සිරිල් ද සොයිසා !!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිරිල් ද සොයිසා !!

    සිරිල් ද සොයිසා

    ශ්‍රි ලංකාවේ ප්‍රධානම මාර්ගයක් වන ගාල්ල - කොළඹ මහාමාර්ගයේ ගමන් ගන්නා ඕනෑම බෞද්ධ බැතිමතෙක් අඩුම තරමෙන් තප්පර කිහිපයක් හෝ නැවතී යන ස්ථානයක් වේ නම් ඒ කළුතර බෝධීන් වහන්සේ අසලදීයි. නූතන ලංකාවේ මෙවන් ජාතික මට්ටමේ සිද්ධස්ථානයක් ස්ථාපිත කිරීමේ ගෞරවාදරය ප්‍රධාන වශයෙන් හිමිවන්නේ වෙනකාහටවත් නොව දකුණුලක ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර‍යෙකුවන ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාටයි.

    ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා (Sir Cyril De Zoysa)විසිවන ශතවර්ශයේ ලක්දිව ආගමික, සාමාජීය, ආර්ථික, දේශපාලනික හා තවත් විවිද ක්‍ෂෙත්‍රවල උන්නතිය උදෙසා සිය දැනුම, ශ්‍රමය හා ධනය වැයකල මෙම ශ්‍රේෂ්ඨ ලංකාපුත්‍රයාගේ උපත 1896 ඔක්‌තෝබර් 26 දින, දකුණුලක ශ්‍රේෂ්ඨ පුද්ගලයන් රැසක් රටට දායද කල, බලපිටියේ වැලිතර ගමේදී සිදුවූයේය. එතුමාගේ පියාණන් සොලමන් ද සොයිසා නම් වූ අතර ඔහු නොතාරිස්වරයෙකු ලෙස සේවයකල මහත්මයෙකි. සිරිල් මහතාගේ මෑණියන්, හැරියට්‌ ද සොයිසා වූ අතර එම පවුලේ දෙවෙනි දරුවා සිරිල් මහතා වේ.
    එතුමාගේ දෙමව්පියන්ද ආගම දහම කෙරේ ඉතා ලැදි අයවූ අතර මේ අභාෂය කුඩා කල පටන් එතුමාට ලැබීමේ භාග්‍ය නිසා ශ්‍රී ලංකාව පුරා විවිද අංශයන් කෙරේ දායකත්වය ලබාදුන් යුග පුරුෂයෙක් බිහිකිරීමේ පින් එතුමාගේ දෙමව්පියන්ට නිරායාසයෙන්ම ලැබිය යුතුය. ඒ මාපිය දෙපල සිය දරුවන්ට ලංකාවේ ඉහලම පිළිගැනීමක් ඇති විද්‍යාලවල අධ්‍යාපනය ලබාදී නැනනුවනින් යුතු දරුවන් රටට දායාද කිරීමටද අමතක නොක‍ලේය. ඒ අනුව ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාට මාතර ශාන්ත තෝමස්, ගාල්ල රිච්මන්ඩ් සහ කොළඹ රාජකීය යන ප්‍රමුඛ පෙලේ පාඨශාලාවල සිප්සතර හැදෑරීමේ වරම හිමිවිය.

    ශිෂ්‍යයකු වශයෙන් ගතකල අවධියේ පටන් විශිෂ්ට හැකියාවන් ප්‍රදර්ශනය කළ හෙතෙම 1916 දී කේම්බ්‍රිඡ් ජ්‍යෙෂ්ඨ විභාගය සමත්ව නීති විද්‍යාලයට ඇතුළත් විය. 1921 සිට කළුතර අධිකරණයේ නීතිඥයකු වශයෙන් සාර්ථක ලෙස වෘත්තීය කටයුතුවල යෙදුණු එතුමා විශේෂයෙන්ම අපරාධ නීතිය සම්බන්ධයෙන් සුවිශේෂී දක්‌ෂතාවක්‌ ප්‍රදර්ශනය කරමින් සිය වෘත්තියෙන් ඉපැයූ මුදල් සමාජ සේවය සඳහා නොමසුරුව වියදම් කළේය. සැබැවින්ම එතුමාගේ චරිතයේ විශේෂම ලක්‌ෂණය වූයේ තමා උපයන දේ පුණ්‍ය කටයුතු සඳහා වියදම් කිරීමේ දුර්ලභ ගුණාංගයක්‌ වූ දාන චේතනාවය.
    ශ්‍රීමත් සිරිල් මහතා උපත ලබන විට සියවස් තුනක යටත් විජිත පාලනයකින් පසුව දීර්ඝ කාලයක් තිස්සේ ඇති වී තිබු ආගමික හා සාමාජීය යන දෙඅංශයන් අකර්මණ්‍ය තත්ත්වයන් ක්‍රමයෙන් පහවයමින් තිබුනේය. මෙසේ බෞද්ධයන්ට ආගමික පුනර්ජීවය ලබාදීමේ කාර්යයන් උදෙසා ඒ අවධියේ ඇපකැපවී ක්‍රියාකරමින් සිටියේ අනගාරික ධර්මපාල තුමා, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, හෙන්රි ස්ටිල් ඕල්කට් මැතිතුමා, ශ්‍රී සුමංගල හිමි, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා වැනි බෞද්ධ විරුවන්ය. මෙම යහපත් පුද්ගලයන් මෙසේ තම සියළු ශක්තීන් යොදව බුදුදහම නගාසිටුවීමේ ක්‍රියාවලියට නැඹුරුවීමට පෙර දිවයිනේ බෞද්ධයන්ගේ මූලික අයිතිවාසිකම් රාශියක් මෙන් ම ඔවුන්ගේ ආත්ම ගෞරවය ද ඔවුනට දිගින් දිගට ම අහිමි වෙමින් තිබුණි. බෞද්ධාගම නැවත බේරා ගැනීමේ කාර්යය වීරෝදාර පෞරුෂත්වයෙන් යුත් මිනිසුන් විසින් සාර්ථකව අරඹන ලද අතර එම කාර්යයේ ඉදිරිපෙල සෙන්පති‍යකු ලෙසද ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාව නොබියව හදුන්වාදිය හැකිය.

