පහත දැකවෙනුයේ පසුගිය නොවැම්බර් 08 වනදා සිදුවූ පූර්ණ චන්ද්රග්රහණයෙහි (total lunar eclipse) මුල, මැද සහ අග අදියරයන්/අවධීන් නිරූපණය වන අයුරින් සංයුක්ත කර නිර්මාණය කරන ලද අපූර්ව ඡායාරූපයකි. පැය 1 යි මිනිත්තු 25 ක කාලසීමාවක් මුළුල්ලේ පැවති මෙම පූර්ණ චන්ද්රග්රහණයයෙහි අදියරයන් මේ අයුරින් හසු කර ගෙන තිබෙන්නේ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙහි වූ "Quinlan' කඳුවැටියට අයත් වන "Kitt Peak" කඳුමුදුනෙහි පිහිටුවා ඇති "Kitt Peak National Observatory" (KPNO) නම් අභ්‍යවකාශ නිරීක්ශනාගාරය මගිනි. ඡායාරූපයෙහි දකුණුපසින් වන මුල් අවධියෙන් ආරම්භ වූ මෙම චන්ද්‍රග්‍රහණය සිදුවීමේදී, පෘථිවි වායුගෝලයෙහි පවතින දූවිලි මගින් ඒ මත පතිත වූ සූර්යාලෝකය රත් පැහැති සෙවණල්ලක් ආකාරයෙන් චන්ද්‍ර පෘෂ්ඨය මතට පරාවර්තනය කර ඇති අයුරු නිරීක්ශනය කළ හැකිය.
මෙහිදී චන්ද්‍ර පෘෂ්ඨයෙන් දිස්වන අමතර රතු පැහැයට මෙම වසරේ මුල් භාගයේදී, එනම් ජනවාරි 14 වන දින පිපිරුණු පැසිෆික් සාගරයෙහි දකුණු දෙසින් වන්නට පිහිටා ඇති "Hunga Tonga-Hunga Ha‘apai" නම් ගිනිකන්ද පිපිරීමෙන් හටගත් දැවැන්ත දුම් වළාවෙන් නිකුත් වූ අළු පෘථිවි වායුගෝලය තුළ විසිරී යාම හේතුවී ඇති බව විශ්වාස කරයි. මේ අතර මෙම අවධි තුනේදීම දිස්වන චන්ද්‍ර පෘෂ්ඨයෙහි එක් කෙළවරකදී පතිතව ඇති පෘථිවි සෙවණැල්ල ලා පැහැයක් ගන්නා අයුරු නිරීක්ශනය කළ හැකි අතර පෘථිවි සෙවණැල්ල ඒ ආකාරයෙන් එක් කෙළවරකදී ලා පැහැයකින් චන්ද්‍ර පෘෂ්ඨය මත පතිත වීමට පෘථිවි වායුගෝලයෙහි "stratosphere"නමින් හදුන්වන ස්ථරයට අයත් වන කලාපය තුළ පිහිටා ඇති ඕසෝන් ස්ථරය මගින් සිදුකරන සූර්යාලෝකය පෙරීමේ ක්‍රියාවලිය හේතු වී ඇත.
Image Credit: KPNO / NOIRLab / NSF / AURA / Petr Horalek (Institute of Physics in Opava)
Kitt Peak National Observatory
Total Lunar Eclipse of 2022 November
