▶අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා◀

CLAYFACE

Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    ▶අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා◀

    අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා

    191581-004-95328E05.jpg


    ඇලන් මැතිසන් ටියුරින්, 1912 ජුනි 23 දින එංගලන්තයේ ලන්ඩන් නුවරදී උපත ලැබීය. ශාන්ත ලෙනාඞ් නගරයේ පිහිටි ශාන්ත මයිකල් විද්‍යාලයට වයස අවුරුදු 6දී ඇතුළත් වුණු ඇලන් පැටිවියේ සිටම ඉගෙනීමට අසාමාන්‍ය දක්ෂතාවක් දැක්වීය. ගණිතය හා විද්‍යාව යන විෂයයන් කෙරෙහි ඔහු තුළ වූ දැඩි ඇල්ම දිනෙන් දින වැඩිවන්නට විය. මූලික කලනය කිසිදා හදාරා නැති නමුත් 10 ශ්‍රේණියේදී සංකීර්ණ ගණිත ගැටලූ පහසුවෙන් විසඳන ඇලන්ගේ හැකියාව දැක ගුරුවරු පුදුමයට පත්වූහ. නිව්ටන්ගේ චලිතය පිළිබඳ නියමයන් ගැන, ඇල්බට් අයින්ස්ටයින් විසින් පළකළ විද්‍යාත්මක විවේචන, වයස අවුරුදු 16දී හොඳින් තේරුම් ගැනීමට පමණක් නොව ඒවා අන් අයට මැනවින් පහදාදීමටද ඇලන් සමත් විය. සමලිංගිකයකු වූ ඔහු සිය සමකාමී සගයා වූ ක්‍රිස්ටෝපර් මොකොව් ක්ෂය රෝගය වැළඳී මරණයට පත්වූ පසු කතෝලික ආගම ඇදහීම නවත්වා අදේවවාදියකු බවට පත්විය.

    ටියුරින් මැෂිම

    උසස් පෙළ ඉහළින් සමත් වූ ඇලන්, 1931 සිට 1934 දක්වා එංගලන්තයේ කේම්බි‍රිජ් සරසවියෙහි උසස් අධ්‍යාපනය ලැබූ අතර එහි අවසන් විභාගයේදී ගණිතය සම්බන්ධයෙන් ප‍්‍රථම පෙළ ගෞරව උපාධියක් දිනාගැනීමට සමත් විය. ගණිතයේ ‘මධ්‍යම සීමා න්‍යාය’ වයස අවුරුදු 22දී ඔප්පු කර පෙන්වීමට සමත් වුණු නිසා කේම්බි‍රිජ් විශ්වවිද්‍යාලය ඔහුට එහි යාවජීව සාමාජිකත්වය තිළිණ කළේය. කර්ට් ගොඩෙල් නමැති ගණිතඥයාගේ අංක විද්‍යාව මත පදනම් වූ ගණිතමය භාෂාව වෙනුවට, අල්ගොරිත්මික (ගණිතයේ එන විශේෂ රීති ක‍්‍රමයක්) සංඥා සහිත ටේප් පටියකින් ක්‍රියා කරන ටියුරින් මැෂිම 1936 වසරේදී හෙතෙම ලොවට හඳුන්වා දුන්නේය. මෙය අද අප කොම්පියුටරයක් තුළ දකින මධ්‍යම මෙහෙයුම් ඒකකයේ (CPU) ප්‍රාථමික අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. ටියුරින් මැෂිම හරහා තර්ක ශාස්ත්‍රයට හා ගණිත විෂයට අදාළ සංකීර්ණ ගැටලූ වහා විසඳිය හැකි බැව් ලොවට ඔප්පු කොට පෙන්වීමත් සමගම ඇලන් ටියුරින් අසාමාන්‍ය බුද්ධිමතකු ලෙස ගෝලීය සරසවි ප්‍රජාවේ නොමඳ ගෞරවයට පාත්‍රවිය. 1938 වසරේදී ඔහු ඇමරිකාවේ ප්‍රන්ස්ටන් සරසවියෙන් තම ආචාර්ය උපාධිය ලබාගත්තේය.

    දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගම හිට්ලර්ගේ නාසි හමුදාව ඔවුන්ගේ රහස් පණිවුඩ ඒ මේ අත යැවීම සඳහා යොදාගත්තේ එකිනෙකට වෙනස් වූ කේත රෝද 12ක් සහිත ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකි. කේත මගින් යවන මෙම නාසි පණිවුඩ විකේත කොට ඒවා මොනවාදැ’යි හෙළිදරව් කරගැනීමේ කාර්යභාරය බ්‍රිතාන්‍ය බලධාරීන් පැවරුවේ කේම්බි‍රිජ් විශ්වවිද්‍යාලයේ ගණිත විෂය පිළිබඳ මහාචාර්ය මැක්ස් නිව්ටන්ටය. මැක්ස් තම ගණිත විශේෂඥ කණ්ඩායමට ඇලන් ටියුරින්ද සම්බන්ධ කරගත්තේය. බ්ලෙච්ලි නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් කුලියට ගත් මැක්ස් සහ ඇලන්, ජර්මානුවන්ගේ රහස් කේත (codes) මොනවාදැයි සොයාගත හැකි ‘බොමේ’ නමැති ඉලෙක්ට්‍රොනික මැෂිම 1943 දෙසැම්බර් වන විට නිෂ්පාදනය කළහ. යන්ත‍්‍රයේ නිෂ්පාදන වියදම් සොයා ගැනීමට යෑමේදී රජයේ උසස් නිලධාරීන් ඊට හරස් වූ අතර මැක්ස්ගේ බලවත් විරෝධතාව මධ්‍යයේ ඇලන් ටියුරින් නිලධාරිවාදය විවේචනය කරමින් අගමැති වින්ස්ටන් චර්චිල්ට ලිපියක් යැවීය. එම ලිපිය කියවූ චර්චිල් ගණිතඥ කණ්ඩායමට වැයවෙන සියලූ වියදම් වහා සපයාදීමට සිය අනුමැතිය ලබා දුන්නේය.

    රික්තක ටියුබ් 2400කින් සමන්විත, අභ්‍යන්තර ඉලෙක්ට්‍රොනික මාපකයකින් හෙබි මෙම බොමේ මැෂිම ඔස්සේ හිට්ලර්ගේ රහස් යුද පණිවුඩ සියල්ලම පාහේ අනාවරණය කරගැනීමේ හැකියාව එංගලන්තයට උදාවුණි. බි‍්‍රතාන්‍ය සැපයුම් නෞකාවලට විදුලි වේගයෙන් පහර දෙන ජර්මන් යූ බෝට්ටු මෙහෙයුම නාසි හමුදාව විසින් සිදු කරන්නේ කොයි ආකාරයටද යන්න සොයාගනු ලැබුවේ බොමේ මැෂිම හරහාය. සැබැවින්ම ලොව ප‍්‍රථම ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කම්පියුටරය මෙම බොමේ මැෂිම වග වත්මන් පරිගණක විද්‍යාඥයෝ වුව අවිවාදයෙන් පිළිගනිති.

    හිට්ලර්ගේ රහස් පණිවුඩ විකේත කිරීමේ විශේෂඥ කණ්ඩායමේ නිල ප‍්‍රධානියා මහාචාර්ය මැක්ස් නිව්ටන් වුවද බොමේ මැෂිම නිපදවූ මහමොළකාරයා ලෙස සැලකෙන්නේ ඇලන් ටියුරින්ය. ඇලන් එහි නොසිටියේ නම් බොමේ මැෂිම බිහිවන්නේ නැත. එහෙයින් ගණිතඥ කණ්ඩායමේ නොනිල නායකයා ලෙස සැබැවින්ම කටයුතු කළේ ඇලන්ය. නාසීන්ට එරෙහිව දියත් කළ මහා සංග‍්‍රාමයේ ජයග‍්‍රහණයට තනි පුද්ගලයකු ලෙස ඇලන් ටියුරින් විසින් සැපයූ දායකත්වය අසමසම වග පසුකලෙක බි‍්‍රතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් පවසා සිටියේ එම නිසාය. ඇලන්ගේ බුද්ධිමය මැදිහත්වීම නිසා සංග‍්‍රාම කාලය වසර 4කින් කෙටිවුණු බවද චර්චිල් අවධාරණය කළේය.

