හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා - මුනිදාස කු&#35

chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා - මුනිදාස කු&#35

“මෙලොව උපත ලබන ඕනෑම පුද්ගලයෙක් යම් කාලසීමාවක් ජීවත් වේ. ඉක්බිතිව මියැදේ. මෙසේ උපත ලබන්නා වූ ඇතැම් පුද්ගලයන් මියැදෙන්නේ නැත. ඔවුහු ඒ ජාතිය පවතින තුරා ජීවත් වෙති. ඒ මහා ප්‍රාඥයෝයි. ඔවුහු තමන්ගේ නිර්මාණ නිසාම ජීවත් වෙති...”

ar08012071-2.jpg


මේ පාඨ කිහිපය උපුටා ගත්තේ මා ලඟ තිබෙන “ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය” නම් පුස්තකයේ ආරම්භයේ කුමාරතුංග මුනිදාස නම් විද්වතානන් පිළිබඳ සඳහන් වන සංඥාපනයෙන්. කුමාරතුංග මුනිදාස මහත්මා ගැන කියන්න කලින් මම මේ පොත මට ලැබුණු හැටි කියලා ඉන්නම්...


මම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේ මා කඩවත මහප්පාගේ නිවසේ සිටියදීයි. ඒ සඳහා මා අකුරු කලේ මහර කුමර කණිෂ්ඨ විදුහලෙනි. 1994 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 162 ක් ලබා ගම්පහ දිස්ත්‍රික්කයේ 63 වැනියා ලෙස මා සමත්ව තිබිණි. උක්ත විභාගයෙන් සාමාර්ථය ලැබූ සිසු සිසුවියන් උදෙසා ත්‍යාග ප්‍රදානයක් කුමර කණිෂ්ඨයේ පැවැත්විණි. විභාගයෙන් පසු මා නැවතත් ගෙදර පැමිණි බැවින් කොළඹ සිට තාත්තා සමගම මෝටර් සයිකලයෙන් නැවත මහර යන්නට සිදුවිය. එදා මා හට මාරි පෙට්ටියක තරමේ තෑගි පාර්සලයකුත්, සහතික පත්‍රයකුත් ලැබිණි. නැවත ගෙදර එද්දී, සපුගස්කන්ද හරියේදී මහා වර්ෂාවට අසුව තෑගි පෙට්ටියේ බ්‍රවුන්පේපර් කොලය සේදී ගියත්, ගෙදර ගොස් තෑගි බලනා තෙක් මා උන්නේ දැඩි නොඉවසිල්ලෙනි.

මා සිතූ ලෙසම පෙට්ටිය පුරවා වූයේ පොත් ගොඩකි. ඉන් බහුතරයක්ම අභ්‍යාස පොත් වූ අතර ලෝවැඩ සඟරාව වැනි වටිනා කුඩා ග්‍රන්ථ දෙක තුනක් සමගම අඟල් තුන හතරක් ඝණකම වූ දැවැන්ත පුස්තකයක් ද ඒ සමග විය. ඒ තෑගි පෙට්ටියෙන් මට වඩා වැදගත් වූයේ ඒ මහා පුස්තකයයි. “ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය - කුමාරතුංග මුනිදාස” ලෙස ලොකු අච්චු අකුරෙන් සටහන්ව තිබූ කොල පැහැති තුනී පිට කවරයක් සහිත ඒ පොත කියවා ඉවර කරන්නට එවකට දස හැවිරිදි වූ මා හට මාස ගණනක්ම ගත විය. එදා බර කරමින් කියෙවූවත්, ඒ පිටු අතර ලියැවුනු බස් අරුමය මට වැටැහුනේ තවත් කලක් ගතවූ පසුවයි.

මා අතට පත්ව සොළොස් අවුරුදු ඉක්ම ඇතත්, අදටත් ඒ මහා පුස්තකය මගේ පොත් එකතුවේ සුරැකිව වැජඹෙයි. ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය කියෙවූවෙක් තබා එය ගැන ඇසූවෙක් වත් නූතන පරපුරේ සිටිත් දැයි මට නම් සැකයෙකි. මා එදා එයින් ලද භාෂා ප්‍රාඥ්‍යය සිංහල භාෂා විශාරදවරයෙකු ගෙන් ලද උගැන්මකටත් වඩා මගේ දැනුම පුබුදන්නට ඉවහල් වූ බැව් අද මට පැහැදිලිව පෙනේ. හෙල බසේ වියරණ විධි හා පද බෙදුම් ද, නිවැරදි අක්ෂර වින්‍යාසයන් ද මා නොදැනීම උගත්තේ ඒ පොතෙනි. ඒ පොතෙහි පෙරවදන හා වෙනත් හඳුන්වාදීම් ඇතුළු විචාරයන් ම පමණක් පිටු සැත්තෑ දෙකකි. කුඩා කල දී හරිහැටි නොතේරුනත් ඒ පිටු සියල්ල පටන් පොතේ අවසන වූ ටිප්පනිය දක්වාම අකුරක් නෑර මම කියෙව්වෙමි. එයින් නොනැවතී එකුන්-දස වියේ දරුවෙකුට තරම් නොවන ගැඹුරකින් යුතු අසංක්ෂිප්ත උම්මග්ග ජාතක කථා වස්තුව ද මම ආශාවෙන් යුතුව කියවා හමාර කලෙමි. මුළු ලෝවැඩ සඟරා කවි පන්තියම එවකට මට කටපාඩම් ව තිබිණි.

