සෝවාන් මාර්ගය - 2

Oct 3, 2008
1,723
437
0
සෝවාන් මාර්ගය - 2

සෝවාන් මාර්ගය - 1

වෛර කිරීම තවත් ඇසකින්


සෝවාන් මාර්ගයට අවතීර්ණය නොවුනු අය හට ඔවුනට අනදර කරන අය පිලිබඳව ඔවුන්ගේ සිත් තුල වෛර සහගත හැඟීම් ඇතිවීම ස්වභාවිකය. එය යටපත් කර සෝවාන් මාර්ගයට අවතීර්ණය වීමට වෛරය අඩුකරගැනීමට මේ ගැන සිතා බලන්න. උදාහරණයකට පිරිමියෙකු අතින් දූෂණය කාන්තාවක් ගනිමු. ඇයගේ ජීවිතය කාලකණ්නි කිරීම නිසා ඇයට දූෂකයා පිලිබඳව ඇතිවන්නේ දැඩි වෛරයකි. බුදු දහම අනුව අපි හේතු ඵල දහම ගැන අවබෝධයක් ලබා ඇත්තෙමු. ඒ අනුව මෙම භවයේ අපි මුහුණ දෙන සියළු දේ සිදුවන්නේ අප විසින් පෙර කරන ලද කර්ම අනුවය. ඒ අනුව එම කාන්තාව දූෂණය වූවේ ඇය විසින් පෙර ආත්මයක කරණ ලද කර්මයක් නිසාය. එවිට දූෂකයා කර ඇත්තේ ඇයට ඇය විසින්ම කරන ලද කර්මයක් ගෙවා දැමීමට වාහකයෙකු වීමයි. එම දූෂකයා ඔහු විසින් කරන ලද පාප කර්මයට මෙම භවයේදීම හෝ වෙනත් භවයකදී දඬුවම් විඳින බව හේතු ඵල දහම අනුව ස්ථීරය. එහෙත් මගේ කර්මය ගෙවා දැමීමට ඔහු දායක වූවත් ඔහුගේ කර්මය ගෙවීමට මා දායක වීම මහා අනුවණ කමකි. එසේ කළොත් වන්නේ එක කර්මයක් ගෙවා තවත් පාප කර්මයක් එකතු කර ගැනීම බව වටහා ගත යුතුය. එසේ හෙයින් දූෂකයාට පරිභව කිරීම. පහරදීම, දේපල විනාශ කිරීම, එල්ලා මරණ ලෙස ඉල්ලීම සිතා ගත නොහැකි තරම් මෝඩ කමකි. බොහෝවිට එම කාන්තාව ඇයට පළදුන්නේ ඇය විසින්ම කරන ලද කර්මයක් බව අමතක කොට දූෂකයාට වෛර කිරීමට පෙලඹේ. එයින් සිදුවන්නේ කලින් කරන ලද කර්මයක් ගෙවා ඒ වෙනුවට අකුසල් එකතු කර ගැනීමය. මෙම වලේ නොවැටී අපිට අනදර කරන ලද සියල්ලන්ම කර ඇත්තේ අපි විසින්ම සිදුකල කර්ම ගෙවා දැනීමට අපිට 'උදව්' කිරීමක් යැයි අපි සිතන්නට උත්සාහ කලහොත් ඔවුනට වෛර කිරීමේ අකුසලයෙන් ගැලවීමට අපිට හැකිවේ. ද්වේශය නැතිවීම හෝ අඩුවීම අපව සසරින් එගොඩ කරවීමට මහත්සේ උපකාරී වන දෙයකි.