    අමුතු ගති පැවතුම්

    බ්ලෙච්ලි නුවර සිට ලන්ඩන් වෙත තිබුණු දුර ප‍්‍රමාණය කිලෝමීටර් 64ක් වූ අතර වැදගත් රැුස්වීම්වලට ලන්ඩනයෙන් ඇරයුම් ලද අවස්ථාවල ඇලන් ඒවාට සහභාගිවීම පිණිස ගියේ දුවගෙනය. ලෝක මට්ටමේ මැරතන් ධාවන ශූරයකු සතු කුසලතාවන් ඇලන්ට තිබූ බව මෙයින් පෙනී යයි. 1948 බි‍්‍රතාන්‍ය ඔලිම්පික් මැරතන් කණ්ඩායට ඇතුළත්වීමට ඔහු සුදුසුකම් ලැබුවද පාදයේ හටගත් ආබාධයක් නිසා එම සිහිනය සැබෑකර ගැනීමට ඔහුට නොහැකි විය. සුදුසුකම් ලැබීමේ තරගයේදී 1948 ඔලිම්පික් රිදී පදක්කම්ලාභියා වූ තෝමස් රිචඞ්ස්ට ඇලන් පරාජය වූයේ මිනිත්තු 11ක් වැනි සුළු කාලවේලාවකිනි.

    කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේදී කොන්ටම් භෞතික විද්‍යාව හැදෑරීම පිණිස හෙතෙම දැඩි උනන්දුවක් දැක්වීය. පරමාණුවල හැසිරීම නිරීක්ෂණය කිරීමේදී ඇසට පෙනෙන කිසිදු භෞතික වස්තුවක් ස්ථිර නැති බවත්, ඒවා වෙනස්වනසුලූ බවත් ඇලන්ට පසක් විය. කෘත‍්‍රිම බුද්ධියකින් ක‍්‍රියා කළ හැකි මැෂින් නිපදවිය හැකියැ’යි ඔහු සිය 1950 නිබන්ධනය හරහා තර්ක කළේය. මැෂිමකටද මිනිසකු සේ සිතිය හැකි වග ඔහු එදා කී විට ඔහුගේ සමකාලීන විද්‍යාඥයෝ එම ප‍්‍රකාශය අවඥාවෙන් බැහැර කළහ. එහෙත් කෘත‍්‍රිම බුද්ධිය මගින් මෙහෙයවන රියැදුරු රහිත මෝටර් රථයක් 2010දී ලොවට හඳුන්වාදීමට ගූගල් ආයතනය සමත් වූ බව මෙහි සඳහන් කිරීම වටී. කෘත‍්‍රිම බුද්ධිය පිළිබඳ වන ප‍්‍රථම සාර්ථක තීසිසය ඉදිරිපත් කළ විද්‍යාඥයා ලෙස ඇලන් ටියුරින්ගේ නම ලොව විද්‍යා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන්නේ එම නිසාය.

    ‘සිතිය හැකි යන්ත‍්‍ර හා මිනිසා’ යන මාතෘකාව යටතේ ප‍්‍රසිද්ධ විවාදයක් 1952 වසරෙහි සංවිධානය කළ බි‍්‍රතාන්‍ය ගුවන්විදුලි සේවය ඊට සහභාගි වෙන්නැ’යි ඇලන් ටියුරින්ට හා මොළය පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වූ ජෙෆ්රි ජෙෆර්සන්ට ආරාධනා කළේය. මෙහිදී වෛද්‍ය ජෙෆ්රි කියා සිටියේ මනුෂ්‍යයකු සතුව ඕනෑඑපාකම්, හැඟීම්, දැනීම් සහ ලිංගික ආශාවන් යනාදිය පැහැදිලිව පෙනෙන්නට තිබුණත්, යන්ත‍්‍රවලට එවැනි සියුම් විඥානයක් නොමැති බවය. ලිංගික ආශාවන් ඉහවහා ගිය විට මහා නැණවත් පුරුෂයන් වුව රූමත් කාන්තාවන් ඉදිරියේ මෝඩයන් හා වහලූන් ලෙස හැසිරෙන්නේ යන්ත‍්‍රවලට වඩා ඔවුන් වෙනස් නිසා වග වෛද්‍යවරයා එහිදී අවධාරණය කළේය. සමලිංගිකයකු වූ ඇලන් ටියුරින් එම තර්කයට එරෙහි ප‍්‍රතිතර්ක ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියේය. සමලිංගික මෛථුන්‍යයට එකල එංගලන්තය තුළ කිසිදු ඉඩකඩක් නොලැබුණේ එය නීතියෙන් සපුරා තහනම් කර තිබූ හෙයිනි. බ්ලෙච්ලි බුද්ධි අංශයේ ඔහු සමග සේවය කළ තරුණියකට වරෙක ඇලන් විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේ තමා සමලිංගිකයකු නොවන බව ලෝකයට පෙන්වීම සඳහාය. ඈ එම යෝජනාවට එක පයින් කැමති වූවාය. තරුණිය තමාට සැබැවින්ම ආදරය කරනු දැක මහත් කම්පාවට පත්වූ ඇලන් තමා සැබැවින්ම සමකාමියකු බවත්, අන් අයගෙන් එම තත්ත්වය වසන් කිරීම පිණිස ඇගේ පේ‍්‍රමය ඉල්ලා සිටි බවත් ඇයට නොවළහා පැවසීය. කායික සබඳකම් නොපවත්වමින් වුව ඇලන් සමග එකට ජීවත්වීමට කැමති වග එවිට එම තරුණිය පවසා සිටියාය. එහෙත් එම යෝජනාවට අකමැති වූ ඔහු ඇයට නොපමාව සමු දුන්නේය.

