සුභ ගමන් බොක්ක
කෙනෙකුගේ මරණය උත්ප්රාසයට නැගීමක් හෝ හාස්‍යයට නැගීමක් අප අතින් කෙරෙන්නේ නැත....
නමුත් මේ මරණය ඇසුරෙන් සියළු දෙනා සිතන්නට පටන් ගත යුතු කරුණු ඇත...සියළු දෙනා ඔලුව මෙහෙයවිය යුතු දිශානති ඇත....
1. බටහිර යැයි ඇතැම් අය හංවඩු ගසා ඇති විද්‍යාවේ මැජික් බෙහෙත් නැත. නමුත් කාළාන්තරයක් තිස්සේ බොහෝ ගර්ජන, මර්ධන අතරින් දිවි ගලවාගත් විද්‍යාඥයන් මුල් වී ලබා දුන් දැනුම සහ ඒ ඔස්සේ ගොඩනැගුණු තාක්ෂණය නිසා බිහිවූ, ඖෂධ සහ ප්‍රතිකර්ම ඇත. ඒවා සායනික පරීක්ෂා වලින් අත්හදා බලා, වගවීම් සහිතව ලොවට මුදාහැරී තිබෙන විට, ඒවා කෙරෙහි විශ්වාසයක් තැබීම, ඔබේ ජීවිතයට සාපේක්ෂව ඉහළ ආරක්ෂාවක් සහ සැප පහසුවක් සලසනු ඇත. තමාගේ මැජික් එකෙන් තමාටවත් පිළිසරණක් නොමැති අය යෝජනා කරන මිථ්‍යාවන් වලට ඊනියා "අපේ දේ" කී පමණින් ඒවායින් ඔබට ලැබෙන සරණක් නැත. ඊනියා හට්ටි මුට්ටි විකාර වලින් පසුව මේ රටේ දවසකට දෙසීයක් විතර මැරෙන්නට පටන් ගත්තා මිස, කිසිදු දිව්‍යමය මැදිහත්වීමකින් යහපතක් සිදුවූයේ නැත. දැන් එකී මතවාද වල කර්තෘවරුන්ම රෝගයට බිලිවී, ඔවුන් යෝජනා කළ විශ්මයජනක ක්‍රමවේදයන්ගෙන් ඔවුන්ටවත් පිළිසරණක් නැති බව ඔප්පු කර තිබේ.
2. මෙවැනි ඵල රහිත විකාර, සහ ඒවායේ කර්තෘවරුන් නඩත්තු කරන, ඔවුන්ට විශේෂිත තැනක්, තනතුරු ආදිය දී, ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නා, ඔවුන්ව රටට සෘජුව සහ වක්‍රව යෝජනා කරන දේශපාලකයන් සහ එම පවුල් වල අය ඔබලාගේ ජීවිත වලට බලපාන තීරණ තීන්දු ගැනීම කෙතරම් භයානකද? තමනුත්, අනුනුත් විපතේම හෙළන, අඳුරෙන් අඳුරට ගෙනියන මිථ්‍යාවම සරණ ගොස්, ඒවායේ ආම්පන්න අතපයේ එල්ලාගෙන, එවැන්නෝ වටකරගෙන සිටින අයගෙන් මේ රටේ ඉදිරි පරපුරට සිදුවන්නේ කවර යහපතක්ද?....
3. මෙම පුද්ගලයා ප්‍රසිද්ධ අයෙකු නිසා ඔහුගේ මරණය අපට සැලවිය....නමුත් මේ වගේ අය විසින් යෝජනා කළ දේවල් කරන්නට ගොස් කී දෙනෙක් විපතට පත්වන්නට ඇතිද?... ඒවා කවදාවත් වාර්ථා වන්නේද නැත....මෙම පුද්ගලයාගේ මෙන්ම, ඒ අයගේත් විපත් වලට වගකිව යුත්තේ කවුද?.... වසංගතයේ මූලික අවස්ථාවේ, පැවති වෛරස ප්රභේදයන් එතරම් බලවත් නොවූ සමයේ, මේ දේවල් සෘජුව සහ වක්‍රව රාජ්‍ය සහ රාජ්‍ය නොවන මාධ්‍ය යොදාගෙන ප්‍රචාරය කරන්නට අනුග්‍රහය දුන්නේ කවුද?....රෝහල් පිටින් සුව කරන්නට තමා සමත් බවට මොවුන් විසින් කී කථා වලට තටු ලබන්නට අනුග්‍රහය දුන්නේ කවුද?......ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුදයක් පවතින මොහොතක, රටක කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය නියෝජනය කරන අය හට්ටි මුට්ටි ගංගා වල දමමින්, පැණි බොමින් ප්‍රවර්ධනය කළ මතවාදය, අද මේ මොහොත වනවිට තරුණ පරපුරේ ඇතැම් කොටස් වැක්සීන් ගැනීමට අදිමදි කරවන තැනට පැමිණ ඇත...
මින් ඉදිරියටවත්
තාර්කික විසඳුම් මිස, අසාර වූ මායාවන් සහිත දේ පිටුපස නොයන්නට මේවායින් පාඩම් ඉගෙනීමවත් සිදුවෙනවා නම් කදිමය....
© දමිත් කෙතක