කොත්මලේ ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේදී විවිධ දෙවි දේවතාවුන් ගැනද සඳහන්ව තිබේ. ඇතැම් කතා ඉතා රසවත් හා සිත් ගන්නාසුලුය. ඒ අතරින් කතරගම දෙවිඳුන් හා හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය පිළිබඳ පුවතද රසවත් කතාවකි. ඒ අනුව හෙණකඳ බිසෝ බණ්ඩාර දේවියගේ උපත සිදුවී ඇත්තේද විස්මයජනක ලෙසටය.
හෙණකඳ බිසෝ බණ්ඩාර දේවියට එම නම ලැබී ඇති ආකාරය මෙසේය. ගම්පොළ රාජධානි කාලයේ බෙලිගල විහාරස්ථානයේ බෙලි ගසක අරුම පුදුම බෙලි ගෙඩියක් හටගෙන තිබිණි. එය අනෙක් බෙලිගෙඩිවලට වඩා විශාලත්වයෙන් හා දැකුම්කලු බවින් යුතු විය. දිනක් විහාරස්ථානයේ විසූ භික්ෂුන්වහන්සේ රාත්‍රියේ නින්දේදී අපූරු හීනයක් දැක්කේය. කිසියම් දූතයකු භික්ෂුන් වහන්සේ කරා පැමිණ කියා සිටියේ එම බෙලි ගෙඩිය තුළ පින්වන්ත දරුවකු සිටින බවත් එය විහාරයේ මල් ආසනය මත තබා පුද පූජා කළ යුතු බවත්ය. භික්ෂුන් වහන්සේ එම දූතයා කී ලෙසම බෙලි ගෙඩිය කඩාගෙන විත් මල් ආසනයෙහි තබා වතාවත් කළේය. දිනක් මධ්‍යම රාත්‍රියේ විහාරස්ථානය තුළින් විශාල ශබ්දයක් ඇසිණි. භික්ෂුන් වහන්සේ එහි ගොස් බලන විට බෙලි ගෙඩිය මහ හ¾ඩින් පුපුරා ගොස් එහි ලස්සන කුමරියක් සිටින බව දිටීය. පසුව ඒ බව ගම්වාසීන්ටද දන්වා එම බිලිඳිය රක්ෂා කිරීම සඳහා එක් ගෙදරකට භාරදුන්නේය. එසේ මහ හඬක් නංවා ලොව පහළ වූ නිසා ඇය හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය නම් වූවාය.
මෙසේ කලක් ගතවෙද්දී රූපශ්‍රීයෙන් අගතැන්ව දෙවඟනක මෙන් වූ ඇය විවාහ කර ගැනීම සඳහා රජවරුන්, මැති ඇමැතිවරුන් පැමිණ ඇත. එහෙත් ඇය විවාහ නොවී තනිව විසීමට අදහස් කොට ඇති නිසා එසේ පැමිණි සෑම අයකුටම භයානක රුදුරු අනතුරුවලට මුහුණදෙන්නට සිදුවී ඇත. ඒ ගැන සැලැවීමත් සමඟ ඇයට එල්ල වූ හිරිහැර පහව ගොස් තිබේ.
පසුව ඇය උඩුනුවර සින්දුරන් කන්දේ තම වාසභවනය කොටගෙන සිටි අතර, කතරගම දෙවියන් හා මිතුරුදමක් ඇතිකරගෙන නිතර ඇම්බැක්කේ දේවාලයට යන සිරිතක් ඇති විය. ඇම්බැක්කේ දේවාලයේ තිබූ අනඟි ඇත් දත් දෝලාවද එතුමිය විසින් භාවිත කරන ලද එකකි. මෙසේ කාලය ගතවී යද්දී කතරගම දෙවිඳුන්ගෙන් ඇතිවූ කරච්චලය නිසාම හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය සින්දුරන් කන්ද හැරදමා රහසින් පැමිණ කොත්මලේ මාවෙල පිහිටි හුන් බත්පත් බැමිලෙන නමැති ගල්ලෙනේ සැඟවී සිට ඇත. අනතුරුව එතුමිය කොත්මලේ මැද්දේගොඩ කැලෑව තුළ මාලිගාවක් සාදවා එහි හුදෙකලාව වාසය කළාය. එම ප්‍රදේශය පසුව මාලිගැත්න නමින් ප්‍රසිද්ධියට පත්විය.
හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය ආගමට දහමට ඉතා ගරු කළාය. ඒ නිසාම ඇය පුසුල්පිටිය විහාරයට නිතර යන්නට එන්නට වූවාය. එතුමිය මැද්දේගොඩ ඉදිකළ දේවාලය පසුව මැද්දේගොඩ පත්තිනි දේවාලය නම් විය. මැද්දේගොඩ පුරා පැතිරගිය දරුණු වසංගත රෝගයක් සුවකිරීම සඳහා කඩෙදාර පත්තිනි දේවාලේ වූ පත්තිනි සලඹ මැද්දේගොඩ දේවාලයට ගෙන ගොස් තිබේ. පසුව එම "සලඹ" කඩෙදාර දේවාලයට ආපසු නොදුන් නිසා කඩෙදාර පත්තිනි දේවාලය අභාවයට ගොස් තිබේ. මැදගොඩ පත්තිනි දේවාලේ ඉදිරිපිට තිබූ "මී අඹ ගස" හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය විසින් සිටුවන ලද එකක් බව පැවැසේ. ඇය විසින් මැද්දේගොඩ පත්තිනි දේවාලය සඳහා අමුණු නවයක ඉඩම් හා ගම් කොටස් හතරක් පූජා කරනු ලැබ ඇත.
හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය පිළිබඳ සොයා බැලූ කල කුමරු ඇය කොත්මලේ ප්‍රදේශයේ සිටින බව දැනී මොරපේ නම් ප්‍රදේශයට පැමිණ කැලයේ වූ කුඹුක් ගසක දිව්‍ය විමානයක් සාදාගෙන විසුවේය. එකල එක්තරා ඇමැතියෙක් වනයේ මුව දඩයමේ ගොස් සිටි අතර පැන යන මුවකුට දුන්නෙන් විද්දේය. ඊතලය මුවා මඟ හැර ගොස් අසල වූ කුඹුක් ගසේ ඇනී ගියේය. ඇමැතියා එම ඊය ගන්නට ගිය අවස්ථාවේ එම ගස දිව්‍ය විමානයක් බව දැනී අසල වූ ගසකින් මොර කඩා, විල් කොරහක දිය කපා කැන්ද කොළේ මෙන් වඩා, මොර පේ කොට පිදුවේය. පසුව රජ වාසලට ඒ බව දන්වා යවා රජතුමා විසින් එම ස්ථානයේ දේවාලයක් ඉදිකරන ලද්දේය. මොර පේ කොට පිදූ නිසා එම දේවාලය පසුව මොරපේ කතරගම දේවාලය නම් විය.
කෙසේ වෙතත් හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය කතරගම දෙවියන්ට හසු වූයේ නැත. ඇය මැද්දේගොඩ මාලිගාවේ සිටියදී වැලඳුණු වසංගත රෝගයක් හේතුවෙන් එහිදී කලුරිය කොට ඇත. ගම්වාසීන් ඇගේ සිරුර කහට කොටයකින් කපාගත් දෙනක බහා කොත්මලා ඔයේ පා කර හැර තිබේ.
එම කහට කොටය සපයා ගත් පෙදෙස පසු කාලයේ "කහටදෙණ" නම් ගමක් වී ඇත. කොත්මලා ඔයේ පාවෙමින් ගිය ඇගේ මෘත දේහය සහිත දෙන ගම්පොළ ප්‍රදේශයේ එක්තරා තැනකට ගොඩ ගසා ඇත. රජතුමා විසින් එම දෙන ගොඩගනු ලැබ ගුරු බුහුමන් සහිතව ආදාහනය කරන ලදී. දේහය ගොඩ ගැසූ එම ප්‍රදේශය වර්තමානයේ "කහටපිටිය" නමින් ගමක් ඇත. ඇයගේ ආදාහනය සිදුකළ ස්ථානයට ජනතාව පැමිණ ශෝකය පළ කළ නිසා එම ප්‍රදේශය "බෝතලාපිටිය" නම් වී තිබේ.
හෙණකඳ බිසෝ බණ්ඩාර දේවතාවිය කොත්මලේ පුරා සැරිසරමින් එම ප්‍රදේශය ආරක්ෂා කරන බව ගැමියන්ගේ මතය වී තිබේ. ඇතැම් උදවිය එතුමිය නමින් පහනක් දල්වා පුද පූජා පැවත්වීමටද අමතක නොකරති. හෙණකඳබිසෝ බණ්ඩාර දේවතාවිය කොත්මලේ මැද්දේගොඩ විසූ මාලිගාව සහ දේවාලය මේ වන විට කොත්මලේ ජලාශයට යටවී තිබේ.
