හයවසරට පාසල් නොගිය නැගෙනහිර අධ්‍යාපන ඇමැ

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හයවසරට පාසල් නොගිය නැගෙනහිර අධ්‍යාපන ඇමැ

    හය වසරෙන් එහාට පාසල් නොගිය විමල වීර
    නැගෙනහිර අධ්‍යාපන ඇමැති වූ හැටි



    සුන්දර කෑගලු පුරවරයේ මාදෙයියා කනිටු විදුහලෙන් හෝඩිපොත කියවූ විමලවීර දිසානායක නම් පුංචි දරුවා අනාගතයේ කුමන අංශයේ සමත්කම් පායිදොa කියා දෙමවුපියන්ට එක්‌වර සිතාගැන්මට අපහසු විය. තිස්‌ස දිසානායක නම් දයාබර පියතුමන්ගේ හව්හරණ යටතේ එම්. එම්. ආර්. පොඩිනෝනා මාතාවගේ සෙනෙහස ලබමින් විමලවීර දිසානායක දරුවා ඇතුළු හයදෙනකුගෙන් යුත් සොයුරු සොයුරියන් කැළත් දිවිය ගෙව්වේ කෙළි දෙලෙනි.

    පුංචි පා තබා තම සොහොයුරු සොයුරියන් සමගින් අකුරු කිරීමට මාදෙයියා විදු මෑණියන් සෙවණට පා ඔසවනා කුඩා විමලවීරයන් ශ්‍රේණියෙන් ශ්‍රේණිය සමත් වී 6 ශ්‍රේණියද සමත් වන්නේය. පවුලේ සියලු දෙනාම වේදනාවට හා අන්ත අසරණභාවයට පත් කරලමින් පවුල රැකගත් යෝධ ශක්‌තිය බඳු පියාගේ හදිසි අභාවය ඔවුන්ගේ දිවි මග නොසිතූ අයුරින් වෙනස්‌ කරලන්නට විය. පියා නොමැති ජීවන බර මව වෙත පැටවෙද්දී පුංචි දිසානායකගේ පාසල් ගමනට 06 ශ්‍රේණියෙන් තිත තැබෙන්නේ දහසක්‌ වූ අගහිඟකම් මුළු නිවසම වෙලාගන්නා විටය.

    පියා නොමැතිව තනි වූ දරු පවුලද රැකගැනීමට මව දිරිය මාතාවක්‌ සේ නොගත් උත්සාහයක්‌ නොමැත. කාලය මෙලෙස ටිකෙන් ටික ගෙවී යද්දී දිසානායකයන්ද විටක කිසිදු අරමුණක්‌ නොමැතිව මහ පාරේ ඇවිදින්නට විය. ලැබෙන පුංචි ගතමනාවකට හෝටල්වල පිඟන් හෝදන්නට විය. තවත් විටෙක දැතේ කරගැට එනතෙක්‌ පොරව අතට ගෙන දර පලන්නට වූවේය. පියා නොමැති කල රුපියල් ශත සොයන්නට මේ පුංචි කොලු ගැටයා නොගත් උත්සාහයක්‌ නොමැත.

    කාලය මෙලෙස ගතවෙද්දී දිසානායකයන් ඇතුළු පවුලේ සාමාජිකයෝ සියල්ල 1966 දී අම්පාර නිව්ගුණ ප්‍රදේශයේ පදිංචියට පැමිණියෝය. එසේ පැමිණියද ඔවුනට පැමිණි අගහිඟකම්වල අඩුවක්‌ නොවීය. හිඟුරාණ සීනි කර්මාන්තශාලාවේ කම්කරුවකු ලෙස සේවයට එක්‌වූ මෙම දිසානායක නම් කොලු ගැටයා එතැන් සිට දිගාමඬුලු මහ පොළොවේ දැතේ කරගැට එනතෙක්‌ මහා අව්කූටකේ පොළොව කොටන්නට විය. ඇතැම් විටෙක උක්‌ගසේ තියුණු කොළ පහරට අත පය කැපී ගියේය. ඇඟ පුරා උක්‌ බූව

    රැඳුණද ඔහු වසර 10 ක්‌ යනකම් මෙලෙස අනෙකුත් සහෝදර සේවකයන් සමග වැඩ කරන ලදී.

