අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත්, වළලු පද්ධතියක් සහිත අයිස් දැවැන්තයෙකු (ice giant) ලෙස නෙප්චූන් (Neptune) ග්‍රහයා හැදින්විය හැකිය. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන පහත දැක්වෙන තියුණු "ආසන්න අධෝරක්ත කිරණ' ඡායාරූපය (near-infrared image) මගින් මෙම නෙප්චූන් ග්‍රහයා, 'James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයට (James Webb Space Telescope) හසුවූ ආකාරය නිරූපණය කෙරේ. මද ආලෝකයකින් යුතුව දිස්වන මෙම දුරස්තර ග්‍රහලෝකය සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අතරින් සූර්යයාට වඩාත්ම දුරින් පිහිටා තිබෙන ග්‍රහයා ද වන අතර එම දුර පෘථිවියත්, සූර්යයා අතරත් පවතින දුර (කිලෝමීටර මිලියන 150.12) මෙන් 30 ගුණයකින් යුක්ත වූ අගයක් ( කිලෝමීටර බිලියන 4.4739) ගනී. 'James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් මෙම ඡායාරූපයෙන් නෙප්චූන් ග්‍රහයා අඳුරු, ගුප්ත ස්වරූපයකින් දිස්වීමට නේප්චූන් ග්‍රහයාගේ වායුගෝලයෙහි පවතින මීතේන් (methane) වායුව මගින් අධෝරක්ත කිරණ ආලෝකයන් (infrared light) අවශෝෂණය කර ගැනීම හේතු වී ඇත.
මෙලෙස නේප්චූන්ගේ පවතින වායුගෝලීය මීතේන් මගින් මෙම ආලෝකයන් අවශෝෂණය කර ගැනීම සිදුවන ආකාරය, මෙම ඡායාරූපයෙහි දැක්වෙන නෙප්චූන් ග්‍රහයාගේ වූ ඉහළ උන්නතාංශ වලාකුළු (High altitude clouds) මගින් නිරූපණය කරයි. ශීත නයිට්රජන් (frozen nitrogen) වායු ස්ථරයකින් ආවරණය වී පවතින නෙප්චූන් ග්‍රහයාට අයත් විශාලම චන්ද්‍රයා වන 'Triton" උල්හැඩැති ස්වභාවයෙන් විවර්තනයට (diffraction spikes) භාජනය වූ වස්තුවක් ආකාරයෙන් ඡායාරූපයෙහි ඉහළ වම්පස කෙළවරට වන්නට දිස්වන අතර පෘෂ්ඨයේ පතිත වන සූර්යාලෝකය නේප්චූන් ග්‍රහයාට වඩා ඉහළ අගයකින් පරාවර්තනය කිරීම කිරීම හේතුවෙන් මෙම 'Triton" චන්ද්‍රයා, නෙප්චූන් ග්‍රහයාට වඩා වැඩි දීප්තියකින් 'James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයට මෙහිදී දිස්වී ඇත. 'Triton" චන්ද්‍රයා ඇතුළුව නෙප්චූන් ග්‍රහයාට අයත් චන්ද්‍රයන් 14 අතරින් චන්ද්‍රයන් 7 දෙනෙකු මෙම ඡායාරූපය තුළින් හදුනාගත හැකි අතර නෙප්චූන්ගේ වූ දුර්වල වළලු පද්ධතිය ද මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කරන තවත් කැපීපෙනෙන අංගයක් ලෙස මෙහිදී දැක්විය හැකිය. මෙම නෙප්චූන් ග්‍රහයාගේ පවතින සංකීර්ණ වළලු පද්ධතිය පිළිබදව ප්‍රථම වරට කරුණු අනාවරණය කර ගැනීම සිදුකරනු ලැබුවේ 1989 වර්ෂයේදී ඒ අසලින් ගමන් කළ "Voyager 2' අභ්‍යවකාශ යානය මගිනි.
නෙප්චූන් ග්‍රහයා පිළිබද තොරතුරු
විෂ්කම්භය: කිලෝමීටර 49244
සකන්ධය: 1.024 × 10^26 kg (පෘථිවිය මෙන් 17 ගුණයකි)
උෂ්ණත්වය: ෆැරන්හයිට්-373 (-373 degrees F)
ඝනත්වය: 1.64 g/cm³
වායුගෝලීය සංයුතිය: හයිඩ්රජන්, හීලියම්, මීතේන්
භ්‍රමණ කාලය: වසර 164.8 (සූර්යයා වටා)
භ්‍රමණ වේගය: තත්පරයට කිලෝමීටර 5.43
පෘථිවියේ සිට ඇති දුර: කිලෝමීටර බිලියන 4.3248
සූර්යයාගේ සිට ඇති දුර: කිලෝමීටර බිලියන 4.4739
නෙප්චූන් ග්‍රහයාගේ චන්ද්‍රයින් 14:
Naiad, Thalassa, Despina, Galatea, Larissa, S/2004 N1 , Proteus, Triton, Nereid, Halimede, Sao, Laomedeia, Psamathe, and Neso.
Image Credit: NASA, ESA, CSA, STScI, NIRCam
නම් කරන ලද ඡායාරූපය
Neptune (overview)

