා කොයිතරම් හොදින් වැඩ කරන්න හැදුවත් ඒ දේ කරන්න මට බැරි වුණා. මේ දවස්වල රස්සාවක් හොයා ගන්නවා කියන එක හුගක් අමාරු වැඩක්.. ඒත් මං යනවා මිස්.. ජීවිතයේ පල්ලෙහාම අඩියෙ එල්ලිලා ඉන්න මං වගේ අසරණ කොල්ලෙකුට තවත් නැතිවෙන්න දෙයක් නෑ.. ම.. මගේ.. මගේ හිගන ජීවිතෙන් මිස් මාව තවත් අඩියක් පල්ලෙහාට එලවලා දැම්මා. ඒ ඒත් මං තරහා වෙන්නෑ මිස්....."
දිනූකා මිස්ගේ ඇස්වල තිබූ අහංකාරය මුලුමනින්ම සේදීගොස් තිබිණි. නිල් මහනෙල් මල් වලටත් වැඩිය සොදුරු ඇස් වල පිරී තිබුණේ මහා බැගෑපත් බැල්මකි. අනේ ඔයා යන්නෙපා කාංචන වැනි දෙයක් ඒ හැඩකාර මුහුණේ ඉරියව් වලින් මට කියා පෑවේය. එහෙත් මට නැතිවිය නොහැක. ඇය කරනා තරමක් මා හට කළේ කෙනෙහිලිකම්ය. දවසක් ඇබින්දක සතුටින් වැඩ කළත් මා මාසයක්ම වැඩ කළේ හිත රිදවා ගෙනය. අනික මා යනවා කියා මගේ දෙපා මුල වැද වැටී ඇය බැගෑපත් විය යුතු යැයි මම නොඅදහමි. එහෙත් ඇය වචනයක් හෝ නොකියන්නේ ඇයි...?
"මං යන එකටවත් මිස්ට කියන්න දෙයක් නැද්ද...? අඩුගානෙ ඉන්න තැනකවත් හොදින් ඉන්න කියලවත් කියන්න බැරිද..? මාව ඒ තරම්ම එපා වෙච්ච කෙනෙක්ද මිස්...? කොටින්ම හැමෝම ලස්සනයි කියපු මගේ ආට්වර්ක් එක දිහා මිස් ඇහැක් ඇරලවත් බැලුවෙ නෑ.. කමක් නෑ.. මං දැනුවත්ව මිස්ට වැරැද්දක් කරලා නෑ.. මං.. මං... යන්නම් මිස්.. මිස් හැමදාකම සංතෝසෙන් ඉන්න..."
තවත් කියන්නට තරම් දෙයක් තිබුණාදැයි මම නොදනිමි. ඇත් දළ පැහැය ගත් ඒ සොදුරු මුහුණ මගේ දෙසට හැරී තිබිණි. ඒ මුහුණේ දිස්වූ හැගීම් එකින් එක වෙන්කර තෝරා ගන්නට මම උත්සාහ දැරුවෙමි. එහෙත් ඇය වචනයක්වත් කතා කළේ නැත. ඉතින් තවත් මෙතැන රැදී සිටීමෙන් පලක් නැත. අඩුම තරමේ මා සිතුවේ ඇය යන්නට එපා කියාවත් කියනු ඇත කියාය. එහෙත් එය එසේ වූයේ නැත. මුල සිටම මා ඇය ගැන සිතූ ආකාරය අන්තිම දශමයටද වැරදිය. ඇයට ඇතේතේ ගලින් නෙලූ හදවතක් බව ඇය සාධක සහිතව ඔප්පු කර ඇත. අන්තිම වතාවටත් දිනූකා මිස් දෙස බලා මම කාමරයෙන් එළියට ආවෙමි. ඒ සමගම හීන් ඉකිබිදුමක් කාමරය තුළින් මට ඇසුණි. ක්‍රම ක්‍රමයෙන් එය වැඩි වෙද්දී ඉදිරියට ගිය දෙපා මම නැවත හරවා ගත්තෙමි. දිනූකා මිස් අඩන්නේ ඇයි..? කාමරයෙන් එළියේ සිටි මගේ සිතේ තිබූ ප්රශ්නය එයයි..
මා හට නොසෑහෙන තරම් කෙනෙහිලිකම් කොට ඇයට හඩන්නට තරම් කාරණාවක් තිබෙන්නට බැරිය. හරි නම් පොලොවේ හැපි හැපී හඩන්නට ඕනෑ මමය. දවසේ විසි හතර පැයේම බැනුම් ඇසුවේ මමය. හිත රිදවා ගත්තේ මමය. ඉතා හොදින් නිම කළ සෑම වැඩක්ම අවසානයේ කිසිදු ප්‍රශංසාවක් නොලැබුයේ මමය. අන්තිමේදි අනාගතය ගැන කිසිදු විශ්වාසයක් නොමැතිව සෑම දෙයින්ම කළකිරී පාරට බහින්නේ මමය. ඇය මා හට කළ දේවල් හිතක් පපුවක් ඇති වෙතත් මිනිසකු නම් ඉවසා හිදින්නේ ද යන්න පවා සැක සහිතය. ක්‍රමයෙන් වැඩි වූ දිනූකා මිස්ගේ හැඩීම නැවතත් ක්‍රමයෙන් අඩු වෙද්දී දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙතින් මම එලියට ආවෙමි. තවත් දුරට ඇය හඩන හැටි හෝ සිනාසෙන හැටි බලන්නට නොයා යුතුය. තවත් මෙතැන ප්‍රමාද වීමෙන් පුබුදුව මුණ ගැසෙන්නට වුවද බැරි නැත. මම හැකි ඉක්මනින් මහ පාරට ආවෙමි. අඩුම තරමේ මා මෙතුවක් දවස් නැවතී සිටි කාමරය තුළට පවා නොගියෙමි. අයියාව හමු වීමට යා යුතු වුවත් අද සවස හෝ හෙට දිනයේ ඒ සදහා යොදා ගැනීමට මම සිතා ගත්තෙමි. ඒ ගමන්ම ජයවර්ධන අංකල්වද හමු වීමට පුලුවන. සමහරවිට දිනූකා මිස්ට නොපෙනෙන තරම් ඈත තැනක රැකියාවක් සොයා ගැනීමට මට පුළුවන් වනු ඇත.
උදේටද ආහාරයක් නොගත් බැවින් මට තදින්ම බඩගිනි දැනී තිබිණි. අනික මා දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙතින් පිට වූයේ දිවා ආහාරයට ඔන්න මෙන්න වාගේ තිබියදීය. කිලෝමීටර් එකහමාරක් පමණ ඇවිදන් එද්දී පාර අයිනේ තිබූ පුංචි කඩයක් මම දුටුවෙමි. එයින් මාලුපාන් ගෙඩියක් මිදලී ගෙන කඩට ඉදිරිපසට වූ පුංචි බංකුවේ වාඩි වූයෙමි.
පඩි දවස් ළග නිසාම මේ වන විට මා සතුව එතරම් මුදලක් තිබුණේද නැත. මෙතැන් සිට ජීවිතය නැවත අලුතෙන්ම මටන් ගත යුතුව ඇත. ප්‍රධානම ගැටලුව වූයේ අද දවසේ ඉතුරු කාලය ගෙවා ගැනීමයි. මගේ කල්පනා ලොව ටික වේලාවකින් බිද වැටුණේ කුමක් හෝ වාහනයක් මා සිටි පුංචි කඩය ඉදිරිපිටම මහා හඩින් තිරංග තද කළ නිසාය.
බැලූ එක බැල්මෙන්ම මම වාහනය හදුනා ගතිමි. එය දිනූකා මිස්ගේ සුදු පැටැති B.M.W මොටර් රථයයි. සිදුවන්නට යන්නේ කුමක්දැයි සිතාගන්නට බැරිව එදෙස බලාගෙන සිටියෙමි. සැනෙකින් රථයේ ඉදිරිපස දොර විවර විණි. කාරය වටේම කලු පාටින් ටින්ටඩ් කර ඇති නිසා ඇතුළේ සිටින්නේ කවුදැයි දැන්මම කියන්නට බැරිය. මද වේලාවක් ගොස් ඇරුණු දොරින් දිනූකා මිස් එළියට ආවේය. කළ යුතු දේ ගැන නිනව්වක් නැතිව මාලු පාන් කෑල්ලද අතේ හිර කරගෙන මම නැගී සිටියෙමි. ඇය කෙලින්ම ආවේ මා කරාය. නිසැකවම ඇය ආවේ මෙතැනදීත් මට බැණ වදින්නට විය යුතුය. මගේ වෙලාව හොදකමටදෝ මෙතැන සිටින්නේ කඩයේ වූ වයසක මිනිසා පමණි. මගේ මුහුණ ඉදිරියට ආ ඇය මදක් වේලා මදෙස බලා සිටියාය. ඒ සොදුරු දෑස කදුලින් පිරී යනු මා දුටුවේ එකවරමය. මගේ කටේ තාමත් පාලුපාන් කෑලිය. කෑම කටේ තිබෙද්දි කතා කිරීම හොද නැති වුවත් දැන්නම් කතා නොකර බැරිය.
"ම.. මං මුකුත් ගෙනාවෙ නම් නෑ මිස්.. මට දීපු හැමදේම මං ඔෆිස් එකේ තියලයි ආවේ.."
තටම තමටා මම කියා ගත්තෙමි. කඩා වැටෙන්නට ඔන්න මෙන්න තරමේ කදුළින් දෑස පිරී තිබියදී ඇය සිනාසෙන්නට උත්සාහ දැරුවාය. ඒ උත්සාහයේ තිබූ අසරණකම දකිද්දී ඇය කෙරෙහි වූ සියලුම අපහැදීම් මවෙතින් ඉවත්ව යන්නට විය. ඇත්තටම අහිංසකව සිටිනවා නම් ඇය කොතරම් ලස්සනද..? ඇයට ගැලපෙන්නේ මෙන්න මේ ලෙස සිටිනවා නම්ය.
"එන්න.... යමු මාත්එක්ක.."
ඇය මවෙතට අත දිගු කළාය. ඒ සුන්දර රෝස පැහැති ඇගිලි තුඩු දෙස මා බලා සිටියේ කිසිවක් අදහා ගත නොහැකිවය. සත්තකින්ම මා මේ දකින්නේ හීනයක් විය යුතුය. හීනයකින් මිසක හැබැහින් මිස් මේ තරම් ආදරයෙන් කතා කොට නැත.
"තා... තාමත් මගෙත් එක්ක තරහින්ද ඉන්නේ...?"
මගේ මූණටම එබී ඇය ඇසුවාය. මෙය නම් සිහිනයක් නොවන බැව් දැන් සක්සුදක් සේ පැහැදිලිය..
"න්... නෑ... මිස්..."
"එහෙනම්... එන්න යමු..."
යන්නේ කොහාටදැයි අසන්නට විදියක් නැත. සුරංගනාවන් දේවදූතයන් තමා ළගටම පැමිණ යමු කීවාට පසුව කවුරුත් කේන්දර බල බලා සිටින්නේ නැත. මම කාරය ළගට ගොස් නැවතුනෙමි.
"මි... මිස් ඔෆිස් එකට යන්න.. මම හිමිට ඇවිදගෙන එන්නම්.."
කාරය තුල දිනූකා මිස් සමග වාඩි වී යා යුත්තේ කොතැනදැයි තීරණය කරගත නොහැකිව මම කීවෙමි. ඇය මදක් ඇලවී මගේ පැත්තේ ඉදිරිපස දොර ඇතුලතින් විවෘත කලාය.
"ඇයි මගෙත් එක්ක යන්න ලැජ්ජද..? ආ... පිස්සා වෙන්නැතුව මෙතනින් වාඩිවෙන්න.."
සුරතල් බවක් මුසුව තිබුනද ඒ කටහඩේ තිබුණේ අනකි. මම දෙවරක් නොසිතාම කාරයේ ඉදිරිපස අසුනට බර වූයෙමි. මොකක්දෝ ලොකු සතුටකින් ඒ සොදුරු මුහුණ හැඩවැඩ වී ඇති බැව් මා දැක්කේ එවිටය.
"මං කොයි වගේ කෙනෙක්ද කියලා යංතන්වත් හිතලා බලන්නෙ නැතුව ඇයි හැමදේම දමලා ගහලා යන්න හදන්නේ..? එතකොට ඔක්කොම හරිද...? ආ..."
කාරය පණ ගන්වා ඉදිරියට ඇදෙද්දීම ඇය මගෙන් ඇසුවාය. මා හැමදේම දමා ගසා ගියේ ඇයගේ වැඩ නිසා බව ඇය ඩිංගක් හෝ නොසිතන්නේ මන්දැයි මම සිතුවෙමි. ඇය හැසිරෙන්නේ සියල්ල අමතක වූ සැටියටය.
"කෝ මට මාලුපාන්..?"
කාරය පදවන ගමන් ඇය හදිසියේම ඇසුවාය. මට දැනුණේ වස ලැජ්ජාවකි. අතේ තිබෙන්නේද මාලුපාන් බාගයකි. එය ඇයට කොහොමත්ම දිය නොහැක.
"මාලුපාන් ඉවරයි මිස්..."
"බොරු කියන්නෙපා.. ඔය අතේ තියෙන්නේ.."
සිටියරින් විලය දකුණතින් හසුරවන අතරේ ඇය මවතින් මගේ මාලුපාන් කෑල්ල උදුරා ගත්තීය. වෙන්නට යන්නේ කුමක්දැයි කියා මට පැහැදිලි හැගීමක් තිබුණේ නැත. බාහිරින් නොසෑහෙන සංසුන්කමක් මවා ගෙන උන්නද හදවත ඇතුළතින් මා සිටියේ හොදටම කැලඹිගෙනය. කෙලින්ම දිනූකා මිස්ගේ මුහුණ දෙස බලන්නට අපහසු වුවත් විනාඩි දෙක තුනකදී මම ඒ අපහසුව ජය ගතිමි. බෝල මුහුණේ වූයේ හිතා ගන්නටවත් බැරි තරමේ අහිංසක සිනාවකි. ඒ සිනාව මැදින්ම ඇය මාලුපාන් කෑල්ල කෑමට පටන් ගත්තාය.
"මි.. මිස්.. ඕක මං කාපු එක..."
"ඉතිං...?"