    කියවීමේ පිපාසයකින් පෙළුණු දිසානායකයෝ බඩු ඔතාගෙන එන පත්තර කැබැල්ලක්‌ හෝ ඉවතට දමන්නේ අකුරක්‌ නෑර කියවමිනි. උක්‌ගස්‌ අතර සිට වුවද ලැබෙන මඳ ඉස්‌පාසුවකදී හෝ කියවීම මොහුගේ පුරුද්දක්‌ වී තිබිණි. ඩීමන් ආනන්දගේ ශත 75 නවකතාවේ සිට මැක්‌සිම් ගෝර්කිගේ අම්මා, ගීද මෝපසාංගේ පරිවර්තන කෘති ඇතුළු මහා පොත් කන්දරාවක්‌ සහ පූජාවලියේ සිට මහාවංශය දක්‌වාද පුවත්පත්වල මරණ දැන්වීමේ සිට සාහිත්‍ය ලිපි දක්‌වාද විමලවීර දිසානායක නම් තරුණයාගේ දෙනෙතින් සැඟව යැමට නොහැකි විය. එසේ කියවනා දේ මැනවින් මනසෙහි ධාරණය කරගැනීමේ සහජ හැකියාවෙන්ද ඔහු පොහොසත් විය.

    දිගින් දිගටම කියවීමේ පිපාසයකින් සිටීමේ ප්‍රතිඵලය වූයේ විමලවීර දිසානායක නම් දැනුමෙන් පොහොසත් වූ තරුණයෙක්‌ නිර්මාණය වීමයි. එනිසා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට ඔහු සූදානම් විය. ඒ සඳහා පසුගිය විභාගවල ප්‍රශ්නපත්‍ර සොයාගත් මේ දිරිය තරුණයා ඊට අදාළ පොත්පත් සොයන්නට වෙහෙසිණ. කිසිදු ගුරුවරයකුගේ හව්හරණක්‌ නොමැතිව මාස 03 ක්‌ පමණක්‌ ස්‌වෝත්සාහයෙන් පොතපත කියවමින් දැනුම වර්ධනය කරගත් විමලවීර දිසානායකයන් සාමාන්‍ය පෙළට පෙනී සිටින ලදී. ඔහු පෙනී සිටි සියලුම විෂයන්වලින් සමත් වුවද ගණිතය විෂය එවර සමත්වීමට ඔහුට නොහැකි විණි.

    කෙසේ හෝ මම ගණිතයද සමත් වෙනවා යෑයි දැඩි අදිටනින් පසුවූ විමලවීර තරුණයා සාමාන්‍ය පෙළ විභාගයට මාස 02 ක්‌ තිබියදී තම මිතුරකුගේ මවකගෙන් ඒ සඳහා උදව් ලබා ගන්නා ලදී. ඒ අනුව එවර ගණිතය විෂයට සම්මාන සාමාර්ථයක්‌ හිමිකර ගැනීමට ඔහුට හැකියාවක්‌ ලැබුණේ සාමාන්‍ය පෙළ දක්‌වා පාසල් අධ්‍යාපනය ලබා විභාගය අසමත් වන දහස්‌ ගණන් සිසුන් අභිභවාලමිනි. මේ අයුරින් තනිවම උගෙන සාමාන්‍ය පෙළ සමත් ව රැකියාවක්‌ සොයා වෙහෙසෙන්නට විය. ඇතැම් විට දේශපාලනඥයන් මුණගැසුණද ප්‍රතිඵලය වූයේ රැකියාවක්‌ නොලැබීමයි.

