“සැප ලබන්නේ පින නිසාමයි”

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,548
    10,933
    113
    Colombo
    විශාඛා මහෝපාසිකාවගේ කථා වස්තුව

    පින්වතුනේ, පින්වත් දරුවනේ,

    පින කියන්නේ මහා පුදුම දෙයක්. පින තුළින් දෙවි මිනිසුන් හට පුදුම විදිහේ සැප ලැබෙනවා. පින් කරපු අය උපදින්නේ සැප විඳින්නමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබලන කාලයේ ධර්මය තුළින්ම විශේෂත්වයට පත් පිරිස් භික්ෂූන් වහන්සේලා අතර සිටියා. භික්ෂුණීන් වහන්සේලා අතරත් සිටියා. උපාසකවරුන් අතරත් සිටියා. උපාසිකාවන් අතරත් සිටියා. ඒ සිව්වණක් පිරිස තුළ විශේෂ ගුණධර්මයන් වැඩුණු උතුමන් හට බුදුරජාණන් වහන්සේ අගතනතුරු දී වදාළා.

    විශාඛා මහෝපාසිකාව ගැන ඔබ කවුරුත් දන්නවා. එතුමිය තමයි මේ බුද්ධ ශාසනයේ ප‍්‍රධානම උපාසිකාව වුනේ. එතුමියට දන් පැන් පූජා කරන උපාසිකාවන් අතර අග‍්‍ර දායිකාව බවට අගතනතුරු ලැබුනා. උපාසකවරුන් අතරේ අගතනතුරු ලැබුනේ අනේපිඬු සිටුතුමාටයි.

    මෙම විශාඛා මහෝපාසිකාව සෝතාපන්න බවට පත්වුනේ සත්හැවිරිදි වියෙහිදීයි. එතකොට ඇය සිටියේ අංග ජනපදයේ භද්දිය කියන නගරයේ. සැවැත් නුවර මිගාර සිටාණන්ගේ පුත‍්‍රයා වන පූර්ණවර්ධන සිටුවරයාට විවාහ කරදීම නිසයි ඇය සැවැත් නුවරට පැමිණියේ. මිගාර සිටුපවුල කලින් නිගණ්ඨ නාතපුත‍්‍රගේ ශ‍්‍රාවකයන්. නමුත් විශාඛාව ඉතාමත් බුද්ධිමත්ව නිර්භීතව අභිමානවත්ව කටයුතු කිරීම නිසා ඒ මුළු පවුලම තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් බවට පත්වුනා.

    ඒ වගේම විශාඛා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේ මවක් දරුවන්ව රැකගන්නා ආකාරයටයි. ඔබ දන්නවා ඇති විශාඛා පංචකල්‍යාණයෙන් යුක්තයි. ඒ කියන්නේ ඇයට ඉතාමත්ම සෝභාසම්පන්න කේශ කලාපයක් තිබුනා. ඒ කේශ කල්‍යාණයයි. ඇයගේ ශරීරයේ අත් පා ආදිය ඉතා සෝභාසම්පන්නව පිහිටා තිබුනා. එය මාංශ කල්‍යාණයයි. ඇයට ඉතාමත්ම අලංකාර සුදෝසුදු දත් දෙපෙළක් තිබුනා. එය අස්ථි කල්‍යාණයයි. ඇයට රන්වන් පැහැයෙන් දිලෙන සමක් තිබුනා. එය ඡවි කල්‍යාණයයි. ඇය දරුවන් විසි දෙනෙකුගේ මවක් වෙලා සිටියදී පවා ඉතාමත් ආකර්ෂණීය රූපයක් තිබුනා. ඇයගේ වයස කිසිකෙනෙකුට කියන්නට බැහැ. දියණිවරුන් අතරේ, මිණිබිරියන් අතරේ පවා ඇය දිස්වුනේ දියණියක් වගේ. එය වයඃ කල්‍යාණයයි. ඒ වගේම ඇයට මහාලතාපසාදනී නමින් ආභරණයකුත් තිබුනා. දඹදිව එවැනි වටිනා ආභරණ තුනක් තිබුනා. එකක් විශාඛා මහෝපාසිකාව සතු වුනා. අනෙක බන්ධුල මල්ලිකාව සතුවුනා. අනෙක බරණැස සිටුතුමාගේ දියණිය සතු වුනා.