ඇලීම


අපි ඇලෙන දේවල් ප්‍රධාන වශයෙන් දෙකකි. පුද්ගලයින්ට ඇතිවන ඇලීම සහ වස්තූන්ට ඇතිවන ඇලීමයි. අපි අපේ දරුවන්ට සහ දෙමව්පියන්ට බොහෝවිට ඇලී සිටිමු. පොඩ්ඩක් මේ ගැන සිතන්න. මෙම භවයට පෙර සංසාරයේ කීප විටක්ම අපිට දරුවන් සහ දෙමව්පියන් සිට ඇත. අප ගතකර ඇති භවයන් ගනන අනුව එම දරුවන් සහ දෙමව්පියන් සංඛයාව ගනන් කර ගත නොහැකි ප්‍රමාණයක් වේ. අඩුම වශයෙන් අපට අන්තිම මනුෂ්‍ය භවයේ සිටි දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ නම්වත් මතක නැත. මේ භවයේදීත් ඔබට ඔවුන් ගැන ඇති බැඳීම හා දැනීම පවතින්නේ ඔබ ජීවත්ව සිටින තෙක් පමණි. මෙසේ අපි භව කෝටි ගණනක් පසුකර ඇත්තෙමු. මෙම බැඳීමේ ඇත්ත තත්ත්වය අවබෝධකරගෙන එම ඇලීම් අඩුකර ගෙන සසරින් අප ඉවත්ව නොගියොත් මේ අකාරයටම එක් භවයක් පමණක් දන්නා දරුවන් දෙමව්පියන් නිසා සසරේ අපි සැමදාම සැරිසරණු ඇත. අප විසින් කළ යුතු යුතුකම් ඉටුකල යුතු මුත් ඔවුනුත් අපි මෙන්ම තනිවම සංසාරයේ සැරිසරන පිරිසක් පමණක්ම බව තේරුම් ගතයුතුය. ඔවුන්ටත් සංසාරයෙන් ඉක්මනින්ම පිටවීමට හැකි සෝවාන් මාර්ගයට අවතීර්ණය වීමට මග පෙන්වීම පමණක් අපිට කළ හැක. එසේ නැතිව ඔවුන් නිසා අපි සංසාරයේ සිරවීම කිසිම තේරුමක් නැති දෙයක් වේ. එසේම අපිට කොතරම් අවශ්‍ය වුවත් තව කෙනෙකු සංසාරයෙන් එතෙර කරවිය නොහැක. ඒ ගැන මඟ පෙන්වීමක් පමණක් කළ හැක.එම මාර්ගයේ ගමන් කිරීමට ඔවුන් විසින්ම අවබෝධයකින් කිරීමෙන් පමණක් ඔවුන්ට එතෙර විය හැකිවනු ඇත.


තණ්හාව


තවත් අප බොහෝවිට ඇලෙන දෙයක් වන්නේ මිල මුදල් සහ ඉඩකඩම්ය. මුදල් යනු කොල කැබැල්ලකි. එය බැංකුවේ දමා ඇත්නම් අපිට ලැබෙන මාසික ගිණුම් ප්‍රකාශණයත් කොල කැබැල්ලකි. එහි ඇති 'වටිනාකම' අනුව අපි ධනවත් යැයි අපිට සිතේ. මෙම මුදල් කලින් වෙන කෙනෙකුගේය. තාවකාලිකව එය අපේ අතට පත්වී ඇත. අපි අද මිය ගියහොත් අපට ඒවායේ කිසිදු වටිනාකමක් නැත. ඒවා වටිනාකමක් ඇති දෙවල් වලට පරිවර්ථනය කල නොගතහොත් ඔබ මිය ගිය විට ඒවා අපතේ යයි. උදාහරණයකට අපි හෙට ජපානයට යන්නේ නම් ලංකාවේ රුපියල් එහි ගෙනයාමෙන් පළක් නැත. අපි යාමට පෙර එම රටේ පරිහරණය කරන මුදල් වර්ගය වන යෙන් වලට රුපියල් මාරු කරගෙන ගියොත් පමණක් එම යෙන් ජපානයේදී විවිධ දේ ගැනීම හෝ කෑම බීම සඳහා පාවිච්චි කල හැක. මෙම භවයෙන් වෙන්වී යාමත් ජපානයට යනවා වැනිය. අපේ අනෙක් භවයේදී වියදම් කිරීමට හැකි වන සේ මාරුකරගෙන නොගියොත් අපිට අද ඇති රුපියල් වලින් අපට වන සෙතක් නැත.


