"IC 1805" (Sharpless 2-190) යනු "Cassiopeia" තාරකා රාශියේ පිහිටා තිබෙන "විමෝචන නිහාරිකා" (emission nebula) ගනයට අයත් වන නිහාරිකාවකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7500 ක් දුරින් පිහිටා ඇති මෙම නිහාරිකාවේ සුවිශේෂත්වය වනුයේ එහි හැඩය මිනිස් හදවතක ස්වරූපයට සමාන වීමයි. මේ හේතුවෙන් මෙම නිහරිකාව "Heart Nebula" යන අනුවර්ථ නාමයෙන් ද හදුන්වනු ලබයි. මෙම නිහාරිකාවේ දීප්තිමත් ම කලාපය "NGC 896" නම් විශේෂ නාමයකින් හදුන්වන අතර එය නිහාරිකාවේ ප්‍රථමයෙන් ම ගවේශණය කර සොයාගත් කොටස ද වේ. මෙම නිහාරිකාව නිර්මාණය සදහා අයනීකෘත හයිඩ්රජන්, අයනීකෘත ඔක්සිජන් හා සල්ෆර් වායූන් මූලික වී තිබෙන අතර නිහාරිකාවෙන් දිස්වන දීප්තිමත් නිල් හා තැඹිලි පැහැයන් සදහා මෙම වායූන් හේතු වී තිබේ. නිහාරිකාවේ වර්ණවත් රතු පැහැති දීප්තියට, නිහාරිකාවේ මධ්‍යයට ආසන්නයෙන් පිහිටා ඇති විවෘත්ත තරු පොකුරකින් නිකුත්වන විකිරණයන් (radiation) හේතු වී ඇත.මෙම තරු පොකුර "Collinder 26" (Melotte 15) යන නාමයන්ගෙන් හදුන්වන අතර එහි අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් 50 ගුණයකට පමණ වැඩි ස්කන්ධයකින් යුතු දීප්තිමත් තාරකාවන් කීපයකින් හා තවත් දීප්තියෙන් අඩු කුඩා තාරකාවන් ගණනාවක් ද පිහිටා තිබේ. මෙම අපූරු "IC 1805"(Heart Nebula) ප්‍රථම වරට සොයාගන්නා ලද්දේ ජර්මන්/ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥ විලියම් හර්ෂල් (Frederick William Herschel) විසිනි, ඒ 1787 වසරේ නොවැම්බර් මස 03 වන දින ය.
Heart Nebula - Love in Space
Last edited:

