සුරා බදු වංචාව - රනිල් සහ මිත්‍රයෝ
හිඟ සුරාබදු මිලියන 600 යි කිව්වට රුපියල් මිලියන 6000 පැනලා…
July 25, 2024 at 8:02 am | lanka C news හිඟ සුරාබදු මිලියන 600 යි කිව්වට රුපියල් මිලියන 6000 පැනලා…
සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතු සුරාබදු ප්‍රමාණය රු. මිලියන 600 කට ආසන්න බව නිලධාරීන් විසින් ප්‍රකාශ කොට ඇති බවත්, එහි යථා තත්ත්වය වන්නේ 2024-06-30 වන දා වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 6,075 ක් බදු අය විය යුතුව තිබෙන බව යැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ;
මේ රුපියල් මිලියන 6,075 න්
1. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම – රු. මිලියන 3447
2. වයඹ ඩිස්ටිලරීස් – රු. මිලියන 560
3. වයඹ ස්පිරිට් – රු. මිලියන 281
4. ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් – රු. මිලියන 1148
5. මැක්ලන්ඩ් බ්ලූවරීස් – රු. මිලියන 619
6. කළුතර සමූපකාරය – රු. මිලියන 17 වශයෙන් හිඟ සුරාබදු අය කර ගත යුතුව තිබෙන බව ය.
මීට පෙර මේ ආකාරයෙන් සුරා බදු නොගෙවා සිටි සමාගම් වන ෆින්ලඩ්, සිනර්ජි සහ රන්දෙණිගල යන සමාගම් තම සුරාබදු ගෙවීම සිදු කොට ඇති බව සඳහන් කළ රණවක මහතා; මෙම ලැයිස්තුවෙන් සමහර සමාගම් වසා දමා ඇති බවත්, තවත් සමහර සමාගම් සම්බන්ධ නීතිමය කටයුතු සිදු කෙරෙන බවත් සඳහන් කළේය.
මෙම හිඟ සුරාබදු අය කර ගැනීම අවශ්‍ය ප්‍රමානයට වඩා පමා කිරීම කාලාන්තරයක් තිස්සේ ඇති වූ තත්ත්වයක් බව ද, බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියා නොකිරීම නිසා මේ ආකාරයෙන් සුරාබදු නොගෙවා තම ව්‍යාපාර පවත්වාගෙන යාමේ හැකියාව මොවුන්ට ලැබී තිබෙන බව ද, රණවක මහතා පෙන්වා දුන්නේ ය.
2023 නොවැම්බර් මස 01 වෙනිදා සිට මෙවැනි බදු නොගෙවීමක් නිසා තාවකාලිකව මෙම සමාගම්වල බලපත්‍ර තහනම් කරන ලද අතර, එම අවස්ථාවේ දී දවස් 4 ක් ඔවුන් බදු ගෙවීම නැවත ආරම්භ කරන ලදී.
නමුත් නැවතත් බදු පැහැර හැරීම සිදු කළ ද, ක්‍රම සහ විධි පිළිබඳ කමිටුව විසින් දෙසැම්බර් මාසයේ දී බලපත්‍ර තාවකාලිකව නතර කරන ලෙස ලබා දුන් නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම හිඟ සුරා බදු ප්‍රශ්න මේ ආකාරයෙන් ඇති ව තිබෙන බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
හිඟ සුරාබදු අය කරගැනීම සඳහා අදාළ සමාගම්වල බලපත්‍ර තාවකාලිකව නතර කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කමිටුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත ලිඛිතව ම දැනුම් දී ඇති බව ද රණවක මහතා අවධාරණය කරන ලදී.