හිර ගෙදර ජීවිතේ...8...පැතුම් කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කොළඹ හිර ගෙදර M වාට්ටුවේ ඇති සුවිශේෂීම කරුණ මා මෙතෙක් ඔබගෙන් වහං කෙරුවා දෝයි මට සැක සිතෙයි. මේ රැඳවියන් ගේ ජීවිත අනෙක් සිර කරුවන්ට වඩා වෙනස් කර ඇති යමක් වේ නම් ඒ අන් කිසිවක් නොව අප සිටි මිදුල මැද්දේ වූ විශාල ජල ටැංකි දෙකයි.

    සෑම සිරකරුවෙකුටම දිනපතා නෑමේ අවස්ථාවක් ලැබේ. ඒ පයිප්ප හයි කරපු නාන කාමර වල නොව විවෘතව භූමියේ ඉදිකළ පිරවූ වතුර ටැංකි වලිනි. සෑම වාට්ටුවකටම පොදුවේ ඝණ මීටර කීපයකින් පිරී ගිය වතුර ටැංකි දෙකක් හෝ තුනක් ඇති අතර ඒවාට විශාල අඟල් දෙකේ බට වලින් ජලය පුරවා ගත හැකිය. මේ ටැංකි වලින් වතුර ගැනීමට රැඳවියන් විසින් විවිධ බාල්දි හෝ ප්ලාස්ටික් බකට් භාවිතා කරන අතර නෑම, රෙදි සෝදා ගැනීම ආදිය සිදු වන්නේ ටැංකි වලිනි.

    රැඳවියන් දෙසීය තුන්සීය සිටින විශාල වාට්ටු වල මීටර් ගණන් දිගට නාන පෝලිම් දැකගත හැකිය. තොරතෝංචියක් නැතුව වතුර ගලා ආ අප ආසන්නයෙන් ගලා යන කාණුවට ද වතුර එකතු වන්නේ අනෙක් රැඳවියන් පෝලිම් නොකැඩී නාන නිසා බව මට තේරුම් යන්නට වැඩි දිනක් ගත නොවිණි. මේ තත්ත්වය හමුවේ අප ලද භාග්‍ය නම් සිර කරුවන් 21 දෙනෙකු පමණක් සිටින M වාට්ටුවට මෙවන් ටැංකි දෙකක්ම ලැබී තිබීම ය. දිනකට පැයක් අල්ලපු වාට්ටුවකින් තවත් සිර කරුවන් 10 දෙනෙකු පමණ මෙහි නෑමට ඇතුළු කරන අතර අනෙක් සෑම වෙලාවකටම මේ වතුරේ අයිතිකාරයෝ අපි වීමු.

    අත පය හයිය හත්තිය ඇයි ශක්තිමත් මිනිසුන් 21 දෙනෙකු මේ කොටසේ සිර කොට ඔවුන්ට කොන්දේසි විරහිතව විශාල වතුර ටැංකි 2ක් ලබා දුන් විට සිදු වන්නේ කුමක්දැයි තේරුම් ගැනීම අපහසු නොවේ. පැය 24 ක කාලයක් ගත කර ගැනීමට කාරණයක් සොයන කුඩා ඉඩක සිරවූ මේ මිනිසුන්ට වතුර ටැංකි දෙක අනෝතත්ත විලක් වූයේ ය. ඇතැමෙක් උදෑසනම රෙදි සෝදා ගෙන නාගත්තේ ය. ඇතැමෙක් නෑමට සුදුසු කාලයක් බලමින් කල් ගත කලේ ය. උදෑසන නෑව ඈයෝ හවස් වන විට දාඩිය යැයි කියා ආයේ නැවෝය. නාන විට සිය උපරිම අවදානය, ශක්තිය නෑම වෙනුවෙන් ඔවුන් යෙදු වෝය. ෂම්පු වර්ග සබන් වර්ග දමමින්, විවිධ ඇඟ අතුල්ලන උපක්‍රම වලින් ඇඟේ මුළු මතුපිටම සබන් දමමින්, බුබුළු දමමින් අතුල්ලමින් ලෝකයේ ඇති වැදගත්ම කාරිය එය මෙන් සළකා ඔවුන් නෑවෝය. මකුණන් තැලී ගිය පොඩි හෝ ලේ පැල්ලමක් දුටු විට ඔවුන් සිය ඇඳ රෙදි පිටින් සෝදා වේළුවෝය. සෑම දින දෙකකට වරක්ම පිරිස ඔක්කොම එකතු වී සිර මැදිරිය සෝදා දැමුවෝය. සේදීමට යමක් නැතිනම් ටැංකි හිස්කොට ඒවායේ බිත්ති සෝදා දැමුවෝය. සිර කරුවන් යනු සාපේක්ෂව අපිරිසිදු යැයි සිතන පිරිසක් ලෙස අප කුටියෙන් ඉවත බැලූවිට පෙනුනත්, මා සිටි කුටියේ ජිවීතයේ දුටු පිරිසිදුම මිනිසුන් 21 දෙනෙකු දකින්නට සිටියේ මේ වතුර ටැංකි දෙකට පිං සිදු වන්නට ය. මා ද දිනපතා දහවල් අව්ව වැටෙන විට ඇඳ සිටි රෙදි සෝදා ගෙනම හිත පුරා නා ගත්තෙමි. එහෙත් අනෙක් රැඳවියන් මෙන් දිග කාලයක් එහි ගත කිරීමට මට නොහැකි වූයේ මාගේ හිත කලබලයෙන් තිබූ නිසා යැයි මට සිතිණ.

