හත් මාළුව හදන්නේ මෙහෙමයි

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    හත් මාළුව හදන්නේ මෙහෙමයි

    පාට හතයි රස හතයි
    හත් මාළුව හදන්නේ මෙහෙමයි...

    ආචාර්ය පබිලිස්‌ සිල්වා කියයි

    ආහාරවල රසය කනටත් දැනෙනවා

    කරවිල, වට්‌ටක්‌කා, පුහුල්, පිපිඤ්Æ ඇට කියන්නෙ ඖෂධ


    pabilis1.jpg


    ජාතියේ මහා සූපවේදී ආචාර්ය පබිලිස්‌ සිල්වා සමඟ කරගෙන යන කතා බහ ඔහු විසින් රචිත "සූපවංශය" කෘතිය තරමටම පුළුල් ගැඹුරකින් අර්ථයෙන් යුක්‌තය. ගත වූ සති තුනක්‌ තුළ ඔහු විසින් මෙරට ආහාර සංස්‌කෘතිය පිළිබඳ දක්‌වන ලද අදහස්‌ ලිපි මාලාවක්‌ ලෙස "දිවයින ඉරිදා සංග්‍රහයේ" පළවූ අතර මෙම ලිපිය ද එහි දිගුවක්‌ වන්නේය.

    පළමුව "සූපවංශය" එළිදැක්‌වීමේ උළෙලට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ග්‍රන්ථයේ ඇති වැදගත්කම අවබෝධ කර ගැනීමෙන් අනතුරුව එය ඉංගී්‍රසි බසට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇති බැවින් නුදුරේදී එය ජාත්‍යන්තර වටිනාකමකින් යුත් ග්‍රන්ථයක්‌ බවට පත්කිරීමට හැකියාව ලැබෙන බවත් එහි පූර්ණ ගෞරවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමි විය යුතු බවත්, පළමුව සඳහන් කරමින් පබිලිස්‌ සිල්වා මහතා මෙවර කතා බහ හත්මාළුවෙන් ආරම්භ කළේය.

    "හත්මාළුව කියන්නේ එළවළු සහ අල වර්ග හතක්‌ එකට මිශ්‍ර කරල හදන ආහාරයක්‌. මේක ලෝකයේ බොහෝ රටවල තිබෙන ක්‍රමයක්‌. දැන් ඉන්දියාව ගත්තොත් ඒ රටේ මේ සඳහා වර්ග නමයක්‌ එකතු කරනව. සාමාන්‍යයෙන් නවරත්න කිව්වහම අපේ මතකයට නැඟෙන්නේ මැණික්‌ වර්ග නමයක්‌නෙ. නමුත් අපි හත්මාළුව කියන එක ඉන්දියාවෙ හඳුන්වන්නෙ නවරත්න නමින්. දැන් අපේ රටේ ගත්විට අපි හත්මාළුව කියල හඳුන්වන ආහාරය පළාතෙන් පළාතට වෙනස්‌ වෙන්න පුළුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි. කොතැනකවත් සඳහන් වෙලා නැහැ හත්මාළුවට අහවල් දේම පමණක දාන්න කියල. මේ සඳහා ඒ ඒ පළාත්වලට ආවේණික එළවළු වර්ග, අල වර්ග භාවිත කරන්න පුළුවන්. ඒ හින්ද අපට වර්ග කරල කියන්න පුළුවන් කමක්‌ නැහැ. හත්මාළුවට මේ මේ වර්ග යොදා ගන්න කියල. හැබැයි මේකෙ තියෙන වැදගත්කම තමයි හත්මාළුව හැදුවට පස්‌සෙ ඒකට පාවිච්චි කළ එළවළු වර්ග වෙන්න පුළුවන් අල වර්ග වෙන්න පුළුවන් අන්න ඒ ටික වෙන වෙනම හඳුනගන්න පුළුවන්කම තිබෙන්න ඕන. අන්න එතකොට තමයි මේක හත්මාළුව වෙන්නෙ."