    දිනක් විශාඛාව මංගලෝත්සවයකට යන්නට මෙම ආභරණය පැළඳගත්තා. විසිහත් කෝටියක් වටිනා එම ආභරණය පැළඳගත් විට ඇයව මුළුමනින්ම බබලනවා. එය පැළැඳ ඇය ගමන් කරන විට ඇයගේ සිරුරින් රැස් විහිදෙනවා. ඉතින් එදා ඇය මංගලෝත්සවයට යන අතරේ ගිලන් වූ භික්ෂුවක් ගැන දැනගන්නට ලැබුනා. ඇය කෙළින්ම දෙව්රම් විහාරයට යන්නට පිටත් වුනා. එහෙත් ඇය මහාලතාපසාදනී නම් ආභරණය සමඟ වෙහෙරට යන්නට කැමති වුනේ නෑ. ඇය එම ආභරණය සිරුරෙන් ඉවත් කොට දාසියට දුන්නා. ඉන්පසු ඒ ගිලන් ස්වාමීන් වහන්සේව බැහැදකින්නට ගොස් ඇපඋපස්ථාන කටයුතු සොයා බැලූවා. ඇය කටයුතු අධික බැවින් ආපසු යන්නට පිටත් වුනා. අතරමගදී ඇයට මහාලතාපසාදනිය මතක් වුනා. එය රැගෙන එන්නට දාසිය පිටත් කළා. ඒ වන විට ඒ මහාලතාපසාදනිය විහාරයේ පසෙක තිබෙනු දුටු ආනන්ද තෙරුන් වහන්සේ සුරක්ෂාව පිණිස එය වෙන තැනකින් රැගෙන තිබ්බා. මෙය දැනගත් විශාඛාව මෙහෙමයි කල්පනා කළේ. “දැන් මේ ආභරණය ආර්යයන් වහන්සේලාගේ අතින් අරගෙන පැත්තකින් තියපු දෙයක්. ඒ නිසා මං මෙය පරිහරණය කරන එක හරි නෑ. ඒ නිසා මං මෙය විකුණනවා. විකුණලා සංඝයාට කැප වූ විශේෂ දෙයක් කරනවා” කියලා ඉතාම සතුටින් මෙම ආභරණය ගෙන්වා ගෙන සල්පිලට ගෙනිච්චා.

    මෙය විසිහත් කෝටියකට ගන්නට කවුරුත් නෑ. අන්තිමේදී විශාඛාව විසින්ම විසිහත් කෝටියක ධනයදී ඒ ධනය ගැලක පටවා ගෙන වෙහෙරට ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කොට මෙසේ පැවසුවා. “ස්වාමීනී, ආනන්දයන් වහන්සේ විසින් මහාලතාපසාදනී අතින් ස්පර්ශ කොට පසෙකින් තිබ්බා. එතැන් පටන් එය මට පරිහරණය කරන්නට සිතෙන්නේ නෑ. මහා ගෞරවයක් ඇතිවෙනවා. ආර්යයන් වහන්සේ නමක් අතින් ස්පර්ශ කරපු දෙයක් ආර්යයන් වහන්සේලා කෙරෙහි මේ සා ආදර ගෞරව දක්වන මා කොහොමද පරිහරණය කරන්නේ? ඉතින් ස්වාමීනී, මං එය විකුණන්නට සල්පිලට ගෙනිච්චා. එය ගන්නට කිසිවෙක් නෑ. එය මම ම මිලට ගත්තා. ඒ මුදල් මේ ගැල්වල පටවාගෙන ආවා. ස්වාමීනී, මං මෙයට මොකද කරන්නේ?”

