උපත් පාලන උපකරණ මඟින් ගණිකා වෘත්තිය තහවුරු කරනු එපා!
පාදඩ සහ අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගන්නා කාන්තාවන් ගණිකා වෘත්තියෙහි යෙදුණු බව සනාථ කිරීම පිණිස එම සැකකාරියන්ට එරෙහිව ඉදිරිපත් කරන සාක්ෂි ලෙස උපත්පාලන කොපු සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමේ උපකරණ නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීම මින් ඉදිරියට නතර කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.
නියෝජ්‍ය පොලිස්පති (නීති) වරයා විසින් සියලුම පොලිස්ථාන වලට දන්වා ඇත්තේ ඉහත සඳහන් ආඥා පනත යටතේ අත්අඩංගුවට ගන්නා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදුණු බවට සනාථ කිරීම සඳහා ඔවුන් සන්තකයේ ඇති උපත්පාලන කොපු සහ වෙනත් ලිංගික උපකරණ මින්මතු ඔවුන්ට එරෙහි සාක්ෂි ලෙස නඩු භාණ්ඩ වශයෙන් අධිකරණය හමුවට පත් නොකළ යුතු බවයි.
මෙරට ඕනෑම පිරිමියෙකුට හෝ කාන්තාවකට උපත්පාලන කොපු සහ වෙනත් ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වළක්වන උපකරණ ළඟ තබා ගැනීමට අයිතියක් ඇති අතර ඒවා කිසි විටෙකත් නීති විරෝධී නොවේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අනුමත කරන ලද එම උපකරණ ළඟ තබා ගැනීම ඒවා ඇසුරෙන් ගණිකා වෘත්තියේ යෙදුණු බව සනාථ කර වීමට ප්‍රමාණවත් සාක්ෂි නොවන බව පැහැදිලි කරුණකි.
එමෙන්ම ගණිකා වෘත්තියට අයත් නොවන අනාරක්ෂිත ලිංගික ඇසුරකදී ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග වලින් වැළකීම පිණිස එම උපකරණ බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.
ඒ අනුව එවැනි උපත්පාලන උපකරණ ළඟ තබා ගැනීම ගණිකා වෘත්තිය පිළිබඳ විධිමත් සාක්ෂියක් නොවනුයේ ගණිකාවකට වුවද වෘත්තිය නොවන ලිංගික හැසිරීම් වලදී ඒවා භාවිතා කිරීමට නීතිමය අවහිරයක් නොමැති බැවිනි. එසේ ඒවා භාවිතා කිරීම ඔවුන්ගේත් සෙසු සමාජයේත් සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරවන්නකි.
ඒ අනුව පාදඩ හා අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකාරියන් ගණිකා වෘත්තියේ යෙදෙන බවට අධිකරණයට වෙනත් සාක්ෂි මගින් තහවුරු කරන අතර ඒ සඳහා උපත් පාලන උපකරණ මින් මතුවට ශ්‍රී ලංකා පොලිසිය නඩු භාණ්ඩ ලෙස යොදා නොගනු ඇත.
යොමුව