    "එහෙම නැතුව මේකෙ පාට වෙනස්‌ වෙලා තැම්බිල වැඩිවෙලා අනවශ්‍ය රසකාරක දාල මේකෙ තියෙන්නෙ මොනවද කියල හොයාගන්න බැරි නම් ඒක හත්මාළුවක්‌ වෙන්නෙ නැහැ. හත්මාළුවක්‌ හදා ගැනීමේදී ඕනෑම පළාතකදී කජු විශේෂ වෙනව. මෙතැනදීත් කජු කිව්වම පැහුණුq ගෙඩියෙන් ලබාගන්න කජු මදය මේ සඳහා යොදා ගැනීමක්‌ සිද්ධ වෙන්නෙ නැහැ. ඒ සඳහා ගත යුත්තේ නාඹර වයසෙ කජු මදය පමණයි. ඒ කියන්නෙ ළපටි කජු මද. ළපටි කජු මදය සුදු පාටයි. ඊළඟට අපි කොළපාට එළවළුවක්‌ ගන්න ඕන. රතුපාට එළවළුවක්‌ ගන්න ඕන. ඔය වගේ වර්ණ හතකින් කජු මාළුව සමන්විත වෙන්න ඕන. එතකොට උදාහරණයක්‌ විදිහට අපට දුඹුරු පැහැති එළවළුවක්‌ අල වර්ගයක්‌ නැහැනේ. ඒකට කරන්නෙ අළු කෙසෙල් අරන් කපල බදිනව. අන්න දුඹුරු පැහැය එනව. හැබැයි මේ බැදගත් අළු කෙසෙල් හත් මාළුවට මිශ්‍ර කරන්න ඕන අනෙක්‌ හය වර්ගයම යොදල හොද්ද හදාගත්තට පස්‌සෙ. එතකොට අර දාන අළු කෙසෙල් කෑලිවල පැහැය වෙනස්‌ වෙන්නෙ නැහැ. දියවෙලා නොපෙනී යන්නේ නැහැ. හත්මාළුවට කළු වර්ණය ලබාගන්න ඕන නම් "ඉඳලොළු" දාන්න පුළුවන්. රතුපාට ගත්තොත් ඒ සඳහා අපට රතු නිවිති දාගන්න පුළුවන්."

    "එතකොට බීට්‌රූට්‌ ගන්න බැරි ඇයි කියල කෙනකුට ප්‍රශ්නයක්‌ එන්න පුළුවන්. බීට්‌රූට්‌ ගත්තොත් එයාගෙ අණසක සෑම තැනකම පැතිරෙන්න ගන්නව. හැමදේම රතුපාට වෙන්න ගන්නව. මෙතැනදී මට අමතක වුණ කාරණයක්‌ තමයි හත්මාළුවක්‌ හදද්දී ඒ සඳහා ගන්න එළවළු අල වර්ග එක සමාන ප්‍රමාණයට කපාගත යුතු වෙනව. මොකද මේකෙ කලාවක්‌ තියෙනව. මම කියාගෙන ආපු කාරණයට නැවත ගියොත් බීට්‌රූට්‌ ගන්නව නම් හත්මාළුවට ඒක මුලින්ම තම්බගන්න ඕන. අන්න එතකොට එයාගෙ තිබෙන රතුපාට බලය බිඳෙනවා. ඔන්න ඔය වගේ යම් යම් උපක්‍රම අපි දැනගන්න ඕන ආහාර පිළියෙළ කිරීමේදී විශේෂයෙන් හත්මාළුව ගැන සඳහන් කළොත් ඒක පිළියෙළ කරල ආහාරයට ගන්න වෙලාවේදී එය වර්ණ හතකින් සමන්විත වෙන්න ඕන."