අපිට ඇති මිල මුදල් මේ භවයෙන් පසුව ප්‍රයෝජනවත්වීමට ක්‍රම දෙකකට මාරුකර ගත හැක. එකක් නම් සංසාරයේදී ප්‍රයෝජනවත්වත් වන පින් ලෙසය. නැති බැරි අයගේ යහපත සහ බඩගින්න නිමීම සඳහා අපි සතු දේවල් දෙනවිට පින් අයිතිවේ. එම පින් අපිත් සමග මරණින් පසුද පැමිනෙයි. අනෙක් ක්‍රමය නම් කුසල් උපදවා ගැනීමයි. එනම් අතහැරීමේ පුරුද්ද (කුසලතාවය) වැඩවීමයි. අත්හැරීමේ පුරුද්ද ඇතිකරගැනීමට කළ යුත්තේ තමාට ඉතා කැමතිම දේ අනිකකුට දීමයි. උදාහරණයකට අප සතුව ඇත්තේ රුපියල් දාහක් පමණක් නම් එයින් රුපියල් දහයක් යමෙකුට දීමෙන් අත්හැරීම පුරුදු නොවේ. එයින් වැඩි කොටස අනිකකුට දෙන්නේ නම් එය අත හැරීමකි. තමන් කැමති නැති කමිසයක් හෝ සාරියක් යමකුට දීමට ඉතා පහසුය. අනික් අතට තමා වඩාත්ම කැමති කමිසය හෝ සාරිය වෙන කෙනෙකුට දීම අත් හැරීමේ පුරුද්ද වැඩවීමට හොඳය. කමිසය හෝ සාරිය මෙන්ම තමා කැමතිම කෑමක්, කැමතිම වාහනයක්, ඉඩමක්, හෝ ඕනෑම දෙයක් තමා පරිභෝජනය නොකර අන් අයකුට දීමෙන් අත්හැරීම පුරුදුවේ. එයින් සසරින් එතෙරවීම ඉක්මන් හා පහසුවේ.


මෙහි අන් කෙලවර වන්නේ වස්තූන්ට තදින් බැඳීමයි. අපිට ඉතා කැමති ඉඩමක් හෝ ගෙයක් තිබෙනවා යැයි සිතමු. උජාරුවෙන් මගේ යැයි කියාගන්නා එම ඉඩම මීට අවුරුදු තුන්සීයකට පමණ පෙර වෙන කෙනෙකු මගේ යැයි කියන්නට ඇත. තව අවුරුදු තුනකින් හෝ තුන්සීයකින් තවත් අයකු ඔහුගේ යැයි කියන්නට ඉඩ ඇත. මේ ඉඩම මගේ යැයි සිතමින් ගැන දිවා රෑ ඒ ගැනම සිතමින් මිය ගියහොත් එම ඉඩමේම නයෙක් වී ඉපදිය හැක. එසේ වන්නේ මනුෂ්‍යයෙකු ලෙස ඉපදුනොත් ඔබ උපදින්නේ වෙන පවුලක බැවින් ඔබේ දරුවන් නොදන්නා අයකුට ඉඩම පරිහරණයට නොදෙන බැවිනි. ලෝකය පටන් ගත්දා සිට අවසන් වන දා තෙක් කිසිම ඉඩමක් එක් අයකුට අයිතිවී තිබී නැති බව ඔබට වැටහේ. එය විවිධ අය අතට කාලයෙන් කාලයට මාරුවී ගොස් අවසානයේ නැතිවී යයි. ලෝකය පවතින කාලය සහ පරම්පරාවකට හෝ පුද්ගලයෙකුට ඉඩමක අයිතිය පවතින කාලය සංසන්දනය කලහොත් එය ඉතාමත් කුඩා කාලයකි. එසේ තාවකාලිකව පවතින දේකට බැඳෙමින් සසරින් එතෙරෙවීමට ලැබුණු මේ මහඟු මිනිස් ජීවිතය නාස්තිකර ගන්නේ කුමටද? ජීවත් වීමට අවශ්‍ය කරන දේපල පමනක් තබා ගෙන අනික්වා දරුවන්ට හෝ නැති බැරි අයට ඉක්මනින්ම පවරාදීම ඔබ ඔබටම කරගන්නා මහඟු මෙහෙයකි. පවරා දුන්නත් නොදුන්නත් ඒවාට ඇති බැඳීම අඩුකරගැනීම අනිවාර්‍යයෙන් කළ යුතුය.



