​ෂර්ලොක් + සුජීව

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ​ෂර්ලොක් + සුජීව

    මේරි හා විවාහ වීමෙන් අනතුරුව මට හෝම්ස් හා විවේක පාඩුවේ කතා බස් කිරීමට අවස්ථාව ලැබෙන්නේ සවස් වරුවේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන් නොමැති දිනවලදී පමණි. මේ ජුනි මාසයේදී අතිශය කාර්ය බහුල වූ මා හට අහම්බෙන් මෙන් ලද රෝගීන් නොමැති වූ විවේක දිනයේදී හෝම්ස් දැකීමට යාමට සිතක් පහල විය. හිරු බැසගෙන යන සැන්දෑව වූ හෙයින් රාස්සිගේ අව්ව බේකර් වීදියට පතිතව තිබුනි. හඩ්සන් මහත්මියට සුභ සන්ධ්‍යාවක් පතමින් නිවෙසට ඇතුලු වූ මට තරප්පු පෙල නගිද්දී දෙදෙනෙකුගේ කටහඬවල් ඇසුණි. මදක් සවන් දුන් මට පැහැදිලිවම ස්කොට්ලන්යාඩ් පොලිසියේ මහත රැවුල්කාරයා වූ ග්‍රෙග්සන්ගේ කටහඬ හඳුනා ගත හැකි විය.

    ˝අපූරුයි ග්‍රෙග්සන් ම මහත්මයා. මතක් කරනකොටම මේ එන්නේ අපේ මිත්‍රයා වොට්සන්. ඔය කබාය ගලවලා මෙහෙන් ඉඳගන්න වොට්සන්. අපි දෙන්නා ඉන්නේ අපි කැමතිම විදිහෙ කතාබහකˮ

    පයිප්පයෙන් පිටවන දුම් අතුරින් හෝම්ස්ගේ තීක්ෂණ දෙනෙත දිස්විය. මම කබාය එල්ලා පුටුවට බර වීමි. වටපිට බැලූ මට මේසය මත දැක ගත හැකි වූයේ ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් කිහිපයකි. මම එක් පුවත්පතක මුල් පිටුව කියවීමි.

    ˝බැඳුම්කර ගනුදෙනු එලියට. ඇලෝෂියස්ගෙන් මුදල් ගත් අය හෙලි වේˮ

    සසෙක්ස් හි ආරම්භ කල මීමැසි පාලන කටයුතුවලින් හෙම්බත් වූ හෝම්ස් ශ්‍රී ලංකාව නමැති රටෙහි මිනිසුන් පිලිබඳ සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් ආරම්භ කර තිබූ බව මා දැන සිටිමුත් එහි වත්මන් තත්වය පිලිබඳ මට අවබෝධයක් නොවීය. නමුත් මේ පුවත්පත් ගොන්න මේසය මත දැකීමෙන් ඔහුත් ග්‍රෙග්සනුත් කතා කරමින් සිටින්නේ එම සමාජ විද්‍යාත්මක පර්යේෂණය සම්බන්ධයෙන් බව පැහැදිලිය.

    ˝ඔබට කියන්න ග්‍රෙග්සන් ඒ රටේ මිනිස්සු හිතන විදිය මහා පුදුමාකාරයි. ලෝකේ කිසිම රටක මේ තරම් අල්ලේ පැලවෙන බොරු කියන මිනිස්සු ඉන්න රටක් මම දැකලා නෑ. ඔවුන්ගේ ඒ පිලිබඳ හැකියාව මා විශ්මයට පත් කලා ˮ

    හෝම්ස්ගේ මේ කතාව මට ප්‍රහේලිකාවක් විය.

    ˝ උදාහරණයක් සහිතව කිව්වොත් අපිට වඩාත් පැහැදිලි වෙයි නැද්ද වොට්සන් මහත්මයා? ˮ

    ග්‍රෙග්සන් මගේ අවශ්‍යතාව තේරුම් ගත්තාක් මෙන් පැවසීය.

    ˝හරි, අපි බලමු යූ ටියුබ්. ගන්න වොට්සන් මගේ ලැප් එක. මෙන්න. බලන්න මේ ඒ රටේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ˮ

    චතුර සේනාරත්න නම් තරුණයෙකු අමු අමුවේ බේගල් ඇද බාන දර්ශණ එහි විය. ග්‍රෙග්සන් දත් කූරු සපයි.