    "ආහාරයෙන් අපි ඉන්ද්‍රියයන් පහක්‌ පිනවනව. ඒව තමයි ඇස, කන, නාසය, මුඛය, ස්‌පර්ශය මේ ඉන්ද්‍රියයන් පහ ආගමානුකූල පැත්තෙන් ගත්තත් වැදගත් වෙනවනෙ. එතැනදී මේක වැදගත් වෙන්නෙ පව් සහ පින කියන කාරණා දෙක සම්බන්ධයෙන්නෙ. කෙනෙක්‌ දිව්‍ය ලෝකයේ හෝ නරකාදියේ යන්නෙ. මේ ඉන්ද්‍රියයන් පහ පිනවන ආකාරයෙන්aනෙ. හැබැයි ආහාරවලින් මේ ඉන්ද්‍රියයන් පිනවන්න යන්න එපා. මොකද අධික රසයට ඕනම කෙනෙක්‌ කැමැත්ත දක්‌වනව. හැබැයි අද මේ අධික රසය ගන්න බහුල වශයෙන් දාන්නෙ රස කාරක. ඒ හින්ද මම දෙන උපදෙස තමයි අධික රසයට ලොල් වෙන්න එපා කියන එක. දැන් යම් ආහාරයක්‌ සැකසීමේදී ඕනෑවට වඩා ඒ දෙය තෙලෙන් බදිනව නම් වැඩිපුර තම්බනවනම් ඒකට හේතුවක්‌ තියෙන්න ඕන. දැන් මම ඉස්‌සෙල්ල කිව්වෙ හත් මාළුවට අළු කෙසෙල් ගෙඩිය බදින්න ඕන කියල. අන්න ඒක අවශ්‍ය වර්ණය එනකම් බැද්දට ගැටලුවක්‌ නැහැ. ඒකට හේතුවක්‌ තියෙනවනෙ. මොකද ඒක බාගෙට බැදල දැම්මොත් දියවෙලා යනව. ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන.

    එතකොට ආහාර සමඟ ඉන්ද්‍රියයන් පහක්‌ සම්බන්ධ වෙන ආකාරය ගැන නැවත කතා කළොත් ආහාරයක්‌ වේවා බීමක්‌ හෝ වේවා මුලින්ම අපි ඒකෙ රස බලන්නෙ නාසයෙන්. නාසයට ඒ සුවඳ දැනිල තත්පර ගණනකින් අපේ ශරීරය වෙනස්‌ වෙනව. කටට කෙළ උනනව. ආශාව ඇති වෙනව මේ කාල රස බලල නොවෙයි. එතකොට අපි මුලින්ම ආහාරය භුක්‌ති විඳින්නෙ නාසයෙන්. දෙවැනි එක තමයි ඇස. එතැනදී සුවඳ එන පැත්ත දෙස අපි හැරිල බලනව. අන්න එතකොට අපි මේක දකිනව. අන්න අපි දෙවැනි වර දැසින් ආහාරයක්‌ භුක්‌ති විඳිනව. ඊළඟට අපි ස්‌පර්ශය බලනව. මේක ඉදිලද, තැම්බිල ද, මෙළෙක්‌ ගතියෙන් යුක්‌තද සෙවෙල ගතියක්‌ තියෙනවද කියල. බලන්නෙ ස්‌පර්ශයෙන්. ඊළඟට තමයි අපි ඒක ආහාරයක්‌ හෝ පාන වර්ගය වේවා භූක්‌ති විඳින්නෙ. ඒ හතරවැනි අවස්‌ථාව. තව එකක්‌ ඉතිරි වෙනවානේ. ඒ තමයි පස්‌වැනි අවස්‌ථාව. අපි ආහාරයක්‌ දත් දෙපළෙ ආධාරයෙන් හපල කනකොට ශබ්දය උපදිනව. ඒක කනට නෑසුණොත් එතකොටත් අපි ආහාරය පිළිකුල් කරනව. ඒ හින්ද දෙසවන් කියන්නෙත් ආහාර රසවිඳින ඉන්ද්‍රියයක්‌. දැන් උදාහරණයක්‌ විදිහට පිපිඤ්Æ කෑල්ලක්‌, පපඩමක්‌ ධාන්‍ය වර්ගයක්‌ ආහාරයට ගනිද්දි යම් ශබ්දයක්‌ ඇහෙන්නෙ නැත්නම් අපි දෙපාරක්‌ කල්පනා කරනව. පෙඟුණ පපඩමක්‌ අපි කන්නෙ නැහැනේ. ඒ හින්ද ආහාරයක තිබෙන රසය කනටත් දැනෙනව. එතකොට කෙනකුට ඕන නම් මේ ඉන්ද්‍රියයන් පහම පිනවන්න පුළුවන්. හැබැයි ඒක එච්චර හොඳ දෙයක්‌ නොවෙයි.

