"Carina" තාරකා රාශියේ පිහිටා තිබෙන "The Great Carina Nebula" නමින් හදුන්වන දැවැන්ත නිහාරිකාව, අපූර්ව තාරකාවන් හා කුඩා නිහාරිකාවන් රාශියකට වාසස්ථානය සපයන ප්රදේශයකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8500 ක් පමණ දුරට වන්නට පිහිටා ඇති මෙම නිහාරිකාව අපගේ ක්ෂීරපථයේ පවතින දීප්තිමත්ම හා විශාලතම නිහාරිකාවක් වන ඔරායන් නිහාරිකාවටත් (Orion Nebula) වඩා සිව් ගුණයක විශාලත්වයකින් යුතු හා දීප්තියෙන් ද අධික නිහාරිකාවකි. දැවැන්ත තාරකාවන් බිහිවේමේ ක්‍රියාවලියන් නිරන්තරයෙන් සිදුවන කලාපයක් ලෙස සැලකෙන මෙම නිහාරිකාව මුල්වරට සොයාගන්නා ලද්දේ ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ Nicolas-Louis de Lacaille විසිනුයි, ඒ 1752 වසරේදී ඔහුගේ ගවේශන කටයුතු සිදුකළ දකුණු අප්‍රිකාවේ, සුභ පැතුම් තුඩුවෙහි පිහිටි ඔහුට අයත් අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේදීය. මෙම "Carina" නිහාරිකාව තුළ ඇති කුඩා නිහාරිකාවන් අතර "Gabriela Mistral Nebula" නැතහොත් "IC 2599" (ඡායාරූපයේ වම් පස මැදට වන්නට ඇති) නමින් හදුන්වන විමෝචන නිහාරිකාවත් ( emission nebula) එය වටා පිහිටා තිබෙන "NGC 3324" නම් වන විවෘත්ත තරු පොකුරත් ප්‍රධාන වශයෙන් නිරීක්ශනය කළ හැක. මීට අමතරව ඡායාරූපයේ ඉහළ කෙළවරේ මධ්‍යයට වන්නට පිහිටා ඇති "NGC 3293" නමින් හදුන්වන දැවැන්ත තරු පොකුරත්, Wolf-Rayet 23 (WR23) නම් වූ තාරකාවත්, තරමක දීප්තියකින් දිස්වන දුර්වල වොමෝචන නිහාර්කාවක් ලෙස සැලකෙන "Loden 153"( NGC 3293 තරු පොකුරට දකුණු පසට වන්නට) නිහාරිකාව හා කලක දීප්තිමතව තිබූ නමුත් මේ වන විට මියගොස් තවත් වසර මිලියන කීපයකින් සුපර්නෝවා පිපිරීමකට ලක්වෙතැයි අපේක්ශා කරන "Eta Carinae" නම් තාරකාවත් ( ඡායාරූපයේ පහළ දකුණු කෙළවරේ ඇති) මෙම ඡායාරූපය තුළින් නිරීක්ශනය කිරීමට හැකිය.
නම් කරන ලද ඡායාරූපය
The Great Carina Nebula