නිල් මහනෙල් මලකටත් වැඩිය සොදුරු වූ දෑස මදෙසට හැරී තිබිණි. කිසිත් නොකියාම මම වින්ඩ්ස්ක්‍රීනය දෙස බැලුවෙමි. මෙය නම් දෙන දෙයියෝ බුරුතු පිටින් තෑගි දීමක්ය. දිනූකා මිස් මට ළං නොවීම ගැන මා කොතෙක් නම් සිත් තැවුලකින් සිටියාද කියා දන්නේ මා පමණකි. ඇය නිකරුණේ බැණ වැදීම් ගැන මා කොතෙක් නම් විස්සෝපයෙන් සිටියාද කියා දන්නේ මා පමණකි. එසේ වූ කළ මේ සිදුවන දේ ඇදහිය හැකිද..?
"කාංචන..."
කාර්යාලය පේන දුරින් මෝටර් රථය නවත්වා දිනූකා මිස් මවෙතට හැරුණාය. මම මවමිස් සිටි සිහින ලොවෙන් තත්පර දෙක තුනකදී බිමට ඇදගෙන වැටුණෙමි. ඇය මා හට මේ පවසන්නට යනවා ඇත්තේ සියල්ලම මෙතකින් අවසාන වන බවද..?
"කාගෙ අතිනුත් අත් වැරදීම් වෙනවා.. සමහර විට මගේ අතිනුත් එහෙම දේවල් වෙන්න ඇති. ඔයා ඒවා හිතේ තියන් ඉන්නෙපා.. එහෙම උනොත් අපිට එකට වැඩ කරන්න බෑනේ.."
"ම.. මං එහෙම හිතන්නෑ මිස්.."
"අනික් දේ තමයි පුංචි පුංචි සිදුවීම් උනා කියලා රස්සාව දාලා යන්න ලෑස්ති වෙන්නෙපා.. ඒක දෙකේ පංතියෙ ළමයි කරන වැඩක් නේ.. හැමදේම දරාගෙන ඉන්න බලන්න.. ඔයාට මගෙත්තෙක්ක එකට වැඩ කරන්න බැරි නම් මම ඔයාව වෙන තැනකට දාන්නම්.."
ඇය අන්තිමේදී කී දෙයින් මම තිගැස්සී ගියෙමි. මේ වෙන්නට යන්නෙ මොනවාද..? මා දැන් සුලු මොහොතකට කලින් සිතුවේ මාගේ නරක කාලය අවසන් වී ඇති බවය. එහෙත් ලේසියෙන් අවසන් වන්නේ නැති හැඩය..
"එපා මිස්... මං මිස් ගාව වැඩ කරන්නම්.."
"හොදයි.. එහෙනම් කාංචන බහින්න.. මං මෙහෙම්ම ගෙදර යනවා.."
කලින් මා සිතා සිටි පරිදි මා බලාපොරොත්තු වූ පරිදි සැහැල්ලු කතාබහ දිනූකා මිස් තුළ මේ වනවිට තිබුණේ නැත. ඇය නැවතත් අර මුලින් සිටි අකාරුණික තැනැත්තිය බවට පත් වන්නට යනවාදෝ වත්දැයි මට සැක සිතුණි. මාලුපාන් කෑල්ල කන වේලෙහි ඇයගේ තිබූ හෘදයාංගම බව දැන් අහලකවත් තිබුණේ නැත. ඇය අන්තිමට කතා කළේ කාර්යාලයේ දෙවැනියා තමා බව මා හට නැවතත් වටහා දෙන්නට වාගයෙ.
කිසිම හඩක් නොනගා මගේ ළගින් ඇදී ගිය B.M.W රථය දෙස මම ඔහේ බලා සිටියෙමි. විනාඩි ගණනකට කලින් ඇස්වල කදුලු පුරවාගනෙ විත් මා ළගින් සිටි දිනූකා මිසුත් මේ දැන් මගේ ළගින් සිට ඈත්ව ගිය දිනූකා මිසුත් එකම අයෙකුදැයි සිතාගැනීමට බැරිව මම අසරණ වූයෙමි.
ඇය කෙලෙසක නම් මෙසේ ද්විත්ව ආකාරයක චරිත නිරූපණය කරනවාදැයි මට සිතා ගන්නට බැරිය. මොනවා වූවත් මා මුලින් සිතා සිටි පරිද්දට ඇය කෙරෙන් ඈත් වී ගියා නම් නැවත දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙත යන්නට උවමනාවක් ඇත්තේ නැත. එහෙත් දැන් සියලු දෙයම නැවත මුල සිටම සිදු වූ ආකාරයෙන් සිදු වෙමින් පවතී..
********************************
"කාංචන කොහෙද බං ගියේ...? මං හැමතැනම හෙව්වා..."
කාර්යාලයට ඇතුලු වන විමට පුබුදු දුවවිත් මගේ අතකින් අල්ලා ගත්තේය. මිත්‍රත්වයේ අපමණ සුවදේ ඉමක් කොනක් නොපෙනෙන ඒ සැබෑ මුහුණේ තිබූ දයාබරිත බවින්, මම මොහොතකට ගල් ගැසී ගියෙමි.
"පොඩි කරදරයක් උනා පුබුදු.."
"කරදරයක්..? උඹ මාවත් බය කරනවා කාංචන..."
"ඔව් පුබුදු.. මං දැන් ඩිංගකට කලින් මේ රස්සාවයි, මේ හැමදේමයි දාලා යන්න ගියා.."
"උ... උඹට පිස්සුද..? උඹට පිස්සුද..? මේ තරම් හොද රස්සාවක් දාලා යන්න තරම්.. ම.. මට තේරෙන්නෑ.. මේ අද උදේ හොදට හිටපු එකාට දැන් මොකද වෙලා තියෙන්නෙ කියලා.. ඇත්තටම මට කියපං මොකද උනේ කියලා.."
"හවස රූම් එකට ගියාම මං හැමදේම කියන්නම් පුබුදු. මේ වෙලාවෙ මං ඉන්නෙ සෑහෙන්න අවුල් වෙලා.."
"කාංචන... මං උඹට එක දෙයක් කියන්නද..? ප්‍රශ්නයක් ආව නම් ඒක ඒ වෙලාවෙම කතා කරලා විසදගනිං.. එහෙම නැතුව ප්‍රශ්නෙ වැඩි වෙන්න ඉඩ දීලා බලන් හිටියොත් අපි අන්තිමට අනාත වෙනවා.."
පුබුදු කියන්නේ ඇත්තය. එහෙත් මා මොනවා කරන්නද..? කෑලි වලට කපා, උයා පිහා රස බැලුවත් දිනූකා මිස් මොන වර්ගයේ කෙනෙක් දැයි මේ කපේක මට තේරුම් ගන්නට බැරිවනු ඇත.
"උඹ දැන් දවල්ට කාලද..?"
කලින් කතා කළ ස්වරය හාත්පසින්ම වෙනස් වූ ලෙංගතු හඩකින් පුබුදු ඇසුවේය. මම ඔලුව දෙපැත්තට වනා නැතැයි කීවෙමි. බලා සිටිද්දීම පුබුදුගේ මුව ඇදවිණි.
"ඔය බලපං ඉතිං... උඹ ඊගාවට ගෑස්ටික් හදාගෙනයි නවතින්නේ.. මට නම් ඇත්තටම තේරෙන්නෑ උඹට මොනවද වෙලා තියෙන්නෙ කියලා.. හ්ම්.. අපි යමු කැන්ටිමට.. මාත් තාම දවල්ට කෑවෙ නෑ.."
හිතේ තිබෙනා ගින්න නිසා ඇතත්ටම වේ වනවිට මට බඩගින්නක් තිබුණේද නැත. එහෙත් ඒ බවක් කියන්නට ගියොත් දිනූකා මිස්ගෙන් ඇසූ බැනුම් කන්දරාවට වඩා බැනුම් කන්දරාවක් පුබුදුගෙන් අසන්නට සිදුවනු ඇත. හොදම දේ නම් කැන්ටිමට ගොස් කෑම එක අත ගගා හො ඉදීමය.
"කෝ ඉතිං.. ඔය කනවද..? අත ගගා ඉන්නවනේ..."
කෑම බෙදාගෙන විත් ටික වෙලාවකට පසු පුබුදු මගේ මුහුණටම එබුණේය. ඇත්තෙන්ම ඒ ලෙංගතු ඇස්වල තිබූ මිත්‍රත්වයට මට බොරු කල නොහැක. සිදුවූ සියල්ලම අකුරක් නෑරම පුබුදුත් සමග කියන්නට මම තීරණය කළෙමි. මේ හැමදේම හිතේ තබාගනෙ පිච්චි පිච්චි හිදිනවාට වඩා කා සමග හෝ බෙදා ගැනීම හිතට සහනයකි.
"මං රස්සාවෙන් අයින් වෙනවා කියලා තීරණය කළේ හේතු ගොඩක් හින්දා පුබුදු. මොන දේ නැති වුණත් මනුස්සයෙකුට තමන්ගෙ හිතේ සතුට තියෙන්න ඕනි. අඩුගානෙ මට මෙතන ඒකවත් නෑ. ඇත්තටම මට දිනූකා මිස් එක්ක වැඩ කරන්න අමාරුයි. මට.. මට තේරෙන්නෑ මිස් මේතරම් මගෙන් පලි ගන්නෙ ඇයි කියලා.. මිස් හරියට මට වද දෙනවා පුබුදු.."
"කාංචන කියන්නෙ මොනවද කියලා මට හිතාගන්න පුලුවන්. ඒ මං මේ ප්‍රශ්නෙ මුල ඉදලම දන්න හින්දා. ඔක්කෝටම කලින් මට කියන්න අද මොනවද උනේ කියලා.."
දවස ඇරඹුමේ සිට මේ මොහොත දක්වාම සිදුවූ දේ මම පුබුදු ඉදිරියේ පෙළ ගැසිමි. මද වේලාවක් යද්දී ඔහු කෑම ගැනීමද නවත්වා කටද බාගෙට ඇරගෙන විස්මයෙන් මදෙස බලා සිටියේය.
"දි.. දිනූක මිස් උ.. උඹේ මාලුපාන් කෑල්ල අරගෙන කෑවා..?"
කතා කරන්න පුලුවන් වූ පළමු තත්පරයේදීම පුබුදු මගෙන් ඇසුවේය. වැඩේ කියන්නේ, උදෑසන වූ සිද්ධින් වලින් හැමදේකටම වඩා පුබුදුට වැදගත් වී ඇත්තේ මාලුපාන් කෑල්ලේ කතාවය. මා ටොයිලට් එකට ගොස් ආපසු එද්දී මගේ චිත්‍රය උඩ තීන්ත හැලීම පිළිබදවවත්, මා මගේ දුක හෝ ගා කියා කාමරෙන් එළියට ඒමවත්, මා ආ පසු දිනූකා මිස් ඇඩීම පිළිබදවවත් පුබුදුට වැදගත් වූයේ නැත. නවකතා පොතක් පිරෙන්නට ලිවීමට දේ ඇතත්, පුබුදුගේ සිත ගියේ මාළුපාන් කෑල්ලටය.
"ඔව්.. ඇයි උඹ හිතනවද මං මේ බොරුවක් හදලා කියනවා කියලා..?"
"නෑ කාංචන උඹ කියන්නෙ ඇත්ත කියලා මට තේරෙනවා.. මීට කලින් වෙච්ච සිද්ධීත් එක්ක බැලුවාම මේ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. ඒත් මට හිතාගන්න බැරි දිනූකා මිස් ඇයි මේ වගේ හැසිරෙන්නෙ කියලා. එයා මේ හැසිරෙන විදිය එයාගෙ තත්වෙට කොහොමටවත් ගැළපෙන්නෑ.. අනිත් දේ තමයි.."
පුබුදු කතාව මග නතර කළේය. දැන් දැන් ඒ මූණ මැදට පැමිණ ඇත්තේ යම්කිසි නොපහන්කාරී බැල්මකි.
"අනිත් දේ මොකක්ද පුබුදු..?"
"මං මුලින් හිතුවෙ දිනූකා මිස් මේ හැමදේම කරන්නෙ උඹ ගැන ආදරයක් පහල වෙලා කියලා.. ඒත් දැන් දැන් මට හිතෙනවා ඒක එහෙම දෙයක් නෙමෙයි කියලා.."
පුබුදුගේ කතාවට මගේ පපුවේ තුන් හතර පොලක්ම ඇවලී ගියේය. ඔහු මේ කියන්නේ මොනවාද..? සියලු දුක් කරදර මැදත්, ඔහු මගේ පුංචි පපුවට මේ තරම් වේදනාවක් දෙන්නේ ඇයි..? සිත සැනෙකින් ගිනිබත් කරනා මේ වගේ කතාවක් පුබුදු කීවේ ඇයි..? මේ ආයතනයේ මට සිටින එකම විශ්වාසවන්ත මිතුරා ඔහු නොවේද..?
"පුබුදු කියන්නේ, දිනූකා මිස් මට ආදරේ කරන්නෑ කියලද..?"
සිත තුළ ගුලි ගැසුණු අපමණ දුක් කන්දරාව එක පොදියට හිත ඇතුළේම හිරකොට මම පුබුදුගෙන් ඇසුවෙමි.
"ඔව් කාංචන.. මං මේ හැමදේම කියන්නේ උඹට තියෙන ආදරේට. මෙතන අපි කාටවත් තේරුම් ගන්න බැරි මොකක්දෝ දෙයක් වෙනවා. උඹට කරන්න තියෙන හොදම දේ, මේ හැම දේම දරාගෙන රස්සාවත් බේරගෙන ඉන්න එකයි. මොකද උඹ ඔය කියන විදියට දිනූකා මිසුයි, උඹයි අතරෙ සිද්ධ වෙන දේවල් වැරදිලාවත් මැණික්දිවෙල සර්ගෙ කනට වැටුනොත් උඹ මෙතනින් අස්වෙලා යන්න කලින්, සර් උඹට අස්වීමේ සහතිකේ දෙයි.."
මගේ සිත මොකක්දෝ නොදන්නා අලුත් බියකින් හිරිවැටී ගියේය. පුබුදු කියනා පරිද්දට එය එසේ වූවොත්..? කළ යුතු කිසිම දෙයක් සිතාගත නොහැකිව මම ළතැවුණෙමි.. දෙවියනේ.. මේ ප්රශ්නවල අවසානය කොතැනද..? මා වැනි අන්ත අසරණ හිගන කොල්ලෙකුට මෙවැනි දුක් කරදර ලබා දෙන්නේ ඇයි..? මා කුමන වරදක් කළාටද..?
"උඹ මාව බය කරනවා පුබුදු.."
"නෑ කාංචන.. මේ හැමදේම කියන්නෙ උඹේ හොදට.. උඹ විනාස වෙලා යනවා මට බලන් ඉන්න බෑ.."
