හෙජින්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හෙජින් ගිවිසුම ගැන දැන් කතා නැත්තේ ඇයි?

    හෙජින් ගිවිසුම ගැන තිබුණු සියලු කතා එක්‌වරම නැවතුනි. මේ ඇයි දැයි ජනතාව දන්නවාද? මීට මසකට පමණ පෙර බ්‍රිතාන්‍යයේ වානිජ මහා අධිකරණයෙන් ස්‌ටෑන්ඩඩ් චාටඩ් බැංකුව ගොනුකර තිබුණු නඩුවකින් ලංකාව හෙජින් ගනුදෙනුව සඳහා එම බැංකුවට ඩොලර් මිලියන 163 ක පමණ මුදලක්‌ ගෙවිය යුතු යෑයි තීන්දුවීමෙන් මුළු රට තුළම මහත් කලබැගෑනියක්‌ හටගත් බව කාටත් මතක ඇතුවාට සැකයක්‌ නැත. විපක්‍ෂ නායකතුමාම පාර්ලිමේන්තුව තුළ කියා සිටියේ හෙජින් ගනුදෙනුවට තවත් බැංකු දෙකක්‌ සම්බන්ධ බවත් එකී බැංකු දෙකටත් මෙවැනිම මුදල් ප්‍රමාණයක්‌ ගෙවීමට සිදුවීමෙන් අවසානයේදී ඩොලර් මිලියන 500 කට අධික මුදලක්‌ ලංකාවට නැතිවීමට ඉඩ ඇති බවත්ය. ඒ කී දේ අනුව මේ වන විට ලංකාව බංකොලොත් තත්ත්වයට පත්ව තිබිය යුතුය. නමුත් අද හෙජින් ගනුදෙනුව ගැන කොයි පැත්තකින්වත් කිසිම හාවක්‌ හූවක්‌ නැත. එවැන්නක්‌ කිසිදාක නොතිබුණා සේය.

    මේ නිහැඬියාවට හේතුව පසුගිය මස බ්‍රිතාන්‍ය වානිජ මහ අධිකරණයක්‌ විසින් ස්‌ටෑන්ඩඩ් චාටඩ් බැංකුවට ලබාදුන් නඩු තීන්දුවට පසුව ඇමරිකාවේ සිටි බෑන්ක්‌ නමැති බැංකුව ද, ලංකාවට එරෙහිව ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවියේ ගොනුකර තිබූ තවත් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කිරීමයි. සිටි බෑන්ක්‌ බැංකුව ද ලංකාවේ හෙජින් ගනුදෙනුවට සම්බන්ධ වී ස්‌ටෑන්ඩඩ් චාටඩ් බැංකුවටත් වඩා විශාල මුදලක්‌ ඉල්ලා සිටි බැංකුවකි. ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවියේ සිටි බෑන්ක්‌ බැංකුව විසින් ගොනු කරන ලද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී ස්‌ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සිටි බෑන්ක්‌ බැංකුවට මහත් රුකලක්‌ විය. ඔවුන් කළේ ස්‌ටෑන්ඩඩ් චාටඩ් බැංකුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වානිජ මහා අධිකරණය දුන් නඩු තීන්දුවේ පිටපතක්‌ ලබාගෙන එය තමන්ගේ නඩුව අසන ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවියට ඉදිරිපත්කොට තමන් සමගින් මෙකී ගනුදෙනුවට සහභාගි වී සිටි ස්‌ටෑන්ඩඩ් චාටඩ් බැංකුවට බ්‍රිතාන්‍ය වානිජ මහ අධිකරණයෙන් ලැබුණේ මෙවන් තීන්දුවක්‌ බවත් ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් අධිකරණය විසින් තමන්ගේ නඩුව සම්බන්ධයෙන් ද එවැනි තීන්දුවක්‌ ලබාදිය යුතු බවයි. ස්‌ටෑන්ඩඩ් චාටඩ් බැංකු නඩු තීන්දුවට සමාන තීන්දුවක්‌ තමන්ට ලබානොදෙන්නේ නම් එයට හේතු මොනවාදැයි තමාට දැන ගැනීමට අවශ්‍ය බවද ඔවුන් කියා සිටියේය.

    නමුත් සිදුවූයේ සම්පූර්ණයෙන්ම අනපේක්‍ෂිත දෙයකි. ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවිය කළේ ස්‌ටෑන්ඩඩ් චාටඩ් නඩු තීන්දුව ද ඉතා හොඳින් කියවා බලා සියලු කරුණු සැලකිල්ලට ගෙන ලංකා ආණ්‌ඩුව විසින් සිටි බෑන්ක්‌ බැංකුවට සත පහක්‌වත් නොදිය යුතු යෑයි තීන්දු කිරීමයි. අද හෙජින් ගනුදෙනුව ගැන එක වචනයක්‌වත් අසන්නට නොලැබෙන්නේ මෙන්න මේ කාරණය නිසාය.

