📖 පොතක් කියවමු 📖

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,862
    10,070
    113
    මේ දවස්වල මම කියවන ලස්සන පොතක් තමයි “Educated", "අධ්‍යාපනය ලැබූ" නැත්නම් "උගත්" ලෙස නම්කර ඇති ටේරා වෙස්ට්ඕවර් තරුණ කතුවරිය විසින් ලියන ලද ඇයගේ ජීවිතකථාව. ඇමරිකාව වැනි දියුණුයි කියා හදුන්වන රටක උනත් දෙමව්පියන්ගේ මානසික ආබාධ හා මිත්‍යාමය පිළිගැනීම් නිසා අසරණවූ පවුල්, දරුවන් ගැන හා ඒවායෙන් මිදීමට අධ්‍යාපනය උපකාරීවූයේ කෙසේද යනවග මේ පොතෙන් විස්තර කරදී තිබෙනවා. ඇයගේ රචනා ශෛලියත් හරිම ආකර්ශනීයයි.

    ඇමරිකාවේ අයිඩහෝ නම් කෘෂිකාර්මික හා තරමක් දුෂ්කර ප්‍රාන්තයේ, මධ්‍යම පාන්තික පවුලක 7වන දරුවා ලෙස ටේරා උපත ලබනාආ. ඇයගේ පවුල මෝර්මන් දහම තදින් විශ්වාස කරනවා. මෝර්මන් ආගම කිතුදහමෙන් විකාශනයවූ ආගමක්.

    කාලයක් යනවිට පියාට ඇතිවන යම් මානසික ආබාධයක් නිසා ඔහු දැඩිව ආගමට කැපවෙනවා, දෙවියන් ඔහුව හා පවුල මෙහෙයවන බව සිතනවා. ආගමික පිළිවෙත් තදින් පිළිපදින ලෙස මුළු පවුලටම බලපෑම් කරනවා. සාමාන්‍ය මෝර්මන් බැතිමතුන්ගේ පිළිවෙත්වලට වඩා ඉතාමත් දැඩි බැතිමතෙක් ලෙස ඔහු ක්‍රියාකරනවා.

    ටේරා උපත ලබන්නේ නිවසේදීමයි. ඒ 1986දී. රජයේ පාසැල්වල බොරු උගන්වනවායැයි විශ්වාස කරන නිසා ටේරා ඇතුළු දරුවන් පාසැල් යවන්නේ නෑ. දරුවන්ගේ උප්පැන්නය ලියාපදිංචි කලොත් රජයේ ඒජන්තයන් පැමින දරුවන් බලහත්කාරයෙන් පැහැරගනීවී, පාසැල් යවා දරුවන් යක්ෂයාවෙත කැපකරාවී යැයි පියා බිය වෙනවා. ඒ නිසා ටේරාට උප්පැන්න සහතියක් නෑ. රජයේ කිසිම ලියාපදිංචියක් නෑ.

    දරුවන්ට අසනීපයක්වූ විට අත්බෙහෙතක් කරනවා හැරෙන්න ඔවුන් කවදාවත්ම වෛද්‍යවරයෙක් හමුවී නෑ. ඉතා දරුණු පිළිස්සුම්, මාරාන්තික අනතුරුවලින් ඇතිවන තුවාලවලට පවා රෝහලකට ගෙන නොගොස් ගෙදරදීම ප්‍රථිකාර කරනවා. මේ නිසා පවුලේ හැමෝම අනන්ත ලෙස දුක් වින්දත්, කුඩාකල සිටම ඔවුන්‍ට කියාදී ඇත්තේ මෙය දෙවියන්ගේ කැමත්ත බවයි. දෙවියන් අපිව පරීක්ෂාකරනවා. අනාගතයට අපිව සූදානම් කරනවා.

    ටේරාගේ පියා විශ්වාසකරන විදිහට පිටස්තරයන් සියල්ලෝම පවුකාරයන්. මේ නිසා දරුවනුත් මේ විශ්වාසයන් සමග වැඩෙනවා, එයින් පිටත ලෝකයක් ගැන ඔවුන් දැනුවත් නෑ. වේදනාව දෙවියන්ගේ කැමත්ත නිසා එය විදීමට පුහුණු වෙනවා.