"පුබුදු කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"
"අපි මැණික්දිවෙල සර්ට කියලා කම්පියුටර් සෙක්ෂන් එක පැත්තට ට්‍රාන්සර් එකක් ගමු. එතකොට ඔය ප්‍රශ්නෙ හුගක් අඩුවෙලා යාවි. කාංචනව වැඩිය දකින්නෙ නැති වෙනකොට දිනූකා මිස්ටත් උඹට කරදර කරන්න අමතක වෙලා යයි.."
පුබුදුගේ කතාවට මගේ හිතට මොකක්දෝ වී ගියේය. ඇත්තටම කරනවා නම් කළ යුත්තේ එයය. රස්සාවත් බේරගෙන, මගේ ආත්මයත් බේරාගෙන ජීවත්වන්නට නම් සිදුවිය යුත්තේ එයය. එහෙත් කළ යුතු වූ නිවැරදි දෙයට, මගේ සිත මේ තරම් පැකිලෙන්නේ ඇයි...?
"මට මුකුත් තේරෙන්නෑ පුබුදු.."
"තේරෙන්නෙ නැත්තෙ නෑ කාංචන.. උඹට හොදට තේරෙනවා.. ඇත්තටම මට උඹ ගැන හරි දුකයි.. උඹ ඔය අල්ලන්න යන්නෙ උඹට හිතාගන්නවත් බැරි අත්තක්. උඹ අමාරුවෙන් දහ දුක් විදලා ඒ අත්ත අල්ල ගත්තත්, ඒකෙ තියෙන රස්නෙට උඹ විනාශ වෙලා යයි.."
මගේ සිත තුළ ඇති දේ අන්තිම දශමයට තේරුම් ගෙන පුබුදු කීවේය. තවත් මට කියන්න දෙයක් නැත. මේ තරම් දේ සිදුවී තිබියදීත් මා හට දිනූකා මිස් වෙතින් ඈත්වන්නට බැරි මා ඇයට මුලු හදවතින්ම ආදරය කරනා නිසාද..? නැත... එසේ වන්නට බැරිය.. ඇය වැන සද දෙව්දුවකට මා වැන කාලකන්නි හිගන්නෙකු කෙසේ නම් ආදරය කරන්නද..? බලා සිටිනා කෙනෙකුට, එය වසරේ මහා විහිලුව වනු ඇත..
"උඹ හිතන්නෙ මං දිනූකා මිස්ට ආදරේ කරනවා කියලද..?"
"උඹම ඒක මගෙන් අහපු එක හොදයි කාංචන.. නැත්නම් මට ඒ කතාව පටන් ගන්න අමාරු වෙන්න තිබුණා. මට තේරෙන විදියට නම්, මේ වෙන්න යන දේවල් වල හැටියට හැටියට නම් ඒක එහෙමම තමයි.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙමෙයි කාංචන.."
"එහෙනම්..?"
"උඹට මේ දෙයින් කිසිම දෙයක් ලැබෙන්නැති එකයි..."
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12362069
පුබුදු ඒ වචන ටික කියූ දඩබ්බර විලාසයට මගේ පපුවේ සෑම අංශු මාත්‍රයක්ම යළිත් අලුතින් ඇවිලී ගියේය.
"ඇ.. ඇයි උඹ එහෙම කියන්නේ..?"
"හේතු ගොඩක් තියෙන හින්දා කාංචන.. මං උඹට මගේ මල්ලි කෙනෙකුට වගේම ආදරෙයි.. උඹ විහින් ජීවිතේ කාලකණ්නි කරගන්නවා බලන් ඉන්න මට බෑ.. උඹට ඩිංගක් හිතපං.. දිනූකා මිස් ගැන හිතන එක පවා හීනයක් නේද..? මිස්ට කොයි තරම් සල්ලි තියෙනවද කියලා මිස්වත් දන්නෑලු කාංචන.. ඇත්ත ඒකයි.. සල්ලි උඩ පීනන මිස් වගේ කෙනෙකුට උම වගේ අහිංසකයෙක් ගැන සමනළ පිහාට්ටක් තරම්වත් හිතන්න දෙයක් නෑ.."
"වැරදිලා හිතුවොත්..?"
"හිතුවොත් නේද..? ඒ හිතන්නෙත් එයාගෙ වාසියට.. වෙන මොනවටවත් නෙමෙයි.. අඩුගානෙ ඒකවත් තේරුම් ගනිං.."
කෑම ඩිංගක් ඉතිරිව තිබියදී අත සෝදා ගැනීමට පුබුදු පටුවෙන් නැගිට්ටේය. මම මගේ කෑම එක දිහා බැලුවෙමි. ඇත්තටම බලන්නට පවා දුකය. කෑම පිගාන බෙදාගෙන ආ පරිද්දටම මේසය මත තිබේ. ඇත්තටම මා මේ නොකා නොබී විදවන්නේ කවුරුන් වෙනුවෙන්ද..? මෙයින් මා හට ලැබෙන්නේ මොනවාද..? තේරුමක් ඇති දෙයක් වෙනුවෙන් නම් විදවීමට නොවේ, ඊටත් එහා දෙයක් වුවද කරන්නට මම කැපවෙමි. එහෙත් මා මේ ගෙවන්නේ කවර නම් කාලකණ්නි ජීවිතයක්ද..?
*****************************
පුබුදු ගියාඉන් පසුව කෑම පිගාන එලෙසම තිබෙන්නට ඉඩ හැර මම නැවතත් දිනූකා මිස්ගේත්, මගේත් කාර්යාල කාමරය තුලට ඇතුලු වූයෙමි. කාමරය පුරා පැතිරී තිබුණේ අති විශාල වූ පාලුවකි. එහෙත් මේ බියකරු පාලුව පරද්දන්නට මෙන්, දිනූකා මිස්ගේ විලවුන් සුවද වඩ වඩාත් දැඩිව කාමරය තුලින් හමා එනන්ට විය. හරියට ඇය මගේ අසලම සිටිනවා වැනිය. මම නොසන්සුන් වූ සිතින් හාත්පසම බැලුවෙමි.
දිනූකා මිස් මා හට කීවේ ඇය ගෙදර යන බව නොවේද..? එහෙත් ඇය කාමරය තුළ හිදිද්දී දැනෙන විලවුන් සුවදම, ඇය කාමරය තුළ නැතිවිටත් දැනෙන්නේ කෙසේද..? මෙය නම් මහා පුදුමයකි. සමහර විටෙක ඇයගේ විලවුන් බෝතලය වැරදීමකින් හෝ මේ කාමරයේ කොහේ හෝ තබා ගියාදැයි කියන්නට බැරිය. එහෙත් මේ තරම් සුවදක් එන්නේ කොහි සිටදැයි කියා සිතාගත නොහැකිව මම නැවතත් පුලු කාමරයම දැඩිව පරික්ෂා කළෙමි.
එහෙත් මා දැකී දෙයක් නැත. මා සෙයා ගත් දෙයක් නැත. කෙසේ වුවත් මම එක දෙයක් දන්නෙමි. ඒ මේ කාමරය තුළ මොකක් හෝ රහසක් ඇති බවය. සමහර අවස්ථාවන්හිදී දිනූකා මිස් කාමරය තුළ නොමැති අවස්ථාවල ඇයගේ දෑතේ වලලු එකිනෙක ගැටෙනා හඩ පවා සිහිනයෙන් මෙන් මට ඇසෙයි. එහෙත් ඇය දෑස පෙනෙනා කිසිම මානයකවත් නැ. තවත් විටෙක මට නොසෑහෙන්න බැන අහවර වී කාමරයෙන් පිටව ගිය පසු, මේසයට ඔලුව ඔබාගෙන සිටින මා හට සැනෙකින් ඔලුව උස්සා බැලූ කල මගේ දෑසට හදුවන්නේ කාමරය තුළ ඇති දවස් වර දැක පුරුදු අජීවී වස්තූන්ය. එහෙත් ඒ අජීවී වස්තූන් අතරින් මට ඇගේ සුවද දිගින් දිගටම දැනේ. හරියට මා පමණක් ජීවී වස්තුවක් වන කාමරය තුල ඇය මට නොපෙනී මගේ ළගින් හිදිනවා වැනිය.
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12362070
සවස මා කාමරයෙන් එනවිටත් පුබුදු පැමිණ සිටියේ නැත. දිවා කාලයෙන් පසුව කාර්යාලය තුළට වී සිටියාට, මා කිසිම දෙයක් කෙරුවේද නැත. පැය ගණනක් තිස්සේ මේසයට ඔලුව ඔබාගෙන අහස පොලව ගැට ගසන්නට මෙන් මම කල්පනා කෙරුවෙමි. අවසානයේදී මා ඔලුව ඉස්සුවේ, වාඩිවී සිටි්නට පවා නොහැකි තරමට දරුණු හිසරදයකුත් හදාගනෙය. සමස මා කාමරයට ආවේ ඒ කාලකණ්නි හිසරදය ද සමගය. එය මදක් හෝ සමනය වේ යැයි සිතා මම ඇදුම්වත් මාරු නොකර ඇදේ ඇල උනෙමි.
ඇයියාට හුග දවසකින් කතා නොකළ බැව්. මා හට සිහිවූයේ එවිටය. පසුගිය දින වලදී එක දිගට සිදු වූ සිදුවීම් නිසා මා හට සැබැවින්ම මේ මුලු මහත් විශ්වයේ සිටිනා එකම නෑදෑයාව අමතකව ගොස් තිබිණි. එය මගේ සිතට ගෙනාවේ අති මහත් වූ පසුතැවිල්ලකි.
"හවස මොකද වුණේ..?"
කමීසයෝ බොත්තම් ගලවන ගමන්ම කාමරය තුළට ආ පුබුදු ඇසුවේය. මම හරි බරි ගැහී ඇදේ වැඩු වූයෙමි.
"දිනූකා මිස් ආවේ නෑ.. ඒත්..?"
"මිස්ගෙ පර්ෆියුම් සුවද නම් හෝ ගාලා තිබ්බා.. එහෙමනේ.."
යාංතමට සිනාවනෙ ගමන් පුබුදු මදෙසට හැරුණේය. ආයෙ කියන්නට නම් දෙයක් නැත. මගේ කාමරයේ සිදුවන සියලුම දෑ ඇස් වසාගෙන වුවද ඔහුට කියන්නට පුලුවන. මම කිසිවක් නොපවසා පුබුදු සමග සිනහවිමි.
"කාංචනගෙ මූණ උදේ තිබ්බටත් වැඩිය අප්සට් ගිහින් නේ.. ඇයි සනීප නැද්ද..?"
"මට ටිකක් හිසරදේ වගේ.."
"අර මේසෙ උඩ පෙනඩීන් පෙති දෙකක් තිබ්බා.. ඉන්න මං ඒක අරගෙන දෙන්නම්.."
පුබුදු දුන් පෙනඩීන් පෙති දෙක වතුර වීදුරුවක් සමග එක හුස්මට බීමෙන බීගෙන ගියෙමි. මගේ සිහිකල්පනාව කොතරම්ද කියනවා නම් මේසය කොනේම තිබූ පෙනඩීන් පෙති දෙක මා දුටුවේ පුබුදු දුන් පසුවය.
"පහුගිය ටිකේම කාංචන හිතේ කරදරෙන් හිටපු හන්දා මං මේ දේවල් කිව්වෙ නෑ.. ඒත් දැන් ඒවා නොකියා ඉන්න බැරි තැනට ඇවිල්ලා.."
"මොනවද පුබුදු..?"
පපුවේ ගැස්ම හීන් සීරුවේම වේගවත් වෙද්දී මම ඇසිමි. ඇත්තටම මෙය මාගේ ජීවිතයේ නපුරුම කාලයක් විය යුතුය. අසන්නට දකින්නට පවා ලැබෙන්නේ නිරන්තරවම සිත රිදවනා දේවල්මය. සිත් සැනසිමෙන් දිවි ගෙවූ එක පැය බාගයක් නැත. මා හට විහිලුවටවත් සිතාගත නොහැක.
"මට හිතෙන විදියට නම් පූර්ණිමා රස්සාවෙන් අයින් වෙලා..."
"දෙ.. දෙයියනේ..."
හිස මත අකුණු දෙක තුනක් පතිත වූවා සේ, මම ගින්දරෙන් දැවී ගියෙමි. සිතා ගන්නට තියා කතා කරන්නටවත් නොහැකිව මහා දුකකින් මම වල්මත් වී ගියෙමි.
"අපි දන්නැති උනාට කෙල්ලට සෑහෙන්න කරදර තිබිලා කාංචන.."
"ගෙදර කරදරද පුබුදු..?"
"එහෙම නම් බම්බ කරන් කාපු රස්සාව දාලා යන්නෙ නෑනේ. කෙල්ල තනිකරම ගිහිල්ලා තියෙන්නෙ දිනූකා මිස් හින්දා.."
"දිනූකා මිස් හින්දා..?"
අසනා අසනා වචනයක් වචනයක් පාසා සිත සහමුලින්ම කඩාගෙන වැටෙද්දී, මම අසීරුවෙන් කටහඩ අවදි කරගත්තෙමි.
"ඔව්.. මට කිව්වෙත් වෑන් එකේ ඩ්‍රයිවර් බන්දුල.. අපි දන්නැති උනාට දිනූකා මිස්, පූර්ණිමාට සෑහෙන්න වද දීලා තියෙනවා. කෙල්ලට කම්පියුටර් සෙක්ෂන් එකේ වැඩ කරන්න බැරි තැනටම ඇදලා දාලා. පෙරේදා හවස පූර්ණිමා මේ පල්ලෙහා පඩිපෙල බැහැල ගිහින් තියෙන්නෙ මහ හයියෙන් අඩ අඩා කාංචන.."
"දෙයියනේ.. මොන පවක්ද මේ අහිංසක කෙල්ලට පඩිසන් දීලා තියෙන්නේ..? මේ කෙල්ල දිනූකා මිස්ට මොන වැරැද්දක් කලාටද..?"
"වැරැද්ද කෙරුවෙ උඹයි කාංචන.."
පුබුදුගේ ඇස් කෙලින්ම එල්ල වී තිබුණේ මා වෙතටය. එහි තිබූ දීප්තිය දරා ගැනීමට නොහැකිව මම බිම බලා ගත්තෙමි. පුබුසු මේ කියන්නේ මොනවාද..? කුරා කූඹියෙකුටවත් වරදක් නොකළ මා වැරදිකරුවෙකු ලෙසින් පුබුදු හදුන්වන්නේ මොන සිතකින්ද..?
"ම.. මං මොනවද කෙරුවෙ පුබුදු..?"
