-- හූනියම --
කෝ ගෙනාවද මන් කියපුවා?
එහෙමයි ගුරුන්නැහැ. බලාගෙනම ඉඳලා තමයි කොණ්ඩෙ ටික ගත්තෙ.
ඒ කෙනාගෙමනෙ?
ඔව්. ඔව්. කොණ්ඩෙ පීරනවා බලන් ඉඳලා පනාව තිබ්බට පස්සෙ තමයි අරගත්තෙ.
හරි. මන් එහෙනම් වැඩේ පටන් ගන්නම්. අමාරු වැඩක්. හැබැයි මට කලෑකි. අනික මන් වැඩක් බාර ගන්නෙ නෑ කරන්න බැරි නම්.
ඒකනෙ මන් ඔබතුමා ලඟටම ආවේ.
හරි දවස් 7 න් ප්‍රතිඵල බලාගත්තෑකි. ....
------------
හෙලෝ.. ඔව් සාමිතුමා ඉන්නවා හැබැයි ලයින් එකේ ඉන්න වෙනවා. තව 4 දෙනෙක් ලයින් එකේ ඉන්නවා.
දුරකථන ක්‍රියාකාරිය ඇමතුමට පිළිතුරු දෙන විට සාමි යැයි හඳුන්වන තැනැත්තා ඇය දෙස බලා සිටියේ සිනා සෙමින්. ඒ වනවිටත් සාමිතුමාගෙන් සේවය ලබා ගැනීමට තිදෙනකු අසුන්ගෙන බලා සිටී. දුරකථන ක්‍රියාකාරිය ඇමතුමට පිළිතුරු දෙන්නේ ඔවුන් ට ද ඇසෙන්නට ය.
මෙහෙමයි මහත්මයා මුලින් 10,000/- ක් ඩිපොසිට් කරන්න ඕනා. ඉතිරි 10,000/- වැඩේ කරද්දි. 10,000/- දාලා ස්ලිප් එක වට්ස්ඇප් කරන්න. එතකොට වෙලාව වෙන් කරලා දැනුම් දෙන්නම්. අපිට සල්ලි දාලා මහත්තයාගෙ නමයි වයසයි මහත්තයාව කන්ටැක්ට් කරන්න පුළුවන් නම්බර් එකක් එවන්න.
දුරකථනය විසන්ධි කළ පසු සාමිතුමා ඇයට ඇසින් සන් කලේ ඊලඟ සේවාදායකයා කාමරයට කැඳවන ලෙසිනි.
මිස්... ඔයා නේද අංක 2? ඇතුළට එන්න. දැන් ඔයාගේ වාරේ.
දුරකථන ක්‍රියාකාරිනියගේ කැඳවීම සමඟ ඇගේ පසුපසින් කාමරයට ඇදුනේ මැදිවයසේ කාන්තාවකි. කාමරයේ තිබූ ගුප්ත ස්වභාවය කාමරයට ඇතුල්වන විටම ඇගේ සිතට රැගෙන ආවේ බියමුසු හැඟීමක්. රැවුල වවාගත් කාලවර්ණ මුහුණකින් යුතු කළු පැහැ ඇඳුමක් ඇඳගෙන සිටි සාමිවරයා ගැන ඇගේ සිතේ අමුතු හැඟීමක් ඇති වුනා. ඔහු ඇඟිලි 10 ම මුදු පැලැඳ සිටියා. රිද්මයකට ඒ ඇඟිලි මේසය මත ශබ්දය නගමින් ඉහල පහල ගියා. ඔහුගේ ඉදිරියේ ත්‍රිකෝණාකාර විදුලි ආලෝකයක් දැල්වෙමින් තිබුනා.
කාන්තාව වාඩි වුනේ ලද සංඥාව අනුව.
ඔබතුමියගේ නම?
ස්වර්ණලතා.
මොකක් ද කෙරෙන්න ඕනා?
ඇත්තම කියනවානම් මන් ආවේ හස්බන්ඩ් එක්ක කතා කරන්න.
ඉතින් ඒකට මෙහෙ ආවේ මොකට ද?
අනේ සාමිතුමා මගේ හස්බන්ඩ් නැතිවෙලා. නැතිවුනා කියන්නෙ...
සියදිවි නහගත්තා නේද? මට පේනවා.
කාන්තාව හඬන්නට පටන් ගත්තා.