එදා ලද ඒ උගැන්මෙන් සිංහල බසට ඇති ඇල්මත්, භාෂා දැනුමත් වැඩි දියුණු වූ බව නොසඟවා කිව හැකියි. එදා මා ලද රසය සුළුවෙන් හෝ සිංහල බ්ලොග් අවකාශය මත සටහන් කරනු රිසියෙන්, හැකි අවස්ථාවන් හිදී කුමාරතුංග මුනිදාසයන් විසින් සම්පාදිත මේ මාහැඟි ග්‍රන්ථයෙන් කොටස් වශයෙන් මෙහි පළ කිරීමට අදහස් කර සිටිමි. එය සිංහල භාෂාවේ උන්නතියට දශමයකින් හෝ උදව්වක් වේ නම්, කුමරතුඟුවන් එදා ඇරඹි පුනරුදයට බිඳුවක් හෝ දායක විනි යැයි අහිංසක සතුටකින් මට සැනසිය හැකියි. ඒ අරමුණ වෙනුවෙන් කුමරතුඟුවන් ම පැවසූ පද්‍යයකින් මේ හැඳින්වීම අවසන් කරන්නෙමි...

මා දෙස හෙළ දෙස - වෙන කිසි දෙසක ට
මා රැස හෙළ රැස - වෙන කිසි රැසක ට
මා බස හෙළ බස - වෙන කිසි බසක ට
මේ හිස නොනමමි නොනමමි කිසිවි ට

-------------------------------------------------------------------

කුමාරතුංග මුනිදාස නම් මහා පඬිවරයා මෙබිම විසුවේ අවුරුදු 57 ක් වැනි කෙටි කාලයක් වුවත්, සිංහල භාෂාවට එතුමා කළ මහඟු සේවය නිසාම ඒ නාමය හෙළ බිම තුල අමරණීය වී තිබේ. 1887 ජූලි මස 25 වැනි දින මාතර, දික්වැල්ලේ ඉඳගස්ආර නම් ගම්මානයේ එතුමා උපත ලැබීය. ඔහුගේ පියා වූයේ රුහුණු දිසාවේ සුපතල වෛද්‍යවරයෙක් වූ දොන් අබියෙස් කුමාරතුංගයි. මව වූයේ පලවින්නේගේ දෝන ගිමාරා මුතුකුමාරණ මාතාවයි. පවුලේ දොලොස්වැනි දරුවා වූ මුනිදාස කුමාරතුංග කුමරුවා හට සහෝදරයින් 8 දෙනෙක් ද, සහෝදරියන් 4 දෙනෙක් ද විය.

කුමාරතුංගයන් මුලින්ම අකුරු උගත්තේ තම පියාගෙනි. වැඩුමල් සොහොයුරන්ට ඉගැන්වූ පාඩම් ද අසා සිට මතක තබා ගන්නට මේ කුඩා ළදරුවා පුරුදුව සිටියේය. නිසි වයසේදී ගමේ පාසලෙන් හා පිරුවනින් ශිල්ප හදාරා සිංහල පාසැලේ හයවැනි පන්තිය සමත්ව එතුමා මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත්ව ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීය. සිංහල පාසල් පස්වන ශ්‍රේණියේ උගනිද්දී කුමාරතුංගයන්ගේ පියාණන් මෙලොව හැර ගිය මුත් වැඩිමහලු සොහොයුරා වූ පියදාස කුමාරතුංගගේ සෙවනේ ඔහුට සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබාගැනීමට හැකියාව ලැබිණි. අවුරුදු දහ හතරක් වෙද්දී පාසැලේ අධ්‍යාපනය නොරිසි වූ හෙතෙමේ සිය පියාගේ පොත්ගුණට වැදී තනිවම දැනුම වඩන්නට විය. කෙසේ වුවත් සිය සොයුරාගේ බලවත් ඉල්ලීම පරිදි නැවතත් කොළඹ ඉංග්‍රීසි විදුහලකට ඇතුලත්ව අධ්‍යාපනය ලැබුවත්, ටික කලකින්ම නැවත ගමට පැමිණි තිබේ.