    “එහෙමනම් පින්වත් විශාඛා, නැගෙනහිර දොරටුවේ සංඝයාට වාසය කිරීම පිණිස අසපුවක් තනවන්න.” ඉතින් විශාඛා ඉතාම සතුටින් යුතුව කෝටි නවයක් වියදම් කොට භූමිය මිලට ගත්තා. කෝටි නවයක් වියදම් කොට යට මහලේ කාමර පන්සියයකින් යුතුව, උඩු මහලේ කාමර පන්සියයකින් යුතුව කුටි දහසක අසපුවක් කෙරෙව්වා. නව කෝටියක් වියදම් කොට උත්සවාකාරයෙන් එය බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ සංඝයාට අතපැන් වත්කොට පූජා කළා.

    එය පූජා කළ දවසේ ඇය පුදුමාකාර සතුටකට පත්වුනා. සතර මාසයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට දන්පැන් පූජා කළා. අවසාන දවසේ දසදහස් ගණන් භික්ෂූන් වහන්සේලාට තුන්සිවුරු පූජා කළා. මේ ආකාරයට විසිහත් කෝටියක් වියදම් කරවමින් පූර්වාරාම මහා විහාරය බුද්ධශාසනයට පූජා කළා. ඇය එදා මහා සතුටට පත්වෙලා දූදරුවන්, යහළු යෙහෙළියන් පිරිවරාගෙන මිහිරි ගී ගය ගයා පූර්වාරාමය වටේ ඇවිද ඇවිද ගියා.

    “සුදුපැහැයෙන් බබලන ඒ – සුරම්‍ය ප‍්‍රාසාදේ
    විහාරයක් කොට දුන්නෙමි – සිතේ සතුට විහිදේ
    සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
    ඇඳ පුටු හා මෙට්ට පැදුරු – ඇතුරුව ප‍්‍රාසාදේ
    සේනාසන බඩු දුන්නෙමි – සිතේ සතුට විහිදේ
    සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
    රස මසවුළු බොජුන් යුතුව – නිරතුරු දන් සාලේ
    උතුම් සංඝ දාන දුනිමි – සිතේ සතුට විහිදේ
    සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
    සිනිඳු කසී සළුවෙන් යුතු – සකසා තුන් සිවුරේ
    දහස් ගණන් සිවුරු දුනිමි – සිතේ සතුට විහිදේ
    සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
    ගිතෙල් වෙඬරු මී පැණි තෙල් – ගිලන්පසට සෑදේ
    සංඝයාට බෙහෙත් දුනිමි – සිතේ සතුට විහිදේ
    සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ ”

    ඉතාමත් මිහිරි හඬින් ඇය මෙලෙසින් ගායනා කරමින් පූර්වාරාමය වටේ ඇවිදින විට භික්ෂූන් වහන්සේලා ඒ ගැන බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, විශාඛා මහෝපාසිකාව ඉතාම නිශ්ශබ්දව කටයුතු කළ කෙනෙක්. මහ හඬින් කතා කළේ නැහැ. සියලූ දෙනාටම ආදර්ශවත් වුනා. එහෙත් ස්වාමීනී, අද ඇයගේ වෙනසක් පේනවා. කිසිම අමුත්තක් නැතුව මහ හඬින් ගීත ගයමින් ප‍්‍රාසාදය වටා ඇවිදිනවා. සාර මාසයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වී දන්දීම නිසා පිත කිපුනා වත්ද? සෑහෙන්න නිදිවැරීම නිසා උමතු වුනා වත්ද?”

    “පින්වත් මහණෙනි, විශාඛාව ගී ගයන්නේ ඇයගේ සසරේ පැතුමක් ඉටුවීම නිසයි. ඇය ඔය ගායනා කරන්නේ උදාන ගී” යයි වදාළ බුදුරජාණන් වහන්සේ යළි මේ ගාථා රත්නය මිහිරි හඬින් වදාළා.