    රැකියාවක්‌ ලබාගන්න නම් තවත් ඉගෙන ගන්න ඕනි යෑයි සිතූ හෙතෙම ඉතා අසීරුවෙන් රු 80 ක්‌ සොයා උසස්‌ පෙළ විභාගය සඳහා අයෑදුම්පතක්‌ යොමු කරනු ලබයි. ඉන්පසු පෙර පරිදිම පසුගිය ප්‍රශ්නපත්‍ර සොයා ඊට අදාළ පොත්පත් සොයාගනිමින් මාස 03 ක්‌ වැනි කාලයක සිට වෙහෙස මහන්සි වී උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින්නේ ද කිසිදු ගුරුවරයකුගේ මගපෙන්වීමක්‌ නොමැතිවය. අවසානයේදී සිය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උච්චතම මොහොත සනිටුහන් කරමින් ආර්ථික විද්‍යාව, සිංහල, දේශපාලන විද්‍යාව සහ බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයන් ඉතා ඉහළින් සමත් වී ලංකාවේ ඕනෑම දිස්‌ත්‍රික්‌කයකින් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට අවශ්‍ය අයුරින් සමත් වී සිටින ලදී. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයෑදුම් කළ විට ඔහුට, තෝරා ගන්නා ලදැයි ලිපියක්‌ද ලැබෙයි. නමුත් තවත් ටික දිනක්‌ ගියවිට වසර 05 ක පාසල් තොරතුරු නැති බව පවසා විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් ඉවත් කරන බවට ඔහුට ලිපියක්‌ ලැබෙයි.

    පාසල් ගමන 06 ශ්‍රේණියෙන් නිමා වී තනිවම සරසවි යැමට වරම් ලැබූ ඔහුට විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි. ඔහු මේ පිළිබඳව එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ස්‌ටැන්ලි කල්පගේ මහතාට අභියාචනයක්‌ ඉදිරිපත් කළේය. ඒ අභියාචනය පිළිබඳ සලකා බැලූ ස්‌ටැන්ලි කල්පගේ මහතා තමන්ට මෙතෙක්‌ හමුව නොතිබුණු මෙබඳු දිරිය චරිතයකට විශ්වවිද්‍යාල වරම් ලබාදීම සඳහා එම නීතිය තාවකාලිකව ඉවත් කරගන්නා ලදී. 1980-89 සමයේ පැවැති භීෂණ වාතාවරණය හේතුවෙන් කොළඹ සරසවියට තේරී පත්වුණු ඔහුට වසර 07 ක කාලයක්‌ සරසවි සෙවණේ සිටින්නට සිදු විය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය අරගල යකඩින් ලෙයින් කඳුළෙන් ගෙවී යන වකවානුවක එම අරගලවල ක්‍රියාකාරී නායකයකු වෙමින් කටයුතු කරමින් ඔහු අවසානයේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිටවන්නේ ගෞරව උපාධිධාරියකු ලෙසිනි.

    ඉන් පසුව අම්පාර වීරගොඩ සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එදා 06 ශ්‍රේණියෙන් පාසල් ගමනට තිත තැබූ විමලවීර දිසානායකයන් අම්පාර ඩී. එස්‌. සේනානායක ජාතික පාසලට නැවතත් පා ඔසවන්නේ දේශපාලන විද්‍යා ගුරුවරයකු ලෙස එහි උසස්‌ පෙළ සිසුනට ශිල්ප ඥනය ලබාදෙන්නටය. සුවහසක්‌ දරු කැළගේ නුවණැස පාදනා අතරතුර අගහිඟකමින් පෙලුනු පාසල් සිසුනට පතපොත නොපැකිළව අරන් දෙමින් කළ හැකි උපකාරයන් සිදුකළේ ළමා කාලයේ ඔහු ගත කළ කටුක දිවියේ මතක සටහන් හා අත්දැකීම් තිබූ බැවින් සහ කුලුනුq ගුණයෙන් යුත් හදවතක්‌ තිබුණ බැවිනි.