    මේ සිර ගෙදර මට ඇසුරු කරන්නට ලැබුවෝ බහුතරයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට පැටළි සිටියෝ ය. මා සිටි කූඩුවේ සිටි එකොළොස් දෙනා අතරින් මිනීමැරුමක චෝදනා ලබපු රැඳවියෙකු හැරුණු කොට අනෙක් නව දෙනාම මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබුවෝ ය. ඒ මත්ද්‍රව්‍ය සමග මිනී මැරුම්, ආයුධ සමග හසුවීම්, අනුබල දීම්, මත්ද්‍රව්‍ය තොග පිටින් ප්‍රවහනය කිරීම් ආදියට හසුවූවෝය. ඒ දෙස බැලීමේදී සමාජයේ සිදු වන බහුතරයක් අපරාධ සිදු වන්නේ මත්ද්‍රව්‍ය භාවිතය හෝ වෙළඳාම හේතු කොට ගෙන යැයි අපට සරළ නිගමනයකට පැමිණිය හැකිය. ඒ මත්ද්‍රව්‍ය නම් මූලිකවම හෙරෝයින්, කොකේන් , අයිස් හා මත්පෙති ය.

    ලෝක මත්ද්‍රව්‍ය වෙළඳාමේ ප්‍රධාන ජාලා 3කි. දකුණු ඇමෙරිකාවේ පමණක් වැවෙන කෝකා ශාඛයෙන් නිපැයෙන කෝකෙන් එක් ජාලයකි. ඇෆ්ගනිස්තානයේ යායට වැවෙන පොපි වගාවන්ගෙන් නිශ්පාදනය වන හෙරොයින් දෙවන ජාලයයි. ඖෂධ හා කෘතිම සංඝටක ආශ්‍රයෙන් විද්‍යාගාර වැනි කර්මාන්ත ශාලා වල නිපැයෙන අයිස් හා මත්පෙති වර්ග තෙවන ජාලය යි. දකුණු ඇමෙරිකාවේ කෝකෙන් ජාලයෙන් ලංකාවට සැපයුම් ලබා ගැනීම ඉතා දුෂ්කර වන්නේ ගෝලීය පිහිටීමෙන් ඇතිවූ දුර නිසා ය. විශාල දුරක් යෑමට විවිධ රටවල් ගණනාවක අනීතික මාර්ග සොයා ගැනීම ඉතා වියදම් කටයුත්තක් බැවින් කොකේන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සාපේක්ෂව කුඩා ප්‍රමාණ වලින් වන අතර ඒහි මිළ සාපේක්ෂව ඉහළ ය.