    යථාපි පුප්ඵරාසිම්හා – කයිරා මාලාගුණේ බහූ
    ඒවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං

    සුවඳ සුපිපි මල් අරගෙන – ගොතයි නේක මල් මාලා
    එලෙසින් ලොව උපන් කෙනා – කළ යුතු පින් මාලා
    සැප හා සැනසුම ලැබෙනා – කුසල් වැඩිය යුතු නිතිනා
    නිරතුරු පින් කළ යුතුමයි – මාල ගොතන ලෙස නිතිනා

    පින්වතුනේ, පින්වත් දරුවනේ, මල් මාලා ගොතන කෙනෙක් හැම තිස්සේම කල්පනා කරන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයා යන යන තැන සොයා බලන්නේ ලස්සන මල් තියෙන්නේ කොහේද කියලයි. ඒ ඒ තැනට ගිහින් මල් නෙලා ගන්නවා. හොඳින් පරිස්සම් කරගන්නවා. ඉතාම අලංකාර ලෙස මල් මාලයට අමුණා ගන්නවා.

    බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ විදිහට අපිත් කටයුතු කළ යුතු බවයි. පින ළඟට එනකම් බලාගෙන සිටීම නුවණක්කාර වැඩක් නොවෙයි. පිනට ආසා කෙනා පින සොයාගෙන යන්නට ඕන. විශාඛාව පූර්වාරාමය පූජා කරන දවසේ විශාඛාවගේ යෙහෙළියකට සංඝයා උදෙසා ලක්ෂයක් අගනා වස්ත‍්‍රයක් පූජා කරන්නට ඕන වුණා. ඇය එය එළන්නට සුදුසු තැනක් මුළු පූර්වාරාමයේම ඇවිද ඇවිද සෙව්වත් සොයන්නට බැරිව ගියා. ඇයට ලොකු දුකක් ඇති වුනා. අන්තිමේදී පසෙකට වාඩි වී හඬ හඬා සිටියා. ඇයගේ හැඬුම අසා ආනන්ද ස්වාමීන් වහන්සේ එතනට වැඩියා. “පින්වත් දියණිය, හඬන්නේ ඇයි?” ”අනේ ස්වාමීනී, මට මේ පිනට සහභාගී වෙන්නට ලොකු ආසාවක් තිබුනා. ඒ නිසයි මේ ලක්ෂයක් අගනා වස්ත‍්‍රය අරගෙන ආවේ. මෙය අතුරන්නට තැනක් සොයනවා සොයනවා. සොයා ගන්නට නැහැ.”

    ආනන්ද ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා කල්පනා කළා. එයට සුදුසු තැනක් මතක් වුනා. “පින්වත් දියණිය දුක් වෙන්න එපා. මං ඔබට තැනක් කියන්නම්. අර පඩිපෙළ මුල පේනවාද? අන්න එතන තියෙනවා සංඝයා පා දෝවනය කරන තැන. සංඝයා පා දොවා අවසන් වූ ගමන් පා පිස්නාවක් හැටියට ඔබ එතන මෙය එළන්න. එය ඔබට මහත්ඵල ලබා දේවි.” ඉතින් ඇය ලක්ෂයක් අගනා ඇතිරිල්ල සංඝයා හට පා පිස්නාවක් කොට පූජා කළා.

    මේ අයුරින් පින් කරනා කෙනා කවුරු මොනවා කිව්වත් තමන්ගේ පුණ්‍ය කටයුතු කඩාකප්පල් කරගන්නේ නෑ. දිගටම කරගෙන යනවා. ඔබත් දක්ෂ මල්කාරයෙක් මල් රාශියක් නෙලා ගෙන ලස්සන මල් මාලා ගොතනවා වගේ සෑම විටම පින් කිරීමට මහන්සි වෙන්න.