    රජය ඉතාමත් භයානක ආයතනයක් බවත් ඔවුන්ගේ අරමුණ මිනිසුන්ගේ මොළ සුද්ධකර, මිනිසුන් නොමග යැවීම බවත් පියා දරුවන්ට කියාදෙනවා. යම් දවසක රාජ්‍ය සොල්දාදුවන් පැමිණ ඔවුන් යටත්කර ගනීවී යැයි බියෙන් ඔවුන් සටනකට ආයුධ හා ආහාර එකතුකර තබනවා. කදුකරයෙන් ජලයත්, සූර්‍ය පැනල මගින් විදුලියත් නිපදවාගෙන සෙසු ලෝකයෙන් යැපීම අත්හල යුතුබව තීරණය කරනවා. මෙලෙස හුදකලාවූ විට වෛද්‍යවරයෙක් ලෙස ක්‍රියාකිරීමට මව පුහුණු වෙනවා.

    රෝහලකට නොයා ගෙදරදීම දරුවන් බිහිකරන හැටි, විවිද රෝගවලට ගෙදරදීම තෙල් බෙහෙත් සාදාගන්නා හැටි ගැන ඇය පරීක්ෂාකරනවා. කාලයක් යනවිට මව ඇයට දෙවියන්ගේ පණිවිඩ ලැබෙනබව විශ්වාස කරනවා. "හෙට හවස මට දරුණු හිසේ කැක්කුමක් හැදෙනවා. ඒකට මම අද මේ බෙහෙත බොනවා යැයි ඇය පවසනවා. පසුදින හවස ඇය මෙහෙම කියනවා. ඊයේ මම බීපු බෙහෙත නිසා අද හිසරදයක් හැදුනේ නෑ." ඇය ඉතාමත්ම දක්ෂ වෛද්‍යවරියක්බව පියා විශ්වාස කරනවා.

    ඔබේ අම්මාට පිළිකාවක් හැදෙන්න තිබුනා. ඇයගේ බෙහෙත් බලයෙන් හා දේව කරුණාවෙන් ඇය ඒ පිළිකාව හැදෙන්නත් කලින් පරාජය කලා. බලන්න ඇයගේ දක්ෂතාවය. දෙවියන් තමන්ගේ බැතිමතුන්ට උදව්කරන්නේ මෙහෙමයි. පියා දරුවන්ටන්ට පවසනවා.

    පිළිකාවක් නිසා මාස කීපයකට පෙර මියගිය ආච්චීව සුවපත්කිරීමට නොහැකිවූයේ ඇයිදැයි දරුවෙක් පියාගෙන් අහනවා. ඔයාගේ ආච්චී නැත්නම් මගේ අම්මා, දෙවියන්ව විශ්වාසකලේ නෑ. නැත්නම් එයාව අපිට හොද කරන්න තිබුනා යැයි පියා පවසනවා.

    මෝර්මන් දහම තුල කාන්තාවන්ට ඇත්තේ අඩු වටිනාකමක්. මේ නිසා ඇය සිය සහෝදරයන්ගේ අඩම්තේට්ටම්වලටත් ලක්වෙනවා. ඇය කැමති කිසිවක් කිරීමට ඉඩක් ලැබෙන්නේ නෑ. ඇයට අවුරුදු 16ක්වූ විට ඇය රජයේ විභාගයකට පෙනී සිටින්න උත්සහාකරනවා. ඒ සදහා නොයෙකුත් අයගෙන් උදවු උපකාර ඉල්ලා සිටිනවා. දහවල් කාලයේ තම පියාගේ යකඩ මඩුවේ වැඩකර, මුළු රාත්‍රියම ස්වේච්ඡාවෙන් ඉගෙන ගන්න කැපවෙනවා.