ජීවිතයේ දුක්බරකමින්, අන්ත අසරණ අඩියටම වැටී සිටි මා වේදනාවෙන් පෙගී ගිය දෑසින් පුබුදුගේ දෑස දෙස බැලුවෙමි.
"උඹයි, පූර්ණිමයි කතාබහ කරන එක, හම්බවෙන එක නැවැත්තුවාට, දිනූකා මිස් ඒක බිංදුවක්වත් විශ්වාස කරලා නෑ. එයා හිතලම තියෙන්නෙ එයාට හොරෙන් උඹල කතාබහ කරනවා ඇති කියලා.."
"ඉතිං අපි හම්බවෙන්න තියා කතාබහ කරේවත් නෑනේ පුබුදු.. අනික මං ඒ වගේ දෙයක් කනව නම් උඹට නොකියා ඉන්නවද..? මට හැමදේකටම ඉන්නෙ උඹ විතරනේ.."
අන්තිම හරිය කියාගෙන යද්දි මගේ සෑදට කදුලු උනා ආවේය. මෙය නම් පුදුමාකාර තරමේ අවාසනාවන්තකමකි. කදුළක් නොවැටී, සිනාවෙන් ගතවූ එකදු දිනයක්වත් පසුගිය කාලයේ ගෙවී ගියේ නැත. සමහර විට මා ගිය ආත්මයේ කල මහ විශාල පවක්, මේ ආකාරයෙන් මට පඩිසන් දෙනවා විය හැකිය. සිත මේ තරමට දුක්බරව ඇත්තේ ඒ නිසාය.
"මං ඒක නොදන්නවා නමෙයි කාංචන.. ඒත් මේ පහුවුනු දවසක උඹ කැන්ටිමේදි පූර්ණිමත් එක්ක ලව් සීන් එකක් ඇක්ට් කරනවා දිනූකා මිස් දැකලා තියෙනවා.."
"උ.. උඹ මේ මොනවද කියන්නේ..? උඹට පිස්සු හැදීගෙනවත් එනවද..?"
පුබුදුගේ හතර බීරි කතාවට මම තක්කු මුක්කු වී ගියෙමි. මෙවැනි අවනඩු නම් පොල් ගසා හෝ කිව හැක්කේ දෙවියන්ටය.
"පූර්ණිමා මේසෙට ඔලුව ගහගෙන අඩ අඩා ඉදලා තියෙනවා. උඹ එතෙන්ට ගිහින් කෙල්ලගෙ ඔලුවෙන් උස්සලා ආදරෙන් කතා කර කර ඉදලා තියෙනවා.."
සැනෙකින් තත්පරයට දෙකට මට සියල්ල පැහැදිලි වන්නට විය. මේ අර පුබුදු, පූර්ණිමාට කතා කල පසු ඇය පුබුදු හා කතා නොකර ගිය දවසේ සිදු වූ සිදුවීමය. මා පූර්ණිමා ළගට ගියේ පුබුදුට එසේ කළේ ඇයිදැයි අසන්නටය. ඇය කිසිවක්ම නොපවසා මා ප්‍රතික්ෂේප කළ හැටි මගේ මනසේ තිබිණි. එය එසේ වෙද්දීත්, මේ දේවල් මේ ආකාරයට ප්රචායර වූයේ කෙසේද..?
"හැමෝටම වැරදිලා පුබුදු.. ඔය කියන දවසෙ කැන්ටිමේ මට පූර්ණිමාව හම්බවුණා තමයි. ඒත් මං එයාගෙන් ඇහුවේ ඇයි පුබුදු කතා කලාම අහක බලන් හිටියෙ කියලා. අනික මං පූර්ණීමාගෙ ඔලුවෙන් උස්සලා ආදරේ හිතෙන විදියට බලන් හටියෙත් නෑ. කැන්ටිම කියන්නෙ ආදරේ කරන්න පුලුවන් තැනක් නෙමේනේ පුබුදු."
"ඇත්තම තමයි.. ඔය කියන දවසෙ නේන්නම් පූර්ණිමා මට කම්පියුටර් සෙක්ෂන් එක ඉස්සරහදි ගණන් ඉස්සුවේ.. මං ඒක ඒ වෙලාවෙදිම උඹත් එක්ක කිව්වනේ.. ඒත් මං කීයටවත් හිතුවෙ නෑ, උඹ ඒක කෙල්ලගෙන් අහවි කියලා.. මට දැන් හැමදේම තේරෙනවා. මේක තනිකරම මිස්අන්ඩස්ටෑන්ඩ් කර ගැනිල්ලක්.."
"මිස් අන්ඩර්ස්ටෑන්ඩ් හරි මිස්අන්ඩර්ස්කටර් වුණත් දැන් වැඩක් නෑනේ පුබුදු.. අර අහිංසක කෙල්ල හම්බ කරන් කාපු රස්සාව දැන් නෑනේ.. අපි දැන් මේකට මොකද කරන්නේ..?"
ඒ වනවිට මගේ මනසේ ඇදී තිබුනේ ඇඩීමෙන් හෙම්බත් වී බයාදු ලෙස දෙස බලා සිටිනා පූර්ණිමාගේ අසරණ රූපයයි. බොහේ වේලාවක් යනතුරු මාගේ ප්‍රශ්නයට පුබුදුගෙන් පිළිතුරක් ලැබුණේ නැත. පූර්ණිමාට කරදරයක් වේ යැයි බියෙන් මේ මොහොත දක්වාම හුදෙකලා පුලන්නෙකු සේ මා දත කට පියාගෙන සිටි බැව් සැබෑය. එහෙත් තවදුරටත් ඒ නිහඩ වෘතය මා රකින්නේ කෙසේ..? මුලු හිතම හෝදා පාලුවී කාලනණ්නි වී ගියාක් බදු හැගීමක් හිතට දැනෙද්දී මගේ දෑසට කදුළු උනා ආවේය.
"උඹ හිතන්නෙ මොනවා කලොත් හොදයි කියලද..?"
ප්‍රශ්නයට බොහෝ වේලා ගොසින් උත්තරයක් ලෙසට ලැබුණේද ප්රශ්නයකි. කළ යුතු දේ කුමක්දැයි සිතා තිබුණේ මෙයට බොහෝ වේලාවකට කලිනි. එහෙත් එය ක්‍රියාත්මක කළ හැකිදැයි දන්නේ දෙවියන් පමණි.
"අපි පූර්ණිමාලහ යමු.."
"අදහස නම් හොදයි කාංචන.. ඒත් දිනූකා මිස් දැගනගත්තොත්.."
"ඉතිං දැනගත්තාවේ.. අපිට මොකද.. එයාට ඕන ඕන විදියට මං නටන්නෑ කියලා හිතාගත්තා.. මොන මළ කරුමයක්ද පුබුදු මේ මගේ පස්සෙන් එලවන්නේ.. බලන් ගියහම කිසිම නිවනක් නෑ නේ.. මට හැමදේම, හැමදේම එපා වෙලයි තියෙන්නේ.. අනික දැන් ඉතිං පූර්ණිමත් මේක ඇතුළෙ නෑනේ.. මං විනීතව, තැන්පත්ව හැසිරිලා කවුරු ආරක්ෂා කරන්නද..?"
මා සිතුවේ මගේ කතාවෙන් පුබුදු සතුටින් ඉපිල යයි කියාය. එහෙත් එය වූයේ නැත. කිසිමදාක මා පුබුදු වෙතින් දැක නොමැති බයාදු බැල්මකින් මුළු මූණම පුරවාගෙන, මේ ආයතනයේ සිටිනා එකම මිත්‍රයා බිම බලා ගත්තේය. සෑම දෙයකටම මට උපදෙස් දී මාව ආරක්ෂා කළ, මගේ ආදරණිය හිතවතා මෙලෙස හැසිරෙන්නේ ඇයිදැයි සිතා ගැනීමට නොහැකිව මම ලතවුණෙමි.
"කාංචන එහෙමද හිතන්නේ..?"
පුබුදුගේ කටහඩ පිරී ගොස් තිබුණේ මහා දුකකිනි. කවදාවත් නැති විලසට ඔහු මේ ලෙසින් බිමටම වැටී සිටින්නේ ඇයි..?
"ඇයි පුබුදු මං වැරැද්දක් කිව්වද..?"
"කාංචන වැරැද්දක් නම් කිව්වෙ නෑ.. ඒත්.. ඒත්..."
කතාව නවතා පුබුදු මගේ අතකින් අල්ලා ගත්තේය. මෙතෙක් කලක් මා වෙතට දැඩි රැකවරණයක් දුන් ඒ මෘදු දෑස්වල ඇති අන්ත අසරණකම දකින්නට මට දෙවරක් ඔහු දෙස බලන්නට අවැසි නොවීය.
"කියන්න පුබුදු... ඕන දෙයක් කියන්න.. මං අහගෙනයි ඉන්නේ.."
"ඔයා කවුරු ආරක්ෂා කරන්නද කියලා මගෙන් ඇහුවා.. පූර්ණිමාව බේරගන්න ඔයාට බැරිවුණ එක ඇත්ත.. ඒත් ඒත් ඔය ඩිංගට ඔයාට මාවත් අමතක වුණාද කාංචන.."
හුදෙකලා පට්ට පාලු ඝනදුරු රැයක, හොල්මන් සීයක් මුණ ගැහුණාක් වැනි බියකින් මම සලිත වී ගියෙමි. දෙවියනේ... පුබුදු මේ නොකියා කියන්නේ මා ඔහුවත් ආරක්ෂා කළ යුතු බව නොවේද..? ඔහුගේ රැකියාවට මෙන්ම, ඔහුටත් මා නිසා දිනූකා මිස්ගෙන් තර්ජනයක් එල්ල වී ඇති බවද..?
" දිනූකා මිස් උඹට මොනවා හරි කිව්වද..?"
හැම ප්‍රශ්නයකම උල්පත එතැනය. ප්‍රශ්න ගලා ආවේ එතැනිනි. තත්පරයක් දෙකක් මාදෙස බලා හිද පුබුදු ශෝකී මදහසක් මුවට නගා ගත්තේය. මා මගේ ලොවේ ශක්තිවන්තයෙකු ලෙස සිතා සිටි ආදරණිය හිතවතාගේ මේ බිද වැටීම මගේ ශක්තියද බිද දමන්නාක් වැනිය.
"අපි ඒ ගැන කතා නොකර ඉමු කාංචන.."
"කතා නොකර ඉදලා බෑ පුබුදු.. මට මේ හැමදේම දැන ගන්න ඕන. අඩුගානෙ මේ වෙන දේවල්වත්, මට තේරුම් ගන්න පුළුවන් එතකොටයි.."
දිවා ආහාර වේලාවේ පුබුදු කතා කල විලාසයත්, දැන් කතා කරන විලාසයත් අතර තිබූ පරස්පරතාවය ගැන දෙවරක් සිතන්නට මට අවැසි නොවීය. ගෙවී ගිය සවස් කාලයේ කුමක් හෝ දෙයක් සිදුවී ඇත. මෙතෙක් කලක් මාවත් රැකගෙන සිටි දහිරියවන්ත මිතුරාගේ ශක්තිය බිද වැටීමෙන් පෙනෙන්නේ සිදූවී ඇති දෙය නම් හොද දෙයක් නොවන බවය.
"මට හවස දිනූකා මිස් කතා කලා.."
මම උඩ විසිවී ගොස් බිම වැටුණෙමි. කවදාවත් නැතිව පුබුදුට, දිනූකා මිස් කතා කරේ හොදකට නම් වෙන්නට බැරිය. අනික දිනූකා මිස්ගේ හෙවනැල්ල ගෑවුණේද එය කෙලවරේ වන්නේ මහා දුකකි. ජීවිතය කඩා ඉහිරවන කලකිරීමකි. එය අත්දැකීමෙන් දන්නා මා හට පුබුදුගේ කතාවට බිය වීමට සෑහෙන සාධාරණ කරුණු රාශියක් තිබිණි.
"දිනූකා මිස් කතා කලා... කොහේ ඉදන්ද..?"
"කොහේ ඉදන්ද කියලා නම් මං දන්නෙ නෑ.. එත් මිස් මගෙන් කෙලින්ම ඇහුවා පූර්ණිමාට වෙච්ච දේ කරගන්න ආසාවක් තියෙනවද කියලා. "
මගේ මුලු ඇගම පණ නැතිවී ගියාක් බදු හැගීමක් මට දැනෙයි. දෙවියනේ.. මේ කවර නම් පාපයක්ද..? මගේ ළගින් සිටිනා අයට මෙලෙසින් දඩුවම් ලැබෙන්නේ ඔවුන් මට ළංවී සිටිනා නිසාද..? මට වෙන්නේ කවුරුවත් නැතුව හුදෙකලා වී සිටින්නද..?
"මං ඇහුවා ඇයි මිස් එහෙම කියන්නෙ කියලා.. ඒත් දිනූකා මිස් වචනයක්වත් කිව්වෙ නෑ.. මං කීප සැරයක්ම ඒ ප්‍රශ්නෙ ආයෙත් ඇහුවම මිස් කිව්වා හැමදේටම කලින් රස්සාව ආරක්ෂා කරගන්න කියලා.."
"මිස් එච්චරද කිව්වේ...?"
"ඔව් කාංචන.. මට පේන විදියට මිස් ඩිංගක්වත් කැමති නෑ උඹ කාටවත් ලංවෙනවට.. මට දැනෙන එකම දේ ඒකයි.. පූර්ණිමාට මේ තරම් ලොකු වන්දියක් ගෙවන්න උනෙත් ඒකයි.. තව ඉස්සරහට මට වෙන්නෙත් ඒකම තමයි.."
"නෑ.. නෑ.. පුබුදු.. මං කවදාවත් උඹට කිසිම දෙයක් වෙන්න දෙන්නෑ.. පූර්ණිමාව මට බේරගන්න බැරි උන එක ඇත්ත.. ඒත් මං උඹව බේරගන්නවා. උඹව බේරගන්නම බැරි තැනට මාව පත්වුනොත්, මං මේ හැමදේම අතෑරලා දාලා ඔලුව හැරුණු අතක යනවා. මට වෙන කරන්න දෙයක් නෑ.."
මා කී දේට පුබුදු කිසිවක්ම කීවේ නැත. ඔහුගේ මුලු මුහුණ පුරාම සිතක් අසන්තෝසයට පත්වීමේ අංග ලක්ෂන අඩුවක් නැතිව දකින්නට ලැබිණි. එසේම ඔහුගේ මූණ දෙස දෙවරක් බලන්නටද මට ඇවසි නොවීය. මම සෑම දෙයක්ම නිවැරදිව තේරුම් ගතිමි..