    දඬුවම් ලැබීම

    මැන්චෙස්ටර් නගරයේ විසූ 19 හැවිරිදි කම්කරුවකු වූ ආර්නෝල්ඞ් මරේ සමග මිත‍්‍රත්වයක් ගොඩනගා ගත් ඇලන් ටියුරින් එම යෞවනයාට සිය නිවසෙහි නවාතැන් ලබා දුන්නේ තම කායික අවශ්‍යතා ඉටුකර ගැනීමේ අදහසිනි. එහෙත් එක් දිනෙක කාර්යාලයේ වැඩ අහවර වී ගෙදර පැමිණි විට කවුරුන් හෝ ඔහුගේ වටිනා බඩුබාහිරාදිය සොරාගෙන ඇති වග ඇලන් දුටුවේය. මේ ගැන හෙතෙම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඇලන් දුන් හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ සිදුකළ පොලිසිය හොරා වෙනින් කවුරුවත් නොව ආර්නෝල්ඞ් මරේ බව සොයා ගත්තේය. ආර්නෝල්ඞ්ගේ සාක්කිවලට අනුව ඇලන් සමලිංගිකයකු වග පොලිසිය අනාවරණය කර ගත්තේය. මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ, නොමනා හැසිරීම මත මැන්චෙස්ටර් පොලිසිය, ඇලන් ටියුරින් අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව 1952 මාර්තු මාසයේදී නඩු පැවරීමයි. පොලිසිය ගොනු කළ සියලූ චෝදනාවලට වරද පිළිගත් හෙයින් උසාවිය ඇලන් වෙත දඬුවම් වර්ග දෙකක් යොමු කොට ඉන් කැමති එකක් තෝරාගන්නැ’යි නියෝග කළේය. එක්කෝ ඔහු සිරබත් කෑමට එකඟ විය යුතුය. නැත්නම් උසාවියෙන් පත් කරන වෛද්‍ය වෘත්තිකයකු විසින් සිදුකරනු ලබන ලිංගික අකර්මණ්‍යතාවට බඳුන් විය යුතුය. ඒ අනුව, හෝමෝන එන්නත් කොට තමන් ලිංගික බෙලහීනතාවට පත් කරන දඬුවමට ඇලන් කැමැත්ත පළ කළේය. බි‍්‍රතාන්‍ය අධිකරණය ස්ටිල්බස්ට්‍රොල් නම් එන්නත වසරක් පුරා ඇලන්ගේ සිරුරට විටින් විට එන්නත් කළා පමණක් නොව ඔහු සතු බුද්ධි අංශ රැුකියාවද අහිමි කර දැමීමට තරම් කෲර විය.

    දඬුවමෙන් වසරක් නික්ම ගිය තැන එනම් 1954 ජූනි 07 වැනිදා සයනයිඞ් පෙඟවූ ඇපල් ගෙඩියක් අනුභව කිරීමට හෙතෙම තීරණය කළේය. 41 වැනි වියේදී එලෙස දිවි නසාගත් ඇලන් ටියුරින් සිය කෙටි ජීවිත කාලය තුළදී පරිගණක විද්‍යාවේ සංවර්ධනයට තුඩු දුන් න්‍යායාත්මක මූලධර්ම රැුසක් ලොවට හඳුන්වා දුන් අතිවිශිෂ්ට බුද්ධිමතකු සේ සැලකිය හැකිය. වත්මනෙහි ආගණන විද්‍යාව ගැඹුරින් හදාරන කවරකු වුවද ටියුරින් මැෂිම ගැන අනිවාර්යයෙන් උගත යුතුය. ඔහු තුළවූ ගතිලක්ෂණ නොඉවසූ කුහක සමාජය මේ සුපිරි ප‍්‍රාඥයාගේ ජීවිතය අකාලයේ පැහැර ගත්තේ මතු පරපුරට දායාද කළ හැකිව තිබූ නව සොයා ගැනීම් රාශියක් ඇලන් ටියුරින් සමගම වළපල්ලට යවමිනි

