සිවුවැනි ඊළාම් සටන

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    සිවුවැනි ඊළාම් සටන

    This is a Lakbima very good article. Many cant remember those days.

    සිවු වැනි ඊළාම් සටන අවසන් වී මේ දහඅට වැනිදාට සිවුවසක් පිරේ. ඒ සටන පිළිබඳ බොහෝ තොරතුරු ප්‍රසිද්ධියට පත්වුණිද යුද්ධයේ තිරය පිටුපසින් වූ ඇතැම් සිද්ධින් කරළියට පිවිසියේ නැත. සටන වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. හැදූ මෙහෙයුම් සැලසුම හා මරණයට පත්වූ ප්‍රභාකරන්ගේ සිරුරට වූ දේ ඒ කතා අතර ප්‍රධාන තැනක් ගනී. පහත දැක්වෙන්නේ ඒ කතාවය.
    මීට පහළොස් මාසයකට ඉහතදී ඇමෙරිකන් එක්සත් ජනපද සීල් භටයන් බින් ලාඩන් ඝාතනය කළ අවස්ථාවේදී මුළු ලොවම ඇසූ ප්‍රශ්න දෙකක් තිබුණේය.
    “යටිබිම් දිවියක් ගත කළ බින් ලාඩන් අල්ලා ගත්තේ කොහොමද?. බින් ලාඩන්ගේ මළ සිරුරට මොකද වුණේ”. ඒ ප්‍රශ්න දෙකින් මුල් ප්‍රශ්නයට සීල් භටයෝ පිළිතුරු දුන්හ. ඒ ඔවුන් බින් ලාඩන් මරා දමන අයුරු සියැසින්ම දුටු බැවිණි. එනමුත් දෙවැනි ප්‍රශ්නයට නම් අද දක්වා පැහැදිලි පිළිතුරක් නොලැබුණි. බටහිර මාධ්‍ය කීවේ බින් ලාඩන්ගේ මළ සිරුර ඇමෙරිකන් සෙබළුන් මහ මුහුදට දැමූ බවය. එනමුත් මළ සිරුර දැමූ ස්ථානය නම් ප්‍රසිද්ධ කළේ නැත. එය තවමත් අබිරහසකි.
    කෙසේ නමුදු මීට සිවු වසරකට ඉහතදී ලංකාවේ වැසියන්ටද බින් ලාඩන් සිද්ධියේ මෙන් ප්‍රශ්න දෙකක් තිබුණේය. “ප්‍රභාකරන් මැරුණේ කොහොමද? ඔහුගේ මළ සිරුරට මොකද කළේ?”
    රට්ටුන් එවැනි ප්‍රශ්න දෙකක් ඇසුවේ ප්‍රභාකරන් පිළිබඳ දශක තුනක් පුරා අසා තිබූ වීර කතාවලට අනුව ඔහු ඝාතනය කළ හැකි වෙතැයි බොහෝ දෙනෙකු විශ්වාස නොකළ නිසාය. හැරත් බින් ලාඩන්ගේ ඝාතනය සියැසින් දකින්නට සීල් භටයන් සිටි මුත් ප්‍රභාකරන්ගේ අවසාන මොහොත සජීවීව දුටු කෙනෙකු නොසිටි බැවින් රට්ටුන් ඔහුගේ මරණය පිළිබඳ ප්‍රවෘත්ති ඇසුවේද බැලුවේද කුතුහලයෙනි.
    මේ නිසා ප්‍රභාකරන්ගේ මරණයත් සමග බොහෝ කයි කතන්දරවලට පණ ආවේය. කොටි නායකයා මරා දැමුවේ ඔහු හමුදාවට භාර වීමෙන් ඉක්බිතිව යැයි සමහරු කීහ. හමුදාව වෙඩි තැබිමට පෙර ඔහු සිය දිවි තොර කරගත් බව තවත් පිරිසක් කීවෝය. මේ අතර එල්.ටී.ටී.ඊ. නායකයා අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන ආ බවද එකල ප්‍රචාරය විය. සැබැවින්ම මියගියේ ප්‍රභාකරන් නොව ඔහු සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් තමාගේ රූපයට සමාන ලෙස වෙස් ගැන්වූ පුද්ගලයකු බවටද ප්‍රචාරය විය. කෙසේ නමුදු මේ සියලු කතා එකල අතිශයෝක්තියට නැගූ ප්‍රබන්ධ මිසක් සත්‍ය කතා නොවේය.