    "සමාජයට අහිතකර බලපෑමක් ඇති වන්නේ පුද්ගලයා අවංක වන විට නොව ඔහු වංක වන විටය. රටට අහිතකර බලපෑමක් ඇති වන්නේ පුද්ගලයා වැඩ කරන විට නොව ඔහු නිකරුණේ කල ගත කරන විට පමණි" යන්න එතුමාගේ එක් ආදර්ශ පාඨයක් විය. මේනිසා එතුමාගේ දිවිය පුරා සිය රට, ආගම හා ජාතිය වෙනුවෙන් වර්ගභේදවාදයකින් තොරව සේවය කිරීම අතීතාවලෝක‍නයේ යෙදීමේදී හමුවන කරුණකි.

    එතුමාගේ ජීවන ප්‍රවෘත්තිය ක්‍රමයෙන් විකාශනයවන කාලයේදී කළුතර ප්‍රදේශයේ බුද්ධාගම පැවතියේ ඉතා පහත් අඩියක ය. බෞද්ධ මවුපියන්ගේ දරුවන් සඳහා ප්‍රදේශයේ පාසල් නොතිබිණි. සියවස් 4 කට 5 කට පෙර කළු ගඟ අසබඩ ඉදි වී තිබු ගංගාතිලක විහාරය නමින් සුපතළ මනරම් විහාරය ආක්‍රමණික පෘතුගීසි හමුදාව විසින් පොළොවට සමතලා කරනු ලැබ තිබු නිසා වන්දනාකරුවන්ට සිය වැඳුම් පිදුම් සඳහා සුදුසු ස්ථානයක් තිබුණේ නැත. කඳුගැටය මුදුනේ පිහිටි එක ම බෝධි වෘක්ෂය ආරක්ෂා වී තිබුණත් එය පැවතියේ අත් හැර දමන ලද තත්ත්වයක ය.
    එහෙත් මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320කටත් වඩා ඈත යුගයක සිට ලක්දිව බොදු බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් ආරක්ෂාරීව තිබුනු බව මහාවංශයේද පැවසෙන අතර මෙහි වැඩවසන බෝධීන් වහන්සේ ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන "ශ්‍රී මහා බෝධීන් වහන්සේ"ගේ දෙවන අංකුර පෙළට අයත් වේ.මහා බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි.

    සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානි මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතා කල බව පුරාණ පොතපතේ පවා පැවසෙන අතර මේනිසා අතීතයේ බොහෝ රාජධානිවලට මෙම ස්ථානය ආර්ථිකව මෙන්ම විවිද කරුණු අරඹයා වැදගත් ස්ථානයක් විය.

    කෙසේවෙතත් දහසයවන සියවසේ සිට යුරෝපීය ආක්‍රමණයන්ට ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ක්‍රමයෙන් නතුවෙන්නට පටන්ගැන්මත් සමග එම කලාපයේ බොදුදහමටද ප්‍රභල තර්ජනයක් එල්ලවිය. පෘතුගීසිහු කි.ව.1597 දී කළුතර මුළුමනින්ම තම අණසක යටතට ගත්හ. "ජෙරනිමෝ ද අසවේදෝ" නම් පෘතුගීසි සෙනෙවියා කළු ගං තීරයට යාබඳ බිම් කොටසක් තම පාලන කේන්ද්‍රස්ථානය සේ තෝරාගත් බව පැවසේ. අසවේදෝ පසුව මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් බවට පත් කළේය. ඉන්පසුව කුඩා කඳු ගැටය මුදුනේ තිබූ ගංගාතිලකය විහාරය ඔවුන් විනාශකර එහි දේවස්ථානයක් තනවා ප්‍රදේශයේ බොදු දහමේ කේන්‍ද්‍රස්ථානය ඉවත්කරවා එහි කිතුදහම මුල්බැස්සවීම ඔවුන්ගේ අරමුණවිය.

    කෙසේවෙතත් සියවසක් ගතවීමටත් පෙරාතුව ලක්දිව බොහෝ ප්‍රදේශ අල්ලාගත් දෙවන යුරෝපීය ජාතිය වන ලන්දේසීන් 1656 දී කළුතර බල කොටුව අල්ලා ගත්හ.ඒ අනුව කළුතර මුහුදුබඩ මහා මාර්ගය තැනවීමට අඩිතාලම දමන ලද්දේද ලන්දේසීන් විසිනි. ඔවුන් කළුතර සිට කොළඹට මහා මාර්ගය ඉදිකරනු ලැබූ අතර කළුතර තිබූ වාණිජ වටිනාකම එයට ප්‍රධානම හේතුව විය. එහෙත් මේ නිසා කළුතර පුදබිම දෙකඩ වූ අතර උඩමළුව හා පහළ මළුව ලෙස එය කොටස් දෙකකට කණ්ඩනය වී ඒ අතරින් අද දක්වා පවතින මහාමාර්ගය තැනවිනි.