සාමිවරයා ඇය බලා සිටියදී නිවෙමින් දැල්වෙමින් තිබූ විදුලි බල්බය අතින් ස්පර්ශ කරන්න ආරම්භ කලේ ඇස් පියාගෙන. ටික මොහොතකින් අමුතු ගැස්සීමක් ඇඟෙන් සිදු කර ඔහු නිහඬ උනා.
ස්වර්ණලතා ... ස්වර්ණලතා ... මම ධර්මබන්ධු එහෙනම් ඔයා මාව බලන්න ආවා ...
කාන්තාවගේ බිය දෙගුණ තෙගුණ වුනේ සාමිවරයාගේ කතාවෙන්. ඇගේ මියගිය සැමියාගේ නම ධර්මබන්ධු.
අනේ ධර්මේ..
මගෙ කටහඬ ඇහෙද්දි දුකද ස්වර්ණලතා.. අපි කොච්චර ආදරෙන් ඉඳියද.. මොනාද මන් අපි වෙනුවෙන් නොකලෙ.. ඔයා මොනාද නොකලේ.. අපි කොච්චර ආදරෙන් ද හිටියෙ ස්වර්ණලතා ...
ඉතින් දෙයියනේ එච්චර ආදරෙන් ඉඳලත්..
සියදිවි නහගත්තෙ ඇයි නේද ඕක නේද ඔයාට දැන ගන්න ඕනා උත්තරය ස්වර්ණලතා ??
ඇය නිහඬව සිටියා. මහ හඬින් හිනාවුන සාමිවරයා කතා කලා.
කොහොමද අපේ ඩ්‍රයිවර් අනිල් ට ආ?
ඒ සමඟ ස්වර්ණලතාගෙ ඇඟෙන් දාඩිය පිටවෙන්න ගත්තෙ කඳුළුත් එක්ක.
උඹට මම සැප දුන්නා. ගෙයක් දුන්නා. කාර් දුන්නා. ඒ මදිවට ඩ්‍රයිවර් කෙනෙක් දුන්නා. උඹ මොකද කලේ ... මම දහදුක් විඳලා උඹත් එක්ක සැනසිල්ලෙ ඇලවෙන්න එද්දි උඹ ඌත් එක්ක අපේ ඇඳේ බුදි..
ස්වර්ණලතා හඬනවා.
ඉතින් උඹට ආදරේ කරපු මම උඹව මරන්න ද..
සාමිතුමාගේ වදන් ඇසුණු ස්වර්ණලතාට තවදුරටත් එහි රැඳී සිටීමට පුළුවන් වුනේ නැහැ. ඇය කාමරයෙන් එළියට දුවගෙන ගියා. දැන් කාමරයට යෑමට ඉන්නේ පිරිමියෙකුත් කාන්තාවකුත්. ඒ කාන්තාවට කැඳවීම ලැබුනා. ඇය ඇතුළට ගියේ පෙර කී පිරිමියාද සමඟින්. අන්ධයකු සමඟ ගුප්ත විද්‍යා කාමරයට පැමිණි කාන්තාව දෙසත් අන්ධයා දෙසත් සාමිතුමාගේ ඇස් දුව ගියා.
මාව හම්බවෙන්න ආවේ කව්ද?
මම සාමි.
කාන්තාව පිළිතුරු දුන්නා.
එතකොට මේ කව්ද?
මේ මගේ අල්ලපු ගෙදර මල්ලි. එයත් මේ වැඩේට සම්බන්ධයි සාමි. ඒකයි එක්ක ආවේ.
හ්ම්...
සාමිවරයා පෙර ලෙසම විදුලි පහනට අත තිබ්බා. ඉන්පසු ටික වෙලාවකින් ගැහෙන්න පටන් ගත්තා. මේ සියල්ල සිදුවන විට අන්ධයා මුහුණ හරවන් හිටියෙ සාමිවරයා දෙස.
ම් ම්... විනීතා නේද...
එහෙමයි එහෙමයි සාමි.
ඇවිත් ඉන්නෙ පවුලෙ ඥාතියකු ගැන දැන ගන්න.
ඔව් සාමි. මගේ පුතා මෑතකදි ඇක්සිඩන්ට් එකකින් නැති වුනා..
අම්මා... අනේ අම්මා.. මට මෙතන ඉන්න බයයි අම්මා.. මාව ඉක්මනින් මෙතැනින් අරන් යන්න අම්මා..
