උසස් පෙළ ප්‍රතිඵල පමාවෙන ලකුණු-
හෙටත් තීරණාත්මක සාකච්ඡාවක්December 8, 2011 10:38 am මෙම වසරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත්කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙසැම්බර් පාසල් නිවාඩුවට ප්‍රථම මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන බවට මීට පෙරාතුව පුවත් පළ වී තිබුණද එය ඉටුනොවනු ඇති බව කියැවෙයි.
ප්‍රතිඵල නිකුත් කිරිමේ කටයුතු මේවනතුරුත් නිමවී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා ඊයේ අද දෙරණට කියා සිටියේය.
කෙසේ වෙතත් ප්‍රතිඵල නිකුත් කිරිමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවත්,නිශ්චිත දිනයක් පැවසිය නොහැකි වුවද හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරිමට උත්සාහ දරන බවත් ඔහු සඳහන් කළේය.
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (07 වැනිදා) දිනයේ පැවැති සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබේ.
උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශ ලේකම්වරයා ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගි වී ඇතැයි සඳහන් වේ.
එසේ වුවද ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන කමිටු සාමාජිකයින් මෙම සාකච්ඡාවට එක්‌ව නොසිටි බවත් එම කමිටුව විභාග කොමසාරිස් ජනරාල්වරයා සමග සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවටත් තීරණය කෙරණු හෙයින් එකී තීරණාත්මක සාකච්ඡාව හෙට දිනයේ පැවැත්වෙන්නට නියමිතය.
ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇත්තේ නව හා පැරැණි වශයෙන් විභාග දෙකකට සිසුන් පෙනී සිටීම නිසා බැව් අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
http://sinhala.adaderana.lk/news.php?nid=20540