    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,548
    10,933
    113
    Colombo
    බෙහෙත් ඖෂධ පිදීමේ ආනිසංස 🙏

    මෙත්ත ගුත්ත හිමි සුමේධ බුදු රජුන්ට ගිතෙල් පිදූ පිනින් අට වරක් සක් දෙවිඳු වුණේ ය. පනස් එක් වරක් සක්විති රජකම ලැබුවා. එසේම සෑම ජීවිතයක ම පාහේ අප්‍රමාණ භෝගසම්පත් ලැබුවා හ. අවසානයේ ඒ පින නිවනටද උපනිශ්‍රය වු බව 403 වන අපදානයේ පෙන්වා ඇත.

    🌸..පිළින්‍දිවච්ඡ හිමිට බෙහෙත් පිදීමෙන් අනුසස් දහයක් ලැබුණාහ.

    ** දීර්ඝායුෂ ලැබේ.
    ** බලවන්තයෙකු වේ.
    ** වීර්යය වන්තයෙකු වේ.
    ** වර්ණ සම්පත් ලැබේ.
    ** යශස් ඇත්තේ වේ.
    ** සැප ඇත්තේ වේ.
    ** උපද්‍රව නැත්තේ වේ.
    ** අන්තරා නැත්තේ වේ.
    ** හැම කල්හි ම ගරු කරන ලද්දේ වේ.
    ** ප්‍රිය විප්පයෝග දුක් නො ලැබේ.

    ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී භික්‌ෂුන් වහන්සේලා අතුරෙන් අග තනතුරු ලබල හිටියෙ බක්‌කුල මහ රහතන් වහන්සේ. බුදු රජාණන් වහන්සේටත් ඒ වගේ කායික නිරෝගී බවක්‌ තිබිල නෑ. අතීත කර්ම විපාක අනුව තුනටිය අමාරුව, නිතර පැවැති හිසරුදාව, ලෝහිත පක්‌ඛන්දිකා කියන ලේ අතීසාර රෝගය තථාගතයන් වහන්සේට වැළඳුණා.
    .
    බක්‌කුල තෙරුන් වහන්සේ අසූ අවුරුද්දක්‌ ගිහිගෙයි වාසය කරන කාලයෙත් අසූ අවුරුද්දක්‌ පැවිදි ජීවිතය ගත කරපු කාලයෙත් සුළු රෝගයක්‌වත් ඇති වුණේ නෑ. උන්වහන්සේ 160 අවුරුද්දක්‌ ආයු වළඳපු තෙර නමක්‌ කුල දෙකක වැඩුණු නිසා බක්‌කුල කියල නම පටබැඳුනා. ගෞතම බුද්ධ සාසනයේ මහා ශ්‍රවකයන් වහන්සේ නමක්‌ වූ උන්වහන්සේ කිසිම රෝගාබාධයක්‌ නොවැළඳී නිරෝගි වෙන්න හේතු වුණේ, අනෝමදස්‌සී බුදු රජාණන් වහන්සේගෙ කාලයේදිත්, ඉන්පසුවත් බුද්ධ ශාසනවලදී සිදුකරගත් ඖෂධ පූජාවන් හේතු කොටගෙන.

    මේ මහා භද්‍ර කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්‌ෂයකට පෙර බුදු වූ අනෝමදස්‌සී බුදු රජාණන් වහන්සේගේ කාලයේ බක්‌කුල තෙරුන් වහන්සේ වේදත්‍රයේ කෙළ පැමිණි බ්‍රාහ්මණයෙක්‌ විදිහට ඉපදිලා තාපස පැවිද්ද ලබල ශිෂ්‍ය පිරිසක්‌ සමඟ හිමාලය අසල අසපුවක වාසය කළා. අනෝමදස්‌සී තථාගතයන් වහන්සේ විවේක සුවයෙන් ඉන්න ඒ අසපුවට වැඩිය අවස්‌ථාවක, මහත් වූ වාතාබාධයක්‌ හට ගත්තා. ඒ අවස්‌ථාවේ බක්‌කුල හාමුදුරුවො තමන්ගෙ ශිෂ්‍ය පිරිස සමඟ පර්වතයකට නැගල ඖෂධ සොයාගෙන බෙහෙත් සකස්‌ කරල දීලා තථාගතයන් වහන්සේට වැළඳුණ උදරාබාධය සංසිඳවන්න කටයුතු කළා. ඒ කරගත්ත පින් බලයෙන් උපනූපන් ජාතිවල කිසිම ආබාධයක්‌ නොවේවයි ප්‍රාර්ථනාත් කළා.

    වාතාබාධයෙන් නිරෝගි සුවයට පත් අනෝමදස්‌සී බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයා සිදු කරපු ඖෂධ පූජාවේ අනුසස්‌ මේ විදිහට විස්‌තර කළා. මේ බෙහෙත් පූජා කළ පිනෙන් කල්ප ලක්‌ෂයක්‌ දෙව් ලොව ඉපදිලා දිව්‍ය සැප විඳල,මිනිස්‌ ලොව ඉපදිලා දහස්‌ වරක්‌ චක්‍රවර්තී රජ බවට පත් වෙනවා. පස්‌වන කල්පයේ සතර මහා දිවයින් හා සිවු මහාසාගරකෙළවර කර ඇති පෘථීවියට අධිපති,සතුරු රජවරුන් ජයගන්න සත්රුවනින් යුතුව ජම්බුද්වීපයේ මහත් බල ඇති අනෝම නම් චක්‍රවර්ති රජෙක්‌ වෙලා තව්තිසා දෙව්ලොවත් අධිපති බව කරනවා. දෙව් මිනිස්‌ දෙගතියේ කොහේ ඉපදුනත් ලෙඩ රෝගවලින් මිදිල නිරෝගි සුව ලබා මෙයින් කල්ප ලක්‌ෂයකට පසු ගෞතම නම් බුදුවරයෙක්‌ ලොව පහළ වෙනවා. ඒ කාලයේ බක්‌කුල නමින් ඉපදිලා පැවිදි වෙලා සියලු කෙළෙස්‌ නසලා අරිහත්වයට පත්වෙලා නිරෝගි භික්‌ෂූන් අතර අග තනතුරු ලබනවා.
    .
    කල්ප ලක්‌ෂයකට පෙර තමා විසින් කළ ඒ ඖෂධ පූජාවේ පුණ්‍ය බල මහිමයෙන් එතැන් පටන් දුගතියකට නොගිය බවත්, අප්‍රමාණ දෙව් මිනිස්‌ සැප ලබා ගෞතම බුදු සසුනේ සිවු පිළිසිඹියා, ෂඩ් අභිඥා ලබාගත් බවත් උන්වහන්සේ විසින්ම ප්‍රකාශ කළා.
    .
    අනෝමදස්‌සී බුදුරාජණන් වහන්සේට එදා සිදු කළ ඖෂධ පූජාවෙන් පසු සසර සැරිසරාගෙන එන කොට පහළ වූ පදුමුත්තර කියන සර්වඥයන් වහන්සේගෙ කාලයේ හංසවතී නුවර කුල ගෙයක ඉපදිලා ඒ බුදුරාජණන් වහන්සේගෙන් බණ අහමින් හිටපු අවස්‌ථාවක එක්‌තරා භික්‌ෂුවකට අල්පාබාධ ඇති භික්‌ෂුන් අතුරෙන් අග තනතුර පිරිනමනව දැකල, මමත් අනාගත බුදු කෙනෙක්‌ගෙන් මේ වගේ පදවියක්‌ ලබනව කියල අධිෂ්ඨාන කර ගත්තා. ඔහු සත් දිනක්‌ තිස්‌සේ මහා දන් පවත්වල අවසන් දිනයේ පදුමුත්තර බුදුන්වහන්සේට තමන්ගේ අදහස දැන්වුවා. උන්වහන්සේ අනාගතය බලලා ඒ කාරණය සඵල වන බව දැකල, ඔබගේ ප්‍රාර්ථනය මෙයින් කල්ප ලක්‌ෂයකට පසු බුදු වන ගෞතම බුදුන් වහන්සේගෙ ශාසනයේදී සිද්ධ වෙනව කියල විවරණ දුන්නා.