"තව ඉස්සරහට මට උඹත්තෙක්ක වචනයක්වත් කතා කරන්න බැරිවෙයි.. කොටින්ම මටයි, උඹටයි මෙතන මේ රූම් එකෙත් ඉන්න බැරිවෙයි.."
"ඒ ඇයි පුබුදු..?"
"මට හිතෙන විදියට ඒක එහෙම වෙයි.. දිනූකා මිස් මොකාට එන්න හදනවද කියලා මට තේරෙන්නෑ.. ඒත් මට එක දෙයක් තේරෙනවා.. ඒ තමයි උඹව, අපි හැමෝගෙන්ම උදුරලා එයා ළගට ගන්න හදන එක. හැබැයි ඉතිං මොනවා උනත්, මං ඒ දේට කැමතියි. මොකද උඹ වගේ අහිංසක කොල්ලෙකුට හරියනවට මං මගේ හදවත ඇතුළෙන්ම කැමති හන්දා.. ඒත්..?"
"ඇයි පුබුදු...?"
"ඒත් ඒක එහෙම නොවුණොත්..? දිනූකා මිස් උඹව පාගලා දැම්මොත්..?"
පුබුදුගේ ප්‍රශ්න දෙක ඉදිරියේ මට දීගන්නට තරම් හොද උත්තරයක් තිබුණේ නැත. අනේ දෙවියනේ.. මේ තරම් ප්‍රශ්න ගොඩක් මැදට අපිව තල්ලු කර දැමුවේ ඇයි..? මා වැනිම අහිංසකයෙකු වූ පුබුදුටත් මගේ අවාසනාවන්තකම බෝ වූවාක් වැනිය. ජීවිතයේ සුන්දර සමනළ හීනයන් පෙනි පෙනීම මා හට නරකාදියේ ආවාට මතක් කරන්නේ මේ දෛවයමය..
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12362076
පසුදා මා අවදි වූයේ රාත්‍රියේ තිබූ හිසරදය දෙගුණ, තෙගුණ වී දැනෙද්දීය. මුළු ඔලුවම මහ වේදනාවකින් පෙලෙන්නට වූයේ මහ මෙර ඔලුව උඩින් තැබුවාක් මෙනි. මා අවදි වන විටදී පුබුදු කාමරයේ සිටියේ නැත. අද උදෑසනම, දිනූකා එන්ටර්ප්‍රයිසස් අනෙක් ශාඛාවේ ගණන් හිලව් වගයක් නිවැරදි කර ගැනීමට පුබුදු යන බවක්, කී හැටි මට මතක් වූයේ ඒ වෙලාවේදීය. අද වැඩට නොයා උදව වරුවේ හෝ කාමරය තුළට වී සිටිවා නම් හොදය. මාස ගණනකින් මා එකදු නිවාඩුවක් හෝ ලබා ගත්තේ නැත. නිවාඩුවක් ගන්නට හිතේ කැමැත්ත තිබුණත් දිනූකා මිස්ගෙන් ඒ ගැන අහන්නට බැරිකම නිසාවෙන් මම සෑමදේම දරාගෙන උන්නෙමි. සේවයට ආදා සිට, මා අයියා හා ජයවර්ධන අංකල්ව බැලීමට ගොස් ඇත්තේ ද එකවරකි. ඔවුන් මා ගැන මොනවා සිතනවාදැයි සිතන විට හිසේ කැක්කුම තව වැඩිවෙයි.
වැඩට නොයා ඉන්නට සිතුනද, ඊයේ දහවලෙන් පසුව දිනූකා මිස් නොදැකි බව මට මතක්විය. ඇයව එක් වරක් හෝ දුටුවෝතින් මේ හිසරදය සමහර විට අඩුවනු ඇත. එසේ නැතිනම් තිබ්බාටත් වැඩිය තවත් වැඩිවනු ඇත. කෙසේ වුවද අතට අසුවුණු කමීසයක් හා කලිසමක් ඇදගෙන මම කාර්යාලයට ඇතුලු විමි. මගේ දෑස කෙලින්ම යොමු වූයේ යුරෝපීය ඇදුම් කට්ටලයකින් මනා ලෙස සැරසී හුන් දිනූකා මිස් වෙතටය. උදෑසනම නැවුම් පින්නේ පිපුණු රෝස කුසුමක් මෙන් ඇය විකසිතව සිටියාය. පෙනෙනා හැටියට නම් අද දවස සුභ දවසක් වාගයෙ. මගේ හිතේ වූ බර ගතියද කෙමෙක් කෙමෙන් අඩු වී යනු මට දැනෙයි.
"ගුඩ් මෝර්නින් මිස්.."
මම කට පුරා මෙන්ම, හිත පුරාද අහිතකින් තොරව කීවෙමි. දිගු සොදුරු දෑස සැනෙකින් මා වෙතට එල්ල විණි. එහෙත් මා බලාපොරොත්තු වූ සුහද බව එහි තිබුණේ නැත.
"තව ටික වෙලාවක් ගියා නම් ගුඩ් ආෆ්ටර්නූන් කියන්නත් තිබ්බා තමුන්ට ඕන ඕන වෙලාවට එන්න මේක අම්බලමක් කියලා හිතුවද..?"
මම උඩ විසිවී ගොස් බිම වැටිණි. දෙවියනේ.. මා මොහොතකට කලින් සිතුවේ, මගේ අපල කාලය අවසන්ව ඇති බවය. එහෙත් එය මේ කපේ අවසන් නොවනා බැව් මේ ඇසෙන වදන් සාක්ෂි දෙයි.
"ම.. මට ටිකක් සනීප මදි මිස්.. මං වැඩට ආවෙත් අමාරුවෙන්.. නොයා ඉන්න බැරි හින්දා.."
මගේ අසරණ වචන වලට ඇයගේ ඇත් දළ පැහැගත් මුහුණේ දැඩි අමණාපයක් සටහන් විය. ඇයට මේතරම් නොරොක් වන්නට මා කළ එකම වැරැද්ද පමාවී සේවයට වාර්ථා කිරීම දැයි මම දහ අතේ සිතුවෙමි.
"නොයා ඉන්න බැරි නම් ඒකටත් හේතුවක් ඇති නේ.. ඔය කියන තරම් අමාරුකම් තියාගෙන මෙතෙන්ට පරක්කු වෙලා දුවගෙන එන්නේ, ඇයි මෙතන කවුහරි ඉන්නවද දවසක් හරි නොදැක ඉන්න බැරි.."
"එ.. එහෙම දෙයක් නෑ මිස්.."
"නැත්නම් කොහොම දෙයක්ද තියෙන්නේ..?"
"කිසිම දෙයක් නෑ.. මං අමාරුවෙන් උනත් ආවෙ මේ ආයතනයට ආදරේ හින්දා.. මට ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න උදව් දෙන හින්දා.."
"බොරු කියන්නෙපා.. බොරු කියන්නෙපා.. මට ඔය බොරු කියන මිනිස්සු පේන්න බෑ.. හිතේ එකක් තියාගෙන, බඩේ තව එකක් තියාගෙන, කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් එකක්.. ෂිහ්.. මට.. මට තමුන් ගැන ලැජ්ජයි.."
හිදගෙන හුන් තැනින් නැගිට ඇය කෙලින්ම මවෙතට ආවාය. වෙන්නට යන්නේ කුමක්දැයි නොදැන මම සිටගෙන සිටි ඉරියව්වෙන්ම තක්කු මුක්කු වී බලා සිටියෙමි. ඇය මට පහර දෙන්නට මෙන් මේ කඩා බිදගෙන එන්නේ ඇයි..? මම ඇයට කිසිදු වරදක් නොකළෙමි. ඇයට මා ගැන ලැජ්ජා සිතීමට තරම් දෙයක් මම කර නොමැත්තෙමි. සැමදා මා ඇයට විශ්වාසවන්තව, පක්ෂපාතීව සිටියා නොවේද..?
"ම.. මං මිස්ට ලැජ්ජා වෙන්න තරම් දෙයක් කරලා නෑ.. මිස්.. මං මේ ආයතනයට ආදරෙයි කියලා කිව්වෙත් ඇත්තටමයි.."
මගේ මුහුණ ඉදිරියට විත් නැවතුණු, ඒ සොදුරු රූපයට මම අහිතකින් තොරව කීවෙමි..
"මට ලැජ්ජා කරේ නෑ කියලද කියන්නේ..?"
මා වෙතට දබරැගිල්ල දිගු කරමින් ඇය කඩා පැන්නාය. ඊයේ දහවලින් පසුව කුමක් හෝ දෙයක් සිදුවී ඇතැයි දැන් දැන් මට සිතෙයි. ඇය හදන්නේම මා සමග රන්ඩුවකට පැටලීමටය. ඒ නිසාම ඒ ඉඩ අවම කිරීමට මා හැකි තරම් උත්සාහ ගත්තෙමි. මා කාර්යාලයට ප්‍රමාද වී පැමිණීමේත්, මේ දැන් සිදුවීගෙන යන කතා බහෙත් කිසිදු සම්බන්ධයක් නැති බැව් මට වැටහෙයි.
"තමුන්ගෙ මාලුපාන් ගෙඩියෙන් කෑල්ලක් උදුරගෙන කෑවා කියලා, තමුන් පුබුදුත් එක්ක කිව්නෙ නැද්ද..? එහෙම කියලා හක හක ගාලා කැත විදියට මට හිනා වුණේ නැද්ද..? මනුස්සකමට පවු කියලා පුංචි බුරුලක් දුන්නහම හිතන්නෙ ඇද උඩටත් නගින්න පුලුවන් කියලා.. ඉස්සෙල්ලම තමුන්ගෙ තත්වෙ දැනගන්නවා.."
මම තුන් මුනින් දාඩිය දාගෙන, විළි වැදී ගියෙමි. දෙවියනේ.. මේ තරම් අසික්කිත කතාවක් දිනූකා මිස්ගේ මුවින් කෙසේ නම් පිටවුණාද..? ඇයට මේ තරම් කේන්ති ගොස් ඇත්තේ මාලුපාන් කෑල්ලේ කතාන්දරය මා පුබුදුත් සමග කියූ නිසා බැව් පැහැදිලිය. එහෙත් මා පුබුදු සමග කළ කතාබහ ඇය දන්නේ කොහොමද..? අනික ඊයේ දහවලින් පසුව කාර්යාලයට ඇය ආවේද නැත. එක්කො මේ කතාව කියනවා නම් කිය යුත්තෙ පුබුදුය. එහෙත් ලෙංගතු මිත්‍රෙයකු වූ පුබුදු වෙතින් එවැනි පාවාදීමක් කිසි කලෙක සිදුවන්නට බැරිය. එසේ නම් මේ හැමදේම දිනූකා මිස් දැනගත්තේ කොහොමද..? මගේ හිසේ කැක්කුම තව තවත් වැඩිවනු මට දැනෙයි. මේ විදියට පීඪා විදින්නට සිදුවුවහොත් තව ටිකකින් මගේ ඔලුව හත්කඩකටවත් පුපුරා යනු ඇත.
"ඇයි.. මොකද කතා කරගන්න බැරිද..? ඕන උනේ එක එකා ඉස්සරහ මාව පාච්චල් කරලා දාන්නනේ.. දැන්වත් සනීපද..? දැන්වත් නිද්ද යාවිද..?"
ඇය තවත් මොනවදෝ කියවමින් මට පස් පඩංගුවේ බැන වදියි. ඇතත්ටම ඇය මේ කියනා කිසිවක් දැන් දැන් මගේ හිතට වදින්නේ නැත. කලු වලාකුලකින් වැසී ඇති සොදුරු සදවතිගේ නොරිස්සුම් සහගත දෙනෙත් දෙස මම එක එල්ලයේම බලාගෙන සිටියෙමි. රටේ නැති අනේක ජාති කියමින් ඇය මා හට මෙලෙසින් බැණ වදින්නේ ඇයි..?
"ඒ පාර ගල් බමුණා වගේ ගොලු වෙලා ඉන්නවා.. කතා කරනවා.. කතා කරනවා.. ඇයි ඒ වගේ පහත් වැඩක් කලේ.. තමුන්ට කියලා පෞද්ගලිකත්වයක් නැද්ද..? කවද හරි දවසක තමුන් බැදලා හනිමූන් ගියාම, ඒ වෙන දේවලුත් යාලුවොත් එක්ක කියවලා ඒ කෙල්ලගෙ ආත්ම ගරුත්වෙ බල්ලට දානවද..? කතා කරනවා..."
"ම... මගේ අතින් එහෙම දෙයක් උනේ නෑ මිස්.. ප්ලීස්.. ම.. මට ඔය විදියට කතා කරන්නෙපා.. මං.. මං.. මිස්ට වැරැද්දක් කලේ නෑ.. මේ සිද්ධ වෙන දේවල් දරාගන්න බැරි හින්දයි මං පුබුදුත් එක්ක මේ හැමදේම කිව්වේ.. මගෙන් මෙහෙම පළිගන්න මං මිස්ට කරපු වැරැද්ද මොකක්ද...? දෙයියනේ.. මං.. මං මිස්ට මොනවද කරලා තියනේනේ..? අනික මං වගේ අසරණයෙකුට, මිස් වගේ ලොකු කෙනෙකුට මොනවද කරන්න පුළුවන්.. අ.. අනේ මට එහෙම කරන්නෙපා මිස්.."
දෑසට ඉවසිල්ලක් නොමැතිව කදුලු ගලා එද්දී, මම වෙව්ලමින් කියාගෙන ගියාගෙන ගියෙමි. ඇත්දල පැහැ වතෙහි තිබූ නොරිස්සුමට තවත් අලුතින් කෝපයක්ද එක්කහු වනු මට පෙනිණි. ඇය හදන්නේ මා හට තවත් බැණ වදින්නටය.
"ඔව් ඉතිං.. ඕනම දේකට ඇස් දෙකට කදුළු පුරවගත්තහම හැමදේම හරිනේ.. ඇත්තටම තමුන් හිතාගෙන ඉන්නෙ හොටු පෙරාගෙන ඇඩුවාම මේ වෙලා තියෙන දේවල් ආයෙත් තිබ්බ විදියට හැදේවි කියලද..?"
ඒක නම් අසන්නට ඕනැ ඇගෙන්මය. හැමදේම නැති භංගස්තාන වෙන විදියට වැඩ කර, සියල්ලටම වැරදිකරු ලෙසය ඇයට පෙනෙන්නේ මාවමය. තවත් නම් මේ නින්දා, අවලාද ඇසිමේ ශක්තියක් මට නැත. ඇය මගේ මාලුපාන් කෑල්ල කෑවා කියා පුබුදු සමග කී එකට මේ තරම් සවුත්තු ලෙස හැසිරීමට ද ඇයට උවමනා නැත. මා කලින් කීවා සේ ඇය කුමක් හෝ තරහක් මගේ පිටින් දියකර හරින්නට උත්සාහ දරන බවක් මට පෙනේ..
