පසුගිය මැයි 16 වන දින චන්ද්‍රයා, පෘථිවියෙහි සෙවනැල්ල අතරින් ගමන් ගත්තේ පැය 1 යි මිනිත්තු 25 ක කාලසීමාවක් තුළදී සිදුවූ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් (total lunar eclipse) පෘථිවිවාසීන්ට දැකබලා ගැනීමේ අවස්ථාව උදාකරමිනි. පහත දැක්වෙන කාලානුරූපී (timelapse) ඡායාරූපයෙන් නිරූපණය වන්නේ මෙම චන්ද්‍රග්‍රහණය සිදුවූ කාලසීමාවෙහි චන්ද්‍රයා අර්ධ හා පූර්ණ කලාවන්ට නැතහොත් අවධිවලට පත්වූ අයුරු දක්ෂිණ ධ්‍රැවයෙහි, එනම් ඇන්ටාර්ටිකාවෙහි පිහිටුවා තිබෙන ඇමරිකා එක්සත් ජනපදයට අයත් "Amundsen-Scott South Pole Station" නමින් හදුන්වන විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථානයට දිස්වන ක්ෂිතිජයට ඉහළින් හසුකර ගත් ආකාරයයි.
ශීත හා තාරකාවලින් පිරි මෙම දක්ෂිණ ධ්‍රැව රාත්‍රී ආකාශයෙහි දිස්වූ මනරම් අවුරෝරා ආලෝක රටාවන් (aurora australis) මෙන්ම ක්ෂීරපථය මන්දාකිණියෙහි මධ්‍ය කලාපය ද මෙම ඡායාරූපය තුළින් දැකගත හැක. මීට අමතරව "Amundsen-Scott" මධ්‍යස්ථානයේ පවතින "BICEP' නමින් හදුන්වනු ලබන දුරේක්ෂය ඡායාරූපයෙහි දකුණු පසින් ද, "South Pole Telescope" (SPT) නමින් හදුන්වනු ලබන දුරේක්ෂය පිහිටුවා ඇති "Amundsen-Scott" මධ්‍යස්ථානයේ දකුණු පස කෙළවරට වන්නට පිහිටා තිබෙන "Dark Sector Laboratory" නිරීක්ශනාගාරය ද මෙහිදී දැකගත හැකිය. මීළගට සිදුවන්නට නියමිතව තිබෙන පූර්ණ චන්ද්‍රග්‍රහණය එළඹෙන නොවැම්බර් 08 වන දිනට යෙදී ඇති අතර එය ආසියා, ඕස්ට්‍රේලියා, පැසිෆික්, ඇමරිකානු හා උතුරු යුරෝපානු කලාපයන්ට දර්ශනය වනු ඇත. මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණයෙන් පසුව නැවතත් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන්නේ 2025 වර්ෂයේදීය.
Image Credit & Copyright: Aman Chokshi
Amundsen–Scott South Pole Station

