මේ මස 15 ත් 16 ත් අතර (මැයි 15/16) අතර සිදුවූ "Super Flower Blood Moon" නමින් හැදින්වූ පූර්ණ චන්ද්‍රග්‍රහණය (total lunar eclipse) ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයට ඉහළ ආකාසයේ දර්ශනය වූ ආකාරය නිරූපණය වන රූපරාමු පෙළක් (sequence of exposures) යොදාගෙන නිර්මාණය කළ මෙම අපූරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ඩිජිටල් කැමරාවක් භාවිතා කර මිනිත්තු 5 කට වරක්, පැය 3 කට අධික කාලයක් මුළුල්ලේ ලබාගත් රූපරාමු (frames) රාශියක් යොදාගෙන සැකසූ මෙම ඡායාරූපය තුළින් දීප්තිමත් චන්ද්‍ර පෘෂ්ඨය පෘථිවියේ අදුරු හා රත් පැහැ සෙවණැල්ල මගින් ක්‍රමයෙන් වසාගන්නා ආකාරය මැනවින් නිරීක්ශනය කළ හැක. මෙහි මධ්‍යයේ ඇති රූපරාමු තුළින් චන්ද්‍රග්‍රහණය සිදුවීම ගත වූ කාලය වන මිනිත්තු 90 ක කාලසීමාව පෙන්නුම් කරයි. ක්‍රිස්තු පූර්ව 270 දී ග්‍රීසියේ විසූ තාරකා විද්‍යාඥයෙකු වූ "Aristarchus" විසින් චන්ද්‍රග්‍රහණ ඇතිවන කාලසීමාව ගණනය කිරීමට සමත් වී ඇති අතර නූතනයේ මෙන් කිසිදු තාක්ශණික මෙවලමක උපකාරයක් නොමැතිව ඔහු මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ ජ්‍යාමිතිය (geometry) උපයෝගී කරගෙනයි. එහිදී ඔහු චන්ද්‍රග්‍රහණ කාල සීමාව යොදාගෙන පෘථිවියෙහි අරය අනුව පෘථිවියේ සිට චන්ද්‍රයාට පවතින දුර ගණනය කිරීමට හැකි සරල හා නිවැරදි ක්‍රමවේදයක් ද නිර්මාණය කළේය.
Image Credit & Copyright: Michael Cain
Super Flower Blood Moon of 2022, longest total lunar eclipse in 33 years, wows stargazers