    කළුතර බෝධීන් වහන්සේ (Kalutara Temple)ලන්දේසීන්ට කළුතර පාලනය ලැබී වසර 140 ක් ඉක්මගිය තැන ලංකාවට පැමිණි තෙවන යුරෝපීය ආක්‍රමණිකය වන ඉංග්‍රිසීන්ට 1796 දී අයත් විය. ඔවුන් 19 සියවස අගදී මෙහි පැරණි බල කොටුවේ කුඩා කඳු ගැටය මුදුනේ ඔවුන් දිසාපති නිල නිවස ඉදි කළේය. කෙසේවෙතත් මෙයින් පසු එම ස්ථානයෙන් දිසාපති නිලනිවස හා කාර්යාලය වෙනත් ස්ථානයකට පසුකාලීනව රැ‍ගෙනයනතෙක් විවිද රාජකාරී සදහා දිසාපතිතුමන් හමුවීමට එන මහජනයාට මෙන්ම බෝධිය වන්දනා කිරීමට එන බැතිමතුන්ට, පූජනීය ස්ථානයේ රාජකාරී කටයුතුද සිදුවීම අපහසුතාගෙන දෙන කරුණක්විය.

    කළුතර අධිකරණයේ නීතිඥයෙකු ලෙස සේවයකරන අතරතුරදී බෞද්ධාගමට හිතැති මේ පින්වත් ලංකා පුත්‍රයාට කළුතර පුදබිමේ වටිනාකම හා එය නිසි පරිදි නඩත්තු හා පරිපාලණය නොවීම නිසා බැතිමතුන්ට මෙන්ම එම ස්ථානයේ චිරස්ථතිය උදෙසා ක්‍රමවත් වැඩපිළිවලක් සිදුනොවන බව වටහා ගත් අතර එතුමා 1920 දශකයේ පටන් ක්‍ර‍මයෙන් කළුතර පුදබිම නගාසිටු‍වීමේ වැඩ පිළිවෙලක් දියත් කරන ලද්දේය. එතුමා 1921 දී කළුතර ප්‍රදේශයේ විසූ තවත් සත්ගුණවත් දානපතීන් රැසක් සමග එකමුතුව පහත මළුවේ බෝධීන් වහන්සේගේ සංවර්ධනයට පියවර ගත් අතර 1931 වර්ෂයේ ජුනි මස ශ්‍රීමත් සිරිල් ද සොයිසා හා තවත් සැදැහැවත් බෞද්ධ දානපතියෙකුවන උක්වත්තේ ජයසුන්දර මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් "කළුතර බෞද්ධ සංගමය" පිහිට වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ ද මෙම පරිශ්‍රය දියුණු කිරීමයි.

    එසේම 1939 වන විට මෙම සිරිල් මහතා ප්‍රමුඛ මේ සැදැහැවත් දායක පිරිස පහත මළුවේ කුඩා චෛත්‍ය හා ගඟ ආසන්නයේ බුදු මැදුර තැනීමද ආරම්භ කලෝය. එපමණක් නොව 1951 නොවැම්බර් 7 වැනි දින කළුතර බෝධි භාරය එතුමාගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද අතර එහි අරමුණ වූයේ මේ පූජනීය ස්ථානය ආරක්ෂා කිරීම සහ එහි චිරස්ථතිය තහවුරු කිරීමයි. එහෙත් මෙම කාර්යයන් අකුරින් මෙහි ලියනා තරම් පහසු හෝ සරල නොවූ බවද අවංකව පැවසිය යුතුය.
    අධිරාජ්‍යවාදී යුගය නිමාකරමින් නිදහසින් පසු ශ්‍රී ලාංකික නිලධාරියෙක් කළුතර පාලනයට පැමිණියේ 1949 දීය. ඒ උප දිසාපති C.P. ද සිල්වා මහතායි. බෞද්ධ නිලධාරියෙක් වූ ඔහු ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ ගමනට මහත් රුකුලක් විය. ඒ වන විට උත්තර මංඩල සභාවේ උප සභාපති තනතුර දැරූ සිරිල් ද සොයිසා මහතා අගමැති ඩී.එස්.සේනානායක මහතාට ඒ වන විට පෘතුගීසින් එය විනාශ කර තිබූ උඩමළුවේ ඓතිහාසික ගංගාතිලක විහාරය පිහිටි භූමි භාගය හා දෙතිස් ඵල බෝධියේ හිමිකම කළුතර බෞද්ධ සංගමයට පවරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කළේය. එහෙත් එම සංගමය නීත්‍යානුකූල නොවන බැවින් රජය එය ප්‍රතික්ෂේප කළ පසු නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත සංවිධානයක් බිහිකිරීමට සිරිල් ද සොයිසා මහතා පියවර ගත්තේය.

    ඒ අනුව 1951-11-07 දින සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයින් 08 කින් යුතු කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටුවීය.එහි පාලන භාරකාරීත්වය සිරිල් ද සොයිසා මහතා හා නීතීඥ V.T. ද සොයිසා මහතා දැරීය.වසර දෙකකට පසු අගමැති ජෝන් කොතලාවල මහතා උඩමළුව හා පහත මළුව ඇතුළු වර්තමාන පරිශ්‍රය බෝධි භාරකාර මණ්ඩලයට පවරා දෙනු ලැබීය.එදා මෙදා තුර වර්තමාන අප දකින කළුතර බෝධි පරිශ්‍රයේ ප්‍රගතියට සහමුලින්ම සක්‍රීය දායකත්වය ලබා දෙන්නේ බෝධි භාරකාර මණ්ඩලයයි.