අපි බොහෝ විට අලුත් වාහන වලට ඇලුම් කරමු. අපි එසේ ඇලුම් කරන්නේ මොනවාට දැයි මොහොතකට සිතමු. උදාහරණයකට නවීනතම බී.එම්.ඩබ්ලිව් කාර් රථයක් ගැන සිතන්න. එහි ඇති බී.එම්.ඩබ්ලිව් බැජ් එක ගලවා පසෙක තබා, වීදුරු ගලවා තව ගොඩක් ගසා, තහඩු ගලවා තව ගොඩක් ගසා, ටයර් වැනි රබර් කොටස් ගලවා තවත් ගොඩක් ගැසුවොත් ඔබ දැන් මේ ගොඩවල් එකකට හෝ සියල්ලටම ආසාවක් තිබේද? බොහෝවිට ලැබෙන පිළිතුර නැත යන්නයි. එසේනම් ඔබගේ කිසිම කැමැත්තක් නැති මෙම කුණු ගොඩවල් ටික එකිනෙකට ඇමුණූ පසු එයට බැඳෙන්නේ ඇයි. අපි හිත බැඳෙන ඕනෑම දෙයක් කුඩා කොටස් වලට කඩා බැලුවොත් හැම විටම එහි ඇත්තේ කිසි බැඳීමක් ඇතිනොවන බොහෝ විට ජුගුප්සාජනක දේවල් කිහිපයකි. එම දේවල් එකිනෙක උඩ අතුරා ඇතිවිට සිතින් බැඳෙමින් සසරින් එතෙරවීම පමා කර ගැනීම මෝඩ කමක් බව තේරුම් ගන්න.



රාගය


අපි ජීවිතයේ ඇලෙන තවත් දෙයක් වන්නේ රාගයයි. කාන්තාවකට බැඳෙන පුරුෂයෙකු හෝ පුරුෂයෙකුට බැඳෙන කාන්තාවක් ගතහොත්, ඔවුන් සිතන්නේ ඔවුන් අනික් කෙනාට සිතින් බැඳී ඇතයි කියාය. ඇත්තටම සිදුවන්නේ අපේ ඇස සහ රූපය යන දෙකට චක්කු විඥ්ඥානය එකතුවීමෙන් සපර්ශයක් ඇතිවීමත් එසේ ස්පර්ශය ඇතිවූ සැනින් රූපය හඳුනා ගැනීමත්, එම රූපය නිසා ඇතිවන සන්තෝසය හෝ දුක, සහ එම නිසා ඇතිවන බැඳීම් හෝ ගැටීම් ඇතිවීමත්ය.


ප්‍රිය මනාප අයකුගේ රූපය දුටුවිට එම නිසා අභ්‍යන්තරයේ සිදුවන එම හැඟීමට ඇතිවන කැමැත්ත අපේ සිත බාහිරව දකින රූපයකට කැමති උනා යැයි වරදවා සිතයි. ඇස්වසාගෙන සිටින විට හෝ එම බාහිර පුද්ගලයා ඇස් ඉදිරිපිට නැති විටදීත් ඔහුගේ හෝ ඇයගේ රූපය සිතින් මවාගෙන එම හැඟීමම ඇතිකර ගත හැකිය. එය බැඳීම ඇතිවී ඇත්තේ බාහිරව පවතින දෙයකට නොව අභ්‍යන්තරයේ ඇතිවුන හැඟීමකට බවට ඇති හොඳම සාක්ෂියයි. තවත් විටක අපි අයකුගේ මුහුණේ ලස්සනට හෝ අඟ පසඟ වල හැඩයට රාගය ඇතිවේ. මුහුණ ගතහොත් අපට ඇත්තේ එකම ආකාරයේ හිස්කබලකි. තාවකාලිකව පියකරු පැහැයක් ගත් සමකින් සහ තාවකාලිකව මනා පැහැයක් ගත් කෙස් වලින් එය සරසා ඇතිවිට එය
ප්‍රියමනාප රූපයයක් ලෙස අපි සිතමු. එලියෙන් ඇති හම ඉතා කුඩා කාලයකදී රැලි වැටී ගොස් මියගිය පසු දියවී යයි. කෙස් සුදුවී දුර්වර්ණ වී කලකදී වැටී යයි. එසේ ඇති මුහුණකටත් එම ආකර්ශණය ඇතිවනවාද?


