Reincarnator සහෝ දාපු ත්‍රෙඩ් එකකත් මං මේ චිත්‍රපටිය ගැන මං මීට කියලා තියෙනවා. ඒ වුණාට තව වැඩි දෙනෙක්ට දැනගන්නත් එක්ක ඒ ගැන වෙනම ත්‍රෙඩ් එකකුත් දාන්න ඕන කියලා හිතුණා කෝකටත්. 

ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයට අයත් ගම්බද ප්‍රදේශයක පිහිටලා තියෙන ගැහැණු ළමුන්ට පමණක් නේවාසිකව ඉගැනිවීම් කටයුතු සිදු කරන පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් කීප දෙනෙක් වටා තමයි මේ චිත්‍රපටියේ කතාව මූලිකව ගොඩ නැගෙන්නේ. 1900 වර්ෂයේ වැලන්ටයින් දිනය යෙදෙන දා ඒ වසරේ පාසලේ වාර්ෂික ක්ෂේත්‍ර චාරිකාව සිදු කරන දිනය ලෙස යොදාගන්න පාසලේ විදුහල්පතිනිය විසින් තීරණය කරනවා. මේ චාරිකාවේ ගමනාන්තය විදිහට තෝරගන්නෙ "Hanging Rock" කියන නමින් හදුන්වන අතීතයේ සිදුවුණු ගිනිකඳු පිපිරීමකින් නිර්මාණය වුණු ආසාමාන්‍ය ආකාරයේ භූ විෂමතා ලක්ෂණවලින් සමන්විත වුණු උස්බිම් ප්‍රදේශයයි. කෙසේ නමුත් "Hanging Rock" ප්‍රදේශයේ සිදු කරපු ක්ෂේත්‍ර චාරිකාව අතරතුරදි ඒ චාරිකාවට සහභාගි වුණු ශිෂ්‍යාවන් තිදෙනෙක් සහ ගුරුවරියක් "Hanging Rock"හී දී අභිරහස් විදිහට අතුරුදන් වෙනවා. මෙන්න මේ අතරුදන් වුණු පිරිස සොයාගන්න දරණ ප්‍රයත්නය ඔස්සේ තමයි "Picnic at Hanging Rock" චිත්‍රපටියේ කතාව ගලාගෙන යන්නේ. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නෙ ඕස්ට්‍රේලියානු ජාතික ප්‍රකට ග්‍රන්ථ රචිකාවියක් වුණු "Joan Lindsay" විසින් රචනා කරපු "Picnic at Hanging Rock" කියන නවකතාව ඇසුරු කරගෙනයි.
ප්‍රකට ග්‍රන්ථ රචිකා "Joan Lindsay" සහ "Picnic at Hanging Rock" නවකතාව
The Truman Show (1998), Dead Poets Society (1989), Master and Commander: The Far Side of the World (2003), Witness (1985), Gallipoli (1981) සහ Fearless (1993) ඇතුළුව ඉහළ විචාරක, ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට පාත්‍ර වුණු සම්මානනීය චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කරපු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන "Peter Weir" විසින් තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරනු ලැබුවේ. ඔහුගේ චිත්‍රපට අධ්‍යක්ෂණ දිවියේ මුල්ම භාගයේ අධ්‍යක්ෂණය කරපු එහෙමත් නැත්නම් ඔහු අධ්‍යක්ෂණය කරපු තෙවැනි චිත්‍රපටය විදිහට තමයි "Picnic at Hanging Rock" චිත්‍රපටය ඉතිහාසයට එක්වෙන්නේ.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ "Peter Weir"
තවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරු දෙන්නෙක් වෙන "Andrei Tarkovsky' ගෙ සහ "David Lynch" ගෙ චිත්‍රපටවල ඇතුළත් වෙන ගති ලක්ෂණ එහෙමත් නැත්නම් 'vibe' එකකට ටිකක් සමානකමක් ස්වරූපයක් "Picnic at Hanging Rock" චිත්‍රපටියෙදි දැකගන්න පුළුවන්. විශේෂෙන් "David Lynch" ගෙ "Twin peaks" TV series එකට කැමැත්තක් දක්වන කෙනෙක් නම් මේ චිත්‍රපටිය ගොඩක් අල්ලලා යාවි. මීට අමතරව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වගේම තිර රචිකාවියකුත් වෙන "Sofia Coppola" ගෙ චිත්‍රපටවලත් "Picnic at Hanging Rock" යෙන් ලබාගත්තු ආභාෂය පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. මූලික වශයෙන් 'Flute' කියන සංගීත භාණ්ඩය යොදාගෙන නිර්මාණය කරපු කන්කළු පසුබිම් සංගීතයකිනුත් මේ චිත්‍රපටය සමන්විත වෙන බව විශේෂයෙන් සදහන් කරන්න ඕන.
හැමදාම බලන චිත්‍රපටිවල තියෙන 'Vibe' එකකට වඩා වෙනස්ම ආකාරයක 'Vibe' එකක් තියෙන, "slow burning" ගනයේ චිත්‍රපටි බලන්න කැමති අයට මේ චිත්‍රපටය මං ඉහළින්ම 'recommend' කරනවා. 