    පූජා භූමිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති බැවින් මෙහි ප්‍රධාන ආදායම් මාර්ගය දායක පඬුරු වේ.ඒ හැරුනු කොට දායකයින් ස්වකැමැත්තෙන් කරන පරිත්‍යාග මත මෙම පරිශ්‍රයේ අභිවෘධිය සිදුවේ. මේ බෝධී භාරකාර මණ්ඩලයෙන් මෙම කාර්යයන් කොතරම් සාර්ථකව හා කාර්යයක්‍ෂම සිදුවන්නේද යත් මෙහි නේවාසික භික්‍ෂු වාසයක් හෝ විහාරාධිපති භික්‍ෂූන්ද නැතත් දිනපතා හේවිසි ශබ්ද පූජා පවත්වා උදෑසන 6.30ට, පෙ.ව. 11.30ට, ප.ව. 6.00ට බෝධිරාජයාණන් වහන්සේලාට හා චෛත්‍ය, විහාර තුල වැඩ හිඳිනා බුද්ධ ප්‍රතිමා වහන්සේලා හමුවේ බුද්ධ පූජා පැවැත්වීම, සෑම දිනකම ධර්ම දේශනා, සෙනසුරාදා හා ඉරිදා විශේෂ ධර්ම දේශනා,සතර පෝයට සිල් සමාදන් වන බැතිමතුන්ට ධර්ම දේශනා, උපසම්පදා උත්සවය සඳහා ද බෝධි පරිශ්‍රයේ පහසුකම් සැපයීම, පුන් පොහෝ දිනවල සිල් සමාදන් වන 5000 ක්‌ වන උවසු උවැසියන්ට දානය සැපයීම,. වෙනත් විවිධ පූජා චාරිත්‍ර, පෙරහැරවල්, දිනපතා පැමිණෙන බැතිමතුන්ට සියළු පහසුකම් සහ ආරක්‍ෂාව සැපයීම යනාදී කාර්යයන් බෝධි භාරකාර මණ්ඩලයේ නිත්‍ය සේවාවන් ලෙස කිසිදු අඩුපාඩුවකින් තොරව නොපිරිහෙලා ඉටුකරනු ලබයි.

    එතුමා විසින් අරඹන ලද ව්‍යාපාරවලින් ලද ධනයද නොමසුරුව කළුතර පුදබිමේ උන්නතිය උදෙසා යොදවන ලද බව පැවසේ. එතුමා‍ විසින් අරඹන ලද බස් ව්‍යාපාර වන "සවුත්ලන්ඩ්" බස් ව්‍යාපාරයේ අදායමෙන් ලද මුදලින් පහළ මළුවේ උතුරු පස බුදු මැදුර තැනවීමට අවශ්‍ය බරපැනින් කොටසක් දරන ලදි. එසේම "ස්වර්ණපාලි" තවත් බස් සමාගමක් එතුමා සතුවූ අතර එයට පනවා තිබූ නීතියක් වූයේ මෙම බස් රථ කළුතර පසු කර යන සෑම අවස්ථාවකම පඬුරක් දමා යා යුතු බවයි.

    කෙසේවෙතත් ඇතැම් ලිපිවල දක්නට ලැබෙන පරිදි මෙම බස් සමාගමෙන් ඉවත්ව ගිය රියදුරෙකු වෙනත් අයෙකුගේ බස් රථයක සේවය කරමින් සිටි අවස්ථාවක මෙම පඬුරු දැමීමේ නීතිය විවේචනය කරන අතරතුර පඬුරු ‍නොදමා එම ස්ථානය පසුකර ඉදිරියට ගියත් ටික දුරක් ගියතැන අනතුරට පත්ව ඇත. මේ සිද්ධිය ප්‍රසිද්ධවත්ම බෝධිය පිළිබදව දැඩි විශ්වාසයක් හා භක්තියක් ඇතිකරගත් බැතිමතුන් බෝධිය පසුකර යන සෑම අවස්ථාවකදීම පඬුරක් දැමීමට පුරුදු විය. වර්තමානයේද ආගමික හේදයකින් තොරව බෝධිය පසුකර යන අය පඬුරු දමා යනු දැකිය හැකියි. අද පූජනීය ස්ථානයක් සේ ලංකාවේ පඬුරු තුලින් වැඩිම ආදායම් ලබන එකම පූජනීය ස්ථානය වන්නේ ද කළුතර බෝධියයි.
    පහළ මළුවේ චෛත්‍ය සදහා කොත් පැලඳවීම සියළු ආගමික වතාවත් මැද මහත් උත්සවාකාරයෙන් සිදුවූ බව කියවේ.මෙහිදී මඟුල් බෙර ශබ්ද පූජාව පවත්වන විට ඉන් නිකුත්වූ ශබ්දයන් නිසා උඩ මළුවේ සිටි සුදු ජාතික ඒජන්තවරයා උරණ වී බෙරකරුවන් පන්නා දැමූ බවත් ඉන්පසු ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා බෙරකරුවන් 100ක් දෙනා ගෙනවිත් දවස පුරා බෙර වයා ඇති බවත් එවිට සුදු ජාතිකයා නිල නිවසද අතහැර ගිය බවත් සඳහන් වේ. පසුව රැස්ව සිටි සැදැහැවතුන් අමතා ප්‍රකාශයක් කළ මෙතුමා නුදුරු දිනකදීම උඩ මළුව ඉංග්‍රිසි ජාතිකයන් ගෙන් මුදවා පූජා භූමියක් කරන බව දන්වා සිටි අතර වචනයට පමණක් සීමා නොවී එය ක්‍රියාවෙන්ම ඉටුකිරීමටද එතුමා එඩිතර විය.
    සිරිල් ද සොයිසා මහතා ලංකාවේ තිබූ බෞද්ධ සමාගම් රැසක සාමාජිකත්වය හා ඒවායේ විවිද තානාන්තර දරමින් බුද්ධාගමට කරන ලද සේවය මිල කල නොහැකිය. තරුණ බෞද්ධ සංගමය, බෞද්ධ මහා සම්මේලනය සහ මහාබෝධි සමාගම වැනි රටේ විවිධ බෞද්ධ සංවිධාන සමග සම්බන්ධවී සිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා වරක් මහතා ඉන්දියාවේ මහාබෝධි සමාගමේ කටයුත්තක් සදහා ඉන්දියාවේ සංචාරය කරමින් සිටින අතරතුර එ‍රට ජේතවනාරාමයේද සංචාරයක නිරතව සිටියදී එහි වැඩ සිටින ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩමවාගෙනවිත් පහළ මළුවේ දකුණු පස බෝධි පරිශ්‍ර සීමාවේ අන්තිමට වන්නට රෝපණය කර කළුතර පූජ්‍ය භූමියේ පූජනීය වටිනාකම තවතවත් වැඩි දියුණු කිරීමටද එතුමා ඇපකැපවිය.‍