    ˝මොන විකාරයක්ද හෝම්ස් මහතත්යා මේ. මුන්ට පිස්සුද? මේ යෝධයාගේ ටෝක් වල හැටියට තව ටික දවසකින් මූ කියයි ෂර්ලොක් හෝම්ස්ටත් අපරාධ විසඳන්න කියලා දුන්නේ මූ කියලාˮ

    හෝම්ස් නිහඬව අමුතු සිනහවක් හෙලුවේය.

    ˝ තව ටික දවසකින් නෙමෙයි ග්‍රෙග්සන් දැනටමත් ඔහු ඒක කරලා ˮ


    මමත් ග්‍රෙග්සනුත් පුටුවෙන් නැගිටුනේ ඉබේටමය.

    ˝කලබල වෙන්න එපා මා ප්‍රිය මහත්වරුනි. මට ප්‍රශ්ණය තියෙන්නේ ඔහු කියපු දේ සම්බන්ධව නෙමෙයි. ඒවා විශ්වාස කරන මිනිස්සු ඒ රටේ ඉන්න එක සම්බන්ධව ˮ

    ˝මොනවා හෝම්ස් මේ ටොම් පච ඒ රටේ මිනිස්සු විශ්වාස කරනවද?ˮ


    ˝මිනිස්සු... මිනිස්සු විතරක් නෙමෙයි වොට්සන් රටේ බුද්ධිමත්යැයි කියන අය පවා මේවා විශ්වාස කරනවා. මම නිවැරදි නම් ඔය තරප්පු පෙල නගින්නේ ඒ රටේ එක්කෙනෙක් ˮ


    හෝම්ස් හරි බරි ගැසී ඉඳගත්තේය. පැකිලීමෙන් යුතුව තරප්පු පෙල නැග එන හඬක් ඇසෙන්නට විය. සුදු පැහැති ජාතික ඇඳුමකින් සැරසුනු අයෙක් අප ඉදිරියේ වූ අතර ඔහු තියුණු දෑසෙන් වට පිට බැලීය.


    ˝ඔහෙලගෙන් කවුද දොර ලොක්.... ආ දොර ලොක් ....?ˮ අමුත්තා සාක්කුවෙන් ගත් කඩදාසියක් කියවීය.

    ˝සමාවෙන්න. ෂර්ලොක් හෝම්ස් කවුද ?ˮ

    තරමක මුඛරි ස්වරූපයක් ඒ හඬේ විය. හෝම්ස් තම උගුර පෑදුවේය.


    ˝ෂර්ලොක් හෝම්ස් කියන්නේ මමයි මහත්මයාණෙනි. හඳුනාගැනීම සතුටක්ˮ


    හෝම්ස් අමුත්තාට අතට අත දුන්නේය. අමුත්තා හෝම්ස් දෙස හෙලුවේ හොර බැල්මකි.

    ˝ආ ඔයාද ෂර්ලොක් හෝම්ස්? මට මෙහෙට එන්න කිව්වේ ඔයාගෙ ගුරුතුමා. කෝල් එකක් දුන්නා නේද?ˮ

    හෝම්ස් මදහසක් නැගීය.

    ˝මගේ ගුරුතුමා? ඒ කවුද?ˮ

    ˝වෙන කවුද අපේ චතුර සේනාරත්න මහත්තයානේ. ඕකනේ කියන්නේ බිස්නස් වැඩිවෙද්දි ගුරුවරුත් අමතකයි.මට බලන් හිටියා වගේ කිව්වා පොර මොරියාටිව අල්ලන්න ප්ලෑන් කරපු හැටි. ඇයි අර බැස්කවිල් දඩ බල්ලාට අන්තිමේදි වෙඩි තිබ්බේ එයාලු නේද ? අයිරින් ඇඩ්ලර්ගේ කේස් එක වන කරගත්තේ එයාගේ උපදෙස් පිලි නොගත්ත හින්දලු නේද?ˮ

    මට සහ ග්‍රෙග්සන්ට හිනාව නවත්වා ගැනීමට අපහසු වුවද හෝම්ස්ගේ දෑස් දීප්තිමත් විය.


    ˝මං කිව්වේ බොරුද ග්‍රෙග්සන් ? මං හරි නේද?ˮ

    ˝අම්මපා හෝම්ස් මහත්තයා. මං කිව්වට විශ්වාස කලේම නෑ.ˮ


    අමුත්තා කුහුලෙන් යුතුව මා දෙසත් ග්‍රෙග්සන් දෙසත් මාරුවෙන් මාරුවට බැලීය.

