සමනල කඳු මුදුනේ හෙලිකොප්ටර් අංගනයක්….



සමනල කඳු මුදුන ආශ‍්‍රිතව ඇහැලකණුව ප‍්‍රදේශයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගනයක් ඉදිකිරීමට රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා ගේ මූලිකත්වයෙන් මේ වන විට සැලැසුම් සකස් කෙරෙමින් පවතී. මේ සඳහා වන සාකච්ඡාවක් 2013 පෙබරවාරි 20 වන දින රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් විණි. ඒ අනුව හෙලිකොප්ටර අංගනයේ ඉදිකිරීම් කටයුතු මාර්තු මස 04 වන දින ඇරඹීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී.
ප‍්‍රභූවරුන්ට සිරිපා කරුණා කිරීමට පහසුවන පරිදි මෙය ඉදිකිරීමට සැලැසුම් කරන බව අදාළ සාකච්ඡාවේදී සුනිල් ශාන්ත වීරසේකර මහතා විසින් ප‍්‍රකාශ කර තිබේ. 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ස්වාභාවික රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති සමනල අඩවියේ මෙවන් ඉදිකිරීමක් සිදු කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැත. ඒ අනුව නීති විරෝධී ලෙස මේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට සූදානම් වන බව පෙනෙන්නට තිබේ.
ලෝක උරුම සම්මුතියට (World Heritage Convention) අනුව යුනෙස්කෝ ආයතනය මගින් (UNESCO-United Nation Educational, Scientific and Cultural Organization)ලංකාවේ දෙවන ස්වාභාවික ලෝක උරුම ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කළ මධ්‍ය කඳුකරයට අයත් සමනල අඩවියේ මෙවන් ඉදිකිරීමක් සිදු කිරීමෙන් එම සම්මුතිය උල්ලංඝනය කිරීම පමණක් නොව මුළු ලෝ වැසියන්ගේම අවධානයට පාත‍්‍රවූ ප‍්‍රදේශයක් මෙරට රජයට ආරක්ෂා කර ගැනීමට නොහැකි වීමෙන් ජාත්‍යන්තරව අප රටට එල්ල වන අපකීර්තිය ද ඉතා විශාල ය. සමනල අඩවිය යනු අප රටේ ප‍්‍රාථමික නිවර්තන වැසි වනාන්තර නැතහොත් නොයිදුල් නිවර්තන වැසි වනාන්තර (Virgine Tropical Rain Forest) විශාල ප‍්‍රමාණයක් ඉතිරි වී ඇති එකම වනාන්තර ප‍්‍රදේශය වේ.
දැනට විද්‍යාත්මකව නම් කර නොමැති සත්ත්ව විශේෂ ගණනාවක ගේ වාසස්ථානය වන්නේ ද සමනල අඩවියයි. මුළු ලොවින්ම සමනල අඩවියේ පමණක් වාර්තා වන උභයජීවී, උරග හා මිරිදිය කකුළුවන් විශේෂ ගණනාවක් වෙති. මීට අමතරව සමනල අඩවියේ පමණක් වාර්තා වන සපුෂ්ප ශාක විශේෂ කිහිපයක්ම වෙයි.
ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 ම වාර්තා වන වනාන්තර පද්ධති දෙක අතරින් එකක් වන්නේ සමනල අඩවිය යි. තෙත් කලාපයේ වැඩිම අලි-ඇතුන් ගහනයක් ජීවත් වන එකම ස්ථානය වන්නේද මේ ප‍්‍රදේශයේ ය. එවන් ප‍්‍රදේශයක හෙලිකොප්ටර් ගොඩබෑම හේතුවෙන් හා මේ වනාන්තර පද්ධතිය ආශ‍්‍රිත ව නිරන්තරයෙන් හෙලිකොප්ටර් ගමන් කිරීම හේතුවෙන් ජනනය වන අධික ශබ්දය මෙහි ජීවත්වන අලි – ඇතුන් හා දිවියන් ඇතුළු සමස්ත ජෛව ප‍්‍රජාව ගේ පැවැත්මට ඉතා හානිකර බලපෑම් එල්ල කළ හැකි ය. හෙලිකොප්ටර් වල අධික ශබ්දයේ බලපෑම සමනොළ අඩවිය පුරාම ජෛව ප‍්‍රජාව ගේ නිදහස් ජීවන පැවැත්මට ඉතාම හානිකර ලෙස බලපෑ හැකි අතර ම ප‍්‍රධාන වශයෙන්ම විශාල ක්ෂීරපායී සතුන්ගේ පැවැත්මට මේ තත්ත්වය දරුණු ලෙස බලපෑ හැකි ය.
එවන් තත්ත්වයක් තුළ නීති විරෝධීව හා ජෛව ප‍්‍රජාව ගේ පැවැත්මට බලපෑම් එල්ල කරමින් හෙලිකොප්ටර් අංගනයක් ඉදිකරමින් සිරිපා කරුණා කිරීමට ප‍්‍රභූවරුන්ට අවස්ථාව සලසා දීමෙන් බලාපොරොත්තු වන්නේ කුමන දෙයක් ද යන්න සිතා බැලිය යුතු ය.
පසුගිය දිනවල ජෝන් සෙනෙවිරත්න අමාත්‍යතුමන් විසින් සමනල අඩවිය හරහා ‘කේබල් කාර්’ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට සූදානම් විය. මේ වන විට සමනල අඩවියේ හෙලිකොප්ටර් අංගනයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරයි. මේ අයුරින් වරින් වර සමනල අඩවියේ පූජනීයත්වය හා නොයිදුල් වනාන්තර පද්ධතියේ පැවැත්මට තර්ජන එල්ල කරනු ලබන්නේ කුමක් සඳහා ද යන්න ගැටළුවකි. මෙවන් ස්ථාන පූජනීයත්වයෙන් රැක ගත යුතුව තිබිය දී එම ස්ථාන වනසා දැමීමට සැලැසුම් සකස් කරන්නන් ඉන් අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න අවබෝධ කර ගැනීමට අපහසු ය.
අප මේ හානිකර සැලැසුම් සකස් කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ වත්මන් පොදු ජනතාවට පමණක් නොව අනාගත පරපුරටද අයත් මේ අමිල වූ සම්පත් ආත්මාර්ථකාමී පරමාර්ථ වෙනුවෙන් විනාශ කර නොදමන ලෙසය.
සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය




asiyawe ashcharya ne 