    කළුතර බෝධිය - පහළ මළුව (Kalutara Temple - Lower Level)එසේම ශ්‍රි ලංකාවේ බෞද්ධ ආයතන වල ප්‍රමුඛස්ථානයක් ගන්නා තරුණ බෞද්ධ සංගමයේ වසර දහනවයක්ම සභාපතිධූරය හොබවනු ලැබුවේද සිරිල් ද සොයිසා මහතාවන අතර ශ්‍රීමත් ඩී.බී.ජයතිලක සහ එෆ්.ආර්.සේනානායක වැනි බෞද්ධ යුග පුරුෂයන් බිහිකල මෙම ආයතනය තවතවත් දියුණු‍වෙන් දියුණුවට පත්කිරීමට ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා තම ශ්‍රමය, ධනය, කාලය හා දැනුමද කිසිදු ලෝභයකින් තොරව වියදම් කිරීමට සෑමවිටකම වගබලාගත්තේය.

    කළුතර පුදබිම වර්ථමානයේ තනවා ඇති අයුරු පවසන්නේ නම්, චෛත්‍ය කුහරයට ගමන් කල හැකි ලොව ඇති ඵකම චෛත්‍ය ලෙස සැලකෙන්නේ උඩ මළුවේ මහා චෛත්‍යය රාජයා හෙවත් වටදාගෙයයි. වර්ෂ 1953 දී උඩ හා පහල මළුවේ අධිකාරීත්වය බෝධි භාරකාර මණ්ඩලයට පවරා ගැනීමෙන් පසුව උඩ,කඳුගැටය පිහිටි ප්‍රදේශය සංවර්ධනය කර ඵහිද පූජනීය බිමක් කිරීමට සිරිල් ද සොයිසා මහතා පියවර ගත්තේය. ඵහි ප්‍රතිපලයක් වශයෙන් 1964 දී විශාල වටදාගෙයක් තැනීමට මුල්ගල තබන ලදී.

    වටදාගෙය පිහිටි මෙම භූමියේ වර්ගඵලය වර්ග අඩි 7150කි. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 95.4කි.මෙහි උස අඩි 185 කි. වට ප්‍රමාණය අඩි 335කි. අගල් 5ක ඝනකමින් යුත් කොන්ක්‍රීට් තට්ටුවකින් චෛත්‍යය රාජයා නිමවා ඇත. මෙහි තීන්ත ආලේපයට ගතවන්නේ සතියක කාලයකි. අති දැවැන්ත ප්‍රාකාරයක් මේ වටා සාදන ලද අතර, වටදාගෙයි අනුරූ 4 කින් සිව්කොන සරසා තිබේ. වටදාගේ ඇතුලත බිත්තියේ පන්සිය පනස් ජාතක කථාවේ සම්බුද්ධ චරිතයේ විවිධ තැන් නිරූපනය කරන්නා වූ විචිත්‍රවත් චිත්‍ර 75කින් යුක්ත වේ. මේ මහා විශ්වකර්ම නිර්මාණය 1974 ජනවාරි 24 දින උත්සවාකාරයෙන් කොත් පැළද, පූජනීයත්වයට පත්කර තිබේ. ගෙවීගිය පසුගිය දශකයන්හි ඉංජිනේරු ශිල්පයේ අද්විතීය තැනක් හිමි කරගෙන සිටි නැසීගිය A.N.S. කුලසිංහ මහතා මෙම වටදාගෙයි නිර්මාපකයායි. මෙහි චිත්‍ර 75, මහනුවර චිත්‍ර ශිල්පියෙකු විසින් සිත්තම් කර තිබේ.
    කළුතර බෝධිය - ඉහල මළුව (Kalutara Temple - Higher Level)එපමණක් නොව තවත් මෙම පූජනීය ස්ථානයේ පූජනීයත්වය මෙන්ම ලක්දිව මිනිසුන්ගේ අතීතයේ පටන්තිබූ විශ්වකර්ම ඉංජිනේරු හැකියාව මෙම විසිවන සියවසේදීද නොනැසී ඇති බවට සාක්‍ෂියක් වෙමින් මෙම විශ්මිත වටදාගෙය මධ්‍යයේ උස අඩි 6ක කුඩා ප්‍රමාණයේ චෛත්‍යයක් පිහිටා තිබේ. සාම්ප්‍රදායික චෛත්‍යක සියළු කලා නිර්මාණයන් කිසිදු අයුරකින් අඩුවක් නොකර මෙම චෛත්‍යය නිමවා ඇති අතර සතර අතට මුහුණ ලා සමාධි සුවයෙන් වැඩ සිටින බුදුරදුන් නිරූපිත හිඳි පිළිම 4 කින් හා මල් ආසන 4 කින් අංග සම්පූර්ණ චෛත්‍යයක ලක්‍ෂණ විද්‍යාමාන කරන මෙහි ධාතු නිධානය හා කොත් පැළඳවීම 1980-02-28 දින සිදුකරනු ලැබීය.