    මේ දෙය කෘත්‍රිමව කරන්නත් පුළුවන්. ඒ කොහොමද කියනව නම් නාසය පිනවන්න පුළුවන් කෘත්‍රිම සුවඳ කාරක ආධාරයෙන් කට පිනවන්න රස කාරක තිබෙනව. ඇස පිනවන්න වර්ණ කාරක තිබෙනව සවණ පිනවන්න විවිධ තෙල් වර්ගවලින් බැද ගන්න පුළුවන්. ස්‌පර්ශය සඳහාත් ඒ ක්‍රමයම අනුගමනය කරන්න පුළුවන්. හැබැයි මේකෙ තියෙන අනතුර තමයි. මම අර කිව්ව ඉන්ද්‍රියයන් පිනවීමට යැමේදී අප නොදැනුවත්වම අපට හානි සිද්ධ වීම. ඒකයි මම කිව්වෙ ආහාරවලින් ඉන්ද්‍රියයන් පහක්‌ පිනවන්න පුළුවන් හැබැයි අනතුරුදායකයි කියල.

    මොකද ඔය ඕනවට වඩා රස සොයන්න ගියොත් ඒක බෝ නොවන රෝගවලට අතවැනීමක්‌. ඒ හින්ද අර මම මුලින් කිව්ව අපාය හා දිව්‍ය ලෝකය කියල දෙකක්‌ තිබෙනවානේ. ඒ හින්ද ඕනවට වඩා රසය සොයාගෙන යැම ඒ දෙකෙන් අපායට යනව වගේ වැඩක්‌. මොකද මම එහෙම කියන්නෙ ආහාර එක්‌ක සෙල්ලම් කරනව කියන්නේ ජීවිත එක්‌ක සෙල්ලම් කරනව වගේ වැඩක්‌.

    ආහාර ගැන ඉතිහාසය සොයා ගෙන යන කොට ආහාර පිළියෙළ කිරීමේ නිරතව ඉන්න අයට ඒ ගැන උනන්දුවක්‌ තියෙනව නම් පොළොව යටින් වටිනා ඉල්ලම් මතු වෙනව වගේම ඒ අයගේ මනසටත් ආහාර සම්බන්ධව අලුත් සිතුවිලි පහළ වෙන්න ඕන. අපි කොහොමද රසවත් මෙන්ම ගුණවත් දෙයක්‌a හොයාගන්නෙ කියල. සමහරවිට අත් වැරැද්දකින් අලුත් දෙයක්‌ අලුත් රසයක්‌ හොයාගන්න පුළුවන් වන අවස්‌ථා තිබෙනව.

    මං අපේ රටින් උදාහරණයක්‌ කියන්නම්.. දැන් කාලෙකට ඉස්‌සර අපේ රටේ "බුල්ටෝ" කියල දෙයක්‌ තිබුණ. මං හිතන්නෙ දැන් ඒක වෙළෙඳපොළේ නැහැ. ඔය බුල්ටෝ එක හැදුණේa අත්වැරැදීමකින්. කවුරු හරි කෙනෙක්‌ කියමුකො. එයා කිරිටෆී හදන්න ගියා වැරදීමකින් පමණට වැඩිය මේ මිශ්‍රණය රත් වුණා. එහෙම නැත්නම් අධික උෂ්ණත්වයකට පත් වුණා. මේක අහක දාන්න බැරිකමට රවුම් කලා කෑලි කපල කොලේක එතුව වෙළෙඳපොළට දැම්ම.