"අර පූර්ණිමත් මෙතනින් අස්වෙලා යන්න ඇත්තෙ තමුන්ගෙ තියෙන නෝන්ජල්කම ඉවසගන්න බැරිව වෙන්නැති. ඇයි ඉතිං ඕනම දේකට හොටු පෙරාගනෙ අඩනවනේ.."
ඇය, මාව දමන්නට ඕනා පහත් තැනටම දැමුවද මගේ හිතට තරහක් ආවේ නැත. ඒත් පූර්ණිමාගේ නික්මයාම පිලිබදව ඇය කීවේ අමුම අමු මුසාවදයකි. කදුළු පෙරාගෙන වුවත් එතැනදී මට කට පියාගෙන හිදිය නොහැකිය. කලින් දවසේ දහවල් මහ මගදී ඇය කරන්නට ඇත්තේ සම්මානයක් සදහා වුවත් නිර්දේශ කළ හැකි තාලේ විශිෂ්ඨ රගපෑමකි. එහෙත් ඒ රගපෑමට මා වැනි අන්ත අසරණ හිගන්නෙකු දිනූකා මිස් තොරා ගත්තේ ඇයි..? මේ ආයතනයේ මට වඩා උගත්, සිත් ඇද බැද තබාගන්නා පිරිමින් කී දෙනෙක් නම් සිටිනවාද..? උන් එකෙක්වත් දුප්පත් කාංචන සේ ඇයට බයිට් එකක් වූයේ නැත්තේ ඇයි...?
"පූර්ණිමා අස්වෙලා ගියේ මිස් හින්දා.."
කදුලු එක දිගට ගලාගෙන ගොස් බොදවුණු දෙනෙතින් මම ඇය දෙස බැලුවෙමි. අපැහැදිලිව වුවත් ඒ කෝමල මුහුණේ සිදුවූ ක්ෂනික වෙනස්කම ගැන මම දුටුවෙමි. සැබැවින්ම දිනූකා මිස් තිගැස්සී ගියාය. මා කියූ දේ අදහා ගැනීමට බැරිව ඇය මොහොතක් මදෙස බලා සිටියාය. අන්ත අසරණ හිගන්නෙකු සේ ඇයගේ දෙපා ලෙවකමින් සිටි දුප්පත් කාංචනගෙන් මෙවැනි ප්‍රති ප්‍රහාරයක් ඇය කීයටවත් බලාපොරොත්තු නොවන්නට ඇත.
"පූ.. පූර්ණිමා අස්වෙලා ගියේ මං හින්දා..?"
"ඔව්.. දිනූකා මිස් මගෙන් පලි අරගෙන ඉවරවෙලා, අන්තිමට ඒ අහිංසක කෙල්ලගෙනුත් පළිගත්තා. හැබැයි ඉතිං මේ අද වෙනතුරුත් මමයි, පූර්ණීමයි මිස්ට කරල තියෙන වැරැද්ද මොකක්ද කියල අපි දන්නෑ.."
"මොනවා.. මං තමුසෙගෙන් පළිගත්තා... මං.. මං මොකටද තමුසෙගෙන් පළිගන්නේ..? අනික මේ කොහේවත් ඉන්න පූර්ණිමෙක් මෙතනින් අස්වෙලා ගියාට ඒකට මං සම්බන්ධ වෙන්නෙ කොහොමද..?"
මේවා නම් බලන්න ඕනෑ පත්තිනි ගම්බාර දෙවියන්මය. නඩුත් හාමුදුරුවන්ගේය.. බඩුත් හාමුදුරුවන්ගේ වූ කල අසරණ කාංචනලාට වෙන දේ උඩ ඉන්නා තිස් තුන් කෝටියක් දේවතා වහන්සේලාවත් දන්නේ නැත. කොටින්ම මට වෙන දේ මමවත් දන්නේ නැත.
"මිස් සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා මං කියන්නම්. එතකොටවත් මිස්ට තේරේවිනේ, මිස් කොයි තරම් ලොකු හපන්කමක්ද කරලා තියෙන්නෙ කියලා.."
"තමුසෙ කාටද ඔය කතා කරන්නේ..?"
"ම.. මං මෙච්චර දවසක් ඉවසුවා මිස්.. දැන් නම් හොදටම ඇති.. මෙතන ඉදලවත් ඔය කැත විදියට කතා කරන එක නවත්තන්න.. මං මිස්ට කතා කරන්නෙ ගරු නම්බු දීලා. ඒක මගෙ හැදියාව.. ඒත් මිස්ගෙ හැදියාව කොහොම උනත් අඩුගානෙ මගේ නම කියලවත් කතා කරන්න.. මොකද සතෙකුට උනත් සලකන විදියක් තියෙනවනේ.."
මම කියාගෙන කියාගෙන ගියෙමි. මෙතුවක් දවස් අන්තිම අහිංසකයෙකු සේ හිද මා ලැබූ දෙයක් නැත. මගේ ඒ අගය කළයුතු අහිංසකකම දිනූකා මිස් දැක්කේ නෝංජල්කමක් ලෙසය. එසේත් නැතිනම් ඩිංග ඇත්නම් ඇස් රතු කරගන්නා හොට්ට බේරෙන හිගන පාංකඩ කොල්ලෙක් හැටියටය. එහෙත් මටද ආත්මයක් ඇති බැව් මේ අහංකාර ස්ත්‍රී රත්නයට පෙන්වා දිය යුතුව ඇත. මේ මා අඩියෙන් අඩිය ඉදිරියට පියවර තබමින් යන්නේ ඒ මහගු කර්තව්‍යය සදහාය.
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12362081
"ම.. මගේ හැදියාව ගැන කතා කරන්නේ, මං නරක ගෑණියෙක්ද මිනිහෝ... මොනවද මේ කියවන බහුබූත.."
ගිරිය යටින් මහා සද්දෙට කෑගසමින් ඇය මගේ මූණ මැදට එබුණාය. ගස් ඉදිරී වැටෙන දැවැන්ත කුණාටුවක් මේ දුප්පත් කාංචනගේ පපුව උඩින් මහාගෙන ගියද දැන් එය ගැටලුවක් නොවේ. ප්‍රහාරයට හොදම දේ පසුබැසීම නොව පෙරලා පහර බැව් මම දැන් දන්නෙමි. ඒ දැනගත්තේද දිනූකා මිස් හා දිගින් දිගටම රන්ඩු වීමෙනි. ඇය මා මේ ආයතනයෙන් අස් කරනවා නම් මේ දැන් සිදුවන කතාබහ ඉහටත් උඩින්ය. ඒ දේට වුවත් දත කට මැද සූදානමින් සිටියෙමි. එහෙත් මෙහි එයට වඩා වෙනස් කතාන්දරයක් ඇති බවක් මට වැටහේ. ඒත් එය කුමක්දැයි මට හරිහැටි නිච්චියක් නැත.
"මිස් නරක ගෑනියෙක්ද හොද ගෑනියෙක්ද කියලා මගෙන් අහලා හරියන්නෑ.. ඒවා මිස් මිස්ගෙන්ම අහගන්න.. මිස්ගෙ පපුව ඇතුළෙන් ඒකට හොද උත්තරයක් හම්බවෙයි.. අනිත් දේ තමයි පූර්ණිමා අස්වුණේ මිස් හින්දා කියන එක සියයට සියයක් ඇත්ත කතාවක්නේ මිස්.. පූර්ණිමාට මෙතන රස්සාව කරන එක තිත්ත වෙන විදියට වැඩ සිද්ධ කරා. හරියට මට දැන් කරගෙන යනව වගේ..."
මෙතුවක් වේලා මට කෝපයේ හා වෛරයේ ගිණි පුළිගු එවූ නිල් දෙනෙත් හෙමින් සීරුවේ බිමට නැඹුරු විය. ඇපල් ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වී තිබූ ඒ පිරුණු කම්මුල් දෙක හිතා ගන්නටවත් බැරි තරම් අන්දමට සුදුමැලි පැහැ ගැන්වී ගියේය. දෙවියනි ඇයට මේ වෙන්න යන්නේ කුමක්ද..?
"මා... මාව අල්ල ගන්න.. මට කලන්තෙ වගේ..."
වියලී ගිය දෙතොලින් අවසන් වරට පිටවූ වදන් පෙල එසේ විය. අල්ලාගෙන සිටි පුටු ඇන්දද පෙරලාගෙන දිනූකා මිස් බිමට ඇද වැටෙද්දී මම ඇසිල්ලකින් ඇය දෙසට පැන්නෙමි. තව තත්පරයක් හෝ ප්‍රමාද වූවා නම් දිනූකා මිස් හතර ගාතේ දමා බිමය. එහෙත් සැමදා ඇයගෙන් කුණුවෙන්න බැනුම් ඇසූ දුප්පත් කාංචනගේ දෑත මතට ඇදගෙන වැටෙද්දී, මා හට මුහුණ දීගත නොහැකිව දෝ ඇය දෑස පියාගත්තාය.
**********************************
මගේත්, දිනූකා මිස්ගේත් මේස දෙක අතර තිබූ ඇන්දක් නැති කුෂන් සෙටියේ ඇයව බොහෝ පරිස්සමින් හාන්සි කරවූයෙමි. මුදු මොලොක් ගෑනු ආත්මයක් මෙතුවක් එකට බද්ධ වී සිට අතැර ගියාක් බදු හැගීමකින් ඒ වේලාවෙදි මම දැවී ගියෙමි. තව බොහෝ වේලාවක් ඇයට කලන්තය සැදී තිබුණා නම් කොයි තරම් හොදද..? එසේ නම් ඇය තවමත් මගේ තුරුල්ලේය. එහෙත් නපුරු දෛවය, විනාඩි දෙකකට වඩා මේ අසරණ කොල්ලාට, ඒ ලොව්තුරු පහස විදගන්නට ඉඩ දෙන්නේ නැත. මේසයකොනේ තිබූ සීතල වතුරු බෝතලය ගෙන මම දිනූකා මිස්ගේ මුහුණට ඉස්සෙමි. සුදුමැලි වී තිබූ කම්මුල බලා සිටිද්දී රත් පැහැ ගැන්වෙනු මට පෙනිණි. පුංචි ළදැරියක සේ ඇය සෙමෙන් සෙමෙන් දෑස විවර කර මදෙස බැලුවෙමි..
"ඒ.. ඒ.. තරම් නපුරු දෙවල් ඇයි මට කිව්වේ....?"
පුංචි කාලයේ කියවා ඇති සුරංගනා කතාවක සිටින ලස්සන සුරංගනාවක් මට සිහිවෙයි. හිමිකර ගැනීමට හෝ දැක ගැනීමටවත් වරම් නොමැති ඒ කතාව මා රසවින්දා නොවේද..? ඒ සුරංගනාව ගැන හිතේ සිහින මංදිරයක් ඉදි වූවා නොවේද..? එසේ නම් මේ දැන් උදා වී ඇති වාසනාවන්ත මිනිත්තු කිහිපය ගැන මා කුමක් නම් කියන්නද..?
"නපුරු දේවල් මම නෙමෙයි මිස් කිව්වේ.."
"එහෙනම්...?"
"මිස්ම තමයි.."
"මම ඔයාට නපුරුකම් කලේ නෑ කාංචන.."
දනූකා මිස් වෙතින් පිටවූ ඒ වචන පේළිය දිගේ මම සිය දහස් වරක් ඇවිද ගියෙමි. දෙවියනේ.. දැන් ඩිංගකට කලින් තමුසෙ කියා පහත් වචනවලින් බැණ වැද ඇය මේ කතා කරන වචන ගැන මට මහත් පුදුමය. කලින් දින කළා සේම ඇය මේ කරන්නේ රගපෑමක්ද..? මුදල් නොගෙන කරනා නිසා එය නිකම්ම නිකම් රගපෑමක්ද නොවේ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගරු රගපෑමකි..
"මිස් මට නපුරු කම් කලේ නෑ කියලා මිස්ටම හිතෙනව නම් ඒ ගැන තවත් දුරට කතා කරලා වැඩක් නෑ මිස්.. මේ හැම දෙයින්ම හුගක් විදෙව්වෙ මමයි. ඒත් ඒ විදවීම මට උරුම කරපු මිස්ම කියනව නම්, මේ කිසිම දෙයක් මිස්ට දැනුණේ නෑ කියලා මං මහ අවාසනාවන්තයෙක්. එතකොට මං මේ විදපු දුක් කිසිම දෙයක් මිස් දන්නෙවත් නෑ කියලද මිස් කියන්නේ..? මිස්ගෙ හැම වචනෙකටම, හැම ඉරියව්වකටම අනන්ත වාරයක් හිත රිද්දගත්තු මේ කාලකණ්නි ආතමෙ ගැන මිස් අබමල් රේණුවකවත් තැකීමක් කරේ නෑ කියලද මිස් මේ කියන්නේ..? අ.. අනේ දිනූකා මිස්.. ගෙදරක ඇති කරන සතෙකුට වැඩිය පහත් තැනකද මම මෙතන ඉන්නේ..?"
මැලවී ගොස් තිබූ නිල් මහනෙල් මලක සොදුරු අසිරියට උරුමකම් කියූ හැඩකාර දෙනෙත පලා කදුලු කැට මතුවෙමින් තිබිණි. එහෙත් මේ දුප්පත් කාංචනට ඒ කදුලු පිහ දැමීමට වරම් තිබුණේද නැත. හුන් තැනම මුල් ඇද ගත්තා සේ මම ගල් ගැසී බලා සිටියෙමි. දිනූකා මිස් සෙමින් සෙමින් නැගී සිටියාය. ජීවිත කාලයක් මුලුල්ලේ කාගෙන්වත්, ආදරණිය වචනයක් හෝ ආදරණිය බැල්මක් නොලැබුණු හුදෙකලා මානවයකෙු සේ මම, මගේ දෑස් ඉදිරිපිට සිටි සොදුරු සුරංගනාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. ඇය එකදු බැල්මක්වත් අහකට නොයවා මා දෙස බලා සිටියාය. අනේ මෙහෙමම ලෝකය නවතිනවා නම්...? මේ මුළු මහත් විශ්වයම විනාශ වී යනවා නම්.. හදවතට දැනෙන මේ සුපහන් වූ හැගීම තියාගෙනම මටද විනාශ වී යා හැක.