    එහෙත් ලෝක හෙරොයින් නිශ්පාදනයෙන් 75% ක් සපුරන ඇෆ්ගනිස්තානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් ලබා ගැනීම එතරම් අපහසු නොවේ. මේ ගෝලීය ජාවාරම් ජාලයේ හෙරොයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද වැදගත් මංසන්ධියකි. මේ ජාවාරම් ජාල පවත්වා ගෙන යන අන්තර්ජාතික වෙළඳපොළ කාර්ටල් විසින් ඒ සඳහා තෝරා ගන්නේ නීතියේ පරමාධිපත්‍ය පිරිහී ගිය රාජ්‍යයන් වෙයි. ලෝකයේ නීත්‍යානුකූලව කෙරෙන යම් භාණ්ඩ නිශ්පාදනයක් සඳහා ආයෝජන කැඳවීමෙදී සළකා බලනු ලබන මිනුම් දක්ඩක් වන Ease of Doing Business Index එකේ ලංකාව සිටින්නේ 100ත් 110ත් අතර තරම් වූ ඉතා පහළිනි. එයට හේතුව ලෙස අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනයත්, පිරිහුණ නීතියේ පරමාධිපත්‍යත් ප්‍රධාන කොට දැක්විය හැකිය. නීත්‍යානුකූල ව්‍යාපාර වෙනුවෙන් අපේ රට ඉතා පහළ අගයක සිටියත්, නීත්‍යානුකූල නොවන ව්‍යාපාර වලට එවන් පසුබිමක් තෝතැන්නකි. අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනත්, පිරිහුණ නීතියත් මත්ද්‍රව්‍ය වෙළඳපොළට ආශිර්වාදයන් වෙයි. එබැවින් සේද මාවතේ පිහිටි ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයේ සිට ලෝකයේ අනෙක් ආර්ථික කලාප වලට මත්ද්‍රව්‍ය සැපයෙන ජාලා වල ප්‍රමුඛ මරමස්ථානයක් බව අමුතුවෙන් තේරුම් කල යුතු නොවේ. අයිතිකරුවන් නොමැති කුඩු කන්ටේනර් කලින් කලට මතු වන්නේ ඇයි දැයි දැන් ඔබට මතක් වෙනු ඇත්තේ ය.

    ශ්‍රී ලංකාවට ද මේ මත්ද්‍රව්‍ය විශාල වශයෙන් බෝට්ටු මාර්ගයෙන් පැමිණෙති. ඒවා දේශීය පරිභෝජනය පිණිසම බෙදා හැරෙන්නේ විශාල ජාලයක් මගිනී. මා එංගලන්තයේ සිටියදී කියැවූ Narconomics පොතේ කරුණු ශ්‍රී ලංකාවේ එම ජාලයේම කොටස් කරුවන්ගෙන් විමසා දැන ගැනීමට හැකි වීම කොළඹ සිර ගෙදරදී මා ලද භාග්‍යයක් වූයේ ය.

    මා කුඩා කාලයේ දී ද අනුරාධපුරය බලන්නට යෑමට පෙර ඒ සම්බන්ධ පොතක් කියවා ගොස් , යන යන තැන ඒ පොත ගෙන ගොස් ඒ ඒ නටබුන් සමග විශ්ලේෂණය කර බලන පුරුද්දක් මා හට වූයේ ය. මා මේ ලබන්නේ ද එවන් වූ අත්දැකීමක්ම ය. කොලොම්බියාවේ පබලෝ ඇස්කොබාඅර්, මෙක්සිකෝවේ ඇල් චැපෝ ආදීන්ගේ කතා netflix එකේ නරඹා, මත්ද්‍රව්‍ය වෙළඳපොළේ ආර්ථික විද්‍යාත්මක පැත්ත Narconomics පොතේ අධ්‍යනය කර තිබූ මා හට මේ ලද අත්දැකීම ලංකාවේ කුඩු වෙළඳපොළ කියවා ගැනීමට ලද මහඟු අවස්ථාවක් වූයේ ය. සිර ගෙය නම් විශ්වවිද්‍යාලයක් මැයි මට යළි යළිත් සිහිපත් වූයේත් හිතේ සතුටක් නොවූයේ එය ඉගෙන ගන්නට වූයේ සිරවීම නම් පීඩනය ද හිතේ දරාගෙන වීම නිසා ය. එහෙත් මෙහි වාසිය නම් මා ද ඔවුන්ගේ සහෝදර සිර කරුවෙකු වීමය. ඒ නිසාම ආගන්තුක නොවී නිදහසේ ඔවුන්ගේ හිත් විවෘත කොට මා වෙත දිග හැරීමට ඔවුන් පසුබට නොවුණේ ය.

