දිනය: 2023 මාර්තු 14
ග්‍රීක පුරාවෘත්තයන්ගේ සදහන් වන, නයිල් ගංගාවේ ඉහළ කොටස ආශ්‍රිතව පිහිටි ප්‍රදේශයන් පාලනය කලා යැයි කියවෙන 'Cepheus' නම් රජුගේ බිරිද වූ 'Aethopia' නම් රැජිනගේ ආත්මය යන විරුද්ධාවලිය හිමිව ඇති, පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කෙරෙන මනරම් නිහාරිකාව "Soul Nebula" ලෙස හදුන්වයි. "Westerhout 5 (W5)", Sharpless 2-199, LBN 667 සහ "IC 1871" යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබන ආලෝක වර්ෂ 100 ක පමණ විෂ්කම්භයකින් යුත් මෙම නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 6 500 ක් ඈතින්, "Cassiopeia" තාරකා රාශියට අයත්ව පිහිටා තිබේ. විවෘත්ත තාරකා පොකුරු (Open Star Clusters), අන්තරීක්ෂීය දූවිලි (cosmic dust) මගින් නිර්මාණය කරන ලද අඳුරු සවභාවයක් ගත් මියර හා කුළුණු (ridges and pillars) මෙන්ම දැවැන්ත තාරකාවන්ගේ හටගන්නා තාරකා සුළං මගින් නිර්මාණය කොට මුදා හළ බුබුළු ආකාරයේ ව්‍යුහයන්ගෙන් ද සැදුම්ලත් මෙම "Soul Nebula" නම් වූ නිහාරිකාව නව තාරකාවන් උපැද්දවීම සිදුකරන අති විශාල ප්‍රදේශයක් (star forming region) ලෙස ද සලකයි.
බොහෝ විට "Soul Nebula" ඡායාරූපගත කිරීම සිදුකරනු ලබන්නේ එහි අසල්වැසි නිහාරිකාව වන "Heart Nebula" (IC 1805 / Sharpless 2-190) නමින් හදුන්වන විමෝචන නිහාරිකාවට (emission nebulas) සමගාමීව නිරූපණය කෙරෙන පරිද්දෙනි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7500 ක් දුරින් පිහිටා ඇති, විෂ්කම්භය ආලෝක වර්ෂ 200 ක් පමණ වන මෙම නිහාරිකාවෙහි හැඩය මිනිස් හදවතක ස්වරූපයට සමාන වීම හේතුවෙන් "Heart Nebula" යන අනුවර්ථ නාමයෙන් හැදින්වීමට හේතු වී ඇත. පහත දැක්වෙන ඡායාරූපය, විවිධ වර්ණයන්ගෙන් ලබාගත් කැමරා නිරාවණයන් (exposures) එකිනෙකට සංයුක්ත කරමින් සකස් කරන ලද්දක් වන අතර මෙහිදී හයිඩ්රජන් වායුව විමෝචනය කෙරෙන ප්‍රදේශයන් රතු පැහැයෙන් ද, සල්ෆර් වායුව විමෝචනය කෙරෙන ප්‍රදේශයන් කහ පැහැයෙන් හා ඔක්සිජන් වායුව විමෝචනය කෙරෙන ප්‍රදේශයන් නිල් පැහැයෙන් ද දක්වා ඇත.
Image Credit & Copyright: José Jiménez (Astromet)