"ම.. මං ඔයාට හිතල කිසිම දෙයක් කලේ නෑ දෙයියනේ... ඔ.. ඔහොම එක එක දේවල් කියලා මට මගේ ජීවිතේ එපා කරවන්නෙපා.. මං.. මං හුගක් අමාරුවෙන් මෙතන හිත හදාගනෙ ඉන්නේ.. මං.. මං ජීවත් වුණේ මිහිපිට අපායක.. මං ඒකෙන් ගැලවුණේ, ඔයා ඔය කිව්වටත් වැඩිය දුක් විදල.. ඔයාට මේවා කියලා තේරුමක් නෑ කාංචන.."
ඇය මේ කියන්නේ මොනවාද..? මටත් වඩා ඇය දුක්විද ඇති බවක් මේ දැන් ඩිංගකට කලින් කීවාය. ඇය කියූ ඒ දුක් මොනවාද..? හුගක් අමාරුවෙන් හිත හදාගෙන ජීවත්වෙන බවකුත් දිනූකා මිස් කීවා නොවේද..? හුගාක් අමාරුවෙන් දුක් විද හදාගන්නට තරම් ඇගේ හිත කැඩුවේ කවුද..?
"මං මිස්ට ජීවිතේ එපා කරන්න හැදුවෙ නෑ.. මං කාටවත් එහෙම කරන්නෑ මිස්.. මෙතන වෙන දේවල්වලට ජීවිතෙයි, රස්සාවයි දෙකම එපාවෙලා තියෙන්නේ.. දෙයියන්ගෙ නාමෙට ඔහොම හිතන්නත් එපා මිස්.. මං හැමවෙලාවෙම බැලුවෙ මිස්ට කරදරයක් නොවී ඉන්න.."
නිල් මානෙල් මල් දෙනෙත එක එල්ලයේම මදෙසට යොමු වී තිබිණි. වචන ලක්ෂ ගානකින් කියනවාට වැඩිය හුගාක් දේ ඒ සොදුරු දෑසේ ලියැවී තිබිණි. එහෙත් ඒ බොහෝ දේ මගේ අසරණ සිතට මහමෙර තරමටත් වඩා බර වැඩි බැව් මම දැන සිටියෙමි.
"ම... ම.. මට තවත් ඔයා දිහා බලාගෙන, මේවා ඉවසගෙනඉ න්න ගියොත් ඇතත්මයි මට පිස්සු හැදෙයි... ම.. මං.. යන..වා..."
සැනෙකින් තම රාජකාරී මේසය වෙතට ගොස් එහි අයිනක තිබූ සුදු පැහැති හෑන්ඩ් බෑගයද ගෙන දීනූකා මිස් කාමරයේ දොර දෙසට ගියාය. තමන් මේ බියවී දුවන්නේ කුමකටදැයි හරි හැටි බලා ගැනීමට දෝ, ඇය නැවතත් හැරී මදෙස බැලුවාය. දුක, වේදනාව, සංතාපය එකකට එකක් අපූරුවට මිතුරු වී ඒ රූමත් මුහුණේ එකට ගොනු වී තිබෙනු මම පැහැදිලිව දැක්කෙමි.
"ඔ.. ඔයා මට ඉන්න දෙන්නෑ කාංචන... මං... මං ආයතේ ඔෆිස් එන්නෑ.."
ඒ වදන් පිටවූයේ කාමරයේ දොරත් වැසී ගියාට පසුවය. නුහුරු නුපුරුදු වූ ආගන්තුක බයකින් මම හදිසියේම විළිවැදී ගියෙමි. දෙවියනේ.. දිනූකා මිස් කියා ගිය මේ වචන වල තේරුම මා කෙලෙසින් තොරා බේරා ගන්නද..? මං දිහා බලාගෙන, මේවා ඉවසාගනෙ සිටියොත් පිස්සු හැදෙන බව පවා ඇය කීවාය. හරි නම් මේ සියල්ල ඉවස දරා සිටින මා හට ඇයටත් ප්‍රථම පිස්සු නොසෑදුනොත් පුදුමය. අනික ඇය අද කියා ගිය වචන මට අදහාගන්නත් බැරිය. ඇය කියන්නේ මා ඇයට ඉන්නට නොදෙන බවය. හරිනම් සිදු වූයේ එහි අනෙක් පැත්ත නොවේද..? මෙතන මා හට ඉන්නට නුදුන්නේ ඇය නොවේද..?
වැසී ගිය දොර දෙස බලාගෙනම මම බොහෝ වේලාවක් කල්පනා කළෙමි. සිදුවූ කිසිම දෙයක සැබෑ තේරුම මේ වනවිටද මට වහටා ගන්නට බැරිවිය. ඇත්තටම අද සිදුවූයේ කුමක්ද..? කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව උදේ පාන්දරම මා සමග රංඩු කරන්නට ආවේ ඇයය. මුලින් මුලින් අසාගෙන සිටින්නට අපුල වචන වලින් පවා, මට දමා ගසා, අවසානයේ සිතාගන්නටත් බැරි ලෙස ඇය සම්පූර්ණයෙන්ම වෙනස් වූවාය. කොටින්ම දිනූකා මිස් මා ඉදිරියේ බැගෑපත් වූවාය. ඇය මට ආයාචනා කළාය. ඒ බැව් මට තේරෙන්නේ දැන්ය.
සමහර විටක මගේ කාලකණ්නි දෛවය මට මේ දී ඇත්තේ මෙලොව කිසිවෙකුටත් නොදෙන තාලයේ අන්තිම අමාරු ප්‍රෙහේලිකාවකි. එසේ වුවත් කරුණා කාරනා මේ සිද්ධ වේගෙන යන විලසට ප්‍රෙහේලිකාවේ හිස් කොටු, මා හට පුරවා ගැනීමට අපහසු නොවනු ඇත. වැඩෙ කියන්නේ මේ ඉවසුවා සේ තව ඩිංගක් ඉවස එකය..
පුබුදු එනවිට බොහෝ රෑ වන්නට ඉඩ තිබෙන බැව් සවස දුරකථන ඇමතුමක් දී මට කීවේය. ඒ කතාබහේදී ද ඔහුගේ වචන වල වෙනදා තිබූ තරම් තද ලෙංගතුකමක් තිබුණේ නැත. මගේ සිතට ඉහිලුම්ම නොදෙන දෙය නම් සිතට වද දිදී දැනෙනා මේ කුමක්දෝ නොදන්නා වියෝගයයි. එය පුබුදු ගැන හා දිනූකා මිස් ගැන හා පූර්ණිමා ගැන වූවා කියා විශේෂත්වයක් නොමැත. මේ හැමෝම කෙරෙහි මට එය තදින් දැනේ. එහෙත් මට අහිමි වූ කිසිවක්ද නැත. එසේ නම් සිත මේ තරම් හඩා වැටෙන්නේ ඇයිදැයි කියා මම නොදන්නෙමි. සිත මේ තරම් පුපුරු ගසන වේදනාකාරී හැගීම කුමක්ද..?
උදේ සිටම, සිතට ඔහේ පාවෙන්නට පාවෙන්නට ඉඩ දී මම නිකරුනේ බලාගෙන සිටියෙමි. එහෙත් සවස් වනවිට මම තීරණයක් ගතිමි. තවත් දුරට මේ හැමදේම දිහා, හද්දා පිටිසර හිගන්නෙකු සේ බලා සිටීමෙන් ඵලක් නැත. එයින් මා හට අත්වස සෙතක් ද නැත. මා දැන්වත් ක්‍රියාත්මක විය යුතුව ඇත.
"ඔන්න ඔතන ඉස්සරහ ගෙදර..."
පූර්ණිමාගේ නිවස ආසන්න වෙද්දී මම ත්‍රීවිලරයේ රියදුරාට කීවෙමි. ඔහු මා දෙස බලා සිටියේ පුදුමයෙන් මෙනි. ඒ මක් නිසාදැයි මම තේරුම් ගත්තෙමි. ත්‍රීවිලයෙන් මම බැස්සා නොව පැන්නෙමි. පූර්ණිමා මුණ ගැහෙන්නට මට තිබූ උවමනාව ඒ තරම් දැවැන්ත එකක් විය. මගේ සිතේ තිබූ එකම බිය වූයේ ඇය නිවසේ නොසිටියොත් කුමක් කරන්නද යන ගැටලුවයි. එසේ වුවහොත් මම රෑ බෝවනතුරු හෝ මෙතන රැදී සිටිනෙමි.
ඉදිරිපස දොර සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණි. ගෙදර වටපිටාවේ වුවත් තිබුණේ මනුස්ස වාසයක ලකුණු නම් නොවේ. දවස් ගණනාවකින් කිසිවෙකුත් පදිංචිව සිටි බවක් නිවෙසින් දිස් වූයේ නැත. මම දොරට කීප වරක්ම තට්ටු කලෙමි. එහෙත් මා හට ලැබුණු පිළිතුරක් නම් නැත. සිතේ තිබූ පාළුව යළි යළිත් දෙගුණ තෙගුණ වී දැනෙද්දී සිත ඉදිරී වැටෙනා තරම් කාන්සියකින් මම උතුරා ගියෙමි. ආපසු හැරෙන්නට පය ඔසවනවාත් සමගම නිවස තුළින් සෙරෙප්පු දෙකක් අද්ද අද්දා එන හඩක් මට ඇසිණි. දෙවියනේ... එසේ නම් පූර්ණිමා ගෙදර සිටියි. මගේ සිතට දැනුණේ අසීමිත වූ සහනදායී බවකි. මම අඩියට දෙකට දොර වෙත ළංවිනි. ඇතුළතින් දොරේ බෝළ කැරකෙන හඩත්, දොර අරින්නට ගතවන ප්‍රමාදයත් මගේ සිත නැවත නොඉවසිලිමත් කරන්නට විය. මා මේ ගමන මීට කලින් නාවේ ඇයි...?
"පූර්ණි..."
සියල්ලන්ටම කලින් මගේ මුව විවර විය. එහෙත් ඇරුණු දොරින් එළියට ආවේ පූර්ණීමා නොව, මා කිසි දින දැන නොමැති වයසක මනුස්ස පරානයකි.
"පූර්ණිමා ඉන්නවද...?"
"කවුද පූර්ණිමා කියන්නේ..?"
පොල් පරාල පයින් යනවා කියන්නේ මෙන්න මේවාටය. පූර්ණිමාගේ ගේ ඇතුලේ ඉදන්, පූර්ණිමා කියන්නේ කවුදැයි කියා මේකා මගෙන් අසයි. මේ මනුස්සයාගේ වයස ගැන සිතා මම හිතට කේන්තිය නොගත්තෙමි.
"පූර්ණිමා කියලා කියන්නෙ මේ ගෙදර පදිංචි වෙලා හිටිය ගෑනු ළමයා. අවුරුදු ගානක්ම එයා මේ ගෙදරනේ හිටියේ.."
"ආ... හරි.. හරි.. මට නිච්චියක් නැතුව ගියා මහත්තයෝ.. මං ඒ දරුවගෙ නමක් ගමක් දන්නෙ නෑනේ.. ඒ දරුවගෙ තාත්තවනේ අදුනන්නේ.."
"දැන් කෝ ඒ ළමයා..?"
සිතේ වූ නොඉවසිල්ල දෙගුණ තෙගුණ වී එද්දී මම ගේ තුළට එබුණෙමි. එහෙත් පරණ පුස් ගදක් විනා මට දැනුණු කිසිවක් නැත.
"අපොයි මහත්තයෝ... ඒ ළමයා මෙහෙන් ගිහිල්ලා හුග දවසක් වෙනවනේ.."
"මෙහෙන් ගියා...?"
ජීවිතය ඉදිරියේ සිදුවනා දේ විටෙක අදහා ගැනීමට බැරි තරම් පුදුමාකාරය. වයසක මිනිසාගේ උත්තරයෙන් මට මා සිටින්නේ කොහිදැයි කියා සිතා ගන්නට පවා අමතක විය.
"ඔව්... කට්ටියම ගියා.. මගේ ලොකු පුතා මේ ගේ ගත්තා.. දැන් මෙහේ ඉන්නෙ මායි, මගේ ලොකු පුතයි විතරයි.."
"කට්ටියටම මෙහෙන් යන්න තරම් හේතුවක් තිබ්බෙ නෑ නේ අංකල්.. ඇයිද දන්නෑ ගියේ නේද..?"
"මමත් හරියට දන්නෑ මහත්තයෝ..."
"එයාලා කොහෙටද ගියේ..?"
සියලු බලාපොරොත්තු එකින් එක බිදී යද්දී මම අවසාන බලාපොරොත්තුවෙන් ලය පුරවාගෙන වයසක මිනිසා දෙසට එබුණෙමි. ඒ වියපත් දෑසේ තිබුණේ ශෝකයක්දැයි කීමට මා හට පුළුවන්කමක් තිබුණේ නැත. එහෙත් මගේ දෑසේ වූ ශෝකය ඔහු හදුනා ගත්තේය.
"ඒකත් මං කියන්න දන්නෑ මහත්තයෝ.. හැබැයි මං මේ ගෙදර යතුර බාරගනිද්දි ඔය මහත්තයා කියන ගෑණු දරුවා නම් හොදටම අඩ අඩයි හිටියේ. මං හිතුවෙ මේ ගෙවල් දොරවල් අතෑරලා යන්න බැරිකමට කියලා.."
"එහෙම නැත්නම්...?"
"දැන් මට තේරෙනවා ඒ අඩලා තියෙන්නෙ මහත්තයව දාලා යන්න බැරි කමට කියලා.."
ඔහු එසේ කීවේ ඇයිදැයි මා අසන්නට ගියේ නැත. එසේනම් පූර්ණිමා රැකියාවෙන් පමණක් නොව අවුරුදු ගණනාවක් දිවි ගෙවූ නිවසද සුපුරුදු පරිසරයෙන්ද සමුගත්තාය. ජීවිතයේ බොහෝ කලක් නිස්කලංකයේ ගත කළ මේ පුංචි නවාතැනින් පිටමං වී යන විට ඒ දිගු දෑස් වලින් හෝ ගගා කදුළු කඩා වැටෙන්නට ඇත. එහෙත් එය එසේ වූයේ ඇයි..? සිදුවන මේ කිසිවක් තේරුම් ගැනීමට බැරි දුප්පත් කාංචනට තිබෙනා ලොකුම ප්‍රශ්ණය එයයි.
