දැල්වෙමින් පවතින ගිනිකෙළි සමූහයක ස්වරූපයක් ගත් "හබල් දුරේක්ෂය" (NASA/ESA Hubble Space Telescope) මගින් හසුකරගත් මෙම දිදුළන තාරකාවන් සමූහය, "NGC 2660" නම් වූ විවෘත්ත තාරකා පොකුරට (open star cluster) අයත් තාරකාවන් වේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8617 ක් ඈතින්, "Vela' නම් තාරකා රාශියට අයත්ව පිහිටා තිබෙන මෙම "NGC 2660" විවෘත්ත තාරකා පොකුරට තාරකාවන් සිය ගණනක් අයත් වන අතර ඒවා ගුරුත්වාකර්ෂණ බලය මගින් එකට බැද තබමින් තාරකා පොකුර තුළ රදවා ගැනීම සිදු කොට ඇත.
විවෘත්ත තාරකා පොකුරුවල බිහිවීමටත් පෙර විශ්වයෙහි මූලාරම්භක සමයේදීම බිහිවූ ඝනත්වය හා රදවා තබාගෙන ඇති තාරකාවන් ප්‍රමාණය අතින් ඉතා ඉහළ අගයක් ගන්නා ගෝලාකාර තාරකා පොකුරු (globular clusters) මෙන් නොව විවෘත්ත තාරකා පොකුරු, වයසින් හා අඩංගු වන තාරකාවන් ප්‍රමාණයෙන් ඊට සාපේක්ෂව ඉතා අඩු අගයක් ගනී. විවෘත්ත තාරකා පොකුරු (open star cluster) තුළ පිහිටි තාරකාවන් එකිනෙකට මදක් ඈතින් පිහිටා ඇති බැවින් එක් එක් තාරකාවන්ගේ පවතින වෙනස් වූ ගති ලක්ෂණයන් පහසුවෙන් හදුනාගැනීමට තාරකා විද්‍යාඥයන් හට මෙහිදී වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලැබී ඇත. මෙම ඡායාරූපයෙහි දැක්වෙන තාරකාවන්ගේ ආලෝකයේ පවතින "උල් හැඩැති විවර්තනය" (diffraction spikes) වූ ස්වරූපයට, මෙම තාරකාවන්ගෙන් එල්ල වූ දීප්තිමත් ආලෝකය හබල් දුරේක්ෂයේ වූ ද්විතියික දර්පණය (secondary mirror) මත පතිත වීමේදී සිදුවූ ආලෝක පරාවර්තනය හේතු වී ඇත.
ඡායාරූපයෙහි වූ කැපීපෙනෙන ආකාරයෙන් දිස්වන "උල් හැඩැති විවර්තනයෙහි" (diffraction spikes) ප්‍රමාණය අනෙක් තාරකාවන්ට වඩා ඉහළ අගයක් ගන්නා රතු පැහැයට හුරු තැඹිලි පැහැයකින් දිස්වන දීප්තිමත් ආකාශ වස්තුව "NGC 2660" විවෘත්ත තාරකා පොකුරට අයත් තාරකාවක් නොවන බවත් මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුය. නාසා ආයතනය මගින් දියත් කර තිබෙන විවෘත්ත තාරකා පොකුරු තුළ පිහිටි "සුදු වාමන තාරකාවන්" (white dwarf stars) පිළිබදව සෙවීමේ ව්‍යාපෘතිය යටතේ සිදුකරන නිරීක්ශනයන් අතරතුරදී හබල් දුරේක්ෂය විසින් මෙම "NGC 2660" විවෘත්ත තාරකා පොකුර ඡායාරූප ගත කොට තිබේ.
Image Credit: NASA, ESA, and T. von Hippel (Embry-Riddle Aeronautical University); Processing: Gladys Kober (NASA/Catholic University of America)