    1994 දී දමන ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකවරයා වශයෙන් ක්‍රියාකාරී දේශපාලනයට වරම් ලැබූ ඔහු 2000 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලබා දිගාමඬුල්ලෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ උක්‌ගස්‌ අතරේ කහට කෝප්පයක්‌ බී බුලත් විටක්‌ සපා කමින් කම්කරු ජනතාවත් සමග උරෙනුර ගැටී කටයුතු කරමින් සිටි විමලවීර දිසානායක නම් කම්කරුවාය. විටෙක මන්ත්‍රීකම රුපියල් කෝටි ගණනකට විකුණන්නට ඇරයුම් පිට ඇරයුම් ලැබෙද්දී ඡන්දය දුන් ජනතාවගේ විශ්වාසය රුපියල් ශතවලට පාවා නොදෙන ලදී.

    අධ්‍යාපන ඇමැතිවරයෙක්‌ පාසල් ගොස්‌ ඇත්තේ හයේ පංතියටයි කීවොත් ඔබ පුදුම වනවා නිසැකය. 2008 වසරේ නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන, ප්‍රවාහන, ඉඩම්, ඉඩම් සංවර්ධන හා ප්‍රවාහන ඇමැතිවරයා වූයේ අන් කවරෙකුවත් නොව විමලවීර දිසානායක මහතායි. නැවතත් 2012 වසරේදී ද නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් අම්පාර දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායකයා බවට දේශපාලන වේදිකාවේ පෙරළිකාර චරිතයක්‌ වෙමින් නැගෙනහිර පළාත් සභාවේ සංධානයෙන් ලබාගත් වැඩිම මනාප ලබාගනිමින් නැවතත් අධ්‍යාපන ප්‍රවාහන, ඉඩම් හා සංස්‌කෘතික ඇමැතිවරයා බවට පත්වූයේද ඔහුමය.

    1997 දී ලංකාවේ පාසල් 13442 ක්‌ තිබිණි. නමුත් මේ වන විට ඇත්තේ 9662 ක්‌ පමණි. එලෙස ලංකාවේ පාසල් වැසී යද්දී පසුගිය වසර 04 තුළදී නැගෙනහිර පළාතේ තිබූ 983 ක්‌ වූ පාසල් ගණන 1060 ක්‌ දක්‌වා ඉහළ නැංවීමට හැකි වුණේ හයේ පංතියට ගිය අයකුටය. ලංකාවේ පළාත් අතර අධ්‍යාපන මට්‌ටමේ 09 වැනි ස්‌ථානයේ පසුවූ අධ්‍යාපන තත්ත්වය 06 වැනි ස්‌ථානය දක්‌වා ඔසවා තබන්නට හැකි වූයේ ඔහුගේ දූරදර්ශී පාලනය නිසාමය. 2011 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතරින් 80% ක පමණ ප්‍රතිශතයක්‌ ලබා ගනිමින් ලංකාවේ වැඩිපුරම සිසුන් සමත් වූයේ නැගෙනහිර පළාතේ මඩකලපුව මධ්‍යම අධ්‍යාපන කලාපයෙන්ය. එම වසරේ කොළඹ සමත් ප්‍රතිශතය වන්නේ 75% කි. අම්පාර කලාපයේ 60% දක්‌වා එම වසරේ ප්‍රතිඵල ඉහළ නැඟුණේ ලංකාවේ බොහෝ පහසුකම් සපිරි දිස්‌ත්‍රික්‌ක අභිභවාලමිනි. මෙසේ නැගෙනහිර යුද ගිනිදැල්වලට හසුව උඩුයටිකුරු වී තිබූ අධ්‍යාපනය ඉහළට ඔසවා තබන්නට මුල් වූයේද කඩවල දර පැලූ පිඟන් හේදූ විමලවීර නම් කොලුගැටයාය.

