“සුපර් මාකට්”

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ලංකාවට “සුපර් මාකට්” හඳුන්වා දුන් දාස මුදලාලි

    dasa.jpg


    දාසඔහු එක්තරා කාලයක අපේ රටේ අංක එකේ ව්‍යාපාරිකයකුව සිටියේය (දාස). ශ්‍රී ලංකාවට පිටරටින් රෙදි නිමි ඇඳුම් නොගෙන්වූ යුගයක වටිනා ඩියුරෝ කමිස නිෂ්පාදනය කළ ඩියුරෝ සිත්තමින් බන්ස්ටයිල් මිල්ස්හි හිමිකරුවා ඔහුය. සුන්න දෙණිය ගුණදාස නොහොත් එස්. ඩී. ගුණදාස ඔහුගේ නාමයයි. එහෙත් අපේ රටේ කොයි කවුරුත් ඔහු හැඳින්වූයේ දාස මුදලාලි නමිනි.
    අපේ රටේ කවදත් කීර්තිමත් ව්‍යාපාරිකයන් බවට පත්වූයේ දකුණේ සිට කොළඹට කුඩා කාලයේදීම ඇඳිවත පමණක් රැගෙන ආ කොලු ගැටවුන්ය. ඇස්. ඩී. ගුණදාස මුදලාලි ද එවැන්නෙකි.
    අද පවතින සුපිරි වෙළෙඳසැල් ක්‍රමයේ ආරම්භකයා ඔහුය. අද හන්දියක් හන්දියක් ගානේ සුපිරි වෙළෙඳසල් තිබුණත් එදා 70 දශකයේ කොල්ලුපිටියේ බොරැල්ල හා කැලණියේ සුපිරි වෙළෙඳසල් ඉදිකළේ දාස මුදලාලිය. ඒ ඔහුට කුඩා කල සිටම තිබූ චිත්ත ධෛර්යයත් අධිෂ්ඨාන ශක්තියත් නිසාය. කුඩා ගුණදාස මරදානට ආවේ සිය වැඩිමල් සහෝදරයන් මරදානේ චීන ව්‍යාපාර කීපයක වැඩ කරමින් සිටි කාලයේය. මරදාන මහා විද්‍යාලයට ඇතුළුවන්නට ඔහුට ඉඩකඩ ලැබුණේ ඒ නිසාවෙනි.
    දෙවැනි ලෝක මහා යුද්ධය අවදියේ දී චීන ව්‍යාපාරිකයන් රට හැර යාමෙන් පසුව දාසගේ සහෝදරයන්ට එම ව්‍යාපාරවල හිමිකාරිත්වය පැවරිණි. ඒ නිසා වයස අවුරුදු 9 දී පාසල් දිවියට සමුදුන් ගුණදාසයන් සහෝදරයන් සමඟ එක්ව ව්‍යාපාර ලෝකයට අවතීර්ණ විය. පාසල් යන අවදියේ පවා ගුණදාස සිය අම්මාගෙන් ලද ගුරුහරුකම් නිසාදෝ සිය පාසලේ මිතුරු මිතුරියන්ට ඇක්සයිස් පොත් පැන්සල් ආදිය විකිණීමෙන් මුදලක් සොයා ගත්තේය.
    ගුණදාසයන්ගේ ගම රුහුණේ සුප්‍රකට දෙවිනුවර දේවාලයට සැතපුමක් පමණ දුරින් වූ තලල්ලය. ඔහුගේ දෙමාපියන් වන්නේ ඇස්. ඩී. රොමානිස් සිල්වා මහතා හා එම්. සී. කළුහාමි මහත්මියයි. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් හ‍යදෙනෙකි. පිරිමි 4 කි. ගැහැනු 2 කි. 1931 සැප්තැම්බර් මස 6 වැනිදා උපන් ගුණදාස ගන්දර ඉස්කෝලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. මව තම දරුමල්ලන් පෝෂණය කළේ ලණු අඹරා ගත් මුදලිනි.