    මේ තරම් රැඩිකල් ආකාරයට තත්ත්වය වෙනස්‌ වුණේ මන්දැයි ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවිය විසින් සිටි බෑන්ක්‌ බැංකුවට ලබාදුන් නඩු තීන්දුව කියවීමෙන් පැහැදිලි වෙයි. සිටි බෑන්ක්‌ බැංකුව මෙකී නඩුව ගොනු කරමින් ලංකා ආණ්‌ඩුවෙන් ඩොලර් මිලියන 195 ක මුදලක්‌ ඉල්ලා සිටියේය. ලංකා ආණ්‌ඩුව විසින් එයට ප්‍රතිචාර වශයෙන් පවසා සිටියේ මෙකී හෙජින් ගනුදෙනුව අයථා ගනුදෙනුවක්‌ නිසා උසාවිය විසින් එය බල රහිත කළ යුතු බවයි. නඩුවේදී හෙළිවූ කරුණු අනුව 2006 මැද දී පමණ ආණ්‌ඩුව විසින් පත් කරන ලද විමර්ශන කණ්‌ඩායමක්‌ විසින් තෙල් මිල නොකඩවාම ඉහළ යන නිසා ඛනිජ තෙල් සංස්‌ථාව තම මිලදී ගැනීම් සම්බන්ධයෙන් "හෙජින්" ගනුදෙනුවකට ඇතුළු විය යුතු බව නිර්දේශ කර තිබිණි. ඔවුන් නිර්දේශ කර තිබුණේ "සීරෝ කොසට්‌ කොලර්" නමැති හෙජින් ක්‍රමය මෙයට උපයෝගී කරගත යුතු බවයි. 2007 ජනවාරි මාසයේදී මෙකී හෙජින් නිර්දේශයට කැබිනට්‌ අනුමැතිය ද ලැබිණි. සීරෝ කොස්‌ට්‌ කොලර් නමැති හෙජින් ක්‍රමයට අනුව සිදුවන්නේ මිල එක්‌තරා ප්‍රමාණයකට වඩා වැඩි වුවහොත් බැංකුව විසින් එකී සීමාවත් වෙළෙඳපොළේ මිලත් අතර මුදල් ප්‍රමාණය ආණ්‌ඩුවට ලබාදීමයි. මිල පහළ ගියහොත් එක්‌තරා සීමාවකට පහළින් වෙළෙඳපොළේ මිලත් හෙජින් ගනුදෙනුවේ පහළ සීමාවත් අතර මුදල ආණ්‌ඩුව විසින් බැංකුවට ගෙවිය යුතුය. මෙයින් සිදුවන්නේ මිල පහළ බසින විට බැංකුවට වාසිය ලැබීමත් මිල ඉහළ යන විට ආණ්‌ඩුවට වාසි ලැබීමත්ය. ඉන් පසුව ලංකාවේ පාරිභෝගිකයන්ට එක්‌තරා ස්‌ථාවර මිලකට දිගටම තෙල් නිෂ්පාදන ලැබෙයි. මෙවැනි ගනුදෙනුවක්‌ දෙපාර්ශ්වයටම උරචක්‍ර මාලයක්‌ නොවීම සඳහා මෙකී ගනුදෙනුව ක්‍රියාත්මක වෙන පරාසයක්‌ ද තීරණය වෙයි. එනම් ගිවිසුමේ සඳහන් ඉහළ සීමාවට ඉහළින් තවත් සීමාවක්‌ නිර්ණය කෙරේ. ඒ දෙවන සීමාව ඉක්‌මවූ විට ගනුදෙනුව ඉබේම ක්‍රියා විරහිත වෙයි. ගිවිසුමේ පහළ සීමාව සම්බන්ධයෙන් ද ඊටත් පහළින් තවත් සීමාවක්‌ නිර්ණය වෙයි. ඒ සීමාවටත් පහළින් වෙළෙඳපොළ මිල ගියහොත් නැවතත් ගිවිසුම ක්‍රියාවිරහිත වෙයි. උස කුළුණක මහත පීත්ත පටි දෙකක්‌ බැඳ තිබෙනවා සේය. ගිවිසුම ක්‍රියාත්මක වන්නේ සැබෑ වෙළෙඳපොළ මිල එකී පීත්ත පටි දෙක තුළ තිබෙන තාක්‌කල් පමණි. එම නිසා මිල ඉහළ යන විට කෙලවරක්‌ නැතුව බැංකුව විසින් ආණ්‌ඩුවට මුදල් ගෙවීමත් මිල පහළ යන විට කෙළවරක්‌ නැතුව ආණ්‌ඩුව විසින් බැංකුවට මුදල් ගෙවීමත් සිදුවන්නේ නැත. ගිවිසුම ක්‍රියාත්මක වන්නේ එක්‌තරා සාධාරණ පරාසයක්‌ තුළ පමණි. මෙවැනි ගිවිසුම් ඇති කරගන්නේ එක්‌ පාර්ශ්වයක්‌ විසින් අනෙක්‌ පාර්ශ්වය අනුභව කොට ඉවර කිරීමට නොවන බව මතක තබාගත යුතුය.

    ලංකා ආණ්‌ඩුවෙන් අවසර ලැබී තිබුණේ මෙකී සීරෝ කොස්‌ට්‌ කොලර් නමැති හෙජින් ක්‍රමය සඳහා පමණක්‌ වුවද බැංකුව විසින් ඛනිජ තෙල් සංස්‌ථාවට ලබාදී තිබුණේ ඊට හාත්පසින්ම වෙනස්‌ දෙයකි. බැංකු සමග මෙවැනි ගිවිසුමක්‌ අත්සන් කිරීමට ඛනිජ තෙල් සංස්‌ථාවේ නිලධාරීන්ට ලැබුණේ මොනවාද යන්න ගැන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ද එකී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන විට ඔවුන් බැංකුවල වියදමින් රට සවාරි ගිය බව පිළිගෙන තිබිණි. කෝප් කමිටුවේදී කියවුණේ එපමණක්‌ වුවද ආණ්‌ඩුව විසින් කරන ලද පරීක්‍ෂණයේදී ඊට වඩා තොරතුරු හෙළි විය. ආණ්‌ඩුව ඒ තොරතුරු ද ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවියට ඉදිරිපත් කරමින් තර්කකර සිටියේ බැංකුවක්‌ විසින් ගනුදෙනුකරුවකු සමග කටයුතු කරන විට එකී ගනුදෙනුකරුවාට නිවැරැදි උපදෙස්‌ ලබාදීමට බැඳී සිටියද මෙතැනදී සිදුවී තිබෙන්නේ තෑගි බෝග ලබාදී හොඳහැටි ගොනාට අන්දා ලංකාවට අතිශයින්ම අවාසි ගිවිසුමකට අත්සන් ගැනීමයි. ආණ්‌ඩුව තර්ක කර සිටියේ මේ එකක්‌වත් හෙජින් ගනුදෙනුවක්‌ නොවන බවයි. හෙජින් ගනුදෙනුවක මූලික ලක්‍ෂණය වන්නේ මිල උච්චාවචනයවීමෙන් ආරක්‍ෂාව ලබාදීම බවත් සිටි බෑන්ක්‌ බැංකුව එළඹී තිබුණු ගිවිසුම්වලින් එවැන්නක්‌ කොහොමත්ම සිදු නොවන බවත්ය. මේ ආකාරයේ ගනුදෙනුවලට එළඹීමට ඛනිජ තෙල් සංස්‌ථාවට ද නීතිමය හැකියාවක්‌ නැති බවත් ආණ්‌ඩුව විසින් පෙන්වාදී තිබේ.