    ඒ කුල පුත්‍රයා සසර බොහෝ පිං දහම් කරල නැවත විපස්‌සී බුදුරජාණන් වහන්සේගෙ කාලයේ හිමාලයට ගිහින් තපස්‌ රකිමින් හිටපු අවස්‌ථාවක, අට ලක්‌ෂයක්‌ පමණ භික්‌ෂුන්ට වැළඳුණ වසංගත රෝගයකට බෙහෙත් කරල නිරෝගි බව ලබා දුන්නා. නැවතත් කාශ්‍යප බුදුන් වහන්සේගෙ කාලයේ බරණැස්‌ නුවර ඉපදිලා ගෙයක්‌ හදන්න ආරම්භ කරල ඊට අවශ්‍ය උපකරණ රැස්‌ කරන මොහොතක දිරා ගිය සංඝාවාසයක්‌ දැකල, තමන්ගෙ ගේ හැදීම නතර කරල ඒ සංඝාවාසය ඇතුළු සියලුම විහාරාරාම ගොඩ නගල පූජා කළා.

    මේ විදිහට අප්‍රමාණ පිං රැස්‌ කරල දෙව් මිනිස්‌ දෙගතියේ ඉපදෙමින් ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ කොසඹෑ නුවර එක්‌තරා මහා ධනවත් සිටු කුලයක උපන්නා. උපන් දවසෙම යමුනා ගංගාවෙන් නාවපු අය දීර්ඝායුෂ ලබනවයි කියන විශ්වාසය අනුව, ඒ දෙමව්පියන් උපන් කුමරු නාවන්න යමුනා ගංගාව කරා පෙරහැරින් ගෙන ගියා. කිරි මව විසින් කුමාරයා දියේ ගිල්වල නාවන කොට, මේ නම් ගොදුරක්‌ කියල හිතපු විශාල මාළුවෙක්‌ දුවගෙන ඇවිත් කුමාරයව ගිල දැම්මා. ඒත් කුමාරයගෙ පිං බලය නිසා කිසිම අනතුරක්‌ වුණේ නෑ. පශ්චිමභවික පුද්ගලයන්ගේ ජිවිතය (මේ දිවියේදී ඒකාන්තයෙන් අරහත් වීමට හේතු ඇති) කිසිම උපක්‍රමයකින්වත් විනාශ කරන්න බෑ. දබ්බමල්ල හාමුදුරුවො, සංකිච්ච හාමුදුරුවෝ කියන දෙනමත් මව් ගැබේ ඉඳෙද්දිම මව මළත් දරුවා නොමැරී ආරක්‌ෂා වුණේ පශ්චිමභවික පුද්ගලයන් නිසා.

    එතකොට අර කුමාරයා ගිල දමපු මාළුවා මසුන් මරන්නන්ගෙ දැලකට අහුවෙලා මළා. ඒ මාළුවා කහවනු දහසකට විකුණන්න නගරයට ගෙන ගියාම, අසූ කෝටියක්‌ ධනය තිබිච්ච, දරුවන් හිටියෙත් නැති සිටුවරයෙක්‌ මේ මාළුවා ගෙනිහින් සිටු දේවියට දුන්නම, ඒ මාළුවා ගැන බලවත් ආසාවක්‌ ඇති වුණා. මසුන් මරන අය ඇයට එක කහවනුවකට මාළුව දීල ගියා. සිටු දේවිය මාළුවගේ කුස හෙමින් කපන කොට කුස තුල හිටපු බිළිදා දැකල ප්‍රීතියෙන්, රන්වන් පුතෙක්‌ ලැබුණයි කියල සිටුතුමාට පෙන්නුවා.