    ˝ හෝම්ස් මහත්තයා. මාව එව්වේ පී එම්. මේක ටොප් සීක්‍රට් සීන් එකක්. මෙයාලාව මෙතනින් යැව්වොත් හොඳයිˮ

    එවරනම් හෝම්ස්ගේ රතු ඉර පැන්නේය.

    ˝ මහත්මයා. මෙතන සිටිය යුත්තේ කවුද කියා තීරණය කිරීම මගේ වැඩක්. ඔබේ ප්‍රශ්නය කියනවානම් මොවුන් ඉදිරියේ කිව යුතුයි. නැතිනම් ඔබට සුභ සන්ධ්‍යාවක්ˮ

    අමුත්තා ලැජ්ජාවෙන් රතු විය.

    ˝වරදක් කියවුනා නම් සමාවෙන්න හෝම්ස් මහත්තයා. මේ දවස්වල මං ඉන්නේ හරිම හිතේ අමාරුවෙන්. ඒ නිසා තරහා යනවා ටිකක් වැඩී.ˮ

    අප ඉදිරියේ සිටි තරුණ මහතා එක්වරම හඬන්නට විය. හෝම්ස් අමුත්තා වත්තන් කර පුටුවෙහි ඉන්ද වූ අතර මා ඔහුට බ්‍රැන්ඩි ස්වල්පයක් දුනිමි. මදක් වෙලා යද්දී ඔහුගේ අපහසුතාවය පහව ගියේය.

    ˝සමාවෙන්න මහත්වරුනි. මගේ නම සුජීව. පොතකුත් ලියලා තියෙනවා.ˮ

    ˝මොනවා සුජීව?...... ඔබ සුජීව ප්‍රසන්න ආරච්චිද?ˮ

    විශ්මයට පත්වූ මා ඇසුවා නොව ඇසුණේය.

    ˝නෑ මහත්වරුනි. මගේ නම සුජීව සේනසිංහ. බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත පොතේ කතෘ.ˮ

    හෝම්ස් සූක්ෂමව අමුත්තා නිරීක්ෂණය කලේය.

    ˝නමුත් මට පේනවා ඔබ ඊට අමතරව වෙනත් වෘත්තියකත් නියුතු බව˝

    හෝම්ස් කීවේය.අමුත්තා වට පිට බලා හඬ අඩු කලේය.

    ˝ඔබ එය දැනගත්තේ කොහොමද කියලා මම දන්නේ නෑ හෝම්ස් මහත්තයා. මං මේ දවස්වල ටිකක් හැංගිලා ඉන්නේ. මං එහේ රාජ්‍ය ඇමති කෙනෙක්ˮ

    ග්‍රෙග්සන් එක්වරම නැගිට අමුත්තාට සැලියුට් කලේය. මම පුදුමයෙන් ඔහු දෙස බැලීමි. ඔහු මගේ කනට කෙඳිරුවේය.

    ˝ලංකාවේ එහෙමලු. හෝම්ස් මහත්තයා තමයි මටත් කිව්වේ.ˮ

    ˝ඔබේ කතාව කියන්න මහත්මයා. මා දන්නේ පුවත්පත්වල තිබූ දේ පමණයිˮ

    හෝම්ස් කීවේය. අමුත්තා සුසුමක් හෙලුවේය.

    ˝කොනක ඉඳන් චාටර් හෝම්ස් මහත්තයා. ගත්ත සල්ලි ආපහු පිනට දෙන්නන් කිව්වා. ඒත් කේස් එක ඇදෙනවා. විලි ලැජ්ජයි. ඊටත් මං කලින් දීලා තිබ්බේ ලොරි ටෝක්ස්. අපි ඉස්කෝලේ ගියෙ බෙන්ස්වල කිව්වා. පැද්දේ අශ්වයෝ කිව්වා. එහෙව් මට අරූ දීපු ලක්ෂ 30 න් කෙලවුනා. ˮ

    අමුත්තා සොටු සීරුවේය.