    එතකොට මෙය අත්සන් කළේ කුමටදැයි අයෙක්‌ අසනු ඇත. සිටි බෑන්ක්‌ බැංකුව විසින් තෙල් සංස්‌ථාවට ලබාදී තිබුණේ සීරෝ කොස්‌ට්‌ කොලර් හෙජින් ගිවිසුමක්‌ නොව, "සීගල්, නොකවුට්‌, ටාන්, ඉන් ද මනි" නමැති අංග සහිත "ලෙවරේඡ්" කරන ලද "සින්තෙටික්‌ ලෝං පොසිෂන්" යන නමින් හැඳින්විය හැකි විකාර ස්‌වරූපී ගිවිසුමකි. 2008-2009 අවුරුදු වලදී ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක්‌ ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටුණේ ඒ රටවල බැංකු විසින් මෙවැනි විනාශකාරී මූල්‍යමය ගිවිසුම්වලට එළැඹීම නිසාය. දියුණු රටවල් ගණනාවක්‌ම ප්‍රපාතයට ඇද දැමූ මෙකී "ඩෙරිවේටිව්" ගිවිසුම් පිළිබඳව ලංකාවේ ජනතාවට අත්දැකීමට ලැබෙන්නේ මේ ගනුදෙනුව තුළිනි. සිටි බෑන්ක්‌ බැංකුව සමග අත්සන් කරන ලද අදාළ ගිවිසුම් දෙක 2008 ජුනි ජූලි සිට අවුරුද්දක කාලයට වලංගු විය. මේ ගිවිසුම් යටතේ ගෙන්විය හැකි මුළු තෙල් ප්‍රමාණය බැරල් 205,000 ක්‌ විය. ගිවිසුමට අනුව සිදුවන්නේ එය අත්සන් කළ දින සිටම බැංකුව විසින් ඛනිජ තෙල් සංස්‌ථාවට ගෙන්වන හැම බැරලයකටම ඩොලර් 5 ක මුදලක්‌ ගෙවීමයි. වෙළෙඳපොළ මිල එක්‌තරා සීමාවකට වඩා වැඩියෙන් පවතින තාක්‌ කල් ලංකාවට මෙම ඩොලර් 5 ලැබේ. වෙළෙඳපොළ මිල කොපමණ ඉහළ ගියත් ලැබෙන්නේ ඩොලර් 5 ක්‌ම පමණි. එපමණක්‌ ද නොව එක මාසයකදී මේ ආකාරයට ලබාගත හැකි මුදල ඩොලර් 150,000 කට සීමා විය. බැංකුව විසින් මෙකී ගනුදෙනුව සඳහා ලංකාවට ඩොලර් මිලියන 3 ක මුදලක්‌ ගෙවා අවසන් වූ පසු මුළු ගිවිසුමම එතැනින් ක්‍රියාවිරහිත වෙයි. ඒ අනුව ආණ්‌ඩුවට වාසිදායකම තත්ත්වයකදී වුවත් ලබාගත හැකි උපරිම මුදල ඩොලර් මිලියන 3 ක්‌ වෙයි.

    නමුත් සිටි බෑන්ක්‌ බැංකුව විසින් ලංකා ආණ්‌ඩුවෙන් තමන්ට අයවිය යුතු යෑයි ඉල්ලා සිටි මුදල ඩොලර් මිලියන 195 කි. මේ මොන ගනුදෙනුවක්‌ දැයි ඕනෑම කෙනෙක්‌ මවිත වනු ඇත. මෙහිදී සිදුවී ඇත්තේ මිල ඉහළ තත්ත්වයක පවතින විට බැරලයකට ඩොලර් 5 ක මුදලක්‌ ලබාදීම සඳහා, මිල යම්හෙයකින් පහළ ගියහොත් අදාළ සීමාවට පහළින් එකී මිල ගණන් දෙගුණකොට බැංකුවට ගෙවිය යුතු බවට කොන්දේසි තිබීමයි. එසේ ගණන් බැලුවොත් ඩොලර් මිලියන 195 ක්‌ සෑදෙන්නේ නැත. සිටි බෑන්ක්‌ බැංකුව විසින් ලංකාවෙන් ඉල්ලා සිටි මුළු මුදල කොටස්‌ 2 කට බෙදිය හැක. ඉන් ඩොලර් මිලියන 21 ක්‌ ගිවිසුම ප්‍රකාරව ඔවුන්ට ලැබිය යුතු මුදලයි. ඩොලර් මිලියන 172 ක්‌ වන්නේ මහ බැංකුවේ නියමය පරිදි මෙකී ගිවිසුම් අත්හිටුවීම නිසා තමන්ට සිදුවූවා යෑයි කියන පාඩුව මඟහරවා ගැනීමට සිටි බැංකුව විසින් ඉල්ලා සිටි වන්දි මුදලයි. ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවිය විසින් මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දුව වූයේ සිටි බෑන්ක්‌ බැංකුව විසින් එළඹෙන ලද මේ ගිවිසුම් හෙජින් ගිවිසුම් නොවන බවයි. එකී ගිවිසුම් සමපේක්‍ෂණ නැතිනම් සූදුවකට සමාන ගිවිසුමක්‌ බවත්ය. නීතියට අනුව ඛනිජ තෙල් සංස්‌ථාවට හෙජින් ගිවිසුමකට ඇතුළුවීමට හැකියාව තිබුණත් මෙවැනි සමපේක්‍ෂණ ගිවිසුමකට ඇතුළුවීමට ඔවුන්ට නෛතික බලයක්‌ නැති බවයි.