    වාර කීපයක් විභාගයකට පෙනී සිට ෆේල්වී, අවසානයේ ඇයව උසස් අධ්‍යාපන ආයතනකට තේරීපත්වෙනවා. තමන් හම්බකල මුදලින් ඇය එහි අධ්‍යාපනය කරන අතර මුල්වරට පිටත ලෝකය ගැන අත්දැකීම් ලැබෙනවා. අනෙක් මිනිසුන් තමන් විශ්වාස කල තරමට නරක නැතිබව ඇයට වැටහෙනවා. පළමුවසර අවසන්වන විට ඇය හම්බකල මුදල් අවසන් වෙනවා. ශිෂ්‍යත්වයකට ඉල්ලා හිටින්නැයි විද්‍යාලයේ බිෂොප්තුමා කියා සිටියත් රජයේ මුදල් ලබා ගැනීමෙන් ඇය රජයේ වහලෙකුවෙනු ඇතැයි බියෙන් ඇය ඉල්ලුම් කරන්නේ නෑ.

    අවසානයේ ඇයට මුදල් නැතිමවූ තැන ෆෝරමයක් පුරවා රජයෙන්ඩොලර් 1,300ක මුදලක් ඉල්ලා සිටිනවා. දින කීපයකින් ඇයට ඩොලර් 4,000ක්ම රජයෙන් ලැබුනවිට, රජයට වැරදීමක්වී ඇතිබවත් එතරම් මුදලක් තමන්ට අවශ්‍ය නොවන බවටත් ඇය රාජ්‍ය ආයතනයට පැමිණිලි කරනවා. ටේරාගේ තත්වය සලකා මෙම මුදල අනුමතවූ බවත්, එය නැවත ගෙවීමක් නැතිබවත් රජයේ නිළදාරීන් ටේරාට විස්තරකර දෙනවා. ඇයට ලැබුණු අමතර මුදලෙන් ඇදුමක් මිලට ගෙන ජීවිතය රසවිදීමට විනෝදජනක දෙයක් කරනමෙන් කාරුණික බිෂොප්තුමා ඇයට උපදෙස් දෙනවා. සුළු මුදලක් වියදම්කර ටේරා ජීවිතයේ මුල්වරට කාන්තා ඇදුමක් මිලදී ගන්නවා. ඇය මීට පෙර භාවිතාකලේ තම පියා හා සහෝදරයන් අදින පළදින ඇදුම්.

    රජයේ, විශ්වවිද්‍යාලවල හා ගේට්ස් පදනම වැනි ස්වේච්ඡා ආයතනවල සහය මැද ඇය විශ්වවිද්‍යාලයීය උපාදිය සම්පූර්ණ කරනවා. එංගලන්තයේ කේම්බ්‍රිජ්, ඇමරිකාවේ හාවඩ්වැනි උසස්ම ගණයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබා දක්ෂ ශිෂ්‍යාවක් බවට පත්වෙනවා. මෙම කතාව අවසන් වෙන්නේ ඇය PhD එක ලබා ගැනීමත් සමගයි. ඒ වනවිට ඇයට වයස අවුරුදු 26ක්. ටේරා සහ ඇයගේ තවත් සහෝදරයන් දෙදෙනෙක් මේ ලෙස පවුලෙන් මිදී PhD උපාධි සම්පූර්ණ කරනවා. ඉතිරිවූ හතරදෙනා තවමත් මිත්‍යාවේ ගැලී සිටිනවා.

    ලස්සන කතාවක්. සම්මාන ලැබූ පොතක්. ලොව පුරා භාශා 45කට පරිවර්තනයවී, මිලියන 8කට වැඩි පිටපත් ප්‍රමාණයක් විකිණුනු කෘතියක්. ඔබත් කියවන්න කැමතිනම් සොයා බලන්න. අපිට ඉගෙන ගන්න වටිනා පාඩම් රැසක් තිබෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,893
    113
    34
    Kalutara
    යකෝ අච්චර ඉගෙනගෙනත් පට්ට ජොබ් කරලත් තාත්තගෙ මිත්‍යා විශ්වාසයක් නිසා මුලු පවුලම මැරුනෙ ඉන්දියාවෙ. The Burari Deaths කතාවෙ.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,862
    10,070
    113
    original.jpg
     
    • Like
    Reactions: Walter White