    ˝රවී අයියා කිව්ව මං කිව්වා වගේ හැමදේටම මං දන් නෑ මට මතක නෑ කියපං කියලා. වැඩක් නෑ. හැම එකාම ඒක කියලා දැන් කවුරුත් ගණන් ගන් නෑ. මේ මීඩියාකාරයෝ එක්ක බෑ අප්පා. අයියෝ මගේ දේසපාලන අනාගතේ ˮ

    අමුත්තා වියරුවෙන් මෙන් කියවයි. හෝම්ස් මදහසක් නැගීය.

    ˝දැන් මොකක්ද මගෙන් විය යුත්තේ කියනවානම් මට උදව් කරන්න පහසු වෙයි මහත්මයා.ˮ

    ˝ලොක්කා කිව්වා උඹ පුරවපු කක්කුස්සි වල උඹම සුද්ධ කරහන් කියලා. අම්මපා හෝම්ස් මහත්තයා මට කවුරුත් එහෙම කියලා නෑ. අනික ඔය කක්කුස්සිය හැදුවේ ලොක්ක කියලා එයාටම අමතකයි ආ... කතාවෙන් පිට පැන්නා නේද? අනේ හෝම්ස් මහත්තයා ඉක්මනට මිනිස්සුන්ට මේක අමතක කරවලා දාන්න මොකක් හරි කරන්න. පිං සිද්ධ වෙයි. අර ලක්ෂ 30 ම දෙන්නම් ˮ

    ˝ලංකාවේ මිනිස්සුන්ට අමතක කරවන වැඩේට මං හරිම ආසයි වොට්සන්. ඒක ඉතාම පහසු වැඩක්. මගේ පර්යේෂණ සොයා ගැනීම් ඊට උදව් වෙනවා නිසැකවමˮ

    ˝මට තේරුන් නෑ හෝම්ස්. කොහොමද එච්චර ලේසියෙන් මේ වගේ වැදගත් ප්‍රශ්න යට ගහන්නේ?ˮ

    මම හඬ අවදි කලෙමි.

    ˝ඔබට මතකද ලංකාවට පහුගිය කාලේ ආපු මහා ගංවතුරට මිනිස්සු විශාල ගානකට හානි වුනා. එතකොට මෙතුමා ගිහින් කෙසෙල් බෙදුවා. දැන් මං ප්‍රශ්නයක් අහන්නං. වැඩිපුර කතා වුනේ හානි ගැනද කෙහෙල් ගැනද?.ˮ

    සුජීව සේනසිංහ මහතාගේ දෑස් දැල්වුනි.

    ˝කෙහෙල් නේන්නං. අම්මපා හෝම්ස් මහත්මයා. ඔහෙගේ මොලේ තමයි මොලේ. මොකෝ කියන්නේ? මං මේ පාරත් කෙහෙල් කැනක් ඕඩර් කරන්නද?ˮ

    හෝම්ස් හිස දෙපසට වැනීය.


    ˝මේ කේස් එකට ඔබම මැදිහත් වීම බයානකයි මහත්මයා. නැද්ද දේසපාලන සම්බන්ධයක් තියෙන සෙල්ලක්කාර තරුණ කොල්ලෙක්? ˮ

    ˝ ඕකට කියාපු බඩුව මාලක සිල්වා. හැබැයි ඌ චාටර් වුනා වැඩියි. රමිත් රඹුක්වැල්ල.... කොහෙද අර ප්ලේන් එකේ දොර අරින්න ගිහින් ඌත් කෙලවගත්තනේ. ˮ

    සේනසිංහ මහතා කල්පනාවට වැටුනි.

    ˝කමක් නෑ සේනසිංහ මහත්මයා. පෙර වැරදි සහිත කෙනෙක් නම් වඩාත් හොඳයිˮ

    ˝රමිත්ගේ පෙර වැරදි තිබ්බට තාත්තා පොහොට්ටුවෙනේ. ෂුවර් නෑ. අම්මට සිරි රංගේ අයියා.... මගේ දෙයියා....ˮ

    අමුත්තා එක්වනම නැටුමක් නැටුවේය. අපි පුදුමයෙන් බලා සිටියෙමු.

    ˝සුපිරි බුලට් එකක් ඉන්නවා හෝම්ස් මහත්තයා. ඇක්සිඩන්ට්වලට කියාපු බඩුවˮ

    හෝම්ස් කාමරයට ගොස් යමක් ලීවේය. එය අමුත්තා අත තැබූ ඔහු පයිප්පය පුරවන්න පටන් ගත්තේය.