    මෙහිදී ඇත්තටම සිදුවී තිබුණේ මිල ඉහළ තිබෙන තාක්‌ කල් බැංකුව විසින් තෙල් සංස්‌ථාවට ඉතාමත්ම සුළු මුදලක්‌ ලබාදීමත් මිල පහළ ගියවිට ඉතා විශාල මුදලක්‌ තෙල් සංස්‌ථාව විසින් බැංකුවට ගෙවිය යුතු වන ආකාරයේ මර උගුලක්‌ අටවා තිබීමය.

    ලන්ඩන් ජාත්‍යන්නර ආබිටේ්‍රශන් උසාවිය විසින් දුන් තීන්දුව වූයේ මෙතෙක්‌ බැංකු විසින් ආණ්‌ඩුවට ගෙවා ඇති මුළු ගණනත් ආණ්‌ඩුව විසින් බැංකුවට ගෙවා ඇති මුළු ගණනත් එකිනෙකාට ආපසු දී මේ ගනුදෙනුව සිදු නොවුණ සේ සලකා කාරණය අවසන් කළ යුතු බවය. මෙකී හෙජින් නොවන ගනුදෙනුව සම්බන්ධයෙන් සමස්‌ත විපක්‍ෂය ගත් ස්‌ථාවරය ප්‍රශ්න සහගත බව කිව යුතුය. මෙකී ගනුදෙනුව ඇති කිරීමේදී අයථා ලෙස තෑගි බෝග ලබාදීම් සිදුවූ බවත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව තුළ හෙළිවී තිබුණත් විපක්‍ෂය මෙතැන අයථා ගනුදෙනුවක්‌ සිදුවී තිබෙන කාරණය පසුපස පැන්නුවේ නැත. ඔවුන් සෑමදාම කතා කළේ මෙකී විදේශ බැංකු හරිය යන ස්‌ථාවරයේ සිටය. ඔවුන් සිටියේ ආණ්‌ඩුවට මේ හෙජින් ගනුදෙනුවට සම්බන්ධ බැංකුවලට ඩොලර් මිලියන 500 කට වඩා දීමට සිදුවනු දැකීමටය. එවිට ආණ්‌ඩුව බංකොලොත්වී තමන්ගේ දේශපාලනයට එය මහත් රුකුලක්‌ වන නිසාය. යුද්ධයේදී පමණක්‌ නොව මේ මුදල් ගනුදෙනුවලදී ද ඔවුන් දරා ඇත්තේ ජාතියට එරෙහි ස්‌ථාවරයකි. ඔවුන් කළ යුතුව තිබුණේ ආණ්‌ඩුවේ නිලධාරීන්ට අල්ලස්‌ ලබාදී මෙවැනි ගිවිසුම් අත්සන් කරවා ගන්නා කූට විදේශීය බැංකුවලට එරෙහිව හඬ නැඟීමය. නමුත් එවැනි කිසිවක්‌ ඔවුන් කළේ නැත. මෙවැන්නකට අත්සන් තැබූ නිලධාරීන්ට එරෙහිව වත් ඔවුන් හඬ නැඟුවේ නැත. ඔවුන් කීවේ බැංකුත් හරි, නිලධාරීනුත් හරි, ගනුදෙනුවත් නීත්‍යනුකූලයි, වැරදි ආණ්‌ඩුව බවයි. මේ කාරණා ගැන විපක්‍ෂය තවදුරටත් ගැඹුරින් කල්පනා කර බැලිය යුතුයි.

    සී. ඒ. චන්ද්‍රප්‍රේම
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ලංකාව, ආසියාවේ ආශ්චර්ය බවට කෙසේ වෙතත් දූෂණය වංචාව අතින් ඉහළට ම ගිය හා නීතියක් සදාචාරයක් නැති රටක් විදියට ආසියාවේ එකට පැමිණෙමින් සිටින බවනම් කිව හැකිය. හෙජින් ගනුදෙනුව යනු ඒ නිරුවත හොඳින්ම හෙළි වන්නකි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ කරුණු දැක්වීමට අනුව මේ නිසා රටට ගෙවන්නට සිදුවන වන්දිය රුපියල් කෝටි 5000 ඉක්මවනු ඇත. රටේ සියලූම රෝහල් වලට බෙහෙත් සැපයීමට හා අනෙකුත් පහසුකම් සැපයීමට වර්ෂයකට වැයකරන්නේ රුපියල් කෝටි 1100 ක් වීමත් සමෘධි සහනාධාරය වෙනුවෙන් වැයකරන්නේ රුපියල් කෝටි 900 ක් වීමත් පමණක් ගැන සලකන විට වුවද හෙජින් ගනුදෙනුවෙන් රටට අහිමි වන මුදල මොන තරම් විශාල ද යන්න තේරුම් යනු ඇත.