    dasaජීවිතයටම පාසල් දෙකකට පමණක් ගිය ඔහු ඉගෙන ගත්තේ හතරවැනි පන්තියට පමණි. ගන්දර ඉස්කෝලයට ගිය ඔහු කුඩා වියේදීම වෙළෙඳාම ගැන උනන්දුවක් දැක්වීය. අයියලාගේ ව්‍යාපාර සාර්ථක වීමෙන් ලද පන්නරය අනුව දාස මුලින්ම කපුරු බෝල බැනියම් පොත් පැන්සල් ආදි ලිපිද්‍රව්‍ය විකිණීම ආරම්භ කළේ පදික වේදිකා වෙළෙන්දෙකු ලෙසිනි. ඔහුගේ මේ පුංචි ව්‍යාපාරයට දිරි දුන්නේ අම්මාය. අම්මාගෙන් ලද මුදලකින් පුංචි වට්ටියක් ගත් ඔහු එහි බැනියම් රෙදි ආදිය දමාගෙන කොළඹ නගරයේ පොළවල්වල හා වීදිවල ඇවිද්දේය.
    ඔහුගේ විකුණුම් බඩු අතරට කමිස, වීදුරු කෝප්ප, ආදිය ද ක්‍රමයෙන් එක්විය. ඉන්පසු මුද්දරප්පලම් තොග වශයෙන් ගෙන පැකට් කර විකුණුවේය. පසුව වට්ටිය වෙනුවට කරත්තයක් පාවිච්චි කළේ ව්‍යාපාරය තරමකට දියුණු වෙන්නට වූ බැවිනි.
    ගුණදාසගේ පාසල හැර යාම ද අමුතුම අන්දමේ කතාවකි. ගමේ පාසලේදී දාස පන්තියේ ‘මොනිටර්’ විය. ඔහු පුංචි පුංචි වෙළෙඳාම් කටයුතු ද ඒ අතරේ කළ නිසා මිතුරන් ඔහුට නොයෙකුත් නම් පටබැඳ තිබිණ. ඒ වගේම ‘මොනිටර්’ නිසා ඔහුට ගුරුතුමියගේ සැලකිල්ලක් ද තිබිණ.
    දිනක් ඔහුට පන්තිය බලාගන්නට පවරා ගුරුතුමිය මඳකට ඉවතට ගියාය. ඒ අවසරයෙන් ගුණදාස ද සිය පුංචි ව්‍යාපාරික කටයුත්තකට ගියේය. පන්තියේ දඟකාරයෙක් අසලක සිටි පූසෙකු ගුරුතුමියගේ ලාච්චුවට දැම්මේ ඒ අවසරයෙනි. ගුරුතුමිය ඇවිදින් ලාච්චුව අරිද්දී බළලා ඇගේ ඇඟට පැන්නේය. එහි වරද පැටවුණේ ගුණදාසටය. එදා පොත් ටික දෑතට ගෙන පාසලෙන් පිටවූ ඔහු ඉන්පසු ඒ පාසලට ගියේ නැත. ඔහු මරදානේ පාසලට ආවේ ඉන් පසුය.
    මේ සියල්ල කරද්දීත් ඔහු වයස දහයක දොළහක තරම කොලු ගැටයෙකි. ඔහු සිය ව්‍යාපාර සඳහා අවශ්‍ය පන්නරය ලබාගත්තේ අත්දැකීම් තුළිනි. ජනතාවට අවශ්‍ය දේ ඔහු මැනවින් හඳුනාගත්තේය. මෙසේ කාලයක් තැනින් තැන ජංගම ව්‍යාපාර කළ දාස තරුණ වියට එළඹෙත්ම බොරැල්ලේ පුංචි සාප්පුවක් මිලදී ගත්තේ තමා ඉතිරි කරගත් මුදලිනි. එකල පිටරටින් එන බොහෝ දේට ජනතාව ප්‍රිය කළ නිසා කමිස බැනියම් ආදිය පිටරටින් ගෙන්වා වෙළෙඳාම් කළේය. රටින් ගෙන්වූ ඔරලෝසු ද ඔහුගේ වෙළෙඳාමට එක්විය.
    පුංචි වෙළෙඳාම ටික ටික දියුණුවී බොරැල්ලේ සාප්පුව මිලදීගෙන වැඩි කලක් යන්නට පෙර ඔහු දාස මුදලාලි බවට පත්විය. 27 වැනි වියට පත් ඔහුට සහකාරියක අවශ්‍ය වූයේ මේ කාලයේදීය.