කුමාරතුංගයන් සංස්කෘත හැදෑරීමට ගන්නේ මේ කාලයේදීයි. ඒ සඳහා ගමේ පන්සලෙන් සහයෝගයක් නොලැබුනු හෙයින් ඔහු ඒ සඳහා වැවුරුකන්නල පන්සලේ වූ පිරිවෙනට ගොස් ඉගෙන ගත්තේය. මේ සමයේදී පැවිදි වීමේ ආසාවක් ද කුමාරතුංගයන්ට තිබුණු මුත්, වැඩිමල් සොයුරාගේ නොකැමැත්ත නිසා ඒ අදහස යටපත්ව තිබේ. කුමාරතුංගයන්ගේ මේ හැසිරීම් රටාව අධ්‍යයන කල ඔහුගේ සොයුරා ගමේ සිටියහොත් කුමාරතුංගයන්ගේ ඉදිරි ජීවිතයට යම් බලපෑමක් වේ යැයි බියෙන් ඔහුව නැවත කොළඹ ගෙන ගියේය. 1907 වසරේදී සොයුරාගේ මග පෙන්වීම මත කුමාරතුංගයන් ගුරු විදුහලට බැඳීමට තීරණය කරයි. මේ කාලයේදී ගුරු විදුහලට ඇතුලත් වීමට නම් ප්‍රවේශ විභාගයකට මුහුණ දිය විය යුතු වුවත්, කුමාරතුංගයන්ගේ දැනුම වටහා ගත් පරීක්ෂණ මණ්ඩලය විභාගයක් නොපවත්වාම ඔහු ඇතුලත් කරගෙන තිබේ. ගුරු අභ්‍යාස විද්‍යාලයේ දෙවසරක පුහුණුව අවසන්ව ඉතා ඉහලින් සමත් වූ මුනිදාස කුමාරතුංගයන් 1909 දී ඉන් පිටවන්නේ කඩුගන්නාව ද්වි-භාෂා විදුහලේ ප්‍රධානාචාර්යවරයා වශයෙනි. නමුත් එහි ඇතිවූ අසතුටුදායක තත්ත්වය හේතුවෙන් බෝම්රිය ප්‍රදේශයේ උප ගුරුවරයෙක් ලෙස ටික කාලයක් සේවය ඇරඹීය. 1910 දී නැවතත් කඩුගන්නාවේ පාසලේ ප්‍රධානාචාර්ය පත් කුමාරතුංගයන් ගේ සිත මේ කාලයේදී සිංහල ව්‍යාකරණය වෙත යොමුවී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එළි දැක්වුනු “ව්‍යකරණ විවරණය” නම් ග්‍රන්ථය අද ද විද්වතුන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ කෘතියකි. ඊට අමතරව ගුත්තිල කාව්‍යය වර්ණනාව ගැන පාසැලේදී කල ප්‍රසිද්ධ දේශණයත්, ප්‍රශ්ණ සියයක් ඇතුළත් කර සාමාන්‍ය දැනුම නමින් පළ කර මාහැඟි ග්‍රන්ථයත් මේ කාලයේදී ඔහු විසින් සිදුකල කැපී පෙනෙන සේවාවන් වේ.

ඉහත සඳහන් කල ආකාරයට කඩුගන්නාවේ පාසැලේ අවුරුදු 8 ක් සේවය කල කුමාරතුංගයන් එයින් ඉවත් වූයේ පාසැල් පරීක්ෂකවරයෙක් ලෙස උසස් වීමක් ලැබීම නිසායි. කුමාරතුංග මුනිදාසයන් විවාහ දිවියට ඇතුලත් වූයේ 1921 දීයි. ඒ පල්ලියමුල්ල ප්‍රදේශයේ විසූ තිඹිරිපොලගේ හෙන්ද්‍රික් පීරිස් මුදලාලි මහතාගේ හා එම මහත්මියගේ දෙටු දියණිය වූ ලිලී පීරිස් නම් මෙනෙවිය සමගයි. මේ විවාහය සමග කුමාරතුංගයන් ලැබූ දරුවන් සදෙනෙකී. ඒ මාලතී, නීතා නම් දූවරු දෙදෙනෙක් ද, ගෝමින්, රුවන්, ප්‍රඥා, බින්දු ලෙස පුතුන් සතර දෙනෙක් ද වශයෙනි. විවාහ වී වසරකට පසු එනම්, 1922 දී පාසැල් පරීක්ෂක තනතුරෙන් ඉවත් වූ එතුමා ඉන් පසු සිය ජීවිතය කැප කලේ සිංහල භාෂාවේ උන්නතිය වෙනුවෙනි.