    රට අර්බුදයෙන් අර්බුදයට ම යවන මෙම මුදල් නාස්තිය හිතා මතාම කළ වරදක් නිසා ඇති වූවක් බව එකී ගනුදෙනුව ආරම්භයේ පටන් ඊට වගකිව යුතු දේශපාලනඥයන් හා රාජ්‍ය නිළධාරීන් හැසිරී ඇති ‘තමන් සියල්ලම දනනවා’ යැයි අඟවන උද්ධච්ච භාවයෙන් ම පෙනී යයි. භයානකම කාරණය වන්නේ මේ වන්දිය පොදුවේ රට මත පටවා අත පිහදා ගන්නා මේ රාජ්‍ය තන්ත‍්‍රය, හෙටත් අළුතින් එවැනි දූෂණයකට නිරුපද්‍රිතව යොමු වීමට ඇති ඉඩ අවස්ථාවයි. බාල පෙට්ට‍්‍රල් ගෙන්වා වාහන හිමියන්ට හා ඉන්ධන හල් වෙත විශාල අලාභයක් කළ පසුව ඊට කිසිදු වන්දියක්, පාඩුව විඳ ගත් පොදු ජනතාවට නොගෙවා හා ඒ ගැන නැෙඟන විරෝධය මැකී යන්නත් මත්තෙන් තවත් ඞීසල් තොගයක් පෙර ලෙසින් ම ඇණවුම් කිරීම මේ සිදුවීම් වල අශිලාචාර ස්වභාවය පැහැදිළි කරන තවත් පුංචිම නිදසුනකි. මෙවැනි දේ ගැන නිදා වැටෙන ‘පොදු ජන හඬ’ ඇහැරවන්නට දේශපානව හෝ මාධ්‍ය මඟින් ස්වාර්ථයෙන් (තම පෞද්ගලික අරමුණු වලින්) යන්තම්වත් අත්මිදුණු පියවරකට නොයාම ලංකාවේ දැන් දකින්නට ඇති ලොකුම වංචාව වේ. විශේෂයෙන්ම මෙරට ජන මාධය මූලිකව ම තම වගකීම පසෙක ලා ඇති නිසා මේ රාජ්‍ය තන්ත‍්‍රය එවැනි දේ පුන පුනාම කරන්නට කිසි විටෙක බිය නොවෙනු අත.

    ලෝක වෙළඳපොළේ තේල්මිල ලාභ වන විටත් මෙරට පාරිභෝගිකයාට වැඩිපුර මුදලක් තෙල් සඳහා ගෙවන්නට සිදුවීම හෙජින් ගනුදෙනුව නිසා සිදුවූ අසාධාරණයක් බව පවසමින් ඊට විසඳුමක් ඉල්ලා සාමාන්‍ය රටවැසියන් ලෙස පුද්ගලයන් දෙදෙනකු ශ්‍රේෂඨාධිකරණයේ නඩුවක් ගොනු කළහ. එවකට සිටි ශේ‍්‍රෂ්ඨාධිකරණ විනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ල එකී පැමිණිල්ල ගැන විමසා බලා පෙට්ට‍්‍රල් ලීටරය රුපියල් 100 දක්වා අඩු කරන ලෙසත් හෙජින් ගනුදෙනුව නැවත සමාලෝචනය කරන ලෙසත් තීන්දු කෙරිණි. එහෙත් රජය එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා හැරියේය. රජයේ ඒ ස්ථාවරය ද පසුව අදාළ විදේශ බැංකු සඳහා දැන් නියමව ඇති වන්දිය හෙවත් විශාල මුදල් කන්දරාව නිරපරාදේ ගෙවන්නට සිදුවීම කෙරෙහි බල පෑ බව පැවසේ. රාජ්‍ය තන්ත‍්‍රයට මෙහිදී සිදු වූයේ අත්වැරද්දක් නොවන බව පසුව වූ සිදුවීම් සියලල සාක්‍ෂි දරයි. ලංකාවෙන් වන්දි ඉල්ලා අධිකරණය වෙත ගිය පළමු විදේශ බැංකුව, නඩුවෙන් නියම කෙරුණු වන්දි මුදලට වඩා ඉතා අඩු මුදලකින් සිද්ධිය සමථයකට පත්කරන්නට වූ එකඟවීම මේ රාජ්‍ය තන්ත‍්‍රය විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීම ‘තමන්ට වරදින්නේ නැතැයි සිතන’ උද්ධච්ච භාවය ප‍්‍රකට කළ එක් අවස්ථාවකි.

    මේ ගැන මෑතකදී ප‍්‍රසිද්ධ දේශනයකදී කරුණු දැක්වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් නන්ද සිල්වා මහතා හෙජින් ගනුදෙනුවට සම්බන්ධ එවකට ඛණිජතෙල් නීතිගත සස්ථාවේ සිටි සභාපතිවරයාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන තමා අදාළ නඩු විභාගයේදී විමසා සිටියේ ඇයිදැයි පැහැදිළි කළේය. සරත් නන්ද සිල්වා මහතා එහිදී කරුණු දක්වමින් තම කාර්යාල කාර්ය සහයක හෙවත් පියංටත් තෙල් සංස්ථාවේ සභාපති වරයාට වඩා අධ්‍යාපන සුදුසුකම් තිබුණු බව පැවසීය. ඔහු එමඟින් අවධාරණය කළේ අර තරම් වගකීමක් දරන සංස්ථා සභාපතිවරයා සතුව රැුකියාවකට අවශ්‍ය මූලික අධයාපන සුදුසුකම පවා නොතිබීම ගැනයි. අපගේ අවධානයට මෙහිදී යොමු වන්නේ මෙන්න මේ අධ්‍යාපන සුදුසුකම කියන කාරණය ගැනය. දූෂණය වංචාව ඉහවහා ගිය නීතියක් සදාචාරයක් නැති රටක් බිහි කිරීම වෙනුවෙන් මෙරට අධ්‍යාපනය ද දායක වන අයුරු පෙන්වා දීමටය.

    ලංකාවේ අධ්‍යාපන ක‍්‍රියාවලිය සතු ප‍්‍රමුඛතා මොනවාද? ලියකියවිලි හෝ අණපනත් වල මොනවා තිබුණත් එහි අවසන් අරමුණ හෙවත් අධ්‍යාපනය ලබන්නාගේ අරමුණ අනෙකාව කෙසේ හෝ පරදා තමන්ට තැනක් දිනා ගැනීම වේ. හරිනම් රටේ අධ්‍යාපනයේ තේමාවත් ප‍්‍රමුඛතා සැකසීමත් පදනම් විය යුතු වන්නේ ‘අපට ලැබෙනවාට වඩා යමක් ආපහු දිය යුතුය’ යන හෘද සාක්‍ෂිය මතය. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූවාය කියන ජන සමාජයේ ඒ පරාර්ථය හොඳින්ම පිළිබිඹු විය යුතුය. එහෙත් මේ අධ්‍යාපන ක‍්‍රමය මුළුමනින්ම ක‍්‍රියාත්මක වන්නේ ‘අපේ එකාට තැන දීම’ හෝ ‘අනෙකාගේ අතේ ඇති දේ උදුරා ගැනීම’ පෙරදැරිවය. සියලූ දරුවන් වෛද්‍ය වරු බවට පත් කිරීම හෝ අඩුම තරමින් තම දරුවාට ජාතික පාසලක් දිනා ගැනීම යන තරගය හැරුණු විට අද නිදහස් අධ්‍යාපනය සතු හරය හෝ මදය කුමක්ද? ගම් දනව් කරා දෝරෙ ගැලූ නිදහස් අධ්‍යාපනය නිසා සාක්‍ෂරතාව අතින් ඉහළ අගයක් ගත්තාය කියන රටක් මේ සිදුවන මහපරිමාණ වංචා දූෂණ හමුවේ මේ තරම් අවිචාරවත් ලෙස නිදා වැටෙන්නේ ඇයි?

    තවමත් මෙරට අධ්‍යාපනයේ අග‍්‍ර ඵලය සේ සැලකෙන නීතිඥ හා වෛද්‍ය යන වෘත්තීන් දිහා බලන්න. කිසිදු හෘද සාක්‍ෂියක් නැති, අනෙකාව මොන විදියකින් හෝ ගසා කන කූට වෙළඳාමක තත්ත්වයට එකී වෘත්තීන් පත් වී නැතිද? හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් ලංකාවට ගෙවන්නට සිදුවන මුදල් කන්දරාව, අවශ්‍යනම් ගෙවිය හැකි බව බොහොම සැහැල්ලූවෙන් පවසන මුදල් අමාත්‍යංශයේ හෝ මහ භාණ්ඩාගාරයේ ‘ඉහළ මොල’ නිදහස් අධ්‍යාපනයේ ‘වටිනා ඵල’ නොවේද? අධ්‍යාපන සුදුසුකම් සහතික වලින් සපුරා ඇති මේ වෘත්තීන් හි නියැලෙන රජයේ වගකිව යුතු නිළ දරන්නන් නීති කැඞීමට දූෂණ වංචා කිරීමට පමණක් නොව ඒ අපරාධ නීත්‍යානුකූලව සැඟවීමට හෝ මඟ හැර යාමට එළි පිටම පුන පුනා හවුල්වන විදිය බලන විට, ඒ තැන්වල වැඩිපුරම සිටින්නේ නිදහස් අධ්‍යාපනය නිසා ගම්වලින් ආ පිරිස වීම සලකන විට හිතනවාට වඩා සංකීර්ණ ගැටළුවක් ලාංකික සමාජය සතු බව නොපෙනෙයිද? මේ අධ්‍යාපනය මඟින් උගන්වන්නේ දූෂණය හා වංචාව පමණක් ද කියා සිතන්නට සිදුවන්නේ නැතිද?

    ලංකාව සාක්‍ෂරතාව අතින් ඉහළ මට්ටමක් හිමි කර ගත්තේ නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵලයක් ලෙස විය යුතුය. ගමට විශ්වවිද්‍යාලයේ දොර ඇරුණේ නිදහස් අධ්‍යපනයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. ලිවීමේ කියවීමේ හැකියාව එලෙස දියුණු කර ගත් තරමට මේ උගතුන්ගෙන් රටට සමාජයට, රටක් විදියට ඉදිරියට යන්නට, ලැබුණු දායාදය කවරේද? හැටේ දශකයේදී ලංකාව හා සමානව ඇතැම් විට ලංකාවටත් වඩා අඩුමට්ටමක ඒක පුද්ගල ආදායම පෙන්වූ දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව යන ආසියාවේ ම රටවල් ආර්ථික සංවර්ධනය අතින් අද ලංකාවට වඩා ගව්ගණනක් ඉදිරියෙන් සිටී. ගමට ගලාගිය නිදහස් අධ්‍යාපනයෙන් උගතුන් වූ ලාංකික සමාජය මේ ගැන කියන්නේ මොනවාද? ඔය කියන ආර්ථික සංවර්ධනය සදාචාර සමාජයකට අහිතකරයැයි කියා නන්දොඩවන්නන් අද මේ රටේ සදාචාරය හා විනය නීතිය වැටී ඇති තැන ගැන කියන්නේ කුමක්ද?
    ප‍්‍රශන්යෙන් පලා යන්නට හෝ ඇඟ බේරා ගන්නට ආර්ථික සංවර්ධනය යන කරුණ හමුවේ නිතර මතු කෙරෙන්නේ ලංකාව බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටක් බවයි. එහෙත් අප කිසිවිටෙකත් අමතක නොකළ යුතු කාරණය වන්නේ 1977 දී විවෘත ආර්ථිකය මෙරටට එන්නට බොහෝ කලකට ඉහතදීත් ලාංකික සමාජය බෞද්ධ අල්පේච්චතාව අගය නොකළ බවයි. පන්සලෙන්නම් ඒ ආදර්ශය ලැබෙන්නේම නැත. බුද්ධාගම පළමුව උගන්වන්නේ පරාත්ථකාමයත් කෙලෙහිගුණ සැලකීමත්ය. රටේ සෑම පිරිහීමකට ම සෑම ආර්ථික පසුබෑමකටම මෑත කාලීන හේතුව වූ බව කී කොටි ත‍්‍රස්තවාදය නැතිකරන්නට මුල් වූ ජෙනරාල් ෆොන්සේකාට අත්කර දුන් අසාධාරණ ඉරණම සාධාරණීකරනය කරන්නේ මොන බෞද්ධ ඉගැන්වීමට අනුවද? දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කෙරුණු සමාජයකින් එහෙම හිතක් පපුවක් හෘද සාක්‍ෂියක් නැති කුහක වතක් පිළිබිඹු වන්නේ කෙසේද?

