(ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර දින 50කට පසු) කොටුව දුම්රියපොළින් මීළඟ දුම්රිය පිළිබඳවන නිවේදනය නිකුත්වන්නේ ඒකාකාරී රිද්මයකිනි. හිරු අවරට යන ගමන අරඹා ඇත. නමුදු තවම දිනය උණුසුම්ය. සවස්වන විට තව තවත් විඩාබරය. කඩි මුඩිය ඇරඹී තිබේ. ජීවත්වීම සදහා කරන අරගලයේ තවත් දිනක් අවසන්ව යමින් තිබේ. සවස 4.30ට පමණ එළවලු ග්‍රෑම් 250ක් අමු මිරිස් 100ක් රැගෙන බොහෝ දෙනා කොටුව දුම්රිය පොළට පැමිණෙන්නේ ඉක්මනින් නිවෙස් කරා යෑමේ අදිටනිනි. මෙසේ දිව එන මිනිසුන්ගේ මග හරස් කරමින් ඇතැම්විට මිතුරු ලෙස නවතා ගනිමින් අපි පත්‍රිකා බෙදමින් සිටින්නෙමු. ඇතැමුන් අප හැර ගියේ. නොරිස්සුම් සහගත නෙත් අගින් අප දෙස රවා බලමිනි. නමුත් කිසි විටෙකත් අපි ඔබ කෙරෙහි අමනාප නොවෙමු. මක්නිසාද යත් අප වනාහි ඔබගේම හඩ වන නිසාය. අපි වැල්වටාරම් නොමැතිව කියමු. මිනිසෙක් අතුරුදහන්වී තිබේ. වඩාත් පැහැදිලිව කිවහොත් බිරිදකට සැමියෙකුත් දරුවන් දෙදෙනෙකුට පියෙකුත් අහිමිකර තිබේ. එපමණකින් නොනවතින්න. මේ මහ පොළවේ නැවුම් බව - විටක කාබන් දුම්රොටු අතරින් නැගෙන වාහන දුමාරය ආශ්වාස ප්‍රස්වාස කළ ඔබවන්ම මිනිසෙක් අතුරුදහන් කර තිබේ. මාධ්‍ය සගයෙක් අතුරුදහන්කර තිබේ. ඔබ අප කතා කරමින් සිටින්නේ ඇතැම්විට ඔබ අතරින් කිහිප දෙනෙක් අමතකකර දැමූ නමුත් අප අමතකකර නොදැමූ අමතකකර නොදමන මිනිසෙකු පිළිබඳවය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර දින 50කි. අපි එය හඩගා කියමු. මාධ්‍ය සගයෙක් අප වෙතින් උදුරාගෙන දින 50ක් අවසන්වී තිබේ. පත්‍රිකා බෙදන අතර ඇතැම් විට ඔබ අප වෙත පැමිණ පත්‍රිකාවක් ඉල්ලා සිටී. එවිට අපි ඔබට ප්‍රගීත් ගැන, ප්‍රගීත්ලාගේ ඉරණම ගැන කතා කළෙමු. මෙය මෙතනින්ම නවතා දැමිය යුතුය. ඇතැම්විට පත්‍රිකාව රැගෙන ඔබ අප වෙතින් මද දුරක් ඉවතට ගමන් කරයි. පරීක්ෂාකාරීව කියවාගෙන යයි. ඇතැම්විට පේලි කිහිපයක් කියවා එය පරිස්සමෙන් නවා කමිස සාක්කුවේ රුවා ගනී. නැතිනම් අත් බෑගයේ රුවා ගනී. නමුත් ඇතැම් මුහුණුවල කිසිම හැගීමක් පැන නොනගී. අපි එවිට ඔබේ දෑස් වලට එබී බලමු. එයින් එක් සත්‍යයක් සොයා ගනිමු. එම දෑස් වියලී නොමැත. එහි තාමත් අනෙකා පිළිබඳ විමසිලිමත්වන සංවේදීත්වය සැගවී තිබේ. නමුත් අඩියක් දුරින් ඔබ ලග සිටින්නට සිවිල් ඇදුමින් සැරසුණු