    දාස මුදලාලිගේ දියුණුවට හේතුව කුඩා කල සිටම ඔහු ක්‍රමානුකූලව වැඩ කටයුතු කිරීමට සමත් වීමය. උපයන සියලුම දෙය ක්‍රමවත්ව වියදම් කළ ඔහු එදිනෙදා දවසේ වියදම සවසට ගණන් බලා අනාගතය සඳහා මුදලක් ඉතිරි කළේය. දෙපයට සෙරෙප්පු දෙකක්වත් නැතිව එදා ගෙයින් ගෙට ඇවිද ගිය ඔහුට කවදා හෝ තමන්ගේ ස්ථිර ව්‍යාපාරයක් පිළිබඳ ඉලක්කයක් තිබිණ. තමා ව්‍යාපාර ගැන ඉගෙන නොගත්තත් අත්දැකීමෙන් ලත් දැනුම මත ඒවා වැඩිදියුණු කර ගැනීමේ හැකියාවක් ඔහු සතු විය.
    ඔහු සහකාරියක් සොයා ගැනීමේ කටයුත්ත දෙස බැලුවේ ද එසේය. තමන්ට සුදුසු සහකාරිය ඔහු තම ගමෙන්ම සොයා ගත්තේය. ඒ තලල්ලේ සිරිමතී එදිරිසිංහ මෙනෙවියයි. 1958 මැයි මස 15 දා හතරවරිගයේ නැදෑයින්ගේ කැමැත්ත මත විවාහ වූ ඔවුන් දෙපොළ පදිංචියට ගියේ දෙමටගොඩටය.
    බොරැල්ලේ කඩය දියුණු කර රටින් කමිස ගෙන්වීම නවතා තමාගේම කමිස නිෂ්පාදනයක් පටන්ගත්තේය. ‘ඩියුරෝ’ යනු 1970 දශකයේ අපේ රටේ තිබු හොඳම කමිස වර්ගයයි. ඩියුරෝ කමිස නිෂ්පාදනයට එවකට තිබු සමඟි පෙරමුණ රජය මඟින් ආධාර උපකාර ලැබිණ.
    එකල ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ද ඔහුට ලබා දී ඇත. අනතුරුව ඩියුරෝ කමිස එතෙර වෙළෙඳපොළට විශේෂයෙන්ම යුරෝපයට හා ඇමෙරිකාවට ද යවන්නට ඔහුට හැකි විය. ඔහුගේ ඩියුරෝ කමිස ඔවුන්ගේ Pierre Cardin නමින් නම් කරන්නට ඇමෙරිකාවට අවසර දුන්නේය. පසුව ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දළුගම සහ ෙබාරැල්ෙල් සුපිරි වෙළෙඳ සංකීර්ණ දෙකක් විවෘත කළේය.
    දාස මුදලාලිගේ විශේෂ ගුණයක් වූයේ තමන් දියුණු වනවාත් සමඟ සිය සේවක සේවිකාවන්ට ද හොඳින් සැලකීමය. ඒ සේවකයින්ට දිවා ආහාරය ද ඔහු නොමිලේ සැපයීය. සේවකයන්ට කොණ්ඩය නොමිලේ කපන්නට ද ඔහු පියවර ගත්තේය. බොරැල්ලෙන් ඇරඹි ඔහුගේ ව්‍යාපාර දෙමටගොඩ කැලණිය දළුගම දක්වා ව්‍යාප්ත විය.
    1969 දී ඔහු සිය ව්‍යාපාරය අරඹද්දී එක්සත් ජාතික පක්ෂයේ රජයක් තිබුණ ද 1970 දී බලයට පත් සමඟි පෙරමුණ රජයෙන් ඔහුගේ ව්‍යාපාර සඳහා සහාය ලැබුණේ සිරිමාවෝ අගමැතිනියගේ දේශීය ව්‍යාපාර නඟා සිටුවීමේ ප්‍රතිපත්තිය මතය. එකල පිටරටවලින් බඩු ගෙන්වීම තහනම් වීම නිසා දාස මුදලාලිගේ දේශීය කමිස බැනියම් වැනි ව්‍යාපාර බලා සිටියදීම දියුණු විය.