    සිටුතුමා බලවත් සතුටට පත්වෙලා ඒ බිළිදා ගැන බරණැස්‌ රජතුමාට කිව්වා දැන්වුවා. රජතුමා සිටුතුමා අමතල, මොහු මහ පිං ඇති කුමරෙක්‌, හොඳින් පෝෂණය කරන්නෙයි කියල කිව්වා. බරණැස්‌ සිටුතුමාට මත්ස්‍යයකුගේ කුසින් දරුවෙක්‌ ලැබුණු බව මුළු රට පුරාම ආරංචි වුණා. බිළිඳු කුමරු වදපු මවටත් මේ පුවත අහන්න ලැබිල මහ සෙනඟ එක්‌ක ඇවිත් තමන්ගෙ දරුවා හඳුනගෙන, මේ මම වදපු පුතා කියමින් කුමාරයා ඉල්ලල දබර කළා. දෙපැත්තෙම අය බරණැස්‌ රජතුමාට මේ කාරණය කිව්වම, දෙපක්‍ෂයෙන්ම කරුණු විමසල දෙගොල්ලන්ටම කුමාරයා අයිති බව පවසල ඔහු පෝෂණය කරන්න සිටු මැදුරු දෙකටම බාර කළා. එතැන් පටන් දෙපක්‌ෂයේම සිටු මැදුරුවල සැප විඳිමින් අසූ වසරක්‌ කල් ගෙවල බුදු සසුනේ පැවිදි වෙලා බක්‌කුල නමින් අරහත්වයට පත්වුණා. කුල දෙකක වැඩුන නිසා බක්‌කුල කියන නම ලැබුණා.
    .
    බක්‌කුල මහ රහතන් වහන්සේගෙ නුවරවල් දෙකේ ඥතීන් පහළොස්‌ දවස බැගින් බෙදාගෙන උන්වහන්සේට සිවු පසයෙන් උපස්‌ථාන කළා. පැවිදි වෙලා අසූ වසරක්‌ ජීවත් වෙච්ච උන්වහන්සේට කිසිම දවසක කිසිම ආකාරයක රෝගයක්‌ ඇති වුණේ නෑ. පිරිනිවන්පාන දවසෙ විහාරයෙන් විහාරයට ගිහින් තමන් අද පිරිනිවන්පාන බව තෙරවරුන්ට දන්වල අවුරුදු 160 ක්‌ ආයු වළඳල පිරිනිවන්පෑවා. බුදුන් වහන්සේ බක්‌කුල තෙරුන් ජීවමාන අවධියේම ''ඒතග්ගං භික්‌ඛවේ මම සාවකානං භික්‌ඛුණං අප්පාබාධනං යදිදං බක්‌කුලෝ'' කියල බක්‌කුල තෙරුන් වහන්සේ නිරෝගි භික්‌ෂුන් අතරින් අග්‍රස්‌ථානයට පත් කළා.

    සම්බුදු පියාණන් වහන්සේලා මුල්කරගෙන මහා සංඝරත්නය උදෙසා ඖෂධ පූජාවන් නොයෙක්‌ ආකාරයෙන් එදා පටන් අද දක්‌වාම මහ රජ දරුවන්, සැදැහැවතුන් විසින් සිද්ධ කරනවා. ඒක මහා පුණ්‍ය ගංගා කුසල ගංගා සිද්ධ වන, දිව්‍ය මනුස්‌ස සැප ලබාදෙන මහා පිංකමක්‌. සත්ත්වයන්ට වැළඳෙන අට අනූවක්‌ රෝග නව අනූවක්‌ ව්‍යාධි දෙසිය තුනක්‌ අන්තරා දුරු කර ගෙන ලෞකික සැප විපාක ලබල ලෝකෝත්තර නිවනට තියෙන බාධා දුරු කරගෙන සසර ණය ගනුදෙනු පියවල ආර්ය මාර්ගය වඩන්න උපනිශ්‍රය සම්පත්තියත් සලස ගන්න පුළුවන් පිංකමක්‌.🙏🙏🙏

    තෙරුවන් සරණයි!