    ලංකාවට නිදහස් අධ්‍යාපනය ලාබුණාට පසුව, මේ අධ්‍යාපනය නිදහසේ ගමට දෝරෙ ගලා ගියාට පසුව, එහි ප‍්‍රතිඵලයක් ලෙස අමතක නොවන දේශපාලන පෙරළි දෙකක්නම් මේ රටේ සිදුවිණි. එකක් ‘56 දේශපාලන පෙරළියයි. අනෙක ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරල්ලයි. මේ දේශපාලන පෙරළි දෙකම හරයාත්මකව ගත් කල නියම බෞද්ධ සංස්කෘතියෙන් පිට පැන තිබුනු අතර ඒවා ලංකාවේ ඉදිරි ගමන සියවස් කිහිපයකින් ආපස්සට හැරවූ බව ආසු හැරී බලන විට පැහැදිළි වනු ඇත. ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවට ඇති ඓතිහාසික කුහකකම විසින් උසිගැන්වුණු හා කිරිපොවා හදා වැඩූ කොටි ත‍්‍රස්තවාදය ට මේ රටේ දී හොඳම ‘බෝල එසවීම’ කළේ මෙකී දේශපාලන පෙරළි විසින් බව පිළිගත යුතුය. නිදහස් අධ්‍යාපනය නැමති දොරටුවෙන් ගමෙන් එළියට එන ‘පනස් හයේ දරුවා’ ලාංකික සමාජයට ආවේනිකව තිබුණු ප‍්‍රචණ්ඩ මානසිකත්වයට එසේ නැතිනම් තම ස්වාර්ථයම හඹා යාමට අධ්‍යාපන සහතිකයක් ද නිදහස් අධ්‍යාපනය නාමයෙන් ලබා ගැනීම හැරුණු විට නිදහස් අධ්‍යාපනය නිසා මේ රටට සිදු වූ අබමලක යහපතක් නැත.

    මෙය මෙරට සංස්කෘතියේම ගති ස්වභාවය පෙන්නුම් කරන්නකි. මෙය දුර අතීතයට ඈඳෙන කාරණයකි. අනුරාධපුර යුගයට සාපේක්‍ෂව බැලූවොත් නීතිමය හා සදාචාරාමය අතින් රට අන්තයට ම වැටී තිබුණු නුවර යුගය, මෙම සාකච්ඡුාවේ පහසුව පිණිස සන්ධිස්ථානයක් ලෙස ගත හැකිය. එදා ඉංග‍්‍රීසීන් තමන්ගේ වුවමනාවට හා තම සංස්කෘතියට ගැලපෙන ලෙස මෙහි ගෙනා අධ්‍යාපනය, ඒ වුවමනාවන්ට හා ඒ සංස්කෘතියට ගැපලූණ අයට ලැබෙන වරප‍්‍රසාද, ඒ සැටියෙන්ම තමන් සතු කර ගැනීමේ නොතිත් අශාව ලාංකික සමාජයට (පන්සලට හා සිංහල සමාජයට) වැළඳීම මෙහිදී අමතක කළ යුතු නැත. පනහේ දශකය වන විට මෙරට සමාජය තුළ (ප‍්‍රභූ යැයි සම්මත අය අතර පමණක් නොව) නලියන දේශපාලන නිදහස හා අධ්‍යාපන නිදහස කුළුගැන්වෙන්නේ ‘අනෙකාගේ අතේ ඇති දේ ඩැහැ ගැනීම’, ‘අපේ එකාට තැන දීම’ මත මිස සුදුස්සාට සුදුසු තැන දීමට හෝ දේශපාලන නිදහස එසේ නැතිනම් අධ්‍යාපන නිදහස කුමක් සඳහා ද යන්න ගැන විචාරයක් ඇතිව නොවේ. රටේ ප‍්‍රමුඛතා හඳුනා ගත් හා රටට සමාජයට ආපිට යමක් දිය හැකි මදයක් හෝ හරයක් සහිත අධ්‍යාපන ක‍්‍රමයක් වෙනුවට, නිදහස් අධ්‍යාපනය නමින් විවෘත වන්නේ අනෙකාව පරදවන්නට ඇති වුවමනාව උසිගන්වන තරග බිමකි.