    සැබැවින්ම ප්‍රභාකරන් මරණයට පත්වූයේ කෙසේද? ඊළාම් යුද්ධ තුනකදී හමුදාවට හොඳ සටනක් දීමට සමත් වූ තිරුවෙන්ගඩම් වේලුපිල්ලයි ප්‍රභාකරන්ට සිවුවැනි ඊළාම් සටනේදී වැරදුණේ ඇයි. ලොව අතිශයෙන්ම නිරනුකම්පිත ගරිල්ලා නායකයා ලෙස හැඳින්වූ ප්‍රභාකරන් කිසිවෙකුට යටත් නොවී හුන්නද ඔහු තමාගේ සිතේ අහංකාරෝන්මාදයට යටත් වී සිටියේය. ප්‍රභාකරන්ට වැරදුණේ එතැනදීය.
    කෙසේ නමුදු සිවුවැනි ඊළාම් සටන වෙනුවෙන් එල්.ටී.ටී.ඊ.ය සැදූ මෙහෙයුම් සැලසුමේ තිබුණේ පුදුම හිතෙන කතාය. සමහරු කල්පනා කළේ එය එල්.ටී.ටී.ඊ.යේ මොළෙන් නොව විදේශයකින් සැදූ සැලසුමක් බවය. එනමුත් එවැනි සැකයක් හටගත්තද ඊට පැහැදිලි සාක්ෂියක් නොවීය.
    එල්.ටී.ටී.ඊ.යේ සැලසුම වී තිබුණේ මුලින්ම යුද්ධයට අණදෙන ප්‍රධාන චරිත තුන ඝාතනය කිරීමය. ඔවුහු සේනාධිපති හා ජනපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ද වූහ. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තරකර තිබූ හෙයින්ද ඔහු ගමන් බිමන් සීමාකර තිබූ හෙයින්ද එල්.ටී.ටී.ඊ.යට ඔහුට ළං වීමට නොහැකි විය. එනමුත් අනෙක් දෙදෙනා ළඟටම යාමට එල්.ටී.ටී.ඊ. ය සමත් වුණිද වාසනාවකට මෙන් ඒ ප්‍රහාර දෙකින්ම සිය ජීවිත බේරා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශ ‍ලේකම්වරයාත්, හමුදාපතිවරයාත් වාසනාවන්ත වූහ. මුල්ම ප්‍රහාරය එල්ල වූයේ හමුදාපතිවරයාටය. ඒ දෙදහස් හයේ අප්‍රේල් විසිපස් වැනිදාය. හමුදාපති ඉලක්ක කර ස්වයං ඝාතන බෝම්බය පුපුරවා ගත් කනපතිපිල්ලෙයි මංජුලා දේවි හමුදා මූලස්ථානයට රැගෙන ආවේ හමුදාපතිවරයාගේ කෝකියා වූ සිද්ධික්ය. ඔහු එල්.ටී.ටී.ඊ.යෙන් මුදල් ගත් අයකු බව පසුව හෙළි විය.
    හමුදාපතිවරයා ඝාතනය කිරීමෙන් පසු කොටින්ගේ සැලසුම වී තිබුණේ ත්‍රිකුණාමලයටත්, යාපනයටත් එකවර ප්‍රහාර එල්ල කිරීමය. යාපනය වූ කලී කොටින්ගේ හදවතය. යාපනය නැති ඊළම “හරියට ඩෙන්මාර්කයේ කුමරා නැතිව හැම්ලට් රඟපෑවා සේය.” මේ හේතුවෙන් එල්.ටී.ටී.ඊ. ය යාපනය අල්ලා ගැනීමට සිටියේ නොනිමි බලා‍පොරොත්තුවෙනි. යාපනය රැකුණේ තිරිකුණාමලයේ සිට මුහුදෙන් තිබූ සැපයුම් මාර්ගයෙනි. යාපනයේ සිටි හමුදාවට අවශ්‍ය සියලු දේ සැපයුනේ මෙම සැපයුම් මාර්ගය ඔස්සේ නැව් මගිනි. එල්.ටී.ටී.ඊ.යේ සැලසුම වී තිබුණේ තිරිකුණාමලය වරායේ මුවදොර වසා නැව්වල ගමන්මග ඇහිරීමය. විශාල ප්‍රමාණයේ මගී නෞකා වූ ජෙට් ලයිනර් හෝ පර්ල් කෲසර් නැව් දෙකට ත්‍රිකුණාමලය වරාය මුවදොරදී ප්‍රහාර එල්ල කර ගිල්වා දැමීම එල්.ටී.ටී.ඊ උපක්‍රමය වී තිබුණේය.
