"ශිවා අවසන්වරට බන්ධනාගාර ගත උනේ 2022 ජුනි මස 3 වන දින. වෙනත් නඩුවක් පිළිබඳ වරද පිළිගත් ශිවාට දඩ මුදලක් පමණක් නියම විය. එය ගෙවීමට බිරිඳ ගිය අතරවාරයේ ශිවාව අලුත්කඩේ අධිකරණ භූමියේ පිහිටා ඇති පොලිස් මැදිරියට රැගෙන ගියේ ඇඟිලි සලකුණු ගන්න. නමුත් මෙතනදී ශිවා ආගිය අතක් සොයාගත් නොහැකි ලෙස අතුරුදහන් වෙනවා.
ශිවා සොයා පැමිණි බිරිඳට ඔහු පිළිබඳ කිසිඳු හොඩුවාවක් සොයාගැනීමට නොහැකි වුණා. ඉන්පසු ඇය ඔවුන්ගේ මෝටර්රථය තිබූ ස්ථානයට යන්නේ ඔහු රථයට හෝ ගොස් ඇතිදැයි විපරම් කිරීමටයි. නමුත් එහි යන බිරිඳව යම් පුද්ගලයෝ දෙදෙනෙක් බලෙන්ම වාහනයකට නග්ගගන්නවා ඔවුන් නාකොටික් නිලධාරීන් බව පවසමින්. එහිදී ඔවුන් බිරිඳට පවසනවා ඔවුන් විසින් ශිවාවත් පොලිස් මැදිරියේදී අත්අඩංගුවට ගත්ත බව.
ශිවා එසේ අත්අඩංගුවට පත් උනේ කිසිඳු මත්ද්‍රව්‍යයක් තමා සන්තකයේ නැතුවම අධිකරණයේ පෙනී සිටින්න අලුත්කඩේ අධිකරණ භූමියට ආපු අවස්ථාවක.
අත්අඩංගුවට ගත්ත ශිවාව මල්වත්ත වීදිය කෙළවරේ කාර් පාර්ක් එකට ගෙනියන නාකොටික් නිලධාරීන් දිගින් දිගටම ඔහුට පහර දෙමින් හෙරොයින් හංගලා තියෙන තැනක් ගැන අහනවා. නමුත් ඔහු එවන් කරුණක් දැනසිටියේ නෑ. හෙරොයින් සඳහා කිසිම සම්බන්ධයක් නොතිබූ ඔහු දිගින් දිගටම කිව්වේ ඔහු කිසිවක් නොදන්නා බවයි.
එම ස්ථානයට පැමිණි ඉහළ නාකොටික් නිලධාරියෙක් ද මේ ප්‍රශ්ණය විමසුවත් ඔහුටද ශිවාගෙන් ලැබුණේ එකම උත්තරය. එම ඉහළ නිලධාරියා ආපහු ගියේ හිස් අතින්. ගියේ හිස් අතින් උනාට ඔහු පැමිණ තිබුණේ හිස් අතින් නොවෙයි. එහෙම තමයි ශිවාට මත්ද්‍රව්‍ය හඳුන්වා දුන්නේ.
ශිවාගේ ගෙදර පවා පරීක්ෂා කරලා සැටලයිට් දුරකථනයක් සොයාගත්තත් ඔහුට විරුද්ධව කිසිඳු මත්ද්‍රව්‍ය පිළිබඳ හෝඩුවාවක් නාකොටික් එකට හොයාගන්න බැරි උනා.
නමුත් හිස් අතින් අලුත්කඩේ අධිකරණ භූමියේදී අත්අඩංගුවට පත් වෙච්ච ශිවාව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන්නේ හෙරොයින් කිලෝ ග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් එක්ක.
මේ කරුණු මහාධිකරණය වෙත දන්වා ඇප ඉල්ලුවත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා.
මේ අතරේ ශිවාගේ නඩුවේ ප්‍රධාන වැටලීම් නිලධාරියා කියන කෙනා සාක්ෂි ලබාදීම දින ගණන් විවිධ හේතු කියමින් මඟහැරිය. එබැවින් ශිවාට තවදුරටත් දීර්ඝ කාලයක් බන්ධනාගාරයේ ඉන්න උනා.
පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු අධිකරණයට පැමිණීම මග හරින්නේ නම් ඒ මතම වුවද ඇප ලබා දීමට බලය අතීතයේදී මහාධිකරණයට තිබුණි.
නමුත් 2023 සංශෝධනයෙන් පසුව ඇප බලය මහාධිකරණයෙන් ඉවත් කොට අභියාචනාධිකරණට ලබා දීම නිසාවෙන් සැකකරුවෙක්ට ඇප ලබා ගැනීම අතිශය දුෂ්කරය.
මෙම නීති සංශෝධනය නිසා මෙම විත්තිකරුගේ ජීවිතය අවදානමට ලක්වූයේ යැයි පෙනෙන්නට ඇත.
අඩි 5ක්වත් උස නැති ශිවා චණ්ඩියෙක් හෝ පාතාලයෙක් නොවේ. කණකට ඇහෙන්නවත් කතා කරන්නේ නෑ ඔහු.
ඔහු ගංජා විකිණීම ගැන ගරු අධිකරණය හමුවේ තමාගේ වරද පිළිගත් අයෙක් පමණයි. ඒ ඇරෙන්න ඔහුට හෙරොයින් සමඟ කිසිඳු සම්බන්ධයක් තිබුණේ නෑ.
2025/04/04 දින බූස්ස රක්ෂිත බන්ධනාගාර භාරයෙදී ශිවා මරා දමා තිබුණා. ඇතුලෙම ඉන්න රැඳවියෙක් විසින් ශිවාගේ එකොළොස් පොලකට උල් ආයුධයකින් ඇනලා මරලා දාලා කියලා තමයි කියවෙන්නේ.
කෙසේ හෝ ශිවාගේ ජීවිතය දැන් අවසන්.
කෙසේ නමුත් ශිවා මැරුවේ උල් ආයුධය අතින් ගත් රැඳෙවියෙකු පමණක් නොවන බව විශ්වාස කරමි. බොරු චෝදනා මත අත්අඩංගුවට ගත් නිලධාරීන්ගේ, නීති සම්පාදක නිලධාරීන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ද ආශිර්වාදය මත පනතක් පපුවේ ඇනී ශිවා මියගිය බව කීම අසාධාරණ නොවනු ඇත.
ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විමර්ශන නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා යුක්තිය පසිඳලීමේ ක්‍රමයටම එල්ල වූ මරු පහරක් බව සැල කර සිටියා. තම සේවාදායකයා ජිවතුන් අතර සිටියේ නම් අද අධිකරණයෙන් නිදහස් වීමට තිබූ බවත් අයුක්තිය ඉදිරියේ අද ඔහු සිය ජීවිතයෙන්ම නිදහස් ව මෙලොව හැර ගොස් ඇති බවත් මහාධිකරණ විනිසුරුවරයා වෙත දන්වා සිටියා.