    කළුතර බෝධිය වටදාගෙය ඇතුළත (Inside of Kalutara Temple)වටදාගෙයට පිවිසෙන මග දොරටු 2 කින් සමන්විතවේ. ඵ් උතුරු පසින් හා දකුණු පසින්ය. මකර රූ දෙකකින් හා සඳකඩ පහනකින් මේ දොරටු දෙපස අලංකාරව සරසා ඇත.ශ්‍රී ලාංකේය ඉදිකිරීම් කලාව ලෝක තලයට ගෙනගිය මේ විශ්මිත වටදාගෙය, ඇතුලත චෛත්‍යය හා ඵහි නිර්මාණ සිරිල් ද සොයිසා මහතාගේ සිතේ සනිටුහන් වූ පරිදිම ජීවමාන කිරීමට දායක වූයේ නිර්මාණ ශිල්පී ජස්ටින් සමරසේකර ඇසෝෂියේට් හා ඉංජිනේරු දේශබන්දු විද්‍යාජෝති ආචාර්ය A.N.S. කුලසිංහයන් ඇතුළු පිරිසේ දායකත්වයෙනි.අදටත් මෙහි භූමි නිර්මාණය, සැලසුම්කරණය හා තාක්‍ෂණය දෙස් විදෙස් ඉංජිනේරුවන් පවා මවිත කරන්නට සමත් බව ආඩම්බරයෙන් ලංකාවේ අප සැමට කීමට හැකිය. මෙම පූජා භූමිය පුරාවටම ඉහලම තාක්‍ෂණයක් උපයෝගී කරගත් ජල රටා පද්ධතියක් ද ඇති බැව් කියවේ.

    යටත්විජිත සමයේ පටන් කළුතර පුදබිමද භාවිතා කර තනා තිබූ ර‍ජ‍යේ පරිපාලන ගොඩනැගිලි එම ස්ථානයේ තිබීමෙන් එහි රාජකාරී කටයුතු වලට හා පුදබිමට පැමිනෙන බැතිමතුන්ට වන හිරිහැරය වටහාගෙන සිටි එතුමා කච්චේරි භූමි භාගය බෝධි භාරයට ලබා ගැනීමට වගකිව යුතු පාර්ශව සමග සාකච්ඡා කිරීමටද ඉදිරිපත්විය. තවද මෙරට රාජ්‍ය සේවයේ කටයුතු නීතිරීති වලට අනුකූලව කරගෙන යාමේදී වන නොවැලැක්විය හැකි ප්‍රමාදයන් හා ක්‍රමවේදයන් පිළිබදව හොදින් දැන සිටි එතුමා රාජ්‍ය නිළධාරීන්ට එම කටයුතු පහසුකර ගැනීම පිනිස විකල්ප ක්‍රමවේදයන්ද රජ‍යේ පහසුව පිණිසම ඉදිරිපත් කිරීමටද අම‍තක නොකලේය.

    ඒ අනුව එතුමා කච්චේරිය වෙනත් පරිශ්‍රයකට ගෙන යැම සඳහා විකල්ප ස්‌ථානයක්‌ සෙවීමට කැමැත්තෙන් ම එකඟ විය. දැනට තිබෙන කළුතර නව මහ ලේකම් කාර්යාලය පසුව විවෘත කරන තුරු කච්චේරි කාර්යාලය පවත්වාගෙන යැම සඳහා එතුමා නාගොඩ පාරේ දෙමහල් බංගලාවක්‌ද ලබා දුන්නේය.

    දහම් පාසල් පුනර්ජීවනය සහ ශක්තිමත් කිරීම මෙන් ම අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා එතුමාගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද "බෝධිමග පදනම" යන විශේෂ අංශය මඟින් කළුතර බෝධිභාරය එදා සිට වර්ථමානය දක්වා ලක්දිව බොදු නවෝදයට මෙන්ම සාමාජීය වශයෙන් ඉටුකරන මෙහෙය සදහන් නොකර සිටීම කල නොහැක්කකි. සමහර අවස්‌ථාවලදී ශ්‍රී ලංකාව තුළ ද විශේෂයෙන් ම ඉන්දියාවේ ද මූල්‍ය ආධාර ඇතිව කළුතර බෝධිභාරය ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