හිස් කබල පමණක් ටිකක් වැඩි කාලයක් ඉතිරිවී පසුව පසට එකතුවේ. ඔබ හිස් කබලක් දිහා බැලුවොත් එය ප්‍රියමනාප යැයි නොසිතන්නේනම් එය තාවකාලිකව සමකින් හා කෙස් වලින් වැසූ විට එය ප්‍රියමනාපව අපිට පෙනුනත් එය මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය නාස්තිකර තව වසර කෝටි ගණනක් සසරේ දුක් විඳීම තෝරාගැනීමට තරම්ම ප්‍රියමනාපද? අපි ලස්සන යැයි බැඳෙන අඟ පසඟ වල ඇත්තේද ඌරු මස් කඩයක තිබෙන තෙල් කුට්ටි වැනි තෙල් ගුලියක් තාවකාලික සමකින් වසා ඇති දෙයකි. ඔබ ගඳ ගසන තෙල් කුට්ටියකට අකමැති වුවත් තාවකාලිකව පැහැයක් ගෙන ඇති එහෙත් ඉතා සුළු කළකින් දිරාපත් වන හම් කැබැල්ලට මුවාවී පවතින විට කෝටි ගනන් වසර ගණනක් සසරේ දුක් විඳීම තෝරා ගැනීමට තරම්ම එය ආකර්ශනීයද?

ඔබ බ්‍රහ්මචාරී දිවි පෙවෙතක් ගෙවිය යුතු බව මෙයින් කිසිසේත් අදහස් නොකෙරේ. ඔබට රාගික හැඟීමක් පහලවූ විට එවන් හැඟීමක් පහලවූ බව මෙනෙහි කරන්න. ඔබ යෙදෙන ක්‍රියාවලි වල තිබෙන සතුටේ තාවකාලික බව මෙනෙහි කරන්න. ඔබට රාගික හැඟිම් පහලවීමට හේතුවූ රූපයේ ඇති තාවකාලික බව මෙනෙහි කරන්න. එවිට ඔබ එම ක්‍රියාවලියේ යෙදී ඇත්තේ ඒ ගැන නිවැරදි අවබෝධයකින් යුතුවය.



මානය


අපි බොහෝ දෙනෙක් මාන්නය නිසා සසරින් එතෙර වන දොරෙන් බොහෝ ඈත්වී සිටිමු. බලය, සමේ පාට, පවුල් පරම්පරාවල්, සුදුසුකම්, කුලය, නිලය, වස්තුව, පෙනුම, ආදී නොයෙකුත් දේවල් පදනම් කරගෙන අප අන් අයට වඩා උසස් යැයි සිතා සිටිමු. මෙය විශාල පොට වරද්දා ගැනීමකි. අපගේ බාහිර ශරීරය අප නොවන බව තේරුම් ගත යුතුය. එය තාවකාලිකව අපි වසන ස්ථානයක් විනා අප නොවේ.