    මේ සැලසුම ක්‍රියාවට නංවමින් මරාගෙන මැරෙන මුහුදු කොටි දෙදහස් හයේ අගෝස්තු පළමු වැනිදා ත්‍රි’මලය වරාය ආසන්නයේදී 'ජෙට් ලයිනර්' නැව ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළහ. ඒ අවස්ථාවේදී නැවේ කොමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළු විශාල පිරිසක් ඇතුළු පාබල සෙබළු අටසිය පනහක් හුන්හ. යම් හෙයකින් එදින එල්.ටී.ටී.ඊ.යේ ප්‍රහාරය සාර්ථක විණිනම් යුද හමුදාව මුහුණ දෙන්නේ මහ ඛිෙදවාචකයකටය. හැරත් කොමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළු විශාල පිරිසක් එකවර මියගියේ නම් එය සිවුවැනි ඊළාම් සටනේදී හොඳටම දැනෙන්නට ඉඩ තිබුණි. ඒ ගරිල්ලා සටන්වලදී කොමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළු මුතු මැණික්වලටත් වඩා බොහෝ වටිනා බැවිණි.
    මේ අතර 'ජෙට් ලයිනර්' නෞකාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන ගමන්ම ගරිල්ලෝ නාවික හමුදාවේ හදවත බඳු ත්‍රි’මලය නාවික මූලස්ථානයට කාලතුවක්කු වෙඩි වරුසාවක් එල්ල කළහ. තත්ත්වය මෙසේ තිබියදී පසු දින (02) එල්.ටී.ටී.ඊ. ය ත්‍රිකුණාමලය වරායට දකුණෙන් වූ මුතූර් නගරයද, සෙල්වනගර්, මහින්දපුර, පච්චනුර්, පන්සල්වත්ත හා පහළ තෝපූර් හමුදා කඳවුරු ද ඉලක්ක කර මහා ප්‍රහාරයන් එල්ල කළහ. මේ ප්‍රහාරයේ අරමුණ වී තිබුණේ ත්‍රි’මලය කොඩ්ඩියාර් බොක්කේ දකුණු බිම අල්ලාගෙන වරායේ පාලනය සියතට ගැනීමය.
    ඒ සැලසුම සිතුපැතූ සේ හරිගියේ නම් ත්‍රිකුණාමලයත් යාපනයත් අතර සැපයුම් මාර්ග බිඳ වැටෙන්නේය. ඒ උපකල්පනයේ හුන් ගරිල්ලෝ ඊළඟ සැලසුම මුහමා‍ලේ ක්‍රියාත්මක කළහ. ඒ නාගර්කෝවිල්, මුහමා‍ලේ, කිලාලි ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දමා යාපනය අල්ලා ගැනීමටය. ඒ අරමුණින් කොටි අගෝස්තු එකළොස්වැනිදා මුහමා‍ලේ ඉදිරි ආරක්ෂක වළල්ලට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කළහ. එහිදී එල්ල වූ ප්‍රතිරෝධය දරාගත නොහැකිව හමුදාව ඉදිරි ආරක්ෂක වළල්ල අතහැර දෙවැනි ආරක්ෂක වළල්‍ලේ නැවත ස්ථානගත වූහ. මේ අතර පුනරීන් සිට ගරිල්ලන් පලාලි ගුවන්තොට ඉලක්ක කර කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමත් සමග යාපනය හා රත්මලාන අතර ගුවන් ගමන්ද ඇන හිටිනි. ඒ අනුව ගුවනින්ද මුහුදෙන්ද සැපයුම් මාර්ග නොලැබ යාපනය අර්ධද්වීපය හුදකලා වෙමින් තිබුණේය.