    අන් පුස්‌තකාලවල ඇති කවර හෝ අඩුවක්‌ වේ නම් එය සපුරාලමින් යොවුන් පාඨකයන්ට සහ අනෙකුත් අයට සේවය සලසන බෝධි භාරයේ පුස්‌තකාලය අංග සම්පූර්ණ එකකි. උතුරු කළුතර භාරය විසින් ස්ථාපනය කරන ලද බෝධි ඥාන පුස්තකාලය කොළඹින් බැහැර පිහිටි හොඳ ම පහසුකම්වලින් යුත් පුස්තකාලවලින් එකක් වශයෙන් සැලැකේ. මෙය ජාත්‍යන්තර පුස්‌තකාල මාසය මෙන්ම කියෑවීමේ මාසය වෙනුවෙන් එය ජාතික පුස්‌තකාල සේවා මණ්‌ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර යොවුන් සහ වැඩිහිටි විශාල පාඨක සංඛ්‍යාවකින් මෙන්ම විශාල පොත් සංඛ්‍යාවකින් සමන්විත වන පුස්‌තකාලය අංග සම්පූර්ණ එකකි. මෙවන් වටිනා සම්පත් ජාතියට දායාද කිරීමට මෙම ආයතනය ඉටුකල කාර්යයභාරය අතිශයින් ප්‍රශංසනීය බව ඉදුරාම පැවසිය යුතු කරුණකි. කළුතර බෝධි භාරය ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ අඩි පාරේ තවත් ඉදිරියට ම යමින් සිටිනු දැකීම ලාංකික පුරවැසියන් සියල්ලන්ටම සන්තුෂ්ඨිය හේතුපාදක කරුණක් වන අතර එම ආයතන ව්‍යුවහය මගින් පුන් පොහෝ දිනවල සිල් සමාදන් වන බැතිමතුන් දහස් ගණනකට ද එය දානය සපයයි. මස් කඩයේදී මරණයට කැප වීමට නියමිතව සිටින ගවයින් මරණයෙන් මුදා ගෙන, උතුරු මැද පළාතේ දිළිඳු ගොවීන්ගේ ආර්ථික සුබසිද්ධිය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ට ලබා දෙනු ලැබේ. තවද පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුන් වහන්සේලාට නොමිලේ පෙළ පොත් බෙදා දෙන බෝධි භාරය සියලු නිකායන්හි උපසම්පදා පුණ්‍ය කර්ම සඳහා ද ආධාර හා අරමුදල් සපයයි. මේ ව්‍යාපෘති සියල්ල සඳහා පෙළඹවීම හා උනන්දුව ඇති වී තිබෙන්නේ එක් සුවිසල් මූලයකිනි. එනම් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා වෙතිනි.

    ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ජීවත්ව සිටි අවධියේදී මෙන්ම ඒ මහතා විසින් අරඹන ලද සංවිධානයන්ගෙන්, උපකාර අවශ්‍ය වන ඕනෑම සංවිධානයක්‌ හෝ ආයතනයක්‌ ගැන සොයා බලා ඒ කටයුතු ඉටු කර දීම සිදු කරනු ලැබෙන නිසා ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ ජීවගුණය අද ද නොසිඳී පවතී. කළුතර බෝධියට අරක්‌ගත් සහ ඊට වන්දනාමාන කරන දෙවියන් තමාට ආශිර්වාද කරන බවත්, ආරක්‍ෂා කරන බවත්, යහපත් චේතනාවෙන් කරන කවර හෝ කාර්යයකදී වුව ද තමාට සාර්ථකත්වය ලද හැකි බවත් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා නිතරම විශ්වාස කළේය. පොදුවේ ගත් කල බාලදක්‍ෂ ව්‍යාපාරය, ජාතික ක්‌ෂය රෝග මර්දන ව්‍යාපාරය වැනි ජාතික සංවිධාන රාශියක්‌ විසින් ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගේ සේවය සහ අනුග්‍රහය අපේක්‍ෂා කරනු ලැබීය. එසේම නයිට්‌ නාමයක්‌ ප්‍රදානය කිරීමෙන් රජය විසින් ද එතුමාගේ සේවය අගය කරන ලදී. එතුමා වසර 9 ක්‌ උත්තර මන්ත්‍රී මණ්‌ඩලයේ සභාපතිවරයාද විය.

    ශ්‍රීමත් සිරිල්ගේ නම මූලික වශයෙන් ම කළුතර බෝධිය හා සම්බන්ධ වුවත් බෞද්ධාගමේ තිර පැවැත්ම උදෙසා එතුමාගෙන් ඉටු වූ සේවය බොහෝ අංශවල පැතිරුණු ප්‍රබල එකක් විය. බොහෝ බෞද්ධ සිද්ධස්ථාන, පුදබිම් හා ආයතන එතුමාගේ ත්‍යාගශීලීත්වයෙන් පෝෂණය ලද අතර, කතරගම කිරි වෙහෙර සහ එහි ම වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යයේදී ද එතුමා පුරෝගාමී විය. බෙල්ලන්විල රජ මහා විහාරය, කුප්පියාවත්ත ජයශේඛරාරාමය, පින්වත්තේ සද්ධර්මාකාර පිරිවෙන යන පූජනීය ස්ථාන සංවර්ධනය කිරීම සහ පොළොන්නරුවේ විශ්‍රාම ශාලාවක් ඉදි කිරීම සඳහා ද ශ්‍රීමත් සිරිල් මහතාගේ ත්‍යාගශීලී ක්‍රියා උපකාරී විය.
    එසේම 1973 දී පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය පිරිවෙනට බෝධීන් වහන්සේ නමක් රෝපණය සදහාද මූලිකත්වය ගන්නේද සිරිල් ද සොයිසා මැතිතුමා විසින් වන අතර දඹදිව සිට වඩමවාගෙන විත් මෙම පුද බිමට පූජා කළ ආනන්ද බෝධී අංකුරය අද අතු ඉති දළුලමින් වර්ධනය වී විහාරස්ථානයක ඇති සකලාංගයන් ගෙන් පරිපූර්ණවීම මෙන්ම සදැහැති බව වර්ධනය කිරීම සඳහාත් දායක වී තිබේ.

    කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනික ආයතන බවට පත් වී තිබෙන, කළුතර බාලිකා විද්‍යාලයත්, කළුතර විද්‍යාලයත් එතුමා ආරම්භ කළේය. කළුතර බාලිකා විද්‍යාලයය මුලින්ම ආරම්භ කරනු ලැබුවේ 1942 දී එතුමාගේ ම නිවෙසේ ය.

    එවක අභාවයට යමින් තිබුණු ලන්ඩන් බෞද්ධ විහාරය ද ශ්‍රීමත් සිරිල් විසින් නැවත යථා තත්ත්වයට පත් කරන ලදී. ලන්ඩනයේ ඔවින්ග්ටන් උද්‍යානයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් වසර දහයකට බද්දට ගනිමින් එතුමා ඒ සඳහා පෙරමුණ ගත් අතර 1954 වෙසක් මාසයේදී ඒ විහාරය නැවත විවෘත කරන ලදී. සම්පූර්ණ වසර දහයක් සඳහා පවුම් 700 ක වාර්ෂික බදු කුලියේ වගකීම ශ්‍රීමත් සිරිල් විසින් ම බාර ගනු ලැබීය.

    කළුතර බෝධිය සහ එහි නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා (Kalutara Temple and Sir. Cyril De Zoysa)රටවැසියන්ට උපකාරී වීමේ ඉතාම ඵලදායී මාර්ගය වශයෙන් එතුමා අවබෝධ කරගත්තේ රැකියා සම්පාදනයයි. මෝටර් රථ බැටරි, බයිසිකල් ටයර් සහ ටියුබ් නිෂ්පාදනය සඳහා විශාල කම්හල් සමූහයක් දකුණු කළුතර ඉදි කළ එතුමා ඉන් පසුව, මහා පරිමාණයෙන් ටයර් නැවත පිරවීමේ ක්ෂේත්‍රය දක්වා එය ව්‍යාප්ත කළේය. ඉන් පසුව විදුලි රැහැන් හා ශීතකරණ නිෂ්පාදන ව්‍යාපාරය ආරම්භ කරන ලද අතර කළුතර අවට ගම්වාසීන් දහස් ගණනකට ඒ කම්හල්වල රැකියා අවස්ථා උදා විය.

    ශ්‍රීමත් සිරිල් මහතාට අයත් බස් සමාගම් ජනසතු කිරීමදීද ජාතිවාත්සල්‍යය පිළිබඳව එතුමා සතු වූ විශාල හැඟීම ප්‍රදර්ශනය කළ අවස්ථාවක් විය. ඒ ඉරණමට මුහුණ දුන් අනෙකුත් සමාගම් හිමියන් තමන්ගේ වාහන ලංකා ගමනාගමන මණ්ඩලයට භාර දීමට පෙර ඒවායේ තිබු අලුත් ටයර් ආදී කොටස් ගලවා ගැනීමට වග බලා ගත් නමුත්, ශ්‍රීමත් සිරිල් මහතා තම කාර්ය මණ්ඩලයට උපදෙස් දුන්නේ තමාගේ සියලු ම බස්රථ ආපසු භාරදීමට පෙර ඒවාට අලුත් ම ටයර් සහ ටියුබ් දමා, ඉන්ධන ටැංකි ද පුරවා භාර දෙන ලෙස ය.


     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කෙසේවෙතත් ලෝකවාසී කිසිදු සත්ත්වයෙකුට ලෝක ධර්මතාවයන්ට අභියෝගකල නොහැක. ඕනෑම අයෙකුට ජීවත්විය හැක්කේ යම්කිසි කාලයක් පමණි. මේ ධර්මතාවයන්ට අනුව ශ්‍රීමත් සිරිල් ද සොයිසා නම්වූ ‍‍ශ්‍රේෂ්ඨ ලංකාපුත්‍රයාටද සියදිවියෙන් නික්මයෑමට සිදුවිය. එතුමා වයස 82 තරම් දීර්ඝ ආයුෂ විඳ 1978 ජනවාරි 2 දින අභාවප්‍රාප්ත විය. එතුමා සිය ජීවිතයේ සන්ධ්‍යා භාගයේදී ගැඹුරු ආධ්‍යාත්මික ශාන්ත භාවයකට පත්වී සිටියේය. එවන් අවස්‌ථාවක එතුමාගේ වදන්වලින් පළවූයේ බෞද්ධ ජීවන මාර්ගයේ හරයයි. "මම දැන් නිදහස්‌ය. ඔබ කොතරම් පොහොසත් ද යන්න වැදගත් දෙයක්‌ නොවේ. ඒවා සියල්ල ඔබ මුලා කරන සුළුය. කිසිදු ධනයක්‌ නොමැතිව මම ඉපදුණෙමි. කිසිදු ධනයක්‌ නොමැතිව මම මිය යන්නෙමි. මගේ සැනසුම ද සතුටද, ශක්‌තිය ද වන්නේ බුද්ධ ධර්මයයි." කළුතර පුදබිම භෞතිකව නැසීගියත් එය මනුශ්‍ය සන්තානයේ නොනැසී තිබෙනාතුරාවට ශ්‍රීමත් සිරිල් ද සොයිසා නාමයත් සදා නොනැසී පවතිනු ඇත.

    11406792_822614761149561_2755548124997761496_n.jpg


    11402930_822614757816228_5730804252114531797_n.jpg


    11377159_822614764482894_865522698496414327_n.jpg


    11391566_822614754482895_3126713640388827070_n.jpg


    Source -https://www.facebook.com/wadagathlipi/posts/822614837816220