    අපි මොනතරම් ඇබ්බැහිවීමක්‌ වුණාද ඒකට. ඒක හොයාගෙන ගිහින් මිලදී ගන්න තත්ත්වයට ආව. ඒ වගේ යම් යම් අත්වැරදීම් හේතුවෙන් ආහාර සංස්‌කෘතියට අලුතින් එකතු වූ දේත් තිබෙනව.

    මම කියාගෙන එන්නෙ අලුත් අත්හදා බැලීම් කළ යුතුයි කියලනෙ. දැන් උදාහරණයක්‌ විදිහට ගත්තොත් ආහාර රසවත් කරන්න විවිධ සෝස්‌ වර්ග යොදාගන්නව. මේව බොහොමයක තියෙන්නෙ කෘත්‍රිම රස කාරක හා වර්ණ කාරක හැබැයි ඒ කෘත්‍රිම දේ භාවිත නොකර සෝස්‌ වර්ග හදාගන්න පුළුවන්. තමන්ගෙ ගෙදර පාවිච්චියට කියමු. ඒ දේ තමන්ට කරගන්න පුළුවන්නෙ. ඕනෑම පළතුරකින් සෝස්‌ හදන්න පුළුවන්. මම ඒක මුලින්ම හඳුන්වල දීල තිබෙනව. දිවුල්, කාමරංක, බෙලි මෙන්ම මේ වගේ පළතුරුවලින් අපට ඒ දෙය කරගන්න පුළුවන්. විනාකිරි ටික ගත්තත් එහෙමයි. මේ වෙද්දී ලෝකයේ බොහෝ රටවල් රසය පැත්තකින් තියල ගුණය ගැන සැලකිලිමත් වෙන්න පටන් අරන් තියෙනව. ඒ කියන්නෙ ආහාර සඳහා පුළුවන් තරම් ස්‌වාභාවික දේ භාවිත කරන්න පටන් අරන් තියෙනව. රටක්‌ ලෙස ගත් විට අපි ඒ තත්ත්වයට තවමත් යන්න හිතල නැහැ. මොකද ඔය කෘත්‍රිමව නිපදවන ලද ආහාර අපේ රටට එන්න ගත්තෙ දැනට දශක තුන හතරකට එපිට ඉඳල. ඒ කියන්නෙ තවමත් ඒක අපට අලුත්. ඒ හින්ද ඒකෙන් මිදෙන්න අපට තව කාලයක්‌ ගත වෙනව.

    අපේ රටේ දැනට කාලයකට පෙර ආහාර රසවත් කරන්න භාවිත කළේ පොල් විනාකිරි. ඒක සියයට සියයක්‌ ස්‌වාභාවිකයි. ගෙදර හදා ගත්තෙ. අද ඉන්න ගෘහණිය ඒක හදාගන්නෙ නෑ. හදන්න දන්නෙත් නෑ. ඒ අය මොකද කරන්නෙ කඩේට ගිහින් කෘත්‍රිමව හදන විනාකිරි ගෙනත් ආහාරයට දානව. ඒක හදන්නෙ ඇසිඩ් වර්ග භාවිත කරල. දැන් අපි ඇසිඩ් තමයි කන්නෙ විනාකිරි කියල. හැබැයි අපි පොල්ගෙඩිය බිඳල විසි කරල දාන වතුරෙන් ගෙදරදීම ඔය විනාකිරි ටික හදාගන්න පුළුවන්. ඒක ස්‌වාභාවිකයි. කොහොමද ඒක කරන්නෙ. ගෙදර බිඳින පොල් ගෙඩියෙ වතුර ටික අරගෙන ඒක පෙරළා අරගන්න. එහෙම ගන්න පොල්වතුර ලීටරයකට සීනි තේ හැන්දක්‌ දාන්න ඕන. හොඳින් වහල පල්වෙන්න තියන්න. සති දෙක තුනක්‌ යද්දී ඒක විනාකිරි බවට පත් වෙනව. ඉතින් අපි මේ දේවල් කරන්නෙ ආහාරය ඖෂධයක්‌ බවට පත් කරන්නෙ කොහොමද කියල රටට කියන්න.