    සමාව ගැනීම

    බි‍්‍රතාන්‍ය පරිගණක විද්‍යාඥයකු වන ජෝන් ග‍්‍රැහැම්කමින්, 2009 අගෝස්තුවේදී එංගලන්ත විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ අත්සන් 30000ක් රැුගත් පෙත්සමක් එරට ආණ්ඩුව වෙත ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ සමලිංගිකයකු වීමේ වරද හේතුවෙන් ඇලන් ටියුරින්ට දුන් දඬුවම හා අදාළව රජය කොන්දේසි විරහිතව ඔහුගෙන් සමාව ගත යුතු බවයි. එය පිළිගත් අගමැති ගෝඞ්න් බ‍්‍රවුන්, 2009 සැප්තැම්බර් මාසයේදී බි‍්‍රතාන්‍ය රජය වෙනුවෙන් ඇලන් ටියුරින්ගෙන් සමාව ඉල්ලා සිටියේය. සියලූ චෝදනාවලින් ඇලන් නිදොස් කොට නිදහස් කළ බි‍්‍රතාන්‍ය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ක‍්‍රිස් ගේ‍්‍රලින් 2013 දෙසැම්බර් 24 වැනි දින මෙසේ පවසා සිටියේය. ‘දෙවන ලෝක යුද්ධයේදී සිය අතිවිශිෂ්ට ගණිත ඥානය උපයෝගී කොටගෙන හිට්ලර් නම් ඒකාධිපතියාගෙන් අප බේරාගත් ඇලන් ටියුරින් නමැති වීරයාට බි‍්‍රතාන්‍ය රජය එදා සිදු කළේ මහත් අකටයුත්තක් බව අද අපි නොපැකිළව පිළිගන්නවා. අප ඔහු මතක තබාගත යුත්තේ උසාවියෙන් අච්චු කළ අයෙක් ලෙස නොව පරිගණක විද්‍යාවේ පියා ලෙසයි. ජීවත්ව සිටියදී ශ්‍රේෂ්ඨ මිනිසුන් විනාශ කරන අපි ඒ අය මියගොස් දශක ගණනාවක් ගෙවුණු පසුව ඔවුන් පූජනීයත්වයට බඳුන් කරනවා. යේසුස්වහන්සේට පවා සිදුවුණේ එයයි. නමුත් අප වැනි දුහුනන්ට සමාව දීමේ ශක්තිය ඇලන් ටියුරින් වැනි ශ්‍රේෂ්ඨයන් සතුව නොමඳව ඇති වග අපි අමතක කළ යුතු නැහැ.’

    ඇලන් ටියුරින් නමැති ශ්‍රේෂ්ඨ දාර්ශනිකයාගේ ඉරණම විසඳුණු ආකාරය දෙස බලන විට මගේ සිහියට නැගෙන්නේ පැරණි ඉංග‍්‍රීසි කියමනකි. ‘Everybody loves the fall of a great man’ ‘ඉහළින් වැජඹෙන ශ්‍රේෂ්ඨ මිනිසකු බිම ඇද වැටෙනු බලා කාලකණ්ණි සතුටක් ලැබීමට කවුරුත් කැමතිය.

    ප‍්‍රභාෂ්වර-අවරදිග ආවර්ජනා​
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හොඳ ආටිකල් එකක් හොඳට ලියල තියෙනව. පරිගණක විද්‍යාවට අදාළ නව සොයා ගැනීම් කරපු අයටත්
    අනිත් විද්‍යා ක්ෂේස්ත්‍ර වල අයට නොබෙල් තෑග්ග දෙනව වගේ තෑග්ගක් දෙනව. ඒ තෑග්ග නම් කරල තියෙන්නෙත්
    ටියුරින්ගෙ නමින්. ටියුරින් ප්‍රයිස් ඒක දිනාගන්නව කියන්නෙ පරිගණක විද්යාඥයෙකුට ගන්න පුළුවන් ඉහලම නම්බුව.



    The Imitation Game -2014


    The%2BImitation%2BGame%2BFashions%2B01.jpg
     
    Last edited:
    • Like
    Reactions: CLAYFACE