"The Godfather" චිත්‍රපට මාලාව, "Apocalypse Now" හා "The Conversation" වැනි විශිෂ්ඨ සිනමා නිර්මාණයන් කලා ක්ෂේත්‍රයට දායාද කළ අග්‍රගණ්‍ය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන "Francis Ford Coppola" ගේ නවතම සිනමා නිර්මාණය වන "Megalopolis' චිත්‍රපටයෙහි රූපගත කිරීම් පසුගියදා ආරම්භ කෙරුණි. අනාගතයේදී සිදුවන දැවැන්ත ස්වාභාවික ව්‍යසනයක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී යන නිව් යෝර්ක් නගරය, සියල්ලන්ගෙන්ම පරිපූර්ණ වූ නගරයක් (utopia) ලෙස අලුතෙන්ම ගොඩනැගීමට වෙර දරන ගෘහ නිර්මාණ ශිල්පියෙකු වටා ගෙතෙන කතා තේමාවකින් යුක්ත වූ මෙම සිනමා නිර්මාණය සදහා Adam Driver, Forest Whitaker, Nathalie Emmanuel, Jon Voight, Laurence Fishburne, Aubrey Plaza, Shia Labeouf, Jason Schwartzman, Grace VanderWaal, Kathryn Hunter, Talia Shire, හා Dustin Hoffman වැනිනවක හා ප්‍රවීණ නළු නිළියන් රැසකගේ රංගන දායකත්වය ලැබී තිබේ.
"Francis Ford Coppola" විසින් ඉතා දීර්ඝ කාලයක සිට නිර්මාණය කිරීමට මහත් ලැදියාවකින් පසුවූ සිනමා නිර්මාණයක් (passion project) වන මෙම "Megalopolis'චිත්‍රපටයේ තිර පිටපත රචනා කිරීම ඔහු විසින් ආරම්භ කොට ඇත්තේ 1980 වර්ෂයේදීය. වසර ගණනාවක සිට දැරූ ප්‍රයත්නයන් අවසානයෙහි "Megalopolis' චිත්‍රපටයෙහි මුල් නිෂ්පාදන කටයුතු 2022 වසරේ ජූලි මාසයේදී ආරම්භ වූ අතර රූපගත කිරීම් 2022 වසරේ නොවැම්බර් මස නොවැම්බර් 01 වන දින ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයෙහි පිහිටි "Trilith Studios" නම් චිත්‍රාගාරයේදී ආරම්භ කෙරුණි. චිත්‍රපටයෙහි රූපගත කිරීම් එළඹෙන 2023 වසරේ මැයි මාසයේදී අවසාන කිරීමට නියමිතව ඇති අතර චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ලෙස ඩොලර් මිලියන 100-120 අතර මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කොට තිබේ. චිත්‍රපටය තිරගත කරන දිනයක් පිළිබදව මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොතිබුණ ද එය 2024 වසරේ අගභාගයේදී පමණ සිදුවිය හැකි බවට අපේක්ෂා කළ හැකිය.
කැමරා අධ්‍යක්ෂණය: Mihai Mălaimare Jr.
සංස්කරණය: Glen Scantlebury
නිෂ්පාදන සමාගම: American Zoetrope
රූපගත කිරීම් අතරතුර