විශාල ඇතෙක් මත තාවකාලිකව වසා සිටින කුඩා කුරුමිණියෙක් ගැන සිතන්න. ඇතාට සාපේක්ෂව කුරුමිණියාගේ ඇති ඉතා කුඩා කම නිසා ඇතා දෙස බලන අයකුට කුරුමිණියා නොපෙනේ. කුරුමිණියා අපි නම් ඇතා අපි තාවකාලිකව වසන මේ ශරීරය වැනිය. අපි මියයනවා කියන්නේ කුරුමිණියා එම ඇතාගෙන් බැස ගොස් වෙනත් සතකුගේ පිට නැගගන්නවා වැනිය. කුරුමිණියාට ඇතාව මීලඟ භවයට අරගෙන යා නොහැකිය. ඇතාගේ සද්ධන්ත බව නිසා ඌ යනවිට අනික් සතුන් එතනින් ඉඩ දී ඉවත්වේ. ඇතා උසස් කුලයක එකෙක් නම් සමහර විට වන්දනාමාන ලැබීමට ඉඩ ඇත. එවිට කුරුමිණියා සිතන්නේ අනෙක් සතුන් ඌට බයේ ඉඩ දෙනවා කියාය. ගරු නම්බු ලැබෙන්නේ ඌට කියාය. අපි මේ කයට ලැබෙන ගරු නම්බු, තානාන්තර, පට්ටම් අපිට ලැබුණා යැයි වරදවා වටහාගෙන සිටිමු. අපිට ලැබෙන දේවල් නම් අපි මේ කයෙන් නික්ම යනවිට රැගෙන යාමට හැකිවිය යුතුය. අපි මියයනවිට අපේ නම්බුනාම, තනතුරු, ආදිය අපි සමඟ නොයන නමුත් අපි එකතුකරහත් කුසල්, අකුසල්, පින් සහ පව් පමණක් මීලඟ බවයට අරන් ගිය හැකිය. ඇතාට ලැබෙන සැලකිලි තමාට ලැබුණායයි සිතා මුලා වුන කුරුමිණියා මෙන් එම සැලකිලි නිසා අන් අයට අප කරන ලද නින්දා, අවමාන, අනදර, සියල්ල අකුසල් සහ පව් ලෙස රැගෙන යා යුතුය. එසේම ඇතාගේ හැකියාවන්, නම්බුනාම ප්‍රයෝජනයට ගනිමින් අසරණයන්ට පිහිටවීම, දන් දීම, දුප්පතුන්ට අහාර ලබාදීම, නිවාස සදාදීම, වැනි දේ කර ඇත්නම් ඒ දේවල් වලට අදාල කුසල් සහ පින් ඇතා හැර යන අවස්ථාවේ කුරුමිණියාට රැගෙන යා හැකිය.



ඔබ උසස් පවුලක ඉපදී ඇත්නම්, වතුපිටි ඉඩකඩම් හා යාන වාහන ලැබී ඇත්නම් හෝ ඉහල අධ්‍යාපනික සුදුසුකම් ලබා ඇත්නම්, උසස් තනතුරු දරන්නේනම් ඒ සියල්ල අපගේ පෙර පින් නිසා ලැබූ ඒවා බව තේරුම් ගන්න. ඒවා ලැබී ඇත්තේ ඔබට නොව ඔබ තාවකාලිකව ජීවත්වෙන ශරීරයට බවත් තේරුම් ගන්න. සුළු කලකින් ඔබ මේ ශරීරය හැරදා පිටවිය යුතු බව ඔබ හොඳින්ම දනී. එවිට මේ එකක්වත් ඔබ රැගෙන යා නොහැකි බවද ඔබ දනී . ඒවා අනාගත භව වලදී ප්‍රයෝජනයට හැකිවන පරිදි හුවමාරු කර ගැනීමට ඔබ ඥාණවන්ත විය යුතුය. ජපානයට යන පුද්ගලයා එහිදී පාවිච්චි කල හැකි ලෙස රුපියල් දී ඒවා යෙන් වලට හුවමාරු කරගන්නා මෙන් මෙම භවයෙන් පිටවීමට පෙර ඔබේ ඇති හැකියාවන්, දස්කම්, සුදුසුකම්, වත්කම්, සබඳකම්, තානාන්තර හැකිතරම් අනුන්ගේ යහපත වෙනුවෙන් යොදවන්න. එවිට එම ක්‍රියාවලින් ඔබ කුසල් රැස්කරගන්නවා මෙන්ම මතු ප්‍රයෝජනයට පින් ද රැස්කර ගත හැක.


සාරාංශය


සෝවාන් මාර්ගයට අවතීර්ණ වූ පුද්ගලයා මියයාමට මොහොතකට හෝ පෙර සෝවාන් ඵලයට පත්වනු ඇත. එම පුද්ගලයා ඉන්පසු කිසිම දිනක නිරයට නොවැටේ. එම පුද්ගලයා නැවත උපදින්නේ වැඩිම වශයෙන් භවයන් හතකි. එම හතේදී නිර්වාණය අවබෝධ කරගන්නා බව ඒකාන්තය.


ඔබ කුමන තරාතිරමක සිටියත්, ඔබ අතින් මොන සිල් පද කැඩුණත්, ඔබ විසින් මුලින්ම සහ වහාම කලයුතු දෙය නම් මෙය නැවත නැවතත් කියවා හෝ මේ මොහොතේම මෙම භවයේම සසරින් එතෙර කරවන සෝවාන් මාර්ගයට ඇතුළුවන බවට දැඩි අධිශ්ඨානයක් ඇතිකර ගැනීමයි.