මේ කාලයේදී එතුමා ප්‍රසිද්ධ දේශකයෙක්, ලේඛකයෙක්, ග්‍රන්ථ සංස්කාරකයෙක් ලෙස කීර්තියට පත්ව සිට යුගයයි. 1927 සැප්තැම්බර් සිට නිට්ටඹුවේ බෞද්ධ අභ්‍යාස විද්‍යාලයේ අධිපති ධූරයට පත්වූ එතුමා එහි අවුරුදු දෙකක් කටයුතු කලේය. ඉන්පසු බලපිටියේ රොබට් ද සොයිසා නම් මහත්මා සමග එක්වූ ඔහු බලපිටියේ සිදුහත් අභ්‍යාස විද්‍යාලය පටන්ගන්නා ලදී. සිංහල, සංස්කෘත, පාලි හා ඉංග්‍රීසි යන භාෂා සියල්ලම මැනවින් දැන සිටි නිසා කුමාරතුංගයන්ට මේ සේවාව හොඳින් ඉටු කරන්නට එය මැනැවින් උපකාරී වන්නට ඇත. ටික කාලයක් මේ අභ්‍යාස විද්‍යාලයන්හි සේවය කල කුමාරතුංග මුනිදාසයන් ජාතික හැඟීම් පුබුදු කරලීමේ උදාර අභිලාෂයන්ට මුල්තැන දෙමින් ලක්මිණි පහණ පුවත්පත ආරම්භ කර එහි අභිවෘද්ධියට කැපවිය. සිංහලකම ගැන කැක්කුමකින් කටයුතු කල මෙතුමා 1940 දී හෙළ හවුල ආරම්භ කිරීමට පුරෝගාමී විය. සිය කෙටි ජීවිත කාලයෙන් වැඩි හරියක්ම සිංහල ජාතියේ, සිංහල භාෂාවේ උන්නතියටම කැප කල මේ මහා පඬිවරයා වසර පනස් හතක් ආයු වළඳා 1944 මාර්තු 02 වැනිදා පරලෝ සැපත් වූයේ දේශ මාමක - ජාති මාමක හදවත් තුල සදා කඳුලක් ඉතිරි කරමිනි.



කුමාරතුංග මුනිදාස ශූරින්ගේ “ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය” නම් ග්‍රන්ථයේ සංඥාපනය ඇසුරෙන් සකසන ලදී.




මගේ බ්ලොග් අඩවිය -
Read more: http://chathucn.blogspot.com/2011/11/blog-post.html#ixzz1dreWaoNP
Under Creative Commons License: Attribution Non-Commercial No Derivatives
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි මචං. මම නම් ඔය පොත ගැන නම ඇහුවෙත් අද.දිගට පෝස්ට් දාන්න අපිටත් දැනගන්න. අර "මාතර සිංහල" කියල ත්‍රෙඩ් එකේ ගොඩේ භාෂාව කියල මාතර සිංහල වලට කියපු එවුන්ට මේවා පෙන්න ඕන.දකුණු ලකෙන් සිංහල භාෂාවට දායාද වුනු මිණිකැට ගැන
     

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    නියමයි මචං. මම නම් ඔය පොත ගැන නම ඇහුවෙත් අද.දිගට පෝස්ට් දාන්න අපිටත් දැනගන්න. අර "මාතර සිංහල" කියල ත්‍රෙඩ් එකේ ගොඩේ භාෂාව කියල මාතර සිංහල වලට කියපු එවුන්ට මේවා පෙන්න ඕන.දකුණු ලකෙන් සිංහල භාෂාවට දායාද වුනු මිණිකැට ගැන

    ඇත්ත සහෝ... දකුණෙන් තමා හොඳ සිංහලයෝ බිහිවෙලා තියෙන්නේ. මතයක් තියෙනවා මාතර ඉන්නේ ලංකාවේ හිටපු පැරණිම ජන කොටසක් වන යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් කියලා... !

    අපි කාටවත් අපහාස කරන්න ඕනේ නෑනේ... පිදිය යුත්තා පිදුවාම ඇති. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නෑනේ යාළු... ස්තුතියි කමෙන්ට් එකට !!!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මාතර ගාල්ලෙ තමා හොඳ ඔවරොල් වැඩකාරයෝ ඉන්නෙ එක ඉතින් අපි කවුරුත් පිලිගන්න ඔනේ,දකුණෙ උදවිය නැතිවෙන්න සිංහල කඩයක් කිසි තැනක අද වෙනකොට අපිට දකින්න ලැබෙන්නෙ නැ