    විදේශවලට ගියාට පස්‌සේ මම දැකල තියෙන දෙයක්‌ තමයි කරවිල ඇටය , පිපිඤ්Æ ඇටය, වට්‌ටක්‌කා ඇටය ඔය කොයික ගත්තත් ඒව මිල අධික ආහාර ලෙස වෙළෙඳපොළේ අලෙවි වෙනව. ඒක මිරිස්‌ හෝ සීනි මිශ්‍ර කරල රසවත් ආහාරයක්‌ බවට පත් කරගෙන තිබෙනවා. අපේ රටේ මේ දේවල් දාන්නෙ කුණු කූඩේට. මේ වගේ පුංචි පුංචි දේවල් ගැන අපි නොහිතුවට ඒව තුළ විශාල වටිනාකමක්‌ පවතිනවා. අපේ රටේ තිබෙන අඩුපාඩුව තමයි මේ දේවල් ගැන සැලකිලිමත් නොවීම.

    ඔය හින්දම තමයි මම "සූපවංසය" කියන පොත ලියල මේ ගැන රට දැනුවත් කරන්න තීරණය කළේ මොකද මට මගේ රටේ යම් වටිනාකමක්‌ හිමිවෙලා තිබෙනවා නම් රටට මගෙන් යම් යුතුකමක්‌ ඉටු කළ යුතුයි. ඒ හින්ද අඩුම තරමින් අපේ අනාගත පරම්පරාව මේ ආහාර භීෂණයෙන් තරමක්‌ හරි මුදවගන්න පුළුවන් නම් ඒක මම ලබන ලොකුම සැනසීමක්‌ වෙනව."

    ආචාර්ය පබිලිස්‌ සිල්වා එසේ පවසමින් කතා බහ හමාර කළ අතර ඔහුගේ කතාබහ ගත් විට එහි හරය වී ඇත්තේ ආහාරය ඖෂධයක්‌ විය යුතු බවත් තවමත් එය එසේ යෑයි සිතීමට රට්‌ටුන් ලෙස බොහෝ දෙනෙක්‌ මැලිකමක්‌ දක්‌වන බවත් ය. එබැවින් ඔහු පවසන ආකාරයට කවුරු කවුරුත් තේරුම් ගත යුතුව ඇති කරුණක්‌ වන්නේ ජීවත් වන්නේ ආහාර ගැනීම පිණිස නොව ආහාර ගන්නේ ජීවත්වීම පිණිසය යන්න වගය.


    රුවන් ජයවර්ධන
    http://www.divaina.com/2017/05/14/feature44.html
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෑකරල්, වට්ටක්ක දලු, කජු, අලු කෙසෙල්, වම්බටු, තම්පලා, කොස් ඇට මේවා දාලා තමයි හත්මාළුව හදන්නේ..මගේ නැන්දම්ම තරන් රහට හත්මාළුව හදන කෙනෙක් මම දන්නෑ තාම..දන්න තරමින් සබරගමුවට ආවේණික ආහාරයක්..අවුරුදු දවසේ විතරයි හදන්නේ..අනිත් දවස්වලට හදනවනන් ද්‍රව්‍ය 6ක් හෝ 8ක් යොදාගන්නව
     

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...


    මෑකරල්, වට්ටක්ක දලු, කජු, අලු කෙසෙල්, වම්බටු, තම්පලා, කොස් ඇට මේවා දාලා තමයි හත්මාළුව හදන්නේ..මගේ නැන්දම්ම තරන් රහට හත්මාළුව හදන කෙනෙක් මම දන්නෑ තාම..දන්න තරමින් සබරගමුවට ආවේණික ආහාරයක්..අවුරුදු දවසේ විතරයි හදන්නේ..අනිත් දවස්වලට හදනවනන් ද්‍රව්‍ය 6ක් හෝ 8ක් යොදාගන්නව
    :cool::cool:
    pluwanam e recipe eka methana or wenama thread ekaka danna


    rep+