ඔබට ඇලීම් වැඩි බැවින් සෝවාන් මාර්ගයට අවතීර්ණය වීමට බාධාවක් යැයි නොසිතා සෝවාන් මාර්ගයට ඇතුළුවීමෙන් ක්‍රමක්‍රමයෙන් ඇලීම් අඩුවන බව වටහා ගන්න. එසේම සිල් උත්සාහයෙන් රැකීමෙන් සෝවාන් මාර්ගයට ඇතුළුවීමට නොහැකි බවත් සෝවාන් මාර්ගයට ඇතුළුවීමෙන් නිරුත්සාහයෙන්ම සිල් රැකෙන බවත් වටහා ගන්න.


එයින් පසුව කලයුත්තේ මේ ජීවිතයේ ඔබ බැඳෙන ඇලෙන දේවල් ගැන විමසා බැලීමයි. නොතේරීම නිසා අපි බැඳෙන ඉඩ කඩම්, යාන වාහන ගැන සිතන්න. කලින් විස්තර කර ඇති පරිදි අපි බැඳී ඇත්තේ කිසිම වැඩකට ඇති එමෙන්ම තාවකාලික දේවල් බව ඔබට වැටහෙනු ඇත. එසේ වුවත් හෙටත් ඔබට එවැනි ලෞකික දේවල් වලට ආසාව ඇතිවනු ඇත. එසේ අසාවක් ආ විගස ඒ ඇති තාවකාලික සහ නිස්සාර ගතිය ගැන සිතන්න.


ඔබ රාගයට ඇලී ඇත් දැයි සිතා බලන්න. රාගය ඇතිවන්නේ පුද්ගලයින්ට ඔවුන්ගේ ප්‍රියමනාප බවට, අඟ පසඟට බව තේරුම් ගන්න. ඒ දේවල් සෑදී ඇත්තේ ජුගුප්සාජනක දේවල් කිහිපයක් එකිනෙක තබා එකිනෙකට මුවා කර තැබීමෙන් බව තේරුම් ගෙන සිතන්න. හෙටත් පෙනුම ඇති අයකු දුටුවහොත් ඔබට රාගික හැඟීම් ඇතිවනු ඇත. එසේ ඇතිවුන විටම ඒ ගැන සිතන්න. රාගික හැඟීමක් ආ බවත් එසේ ආවේ සමකට මුවාවූ තෙල් ගුලියකට, ඇට සැකිල්ලකට බව සිතන්න. ඔබ දන්නා මහලු වැහැරී ගිය පුද්ගලයෙකු ගැන මතකයට ගන්න. අද සුන්දරව ඔබට පෙනෙන පුද්ගලයන්ගේ ඔබ ඇලෙන ඒ සුන්දර බව තාවකාලික දෙයක් බව සිතන්න. ඉතාම කෙටි කලකින් ඔවුනුත් වැහැරී යන හැටි සිතින් මවා ගන්න. ඔබ දකින හැම සුන්දර දෙයක්, සුන්දර පුද්ගලයෙක් ගැනම එම සුන්දර කමේ තාවකාලික බව, නිස්සාර බව එම වෙලාවේම ගැන සිතන්න.



ඔබට යම්කිසිවෙකු ගැන තරහවක් ආ විගස හේතුඵලවාදය ගැන සිතන්න. ඔබට වුන පාඩුව, ලැජ්ජාව, අපහාසය ඔබ විසින්ම පෙර භවයකදී කල පවක් පටිසන් දීමක් පමනක්ම බව සිතන්න. ඔබට පාඩුව, ලැජ්ජාව හෝ අපහාසය කල පුද්ගලයාට බැනීමෙන්, ගැසීමෙන් තව පව් පුරවා ගැනීම මෝඩ කමක් බව සිතන්න. කලින් කල පව ගෙවා දැම්මා යැයි සිතන්න. ඔහු හෝ ඇය කලේ ඔබ කල පවක් ගෙවා දැමීමට උදව් වීමක් පමණක් බව සිතා ඔහුට සිතින් ස්තූතිවන්ත වන්න. ඔබට කරදරයක් කරන ලද පුද්ගලයා එම නිසා නීතිය මඟින් හෝ අන් අයුරකින් දුක් විඳීමට සිදුවී ඇත්නම් එයින් ඔහුව මුදවා ගැනීමට ඔබට හැකිනම් වහාම ඉදිරිපත්වී එය කරන්න.