    ඞී. එස්. ගේ හරස් කැපීම් ද ඉවසා නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගන්නට ඉක්මන් කළ කන්නන්ගර මහතා ට මෙහිදී යම් දෙයක් වැරදුණි. ඔහු රටට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන්නේ රටේ හැම දෙනාම උගතුන් වුණොත් රට මොන තරම් ආශ්චර්යමත් තැනක්, ලාංකික සමාජය මොනතරම් වටිනා දෙයක් වේවිද කියන අහිංසක හා අවංක ප‍්‍රාර්ථනයක් ඇතිව විය හැකිය. එහෙත් ඔහුගේ අහිංසක හා අවංක ප‍්‍රාර්ථනාවට උචිත අහිංසක හා අවංක සමාජයක් ඒ වන විටත් රටේ ඉතිරිව නොතිබුණි. එදා කන්නන්ගර මහතාට මෙන්ම ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් ජේ. ආර්. ජයවර්ධන මහතාටත් මේ සම්බන්ධයෙන් වැරදුණු බව අපගේ හැඟීමයි. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන විටත් ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දෙන විටත් ඔවුන් මේ රටේ සංස්කෘතිය කෙරෙහි කිසියම් පූර්ව විශ්වාසයක් තැබූ බව පෙනේ. එනම් මේ රට ඇත්තටම බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වී පැවතුණාය කියා ඔවුන් පූර්ව නිගමනයක සිටි බව පෙනේ. ඊට අනුව ලෝකය දිහා විවෘතව දැකීමට, ලෝකයේ වටිනා දේ රටට ගලපා ගැනීමට, අනෙකාගේ භුක්ති විඳීම ඉවසීමට, තමන්ට ලැබෙනවාට වඩා යමක් ආපහු දීමට, හැකි ශක්තියක් වටිනාකමක් ඉතිරිව ඇති ලාංකික සමාජයක් ගැන මේ දෙදෙනාම විශ්වාස කරන්නට ඇත. එහෙත් නිදහස් අධ්‍යාපනය හා විවෘත ආර්ථිකය නැමති දොරටු ඇරෙන්නේ එහෙම විචාරශීලී සමාජයකට නොවේ. නිදහස් අධ්‍යාපනය අනෙකාව පෙළන්නට හෝ අනෙකා පරයන්නට ඇති ආයුදයක් කර ගන්නා ආත්මාර්ථයක් බවට පත්වන්නේත්, සමාජයේ මේ නිරුවත හෝ පිරිහීම විවෘත ආර්ථිකයට පවරා අත පිහදා ගන්නට කුහක වන්නේත් ඒ අවිචාරවත් බව නිසාය.

    ලංකාවේ අධ්‍යාපනය වැරදි මාර්ගයට වැටෙන්නේ ගිහියා අතේ පැවතිය යුතු ගිහි අධ්‍යාපනය පන්සලේ පිරිවෙන යටතට ගත් අවස්ථාවේ සිට බව සූරිය ගුණසේකර මහතා වරක් පැවසීය. ලෝකෝත්තර මාර්ගය ගත් භික්ෂූන් වහන්සේට ගැලපෙන පැවිදි අධ්‍යාපනය ලෞකික මාර්ගය ගත් ගිහියාගේ අධ්‍යාපනයට නොගැලපෙන බව ඔහුගේ තර්කය විය. ඒ කතාවට දේශපාලන නෑකම් කියන මෑත සංධිස්ථාන දෙකක් හැටියට ද 1956 දේශපාලන පෙරළිය හා 2005 දේශපාලන පෙරළිය දැක්විය හැකිය. සුදුස්සාට සුදුසු තැන නොව ‘අපේ එකාට තැන දීම’ දේශපාලනව සාධාරණීකරණය කිරීම ‘56 දී මහ පරිමාණයෙන් සිදු වෙයි. ‘56 යනු මේ රටේ ඉදිරි ගමන විශාල පසුබෑමකට ලක් කළ දේශපාලන කලබැගෑනියක් වන අතර එය පන්සලේ දේශපාලන මැදිහත්වීම ඉහළින්ම පෙන්වූ අවස්ථාවක් ද වෙයි. ඉතිහාස ගත හෙජින් දූෂණය අයිතිවාසිකම් කියන 2005 දේශපාලන පෙරළිය ද පන්සලේ දේශපාලන ආශිර්වාදය නොඅඩුව ලැබූවකි.

    1956 ට හා 2005 ට ආවේණික එක් පොදු ලක්‍ෂණයක් වන්නේ ඒවා නිකම්ම නිකන් දේශපාලන ජයග‍්‍රහණ නොව සංස්කෘතික ජයග‍්‍රහණ ලෙස ද පොදු සමාජයට පිළි ගන්වන්ට සලස්වා තිබීමයි. ඒ අතින් සිදුවන ඕනාම ¥ෂණයක් වංචාවක් වුවද රටම විකිණියන ගනුදෙනුවක් වුවද ‘අපේ එකෙක්ගේ වැඩක් නිසා’ නිහඬව ඉවසීමට සමාජය පුරුදු පුහුණු කර ඇත. මෙය පන්සලේ දේශපාලනය ද මුල්කර ගෙන ඇති වූ අවිචාරයකි. නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන විට නිදහසේ ඉගෙන ගන්නේ කවර විෂය කරුණුද යන්න කල්පනා නොකර, එය ලෝක ප‍්‍රවණතා තරණය කරන්නට හැකි යාත‍්‍රාවක් නොකර, අනෙකාව බියට පත් කරවන ආයුදයක් ලෙස පිළිගන්නට පෙළඹවීම ද ලාංකික සමාජයට කිඳා බැහැපු මේ අවිචාරයට හේතු වී තිබේ.

    හෙජින් ගනුදෙනුව රටට කළ පාඩුවට වගකීම පවරන විට ‘උගතෙක් හෝ සුදුස්සෙක් නොවුණට මොකද අපේ එකාට තැන දිය යුතුය’ යන පිළිවෙතට මෙන්ම අනෙකාගේ අතේ ඇති දේ උදුරා ගන්නට පමණක් දන්නා උද්දච්ච උගත් කමටත් එමෙන්ම ඒ සඳහා ලාංකික සමාජය ගම් මට්ටම දක්වාම පුරුදු පුහුණු කරන නිදහස් අධ්‍යාපනයටත් එකී වගකීම පැවරිය යුතුයි නේද?


    පිටපත : ලක්‍ෂමන් පියසේන
    …උපුටාගත්තේ : www.idakada.org