    ලෝකයේ මත්ද්‍රව්‍ය නොමැති රටක් නොමැත. මා වසර 10 ක් ජීවත් වූ නීතියේ පරමාධිපත්‍ය ඉතාම ඉහළ වූද රාජ්‍ය පරිපාලනය උපරිම කාර්‍යක්ෂම වූ ද කුඩා රාජ්‍යයක් වූ ද සිංගප්පූරුවේ ද මත්ද්‍රව්‍ය තිබේ. මා සිංගප්පූරුවේ සේවය කරන සමයේ ඔවුන්ගේ සිර ගෙදරින් ගෙනා මත්ද්‍රව්‍ය වෙළඳපොළට සම්බන්ධ සිරකරුවන් ට ප්‍රතිකාර පවා කර තිබේ. එනම්, කෙතරම් නීතිය තදින් ක්‍රියාත්මක කල ද මත්ද්‍රව්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන්ම නතර කළ නොහැක. Ease of Doing Business Index එකේ පලවෙනි රට වන නවසීලන්තයේ ද අයිස් හා මත් පෙති යනු ප්‍රභල සමාජ උවදුරකි. මේ සෑම රටකම මෙන්ම ශ්‍රී ලංකාවේද මේ මත්ද්‍රව්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක වන්නේ සැළසුම් සහගත ජාලා ක්‍රමයකට ය. කුඩු ගෙන්වන මහ ව්‍යාපාරිකයාගේ පටන් පිරමීඩාකාරයට පාර දක්වා ගලා යන ස්ථර 5 ක් පමණ එහි වෙති. කුඩු පරිභෝජනය කරන අවසන් පාරිභෝගිකයා වෙත ඒවා ලැබෙනුයේ මේ ස්ථරයේ පහළින්ම සිටින 5 වෙනියන් වන පාරේ සිටින අවසන් වෙළෙන්දා ගෙනි.

    බොහෝ විට හිර ගෙදර බහුලව සිටින්නේ කුඩු ගැසූ පාරේ රස්තියාදු ගැසූවෝ ය. කුඩු වෙළඳාමේ නිරත 5 වෙනි , හතරවෙනි, තට්ටු වල වෙළෙන්දෝ ද පොලිසියට කුටු වෙති. තුන් වැනි, දෙවැනි තට්ටු වල සිටින්නෝ මදුෂ්ලා , කන්ජිපානිලා වැන්නෝය. පළවෙනි මට්ටමේ සිටින්නෝ කිසිදාක හසු නොවෙති. ඔවුන් බොහෝ විට දේශපාලන බලය සාක්කුවේ තබා ගනිමින් මෙහි නිරත වෙති. ඔවුන් අන්තර්ජාතිකව කුඩු මාෆියාවන් හා කාර්ටල් සමග සෘජුව ගණුදෙනු කරති. ඔවුන් කොටු කර ගැනීම කිසි කලෙක සිදු නොවන්නකි. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ප්‍රභල රට වල පවා සිදු නොවන්නකි.

    ගෝලීය කුඩු වෙළඳාමේ වාර්ෂික නිශ්පාදනය ඩොලර් බිලියන 350 ඉක්මවති. එවන් වූ විශාල අනීතික කර්මාන්තයක් මැඩීමට රාජ්‍යයන් ශක්තිමත් නොමැත. එවන් ප්‍රභල මාෆියාවක් සමග හැප්පීමට කොළඹ හිර ගෙදර යකඩ කූරු පවා ප්‍රමාණවත් නොමැත. එවන් ශක්තියක් හමුවේ ඒ යකඩ කූරු ඉරටු වැනි යැයි මට සිතෙයි. ඒ ප්‍රභල යාන්ත්‍රණය හමුවේ එයට හසුවූ ජීවිත අපි කොටු කල ද මරා දැමුව ද මේ කර්මාන්තය නොනවතී. පබලෝ එස්කොබාර් මරා දැමීමෙන් හෝ එල් චැපෝ ඇමෙරිකාවේ අධි ආරක්ෂිත හිර ගෙදරකට දැමීමෙන් දකුණු ඇමෙරිකානු කොකේන් වෙළඳපොළ නතර වූයේ නැත. එකෙක් මරා දමන විට එය කර ගෙන යෑමට අනෙක් මොහොතේ තවකෙක් උපදින අපූරු ගර්භාෂයක් ඒ වෙළඳපොළ සතුය. සොත්ති උපාලිලා, තුම්මුල්ලේ පද්මෙලා පටන් කොස්ගොඩ තාරකලා, මාකඳුරේ මදූෂ්ලා දක්වා මරා දැමූව ද ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුරේ අඩුවක් ඇතිවූයේ නොමැත. එකෙක් මරා දමන විට ඒ ගර්භාෂයෙන් තවත් නපුරක් අනික් මොහෙතේ හට ගන්නේ ය.

