දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය "බලාත්මක කිරීමේ" සාකච්ඡාවන් ඩැහැගනිමින් විසකුරු වර්ගවාදී උද්ඝෝෂනයක් දියත් කෙරේ
පානි විජේසිරිවර්ධන
දිනයකට පෙර
දහතුන්වන වන ව්‍යවස්ථා සංශෝධනය 'බලාත්මක කිරීම' සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමල ධනපති පක්ෂ සමග කරගෙනයන සාකච්ඡාවන් සහ පාර්ලිමේන්තුවට ගෙනඑන ලද යෝජනාවන් ඩැහැගනිමින්, සිංහල වර්ගෝත්තමවාදී නඩ, විසකුරු උද්ඝෝෂනයක් දියත් කර ඇත.කොලඹ, තුම්මුල්ලේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය කේන්ද්‍රකර ගනිමින් ගෙනයන මෙම උද්ඝෝෂනයේ එක් කන්ඩායමක ප්‍රධාන කථිකයන් වනුයේ, යුද හමුදාවේ හිටපු ප්‍රධාන මාන්ඩලික නිලධාරි ජනරාල් ජගත් ඩයස් සහ ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා ය. සිංහල ස්වෝත්තමවාදී දක්ෂිනාංශික පුවත්පතක් ලෙස කුප්‍රකට ද අයිලන්ඩ්, ඔවුනට මාධ්‍ය වේදිකාව සම්පාදනය කිරීමේ ලා පෙරමුන ගෙන තිබේ.
අගෝස්තු 14 දා, ද අයිලන්ඩ් පලකල වාර්තාවකට අනුව, '13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්න වසයෙන් බලාත්මක කිරීමෙන් මතුවන අන්තරායන් පිලිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා' සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය තුල මෑතදී පැවැත්වූ රැස්වීමක් අමතමින් ජනරාල් ජගත් ඩයස් පවසා ඇත්තේ, සංශෝධනය 'පූර්න වසයෙන් ක්‍රියාත්මක කිරීමෙන්, උතුරු හා නැගෙනහිර පලාත්වල වෙනම රාජ්‍යයක් සඳහා මංපෙත් විවර වන' බවයි.
1987 ඉන්දු-ලංකා ගිවිසුමේ එන වගන්ති වලට අනුව 13 වන සංශෝධනය ගෙන ආ බව පවසන ඩයස්, තම වර්ගවාදී උද්ඝෝෂනයට ගැලපෙන පරිදි ඉතිහාසය විකෘත කරමින් එකී ගිවිසුම අත්සන් කෙරුනේ, නවදිල්ලිය තථ්‍ය වසයෙන් කොලඹ තන්ත්‍රයට 'තුවක්කුව මානා සිටියදී' බව කියා සිටී. ඩයස්ගේ විකෘතියට විපරීතව, ඉන්දු-ලංකා ගිවිසුමට නවදිල්ලිය එලැඹුනේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ අර්බුද ග්‍රස්ථ තන්ත්‍රයට දෙනලද සහයෝගයක් ලෙසිනි.
ගිවිසුමට අනුව, පලාත්බද සීමිත ස්වයං-පාලනයක් ලබාදෙන පොරොන්දුව මත දෙමල සන්නද්ධ කන්ඩායම් නිරායුධ කිරීම සඳහා ඉන්දියාව තම 'සාම සාධක' හමුදා උතුරු පලාතට එවූ අතර, ශ්‍රී ලංකා හමුදාව සමග සටන්වැද සිටි දෙමල විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊය) එයට සහාය දුන්නේය. දකුනේ ගම්බද නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා තම හමුදාව යැවීමට ගිවිසුම ජයවර්ධනට ඉඩහසර ලබා දුන්නේය.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි පූර්ව සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මුල සිටම පෙන්වාදුන් පරිදි, 13 වන ව්‍යවස්ථා සංශෝධනය කවර ලෙසකින් හෝ දෙමල පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීම සඳහා ගෙනඑන ලද්දක් නොවේ. එය, උතුරු හා නැඟෙනහිර දෙමල ප්‍රභූවට සීමිත බලතල බෙදා හැරීමේ අරමුනෙන්, 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙන් පැන නැගුනකි.
අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු දෙමල ධනේශ්වරය සමග කුමන හෝ බලය බෙදාගැනීමකට එරෙහි වී ඇති අතර මෙම සංශෝධනය මුලුමනින්ම ක්‍රියාත්මක කර නැත. එය ප්‍රශංසාවට ලක් කරමින්, නීතීඥ මනෝහර ද සිල්වා පවසන්නේ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඇතුලු සියලු ජනාධිපතිවරුන්, එහි 'අන්තරායන් සලකා බලා', 13 වන ව්‍යවස්ථාවෙන් පලාත් සභා වලට පැවරුනු යම් නිශ්චිත බලතල ලබා දීමෙන් වැලකී සිටි බවයි.
දහතුන්වන වන සංශෝධනය බලාත්මක කලහොත්, උතුරු සහ නැගෙනහිර පලාත් යලි ඒකාබද්ධ කිරීමටත්, එමගින් 'දෙමල නිජබිම' සංකල්පය ප්‍රවර්ධනය කිරීමටත් ඉඩ ප්‍රස්ථාව ලැබෙන බවත් ද සිල්වා කියා සිටී. පලාත්සභා වලට අයත් පොලීසි, මහඇමතිවරයා යටතට පත්වන බැවින්, ඉතා වැදගත් පුද්ගලයන්ට (වීඅයිපී) ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් 'ජාතික පොලීසිය සතු කර්තව්‍යයන්' නිසියාකාරව ඉටුකල නොහැකිවන බවට ද ඔහු තර්ක කරයි.
මෙම සිංහල වර්ගවාදී නඩය, 26 වසරක කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසුව ද උතුරු සහ නැගෙනහිර පලාත්වල දෙමල කතා කරන ජනයාට එරෙහිව පවත්වාගෙන යන දැඩි හමුදා පාලනය බිඳකුදු හෝ ලිහිල් කිරීමට එරෙහි ය. 'ජාතික ආරක්ෂාව පරදුවට තබා ඇතැම් හමුදා කඳවුරු ඉවත් කර ගැනීම, පුරාවිද්‍යා ස්ථානයන්හි පාලනය අත්හැර දැමීම, රාජ්‍ය දේපොල පෞද්ගලීකරනය සහ හමුදාව දුර්වල කිරීම' මෙම බලාත්මක කිරීමේ ප්‍රතිඵලය බවත් එමගින් 'රට කැඩීමට සුදුසු පරිසරයක්' නිර්මානය කෙරෙන බව ජනරාල් ඩයස් කියා සිටී.
කෙසේ නමුත්, 13 වන සංශෝධනය බලාත්මක කිරීමේ ජනාධිපති වික්‍රමසිංහගේ යෝජනා සහ සාකච්ඡා මුලුමනින්ම කුහකය, එමෙන්ම ව්‍යාජය. මෙම සාකච්ඡාවන්හි එක් මූලික අරමුනක් වනුයේ ජාමූඅ හි කප්පාදු ක්‍රියාත්මක කිරීමේ දී දෙමල ධනපති පක්ෂවල පූර්න සහයෝගය දිනා ගැනීමයි.