    ˝මං මේ ක්‍රමේ පාවිච්චි කරලා ලංකාවේ කේස් කීපයක්ම විසඳුවා ග්‍රෙග්සන්. විශේෂයෙන් පාලිත තෙවරප්පෙරුම මහත්මයා වගේ අයව මම පාවිච්චි කරන විදිහ ඉගෙන ගන්න වටිනවා. ස්කොට්ලන්ඩ්යාඩ් එකත් මේවා ටිකක් අධ්‍යයනය කරොත් හොඳයිˮ

    --------------------------------------------------------------------------

    මේ ගැටලුව හෝම්ස් විසඳන ආකාරය දැක ගැනීමේ කුතුහලය නිසාම දින දෙකකට පසු මා බේකර් වීදියට ගියෙමි. හෝම්ස් සිටියේ අතිශය ප්‍රීතියෙනි. රූපවාහිනියේ ශ්‍රී ලංකාවේ ටීවී චැනලයක් කරකවා තිබුණි.

    ˝මොකද හෝම්ස් තත්වේ ? වැඩේ නැගලා යනවාද?ˮ


    ˝නැගලා ගියාදත් අහනවා වොට්සන් මේං පත්තරවල ටීවී චැනල්වල හෙඩ් ලයින්ස්. දැන් මිනිස්සුන්ට අර කේස් එක අමතකයි ˮ

    මමද රූපවාහිනියට සවන් දුනිමි. පාලිත රංගේ බණ්ඩාර යන ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන දර්ශණයකි.

    ˝මෙන්න බලන්න වොට්සන් මම ආසම කෑල්ල. මම දීපු සැලැස්ම ඉතාම ලස්සනට පුලුල් කරන විදිහ බලන්න. මුල් සැලැස්මට අබමල් රේණුවක හානියක් නෑ. බලන්න මූණෙ කිසි වෙනසක් නැතිව බොරු කියන ලස්සන. ෂා... පට්ටයි වොට්සන්....පට්ටයි ˮ

    ˝ඒ කියන්නේ මේ ඔබේ සැලැස්මම නෙමෙයිද හෝම්ස්?ˮ


    ˝ඇත්තම කියනවානම් මිත්‍රයා, ඇක්සිඩන්ට් එක, වොඩ්කා බෝතලේ, කඩුව, විකට් කූර මගේ ඔරිජිනල් ප්ලෑනේ තිබ්බා. හැබැයි මේ හාදයා කියන ඒවා.... වොඩ්කා බෝතලේ තිබ්බේ වතුරලු. කඩුව ගෙනාවේ ගමේ අයලු. පුතා මාධ්‍ය ලේකම් හින්දලු රජයේ වාහනේ ගියේ. නියමයි..සුපිරි..ˮ


    ˝ලංකාවේ මිනිස්සු මේවා විශ්වාස කරන්න තරම් මෝඩයි කියලාද ඔබ කියන්නේ හෝම්ස්? ඇයි ඔබ ඒ රටේ මිනිස්සුන්ව ඔච්චරම අවතක්සේරු කරන්නේ?ˮ

    මා කතා කලේ මද ආවේගයෙනි.

    ˝ඔබට කේන්ති ගියානං මට සමාවෙන්න මිත්‍රයා. ˮ

    හෝම්ස් පයිප්පය පත්තු කර දුම් උගුරක් පිට කලේය.

    ˝ඔය මිනිස්සු මෝඩද නැද්ද කියලා ඔබට බලන්නම ඕනිද? වැඩි කාලයක් ඉන්න ඕනි නෑ. ආයේ ඡන්දයක් එනකල් ඉන්නකෝˮ

    හෝම්ස් කීවේ තැපෑලෙන් ලද ලියමනක් විවෘත කරමිනි. ලියුම් කවරය විවර කල හෝම්ස්ගේ දෑත් වෙවුලන්නට විය.

    ˝මොකක් හරි ප්‍රශ්නයක්ද හෝම්ස්?ˮ

    මම කුතුහලයෙන් විමසීමි.

    ˝ඇලෝෂියස්ගෙන් චෙක් එකක් ඇවිත් වොට්සන්ˮ

    සුදුමැලිවූ හෝම්ස් පැවසීය. මම වහා බ්‍රැන්ඩි බෝතලය ගේන්නට ගියෙමි.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මොනවා සුජීව?...... ඔබ සුජීව ප්‍රසන්න ආරච්චිද?:lol::lol: