1978 ආණ්ඩුක්‍රම ස්ථාව ජනාධිපති ක්‍රමයේ එකකි. හරියටම කිවහොත් අර්ධ ජනාධිපති ක්‍රමයකි. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන්හි විධායකය සංවිධානය කර ඇති ආකාර මූලික වශයෙන් තුනක් තිබේ. එනම් කැබිනට් ආණ්ඩුක්‍රමය, ජනාධිපති ආණ්ඩුක්‍රමය සහ අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමය වශයෙනි. ලංකාවේ 1978 වනතෙක් පැවතියේත්, තවමත් එක්සත් රාජධානිය සහ ඉන්දියාව වැනි රටවල පවතින්නේත් කැබිනට් හෙවත් පාර්ලිමේන්තු ක්‍රමයයි. එහිදී විධායකය, ව්‍යවස්ථාදායකය තුළින් තේරී පත්වන අතර විධායකය, ව්‍යවස්ථාදායකය තුළ හා ඒ මත රඳා පවතිමින් පිහිටයි. ජනාධිපති ක්‍රමයේදී, විධායකය තේරී පත්වන්නේත්, පිහිටන්නෙත් ව්‍යවස්ථාදායකයට පරිබාහිරවයි. ඇමරිකාව ජනාධිපති ක්‍රමයට හොඳම උදාහරණයකි. අපේ රටේ ඇත්තේ 'විධායක ජනාධිපති' ක්‍රමය යැයි සමහරවිට ශාස්ත්‍රඥයන් පවා බහුලව කියන බව පෙනුනත්, එය ඉතාමත්ම වැරදි සහගත සහ අතාර්කික යෙදුමක් බවත්, එය ඇත්තවශයෙන්ම නම් අර්ධ ජනාධිපති ක්‍රමයක් බවත් අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත්තෙමි. මෙහිදී, විධායකයෙන් කොටසක් (ජනාධිපතිවරයා) ව්‍යවස්ථාදායකයට පරිබාහිරව පත් වී, ඒ මත රඳා පැවතීමෙන්තොරව පවතියි. නමුත්, විධායකය සම්පූර්ණ වීමට නම්, පාර්ලිමේන්තුව තුළින් පත්වන, ඒ මත රඳා පවත්නා කැබිනට් මණ්ඩලයක් අවශ්‍යය. ඒ අනුව මෙම ක්‍රමය තුළ කැබිනට් සහ ජනාධිපති යන ක්‍රම දෙකේම ලක්ෂණ දක්නට ලැබේ. මේ ක්‍රම තුන සකස් වී ඇත්තේ ඒවාට අනන්‍ය මූලධර්ම, ප්‍රමිතීන් සහ සම්මතයන් මතයි. ඒ අනුව මේවායෙහි එක්තරා අකාරයකට පද්ධතිමය ලක්ෂණ දක්නට ලැබේ. ඒ ඒ පද්ධති, නිවැරදිව සහ යහපත් ලෙස ක්‍රියාත්මක වීමට නම්, ඒ ඒ පද්ධති ඒවාට අදාළ ලෙස ස්ථාපිත කර තිබිය යුතුය.
1977 දී ජේ. ආර්. ජයවර්ධන බලයට පත්වූ විගසම වාගේ එතෙක් ක්‍රියාත්මකවෙමින් පැවති, කැබිනට් ආණ්ඩුක්‍රමය වූ 1972 ව්‍යවස්ථාවට සුළු නමුත් තීරණාත්මක සංශෝධනයක් ගෙන එමින් එය ජනාධිපති ආණ්ඩුක්‍රමයක් බවට පරිවර්තනය කරන ලදී. ඒ අනුව ඔහු කළේ කැබිනට් ආණ්ඩුක්‍රමයක් උදෙසා සකසා තිබුණු ආණ්ඩුක්‍රම ආකෘතියක් එහි කරන ලද සුළු සංශෝධනයකින් ඊට සහමුලින්ම වෙනස් ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමයි. මෙය කිසිසේත්ම සුදුසු දෙයක් නොවේ. මන්ද, එම ආණ්ඩුක්‍රමය ව්‍යුහාත්මකව සකසා තිබුණේ ජනාධිපති ක්‍රමයක් වෙනුවෙන් නොව කැබිනට් ක්‍රමයක් වෙනුවෙන් වන බැවිනි. ජේ. ආර්. ජයවර්ධන ඒ සමගම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා සම්මත කර ගැනීමට කටයුතු කළේය. ඇත්තෙන්ම ඒ පසුපස තිබිය හැකි දේශපාලනික අභිලාශ මොනවා වුවත්, එය ඒ සම්බන්ධයෙන් ගත හැකිව තිබූ හොඳම පියවරයි. අලුත් ආකෘතියකට මාරු වෙනවා නම් එය අලුතෙන්ම කළ යුතුය. ඒ විනා අටුවා කඩා පුටුව හදන ක්‍රමයට අලුත් ආණ්ඩුක්‍රමයක් ඇති කිරීම අතිශයින්ම හානිකරය.
දැන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කිව යුත්තේත් එයමය. ඔවුන් කරන්නට යන්නේ දැන් තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සුළු උපක්‍රමික සංශෝධනයක් කිරීම මගින් එය එහි මුල් ආකෘතියට සහමුලින්ම වෙනස් කැබිනට් ආණ්ඩුක්‍රමයක් බවට පරිවර්තනය කිරීමටයි. 1978 ආණ්ඩුක්‍රමය නිශ්චිතවම අර්ධ ජනාධිපති ක්‍රමයක් වෙනුවෙන් සැකසූ එකකි. එය ඓන්ද්‍රීය පද්ධතියකි. එය සහමුලින් වෙනස් කරනවා වෙනුවට තැනක්, දෙකක් වෙනස් කරන්නට යාමෙන් මුළු පද්ධතියම නොසිතූ ලෙස බිඳ වැටී රටම අරාජක වීමේ අනතුරක් තිබේ. ඒ අනුව, මේ පවත්නා ආණ්ඩුක්‍රමය සුදුසු නැත්නම්, අලුත් ආණ්ඩු ක්‍රමයක් අවශ්‍යනම් කළ යුත්තේ, එය අලුතෙන්ම ගෙන ඒමයි. එවිට කැබිනට් ආණ්ඩුක්‍රමයකට අදාළ මූලධර්ම, ප්‍රමිතීන් සහ ක්‍රමවේද අනුගමනය කරමින් එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළ හැකිය.
ඇත්තටම කිවහොත් දැනටමත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කර ඇති වඩු වැඩ ප්‍රමාණය හොඳටම වැඩිය. අපේ ආණ්ඩුක්‍රමයේ දුර්වලතා උදෙසා අපේ සමහරු කරන ගොඩ වෙදකම් ඇත්තටම කිවහොත් ලෙඩේට වඩා භයානක ප්‍රතිකාරයන්ය. විශේෂයෙන්ම 17 සහ 19 යන සංශෝධන, දේශපාලන විද්‍යා ශිෂ්‍යයන්ට ආණ්ඩුක්‍රමය උගන්වන පාඨමාලාවකදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය නොකළ යුතු ආකාරයන් පිළිබඳව උදාහරණ ලෙස ගත හැකි මට්ටමේ ඒවාය. තවත් 20 කුත් ඒ මත පැටවුවහොත් අපේ ආණ්ඩුක්‍රමය සහමුලින්ම බිඳ වැටීමට හොඳටම ඉඩ තිබේ. ආණ්ඩුක්‍රමයකින් අපි අපේක්ෂා කළ යුත්තේ හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව නිදහස පමණක්ම නොවේ. එය රටේ දේශපාලන ස්ථාවරභාවයද සහතික කළ යුතුය. ස්ථාවරභාවය නොසළකා ඇති කරන ප්‍රජාතන්ත්‍රවාදයකට වැඩි කල් ආයුෂ නැත. 20 වන සංශෝධනය නරක දෙයක් වන්නේ එය රාජ්‍යයේ දේශපාලන ස්ථාවරභාවය පැහැදිලිවම බරපතල ලෙස අවදානමට ලක් කරන බැවිනි.
අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