    මේ හේතුවෙන් එල්.ටී.ටී.ඊ.ය කල්පනා කළේ දෙදහසේදී කට ළඟට ගොස් අල්ලා ගැනීමට නොහැකි වූ යාපනය නගරය මෙවර නිසැකයෙන්ම අල්ලා ගත හැකිවෙතැයි යන්නය. එනමුත් එල්.ටී.ටී.ඊ.යට මුල්ම සටනේ එක තැනකදී වැරදුණේය. ඒ මුතූර් සටනේදීය. එල්.ටී.ටී.ඊ. මුතූර් නගරය වටලන විටත් හමුදාව මාවිල්ආරු සටන වෙනුවෙන් බර අවි ඒ බිම ආසන්නයේ ස්ථානගත කර තිබුණි. දිගු දුරට ප්‍රහාර එල්ල කළ හැකිතරම් බලසම්පන්න කාලතුවක්කුද, මල්ටි බැරල් රොකට්ටුද ඒ බිමේ තිබුණේය. මුතුර් සටනේ හැරවුම් ලක්ෂය කාලතුවක්කු ප්‍රහාරයන්ය. හමුදාව මුතූර් හා මුහමා‍ලේට එල්ල කළ කාලතුවක්කු ප්‍රහාර හමුවේ පසුබැසීම හැර අන් විකල්පයක් එල්.ටී.ටී.ඊ.යට ඉතිරි නොවීය. හමුදාව මුතුර් මුදාගෙන නතර වූයේ නැත. පහළ කෝපූර්, කට්ටපරිච්චාන් හරහා ගිය ඔවුන්ගේ ගමන නතර වූයේ සාම්පූර් බිමද අල්ලා ගනිමිනි. එතැනින් ඔවුහු වාකරේටද තොප්පිගලටද ගියෝය. නැගෙනහිර සියලුම ප්‍රදේශ මුදාගැනුණි. හමුදාව මුහමා‍ලේ අහිමි වී ගිය ඉදිරි ආරක්ෂක වළල්ලද යළිදු වරක් අල්ලා ගත්හ. වවුනියාවේ තම්පනෙන් වන්නිය අල්ලා ගැනීමේ මෙහෙයුම් ඇරඹුණි.
    මේ සියලු මෙහෙයුම් ඇරඹුණේ සුබ මුර්තියෙන් හෝ ගණ පිහිටා නම් දමා නොවේ. එනමුත් සිවුවැනි ඊළාම් සටනට පෙර එතෙක් පැවැති සිරිත වූයේ සෑම මෙහෙයුමක්ම නැකත් බලා සුබ මුර්තියෙන් ඇරඹීමය. මෙහෙයුම්වලට සුබ නම් දැමීමට හමුදා ප්‍රධානීහු ප්‍රසිද්ධ ජෝතිර්වේදීන් හමුවන්නට ගියහ. මෙරට පමණක් නොව නොරට ෙදෙවඥයන්ගේද සරණ පැතුවෝය.
    කෙසේ නමුදු මෙවර ප්‍රභාකරන්ට මාරක අපලය ළඟා වී තිබෙනු කියන්නට ඔහුගේ කේන්දරය බලන්නට ඕනෑකමක් තිබුණේ නැත. යුද හමුදාව කිලිනොච්චිය වටලෑමත් සමග එල්ටීටීඊයේ අවසානයද ළඟාවෙමින් තිබෙන බව පැහැදිලි විය. ඒ බව ප්‍රභාකරන්ගේ දෙවැනි මනමාලයා වූ ද එල්.ටී.ටී.ඊ.යේ පළමු පෙළ නායකයකුව හුන් කුමාර් පද්මනාදන් හෙවත් කේ.පී. ප්‍රභාකරන්නට අවබෝධ කර දීමට උත්සාහ කළ ද මානයෙන් හිස උදුම්මවාගත් ඔහු ඒ කාරණාව පිළිගන්නට සූදානම් වූයේ නැත. නිවී යාමට ආසන්නව පහනේ දීප්තිය වැඩි වෙනවාක් මෙන් ස්වකීය අවසානය ළඟා වෙමින් හුන් ගරිල්ලෝ අන්තිම තත්පරයේදීත් සෙබළුන් ඉලක්ක කරගෙන මහා පරිමාණ ප්‍රහාර එල්ල කළහ. එනමුත් ඒ ප්‍රහාර රැල්ලෙන් කොටි පැතූ ප්‍රතිඵල ලැබුණේ නැත. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවසාන හෝරාව ළඟා වූයේ දෙදහස් නවයේ මැයි දහතුන්වැනිදාය. එදින සේනාංක දෙකක් යුද මුක්ත කලාපයේ උතුරෙන්ද දකුණෙන්ද පැමිණ වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළේදී හමු වූහ. එවිට නව ආරක්ෂක තීරයක් නිර්මාණය වූයේ දශක දෙකක් පුරා කොටි පාලනය යටතේ තිබූ උතුරේ වෙරළ තීරය යළිදු වරක් ලංකා රජය යටතට පත්කරමිනි. ඒ සමග එල්.ටී.ටී.ඊ. නායකයා සිය දරු පවුල සමග සීමිත බිම් තීරුවක කොටු විය. කේ.පී. පසුව හෙළි කළ ආකාරයට කොටු වී හුන් ප්‍රභාකරන් බේරා ගැනීමට ඔහු සැලසුම් හැදුවේය. ඒ සැලසුම අනුව කේ.පී. උත්සාහ කළේ වන්නි කැලයට හෙලිකොප්ටරයක් ගොඩබස්සා ප්‍රභාකරන්ගේ පවු‍ලේ සාමාජිකයන් මුදාගෙන මහ මුහුද මැද තිබෙන එල්.ටී.ටී.ඊ.යට අයත් නැවකට රැගෙන යාමය. රටවල් තුනක් ඔවුන් රැකබලා ගැනීමට කැමැති වූ බව කේ.පී. කීවේය. එනමුත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් නොලැබි යාම හේතුවෙන් තමා එය කනගාටුවෙන් වුවද අතහැර දැමූ බව කුමාර් පද්මනාදන් සඳහන් කර තිබුණි.
    කෙසේ නමුදු සිවු දෙසින්ම සේනාංක විසින් වටකරනු ලැබු බිමක කොටු වූ ප්‍රභාකරන් ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ කොටි නායකයන් අවසානයේ තීරණය කළේ හමුදාවේ ආරක්ෂක වළල්ල බිඳ දමා වන්නි කැලයට පලායාමය. දෙදහස් නවයේ මැයි දාහත්වැනිදා රාත්‍රියේ ගරිල්ලන් නන්දිකඩාල් ආරක්ෂක වළල්ලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ඒ අරමුනිණි. කළපුවේ එගොඩ පිහිටි පුතුක්කුඩිඉරිප්පු වනයේ හුන් ප්‍රභාකරන්ගේ කායාරක්ෂකයෝ හයදෙනෙක් කළපුව හරහා සිය නායකයා එනතුරු බලා හුන්හ. ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ නන්දිකඩාල් කළපුව හරහා පැමිණෙන ප්‍රභාකරන් නිරුපද්‍රිතව පුතුක්කුඩිඉරිප්පු කැලයට රැගෙන යාමය. එනමුත් හමුදාව නන්දිකඩාල් කළපුවේ එල්.ටී.ටී.ඊ. යේ ප්‍රතිරෝධය වැළැක්වීමට සමත් වූහ. ගරිල්ලෝ පසුබැස්සහ. පසුදින කළපුවේ රාත්‍රී ප්‍රහාරයට පැමිණි ගරිල්ලන් එකසිය පණහකගේ පමණ සිරුරු පාවෙමින් තිබුණි.
    මැයි දහඅට වැනිදා රාත්‍රියේ යළිදු වරක් ආරක්ෂක වළල්ලට ගරිල්ලන්ගේ ප්‍රහාරයක් එල්ල විය. ඒ මුලතිව් පුතුක්කුඩිඉරිප්පු ඒ 35 පාර දෙසිනි. ගරිල්ලෝ හමුදා ආරක්ෂක වළල්ල කඩා දැමීමට සමත් වූහ.
    ඒ වනවිටත් ප්‍රභාකරන්, සුසෙයි හා ‍පොට්ටුඅම්මාන් චන්ද්‍රිකා දුරකථන මාර්ගයෙන් කේ.පී. සමග සබඳතා පවත්වමින් හුන්නෝය.