රහස් පොලිස් නිලධාරියෙක් විය හැක. ඒ ඔබ සිතන අයුරුයි. නමුත් දින 50ක් පුරාවට ප්‍රගීත් පිළිබඳ සෑහීමකට පත්විය හැකි කරුණක් සොයාගත නොහැකිවූ පොලිස් නිලධාරීන් ඔබගේ නහය යට සොයන්නේ කුමක්ද? ඉතාලි නවකතාකරු ඉග්නාත්සියෝ සිලෝනේ (Ignazio Silone) පාන් සහ වයින් (Bread & Wine) කෘතියේ එක් වකියකින් සටහන් තබන්නේ ඊට පිළිතුරක් සපයිමිනි. "බොරුවට බිහිරිකම පෙන්වන අයගේ කන් ඇරෙන දා, බොරුවට ගොලුකම පෙන්වන අයගේ දිවවල් ඇරෙන දා හරිම බයානක දවසක් වේවි නේද? ඒක දැකගන්න ඔහෙලට ඉඩ ලැබෙනව නම් මම හරිම සතුටුයි. " මාධ්‍ය සගයින් විසින් බෙදා හරින පත්‍රිකා විටෙක උණුසුම් සුළගේ පාවි යයි. ඒවා පියාපත් මෙන් සැහැල්ලුය. බාල වාර්ගයේය. මේ මුද්‍රණ කඩාදාසි සදහා පවා "මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ" හි අප මුදල් එක් රැස් කළේ මේ පත්‍රිකා මෙන්ම අපගේ පොකැට්ටුද සැහැල්ලු කරමිනි. නමුත් මේ මුද්‍රණ කඩදාසිවල සටහන්කර ඇති ප්‍රගීත් එක්නැලිගොඩ මිතුරා පිළිබඳව මුද්‍රිත වැකි අපගේ හතවත් වලට වඩා බරැතිය. විටක බිම වැටී තමන් වෙත පැමිණෙන පත්‍රිකාව සන්ධ්‍යා එක්නැලිගොඩ සොයුරිය අසුලා ගනී. නැවතත් තවත් මිනිසෙකු වෙත එය රැගෙන ගොස් ආමන්ත්‍රණය කරයි. ඔවු සොයුරිය අපි දරාගෙන සිටිමු. අතුරුදහන් කළවුන්ගෙන් ප්‍රගීත් නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු. උතුරේත් දකුණේත් සියලු දෙනා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය, ජීවත්වීමේ නිදහස ඉල්ලා සිටිමු. විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ හඬ සුළගේ පාකර යවමු. දිරිය නොනසා අප සමගම තබා ගනිමු. ඉග්නාත්සියෝ සිලෝනේ පාන් සහ වයින් කෘතියේ මෙසේද පවසා තිබේ. "මුද්‍රිත කඩදාසි ටොන් ගණනක්ම ආණ්ඩුවේ සටන් පාඨ නැවත නැවතත් කියා සිටිනවා. ශබ්ද විකාශන දහස් ගණනක්, ප්‍රකාශන පත්‍රිකා ලක්ෂ ගණනක්, චතුරශ්‍රවලදී හරස්පාර වලදියි කතිකයෝ තොග ගණනක්, මේ සටන් පාඨ අප්පිරිය වෙනකම්ම නැවත නැවත කියනවා. සාමූහික සිහිමුලාවීම නැතිවනකම්ම නැවත නැවත කියනවා. ඒ වුණත් එක පොඩි මිනිහෙක් "නැහැ" කියලා හෙට කිව්වොත් "නැහැ" කියලා අසල් වැසියෙක්ගේ කනට කෙදිරුවොත්, එහෙම නැත්නම් රෑ යාමේ තාප්පෙත "නැහැ" කියලා ලිව්වොත් පොදුජන ස්ථාවරභාවය අනතුරට ලක් වෙනවා." ප්‍රගීත් අපි ඔබ සමග සිටිමු.