    හවස පහමාර වන විට කූඩුව වසා දැමුයේන් මේ ශරීරයෙන් පිරිසිදු වූ රැඳවියෝ කුටියට ගුළි වූයේ අඳුර වැටෙත්ම රාත්‍රිය ගත කිරීමට කුඩුවට රැස්වූ කුකුළන් මෙනි. උදෑසනම කඩා ගත් මල් ටික බුද්දාසනයේ සකසා පැන් ආදිය පූජා කොට, පහණෙන් තෙල් තවරා ගත් පහන් තිරයක් බිත්තියේ වූ වයර් දෙකක් එකිනෙක ගාවා ෂෝට් කිරීමෙන් හට ගන්නා ගිණි පුළිඟු වලින් දල්වා ගත්තේ මංජු විසිනි. අනතුරුව හඳුන්කූරු ද දල්වා කුටිය සුවඳවත් කල බෞද්ධ ඈයෝ තනි තනියෙන් නිහඬව ආගම සිහි කලෝ ය. ඔවුන් අතරින් ඇතැමුන් මිනිමැරුම් චෝදනා ලද්දෝ ය. ඇතැමුන් මත්ද්‍රව්‍ය වෙළඳපොළ මෙහෙය වන්නෝය. ඇතැමුන් මංකොල්ල කරුවෝය. එලිපත්තේ නාමින් ශරීරය පිරිසිදු කර ගත් ඔව බුදු පහන ඉදිරියේ මනසේ කිළිටි සෝදා දැමීමට වෙහෙසුනෝය. එහෙත් එළියේ නෑමට තරම් කාලයක් ඔවුන් මනස සෝදා ගැනීම වෙනුවෙන් වැය නොකළෝය.

    මෙහි සිටින්නේ ලෝකයේ ඇසින් වැරදි කාරයෝ ය. එහෙත් ඔවුන්ගේ ඇසින් ඔවුන්ට ඒ සඳහා හේතු තිබේ. ඔවුන් වැරදි කාරයෝ ද නිවැරදි කාරයෝ දැයි විනිශ්චය කිරීම මට අයිති කරුණක් නොවේ. ඔවුන් හරි ද වැරදි ද සිතීමට කාලය වැය කිරීම නිශ්ඵල කටයුත්තකැයි මට සිතිණ. මා හිතේ හට ගන්නේ ඔවුන් කෙරේ වූ දයාව, හා අනුකම්පාව පමණ ය. උසාවිය ඔවුන් වැරදි කරුවන් කරන තුරු ඔවුන් සැකකරුවෝය; චූදිතයෝ ය. ඉතිහාසය පුරා නිවැරදි කරුවන් අච්චු විඳීමට සිර ගත වී තිබේ. එසේම වැරදි කරුවන් නිදොස් කොට නිදහස් වී තිබේ. සංකීර්ණ අධිකරණ පද්ධතියකට පවා එම විනිශ්චය ලබා දීම කෙතරම් අපහසු දැයි ඉන් තේරුම් ගත හැකිය. එසේ නම් අපි තනි තනි මිනිසුන් ලෙස මේ රැඳවියන් විනිශ්චය කරන්නේ කෙසේ ද? එනයින් මා ඔවුන් විනිශ්චය කිරීමට වෙහෙස නොවී බිමින් වාඩිවූයෙමි.

    පැතුම් කර්නර්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,363
    100,243
    113
    ඉදලහිටලවත් මිනිස්සුන්ට වැදගත් දේවල් දාපන්කො මේ පැතුමෙක්ම අල්ලගෙන නටන්නෙ නැතුව.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,284
    21,205
    113
    Tom Hiddleston Loki GIF by hoppip
    Angry Over It GIF by Team Coco