    සුසෙයි අවසාන මොහොතේදී කේ.පී. හට දැන්වූයේ ප්‍රභාකරන් හා ‍පොට්ටු අම්මාන් හමුදාවේ දරුණු ප්‍රහාරයට මැදිවී ආපසු හැරුණු බවය. ඒ ආරංචිය කීමෙන් ඉක්බිතිව සුසෙයිගේ දුරකථනය නිහඬ විය. ප්‍රභාකරන් පිළිබඳ තොරතුරුද එතැන් සිට ඇසූ අයෙක් ජීවතුන් අතර නැත. මේ අතර කොටි ඒ -35 පාරේ ගමන් කරමින් හුන් හමුදාවේ ගිලන් රථයක් පැහැරගත්හ. එම රිය ප්‍රහාරයෙන් ගිනිගෙන වැනසී ගියේ එහි හුන් තිදෙනෙකුත් සමගය. ප්‍රභාකරන්ගේ මරණය පිළිබඳ මුල්ම පුවත පැතිරී ගියේ ඒ අවස්ථාවේදීය. පිළිස්සී විකෘති වී තිබෙන මළ සිරුරු අතරේ ප්‍රභාකරන්ගේ සිරුරද තිබෙන බව ලැව් ගින්නක් සේ රට්ටුන් අතරේ පැතිරී ගියේය.
    මේ අතර මුල් ප්‍රහාර දෙකින් මරුමුවට පත් වී සිටි ගරිල්ලන්ගේ මළ සිරුරු පරීක්ෂා කරන විට ප්‍රභාකරන්ගේ දෙටු පුත් චාල්ස් ඇන්තනි හා එල්.ටී.ටී.ඊ. යේ දේශපාලන අංශ නායක පී. නඩේසන්ගේ සිරුරු හමු විය. හමුදාවට අවශ්‍ය කරන ප්‍රධාන පුද්ගලයාගේ මළ සිරුර එහි තිබුණේ නැත.
    මැයි දහනවවැනිදා උදේවරුවේ හමුදා සෙබළු පිරිසක් මුලතිව් නන්දිකඩාල් කළපුවේ දූපතක් වටකර පහර දුන්හ. ඒ ප්‍රහාරයෙන් ඉක්බිතිව කළ සෝදිසි මෙහෙයුමේදී කායාරක්ෂකයන් පිරිසක් සමග එකට මිය ගිය අයෙකුගේ මළ සිරුරක් හමුදාව සොයා ගත්තේය. එය වෙන කවරෙකුගේ නොව තිස් වසක් පුරා ලංකාණ්ඩුව සොයමින් හුන් තිරුවෙන්ගඩම් වේලුපිල්ලයි ප්‍රභාකරන්ගේ මළ සිරුරය. ඔහු පිළිබඳ තිබූ වීර කාව්‍යවල තිබුණේ යම් හෙයකින් ඔහු මරා දැමුණහොත් හෝ සයනයිඩ් කෑවහොත් ඒ මොහොතේම ඔහුගේ සිරුර පුළුස්සා දැමීමට
    කායාරක්ෂකයන් ඉන්ධන බඳුනක් රැගෙන ගිය බවය. ඒ නායකයාගේ සිරුර සතුරා අතට පත්වීම වැළැක්වීමටය. එනමුත් ඒ කිසිවක් නන්දිකඩාල් කළපුවේ වූයේ නැත. හිසට වෙඩි වැදුණ බවට සලකුණු තිබූ කොටි නායකයාගේ මළ සිරුර හඳුනාගත හැකි ලෙස ඉතිරි වී තිබුණි.
    ‍‍‍ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර දුරකථන සංවාද කීපයක් පැවැත්විණි. ඔවුහු ඉහළ තැන්වලින් උපදෙස් පැතූහ. වෙල්ලමුල්ලිවයික්කාල් බිමේ ප්‍රසිද්ධ නොකරන තැනකදී ප්‍රභාකරන්ගේ මළ සිරුර දවා අළු කරනු ලැබිය. ඉක්බිතිව අළු මුහුදට මුසු කෙරුණි. බින් ලාඩන්ගේ මළ සිරුර මෙන් ප්‍රභාකරන්ගේ අළුද සදාකාලිකව මුහුදු පත්‍ලේ සැඟව ගියේය.
    එහෙත් තිස් වසක් පුරා මේ ‍පොළොව මත ‍ලේ ගංගා නිර්මාණය කළ ප්‍රභාකරන්ගේ නම නම් කිසිදාක කිසිවෙකුට අමතක වනු ඇතැයි සිතිය නොහැක.

    මිහිරි ෆොන්සේකා


    copyright
    Lakbima newspaper
    http://www.lakbima.lk