"Ursa Major" තාරකා රාශියට අයත් වූ "Big Dipper" නැතහොත් "The Plough" නම් වූ තාරකා රටාවෙහි අවසානයට ඇති දීප්තිමත් තාරකාවේ සිට මදක් දකුණු පසට වන්නට දුරේක්ෂයක් භාවිතයෙන් නිරීක්ශනය කළ හොත් පහත දැක්වෙන අපූරු අන්තර්ක්‍රියාකාරී සර්පිල මන්දාකිණිය (interacting grand-design spiral galaxy) දර්ශනය කර ගත හැක. "The Whirlpool Galaxy" නමින් හදුන්වන (Messier 51a, M51a, හා NGC 5194 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබයි) මෙම මන්දාකිණිය අන්තර්ක්‍රියාකාරී මන්දාකිණි යුගලයකින් සමන්විත වන අතර ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයකු වූ "Charles Messier" මහතා විසින් 1774 වසරේදී ඉදිරිපත් කරන ලද "Messier objects" නම් වර්ගීකරණයේ 51 වැනි ස්ථානයට ද මෙම 'Whirlpool' මන්දාකිණිය ඇතුළත් කොට ඇත.
තාරකා විද්‍යා ඉතිහාසයේ ප්‍රථමවරට සොයාගත් සර්පිල මන්දාකිණිය ලෙස ද සලකනු ලබන මෙම 'Whirlpool' මන්දාකිණිය ක්‍රමවත් සර්පිලාකාර බාහුවලින් සමන්විත වූ ව්‍යුහයකින් නිර්මාණය වී පවතින අතර 'Whirlpool' මන්දාකිණිය සමග අන්තර්ක්‍රියා සිදු කරන, 'Whirlpool' මන්දාකිණියට මදක් වම්පසට වන්නට පිහිටා ඇති "NGC 5195" (Messier 51b හා M51b ලෙසද හදුන්වයි) නමින් හදුන්වන කුඩා ප්‍රමාණයේ වාමන මන්දාකිණිය (dwarf galaxy) මෙහිදී නිරීක්ශනය කළ හැක. එමෙන්ම 'Whirlpool' මන්දාකිණියෙහි වූ සර්පිල බාහු හා දූවිලි මාවත් මෙම කුඩා මන්දාකිණිය දක්වා විහිදී ගොස් ඇති අයුරු ද මෙහිදී දැකගත හැකිය.
මෙම මන්දාකිණි යුගලය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 31 ක් ඈතින්, 'Canes Venatici' නම් කුඩා තාරකා රාශියෙහි පිහිටා තිබෙන අතර දුරේක්ෂයක් භාවිතා කරමින් එකඑල්ලේ නිරීක්ෂණය කරන විට බොද වූ ස්වභාවයකින් දිස් වුවද මෙවැනි ගැඹුරු ක්ෂේත්‍ර ඡායාරූපයක් මගින් මෙම මන්දාකිණි යුගලය වඩා පැහැදිලිව දර්ශනය කර ගැනීමට අවස්ථාව උදා වේ. පැය 90 ක් මුළුල්ලේ හසුකරගත් පටුතීර දත්තයන් (narrowband data) යොදාගනිමින් නිර්මාණය කළ මෙම ඡායාරූපය තුළින් 'Whirlpool' මන්දාකිණි පද්ධතිය තුළ පිහිටි රත් පැහැයෙන් දිදුළන් අයනීකෘත හයිඩ්රජන් වායුවෙන් සමන්විතව නිර්මාණය වූ දැවැන්ත වළාකුළ ද නිරීක්ශනය කළ හැකිය.
Image Credit & Copyright: Fabian Neyer
The Whirlpool Galaxy (M51)