යම් කිසිවෙක් ඔබෙන් යමක් ඉල්ලන්නේනම් ඔබ ගාව එම දේ ඇත්නම් වහාම ඉල්ලන පුද්ගලයාට දෙන්න. ඔබට ඔබ ඉතා කැමති කෑම වර්ගයක් ලැබුනොත් එහි රස නොබලාම එවන් වටිනා කෑම වර්ග ලබා ගැනීමට හැකියාවක් නොමැති අයකුට එය දෙන්න. ඔබගේ බඩගින්න නිවා ගැනීමට සාමාන්‍ය දෙයක් ආහාරයට ගන්න. ඔබට වටිනා හෝ ලස්සන දෙයක් ලැබුණොත් එය දෙන්නේ කාටද යන්න ගැන සිතන්න. හැකි ඉක්මනින් එය එයට කැමති යැයි ඔබට හැඟෙන අයකුට දෙන්න. යම් කිසිවෙක් ඔබේ අත් ඔරලෝසුව වර්ණනා කලොත් එය ගලවා ඔහුට දෙන්න. ඔබ එසේ යමක් යමකුට දුන්නොත් එය අමතක කරදමන්න. ඔහු එය විකුණාගනියි, මම ඔහුගේ ප්‍රෝඩාවකට අහූඋනා යැයි නොසිතන්න. ඔහු ඔබට ප්‍රෝඩාවක් කළොත් එයින් වන පව හෝ අකුසළය ඔහුට මිස ඔබට නොවේ. ඔබත් කැමති දෙයක් වෙන කෙනෙකුට දීමට ඇති ඔබගේ හැකියාව තව දියුණු කරගන්නේ කෙසේදැයි නිතර සිතන්න.


අන් අය ඔබට සහ සමාජයට ඔවුන්ගේ වගකීම් ඉටුකලත් නැතත් ඔබ ඔබගේ වගකීම් සියළු දෙනාටම නොවලහා කරන්න. කුසගින්නේ, වැරහැලි ඇඳගත්, ගෙයක් දොරක් නැති අය ඔබට හමුවන්නේ ඔබට අත් හැරීමේ පුරුද්ද තවත් වැඩිදියුණු කරගැනීමට බව නිතර සිතන්න. එසේ ලැබෙන කිසිම අවස්ථාවක් පැහැර නොහරින්න.


ඔබ දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා, අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා, සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව, බුදු දහම ඇතිකාලයක, බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇති එකම හේතුව මේ භවයේදීම සසරින් එතෙර වන මාර්ගයට පිවිසී හැකිතරම් දුර එම මාර්ගයේ ගමන් කිරීමට පමණක්ම යන කාරණය උදේ ඇහැරුණු මොහොතේත් රෑ නින්දට යන මොහොතේදීත් මතක් කරගන්න.


මෙසේ ජීවත් වීම පුරුද්දක් කරගත් විට ඔබට කවදාවත් අත් නොවිඳි සැහැල්ලුවක් දැනෙනු ඇත. එසේ දැනෙන සැහැල්ලුව සසරේ කවදාවත් ඔබ අත් හැර නොයන සැහැල්ලුවක් බව ඔබට කෙමෙන් තේරුම් යනු ඇත.



කිහිප වරක් කියවීමෙන් වඩාත් හොඳ අවබෝධයක් ලැබෙනු ඇත.
ඔබට මෙයින් යම්කිසි ප්‍රයේජනයක් වූවායැයි සිතන්නේ නම් මෙය බ්ලොග් මඟින්, ඊමේල් මඟින්, ෆේස්බුක් මඟින් අන් අයත් සමඟ බෙදාගන්න. උපුටා ගැනීමට කිසිම කොන්දේසියක් නැති අතර මගේ නම නොයොදා බෙදාගන්නේ නම් වඩා හොඳය. "Author - sovanmaga blog"