සාමි අඬනවා. අම්මා අර අන්ධයා දිහා බල බලා අඬනවා. ටික වෙලාවක් යද්දි මෙන්න සාමිතුමා ඇඹරෙන්න පටන් ගත්තා. ඔහු දැනන් සිටියෙ නැහැ, ඔහු ඉදිරියේ සිටින අඳ පුද්ගලයා යන්ත්‍රයක් ක්‍රියාකරවීම නිසා එය සිදුවන බව. ඔව් ඒ අන්ධ තැනැත්තා අධි තාක්ෂණික උපකරණ වලින් සැරසී සිටි අයෙක් බව සාමිවරයාගෙ විදුලි බල්බයට අසු වූයේ නැහැ. ඔහුගේ අතේ තිබූ යන්ත්‍රයකට හැකියාව තිබුනා රේඩියෝ තරංග වල ශක්තිය අඩුවැඩි කරන්න. ඒ වගේම තමයි ඔහු පැළඳ සිටි කළු පැහැ අව් කණ්ණාඩියට සවි කර තිබූ කැමරාවෙන් සහ මයික්‍රෆෝනයෙන් ඔහු ඉදිරිපිට සිදුවන දේ ඒ මොහොතේම සාමාජිකයන් 10,000 කට වැඩි පිරිසක් සම්බන්ධ යූ ටියුබ් චැනලයක සජීවීව විකාශනය වෙමින් පැවතුනා.
අන්ධයා වාඩි වී සිටි අසුනෙන් නැගිටින විට දුරකථන ක්‍රියාකරවන්නියගේ ඇස් ලොවි ගෙඩි මෙන් පිම්බුනේ කුමක් හෝ නරක දෙයක් සිදුවීමට යන බව තේරුම් යාම නිසා. ඔහු සාමිවරයා ඉදිරියට පැමිණ ඔහුගේ කනේ සඟවාගෙන සිටි බ්ලූටූත් ස්පීකරය එළියට ඇද දැමුවා. එයින් සාමිවරයාට යම් සැනසුමක් ගෙනාවත් ඔහුට තමන් කළ වංචාව අසුවීම ගැන බියක් දැනුනා. ස්පීකරය මේසයට විසිකල අන්ධ පුද්ගලයා ඉන් පසු ගමන් කලේ "පූජා වස්තු කාමරය. දේවාලයේ සේවකයන්ට පමණයි." ලෙසින් දැන්වීමක් ගසා තිබූ කාමරයට. පා පහරකින් එහි දොර විවෘත කල ඔහු කාමරයට ඇතුල් වන විට එහි සිටි තරුණයින් කීප දෙනා තුෂ්ණිම්භූතව නැගිට්ටා. ඒ ක්ෂණයෙන් ම පැලැඳ සිටි අව්කණ්නාඩිය ගලවා ගත් ඔහු සජීවී විකාශයට එක්වුනා.
පේනවාද ඔබට මොවුන්ගේ වංචාව. ඔබලාගේ දුක් පීඩා තමයි මොවුන්ගේ වංචාවට මාධ්‍යය වෙන්නෙ. මුලින්ම මොවුන් ඔබෙන් මුදල් ලබා ගෙන ඒ ගමන් ම ඔබව හඳුනාගත හැකි විස්තර ද ලබා ගන්නවා. ඒ අනුව මේ කණ්ඩායම ඔබ ගැන එකතු කළ හැකි හැම තොරතුරක් ම එකතු කරනවා. ඒකයි මොවුන් ඔබ හමුවීමට දිනයක් දෙන්නෙ. ඒ විස්තර සොයාගත් පසුව තමයි ඔබව හමුවෙන්නෙ. පේනවා නේ ද මුහුණු වසා ගෙන සිටින ආකාරය දැන්. තවත් මෙවැනි වංචාකරුවන්ට හසු නොවන්න මෙයින් ඔබට උත්තේජනයක් ලැබේවා යැයි ඔබෙන් සමුගන්නා මා අර්ජුන.
මනෝවෛද්‍ය අර්ජුන තිලකරත්න. කීර්තිමත් මනෝවෛද්‍යවරයෙක්. හොල්මන් අවතාර නැත්නම් ගුප්ත විද්‍යා පෙන්වමින් මිනිසුන් මුලා කර මුදල් උපයන්නන්ගේ නිරුවත ලොවට අනාවරණය කිරීමේ කටයුත්ත ඔහුගේ විනෝදාංශය වුනා.