    ඔහු කුඩා කල සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු වීම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සමඟ සබඳතාව ඇතිකරගෙන තිබීම ඔහුගේ ව්‍යාපාර වැඩිදියුණු වීමට හේතුව යැයි බොහෝ දෙනා අතර මතයක් ද පැවතිණ.
    ව්‍යපාර ලෝකයේ ඉහළටම ගිය ඔහුට දරුවන් දහදෙනෙකි. ඒ දූවරුන් හයදෙනකු හා පුතුන් හතරදෙනකු වශයෙනි.
    ව්‍යාපාර ලෝකයේ රජ කළත් ඔහු බොහෝ සමාජ සේවා කටයුතුවල ද පෙරමුණ ගෙන සිටියේය. නොදියුණු ගම් සංවර්ධනයට ඔහු දායක විය. ළදරු පාසල්වලට ආධාර කළේය. සැඳෑ සමයේ අය දිවි ගෙවන වැඩිහිටි නිවාස සඳහා උදව් උපකාර කළේය. වියපත්ව සිය ව්‍යාපාර කටයුතු සිය දූ දරුවන්ට පැවරූ ඔහු සිය සැඳෑ සමය පින් දහම් කටයුතු සඳහා කැප කළේය. ඔහු දළදා මන්දිරයට රන් දොරක් පවා පූජා කළේය. සිය ළමා කාලය වයස අවුරුදු 9 දී නිමාවීම ගැන ඔහු පසු කලක දැඩි කනස්සල්ලට හේතු විය. ඔහු ගැමි දරුවන්ගේ අධ්‍යාපනය සඳහා දැඩි අවධානයකින් කටයුතු කළේ ඒ නිසාය.
    දාස මුදලාලිගේ කතාව ස්වඋත්සාහයේ හා දිරියේ කතාවක් වන්නේ ඔහුගේ ජයග්‍රහණයට ඔහු ලද අධ්‍යාපනයෙන් පිටිවහලක් නොවූ බැවිනි. ඔහු ජය ගත්තේ ජීවන අත්දැකීම් සමඟ අධිෂ්ඨානයෙන් හා ඉලක්කයකට වැඩ කිරීම තුළිනි. ඔහුගේ ජීවිතය සියලු දෙනාටම ආදර්ශයක් වන්නේ එහෙයිනි.
    දේශබන්දු, දක්ෂිණ ලංකා රෝහණ, යුග පුත්‍ර, බුද්ධ ශාසන කීර්ති ශ්‍රී වැනි සම්මාන ඔහුට ලැබුණේ ඔහු රටට දැයට ආගමට කළ මාහැඟි සේවය කෘතගුණ වශයෙනි. ඇස්. ඩී. ගුණදාස මහතා පරලෝකප්‍රාප්ත වූයේ අවුරුදු 83 ක් ආයු වැලඳීමෙන් පසුව වුවද ‘දාස මුදලාලි’ යන කීර්තිමත් ව්‍යාපාරික නාමය අපේ ව්‍යාපාර ලෝකය තුළ සදා නොමියෙනු ඇත.

    කලාකීර්ති
    ආචාර්ය එඩ්වින් ආරියදාස
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙයා බංකොලොත් වෙච්ච හැටි එහෙම කියලා නෑ නේ. ඉස්සර නම් මෙයා හොඳ ව්‍යාපාරිකයෙක් නමුත් ලෝකේ තියෙන ව්‍යාපාරික ප්‍රවනතාවලට හරියට මුහුණදීලා තමන්ගේ ව්‍යාපාරය වෙන මගකට යොමුකරගන්න මෙයාට බැරි වෙලා තියෙනවා.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මෙයා බංකොලොත් වෙච්ච හැටි එහෙම කියලා නෑ නේ. ඉස්සර නම් මෙයා හොඳ ව්‍යාපාරිකයෙක් නමුත් ලෝකේ තියෙන ව්‍යාපාරික ප්‍රවනතාවලට හරියට මුහුණදීලා තමන්ගේ ව්‍යාපාරය වෙන මගකට යොමුකරගන්න මෙයාට බැරි වෙලා තියෙනවා.

    eka dasa mudalalige waradda neme machn.. eyage lamai 10 denagen ekenekwath eyage business eka hariyata kare na bn.. dan eyage munupurek thama eka karagena yanne...