    ලීලානන්ද ගමාච්චි නම් ලේඛකයා විසින් රචිත ප්‍රායෝගික මනෝවිද්‍යා දිවිමග නඟන තොරතුරු ග්‍රන්ථයේ තෝමස්‌ අල්වා එඩිසන්, ඇල්බට්‌ අයින්ස්‌ටයින් වැනි විදේශ ලෝකයේ විශිෂ්ටයන් 13 දෙනකු පිළිබඳ තොරතුරු දන්වා ඇත. ඒ අතුරින් ලංකාවෙන් එම ග්‍රන්ථයට ඇතුළත් වූ එකම චරිතය වන්නේ විමලවීර දිසානායක නම් අධිෂ්ඨානශීලී චරිතයයි. නැගෙනහිර පළාතේ පාසල් ගොඩනඟමින් සෞඛ්‍ය මහා මාර්ග විදුලිය වැනි සංවර්ධන ක්‍රියාදාමයන් ඇතිකරමින් ජනතාවගේ දුක නිවීමට කළ හැකි හැම දේම කරනා ඒ වෙනුවෙන් තමාගේ සාක්‌කුවේ ඇති සියලු දේ දන්දෙන දිනකට පැය 18 ක්‌ වැඩ කරමින් කුලුනුබර ගුණය නිසා අරක්‌කු බෝතල් නොදුන්නාට විමලවීර දිසානායක නම් චරිතය වටා දිගාමඩුලු ජනයා ගොනුවී සිටිති.

    ඇතැම් ගුරුවරුන් ඇතුළු සාමාන්‍ය ජනතාවගේ දරුවන් නුවර, කොළඹ වැනි ප්‍රදේශවල සුපිරි පාසල් සොයා යද්දී නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමැතිවරයාගේ දරුවන් වන අංජන දිසානායක සහ උදාර සුපුන් දිසානායක ඉගෙන ගන්නේ අම්පාරේය. මෙලෙස දේශපාලන ක්‍ෂේත්‍රයේ අද්විතීය චරිතයක්‌ වන විමලවීර දිසානායක නාමය පිටුපස සිට බිරිඳ වන ජයන්ති මෙන්ඩිස්‌ මහත්මිය නිහඬව සහයෝගය ලබා දෙති.

    අද බොහෝ දෙනෙක්‌ අදහන ආගම වන්නේ ධනය හා බලය බවයි, මට හැඟෙන්නේ. මම සැපේදී සැප බෙදා ගන්නවාට වඩා දුකේදී දුක බෙදා ගන්න ගමන් සමාජය ගොඩනැඟීමට ක්‍රියාකරනවා. ඒ වාගේම ගීතයක අර්ථයක්‌ කවියක්‌ සාහිත්‍ය කෘතියක්‌ විඳිය හැකි ජීවිත පරිඥනයක්‌ ඇති සමාජයක ජීවත් වීමට අපේක්‍ෂා කරනවා. මේ සඳහා නූතන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ මානසික විලංගුවෙන් ගුරු පරපුරත්, දරු පරපුරත් බේරාගෙන නිදහසේ සිතන්නට ඉඩකඩ ඇති ස්‌වාධීන චින්තකයන්ගේ සමාජයක්‌ ගොඩනඟන්නට දායක වීමට අපේක්‍ෂා කරනවා යෑයි ද විමලවීර දිසානායක නම් ඒ අපූර්ව මිනිසා "දිවයින"ට අදහස්‌ දක්‌වමින් පැවැසීය. රුපියල් දහස්‌ ගණන් වියදම් කර අමතර පංති ගොන්නක්‌ සිසුනගේ කරපිට පටවා විභාගය ජයගන්නට දෙමවුපියන් උත්සාහ කරන යුගයක කෙතරම් සැප පහසුකම් තිබුණත් ඉගෙන ගන්නට උනන්දුවක්‌ නොමැතිව කරන්නං වාලේ අධ්‍යාපනය ලබනා සෑම දෙනාටම විමලවීර දිසානායක නම් චරිතය ආදර්ශයක්‌ ලබා දෙන්නේය.


    ~divaina~
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    DSS1

    Member
    Aug 4, 2012
    27
    1
    0
    okkoma hondai namuth meya 'sarwa agamika' mulawata ahuwela inne, nagenahira sinhala bauddha apita nam kisi vadak naha