පූර්ණිමා බැලීමට ගියාටත් වඩා ඔද්දල් වූ සිතින් මම ආපසු නවාතැනට පැමිණියෙමි. ඒ එන අතරමගදී අයියාට දුරකථන ඇමතුමක් දී මම බොහෝ වේලාවක් කතා කෙරුවෙමි. වැඩ අධිකකම නිසා ඔහු බැලීමට එන්නට හැකියාවක් නැතැයිද ඒ ගැන කහටක් හිතේ තියාගන්නට එපා යැයි මම අයියාගෙනි කීප වරක්ම අයැද සිටියෙමි. ඔහු සිනාසෙමින් මා හට කී එකම දෙය නම් වැඩ ටික හරියට කරගෙන ඉන්න කියාය. එහෙත් දිනූකා මිස් නිසා වැඩ ටිකක් තියා එක වැඩක්වත් හරියාකාරව මට කරගත නොහැකි බැව් මා ඔහුට කියන්නට ගියේ නැත.
*********************************
රාත්‍රී අටයි තිහ පමණ වන විට පුබුදු පැමිණියේය. දාඩිය නිසාම ඇගටම ඇලී ඇති කමීසය ගලවා ඔහු ඇදුම් රාක්කය දෙසට විසි කළේය. එහෙත් එම විසි කිරිලේලේ තිබූ අලස බව නිසාම කමීසය ඇදුම් රාක්කයට මෙහායින් බිමට වැටිණි.
"අද නම් එපා වුණා කාංචන.."
දවසේ විස්තරත් තවත් මොනවදෝ විස්තර වගයකුත් පුබුදු ඔහේ කියවගෙන යයි. එහෙත් ඒ කිසිවක් මගේ මනසේ නොරැදී මා සිටින්නේ අමුතු ලොවකය. ඒ ලෝකය තනිකරම පිරී ඇත්තේ, දුක, වේදනාව, සංතාපය මිශ්‍රවී සෑදුනු අමුතුම දෙයකිනි. සිහිනයකින් හෝ නොසිතූ පරිද්දට පූර්ණීමාගේ මේ සමුගැන්ම මගේ සිත කඩා බිද දමන්නක්ම විය.
"කාංචන..."
මා සිතුවේ මා සමග කතා නොකර හිද ඇය උත්සාහ ගන්නේ තමන්ගේ රැකියාව බේරා ගන්නට කියාය. එහෙත් දේවල් සිදුවී ඇති ආකාරයට එය ද එසේ සිදුවී නැත. හදිසියේම ඇය මේ සියල්ලම අතැර දමා නොදන්නා පළාතකට යන්නට ගියේ ඇයි..? මට දවසක් හෝ ආදරය කලා නම් පූර්ණිමාට යුතුකමක් වශයෙන් හෝ මට කියා යන්නට තිබිණි. ඇයව දමා නොයන සේ, මගේ දෑතම අල්ලාගෙන බැගෑපත් වූයේ ඇයයි... එහෙත් දැන් මා දමා ගොස් තිබෙන්නේද ඇයමයි..
"කාංචන... උඹ කොයි ලෝකෙකද ඉන්නේ...?"
පුබුදුගේ කටහඩ මට ඇසුණේ සිහිනයකින් මෙන්ය.. මම තිගැස්සී ඔහු දෙස හැරී බැලුවෙමි..
"උඹ මොනව හරි කිව්වද..?"
"මොනවත් නම් කිව්වෙ නෑ.. ඒත් පස් පාරක් විතර උඹට කතා කරා.. ඒත් උඹ මේ ලෝකෙ නෙමේනේ හිටියේ.."
පුබුදුගේ මුවේ මද සිනාවක් ඇදී නොපෙනී ගීයේය. ඇග පිසදාගත්තද තවමත් ඔහුගේ ඇගේ තැනිත් තැන ඇති වතුර බිංදු මට පෙනෙයි.
"මගේ ඔලුව සේරම අවුල් වෙලා පුබුදු.."
"ඇයි දිනූකා මිස් ආයෙත් බකට් එකක් පෙරලුවද..?"
"ඒක නම් එහෙම තමයි.. අද මං මිස් එක්ක හොදටම රංඩු වුණා.. මිස් ආයෙත් ඔෆිස් එකට එන්නෑ කියලයි ගියේ.. වෙනද වගේ නම් මං කටවහගෙන හිටියෙ නෑ. එයා කියන කියන දේවල් වලට, මාත් දන්න දේවල් කිව්වා.."
දවසේ සිදුවූ දේවලා කියවාගෙන ගොස් මම පුබුදු දෙස බැලුවෙමි. කලින් ඇදී මැකී ගිය මද සිනාව ඒ මුහුණේ දැන් දිගටම තිබෙණු මම දුටිමි.
"පුබුදු මට හිනාවෙනවා.."
"නෑ කාංචන.. කලින් රස්සාවෙන් අස්වෙලා යන්න හැදුවෙ උඹයි.. ඒත් දැන් රණ්ඩුවෙලා අයින් වෙලා යන්න හදන්නෙ දිනූකා මිසුයි.. ඒකයි මට හිනා ගියේ.."
පුබුදු කියනා කතාවේද ඇත්තක් තිබේ.. කලින් මගේ පැත්තෙන් සිදුවූ දේවල් දැන් දිනූකා මිස්ගේ පැත්තෙන් සිදුවේ..
"ඒත් උඹේ මූණෙ හැටියට ප්‍රශ්නෙ ඕක විතරක්ම නෙමේ කියලා මට හිතෙනවා.. උඹ ඉන්නෙ හරියට හැමදේම නැතිවෙච්ච මිනිහෙක් ගානට කාංචන.. ප්‍රශ්නෙ මොකක්ද කියලා මට කියපං.. කරන්න පුළුවන් දෙයක් නම් බෙල්ල කඩාගෙන හරි මං කරනවා කියලා උඹ දන්නවනේ.."
"ම.. මං අද පූර්ණිමාලගෙ ගෙදර ගියා..."
"පූර්ණිමාලහ ගියා....?"
පුබුදුගේ ඇස් දෙක උඩ ගියේය. මා කියූ දේ ඔහුට ඒ තරමටම විශ්වාසයට ගන්නට බැරි විය.
"ඔව් පුබුදු.. මං පූර්ණීමාලහ ගියා..."
"ඉතිං පූර්ණිමා හිටියද..? එයා මොනවද කිව්වේ..? ඇ.. ඇයි රස්සාවෙන් අස්වෙලා ගියේ කියලා උඹ ඇහුවද..? මේ හැමදේටම දිනූකා මිස් සම්බන්ධයි කියලා කිව්වා නේද..? එයා.. එයා අපි එක්කත් තරහා වෙලාද..?"
කලබල වැඩි කමට පුබුදු මගෙන් ප්‍රශ්න පනහක් විතර එක දිගට ඇසුවේය. ඒවායින් කුමන එකකට පිළීතුරක් දිය යුතුදැයි මට සිතාගන්නට බැරි විය.
"පූර්ණි ගෙවල් අතෑරලා ගිහින් පුබුදු..."
"මොනවා....?"
මා කියූ දේ අදහාගෙන, නියම සිහිකල්පනාවට ඒමට පුබුදුට ටික වේලාවක් ගතවිය. පූර්ණිමා ගැන පුබුදු උවමනාවටත් වඩා ලතවෙන බව් තේරුම් ගන්නට මට වෙනත්, අටුවා ටිකා ටිප්පිණි අවශ්‍ය නොවිය.
"ඔව්.. දැන් දවස් ගානක් වෙනවලු.. එයා හිටපු ගෙදර දැන් ඉන්නෙත් වෙන කට්ටියක්.. කොහේ ගියාද කියලා දන්නෙත් නෑල්ලු.. අපි මොකද කරන්නෙ පුබුදු..?"
"කොහොම හරි පූර්ණීව හොයාගන්න ඕන.. අනේ පව් දෙයියනේ... හම්බකරන් කාපු රස්සාව දාලා ගියාට, මං කීයටවත් හිතුවෙ නෑ පූර්ණි ගෙවලුත් අතෑරලා යයි කියලා. මේ හැමදේකටම දිනූකා මිස් වගකියන්න ඕන.. එයා හින්දා තමයි පූර්ණිට මේ හැමදෙයක්ම දාලා යන්න උනේ.."
"මාත් හිතන්නෙ ඔය විදියටමයි.. මෙතන අපි නොදන්න මොකක් හරි ලොකු දෙයක් සිද්ධ වෙලා තියෙනවා.. පූර්ණිව හොයා ගත්තොත් අපිට වෙලා තියෙන හැමදෙයක්ම දැනගන්න පුළුවන් වෙයි. ඒත් එයා ඇයි අපිටත් නොකියා මෙහෙම ගියේ.. දිනූකා මිස් එයාට වැරදි කරාට අපි පූර්ණිමාට වැරදි කරේ නෑනේ.."
කල්පනා ලෝකයේ අනන්තයේ ගිලී සිටි පුබුදුට මා කී දේ නෑසුනාක් වැන්න.. ඔහු මේ තරම් කල්පනා කරන්නේ මොනවාද..? පූර්ණිමා ගැන ඔහු මේ තරම් ලතැවෙන්නේ ඇයි..?
"අපි පූර්ණිමාට වැරැදි කරේ නැති එක ඇත්ත.. ඒත් අපි එයා ගැන හෙව්වෙ නෑ.. ඒක වැරදි කරේ නැති එකටත් වඩා ලොකු වැරැද්දක්.."
පුබුදු කීවේ සම්පූර්ණ වැරැද්දම අපේ පිටට පටවා ගන්නා ආකාරයෙනි. එහෙත් පසුගිය දවස් ගෙවී ගිය ආකාරයත් දිනූකා මිස් වෙතින් මා හට තිබූ පීඩනයත්, වැඩ රාජකාරී බහුල කමත් අතර ගෙවී ගිය මගේ ජීවිතයට නම් කිසිදු විවේකයක් තිබුණේ නැත. ඒ ගැන ඉතා හොදින් දැන සිටියේ පුබුදුගේ මේ කතාව මගේ සිත සැබවින්නම රිදවන්නක් විය.
"පුබුදු කියන්නෙ මේ හැමදේටම වැරදිකාරයා මම කියලද..? පහුගිය දවස් වල සිද්ධ වුනේ මොනවද කියලා මම අයන්නෙ ඉදලා පුබුදුට කියලා තියෙනවනේ.. අනික පුබුදුට මතක නැද්ද පූර්ණිමා අපිව කොයි තරම් මග ඇරියද කියලා.. අපි වචනයක් කතා කරන්න එයාගෙ පස්සෙන් කී සැරයක් නම් ගියාද..? ඇ.. ඇයි පුබුදු ඔයත් ඔහොම කතා කරන්නේ..?"
මා ඇසූ දේට පුබුදු කිසිවක් කීවේ නැත. මගේ පිටට අත තබා බර කරමින් ඔහු නැගිට්ටේය. මෙසේ නිහඩවම හිදිනවාට වඩා ඔහු මොනවා හෝ කියනවා නම් හොදය. මේ නිහැඩියාව මගේ හිත මහා කාංසියකින් පුරවා දමයි. ඉතා හොද හයළුවන් වූ අප දෙදෙනා අතරට මේ ඇවිදින් ඇති මොකක්දෝ අහේතුක දෙය මගේ සිතත තත්පරයෙන් තත්පරය මිරිකා දමයි. හැම පැත්තකින්ම අසරණ වී ඇති මගේ සිත පුබුදුත් අසරණ කරන්නේ ඇයි..?
"පුබුදු කියන්නෙ පූර්ණිමාට උනා වගේ දෙයක් ඔයාටත් වේවි කියලද..? එහෙමත් නැත්නම් මොකක් හරි ප්‍රශ්නෙකදි මං ඔයාව අතාරීවි කියලද..?"
මගේ දෑස දෙස තවත් වරක් එබී බලා පුබුදු කාමරයේ දොර දෙසට ඇවිදගෙන ගියේය. ඔහු මෙසේ හැසිරෙන්නේ ඇයි..? දිනූකා මිස් සේම ඔහුත් හදන්නේ මා පිස්සෙකු බවට පත් කරන්නද..?
"ඔයාට පණටත් වැඩිය ආදරේ කරපු පූර්ණිමාව ඔයාට බේරගන්න බැරිවුණ එකේ.. මං ගැන කවර කතාද කාංචන..?"
හදවත මැදට පිහිතල දෙක තුනක් බැස්සා සේ වේදනාවකින් මම කම්පා වී ගියෙමි. දෙවියනේ... මේ නම් කවර කතාවක්ද..? හැමෝම කතා කරන්නේ හැමදේකටම වැරදිකරු මා ලෙස සලකාගෙනය. මා ඔවුන් ගැන කොතරම් අව්‍යාජ හැගීමකින් ක්‍රියා කරනවාදැයි, කොතරම් ලෙංගතු ලෙස සිතනවාදැයි කියා කිසිවෙකුත් බිදක් හෝ නොසිතයි. මෙය සමහර විට මාගේ උප්පත්ති දෝෂයක් වන්නට ඇත. වෙන දෙයක් නම් වන්නට බැරිය..
*****************************
මුළු රාත්‍රිය මුළුල්ලේම මා ගතකළේ නින්දත්, නොනින්දත් අතරේය. චිත්‍රපටියක එකකට එකක් පිටුපස එන රූප රාමු මෙන් ගෙවී ගිය දවස්වල සිදුවූ සිද්ධීන් එක පිට එක මගේ දෑස ඉදිරියේ මැවෙන්නට විය. එක් පසෙකින් දිනූකා මිස් කට පුරා සිනාසෙමින් බලා සිටි අතර, අනෙක් පසින් කදුළු වගුරවමින් මදෙස බලා සිටියේ පූර්ණිමාය. ඇය මේ වේලාවේ කොහේ සිටිනවා ඇත්ද..? සමහර විට මා මෙන්ම නිදි නොමැති රැය පහන් කරනවා විය හැකිය.. මේ අසරණ ජීවිතයේ විදවන්නට බොහෝ දේවල් තවත් ඉස්සරහට ඉතිරිව ඇති බවක් මට හැගී යයි. දෙවියනේ.. මේ සෑම දෙයකම අවසානය කොහිද..? මගේ සිතට කොතෙක් දුරට මේ සැමදේම ඉවසා හිදින්නට හැකිවේද..? මෙතුවක්ම මගේ ළගින් සිටි ආදරණිය මිතුරා වූ පුබුදුත් මගෙන් ඈත්වෙන්නට උත්සාහ දරයි.. ඔහු කතා කළ දේවලුත් අනුව, අඩා වැළපී හෝ ඔහුව නවත්තා ගැනීමට, ඔහුට දේවල් පහදා දීමට, මට දැන් හැකියාවක් නැත..