සොරකම් කරන ලද මී ගවයන් දෙදෙනකු සන්තකයේ තබාගත් කන්තලේ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් මෙන්ම විපක්ෂ නායක ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් තස්ලිම් මොහොමඩ් පවුසාන් පෙරේදා (02) නියෝග කළාය.
මෙසේ බන්ධනාගාරගත වූයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මෙන්ම කන්තලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙස ද සේවය කරන කේ.එච්. ටර්නි සමන් නමැති අයෙකි.
සේරුනුවර පොලීසියට ඉකුත් අගෝස්තු 13 වැනිදා පැමිණි සේරුනුවර සිරිමංගල පුර පදිංචි එල්.ඒ. සේනාරත්න ලියනාරච්චි නමැති අය රුපියල් ලක්ෂ දොළහක් වටිනා මී ගවයන් දසදෙනකු සොරකම් කර ඇති බවට කළ පැමිණිල්ලක් අනුව කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොරකම් කරන ලද මී ගවයන් දෙදෙනකු සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ගව ගාලේ සිටියදී සොයාගත් බව පොලීසිය අධිකරණය හමුවේ පැවසීය.
සැකකරු ගවයන්ගේ පිටේ ටී.එස්. නමින් හංවඩු ඇති බව අධිකරණය හමුවේ පොලිසිය සඳහන් කළේය.
සොරබඩු වංක ලෙස භාරගැනීම, සොරබඩු සඟවා තැබීමට සහාය වීම සහ සොරකම් කරන ලද ගවයන් භාරගැනීම යන චෝදනා සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබිණි.
දණ්ඩ නීති සංග්‍රහය 394, 396 හා 397 යන චෝදනා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.